දින 42 ක් තුළ ළමයින් සම්බන්ධයෙන් අසභ්‍ය දර්ශන හා ඡායාරූප 17,629 ක් අන්තර්ජාලයට

දින 42 ක් තුළ ළමයින් සම්බන්ධයෙන් අසභ්‍ය දර්ශන හා ඡායාරූප 17,629 ක් අන්තර්ජාලයට

*********************************************

දින 42 ක් තුළ ළමයින් සම්බන්ධයෙන් අසභ්‍ය දර්ශන හා ඡායාරූප 17,629 ක් අන්තර්ජාලයට

(29.07.2021 – 06:30 +0530 – hirunews.lk/sinhala)

ජූලි මස 17 වන දා සිට ජූලි 28 වනදා දක්වා ශ්‍රී ලංකා පොලිස් පරිගණක ඒකකය මඟින් කරන ලද මෙහෙයුමකදී අන්තර්ජාලයට ළමයින් සම්බන්ධයෙන් අසභ්‍ය දර්ශන හා ඡායාරූප 17,629 ක් උඩුගත (අප්ලෝඩ්) කර ඇති බවට හෙළිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙසේ දරුවන්ගේ අසභ්‍ය දර්ශන හා ඡායාරූප සමාජ මාධ්‍යට එකතු කරන ලද පුද්ගලයින් පිළිබඳව මේ වන විට තොරතුරු ලබාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන අද (29) සිට ආරම්භ කර ඊට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එම දර්ශන අන්තර්ජාලයට එක් කළ පුද්ගලයන් සෙවීම සඳහා අද (29) සිට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළා ෴

******************************************

(29.07.2021 – 06:55 +0530 – hirunews.lk/sinhala)

2010 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ නිවස තුළ මෙහෙකාර සේවයේ යෙදී සිටි තවත් කාන්තාවන් 10 දෙනකු සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

මෙලෙස සේවය කළ සියලු දෙනාම ඩයගම පදිංචිකරුවන් බවයි විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

මෙම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි පස්දෙනෙකු (5) ගෙන් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

(29.07.2021 – 07:58 +0530 – sinhala.adaderana.lk)

බැංකු ගිණුම් 5 ක් පවත්වාගෙන යමින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයාගත් ගත් කාන්තාවක් මුදල් විශුද්ධි කරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය වසර 4 ක් පුරා එම ගිණුම්වල රුපියල් කෝටි 600 කට අධික මුදලක් සංසරණය වී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 41 ක් වු දෙහිවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකය මඟින් ලබාදුන් තොරතුරු මත එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ කාන්තාවගේ ගිණුම්වලට මුදල් බැර කළ පුද්ගලයින් පිළිබඳව ද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.

ඔවුන් බොහෝදෙනෙක් ප්‍රාදේශීය වශයෙන් මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු පුද්ගලයින් බවට අනාවරණය වු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය ෴

(29.07.2021 – 12:16 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (28) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දෙහිවල ප්‍රදේශයේද දී අත්අඩංගුවට ගත් කාන්තාව සතුව තිබූ බැංකු ගිණුම් පහක සංසරණය වූ මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 600 නොව ලක්ෂ 600 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන නිවැරදි කිරීමක් කරමින් සඳහන් කරනවා.

41 හැවිරිදි මෙම කාන්තාව අදාළ මුදල් මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා උපයා ගත් මුදල් බවටයි සැක කෙරෙන්නේ.

පසුගිය වසර හතරක (4) කාලය පුරා බැංකු ගිණුම් පහක් (5) හරහා ඇය මෙම මුදල් ගනුදෙනු සිදු කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ කාන්තාව ඊයේ (28) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේයි ෴

******************************************

(29.07.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරින් මෙන්ම ඒ ආශ්‍රිත සේවාවන් පවත්වාගෙන යන ආයතනවල නියෝජිතයින් අතර හමුවක් ඊයේ (28) මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

රේගු නිලධාරින්ට වෘත්තීය කටයුතුවල නිරත වීමේදී ප්‍රායෝගිකව මුහුණපෑමට සිදුවන ගැටලුකාරි තත්ත්වයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකා රේගුව සමග කටයුතු කරන විවිධ ආයතන, සේවාවන් ඉටු කර ගැනීමේදී මුහුණපෑමට සිදුවන දුෂ්කරතා මෙන්ම ආදායම් උත්පාදනය ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

සේවකයින්ට තෘප්තියකින් යුතුව වැඩ කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය කටයුතු කරන අතර, එමගින් ගණුදෙනුකරුවන්ට ගුණාත්මක සේවාවක් ලබාදීමට රේගු නිලධාරින් කටයුතු කිරීම තම අපේක්ෂාව බවයි මුදල් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම, ලෝක රේගු සංවිධානයේ සහ ලෝක වෙළඳ සංවිධානයේ එකඟතා සහ ප්‍රඥප්තීන්ට අනුව වෙළඳාම පහසු කිරීම පිණිස ක්‍රියාත්මක කර ඇති වැඩපිලිවෙල පිළිබඳවද මෙහිදී කරුණු සාකච්ඡා වී තිබුණා.

මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම රේගු වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටි බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ෴

******************************************

(29.07.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මියගිය බාලවයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන පොලිස් කණ්ඩායම් අද (29) දිනයේත් එම ප්‍රදේශයේදී විමර්ශන කටයුතු සිදු කරනවා.

කොළඹ සිට පැමිණි මෙම කණ්ඩායම පසුගිය දින දෙකෙහිදීම (2) දැරිය පදිංචිව සිටි ඩයගම ප්‍රදේශයෙන් විමර්ශන කටයුතු ආරම්භ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මියගිය දැරිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඊයේ (28) පත්කරනු ලැබුවා.

ඒ, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණය වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්ය ජීන් පෙරේරාගේ ප්‍රධානත්වයෙන්.

කොළඹ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමීර ගුණවර්ධන මෙන්ම, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ප්‍රභාත් සේනසිංහ එහි සෙසු සාමාජිකයන්.

මෙම විශේෂඥ වෛද්‍ය මණ්ඩලය හෙට (30) දිනයේදී ඩයගම ප්‍රදේශයට පිටත්ව යාමට නියමිත අතර, එම ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ දැරියගේ දේහය එදින ගොඩගැනීමට නියමිතයි.

දැරියගේ සිරුර ගොඩගෙන ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ මීට දින කිහිපයකට ඉහතදීයි.

මේ වනවිටත් දේහය මිහිදන් කළ හැටන් – ඩයගම පොදු සුසාන භූමියට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා. මෙම සිද්ධියට විරෝධය පළකරමින් ඊයේ (28) ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.

මේ අතර, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ සඳහන් කළේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ ස්ථානීය පරීක්ෂණ මේ වනවිට අවසන් කර ඇති බවයි ෴

++++++++++

ඉශාලිනීගේ මව ‘දිවයින’ට කියූ කතාව (22.07.2021)

******************************************

ළමා මෙහෙකාරකම් සහ ලිංගික අඩත්තේට්ටම් (24.07.2021)

******************************************

අලුත් පාර්ලිමේන්තුව – “ළමයා යනු …” – 28.07.2021

******************************************

(29.07.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ‘නාඩි වෙළඳාම’ නැවතත් වර්ධනය වීම හේතුවෙන් එළවළු මිල ගණන් ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වනවා.

අතරමැදි කණ්ඩායම් ගොවීන්ගේ එළවළු තොග වශයෙන් මිලදී ගෙන එකම එළවළු තොගය විවිධ ස්ථානවල තබා අලෙවි කිරීමයි එහිදී සිදු වන්නේ.

එම ස්ථානයට ගිය හිරු මාධ්‍යවේදියා නාඩි වෙළඳාමේ යෙදෙන පුද්ගලයෙකුගෙන් ද ප්‍රශ්න කළා.

ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය ප්‍රකාශ කරන්නේ ඇතැම් අවස්ථාවල එකම භාණ්ඩය ස්ථාන කිහිපයකදී අලෙවි කිරීමෙන් ලැබෙන කොමිස් මුදල නිසා ඇතැම් ව්‍යාපාරිකයන්ද මීට සහය ලබා දෙන බවයි ෴

******************************************

(29.07.2021 – 08:08 +0530 – hirunews.lk/sinhala)

රුපියල් බිලියන 200 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ගැටලු සහගත තත්ත්වයක් ඇති නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරනවා.

ඔහු කියා සිටියේ අනාගතයේදී ඇති වන තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය ආර්ථික මෙවලම්ද සූදානම් බවයි.

ඇමෙරිකානු ඩොලර් බිලියනයක් වූ කල් පිරුණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව නියමිත දිනට ගෙවා නිම කළ පසු මෙරට විශාලතම දේශීය ණය නිකුතුව ලෙස සැලකෙන භාණ්ඩාගාර බිල්පත් සංචිතය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වුණා.

මෙහිදී දේශීය භාණ්ඩාගාර බිල්පත් ණය රුපියල් ට්‍රිලියනයේ සීමාව ඉක්මවා ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වරටයි.

ඒ අනුව මහබැංකුව විසින් තාවකාලික අත්තිකාරම් ලෙස හඳුන්වන පොලී රහිත අයිරා පහසුකම් යටතේ රුපියල් බිලියන 200 කට ආසන්න මුදල් අඟහරුවාදා දිනයේ මුද්‍රණය කර තිබෙනවා ෴

******************************************

විදුලි මෝටර් රථ හිමියන්ගේ ගැටලුව පිළිබඳ රජයේ ස්ථාවරය

(28.07.2021 – 16:40 +0530 – sinhala.adaderana.lk)

ඉදිරියේ දී මෙරටට වාහන ගෙන්වීමේ දී විදුලි වාහන සඳහා අවසර ලබාදීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

අද දෙරණ ඔස්සේ විකාශය වු “BIG FOCUS” වැඩසටහන සමඟ එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර, විදුලි මෝටර් රථ සඳහා වු බැටරිය ආනයනයට අවසර හිමි නොවීම හේතුවෙන් එම වාහන හිමිකරුවන් මේ වන විට විශාල අපහසුතාවකට පත්ව තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා,

“අපේ ප්‍රතිපත්තිය තමයි, අපි ලිහිල් කරන අවස්ථාවක විශේෂයෙන්ම විදුලි බලයෙන් ධාවනය වන වාහනවලට අපි අවසර දෙන්න තමයි බලාපොරොත්තුව. ඒ කාලේ වෙන විට මේ ප්‍රශ්නයත් විසඳීමට අවශ්‍යයි. බැටරියේ ප්‍රශ්නය පැන නැගෙන්නේ බොහෝ විට පරිසරය පිළිබඳව. ඒකටත් අපි විසඳුමක් සෙවිය යුතුයි. විසඳුමක් ඇත්නම් එය අපිට සිදුකළ හැකියි. අනිත් එක අපි විදුලි වාහන ගෙන්වීමට ඉඩ ලබාදෙන්නේ නම් හැම විදුලි වාහනයක් සමඟ බැටරියකුත් එනවනේ. ඒ නිසා ඒ පිළිබඳව අපි සලකා බලලා හරි විසඳුමක් ලබාදිය යුතුයි. මට හරියටම උත්තරයක් දෙන්න බෑ දැන් තියෙන විසඳුම ගැන. අපි හිත යොමුකළ යුතුයි යන තැන මම ඉන්නවා.”

******************************************

හදේ දොරටු විවර කළෙමි…

(29.07.2021 – divaina.com)

ප‍්‍රවීණ ගීත රචකයකු, සාහිත්‍යකරුවකු වූ අභාවප‍්‍රාප්ත අමරසේන කංකානම්ගේ මහතාගේ අවසන් කටයුතු පෙරේදා (27) සිදුවිය. පහත පළවන්නේ ඒ මහතාගේ ‘ඉස්සර විදිහට’ ගේය පද රචනා සංග‍්‍රහය පිණිස විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා විසින් ලියන ලද සටහනකි.

1982 වසරේ දී කැලණිය ගුරුකුල විද්‍යාලයේ සංගීත ගුරුවරයකු ලෙස රාජකාරි භාර ගැනීමට පත්වීමක් ලදිමි. විදුහල්පති ඩී. ඒ. රාමනායක මහතා විසින් ආචාර්ය මණ්ඩලයේ කීපදෙනකුටම මා හඳුන්වා දෙන ලදි. එවකට මගේ නම එතරම්ම ප‍්‍රසිද්ධ නැත. එහෙත් ප‍්‍රසිද්ධියක් නැතුවාම ද නොවේ. ගුරු විවේකාගාරයේ දී කෙනෙක් තවත් ගුරු පිරිසකට මගේ නම සඳහන් කර මා හඳුන්වා දුන්න ද ඒ ගැන ඔවුන් එතරම් තැකීමක් කළේ නැත. ඊට හේතුව දැනගත්තේ පසුවය. ඒ සරත් දසනායක නමින් ක‍්‍රීඩා ගුරුවරයකු පාසලේ සේවය කිරීමයි. ඔවුන් සිතුවේ මා ද එඞ්වඩ් ජයකොඩි නමින් වූ වෙනත් ගුරුවරයකු ලෙසය.

මේ අතර කලා අංශ ප‍්‍රධානි සිංහල ගුරුතුමන් මා හා සුහද ඇසුරට එක්වුණි. ඔහු ලියූ කාව්‍ය ග‍්‍රන්ථ කිහිපයක් ද මා අතට පත් විය. කාව්‍ය පන්ති හත අටක් එක හුස්මට කියැවීමි. ඒවා ඉතාමත් රසවත් ය. භාවපුර්ණය ආකෘතිමය හැඩතල විචිත‍්‍ර ය. මටත් නොදැනීම ගී පද රචනාවක් ලිවීමට මගෙන් ඔහුට ආරාධනාවක්. ‘අපොයි මට ගීත ලියන්න බැහැ. මම ගීත ලියා නැහැ’ ඔහුගෙන් පිළිතුරු ලැබුණි. මගෙන් යළි ඇවිටිල්ලක්. ‘නැහැ. ඔබට පුළුවන්. කොහොම හරි ලියමු’ මඳක් කල්පනා ලෝකයට ගොස් ‘හොඳයි උත්සාහ කරලා බලන්නම්.’ ඔහු දුන් පිළිතුර මට මඳ අස්වැසිල්ලක් විය.

පසුදින විවේක කාලයේදී හතරට පහට නැවූ පුංචි ලියුම් කවරයක් ඔහු මා අත තැබීය. ‘මේක ඇතුළේ දෙකක් තියෙනවා. හැබැයි ගීත ද කියලා මං දන්නේ නෑ. දැන් ම බලන්න එපා. හොඳ නැත්නම් කිසි කෙනකුට පෙන්වන්නෙ නැතිව ඉරල කුණු කූඩෙට දාන්න.’ මට කිට්ටු වී ඔහු කියාගෙන කියාගෙන ගියේ රහසින් මෙනි. සංගීත කාමරයට ගොස් නිවීසැනහිල්ලේ ඒ තුළ වූ පද රචනා දෙක කියැවූවෙමි.

පින්න මලේ සුද ඇන්න ගිහිංවද මූණ පුරා පෙම් පිරිලා
ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර කන්ද කපා හඳ ගෙට එන්නා

‘හරිම අපුරුයිනේ’ මගේ හිත කියයි. ඊළඟ රචනාව ද දිග හැරිමි.

එය ලස්සනම ලස්සන සුන්දර ආදර ගීයකි.

නිල් නුවන් පෙඟෙන අඳුර ගලා – නුරාවෙන් වෙළී
මල් පිපෙන සුළඟ නීල වලා – තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනාවී – නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි – සොඳුර ඔබෙ නමින්

දින දෙක තුනකින් රෝහණ වීරසිංහයන්ගේ සංගීත නිර්මාණයෙන් හැඩකොට මගේ ‘කැරෙකන රෝදේ’ කැසට් පටයට ඒ ගී දෙකම ගායනා කළෙමි. අප දෙදෙනාගේ අදට ද නොබිඳුණු ස්නේහවන්ත සබඳතාවය ඇරඹුණේ එසේ ය. අද ඔහු අමරසේන කංකානම්ගේ නම් වූ දැවැන්ත ගී පද නිර්මාණකරු වාය.

ඔහු ගැමියෙකි. කාටවත් අභියෝගයක් නැති නිර්ව්‍යාජ මිනිසෙකි. යහපත් ගුරුවරයෙකි. කලා ලෝකයටම හොඳ මිතුරෙකි.

ගී රැසක් පැසක් සේ උරමත දරාගෙන දිගු සෞන්දර්ය චාරිකාවක මම පියනැගුවෙමි. පිය නගමි. පින්න මලේ, නිල් නුවන්, කොපර කොපර, රජ්ජුරුවෝ උඩයි උඩයි, විලංගු මාලය, අත්තන මල් සේල ඇන්ද, එදා බෝ මැඩ, විලේ රුවට, මහා කලාකරුවන්, නෑගම් යනකොට, වැල්මී වැල්වල වැනි ඔබේ ගුණාත්මක සාහිත්‍ය සංයෝජනයෙන් පිරිපුන් ගී නිර්මාණ මගේ එම ගී පැස පැහැපත් කරයි. අර්ථවත් කරයි. ඒ ශක්තිය හෙටටත් මට ලබා දෙන්න.

ඔබ නිකම් ම නිකම් ගේය පද නිර්මාණකරුවකු නොවේ. පැරැණි සාහිත්‍ය පොතපතින්, ගමෙන් රටෙන්, සෞන්දර්යයෙන්, සංස්කෘතියෙන් පෝෂිත නිර්මාණකරුවකු බව මම ලොවට නොබියව පවසමි. ඔබෙන් අපට සමාජයට උගත හැකි දේ බොහෝ ය.

එතුමන්ට අපි නිවන් සුව පතමු ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *