බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යෙදවූ ස්ථාන පරීක්ෂාව අදත් (28)

බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යෙදවූ ස්ථාන පරීක්ෂාව අදත් (28)

*********************************************

බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යෙදවූ ස්ථාන පරීක්ෂාව අදත් (28)

(28.07.2021 – 09:20 +0530 – hirunews.lk/sinhala)

බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයට යෙද වූ ස්ථාන 30 කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ (27) කොළඹ නගරය තුළ පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ බුද්ධි තොරතුරු මත මෝදර සහ කොල්ලුපිටිය පොලිස් වසම්වල එම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි.

අදාළ මෙහෙයුම කොළඹ නගරයේ පොලිස් වසම්වල අද (28) දිනයේදී ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා ෴

******************************************

(28.07.2021 – 08:29 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 07 ක් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ විශේෂ කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා.

ඒ අනුව, එම කාරක සභාව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පස්වරු 02 ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමට හා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට මෙම විශේෂ කාරක සභාව පත් කර තිබෙනවා.

ඒ අනුව, මේ වනවිට ආරාධනා කර ඇති පක්ෂ අතරින් ලිබරල් පක්ෂය හා අකිල ඉලංගෙයි ද්‍රවිඩ මහා සභාව ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ 07 ක නියෝජිතයින් කාරක සභාව හමුවට පැමිණීමට නියමිතයි ෴

******************************************

(28.07.2021 – 08:55 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි වසර 3 තුල මිරිස් ආනයනය නතර කිරීමට රජය බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

ඒ එප්පාවල ප්‍රදේශයේ කාබනික පොහොර නිෂ්පාදනාගාරයක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර, සිය වී අස්වැන්න සඳහා නිසි මිලක් නොලැබෙන බවට වළව කලාපයේ ගොවීන් චෝදනා කරනවා.

වළව කලාපයේ මයුරපුර කොට්ඨාශයේ හෙක්ටයාර් 7500 ක් පමණ වී වගා කළ ගොවීන් මෙලෙස අස්වැන්න අඩුවීමේ හා නිසි මිලක් නොමැති වීමෙන් දැඩි අසීරුතාවට පත්ව සිටිනවා.

ඔවුන් සඳහන් කළේ නිසි කලට රසායනික පොහොර නොලැබීම හේතුවෙන් අස්වැන්න අඩු වූ බවයි.

මේ අතර, බදුරලිය – වලකඩ කාබනික කුරුඳු නිෂ්පාදන ගම්මානයක් නිරීක්ෂණය කිරීමට වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (27) පැමිණි අතර එහිදී ගොවීන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයා, ගොවීන් සමග සාකච්ඡාවක නිරත වුණා.

******************************************

(28.07.2021 – 10:12 +0530 – hirunews.lk/sinhala)

අද (28) දිනයේ දිවයින පුරා රෝහල් 100 ක විරෝධතා ව්‍යාපාරයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා අප සමඟ අදහස් දක්වමින් කියා සිටියේ ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට රජය අපොහොසත් වීම හේතුවෙන් අද (28) දිනයේ මධ්‍යහ්න 12 සිට 1 දක්වා එම විරෝධාවය පවත්වන බවයි ෴

******************************************

(28.07.2021 – 10:46 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබුවා.

ඔහුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගනිමින් තිබෙනවා.

මීට පෙර කර තිබූ දැනුම් දීමකට අනුව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අද (28) පෙරවරු 10 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඒ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගය නියෝජනය කරන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සමගින්.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් යළි ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

******************************************

රත්නපුරයේ පාසල් සිසුවෙක් හදිසියේ අතුරුදන්

(28.07.2021 – 11:38 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර හිදැල්ලන ආටිගල මාවතේ පදිංචි දාහතර (14) හැවිරිදි ලක්ෂාන් අබේරත්න අතිශය පිලිවෙලට එදිනෙදා කටයුතු සිදු කරන දරුවෙක්.

ඔහුගේ මව පවසන ආකාරයට ලක්ෂාන් ඇයට දක්වා ඇත්තේ පුදුමාකාර ආදරයක්.

නිතර සිය මවගේ ඕනෑ එපාකම් පිළිබඳව සොයා බලන ලක්ෂාන් පාසලේ වැඩ කටයුතු මෙන්ම අත් වැඩ වලට ද දක්ෂතා දක්වන දරුවෙක්.

තමන් එදිනෙදා සිදුකරන කටයුතු කාලසටහනකට අනුව සිදු කිරීමට පුරුදුව සිටි ලක්ෂාන්ගේ මේ හදිසි අතුරුදන්වීම නිවසේ සියල්ලටම ඇති කර ඇත්තේ අති විශාල කම්පනයක්.

සහෝදරියන් දෙදෙනා (2) සහ මව සමඟ ආදරයෙන් නිවසේ කල් ගෙවූ ලක්ෂාන් පසුගිය 25 වන දා අලුයම නිවසින් හදිසියේ බැහැර යනවා.

නිවැසියන්ට මෙන්ම ගම්වාසීන්ට ද ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරන මෙම අතුරුදන්වීම සිදුවී අද (28) වන විට දින හතරක් (4).

මඩකලපුව පොලිස් ස්ථානයේ සේවය කරන ලක්ෂාන්ගේ පියා පවසන්නේ සිය පුත්‍රයාට නිවස හැරදා යාමට කිසිදු හේතුවක් නොතිබූ බවයි.

ලක්ෂාන් නිවසින් අතුරුදන් වන දිනයේ ඔහු නිවසින් බැහැරව යන ආකාරය අසල පිහිටි සීසීටීවී කැමරාවක සටහන් වී තිබුණා.

එහි දැක්වුණේ පසු බෑගයක් කරේ එල්ලා ගත් ලක්ෂාන් සිය ජංගම දුරකථනය භාවිත කරමින් ඇවිද යන ආකාරයයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන රත්නපුර පොලිසියේ අවධානය යොමු වී ඇත්තේ මෙය තවත් ඔන්ලයින් තාක්ෂණ භාවිතය හේතුවෙන් සිදුකෙරුණු අවැඩක් ද යන්න පිළිබඳවයි.

කෙසේ වෙතත් මෙතෙක් අතුරුදන් වූ ලක්ෂාන් පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති අතර ඔහු පිළිබඳ යම්කිසි හෝඩුවාවක් හෝ දන්නා කෙනෙක් ඇත්නම් රත්නපුර පොලිසියට දන්වන ලෙස රත්නපුර පොලීසිය ඉල්ලා සිටිනවා.

(28.07.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – බටුහේන ප්‍රදේශයේ අතුරුදන් වූ 14 හැවිරිදි පාසල් සිසුවා සොයා ගැනීම සඳහා විශේෂ පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලීසිය සඳහන් කලේ ඒ අනුව අදාල සිසුවා භාවිතා කල දුරකථනයේ සංඥා වාර්තා ලබා ගැනීමට මේ වන විට පියවර ගෙන ඇති බවයි.

මෙලෙස අතුරුදන්වී ඇත්තේ රත්නපුර – බටුහේන ප්‍රදේශයේ පදිංචි, නුවන්ත ලක්ෂාන් අබේරත්න නැමැති රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්. ඔහුගේ පියා පොලිස් සාජන්වරයෙකු වන බව සඳහන්.

අදාල සිසුවා පසුගිය 24 වන සෙනසුරාදා රාත්‍රියේ සිය වැඩිමහල් සොහොයුරා සමග නින්දට ගොස් ඇති අතර පසුව තම ඇදුම් බෑගය, සිය සොහොයුරාගේ ජංගම දුරකථනය සහ රුපියල් 20,000 ක මුදලක් ද රැගෙන නිවසෙන් පිටත්ව ගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කලේ ප්‍රදේශයේ සිදුකල සීසීටීවී දත්ත පරීක්ෂා කිරීම් වලදී අදාල සිසුවා තනිවම මාර්ගයේ ගමන් කරන ආකාරය නිරීක්ෂණය වී ඇති බවයි.

අදාල සිසුවා පිළිබඳ තොරතුරක් වෙතොත් ලගම ඇති පොලීසියට දැනුම් දෙන ලෙසටයි පොලීසිය මහජනතාවට දැනුම් දී සිටින්නේ ෴

******************************************

(28.07.2021 – 12:12 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන පනත් කෙටුම්පතට අලුතින් සංශෝධන කීපයක් එක් කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

ඒ අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ජනතා විමුක්ති පෙරමුණ, සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ශව කිහිපයක් ගොනුකර තිබූ පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (28) කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා, අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර් වගන්ති 7 ක් සංශෝධනයට ලක් කිරීමට තීරණය කර ඇති බවයි ෴

******************************************

(28.07.2021 – 13:04 +0530 – hirunews.lk/sinhala)

යතුරුපැදිකරුවන් 6 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු ඊයේ (27) දිනය තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ අතර, ගල්කිරියාගම පොලිස් වසමේ තලාගල ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ යතුරු පැදියක ගැටීමෙන් වයස අවුරුදු 7 ක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, යතුරුපැදිකරු පළා ගොස් තිබෙනවා.

ආඩියාගල – අඹගස්වැව මාර්ගයේ 15 වැනි කිලෝමීටර් කණුව අසළ දී මෙම අනතුර සිදුව තිබුණා.

මාර්ගය අසළ පිහිටි සිය සියාගේ නිවසේ සිට තම නිවස වෙත යාම සඳහා රැඳි සිටි යෙතුම් තෙවිඳු නම් මෙම දරුවා අඹගස්වැව සිට පලාගල දෙසට ධාවනය වූ යතුරු පැදියක ගැටී තිබුණා.

අනතුරෙන් තුවාල ලැබූ යෙතුම් ප්‍රතිකාර සඳහා කලාවැව ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යාමට ප්‍රදේශවාසීන් කටයුතු කළා.

කෙසේ වෙතත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර, එහිදී දරුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සිදුකර පලා ගිය යතුරුපැදිකරු සොයා විශේෂ විමර්ශනයක් සිදුකරන අතර, ඊට පොලිස් නිල සුනඛයෙකුගේ සහය ද ලබාගෙන තිබුණා.

මේ අතර, බදුරලියේ සිට බණ්ඩාරගම දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් බණ්ඩාරගම – ගල්තුඩේ ප්‍රදේශයේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක ගැටී අනතුරට ලක්ව තිබුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ දෙපාවලට දැඩි හානි සිදුව තිබුණා.

අනතුරින් වෑන් රථයට දැඩි අලාභහානි සිදුව තිබූ අතර, එහි රියදුරු මත්පැන් පානය කර තිබීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

මේ අතර, යකල්ල, ගල්කුලම මාර්ගයේ කුට්ටිකුලම පාලම අසළ දී යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් වයස අවුරුදු 58 ක පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ගලෙන්බිඳුනුවැව පොලිසිය විමර්ශන සිදුකරනවා.

@@@@@@@@@@@@@@@@

(28.07.2021 – 07:47 +0530 – hirunews.lk/sinhala)

එන්නත්කරණයත් සමග රට සාමාන්‍යකරණයට එළැඹීමෙන් පසු අපනයන සහ සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක් ප්‍රවර්ධනයට සූදානම් බව ලංකා වාණිජ මණ්ඩලය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, ලංකා වාණිජ මණ්ඩලයට අලුතින් තේරීපත් වූ නිලධාරී මණ්ඩලය ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා සමග පැවති හමුවේදීයි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජනතාව ඉදිරියේ තැබූ වැඩපිලිවෙල කොරෝනා වසංගතය බාධාවක් කර නොගෙන රට තුල ක්‍රියාත්මක කර ඇති බව ලංකා වාණිජ මණ්ඩලයේ නිලධාරීන් එහිදී ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා. එසේම එය ඉවහල් කර ගනිමින් ආර්ථිකය නගා සිටුවීමේ වේගවත් වැඩපිලිවෙලකට තමන්ට දායක විය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

ලොව සෙසු රටවලට සාපේක්ෂව එන්නත්කරණය මගින් රට වේගයෙන් යථා තත්වයට රැගෙන ඒමට ජනාධිපතිවරයා රැගෙන යන වැඩපිළිවල ලංකා වාණිජ මණ්ඩලයේ පැසසුමට ලක්ව තිබෙනවා.

බ්‍රිතාන්‍ය සමග නිදහස් වෙළද ගිවිසුමකට එළඹ, අපනයන අවස්ථා පුළුල් කිරීමට ඇති හැකියාවද එම මණ්ඩලයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මීට අමතරව පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්තය සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර වල ප්‍රවර්ධනයට රජය ගෙන යන වැඩපිලිවෙල වාණිජ මණ්ඩලයේ ජාතික ප්‍රතිපත්ති කමිටුවල විශේෂ සැලකිල්ලට ගෙන ඇති බවද නිලධාරීන් විසින් සඳහන් කර තිබෙනවා.

මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ ක්‍රියාත්මක ඇතැම් නීති රීති හේතුවෙන් ආයෝජකයන් අධෛර්යමත්ව සිටින බවයි.

එවැනි බාධක ඉවත් කිරීමටත්, ඩිජිටල්කරණය මගින් අක්‍රමිකතා සහ දූෂණ වළක්වාලමින් අපනයනය දිරිගැන්වීම රජයේ ප්‍රමුඛ අරමුණ බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා ෴

++++++++++++++++++++

(28.07.2021 – 10:51 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ලබන මස මුල් සතියේ තවත් සයිනොෆාම් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 4 ක් වාණිජ පදනම මත ලබා ගන්නා බව බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළා. එය එක් තොගයක් ලෙස ශ්‍රී ලංකාව ලබා ගන්නා විශාලතම කොරෝනා එන්නත් තොගයයි.

එම එන්නත් තොගය ලබන අගෝස්තු 04 වනදා සහ 08 වනදා අතරතුර ශ්‍රී ලංකාවට ගුවන් මගින් රැගෙන ඒම සඳහා බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටිනවා.

අලුතින් ලබා ගැනෙන මිලියන 4 ක තොගය සමග ශ්‍රී ලංකාව, චීනයෙන් ලබා ගන්නා සයිනොෆාම් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 12 දක්වා ඉහළ යනවා.

ඒ අතුරෙන් එන්නත් මාත්‍රා මිලියන 2.7 ක්, චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඒවායි. ශ්‍රී ලංකාවට ඉතා නුදුරේදීම එන්නත්කරණ වැඩසටහන සාර්ථකව සම්පූර්ණ කරලීමට හැකිවනු ඇතැයි ද චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++++

(28.07.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම (2) ලබාගත් පුද්ගලයින්ට තෙවැනි (3) මාත්‍රාවක් ලබාදීම පිළිබඳව සලකා බලමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මේ අතර බස්නාහිර පළාතෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වරක් දහසේ (1000) සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ගෙවුණු දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 1,711 ක් හඳුනාගෙන ඇති අතර ඉන් 23 දෙනෙක් විදෙස්ගතව සිට දිවයිනට පැමිණි පුද්ගලයින්.

ගෙවුණු දිනයේ බස්නාහිර පළාතෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1019 ක්.

ඉන් වැඩිම ආසාදිතයින් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 481 ක්.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 310 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 228 ක් වාර්තා වුණා. මීට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 109 ක් වාර්තා වී තිබෙනවා.

පසුගිය 26 වැනිදා සිදුවූ කොවිඩ් මරණ 48 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (27) තහවුරු කළා. ඉන් 28 ක් පිරිමි පුද්ගලයන් වන අතර කාන්තාවන් 20 ක් වනවා. එම පිරිස අතුරින් 38 ක්ම අවුරුදු 60 ඉක්මවූවන්.

නව කොවිඩ් මරණ 48 ත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4195 දක්වා ඉහළ ගියා.

මේ අතර හැටන් දිසා මහේස්ත්‍රාගත් අධිකරණයේ රෙජිස්ටාර්වරයාට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අද (28) දිනයේ කැඳවීමට නියමිතව තිබූ නඩු වෙනත් දිනයකට කල් දමා තිබෙනවා.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගතවූ දිනයේදී ලබාදී ඇති එන්නත් මාත්‍රා ගණන 380,463 ක්.

ඒ යටතේ පුද්ගලයින් 338,914 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදී තිබෙනවා.

එහි දෙවන (2) මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 28,054 ක්.

එසේම, මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 13,465 දෙනෙකුට ලබාදී ඇති අතර ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 30 දෙනෙකුට ගෙවුණු දිනයේදී ලබා දී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාව ලබන මස මුල් සතියේ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4 ක් වාණිජ පදනම මත ලබා ගන්නා බව බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළා.

එය එක් තොගයක් ලෙස ශ්‍රී ලංකාව ලබා ගන්නා විශාලතම කොවිඩ් මර්දන එන්නත් තොගයයි.

එම එන්නත් තොගය ලබන අගෝස්තු 04 වනදා සහ 08 වනදා අතරතුර ශ්‍රී ලංකාවට ගුවන් මගින් රැගෙන ඒම සඳහා බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බව එම කාර්යාලය නිවේදනය කළා.

මේ අතර මෙරට රෝගී සත්කාරක සේවා සහ කොවිඩ් පාලනය වෙනුවෙන් වෙනුවෙන් මහත් කැප කිරීමක් සිදුකරන සුවසැරිය ගිලන් රථ සේවය පිහිටුවා අදට (28) වසර 5 ක් සපිරෙනවා.

දිනකට ඇමතුම් 5000 කට අධික ප්‍රමාණයක් සුවසැරිය ගිලන් රථ සේවයට ලැබෙන අතර, ගිලන් රථ 297 ක් මේ වනවිට සේවා කටයුතු වල නිතර වනවා.

තවත් ගිලන් රථ 112 ක් අලුතින් එක් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

වසර 5 ක කාලය තුල සුවසැරියට ලැබී ඇති ඇමතුම් සංඛ්‍යාව 4,170,125 ක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *