පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ටද ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වන බවට තොරතුරු

පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ටද ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වන බවට තොරතුරු

*********************************************

පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ටද ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වන බවට තොරතුරු

(27.07.2021 – 09:03 +0530 – hirunews.lk/sinhala)

පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ටද සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදනය විය හැකි බවට වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.

ඒ පිළිබඳව සාක්ෂි ලැබෙමින් පවතින බවයි වෛරස් සහ වසංගත රෝග විද්‍යාඥයින් උපුටා දක්වමින් රොයිටර් ප්‍රකාශ කළේ.

විශේෂයෙන් රටවල් රැසක් නිරෝධායන සීමා ලිහිල් කරමින් සිය ආර්ථිකයන් විවෘත කරන අවස්ථාවක මෙය නව අභියෝගයක් ලෙස සැලකිය හැකියි.

කොරෝනා එන්නත්කරණය වෛරස් ආසාදනය උත්සන්න වීම සහ රෝහල්ගත කිරීම අවම කිරීමට හේතුවන කරුණක්.

කෙසේ නමුත්, අවදානම් කාණ්ඩවල සිටින විශාල පිරිසක් තවමත් එන්නත්කරණය ලබා නොතිබීම ගැටළුවක් බවයි ලොව පුරා දත්ත විශ්ලේෂණය කරමින් වසංගත රෝග විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ෴

+++++++++++++++++++

(27.07.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16 ක් සහ සිරින්ජර ලක්ෂ 16 ක් අද (27) දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද (27) පෙරවරුවේ මෙම එන්නත් තොගය දිවයිනට ළඟා වනු ඇති බවයි.

තවත් ආසාදිතයන් 1,665 ඊයේ (26) දිනයේ අලුතින් හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 298,181 දක්වා ඉහළ ගියා.

ඊයේ (26) දිනයේ කොරෝනා ආසාදිතයන් 1,405 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 269,007 ක්.

ඊයේ (26) දිනයේ තවත් කොරෝනා මරණ 48 ක් අලුතින් වාර්තා වූ අතර, ඒ සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 4,147 දක්වා ඉහළ යනවා.

කොළඹින් වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගේ 20% – 30% අතර ප්‍රමාණයකට ආසාදනය වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය විය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

මේ අතර, නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ජන ජීවිතය හා මහජන සෞඛ්‍ය දැඩි අවදානමට ලක් කරමින් පොදු ස්ථානවල සිදු කරන උද්ඝෝෂණ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ලැබුණු පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

යුක්තිය උදෙසා ජනතාව නම් සංවිධානයේ සභාපති ධනුෂ්ක දිල්ෂාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොනු කළ පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති උපමාන වලට පටහැනිව කටයුතු කරමින් රෝග ව්‍යාප්තිය සඳහා යම් තැනැත්තෙක් කටයුතු කරන්නේද යන්න පිළිබඳව අදාළ විමර්ශනය ආරම්භ කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ ෴

(27.07.2021 – 08:30 +0530 – hirunews.lk/sinhala)

චීනය විසින් ප්‍රදානය කරන ලද තවත් කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද (27) පෙරවරුවේ දිවයිනට රැගෙන එනු ලැබුවා.

එම එන්නත් තොගය රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 865 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය චීනයේ බීජිං නුවර සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණියේ අද (27) පෙරවරු 08:05 ටයි.

අද (27) දිනයේදී චීනය ප්‍රදානය කරන ලද තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් දිවයිනට ලැබීමට නියමිත අතර, එම ගුවන් යානය පෙරවරු 10:10 ට කටුනායක ගුවන් තොටුපල වෙත ළඟාවනු ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

මෙම කොරෝනා එන්නත් සමඟ එන්නත්කරණ සිරින්ජ මිලියන 1.6 ක්ද චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරනු ලබනවා ෴

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් රැගත් ගුවන් යානයක් දිවයිනට. ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවට රැගෙන ආ මුළු සයිනොෆාම් එන්නත් සංඛ්‍යාව එක් කෝටි හත් ලක්ෂයක් (1,07,00,000) ලෙස සටහන් වෙයි ෴

+++++++++++++++++++++

(27.07.2021 – 08:40 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව දිනක් තුළදී ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණය ඊයේ (26) ලබාදී තිබෙනවා.

ඒ අනුව ඊයේ (26) දිනයේදී පුද්ගලයින් 4,37,878 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 3,56,628 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 55,722 ක්.

එසේම, ඊයේ (26) දිනයේදී මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 25,240 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ෆයිසර් එන්නත් මාත්‍රා 108 ක්ද ඊයේ (26) ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළා.

මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නතක පළමු (1) මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 78,39,638 ක් වන අතර, මාත්‍රා දෙකම (2) ලබාගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 18,82,693 ක් ෴

++++++++++++++++++

(27.07.2021 – 09:25 +0530 – hirunews.lk/sinhala)

ජගත් සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ දැනට ලැබී ඇති කොරෝනා එන්නත්වලට අමතරව අතිරේක එන්නත් මාත්‍රා මිලියන 430 ක් මිලදී ගැනීම සඳහා දුප්පත් රටවලට සහය වීමට ලෝක බැංකුව ඉදිරිපත් වී සිටිනවා.

කොවැක්ස් වැඩසටහන ආරම්භ කෙරුණේ සංවර්ධනය වෙමින් පවත්නා රටවල් 92 ක් සඳහා සහනදායී ලෙස කොරෝනා එන්නත් බෙදා හැරීමටයි.

ලෝක බැංකුව සකස් කර ඇති නව යාන්ත්‍රණය අනුව ලබාදෙන අතිරේක එන්නත් මගින් ලොව පුරා මිලියන 250 ක් ජනතාව එන්නත්කරණය කළ හැකි බව සඳහන්.

කොවැක්ස් වැඩසටහන යටතේ දැනට එන්නත් ලැබුණු රටවලට මේ වසර අග සිට 2022 වසරේ මැද භාගය දක්වා මෙම අතිරේක කොරෝනා එන්නත් ලබාදීමටයි ලෝක බැංකුව සැලසුම් කර ඇත්තේ.

එමෙන්ම, අදාළ රටවලට තම ප්‍රමුඛතාව අනුව එන්නත් තෝරා ගැනීමේ නම්‍යශීලිතාවක්ද ඇති කරන බව ලෝක බැංකුව අවධාරණය කළා ෴

@@@@@@@@@@@@@@@@

(27.07.2021 – 07:45 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක රට පුරා අලංකාර ලෙස නගර 100 ක් එකවර සංවර්ධනය කිරීමේ වැඩසටහන අද (27) කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරිපිටියෙන් ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.

මෙම ව්‍යාපෘතියට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නගර 08 ක් තෝරා ගෙන තිබෙනවා.

වසර ගණනාවක් තිස්සේ නිසි ලෙස සංවර්ධනයට ලක් නොවූ නගර මේ යටතේ අලංකාර කර සංවර්ධනය කෙරෙනු ඇති.

ප්‍රධාන හා ප්‍රාදේශීය නගර අතර පවතින අසමතුලිතතාව අවම කර සියලු ජනතාවට සමාන නාගරික පහසුකම් ලබාදීම මගින් ඔවුන්ගේ සමාජ, දේශපාලන හා ආර්ථික අවශ්‍යතාවයන් ඉටු කිරීම මෙහි මූලික අරමුණ වනවා.

එමෙන්ම, ඇවිදින මංතීරු ඉදිකිරීම, බැස් නැවතුම්පොල විධිමත් ලෙස සහ නිවැරදි සැලසුමකට අනුව නැවත සැකසීම, වීථි ලාම්පු සැකසීම, ළමා උද්‍යාන ඉදිකිරීම මෙන්ම වට රවුම් අලුතින් ඉදිකිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙනු ඇති.

සෑම නගරයකම දක්නට ලැබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, අක්‍රමවත් පදික වේදිකා සකස් කිරීම, අලුත්වැඩියා කිරීම් සහ අලුතින් ඉදිකිරීම් මෙන්ම තවත් සංවර්ධන කටයුතු රැසක් මෙම ව්‍යාපෘතියට අයත් වනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ නගර 07 ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ නගර 10 ක්, කළුතර, ගාල්ල, කෑගල්ල, අනුරාධපුරය මෙන්ම, පොළොන්නරුව දිස්ත්‍රික්කවල නගර 04 බැගින් මෙන්ම හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවල නගර 06 බැගින් මෙම සංවර්ධන ව්‍යාපෘතියට තෝරා ගෙන තිබෙනවා.

එමෙන්ම, රත්නපුර දිස්ත්‍රික්කයේ නගර 05 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගර 09 ක්, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්ක වල නගර 03 බැගින් මෙන්ම, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්ක වලින් නගර දෙක බැගින් මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට නියමිතයි ෴

(27.07.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා නගර 100 ක් එකවර සංවර්ධනය කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් අද (27) පෙරවරුවේ ආරම්භ කෙරුණා.

මෙම ව්‍යාපෘතිය සඳහා සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ තෝරාගෙන ඇති නගර සංඛ්‍යාව 8 ක්.

දිවයින පුරා අලංකාර ලෙස නගර 100 එකවර සංවර්ධනය කිරීමේ වැඩසටහන කුරුණෑගල – හිරිපිටියෙන් අද (27)ආරම්භ වූ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊට එක්වුණා.

******************************************

(27.07.2021 – 07:54 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියනයක විදේශ ණය නියමිත පරිදි පියවීමට අද (27) දිනයේදී කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

එම ණය පියවීමෙන් පසු මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 03 දක්වා පහත වැටුණද එය අස්ථාවරත්වයක් පිළිඹිඹු නොකරන බවයි ඔහු සඳහන් කළේ.

වඩාත් වැදගත් වන්නේ මුදල් ප්‍රවාහය මිස නිශ්චිත වේලාවක සංචිත මට්ටම නොවන බව අවධාරණය කරන රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ සංචිතයේ තාවකාලික උච්චාවචනයන් සිදුවිය හැකි බව පළපුරුදු මූල්‍ය කළමනාකරුවන් දැන සිටින කරුණක් බවයි.

එහෙත් විපක්ෂ කණ්ඩායම් කිහිපයක් මෙරට විදේශ විනිමය සංචිත මට්ටම පිළිබඳව සමපේක්ෂණය කරමින් අස්ථාවරත්වයක් පවතින බව ප්‍රකාශ කිරීමට උත්සාහ කරන්නේ යැයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

එමෙන්ම, ඉදිරි මාස කිහිපය තුළ අපේක්ෂිත විදේශ විනිමය ප්‍රවාහය සැලකිල්ලට ගත් විට විදේශ සංචිතය ඩොලර් බිලියන 07 දක්වා ඉහළ නැංවීමට හැකියාවක් පවතින බවද මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දෙනවා.

ඉදිරි මාස 03 තුළ ශ්‍රී ලංකාවට ගලා එන විදේශ විනිමය ප්‍රවාහය අමෙරිකානු ඩොලර් මිලියන 2650 කට ආසන්න වන බව ඔහුගේ අදහසයි.

ඉන්දියාව සමඟ ඩොලර් මිලියන 400 ක ස්වැප් විනිමය හුවමාරුව, බංග්ලාදේශය සමඟ ඩොලර් මිලියන 250 ක ස්වැප් විනිමය හුවමාරුව මෙන්ම චීන සංවර්ධන බැංකුවෙන් ලැබීමට නියමිත ඩොලර් මිලියන 300 ක ණය මුදලද ඊට ඇතුළත් වනවා.

මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ලබා ගැනීම් සහ හිමිකම් වෙන් කිරීම් ඩොලර් මිලියන 800 ක් පමණ වන අතර, මහ බැංකුව ඉදිරි මාස 03 තුළ විදේශ විනිමය වෙළඳපොලෙන් ඩොලර් මිලියන 200 ක් මිලදී ගැනීමට අපේක්ෂිතයි.

එමෙන්ම, දේශීය බැංකු සතු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර තුළින් ඩොලර් මිලියන 300 ක් රට තුළට ගලා එනු ඇතැයි අපේක්ෂා කරන අතර, අඩු උපයෝගීතා වත්කම් උපයෝගී කරගනිමින් අපේක්ෂිත විනිමය ගලා ඒම ඩොලර් මිලියන 400 ක් පමණ වනු ඇති.

අමෙරිකානු ඩොලර් මිලියන 1500 ක මුදලක් සඳහා මහ බැංකුව, මහජන චීන බැංකුව සමඟ ස්වැප් විනිමය හුවමාරුවක් ලෙස ලබා ගැනීමට සාකච්ඡා කර ඇති අතර, එහි ඵලදායීතා සංචිතවල කොටසක්ද විදේශ සංචිතයට එක්කළ හැකියි.

මීට අමතරව වසරේ ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ඇතුළු විදේශ ණය සියල්ලම පාහේ ගෙවා දැමීමට කටයුතු කිරීමෙන්, එවැනි කල් පිරීම් විදේශ සංචිතය අඩු කිරීමට හේතු නොවනු ඇති බවයි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දෙන්නේ ෴

******************************************

(27.07.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව විසඳීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අනු කමිටුවක් පත්කර තිබෙනවා.

ඊයේ (26) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී මෙම අනුකමිටුව පත් කළ බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ.

මේ අතර, එම අනු කමිටුව අද (27) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී රැස්වන අතර, එම හමුව සඳහා ගුරු සංගම්ද කැඳවා ඇති බවයි උදය ගම්මන්පිල අමාත්‍යවරයා ‘හිරු ටී.වී. සලකුණ’ වැඩසටහනට එක්වෙමින් ඊයේ (26) රාත්‍රියේ සඳහන් කළේ.

මේ අතර, ගුරු විදුහල්පති වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් මුල් කර ගෙන ගුරු සංගම් ආරම්භ කල ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට (27) දින 16 ක් වනවා ෴

ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමේ මූලික අදියර ඉදිරි අයවැයේදී ක්‍රියාත්මක කරන බව, සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියයි ෴

******************************************

(27.07.2021 – 08:05 +0530 – hirunews.lk/sinhala)

ලෝක හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා පිළිබඳ දිනය අදට (27) යෙදී තිබෙනවා.

මෙවර එය සිහි කැඳවන්නේ ‘සුවැති මුවකට පුවක් නවතමු’ යන්න තේමා කර ගනිමින්.

මේ අතර, ‘මුඛ පිළිකා වැඩියෙන්ම වාර්තා වන රටවල් අතර 2 වන ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ ඇති බව’ ජාතික පිළිකා මර්ධන ඒකකය පවසනවා.

එම ඒකකය සඳහන් කලේ වසරකට මෙරටින් පිළිකා රෝගීන් 31,800 ක් පමණ වාර්තා වන බවයි.

ඉන් 2,700 ක් පමණ මුඛ පිළිකා රෝගීන්.

මුඛ පිළිකා, කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි පුද්ගලයන් අතර බහුලව වාර්තා වන අතර ‘පුවක්, දුම්කොළ සහ දුම්වැටි භාවිතය’ ඊට ප්‍රධානම හේතුව ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අවුරුදු 40 ට වැඩි පුද්ගලයන් මුඛ පිළිකා වලට බහුලව ගොදුරු වන පුද්ගලයන් ලෙස හඳුනාගෙන ඇති බවයි ජාතික පිළිකා මර්දන ඒකකය සඳහන් කළේ.

එමෙන්ම, පුවක් භාවිතය හේතුවෙන් ඇතිවිය හැකි මුඛ ශ්ලේෂ්මල ෆයිබ්‍රෝසියා රෝගී තත්වය මුඛ පිළිකා දක්වා වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බව දන්ත වෛද්‍ය විශේෂඥ උදය උස්ගොඩආරච්චි මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ගතවූ දශක තුනක (3) කාලය තුළ මෙම රෝගී තත්ත්වය හට ගැනීම නව (9) ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

******************************************

(27.07.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

මෙතෙක් රක්ෂිත බවට පත් නොකළ හෙක්ටයාර 40,000 ක භූමි ප්‍රමාණයක් රක්ෂිත බවට පත් කිරීම සඳහා වන ගැසට් නිවේදනවලට අත්සන් තබා ඇති බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසනවා.

අම්පාර – තිරික්කෝවිල් ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙරට කඩොලාන පරිසර කලාප අක්කර 5,000 ක් තවමත් රක්ෂිත බවට පත් කර නොමැති බවයි.

මෙරට මුහුදු තීරය ආශ්‍රිතව පවතින කඩොලාන කලාපය හෙක්ටයාර 12,000 ක්. ඉන් සියයට 80 ක් විනාශ වී ඇති බවටයි වනජීවී රාජ්‍ය අමාත්‍යංශයට තොරතුරු වාර්තා වී ඇත්තේ ෴

******************************************

ඉෂාලිනි දැරිය ගැන තොරතුරු හොයන්න ඩයගමට ගිය පොලිස් කණ්ඩායම පරීක්ෂණ අරඹයි

(27.07.2021 – 08:34 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී 16 හැවිරිදි ඉෂාලිනී දැරිය පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන විශේෂ පොලිස් කණ්ඩායම එම දැරිය පදිංචිව සිටි හැටන් – ඩයගම ප්‍රදේශයේ විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා එම පොලිස් කණ්ඩායම ඊයේ (26) පස්වරුවේ කොළඹින් පිටත්ව ගිය අතර බදියුදීන් පවුලේ මෙහෙකාර කටයුතු සිදු කළ සෙසු දරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමද සිදුකරනු ඇති.

බදියුදීන් පවුලේ මෙහෙකාර සේවය සඳහා ශංකර් නැමැති තැරැවුකරු විසින් මීට පෙර අවස්ථා කිහිපයකදී දරුවන් 11 දෙනෙකු අලෙවි කර ඇති බවද අධිකරණයේදී හෙළිදරව් වුණා ෴

******************************************

(27.07.2021 – 09:36 +0530 – hirunews.lk/sinhala)

වාහන කුලියට ලබාදෙන ආයතනවලින් වාහන ලබාගෙන ඒවා විකිණීමේ ජාවාරමක නියැලුණු පුද්ගලයෙකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 32 හැවිරිදි වියේ පසුවන ‘ප්‍රමුදිත අරලිය වික්‍රමසිංහ’ නම් මහනුවර, කොටුගොඩැල්ල වීදිය ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

හෝමාගම ප්‍රදේශයේ වාහන කුලියට ලබාදෙන ස්ථානයකින් රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා වාහනයක් සති දෙකක (2) කාලයක් සඳහා ලබාගෙන ඇති අතර එලෙස ලබාගෙන ඔහු අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඔහු විසින් වාහන කුලියට ලබාදෙන ආයතනය වෙත ලබාදී ඇති ලේඛන ද ව්‍යාජ ඒවා බවටයි අනාවරණය ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනවලට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ සැකකරු සම්බන්ධයෙන් වංචා පිළිබඳව පැමිණිලි 48 ක් පමණ ලැබී ඇති බවයි.

සැකකරු සම්බන්ධයෙන් මහනුවර අධිකරණය හමුවේ විවෘත වරෙන්තු 06 ක් ද පවතින බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

මොහු අත්අඩංගුවට ගෙන ඊයේ (26) දිනයේදී හෝමාගම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *