බදියුදීන්ගේ නිවසේදී පිලිස්සී මියගිය දැරියගේ ගමෙන් පොලීසියට ප්‍රකාශ කිහිපයක්

බදියුදීන්ගේ නිවසේදී පිලිස්සී මියගිය දැරියගේ ගමෙන් පොලීසියට ප්‍රකාශ කිහිපයක්

*********************************************

බදියුදීන්ගේ නිවසේදී පිලිස්සී මියගිය දැරියගේ ගමෙන් පොලීසියට ප්‍රකාශ කිහිපයක්

(27.07.2021 – 19:05 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටි බාලවයස්කාර දැරියක පිලිස්සි මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන විශේෂ පොලිස් කණ්ඩායම එම දැරිය පදිංචිව සිටි හැටන් – ඩයගම ප්‍රදේශයේ විමර්ශන කටයුතු අද (27) ආරම්භ කළා.

මේ අතර දැරියගේ මරණයට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා වතුකම්කරුවන් අද (27) දිනයෙත් විරෝධතාවල නිරත වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි ඉෂාලිනී ජුඩ් නමැති බාලවයස්කාර දැරිය පිළිස්සී මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු සිව්දෙනෙකු (4) ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය ඊයේ (26) නියෝග කලා.

ඒ අනුව සැකකරුවන් නිරෝධායනය සඳහා මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුවා.

අදාළ දැරිය කෘරත්වයට පත් කිරීම, බාල වයස්කාර දැරියක මෙහෙකාර සේවයේ යෙදවීම සහ බාල වයස්කාර දැරියක වෙළඳාම් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (26) නියෝග කලේ දැරියගේ සිරුර ගොඩගෙන ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් නැවතත් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

එමෙන්ම ඉෂාලිනී ජුඩ් දැරියගේ සිරුර භූමදාන කෙරුණු ඩයගම වත්තේ පොදු සුසාන භුමියට ඩයගම පොලිසිය විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

මේ අතර දැරිය පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන විශේෂ පොලිස් කණ්ඩායම දැරිය පදිංචිව සිටි හැටන් – ඩයගම ප්‍රදේශයේ විමර්ශණ කටයුතු අද (27) ආරම්භ කළා.

බදියුදීන් පවුලේ මෙහෙකාර කටයුතු සිදු කල සෙසු දරුවන්ගෙන් ද ඔවුන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි.

මේ අතර ඔවුන් ඉෂාලිනී ජුඩ් දැරිය පිළිස්සී මියයාම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ඩයගම ප්‍රදේශයේ වතු කම්කරුවන් අද (27) විරෝධතාවක නිරත වුණා.

ඩයගම නගරයෙන් ආරම්භ කළ විරෝධතා පා ගමන ඩයගම වතු යාය දක්වා පැමිණියා.

එහිදී ඉෂාලනී දැරියගේ සිරුර භූමදාන කෙරුණු සුසාන භූමියට පැමිණි විරෝධතාකරුවන් ඇයට පිං අනුමෝදන් කිරීමට ද කටයුතු කළා.

මේ අතර ඉෂාලිනි දැරියට සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වුණා.

මේ අතර බස්නාහිර පළාත තුළ වයස අවුරුදු16 ට අඩු ළමයින් මෙහෙකාර සේවයේ යොදවා ඇත්ද යන්න පිළිබඳව විශේෂ මෙහෙයුමක් අද (27) සිට ආරම්භ කරන අතර කොළඹ නගරය හෝ තදාසන්න ප්‍රදේශවල ළමුන් මෙහෙකාර සේවයේ යෙදවිම සම්බන්ධයෙන් තොරතුරැ ඇත්නම් 011 243 3333 අංකයට දැනුම් දිය හැකියි.

ඒ අනුව මෝදර පොලිසියේ නිලධාරීන් එම පොලිස් බල ප්‍රදේශයේ බාල වයස්කාර දරුවන් සේවයේ යොදවා ඇති ස්ථාන පරීක්ෂා කළා.

******************************************

(27.07.2021 – 17:10 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 26 වනදා කුරුණෑගල උහුමිය ප්‍රදේශයේ සිල්ලර බඩු වෙළඳසැලකට පුද්ගලයෙකු නිරුවතින් ඇතුළු වී භාණ්ඩ සොරාගන්නා අයුරු දැක්වෙන සීසීටීවී දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා.

අප ක‍ළ විමසීමකදී, මෙම වෙළඳසැලේ හිමිකරු සඳහන් කළේ, රුපියල් 75,000 ක් වටිනා භාණ්ඩ සොරා ගෙන ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වීරඹුගෙදර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලැබනවා.

අදාළ සිදුවීමේ වීඩියෝව :

******************************************

(27.07.2021 – 17:20 +0530 – hirunews.lk/sinhala)

යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් හෙට (28) දිනයේදී ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වලින් ඉවත් වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා.

******************************************

(27.07.2021 – 19:10 +0530 – hirunews.lk/sinhala)

දේශීය කොන්ත්‍රාත් සමාගමක් වෙත ලබාදී තිබූ ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියේ කොටසක ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘති භාර නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

මොරගහකන්ද ජලාශයේ සිට උතුරුමැද පළාතට ජලය රැගෙන යාම සඳහා ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ 2017 ජනවාරි මස 11 වැනිදායි. ඒ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර මත ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කළ මුදල රුපියල් මිලියන 65,000 ක්.

ඒ අනුව ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සමාගම් කිහිපයක් වෙත ටෙන්ඩර් මඟින් ලබාදී තිබුණා.

එලෙස ඉදිකිරිම් ලබාදුන් එක් දේශීය සමාගමකට පැවරූ කිලෝමීටර් 3 ක ඉදිකිරීම් ව්‍යාපෘතිය මේවනවිට නතර කර තිබෙනවා. ඒ කොන්ත්‍රාත්තුව වසර දෙකකට (2) අත්සන් කර තිබියදීත්, එය වසර 4 ක් යනතුරු අවසන් කිරීමට නොහැකිවීම නිසාවෙන්.

සම්පූර්ණ ආයෝජනයෙන් රුපියල් මිලියන 3740 ක වටිනාකමින් යුත් ඉදිකිරීම් ටෙන්ඩරයක් මෙම දේශීය සමාගමට ලබාදී තිබුණා.

ඇතැම් ස්ථානවල උමං මාර්ග ඉදිකිරීමට කැපූ විශාල අගල් ජලයෙන් පිරී පවතින අයුරු දක්නට ලැබෙන බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, ප්‍රදේශය භාර වනජීවී නිලධාරීයෙකු සඳහන් කර සිටියේ ඉදිකර ඇති දිය අගල් හේතුවෙන් ඇළහැර කලාපයේ ජීවත්වන වන සතුන්ගේ ජීවිතවලට බලපෑම් එල්ලවී ඇති බවයි.

ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට අපොහොසත් වූ සමාගම ව්‍යාපෘතිය සඳහා රැගෙන ආ උපකරණ ඉන් ඉවත් කර ගන්නා බව ද හිරු වාර්තාකරු සඳහන් කළා.

******************************************

(27.07.2021 – 19:13 +0530 – hirunews.lk/sinhala)

මහකන්නය වෙනුවෙන් ගොවීන් සඳහා අවශ්‍ය මෙට්‍රික් ටොන් ලක්ෂ හතහමාරක (7½) කාබනික පොහොර ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ එප්පාවල ප්‍රදේශයේ කාබනික පොහොර නිෂ්පාදනාගාරයක් අද (27) නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදීයි.

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සහ ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අද (27) දිනයේදීත් අනුරාධපුර ප්‍රදේශයේ කාබනික පොහොර මගින් සිදුකරන වගාවන් නිරීක්ෂණය කරනු ලැබුවා.

මේ අතර, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අනුරාධපුර ප්‍රදේශයේ කෘෂි නිලධාරින් සහ ගොවි සමිති සමග ප්‍රදේශයේ ගොවි ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක ද අද (27) නිරත වුණා.

ඒ අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදීයි.

******************************************

(27.07.2021 – 19:21 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සමග ආර්ථික සහ අනෙකුත් ක්ෂේත්‍රවල සහයෝගිතාව වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් මැදපෙරදිග සහ ආසියානු රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමඟ සාකච්ඡා කර තිබෙනවා.

එහිදී බංග්ලාදේශ මහකොමසාරිස්වරයා සඳහන් කර තිබුණේ කොළඹ වරාය පාදක කර ගනිමින් වැඩි බහාලුම් ප්‍රමාණයක් හුවමාරු කර ගැනීම පිළිබඳව පවතින අවස්ථා සොයා බලන බවයි.

දෙරටේ ආයෝජකයන්ට වැඩි ආයෝජන අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුවුණා.

ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය ග්‍රාමීය මට්ටමින් ප්‍රචලිත කිරීමට සහය ලබාදෙන බව පාකිස්ථානයේ වැඩබලන මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළ අතර, සෞදි තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපොල ආයෝජන සඳහා තම රටේ ආයෝජකයන් යොමුකරවීමට ප්‍රමුඛතාව ලබාදෙන බවයි.

දකුණු ආසියාවේ වෙළඳ කේන්ද්‍රය ලෙස නැගී සිටීමට ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බව සාකච්ඡාවට එක්වූ කුවේට් තානාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

******************************************

(27.07.2021 – 20:08 +0530 – hirunews.lk/sinhala)

ඇතැම් නීති – රීති හේතුවෙන් ආයෝජකයෝ අධෛර්යමත්ව සිටින බවත් එවැනි බාධක ඉවත් කිරීමටත් ඩිජිටල්කරණය මගින් අක්‍රමිකතා සහ දූෂණ වළක්වාලමින් අපනයනය දිරිගැන්වීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත් ජනාධිපතිවරයා එහිදී ලංකා වාණිජ මණ්ඩලයේ නිලධාරී මණ්ඩලය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

ලංකා වාණිජ මණ්ඩලයට අලුතින් තේරී පත් වූ නිලධාරී මණ්ඩලය අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනපති සමග පැවති හමුවේදීයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

රජයේ වගකීම වන්නේ රැකියා අවස්ථා නිර්මාණය කිරීම බවත්, තරුණ පරපුර නව ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන් ලෙස ඉදිරියට ඒමට අවස්ථාව උදාකිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

මේ අතර එන්නත්කරණයත් සමග රට සාමාන්‍යකරණයට එළැඹෙත්ම අපනයන සහ සංචාරක ක්ෂේත්‍ර ප්‍රවර්ධනයට සූදානම් බව ලංකා වාණිජ මණ්ඩලය ජනපතිට ප්‍රකාශ කර තිබෙනවා.

කොවිඩ් වසංගතය බාධාවක් කර නොගෙන ජනාධිපතිවරයා විසින් ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජනතාව ඉදිරියේ තැබූ වැඩපිළිවෙළ රට තුළ ක්‍රියාත්මක කර ඇති බවයි එහිදී ඔවුන් වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ.

එය ඉවහල් කරගනිමින් ආර්ථිකය නඟාසිටුවීමේ වේගවත් වැඩපිළිවෙළකට තමන්ට දායක විය හැකි බව ලංකා වාණිජ මණ්ඩලය එහිදී පෙන්වා දී තිබෙනවා.

1839 වසරේ දී ආරම්භ කර ඇති ලංකා වාණිජ මණ්ඩලයේ වර්තමාන සාමාජික සමාගම් සංඛ්‍යාව 560 ක් වන අතර දිවයිනේ සියලු පළාත් ආවරණය කෙරෙන පරිදි කලාපීය වාණිජ මණ්ඩල සමූහය ව්‍යාප්ත ව තිබෙනවා.

ලොව සෙසු රටවලට සාපේක්ෂව එන්නත්කරණය මගින් රට වේගයෙන් යථා තත්ත්වයට රැගෙන ඒමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළි‍වෙළ නව නිලධාරී මණ්ඩලය පැසසුමට ලක් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙන්නේ.

මාර්ග පද්ධතිය ප්‍රමුඛව යටිතලපහසුකම් වේගවත්ව සංවර්ධනයට ලක් කර තිබේ. එහි ප්‍රතිලාභ ඉදිරි කෙටි කාලය තුළ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට බෙහෙවින් ඉවහල් වනු ඇති බවද එහිදී ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වන්නේ.

බ්‍රිතාන්‍ය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹ, අපනයන අවස්ථා පුළුල් කිරීමට ඇති හැකියාව, පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්තය සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට රජය ගෙනයන වැඩපිළිවෙළ, වාණිජ මණ්ඩලයේ ජාතික ප්‍රතිපත්ති කමිටුවල විශේෂ සැලකිල්ලට ගෙන ඇති බව ද නිලධාරීන් එහිදී සඳහන් කර තිබෙනවා.

******************************************

ඉෂාලිනිගේ මරණය ගැන පළ වූ අදහස්

(27.07.2021 – 22:25 +0530 – hirunews.lk/sinhala)

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී පිලිස්සී මිය ගිය දැරිය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

******************************************

(27.07.2021 – 23:02 +0530 – hirunews.lk/sinhala)

රජයක් ලෙස රටේ අනාගතය වෙනුවෙන් ගත යුතු නිවැරදිම තීන්දුව කිසිඳු පැකිලීමකින් තොරව ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

විදේශ අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් කුරුණෑගලදී විවෘත කිරීමේ අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

@@@@@@@@@@@@@@@

(27.07.2021 – 18:37 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් ආසාදිතයින් 1,185 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 299,366 ක් දක්වා ඉහළ යනවා.

මේ අතර, කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ 1349 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 270,356 ක් දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ ෴

+++++++++++++++++++++

(27.07.2021 – 19:19 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් අතරින් 95% කට මේ වනවිට කොරෝනා එන්නත් ලබාදී අවසන් බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව දිනක් තුළදී ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ඊයේ (26) ලබාදී තිබූ අතර, එම සංඛ්‍යාව 437,878 ක්.

මේ වනවිට ශ්‍රී ලංකාවේ කුමන හෝ කොරෝනා එන්නතක පළමු (1) මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 78,39,638 ක් වන අතර, මාත්‍රා දෙකම (2) ලබාගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව දහ අට ලක්ෂ අසු දෙදහස් හයසිය අනු තුනක් (18,82,693) බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එසේම, අද (27) පෙරවරුවේ චීන රජය විසින් ප්‍රදානය කරන ලද සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16 ක් සහ සිරින්ජර් ලක්ෂ 16 ක් දිවයිනට රැගෙන එනු ලැබුවා.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අගෝස්තු මාසයේදී තවත් සයිනොෆාම් එන්නත් මිලියන 10 ක් පමණ දිවයිනට ලැබීමට නියමිත බවයි.

වයස අවුරුදු 18 ට අඩු පාසල් ළමයින් සඳහා කොරෝනා එන්නත් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති බවත්, ඒ අනුව ෆයිසර් එන්නත දරුවන්ට ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සාකච්ඡා සිදුකෙරෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ 1349 දෙනෙකු අද (27) දිනයේදී සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,70,356 ක්.

++++++++++++++++++++++

(27.07.2021 – 19:28 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිත මරණ 48 ක් ඊයේ (26) සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (27) දිනයේ තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,195 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

තවත් කොරෝනා ආසාදිතයන් 503 ක් වාර්තාවීමත් සමඟ අද (27) දිනට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,688 ක් දක්වා ඉහළගොස් තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *