රිෂාඩ්ගේ නිවසේ දැරියක් මියයාම ගැන ප්‍රකාශ 30 ක් – තැරැව්කරුගේ බැංකු ගිණුම් පරීක්ෂාවට

රිෂාඩ්ගේ නිවසේ දැරියක් මියයාම ගැන ප්‍රකාශ 30 ක් – තැරැව්කරුගේ බැංකු ගිණුම් පරීක්ෂාවට

*********************************************

රිෂාඩ්ගේ නිවසේ දැරියක් මියයාම ගැන ප්‍රකාශ 30 ක් – තැරැව්කරුගේ බැංකු ගිණුම් පරීක්ෂාවට

(25.07.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටි 16 හැවිරිදි දැරියක් මියයාමේ සිද්ධියට අදාළව මේවන විට ප්‍රකාශ 30 කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරගෙන ඇතැයි පොලිසිය පවසනවා.

අදාළ ප්‍රකාශවල සම්බන්ධ කරුණු පිළිබඳව ද විමර්ශණ සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මෙම දැරිය අදාළ නිවසට රැගෙන ආ ප්‍රධාන තැරැව්කරුගේ බැංකු ගිණුම් කිහිපයක් ද පරීක්ෂාවට ලක් කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

අදාළ වාර්තා පොලිසියට ලැබී ඇති අතර, ආගරපතන ප්‍රදේශයේ බැංකුවක පවත්වාගෙන යන ගිණුමකට මුදල් බැරවීමක් සිදුව ඇති බවටයි එහිදී හෙළිවී ඇත්තේ.

මේ අතර 2015 ත් 2019 ත් අතර කාලයේදී මෙම නිවසේදී තවත් කාන්තාවක් දුෂණයට ලක්ව ඇති බවට එල්ලවූ චෝදනා මත මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා ද අත්අඩංගුවට ගැනුණා.

ඔහු ද ඊයේ (24) අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කෙරුණා.

මෙම සිද්ධියට අදාළව විමර්ශණ සිදුකරනු ලබන කණ්ඩායම් අදාළ කාන්තාවගෙන් ලබාගත් ප්‍රකාශ අනුවයි එම සැකකරු අත්අඩංගුවට ගැනුනේ.

රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ සහ අනෙක් සැකකරුවන් දෙදෙනා (2) ද ඊයේ (24) කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් රැඳවුම් නියෝග මත බොරැල්ල පොලිසිය භාරයේයි පසුවන්නේ.

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින සියලු සැකකරුවන් හෙට (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා.

දැරිය මියයාමේ සිද්ධියට අදාළව බොරැල්ල පොලිසිය, කොළඹ දකුණ කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය සහ කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය විසින් විමර්ශණ සිදුකරනු ලබනවා ෴

******************************************

(25.07.2021 – 07:25 +0530 – hirunews.lk/sinhala)

වාලච්චේන පොතාන ප්‍රදේශයේදී දියේ ගිලීමෙන් පාසල් සිසුවෙකු මරණයට පත්ව තිබෙනවා.

ඊයේ (24) දහවල් 12 ට පමණ මව සහ පියා සමග ඇලක දිය නාමින් සිටියදීයි ඔහු දියේ ගිලී අනතුරට ලක්වී ඇත්තේ.

බරපතල තත්වයෙන් වාලච්චේන රෝහලට ඇතුලත් කිරීමේදී මෙම දරුවා මියගොස් තිබෙනවා.

පාලෛ තියාවට්ටුවාන් ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පිරිමි දරුවෙකුයි මෙලෙස මරණයට පත්ව ඇත්තේ.

මෘත ශරීරය වාලච්චේන රෝහලේ තැන්පත් කර ඇති අතර වාලච්චේන පොලිසිය වැඩිදුරට පරීක්ෂණ සිදුකරනවා ෴

******************************************

(25.07.2021 – 07:36 +0530 – hirunews.lk/sinhala)

මැල්සිරිපුර උඩකැන්දවල ප්‍රදේශයේදී මුගුරකින් පහරදී කාන්තාවක් ඝාතනය කළ සැකකරුවන් දෙදෙනෙකු (2) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රී 10 ට පමණ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් අතරතුරයි එම ස්ථානයට පැමිණි කාන්තාවට ප්‍රහාරය එල්ලවී ඇත්තේ.

බරපතල තත්වයේ පසුවූ ඇය පොල්ගොල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මරණයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ උඩකැන්දවල ප්‍රදේශයේම පදිංචි 66 හැවිරිදි කාන්තාවක්.

මළ සිරුර පොල්ගොල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා ෴

******************************************

(25.07.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී දළදා මාළිගාවේ දළදා සමිදුන්ගේ තේවා කටයුතු සම්ප්‍රදායනුකූලව මෙතෙක් එම කටයුතු සිදුකළ අස්ගිරි පාර්ශවය විසින් මල්වතු පාර්ශවය වෙත ඊයේ භාරදෙනු ලැබුවා. ඒ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන්.

සෑම වසරකම ඇසළ පොහෝ දිනයට පසුදින තේවා කටයුතුවලින් අනතුරුව මල්වතු පාර්ශවයෙන් අස්ගිරි පාර්ශවයටත් අස්ගිරි පාර්ශවයෙන් මල්වතු පාර්ශවයටත් තේවා කටයුතු හුවමාරුවීම සිදු කෙරෙනවා.

ඒ අනුව, ඊයේ (24) දින තෙක් දළදා සමිඳුන්ගේ තේවා කටයුතු අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රි ඤාණරතන නාහිමියන්ගේ අනුශාසනා මත සිදු කරනු ලැබුවා.

අනතුරුව ඊයේ (24) අස්ගිරි පාර්ශවයේ මහානාහිමියන් විසින්, තේවා කටයුතු භාරදීමෙන් පසු මීළග ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය තෙක් ශ්‍රී දළදා සමිදුන්ගේ තේවා කටයුතු මල්වතු පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ගේ අනුශාසනා මත එම පාර්ශවයේ මහාසංඝරත්නය විසින් සිදු කෙරෙනු ඇති.

******************************************

(25.07.2021 – 08:38 +0530 – hirunews.lk/sinhala)

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩමුළුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ලබන මස මුල් සතියේදී එම වැඩමුළුව පැවැත්වෙන අතර, ඊට පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කෙරෙනු ඇති.

විවිධ පාර්ශවයන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ප්‍රකාශ සිදුකරන බැවින් ඒ පිළිබඳව මන්ත්‍රීවරුන්ට නිසි අවබෝධයක් ලබාදීම සඳහා මෙම වැඩමුළුව සංවිධාන කර තිබෙනවා.

ඊට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විද්වතුන් කිහිපදෙනෙකු එක්වීමට නියමිතයි. දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතේ දෙවන (2) දින විවාදය ලබන මස 06 වනදා පැවැත්වීමට නියමිතයි.

මේ අතර එම කෙටුම්පතට එරෙහිව තැපැල්, ගුරු සහ විදුහල්පති ඇතුලු සංගම් 41 ක නියෝජිතයින් විසින් ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

කොළඹ මහජන පුස්තකාලයේදී ඊයේ (24) මෙම ගිවිසුමට අත්සන් කෙරුණා ෴

******************************************

(25.07.2021 – 08:41 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන මහ කන්නයේ පොහොර භාවිත කිරීමේ ක්‍රමවේදය ලබන මාසයේ මුල් සතියේදී ගොවීන්ට හඳුන්වා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ වගාවන්ට අවශ්‍ය පොටෑසියම් සහ නයිට්‍රජන් පොහොර සංයුතීන් විදේශ රටවලින් ආනයනය කිරීමට පියවර ගන්නා බවයි ෴

******************************************

(25.07.2021 – 08:49 +0530 – hirunews.lk/sinhala)

වසර ගණනාවක් මුළුල්ලේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම දිගින් දිගටම කල් දමා ඇති මොහොතක, පළාත් පාලන මැතිවරණය පවත්වන දින වකවානුද මේ වනවිට ආසන්න වී තිබෙනවා.

2018 වසරේ අවසන් වරට පළාත් පාලන මැතිවරණය පැවති අතර, ඒ අනුව ලබන වසරේ (2022) පෙබරවාරි 10 වන දිනට පෙර පළාත්පාලන මැතිවරණයද පැවැත්විය යුතුයි.

2017 අංක 16 දරණ පළාත් සභා හා පළාත් පාලන පනතේ ප්‍රතිපාදන අනුව පළාත්පාලන මැතිවරණය පැවැත්විය යුතු දිනට මාස හයකට (6) පමණ පෙර එම ඡන්ද විමසීම කැදවීමේ බලය පවතිනවා.

ඒ අනුව තවත් දින 16 කින් අනතුරුව අවශ්‍ය නම් පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි බවයි මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළේ.

පළාත් සභා මැතිවරණයද කල්දමා ඇති මොහොතක මෙන්ම කොරෝනා තත්වයද හේතුවෙන් පළාත්පාලන මැතිවරණය ද කල්දැමීමට කටයුතු කරන්නේ නම් ඒ සඳහා විෂයභාර අමාත්‍යවරයාට බලතල ඇත්තේ වසරක් ඉක්මවන තුරු පමණයි.

ඒ අනුව ලබන වසරේ පෙබරවාරි 10 වනදා මැතිවරණය නොපවත්වා, 2023 වසරේ පෙබවාරි 10 වනදා දක්වා එය කල් දැමීමටද විෂයභාර අමාත්‍යවරයාට බලතල පවතිනවා.

එසේම අවශ්‍ය නම් තවත් දින 16 කින් වුවද පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතිනවා ෴

******************************************

(25.07.2021 – 09:03 +0530 – hirunews.lk/sinhala)

උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරේ සිට වව්නියාව දක්වා දෛනිකව ධාවනය වන දුම්රිය හෙට (26) සිට ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව පෙරවරු 05:15 ට කන්කසන්තුරේ සිට වව්නියාව දක්වා මෙන්ම, පස්වරු 05:00 ට වව්නියාවේ සිට කන්කසන්තුරේ බලා මෙම දුම්රිය ධාවනය කිරීමට නියමිතයි.

එය යළිත් ධාවනය එක් කර ඇත්තේ දින 72 කට පසුව බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා ෴

******************************************

කිලී මහරාජා කොරෝනාවෙන් මිය යයි.. අවසන් කටයුතු අදම.. ඔහු එන්නත් මාත‍්‍රා දෙකම ගත් අයෙක්..

(25.07.2021 – 09:20 +0530 – lankacnews.com)

කැපිටල් මහරාජා සමූහයේ අධිපති, MBC මාධ්‍ය ජාලයේ ප්‍රධානී ‘රාජේන්ද්‍ර රාජ් මහේන්ද්‍රන්’ නොහොත් ‘කිලී මහරාජා’ අභාවප්‍රාප්ත වීතිබේ.

කොළඹ නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වූ බව සඳහන්ය.

ඒ ඔහුට කොරෝනා වෛරසය ආසාදන වීම හේතුවෙන් පසුගියදා රෝහල්ගත කරන ලදී.

ඔහු එන්නත් මාත්‍රා දෙකම (2) ලබාගෙන සිටි අයෙකු වුවද වෛරසය දැඩි ලෙස ඔහුගේ පෙනහලු වලට බලපෑම හේතුවෙන් මියගොස් සිටි ඇති බවද වාර්තා වෙයි.

කොරෝනා ආසාදනයෙන් මිය ගිය හේතුවෙන් දේහය පිලිබද අවසන් කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අද (25) දිනයේම සිදු කිරිමට නියමිතය ෴

******************************************

(25.07.2021 – 10:05 +0530 – hirunews.lk/sinhala)

යාපනය – කොක්කුවිල් – කුලපිට්ටි මංසන්ධියේ වෙළදසැලකට පෙට්‍රල් දමා ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ අත්අඩංගුවට ගත් තුන් දෙනෙකු (3) ලබන මස 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පසුගිය 21 වන දා එම පිරිස අදාළ වෙළදසැලට ගිනි තබා තිබූ අතර, සී.සී.ටී.වී. දර්ශන උපයෝගී කර ගනිමිනුයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් වයස අවුරුදු 18 ත්, 25 ත් අතර වයස්වල පසුවන යාපනය – කොක්කුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴

******************************************

(25.07.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

මීට වසර 200 කට පමණ පෙර මෙරටින් රැගෙන ගොස් බ්‍රිතාන්‍යය ඇතුලු යුරෝපයේ කෞතුකාගාර තුළ පවතින ආයුර්වේද බෙහෙත් වට්ටෝරු ඇතුළත් පුස්කොළ පොත් 2,000 ක් යළි මෙරටට රැගෙන ඒමට දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

දැනටමත් අධිකරණ සහ විදේශ කටයුතු අමාත්‍යාංශ හරහා මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා පවත්වා ඇති බවයි රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළේ.

බ්‍රිතාන්‍යයට අමතරව නෙදර්ලන්තය, පෘතුගාලය, ජර්මනිය ඇතුලු තවත් රටවල් කිහිපයක කෞතුකාගාර තුළ මෙම පුස්කොළ පොත් තැන්පත් කර ඇති බවද ඔහු කියා සිටියා ෴

@@@@@@@@@@@@@@@

(25.07.2021 – 08:04 +0530 – hirunews.lk/sinhala)

තවත් සයිනොෆාම් එන්නත් මිලියන 1.6 ක් අනිද්දා (27) අලුයම මෙරටට ලැබීමට නියමිත බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කළා.

එම එන්නත් තොගය පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබෙන බවයි වාර්තාවන්නේ.

ඊයේ (24) වනවිට මෙරට පුද්ගලයින්ට කොරෝනා එන්නත් මාත්‍රා 8,439,469 ක් ලබාදී තිබෙනවා.

ඒ අනුව එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබා ගත් සංඛ්‍යාව 6,693,072 ක් වන අතර, මාත්‍රා දෙකම (2) ලබාගත් සංඛ්‍යාව 1,746,397 ක් වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඉන් වැඩිම පිරිසකට ලබාදී ඇත්තේ සයිනොෆාම් එන්නතයි. එම සංඛ්‍යාව මාත්‍රා 6,265,371 ක්.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව මෙරට පුද්ගලයින් 4,919,323 දෙනෙකුට ලබාදී තිබෙනවා.

එහි දෙවන (2) මාත්‍රාව 1,346,048 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 925,242 කට ලබාදී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 385,885 ක්.

එම එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් සියලු පාර්ශවයන්ට දෙවන (2) මාත්‍රාව ලබාදීම ගැටළුවක් වී ඇති අතර, ඒ අනුව පුද්ගලයින් 539,357 දෙනෙකුට ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීමට නියමිතව තිබෙනවා.

ස්පුට්නික්-වී එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 159,081 කට ලබාදී ඇති අතර, දෙවන (2) මාත්‍රාව ලබා ගත් සංඛ්‍යාව 14,464 ක්.

ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 126,058 කටත්, මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 563,368 කටත් ලබාදී තිබෙනවා ෴

+++++++++++++++++++++++

(25.07.2021 – 08:17 +0530 – hirunews.lk/sinhala)

දින 9 කට පසුව ඊයේ (24) කොරෝනා මරණ වාර්තාවීම පනහේ (50) සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව පෙරේදා තහවුරු කරන ලද මරණ 52 ක් ඊයේ (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කළ අතර, ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාවද 4,054 දක්වා ඉහළ ගියා.

කොළඹ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ පසුගිය දිනවල කොරෝනා වැළදී මියගොස් තිබුණේ එන්නත් ලබානොගත් පුද්ගලයින් බවයි.

මෙරට පළමු (1) කොරෝනා රැල්ලෙන් මියගොස් තිබුණේ පුද්ගලයින් 13 දෙනෙකු පමණක් වන අතර, දෙවන (2) රැල්ලෙන් පුද්ගලයින් 591 දෙනෙකු මියගොස් තිබුණා. මීට මාස 3 කට පමණ ඉහතදී ආරම්භ වූ තුන්වන (3) රැල්ලෙන් පමණක් මේ වනවිට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 3,450 ක්.

මේ අතර, නව කොරෝනා ආසාදිතයින් 1737 දෙනෙකු ඊයේ (24) හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 294,850 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින්ගෙන් 1707 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර විදේශයන් හි සිට පැමිණි 30 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හදුනා ගැනුණා.

ඒ අනුව ආසාදිතයින් 24,183 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 266,665 ක් ෴

+++++++++++++++++++++

(25.07.2021 – 09:20 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ දිනක් තුළ වැඩිම එන්නත්කරණය ඊයේ (24) සිදුකර තිබෙනවා.

එම ප්‍රමාණය 412,111 ක්.

ඉන් වැඩිම එන්නත් ප්‍රමාණයක් ලබාදී ඇත්තේ සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව වන අතර එම ප්‍රමාණය 306,622 ක්.

එහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 35,720 කට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එසේම මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 69,830 කට ලබාදී ඇති අතර, ඊයේ (24) ෆයිසර් එන්නතේ කිසිදු මාත්‍රාවක් ලබාදී නැහැ.

ස්පුට්නික්-වී එන්නතේ දෙවන (2) මාත්‍රාව ද 39 දෙනෙකුට ඊයේ (24) දිනයේ ලබාදී ඇති අතර එහි පළමු (1) මාත්‍රාව හෝ කොවිෂීල්ඩ් එන්නතේ කිසිදු මාත්‍රාවක් ඊයේ (24) දිනය තුළ කිසිවෙකුටත් ලබාදී නොමැති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

+++++++++++++++++++

(25.07.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

ජපානයෙන් අද (25) සහ හෙට (26) ලැබීමට නියමිතව තිබූ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 1470,000 මෙරටට ලැබීම ප්‍රමාද වන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (25) ප්‍රකාශ කළා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාද වීම ඊට හේතුව බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *