ගුරු වෘත්තීය සමිති අරලියගහ මන්දිරයට – වැටුප් විෂමතා ඉවත් කිරීමේ පළමු අදියර ඉදිරි අයවැයෙන්

ගුරු වෘත්තීය සමිති අරලියගහ මන්දිරයට – වැටුප් විෂමතා ඉවත් කිරීමේ පළමු අදියර ඉදිරි අයවැයෙන්

*********************************************

ගුරු වෘත්තීය සමිති අරලියගහ මන්දිරයට – වැටුප් විෂමතා ඉවත් කිරීමේ පළමු අදියර ඉදිරි අයවැයෙන්

(27.07.2021 – 10:32 +0530 – hirunews.lk/sinhala)

ගුරුවිදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා වන පළමු (1) අදියර එළඹෙන අයවැයේදී ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා.

අද (27) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

මේ අතර, ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අනු කමිටුවක් පත්කර තිබෙනවා.

ඊයේ (26) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී මෙම අනුකමිටුව පත් කළ බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ.

එම අනු කමිටුව මේ වනවිට අරලියගහ මන්දිරයේ රැස්ව සිටින අතර, එම හමුව සඳහා ගුරු සංගම්ද කැඳවා ඇති බව සඳහන්.

මේ අතර, ගුරු විදුහල්පති වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් මුල් කර ගෙන ගුරු සංගම් ආරම්භ කල ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට (27) දින 16 ක් වනවා.

ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය අද (27) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවී මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වුණා.

******************************************

(27.07.2021 – 11:42 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලස් වශයෙන් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.

ඒ එම නඩුව අද (27) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ තම සේවාදායකයින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම පසුගිය 15 වනදා කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා බව දැනුම්දුන් බවයි.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය, නැවත නඩු පැවරීමේ අයිතිය රඳවා ගනිමින් මෙම අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කරගන්නා ලෙස අල්ලස් කොමිසමෙන් තමන්ට උපදෙස් ලැබී ඇති බව සඳහන් කළා.

ඒ අනුව අදාළ අදාල අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් දෙදෙනා (2) නිදහස් කිරීමටද නියෝග කරනු ලැබුවා ෴

******************************************

(27.07.2021 – 12:25 +0530 – hirunews.lk/sinhala)

මෙරටට අවශ්‍ය සේලයින් රට තුලම නිපදවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සේලයින් නිෂ්පාදනය, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මෙරට පෞද්ගලික ආයතනයක් සමඟ එක්ව සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

ලබන අගෝස්තු මාසයේ සිට එම නිෂ්පාදන මෙරට වෙළඳපොලට සැපයීමට කටයුතු සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමුකරනු ලැබුවා ෴

******************************************

(27.07.2021 – 12:50 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව ද සම්බාධක වලට යටත් කළ රටවල් අතරට ඇතුළත් කර ඇති බව කොළඹ – චීන තානාපති කාර්යාලය පවසනවා.

ග්ලෝබල් ටයිම්ස් වාර්තාවක් උපුටා දක්වමින් එය සඳහන් කළේ එක්සත් ජනපදය පුළුල් ඒකපාක්ෂික සම්බාධක සහ ස්වයං විනිශ්චයන් ක්‍රියාත්මක කරමින් අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට බලපෑම් කරන බවයි.

එහිදී ශ්‍රී ලංකාව, ඉන්දියාව හා චීනය ඇතුළු රටවල් 27 ක්, එක්සත් ජනපද සම්බාධක වලට යටත් කර ඇති බව චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.

එහිදී දකුණු ආසියානු බලවතා වන ඉන්දියාව මෙලෙස ඇමෙරිකානු සම්බාධක වලට ඉලක්ක වී ඇත්තේ රුසියාවෙන් ඩොලර් බිලියන ගණනක් වටිනා එස්-400 මිසයිල පද්ධතියක් රුසියාවෙන් මිලදී ගැනීම නිසා බව ද ග්ලෝබල් ටයිම්ස් පෙන්වා දෙනවා.

එක්සත් ජනපද රාජ්‍ය සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තු දත්ත උපයෝගි කර ගනිමින් අදාළ වාර්තාව සකස් කර ඇති බවයි කොළඹ චීන තානාපති කාර්යාලය සඳහන් කළේ ෴

******************************************

(27.07.2021 – 13:04 +0530 – hirunews.lk/sinhala)

හෙට (28) දිනයේ දිවයින පුරා රෝහල් 100 ක හෙද හෙදියන් මධ්‍යහන 12 සිට 1 දක්වා වැඩ වර්ජනයක යෙදෙන බව අද (27) රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කොලඹදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියා.

එහිදී ඔහු කියා සිටියේ ඔවුන් ඉල්ලූ ඉල්ලීම් නොලැබීම හේතුවෙන් මේ ආකාරයේ වැඩ වර්ජනයකට යන බවයි.

කෙසේ වෙතත් වැඩවර්ජන සිදු වුවද අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව කරගෙන යන බවත් ඒ අතරම විරෝධතාවයන් එල්ල කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

මෙහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ හෙට (28) දිනයේ දී මේ සඳහා නිසි පිළිතුරක් නොලැබුන හොත් ඉදිරි දින හතෙන් පසු වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බවයි ෴

******************************************

රිෂාඩ්ගේ නිවසේදී මියගිය දැරියගේ දේහය අද (27) ගොඩගනී – සුසාන භූමියට විශේෂ ආරක්ෂාවක්

(27.07.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යේදී සිටියදී මියගිය බාල වයස්කාර දැරියගේ සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා අද (27) ගොඩගැනීමට නියමිතව තිබෙනවා.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (26) නිකුත් කළ නියෝගයකට අනුවයි.

දේහය මිහිදන් කර ඇති ඩයගම වත්තේ පොදු සුසාන භූමියට විශේෂ පොලිස් ආරක්ෂාවක් සපයා තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, පිලිස්සී මියගිය දැරිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා පත් කර ඇති විශේෂ පොලිස් කණ්ඩායම, එම දැරිය පදිංචිව සිටි හැටන් ඩයගම ප්‍රදේශයට ගොස් විමර්ශන කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී ඉෂාලිනී ජූඩ් නැමැති බාල වයස්කාර දැරිය පිලිස්සී මිය යාම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුලු සිව්දෙනෙකු (4) ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඊයේ (26) නියෝග කළා.

ඒ අනුව, සැකකරුවන් නිරෝධායනය සඳහා යොමුකෙරුණේ මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරය වෙතයි.

දැරියගේ දේහය යළි ගොඩගැනීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (26) නියෝග කළේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරින්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් නැවතත් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී ඉෂාලිනී ජූඩ් නමැති මෙම බාලවයස්කාර දැරිය මියයාම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා දිඹුලවත්තේ වතුකම්කරුවන් මෙන්ම, මඩොල්කැලේ – මාවුස්සායායේ වතුකම්කරුවන් ද අද (27) විරෝධතාවයක නිරත වුණා.

මේ අතර, බස්නාහිර පළාත තුල වයස අවුරුදු 16 ට අඩු ළමයින් මෙහෙකාර සේවයේ යොදවා ඇත්ද යන්න පිළිබඳව විශේෂ බුද්ධි මෙහෙයුමක් අද සිට ක්‍රියාත්මක කරන අතර, ඒ පිලිබඳව තොරතුරු ඇත්නම් 011 243 3333 අංකයට තොරතුරු දැනුම් දිය හැකියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මියගිය දැරිය සම්බන්ධයෙන් මහා සංඝරත්නය, පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින්ද අදහස් පළ කළා.

******************************************

(27.07.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

කාබනික කෘෂි කර්මාන්තයක් සඳහා වූ ශ්‍රී ලංකා ප්‍රවේශයට තවත් රටවල් පෙළඹෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

******************************************

(27.07.2021 – 13:52 +0530 – hirunews.lk/sinhala)

කාබනික පොහොර යොදාගනිමින් ප්‍රදේශ කිහිපයක ගොවීන් සාර්ථක අස්වනු ලබා ගනිද්දී ඇතැම් ගොවීන් පවසන්නේ ඉන් තම වගාවන්ගෙන් බලාපොරොත්තු ප්‍රතිඵල නොලැබුණු බවයි.

මේ අතර වලපනේ – මාතැටිල්ල ගම්මානයේ බඩඉරිගු වගාව සේනා දළඹු උවදුරට ගොදුරු වී ඇති බවට එම ප්‍රදේශයේ ගොවීන් මැසිවිලි නගනවා.

@@@@@@@@@@@@@@@@

(27.07.2021 – 11:33 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නත් ලොව පුරා බෙදාහැරීමේ අසමානතාවක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

මේ වනවිට ලොව රටවල් සහ විශේෂිත ප්‍රදේශ 216 ක ලබාදී ඇති කොරෝනා එන්නත් මාත්‍රා සංඛ්‍යාව බිලියන 3.9 කට ආසන්නයි

කෙසේ නමුත්, ලෝක බැංකු දත්තවලට අනුව ඉහල ආදායම් ලබන රටවල සෑම සිය දෙනෙකුගෙන් 95.4 කට කොරෝනා එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාදී ඇති අතර, අඩුම ආදායම් ලබන රටවල් 29 සැලකූ විට එලෙස සෑම සිය දෙනෙකුගෙන්ම කොරෝනා එන්නතක් ලබාදී ඇත්තේ 1.5 කට පමණයි.

ලොව අඩු සහ මැදි ආදායම්ලාභී රටවල් 92 ක් සඳහා කොරෝනා එන්නත් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීමෙන් කොවැක්ස් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකයි ෴

+++++++++++++++++++

(27.07.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට රැගෙන ආ සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය අද (27) කෝටිය ඉක්මවා ගියා.

ඒ, චීනයේ ප්‍රදානයක් ලෙස හිමි වූ තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 16 ක් දිවයිනට රැගෙන ඒමත් සමඟයි.

එසේම, මෙරට දිනකදී ලබාදුන් වැඩිම එන්නත් මාත්‍රා සංඛ්‍යාවත් ඊයේ (26) දිනයේදී ලබාදී තිබෙනවා.

වීනය විසින් ප්‍රදානය කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16 ක් අද (27) ගුවන් යානා දෙකකින් (2) දිවයිනට රැගෙන ආවා.

මෙම එන්නත් තොගය මෙරටට හිමිවන්නේ සිරින්ජර් ලක්ෂ 16 ක්ද සමඟින් වීම විශේෂත්වයක්.

චීන රජය විසින් වෙනත් රාජ්‍යයකට ප්‍රදානයක් ලෙස ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණය මෙය වන අතර මෙරටට පරිත්‍යාගයක් ලෙස මෙතෙක් ලැබුණු විශාලතම එන්නත් තොගයද මෙයයි.

ඒ අනුව පළමු (1) එන්නත් තොගය රැගත් යූ.එල්. 865 දරණ ගුවන් යානය අද (27) පෙරවරු 08:05 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ අතර, එන්නත් මාත්‍රා තොගයේ දෙවැන්න (2) රැගත් යූ.එල්. 869 දරණ ගුවන් යානය අද (27) පෙරවරු 10:10 ට දිවයිනට ළඟා වුණා.

එම එන්නත් තොගය සංකේතාත්මකව මෙරටට පිරිනැමීම ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා විසින් සිදු කළ අතර සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් එය භාරගත්තා.

අද (27) දිනයේ මෙරටට රැගෙන ආ එන්නත් තොගයත් සමඟ වන විට මෙරටට රැගෙනවිත් ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 1,38,49,930 ක්.

ඒ අනුව සයිනොෆාම් එන්නත් මාත්‍රා එක්කෝටි හත්ලක්ෂයක් (1,07,00,000) , මොඩර්නා එන්නත් මාත්‍රා පහලොස් ලක්ෂ එකසීයක් (15,00,100), ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 1,264,000 ක්, ස්පුට්නික් එන්නත් මාත්‍රා 180,000 ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා 25,830 ක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

මේ අතර, කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ එක් (1) දිනකදී මෙරට තුළ ලබා දුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ඊයේ (26) ලබාදී තිබෙනවා. එලෙස ලබාදී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව 437,878 ක්.

ඒ යටතේ පුද්ගලයින් 356,628 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදී තිබෙනවා.

එහි දෙවන (2) මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 55,722 ක්.

එසේම, මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 25,420 දෙනෙකුට ලබාදී ඇති අතර, ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 108 දෙනෙකුට ගෙවුණු දිනයේදී ලබා දී තිබෙනවා.

මේ වනවිට මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ කුමන හෝ එන්නතක පළමු (1) මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 7,839,638 ක් වන අතර, මාත්‍රා දෙකම (2) ලබාගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1,882,693 ක්.

ඊයේ (26) දිනයේදී කොරෝනා ආසාදිතයින් 1,665 ක් මෙරටින් හඳුනාගත් අතර, ඉන් 12 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්.

ඊයේ (26) හඳුනාගත් ආසාදිතයින් අතරින් බස්නාහිර පළාතෙන් ආසාදිතයින් 834 ක් වාර්තා වූ අතර ඉන් වැඩිම ආසාදිතයින් වාර්තා වී තිබුණේ කළුතර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 293 ක්.

ඊට අමතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 273 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 268 දෙනෙක් වාර්තා වුණා.

මීට අමතරව යාපනය සහ බදුල්ල දිස්ත්‍රික්කවලින්ද ගෙවුණු දිනය තුළ ආසාදිතයින් 100 ඉක්මවමින් වාර්තා වුණා.

මේ අතර, කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා වෙළඳ සංකීර්ණයේ ආරක්ෂක සහ පවිත්‍රතා අංශවල සේවකයින් 13 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් පසුගිය සිකුරාදා එය තාවකාලිකව වසා දමා තිබුණා.

ආසාදිත සේවකයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 18 දෙනෙකු මේ වනවිට නිරෝධානයට යොමු කර ඇති අතර, වෙළඳ සංකීර්ණය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව එය ඊයේ (26) දිනයේදී විවෘත කර තිබෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින්ගේ ඔක්සිජන් අවශ්‍යතාවය ඉහළ ගොස් ඇති බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *