කුරුණෑගල ඇවිදින පාසල – නව ඔන්ලයින් අත්දැකීමක්

කුරුණෑගල ඇවිදින පාසල – නව ඔන්ලයින් අත්දැකීමක්

*********************************************

කුරුණෑගල ඇවිදින පාසල – නව ඔන්ලයින් අත්දැකීමක්

(26.07.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ලොවපුරා දරු දැරියන්ට වසර 2 ක් තිස්සේ ඇති වූ බලපෑම සුළු පටු නැහැ.

මෙරට පාසල් පවා බොහෝ කාලයක් වසා දමා ඇති පසුබිමක එවන් දරු දැරියන්ගේ මානසික සුවතාවය ඉලක්ක කරගත් ඇවිදින පාසලක් පිළිබඳව අපට කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

@@@@@@@@@@@@@

(26.07.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

පොහොර සහ කෘෂි රසායන හිඟය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවීන් අද (26) දිනයේත් විරෝධතාවල නිරත වුණා.

ඒ අනුව තේ වගාවට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබාදෙන ලෙස ඉල්ලා කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනය නාවලපිටිය – බලංතොට ප්‍රදේශයේදී උද්ඝෝෂණයක නිරත වුණා.

මේ අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ගිරිතලේ ගොවිජන ව්‍යාපාරය යටතේ කුඹුරු අක්කර 7500 කට ආසන්න ප්‍රමාණයක යළ කන්නයේ වගා කරන ලද වී අස්වනු නෙලීමේ කටයුතු දැන් ආරම්භ වී තිබෙනවා.

කෙසේ නමුත්, ගොවීන් චෝදනා කරන්නේ නිසි මිලක් යටතේ සිය අස්වනු අලෙවි කර ගැනීමට නොහැකි බවයි.

******************************************

(26.07.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි පනහකට (50) අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් දකුණු කලුතර පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයා ඇතුලු සැකකරුවන් තිදෙනාගේ (3) වත්කම් බැරකම් පිළිබඳ පරික්ෂණ පැවැත්විම සඳහා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (26) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් ලබා දුන්නා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ලද කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී තිබෙනවා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ සැකකරුවන් අයථා ලෙස මුදල් උපයාගෙන තිබේද යන්න පිළිබඳව පරික්ෂණ ආරම්භ කර ඇති අතර මුදල් විශුද්ධිකරණය වැළැක්විමේ පනත යටතේ ප්‍රකාශ ලබා ගැනිමට අවශ්‍ය බවයි.

එම නිසා බන්ධනාගාරයට ගොස් සැකකරුවන්ගේ ප්‍රකාශ ලබා ගැනිමට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසද අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරිහු ඉල්ලා සිටියා ෴

******************************************

දෙවන (2) කාර්තුවේ වරිපනම් බදු ගෙවීම ගැන කොළඹ මහනගර සභාවෙන් සිහි කැඳවීමක්

(26.07.2021 – 14:00 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ දෙවන (2) කාර්තුව සඳහා කොළඹ මහනගර සභාව වෙත වරිපනම් බදු ගෙවීමේ අවසන් දිනය ලබන 31 වනදා දක්වා දීර්ඝ කර ඇති බව එම මහනගර සභාව යළි දැනුම් දෙනවා.

එහි නාගරික කොමසාරිස් නීතිඥ රෝෂණි දිසානායක මහත්මිය ප්‍රකාශ කළේ අදාළ කාර්තුව සඳහා එම දිනෙන් පසු කරන ගෙවීම් වෙනුවෙන් වරෙන්තු ගාස්තු අය කරන බවයි.

[ Colombo Municipal Council ]

******************************************

නීති විරෝධී යාන්ත්‍රික මැණික් කැණීමෙන් වැනසෙන රත්නපුර – එල්ලාවල

(26.07.2021 – 14:24 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලඥයින් දෙදෙනෙකු (2) ගේ මෙහෙයවීම යටතේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු සිදුකරන යාන්ත්‍රික මැණික් පතල් කැණීමෙන් රත්නපුරයේ බහුතර ජනතාවක් දැඩි පීඩාවකට පත්ව සිටින බව වාර්තා වනවා.

මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස පානීය ජලය අහිමි වීම,ගොවිතැන ඇතුලු දෛනික ජල අවශ්‍යතාවන් සපුරා ගැනීමට නොහැකි වීම, කඳු වැටි නාය යෑමට ලක් වීම, මාර්ග හා ජනාවාස භාවිතයට ගත නොහැකි වීම ආදිය නිසා ජන ජීවිතය බිඳ වැටී බොහෝ ජනතාවක් අවතැන් වීම සිදුව තිබෙනවා.

නමුත් ව්‍යාපාරික හා දේශපාලන බලය භාවිත කරමින් මෙලස ජනතාවට ඇති වන සියලු පීඩාවන් යටපත් කිරීම සිදු කෙරෙනවා.

මේ තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතුව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා පොලිස් දෙපාර්තමේන්තුව සියලු වගකීම් පැහැර හැරීම බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් සිදු කෙරෙන මෙම නීති විරෝධී කැණීම් කටයුතු නතර කිරීමට අවශ්‍ය වැටලීම් නොකිරීම, කැණීම් පිළිබඳව පසු විපරම් නොකිරීම පමණක් නොව මෙම නීති විරෝධී කැණීම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට අල්ලස් ලබාගැනීම ද සිදුවන බවටයි ප්‍රදේශයෙ ජනතාව චෝදනා කරන්නේ.

මේ නිසා මැණික් කර්මාන්තයෙන් රටට ලැබෙන ආර්ථික වාසිවලට වඩා පාරිසරික හා සමාජයීය බිඳ වැටීම් ඉහළ මට්ටමක පවතිනවා.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ මූලික අර්ථනිරූපනයේ දැක්වෙන්නේ මැණික් කර්මාන්තය විධිමත් කිරීම වුවද 2020 ජනවාරි 14 වන දින විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් සිදු කළ විගණන වාර්තාව විශ්ලේෂණය කර බැලීමේ දී පෙනී යන්නේ නීති විරෝධී මැණික් කැණීම්වලට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත්ව සිදුකර නොමැති බවයි.

ඒ වෙනුවට මෙම අධිකාරියේ නිලධාරීන් මහ පරිමාණයෙන් අල්ලස් ලබා ගැනීම සිදු කර ඇති ආකාරය මෙම කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයින්ගේ ප්‍රකාශ මගින් තහවුරු වී තිබෙනවා.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනත පමනක් නොව රටේ සාමාන්‍ය නීතිය ද උල්ලංඝනය කරමින් සිදුකළ බගවන්තලාව මහ පරිමාණ මැණික් කැණීම, කුරුවිට, පැරඩයිස්වත්ත මහ පරිමාණ මැණික් කැණීම ආදී අවස්තා වලදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කටයුතු කළ ආකාරයෙන් පෙනී යන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට මහ පරිමාණ ජාවාරම්කාර ව්‍යාපාරිකයින්ට මඟ පෙන්වීම සිදුකරන බවයි.

මෙම යාන්ත්‍රික මැණික් කැනීම් හේතුවෙන් ගංඟාවල් ඇතුළු ජල මූලාශ්‍ර භාවිතයට ගත නොහැකි තත්ත්වයට පරිවර්තනය වීම පමණක් නොව ඒවායෙහි ජීවත් වූ සියලු ජෛව ප්‍රජාව සම්පූර්ණයෙන් ම වඳ වීමට ලක් වෙමින් තිබෙනවා.

යාන්ත්‍රික පතල් කැණීම සඳහා භාවිත කරන බර යන්ත්‍රෝපකරණ මගින් එක් වරකට විශාල ප්‍රදේශයක් කැණීම් කරන අතර යාන්ත්‍රික ඉල්ලම් සේදීමේ දී විශාල රොන්මඩ ප්‍රමාණයක් අඛණ්ඩව ජල මූලාශ්‍රවලට එක් වනවා.

ඒ හේතුවෙන් ප්‍රදේශයේ ජල මූලාශ්‍ර සියල්ල සම්පූර්ණයෙන් රොන්මඩින් පිරී යාමේ අනතුරකට ද මුහුණ පා තිබෙනවා.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතෙන් විශාල බලතල ප්‍රමාණයක් එම අධිකාරියට ලබා දී තිබුනද ඔවුන් සිදු කරන්නේ ප්‍රබල දේශපාලඥයින් හා මහ පරිමාණ ව්‍යාපාරිකයින් සමඟ සම්බන්ධ වී ජාවාරම් කටයුතුවල නිරත වීම හා අල්ලස් ලබා ගනිමින් ජාවාරම්කරුවන්ට රැකවරණය ලබා දීම බවයි ජනතාව චෝදනා කරන්නේ.

මේ අතර කුඹුරු ඉඩම්වල මැණික් කැණීම සඳහා බලපත්‍ර ලබා ගැනීමේ දී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබා ගත යුතු වුවද මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රත්නපුර දිස්ත්‍රික්කයේ ඉතා සශ්‍රික කුඹුරුවල පවා මැණික් කැණීමට අනුමැතිය ලබා දී තිබෙනවා.

එමෙන්ම යාන්ත්‍රික පතල් කැණීම සඳහා මහ පරිමාණ බැකෝ යන්ත්‍ර යොදා ගෙන කුඹුරු ඉඩම්වල විශාල වලවල් සකස් කර මැණික් ඉල්ලම් මතු කර ගැනීම සිදු කරන අතර කැණීම් කටයුතු පහසු කිරීම සඳහා විශාල වතුර පොම්ප මගින් කුඹුරු ඉඩම්වල ජලය සම්පූර්ණයෙන් ඉවත් කිරීමද සිදු කෙරෙනවා.

මේ හේතුවෙන් අවට ළිං සිදීයාම පමණක් නොව යාන්ත්‍රික මැණික් කැණීම් සිදු කරන කුඹුරු ඉඩම් ආශ්‍රිත ව පිහිටි අනෙක් කුඹුරු ඉඩම් ද භාවිතයට ගත නොහැකි තත්ත්වයට පරිවර්තනය වනවා.

මේ සියළු වැ‍රදි සිදු වෙද්දී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ද දිගින් දිගටම මැණික් කැණීම් සඳහා නිර්දේශ ලබා දීම මවිතයට කරුනක් බවයි ප්‍රදේශයේ ගොවි ජනතාව චෝදනා කරන්නේ.

මේ වන විටත් රත්නපුර කිරිඇල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ හැරනියාව ප්‍රදේශයේ පිහිටි කළු ගඟේ, කුරුගම්මෝදර, වක්කලම ලෙස හඳුන්වන ස්ථානයේ නීති විරෝධී ව මහ පරිමාණයෙන් උකහා ගැනීමේ යන්ත්‍ර (Sucker Machine) 04 ක් භාවිතයෙන් මැණික් කැණීම සිදුකරන බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම කිරිඇල්ල, එල්ලාවල, පහළගම, ඉහළගම හා මාටුවාගල ග්‍රාමනිලධාරී වසම්වල ද අද වන විට කුඹුරු ඉඩම් සම්පූර්ණයෙන් විනාශ කරමින් යාන්ත්‍රික මැණික් කැණීම් සිදුවනවා.

දහවල් කාලයේ පමණක් නොව රාත්‍රි කාලයේ ද මෙම ප්‍රදේශයේ මැණික් කැණීම් කටයුතු සිදු කරන අතර බෝර පිපිරවීම් ද දවස පුරාම සිදු කරන බවටයි ප්‍රදේශ්වාසීන් චෝදනා කරන්නේ.

මේ අතර එල්ලාවල, පිටකන්ද ප්‍රදේශයේ බැකෝ යන්ත්‍ර ආධාරයෙන් සිදු කෙරෙන මහ පරිමාණ මැණික් කැණීම් හේතුවෙන් පිටකන්ද නායේ යෑමේ අවධානමක් මතු ව ඇති අතර මේ නිසා ඒ ආශ්‍රිතව ජීවත් වන පවුල් කිහිපයක් ද ඉවත් කර තිබෙනවා.

කුඹුරු ඉඩම්වලට අමතරව පොල්, තේ හා රබර් ඉඩම්වල ද අද වන විට බැකෝ යන්ත්‍ර ආධාරයෙන් පතල් කැණීම් සිදු කෙරෙන අතර එසේ මැණික් කැණීම් කළ ස්ථාන සියල්ල ඉතාම අනතුරුදායක ලෙස අතහැර දමා තිබීමද බරපතළ සමාජීය ගැටලුවක්.

වත්මන් ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයද උල්ලංඝනය කරමින් සිදු කෙරෙන මෙම දැවැන්ත පරිසර විනාශය හරහා සාමන්‍ය ජන දිවිය සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා පමනක් නොව අවසානයේ මෙරටට ඉතිරි වන්නේ විනාශයන් පමණක් බවයි මෙම ජාවාරමට හසුවූ වින්දිතයින් පවසන්නේ.

මේ නිසා තිරසර ක්‍රමවේදයක් යටතේ පාරම්පරික මැණික් කැණීම් ක්‍රම තුළින් සියලු ම ජනතාවට ප්‍රතිලාභ හිමි වන අයුරින් මැණික් කර්මාන්තය ප්‍රවර්ධනය කළ යුතු බවට ඔවුන් පෙන්වා දෙනවා.

එසේ නොවුනහොත් ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුගේ හා දේශපාලඥයින් කිහිපදෙනෙකුගේ ලාභය උදෙසා රත්නපුර දිස්ත්‍රික්කය විනාශ වන කාලය වැඩි ඈතක නොවනු ඇති.

******************************************

(26.07.2021 – 14:25 +0530 – hirunews.lk/sinhala)

අලුත්ගම – මොරගල්ල ප්‍රදේශයේ සංචාරක නිකේතනයක කලක් තිස්සේ වාසය කළ 78 හැවිරිදි ජර්මන් ජාතිකයෙකු ඊයේ (25) රාත්‍රියේ හදිසියේ මියගොස් තිබෙනවා.

ඔහු, කලක පටන් වෛද්‍ය උපදෙස් මත රෝගාබාධ රැසකට ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෘත දේහය මේ වනවිට නාගොඩ රෝහලට යොමුකර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.

අද (26) පෙරවරුවේ මෘත ශරීරය කොරෝනා පරීක්ෂණය සඳහා යොමුකර ඇති අතර, එහි ප්‍රතිඵල පස්වරුවේ නිකුත් වීමට නියමිත බව ද පොලීසිය පැවසුවා ෴

******************************************

(26.07.2021 – 16:08 +0530 – hirunews.lk/sinhala)

මහනුවර උඩවත්තකැලේ පිහිටා ඇති ඓතිහාසික ශ්‍රී දළඳා තපෝවන විහාරයේ ගොඩනැගිලි මතට දැවැන්ත නුග ගසක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

පවතින අධික වර්ෂාවත් සමඟ මෙම නුග ගස කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ගස කපා ඉවත්කිරීමේ කටයුතු මහනුවර මහ නගර සභාව විසින් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

නුග ගස කඩා වැටීම හේතුවෙන් ගොඩනැගිලි රැසකට බරපතළ අලාභහානි සිදුව ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *