ඇමති බන්දුලගේ අභියෝගය හර්ෂ භාර ගනී – විවාදය ලබන 29 වනදා ‘හිරු ටී.වී. බලය’ වැඩසටහනෙන්

ඇමති බන්දුලගේ අභියෝගය හර්ෂ භාර ගනී – විවාදය ලබන 29 වනදා ‘හිරු ටී.වී. බලය’ වැඩසටහනෙන්

*********************************************

ඇමති බන්දුලගේ අභියෝගය හර්ෂ භාර ගනී – විවාදය ලබන 29 වනදා ‘හිරු ටී.වී. බලය’ වැඩසටහනෙන්

(24.07.2021 – 08:27 +0530 – hirunews.lk/sinhala)

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පෙරේදා ඉදිරිපත් කළ අභියෝගය විපක්ෂය විසින් භාරගෙන තිබෙනවා.

ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍යවරයා ඊයේ (23) පැවති මාධ්‍ය හමුවේදී ද මෙම අභියෝගය සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර එහිදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ නම සදහන් කරමින් ආරාධනයක් ද සිදුකළා.

ඒ අනුව අදාළ අභියෝගය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් භාර ගත් අතර ඊට අදාළ විවාදය ලබන 29 වන බ්‍රහස්පතින්දා ‘හිරු ටී.වී. බලය’ දේශපාලන වැඩසටහන ඔස්සේ පැවැත්වීමට නියමිතයි.

******************************************

(24.07.2021 – 07:35 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (23) දිනයේදී පමණක් රිය අනතුරුවලින් සිදුවූ මරණ 8 ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ එම අනතුරු වලින් තිදෙනෙකු (3) පදිකයින් වන අතර තවත් තිදෙනෙකු (3) යතුරුපැදිවල ගමන් කළ පුද්ගලයින් බවයි.

තවත් දෙදෙනෙකු (2) ත්‍රීරෝද රථවලින් ගමන් කළ පුද්ගලයින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම මේ දිනවල සිදුවන මාර්ග අනතුරුවලට ප්‍රධාන හේතු වී ඇත්තේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නා ෴

******************************************

(24.07.2021 – 08:04 +0530 – hirunews.lk/sinhala)

ඵෙතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහරේ දිය කැපීමේ මංගල්‍යය අද (24) උදෑසන සිදුකෙරුණා.

ඒ, කතරගම මැණික් ගඟේ ජීවමාලි තොටුපළේ දී පෙරවරු 8 න් පසුව යෙදුන සුබ මොහොතින්.

ඒ අනුව මෙවර කතරගම වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ සියළු චාරිත්‍ර අවසන් වනු ඇති.

ඊයේ (23) රාත්‍රියේ කතරගම මහ දේවාලයේ අවසන් රන්දෝලි පෙරහර සාර්ථකව වීථි සංචාරය කෙරුණු බවයි අප වාර්තාකරු සදහන් කළේ ෴

******************************************

(24.07.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි සිට මෙහෙය වන ලද කප්පම් කල්ලියක සාමාජිකයින් 04 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කප්පම් ජාවාරමේ මහමොළකරු දැනට ඩුබායි රාජ්‍යය වෙත පළා ගිය අයෙකු වන අතර ඔහුට පුද්ගල ඝාතන 06 ක් සහ තවත් අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා කළුතර – එතනමඩල ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයක් තුලදී ඝාතනයට ලක්වූ රණාලේ සමයංගේ ගෝලයෙකු බවටයි වාර්තා වන්නේ.

පෞද්ගලික ආයතනයකින් කප්පම් ලබා ගැනීමට සූදානම්ව සිටි අවස්ථාවේදී ලද පැමිණිල්ලකට අනුව සිදුකරන ලද විමර්ශනවලින් අනතුරුව මෙම සැකකරුවන් 04 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(24.07.2021 – 09:14 +0530 – hirunews.lk/sinhala)

විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයෙකු හෙරොයින් සහ එම ජාවාරමෙන් ඉපයූ රුපියල් ලක්ෂ 13 කට අධික මුදලක් සමඟ පුද්ගලයෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ (23) සිදුකළ වැටලීමකදි දෙමටගොඩ – වේළුවන පාරේ කුලී නිවසක රැදී සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝදර පදිංචි 30 හැවිරිදි අයෙක් ෴

******************************************

(24.07.2021 – 10:40 +0530 – hirunews.lk/sinhala)

වනාතවිල්ලුව – දකුණ ග්‍රාමනිලධාරී වසමේ තිලිකක්පල්ලම ප්‍රදේශයේ රජයේ ඉඩමකට අනවසරයෙන් ඇතුළු වී එය එළි පෙහෙලි කිරීමේ සිද්ධියකට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු ඇතුළු 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීවරයා පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අක්කර 10 ක් පමණ වන මෙම ඉඩමේ අක්කර එකහමාරක් (1½) එළි පෙහෙලි කරමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව ඇප මත මුදා හැරි බවයි පොලීසිය සදහන් කළේ ෴

******************************************

(24.07.2021 – 12:00 +0530 – hirunews.lk/sinhala)

2020 උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීම සඳහා මේ මස 26 වනදා සිට 30 වනදා දක්වා යළි අවස්ථාව ලබාදී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සඳහන් කළා.

එලෙස යොමු කරන අයදුම්පත්වල සඳහන් විශ්වවිද්‍යාල අනුපිළිවෙල හෝ පාඨමාලා තොරතුරු අනුපිළිවෙල වෙනස් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා මේ මස 31 වනදා සිට අගෝස්තු 14 වන දා දක්වා සති දෙකක (2) කාලයක් ලබාදෙන බවයි එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටියේ ෴

******************************************

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුව තවදුරටත් – වන්දියෙන් කොටසකුත් අහිමි වේ

(24.07.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ තෙල් කාන්දුව තවදුරටත් පවතින බවට වාර්තා වනවා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී පරීක්ෂණ පවත්වා තිබුණ ද ඒ සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට එළඹීමට නොහැකි වී ඇත්තේ නෞකාව පවතින මුහුදු ප්‍රදේශයේ මේ දිනවල දක්නට ලැබෙන අයහපත් කාලගුණ තත්ත්වයයි.

එමෙන්ම නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මෙරට මුහුදු පද්ධතිය ඇතුළු පරිසරයට සිදුවූ හානිය වෙනුවෙන් අදාළ නැව් සමාගමෙන් සහ එහි රක්ෂණ සමාගමෙන් ඉල්ලා තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 40 යෙන් මිලියන 18 ක් මෙරටට ලැබීම අහිමි වී ඇති බව ද සඳහන්.

ඊට හේතු වී ඇත්තේ වියදම් ඇස්තමේන්තු කිරීම්වලදී සිදුවූ අත්වැරදීමක් බවයි වාර්තා වන්නේ.

එලෙස අදාළ නෞකා සමාගමෙන් සහ රක්ෂණ සමාගමෙන් එම වන්දි මුදල ගෙවීමට නියමිතව තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද වියදම් ප්‍රතිපූර්ණය කර ගැනීම සඳහා පමණයි.

කෙසේ වෙතත්, ඉදිරියේදී සිදුකිරීමට නියමිත වියදම් සම්බන්ධයෙන් ද ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම හේතුවෙන් එම නැව් සමාගම සහ රක්ෂණ සමාගම මෙලෙස ඩොලර් මිලියන 18 ක් මෙරටට ලබාදීම කපා හැර දමා තිබෙනවා.

එලෙස මෙරටට අහිමි වූ මුදල ආසන්න වශයෙන් රුපියල් මිලියන 3600 ක් පමණ වනවා.

මේ වන විට මෙරටට ලැබී ඇත්තේ ඩොලර් මිලියන 03 ක් පමණයි.

ලැබිය යුතු අනෙකුත් ඩොලර් මිලියන 19 කට ආසන්න මුදල මෙතෙක් මෙරටට ලැබී නැත්තේ ඉදිරිපත් කළ ලියකියවිලිවල ගැටළුවක් හේතුවෙන් බව ද සදහන්.

******************************************

(24.07.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මහ කන්නයේ සිට රජයේ සහතික මිලටම ගොවින්ගෙන් වී මිලදී ගැනීමට පෞද්ගලික වී මෝල් හිමියන්ද එකඟකර ගැනීම තුළින් ගොවියාට දැඩි අසාධාරණයක් සිදුවන බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරනවා.

එම සංවිධානයේ නියෝජිතයින් මෙම චෝදනාව සිදුකළේ අනුරාධපුරයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාකදී.

@@@@@@@@@@@@@@

(24.07.2021 – 06:38 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊයේ (22) දිනයේදී පුද්ගලයින් 121 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අදාල නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 51,859 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් පළාත් මායිම් හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 584 දෙනෙකු ඔවුන් පැමිණි වාහන 235 ක් සමඟ ආපසු හරවා යවා ඇති බවයි වාර්තා වන්නේ ෴

++++++++++++++++++++

(24.07.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – උඩපේරාදෙනිය ප්‍රදේශයේ කාන්තාවකට එන්නත් මාත්‍රා දෙක (2) එකවර ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාව අද (24) මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට භාරදීමට නියමිතයි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබදව පරීක්ෂණ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව තීරණය කරන බවයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා ප්‍රකාශ කළේ.

පළාතේ සියළුම එන්නත් මධ්‍යස්ථානවල කටයුතු නිසි පරිදි අධීක්ෂණය කරන ලෙසට ද ඔහු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර, මධ්‍යම පළාතේ එන්නත්කරණ කටයුතු අද (24) අවසන්වීමට නියමිතයි ෴

+++++++++++++++++++

(24.07.2021 – 08:37 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සතියේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම පහත වැටී තිබුණ ද යළි කොරෝනා ආසාදිතයින් වාර්තා වීම දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.

මෙලෙස කොරෝනා ආසාදිතයින් වාර්තා වීම යළි ඉහළ යාම පෙන්නුම් කළේ මීට දින 06 කට පෙර සිටයි.

ඒ අනුව පසුගිය 18 වනදා මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 1420 ක් ලෙසටයි.

ඊට පසු දින කොරෝනා ආසාදිතයින් 1487 ක් වාර්තා වූ අතර ඉන් අනතුරුව ඊයේ (23) දක්වා කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබුණා.

ඒ අනුව ඊයේ (23) මෙරටින් කොරෝනා ආසාදිතයින් 1815 දෙනෙකු වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 293,113 ක් ලෙස දැක්වුණා.

මේ අතර, පෙරේදා තවත් මරණ 43 ක් මෙරටින් වාර්තා වීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව ද 4000 ඉක්මවා ගොස් තිබෙනවා.

එය දැක්වුණේ 4002 ක් ලෙසයි.

ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 23,446 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 265,708 ක්.

++++++++++++++++++++

(24.07.2021 – 10:58 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ඊයේ පුද්ගලයින් 160,622 කට එන්නත් ලබාදී තිබෙනවා.

එමෙන්ම කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ සයිනෝෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව මෙරට පුද්ගලයින් 4919,323 දෙනෙකුට ලබා දී තිබෙනවා.

එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 1,346,048 ක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ අතර ස්පුට්නික්-වී එන්නතේ පළමු (1) මාත්‍රාව 159,081 දෙනෙකු ලබාගෙන ඇති අතර එම එන්නතේ මාත්‍රා දෙකම (2) ලබාගෙන ඇති සංඛ්‍යාව 14,464 ක්.

ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව 925,242 දෙනෙකු ලබාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එම එන්නතේ දෙවන (2) මාත්‍රාව 385,885 දෙනෙකුට ලබා දී තිබෙනවා.

මේ අතර ෆියිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගෙන ඇති පිරිස 126,058 දෙනෙක් වන අතර ඇමරිකාවේ නිෂ්පාදනයක් වන මොඩර්නා කොවිඩ් මර්ධන එන්නත මෙරට පුද්ගලයින් 563,368 දෙනෙකුට ලබා දී ඇති බව වාර්තා වනවා.

මේ අතර අද (24) දිනයේද දිවයින පුරා කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ වැඩසටහන ක්‍රියාත්මක අතර පහත දැක්වෙන ස්ථාන වලින් එම එන්නත් ලබාගත හැකි බවයි සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙන්නේ.

[ එම ස්ථාන පිළිබඳ වැඩිදුර තොරතුරු ]

++++++++++++++++++++

(24.07.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

දෛනිකව මෙරට දරුවන් කොරෝනා වෛරසයට ගොදුරුවීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ දිනකට දරුවන් 05 ත් 10 ත් අතර ප්‍රමාණයකට කොරෝනා ආසාදනය වන බවයි.

දැනටමත් ළමයින් 500 කට වැඩි ප්‍රමාණයකට කොරෝනා ආසාදනය වී ඇති අතර, සිදුව ඇති කොරෝනා ආසාදිත ළමා මරණ සංඛ්‍යාව 10 ක්.

මේ අතර, ඊයේ (23) දිනයේ මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 1,815 දෙනා අතරින් 438 දෙනෙකුම ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ (23) ආසාදිතයන් 364 දෙනෙකු වාර්තාවී ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

රත්නපුරයෙන් 138 දෙනෙකු, කළුතරින් 119 දෙනෙකු ලෙසද ඊයේ (23) ආසාදිතයන් වාර්තාවී තිබෙනවා.

මේ වනවිට ‘අලුත් අවුරුදු පොකුරේ’ ආසාදිතයන් සංඛ්‍යාවද ලක්ෂ 02 කට ආසන්න වී ඇති අතර, එය දැක්වෙන්නේ 1,83,880 ක් ලෙසයි.

ඒ අනුව අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයන් මෙරට මුළු ආසාදිතයන්ගෙන් සියයට 62 ඉක්මවා තිබෙනවා.

මේ අතර, 2020 උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීම සඳහා මේ මස 26 වනදා සිට 30 වනදා දක්වා යළි අවස්ථාව ලබාදී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සඳහන් කළා.

එලෙස යොමු කරන අයදුම්පත්වල සඳහන් විශ්වවිද්‍යාල අනුපිළිවෙල හෝ පාඨමාලා තොරතුරු අනුපිළිවෙල වෙනස් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා මේ මස 31 වන දා සිට අගෝස්තු 14 වන දා දක්වා සති දෙකක (2) කාලයක් ලබාදෙන බවයි එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග කියා සිටියේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *