රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී මියගිය දැරියගේ මරණයේ හෙළි නොවූ රහස් රැසක් එළියට

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී මියගිය දැරියගේ මරණයේ හෙළි නොවූ රහස් රැසක් එළියට

*********************************************

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී මියගිය දැරියගේ මරණයේ හෙළි නොවූ රහස් රැසක් එළියට

(26.07.2021 – 19:47 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටි මෙහෙකාර දැරියක පිලිස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුලු සැකකරුවන් සිව්දෙනා (4) අගෝස්තු 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අදාළ නඩුව කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා පැවසුවේ රිෂාඩ් බදියුදින් මන්ත්‍රිවරයාද මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා මෙහිදී විමසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ටද වයස අවුරුදු 16 ක දියණියක සිටියදී එම වයසේම දරුවෙකු මෙහෙකාර සේවයේ යෙදවීමට තරම් සංවේදී නොවුණේ ඇයිද යන්නයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී ඉෂාලිනී ජුඩ් නමැති බාලවයස්කාර දැරිය පිළිස්සී මියයාම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු සිව්දෙනෙකු (4) පසුගියදා අත්අඩංගුවට ගත්තා.

අදාළ දැරිය කෘරත්වයට පත් කිරීම, බාල වයස්කාර දැරියක මෙහෙකාර සේවයේ යෙදවීම සහ බාල වයස්කාර දැරියක වෙළඳාම් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

ඊට අමතරව රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සොහොයුරා වන ෂිහාබ්දීන් ඉස්මදීන් අත්අඩංගුවට ගනු ලැබුවේ, රිෂාඩ් බදියුදීන් අමාත්‍ය ධුරය දරන සමයේ ඔහුගේ නිල නිවසේ සේවය කළ තරුණියක අවස්ථා දෙකකදී (2) දූෂණයට ලක් කිරීමේ චෝදනා මතයි.

එම සැකකරුවන් සිව් දෙනාම (4) පෙරේදා කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කෙරුණා.

ඒ අනුව රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ බිරිඳ කිරුළපන පොලිසියේත්, ඇගේ පියා, සහෝදරයා සහ බදියුදීන් පවුලට දැරිය අලෙවි කළ තැරැව්කරු බොරැල්ල පොලිසියේත් රඳවාගෙන ප්‍රශ්න කෙරුණා.

සැකකරුවන් අද (26) අධිකරණ පරිශ්‍රය වෙත රැගෙන ආවේ ඔවුන්ට අධිකරණ වෛද්‍ය නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

නඩුව කැඳවූ අවස්ථාවේදී මෙතෙක් සිදුකළ විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් පිටු 8 කින් යුත් වාර්තාවක් පොලිස් නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළා.

අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකළා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් :

අනාවරණය වූ කරුණු අනුව දැරියට අනතුර සිදුව තිබෙන්නේ පෙරවරු 06:45 ට පමණ. රෝහල්ගත කරලා තිබෙන්නේ උදේ 08:20 ට පමණ. විමර්ශකයෝ ගෙදරට ගියාට පසුව කිව්වේ මේක ස්වයං ගිනි තබා ගැනීමක් කියලා වුණාට දැරිය හිටපු කාමරයෙන් භූමිතෙල් බෝතලයක් සහ කහපාට ලයිටරයක් සොයාගන්න පුළුවන් වුණා. මීට පෙර මේ ගෙදර මෙහෙකාර සේවයේ සිටි වෙල්ලසාමි වල්ලිඅම්මා නම් තැනැත්තියගෙන් ගත් ප්‍රකාශය අනුව ඇය කියා තිබෙනවා මේ ගෙදරට කිසිම දවසක භූමිතෙල් ගෙනැවිත් නෑ කියලා. රිෂාඩ්ගේ බිරිඳගේ මව කියනවා ඇයගේ ප්‍රකාශයේදී අවුරුදු එකහමාරකට (1½) කලින් රියදුරු ලවා භූමිතෙල් ගෙන්නුවා කියලා. රියදුරුගේ ප්‍රකාශයේ කියනවා එලෙස ගෙනාවේ නැහැ කියලා. දැරිය පිළිස්සුනාට පස්සේ ඇයව රෝහලට ගෙනියන්න 1990 ගිලන්‍ රථයක් එනකල් ඉඳලා. බෞද්ධාලෝක මාවතේ ගෙවල් දෙකක් (2) සහ වාහන තියන උදවිය තමයි එහෙම ක්‍රියා කරලා තියෙන්නේ. දැරිය රෝහල්ගත කළාට පසු ඩයගම සිට මව්පියන් ඇවිත් තිබුණා රෝහලට. එතනදිත් දැරිය එක්ක කතාකරන්න අම්මට ඉඩ දීලා නෑ. දැරියගේ සහෝදරයට එතන හිටපු පොලිස් ඇඳුමින් සැරසුණු කෙනෙක් කියලා තියෙනවා, “මේ ගෙදර අය ඕනකමින් පිච්චුවේ නැහැ. මේක ඉතින් දිගට ඇදන් යන්න ඕනෙ නෑ.. පොලිසි යන්න ඕනෙ නෑ” කියලා. ගෙදර කෙනෙක් 50,000 කුත් සහෝදරයට දීලා තියෙනවා මරණෙ වැඩවලට කියලා. ඒ අනුව සිද්ධිය යටපත් කිරීමට ක්‍රියාකර ඇති ආකාරය මනාව පැහැදිලි නොවන්නේද ස්වාමිනී? ඒ වගේම ස්වාමීනි බදියුදීන් බිරිඳගේ පියා මේ දැරියව රෝහලට ඇතුළත් කරද්දී නම දීලා තියෙන්නේ සිංහල නමක් විදියට ඉෂානි කියලා. වයස 18 ක් කියල සටහන් කරලා. මේ දැරියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රබල සැකයක් මතුවෙනවා ස්වාමීනි ඒ නිසා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය :

මේ දැරිවිය කිසි අවස්ථාවක කතා කරලා නැත්ද මේ සිද්ධියෙන් පසුව ?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් :

කතා කළා ස්වාමීනි, විමර්ශකයන්ට කෙටි ප්‍රකාශයක් දීලා තිබෙනවා රෝහලේදී. “මාව චුට්ටක් උස්සන්න. ගහන්න එපා… ඇයි ඔය ෆෝන් එක තියන්නේ.. ගහන්න එපා.” කියලා දැරිය කියලා තියෙනවා ස්වාමීනි. වෛද්‍ය වාර්තාවල මෙය ස්වයංව ඇතිවූ පිළිස්සුම් තුවාල කියන හැම තැනකම ප්‍රශ්නාර්ථ ලකුණු වෛද්‍යවරුන් විසින්ම යොදා තිබෙනවා. ස්වාමීනි, ඉෂාලිනීගේ පියාගේ ප්‍රකාශයට අනුව ඔහුට රිෂාඩ් බදියුදීන්ගේ නෝනගේ අම්මා කියලා තිබෙනවා නූලක් පත්තුකරන්න ගිහින් ගිනිගෙන කියලා. නමුත් බොරැල්ල පොලිසියට දුන් ප්‍රකාශයේ තියෙනවා දැරිය කෑගහන සද්දෙ ඇහිලා බලනකොට ගිනි ගනිමින් සිටියා කියලා. ස්වාමීනි මීට පෙර තැරැව්කාර ශංකර් විසින් ඉෂාලිනීගේ අම්මාට කියලා තිබෙනවා දුව කියනවා කියලා තමන්ට නිවැසියන් පහරදෙනවා කියලා. මේ නිසා ජූලි 06 ඉෂාලිනිගේ අම්මා දුවව බලන්න එනවා කියලා දැනුම් දී තිබෙනවා. එතකන් ගහන්න එපා කියලත් දැනුම් දී තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය :

ඒ කියන්නේ දැරිය පිළිස්සෙන්න කලින් දවසේ දැරිය දැනගන්නවා නේද හෙට අම්මා එනවා කියලා ?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් :

ඔව් ස්වාමීනි දන්නවා. ඒ නිසා මෙය සියදිවි නසාගැනීමක් කියන ප්‍රකාශය පිළිගන්න බෑ. මිනීමැරුමක් බවට සැකපළ වෙන්නේ මේ අනුවයි “ස්වාමීනි විශේෂ කාරණයක් සඳහන් කළ යුතුයි. මේ නිවසේ හිමිකරු රිෂාඩ් බදියුදීන් ව්‍යවස්ථාදායකය නියෝජනය කරන කෙනෙක්. ඔහු මේ වනවිට පොදු දේපළ සාවද්‍ය පරිහරණ නඩුවකට ඇප මත මුදාහැර සිටින අයෙක්. ඒ ඉඳිමින් තමයි මේ මිනිස් වෙළඳාම් කටයුත්තට සම්බන්ධ වෙන්නේ. ඔහු තමයි මේ දැරිවියව ගබඩා කාමරයක ලයිට් නැතිව රැඳෙව්වේ. මේ තත්ත්වයට නීති හදන තැන ඉන්න ගෘහ මූලිකයා වගකිව යුතුයි. ඔහු මේ වනවිට තවත් නඩුකටයුත්තකට යටත්ව ඉන්නේ. ඔහුව අනිවාර්යයෙන්ම ඉදිරියේදී මේ නඩුවේ සැකකරුවකු ලෙස නම් කිරීමට කටයුතු සිදුකරනවා ස්වාමිනි. මේ දැරිය කියලා තිබෙනවා පහරදිමක් වුණා කියලා. නමුත් දැරියගේ මරණ පරීක්ෂණය නිවැරදිව වූවාදැයි සැකයක් මතුවෙනවා. මේ නිසා ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් පත්කරලා මරණ පරීක්ෂණ වාර්තාවක් ගන්න ඉල්ලා සිටිනවා. ඒවගේම මේ නිවසේ සී.සී.ටී.වී 8 ක් තිබුණත් සිද්ධිය වුණ දවසේ උදේ 06:30 න් පස්සේ ඉන් එක කැමරාවක් ක්‍රියාවිරහිත වෙලා තිබෙනවා. ඒ ගැනත් පරීක්ෂා කළ යුතුයි. දුරකථන දත්ත විශ්ලේෂණයක් ද සිදුකළ යුතුයි. මේ දැරියට සිදුවූ ඛේදවාචකය සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් සහ මහජන කැලඹීමක් ඇතිවෙලා තිබෙනවා මේ වෙනකොට. මේ නිසා සැකකරුවන්ට ඇප ලබා දීමට පැමිණිල්ල දැඩිව විරුද්ධ වෙනවා.

අනතුරුව සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ කණ්ඩායම් ඇප ඉල්ලීම් සිදුකරමින් කරණු දැක්වීම් සිදුකළා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය :

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීම අනුව සිරුර ගොඩ ගෙන යළි පරීක්ෂණ සිදුකිරීමට ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනෙකු (3) පත් කරන්න නියෝග කරනවා. ඒ අනුව එම වාර්තාව ඉදිරිපත් කරන්න. දැරිය පිළිස්සීමට ලක්ව රෝහල්ගත කළ අවස්ථාවේ සත්‍ය කරුණු හිතාමතා වසන් කිරීමට සැකකාරියගේ පියා කටයුතු කර ඇති ආකාරය පෙනී යනවා. මෙම සැකකරුවන් සමාජයේ පිළිගැනීමක් සහිත ඉහළ පුද්ගලයින් සමඟ සබඳතා පවතින අය හෙයින් ඔවුන්ව මෙම අවස්ථාවේ ඇප මත මුදා හැරියොත් සාක්ෂිවලට බලපෑම් කිරීම, සාක්ෂි අතුරුදන් කිරීම හෝ විනාශ කිරීමට හැකියාවක් ඇති නිසා සැකකරුවන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරනවා.

ඒ අනුව රිෂාඩ් බදියුදීන්ගේ බිරිද ඇතුළු සිව්දෙනා ලබන මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, සැකකරුවන් සිව්දෙනා (4) නිරෝධායනය සඳහා මහනුවර – පැරණි බෝගම්බර බන්ධනාගාරයට යොමු කළ බවයි.

මේ අතර අද (26) දිනයේත් පොලිස් නිලධාරීන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂාවට ලක් කිරීමට පැමිණි ආකාරය දක්නට ලැබුණා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සී මිය ගිය ඉෂාලිනී ජුඩ් දැරියගේ මව මානව හිමිකම් කොමිෂම වෙත අද (26) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර ඉෂාලිනී ජුඩ් දැරියගේ මරණය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට දේශපාලන බලපෑම් පවතින්නේද යන්න ගැටළුවක් පවතින බව අයිතින් උදෙසා කාන්තා සංවිධානයේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායිකා නිතිඥ අනුෂ්කා දර්ශනි තිලකරත්න මහත්මිය පවසනවා.

මේ අතර ඉෂාලිනී ජුඩ් දැරියට සාධාරනයක් ඉටුකරන ලෙස ඉල්ලා මහනුවර හන්තාන වතුයායේ සේවකයින් විරෝධතාවක් පැවැත්වුවා.

++++++++++

******************************************

(26.07.2021 – 19:07 +0530 – hirunews.lk/sinhala)

සහල් මිල සම්බන්ධයෙන් ලබන සතියේ දී රජය සහ වී මෝල් හිමියන් අතර, ගිවිසුමක් අත්සන් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව කෘෂිකර්ම අමාත්‍යාංශය, ඉඩම් අමාත්‍යාංශය, ඒකාබද්ධව ක්‍රියාත්මක කරන කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා අවබෝධතා ගිවිසුමක් අද (26) අත්සන් කෙරුණා. ඒ බත්තරමුල්ලේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේදීයි.

******************************************

(27.07.2021 – 06:20 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේ විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝ මීටර් (40-50) පමණ වන අතර විටින් විට පැයට කිලෝ මීටර් 60 දක්වා වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

******************************************

(27.07.2021 – 06:50 +0530 – hirunews.lk/sinhala)

ළමයින් මෙහෙකාර සේවයේ යොදවන ස්ථාන සොයා, බස්නාහිර පළාත තුල විශේෂ මෙහෙයුමක් අද (27) දිනයේ සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

නියමිත වයස සම්පූර්ණ වීමට පෙර දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති පුද්ගලයින් සහ කණ්ඩායම් සොයා නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

(27.07.2021 – 07:00 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (26) සිදුකළ මෙහෙයුමකදී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 41 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙහිවල ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘උදයංග’ නොහොත් ‘සෝබා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

සැකකරු සමඟ ඔහු ගමන්ගත් මෝටර් රථයද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ ෴

******************************************

(27.07.2021 – 07:23 +0530 – hirunews.lk/sinhala)

රුපියල් දහසේ (1000) ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගත් පුද්ගලයෙකු කටුනායක පොලිසිය විසින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී රුපියල් දහසේ (1000) ව්‍යාජ මුදල් නෝට්ටු 06 ක් සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔහු වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර ඔහු සතුව තිබූ ගමන් මල්ලක් තුල තිබී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට යොදාගත් මුද්‍රණ යන්ත්‍රයක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අදාල සැකකරු කටුනායක, ඇවරිවත්ත ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකට ගොස් භාණ්ඩ මිලදී ගැනීමෙන් අනතුරුව ලබාදුන් රුපියල් දහසේ (1000) නෝට්ටුවක් සම්බන්ධයෙන් සැක සිතී ඒ සම්බන්ධයන් වෙළඳසැලේ හිමිකරු පොලිසියට දැනුම් දී තිබෙනවා.

වෙළඳසැලේ හිමිකරු කළ දැනුම් දීමට අනුවයි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ.

@@@@@@@@@@@@@@@

(26.07.2021 – 20:32 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (25) දිනයේ සිදුවූ තවත් කොරෝනා ආසාදිත මරණ 48 ක් අද (26) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4147ක් දක්වා ඉහළයනු ඇති.

අදාළ මරණ පිළිබඳව වැඩිදුර තොරතුරු පහතින් :

තවත් කොරෝනා ආසාදිතයන් 635 ක් වාර්තාවීමත් සමඟ අද (26) දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 1653 ක් දක්වා ඉහළගොස් තිබෙනවා ෴

+++++++++++++++++

(26.07.2021 – 20:59 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් හා ජන ජීවිතය මහජන සෞඛ්‍ය දැඩි අවධානමකට ලක් කරමින් පොදු ස්ථානවල උද්ඝෝෂණ කිරීම යන කරුණු සම්බන්ධයෙන් සිදුකර ඇති පැමිණිල්ලකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ එවැනි පුද්ගලයන්ට නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස ඉල්ලා යුක්තිය උදෙසා ජනතාව නම් සංවිධානයේ සභාපති දම්ගල්ල ගමගේ ධනුෂ්ක දිල්ශාන් ගමගේ යන අයෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාලව මෙම විමර්ශන ආරම්භ කර ඇති බවයි.

ඔහු ජුලි මස 24 වනදා ඉදිරිපත්කර ඇති අදාළ පැමිණිල්ල තුලින් පෙන්වා දී ඇත්තේ කොවිඩ්-19 වෛරසය රටපුරා පැතිරයාම සම්පූර්ණයෙන් නතරවී නොමැති අවස්ථාවක රටපුරා මහජන උද්ඝෝෂණ පැවැත්වීම තුළින් රෝග ව්‍යාප්තිය වර්ධනය වී බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයක් රටතුළ නිර්මාණය කිරීමට කිසිදු පුද්ගලයෙකුට අයිතියක් නොමැති බවයි.

ඒ අනුව පැමිණිලිකරු විසින් ඉදිරිපත් කර ඇති කරුණු අනුව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සහ රෝග ව්‍යාප්තිය වැලක්වීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර ඇති උපමානවලට පටහැනිව කටයුතු කරමින් නිරෝධායනීය රෝගයක් ව්‍යාප්තවීම සඳහා හිතාමතාම යම් තැනැත්තෙකු කටයුතු කර ඇත් ද යන්න යන්න පිළිබඳව සෙවීමටයි මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ ෴

++++++++++++++++++

(27.07.2021 – 06:29 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊයේ (26) දිනයේදී පුද්ගලයින් 123 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 52,227 දෙනෙකු නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් පුද්ගලයින් 48,000 කට පමණ මේ වනවිට නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ ෴

++++++++++++++++++++

(27.07.2021 – 06:35 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ හුදෙකලා බව අද (27) උදෑසන හයේ (06) සිට ඉවත්කර තිබෙනවා.

කළුතර, අම්පාර සහ කොළඹ යන දිස්ත්‍රික්කවලට අයත් ග්‍රාම නිලධාරී වසම් 03 ක් මෙලෙස හුදෙකලා බවින් ඉවත්කර ඇති බවයි වාර්තා වන්නේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *