අන්තර් පළාත් බස් හා දුම්රිය සේවා ලබන අගෝස්තු පළමු වනදා (01) සිට

අන්තර් පළාත් බස් හා දුම්රිය සේවා ලබන අගෝස්තු පළමු වනදා (01) සිට

*********************************************

අන්තර් පළාත් බස් හා දුම්රිය සේවා ලබන අගෝස්තු පළමු වනදා (01) සිට

(23.07.2021 – 10:59 +0530 – hirunews.lk/sinhala)

අන්තර් පළාත් බස් හා දුම්රිය සේවා අගෝස්තු 01 සිට සීමා සහිතව ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

මේ අතර තවදුරටත් පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක වීම හේතුවෙන් වයඹ සහ උතුරුමැද පළාත් වෙන් කෙරෙන තඹුත්තේගම කලාඔය පාලම අසළ දී මගීන් බස් රථවලට හුවමාරු වන අතර එහිදී මගීන් චෝදනා කළේ තමන්ට බස් රථ 04 කට පමණ හුමවාරු වීමට සිදුවූ බවයි.

එමන්ම ගෙවුණු දිනයේ ද මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 1721 දෙනාගෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 347 ක්.

මීට අමතරව ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලින් ද ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ 291,298 ක් ලෙසයි.

******************************************

(23.07.2021 – 12:55 +0530 – hirunews.lk/sinhala)

අතුරු පාලක මණ්ඩලයක් පත් කර යළි නාමයෝජනා කැඳවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය පවත්වන්නැයි මොරටුව දිසා අධිකරණය නියෝග කළා.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක් ඊයේ (22) සලකා බැලුණේ මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක වැලිගොඩපිටිය ඉදිරියේයි.

එහිදී විනිසුරුවරයා නියෝග කළේ දැනට නාමයෝජනාව ප්‍රතික්ෂේප වූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට යළි නාම යෝජනා ලබා දීමටද අවස්ථාව ලබාදෙන ලෙසටයි.

ඒ අනුව ස්වාධීන අතුරු කමිටුවක් පත් කිරීමෙන් සහ නිලවරණ කාර්ය පටිපාටියක් සකස් කිරීමකින් තොරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය පවත්වන ලෙසයි විනිසුරුවරයා දැනුම් දෙනු ලැබුවේ.

දැනට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිල මණ්ඩලයේ කාලය අවසන්ව ඇති බැවින් ඔවුන්ට එම ධුරවල තවදුරටත් කටයුතු කිරීමට නොහැකි බවයි විනිසුරුවරයා නියෝග කළේ.

******************************************

(23.07.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් අදට (23) යෙදී ඇති ඇසළ පුර පසලොස්වක පොහොය දිනයට සමගාමීව ආගමික වතාවත්වල නිරතවීම සඳහා බෞද්ධ බැතිමතුන් වෙහෙර විහාරස්ථාන වෙත පැමිණෙමින් සිටිනවා.

පසුගිය කාලසීමාවේදී කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ආගමික ස්ථානවල වැඩ කටයුතු සීමා කෙරුණා.

කෙසේ වෙතත්, පසුගිය දා එම සීමාවන් ඉවත් කිරීමත් සමඟයි අද (23) දින ශ්‍රී දළදා මාළිගාව ඇතුළු අනෙකුත් වෙහෙර විහාරස්ථාන වෙත බැතිමතුන් පැමිණ තිබුණේ.

මීට අමතරව දිවයිනේ අනෙකුත් වෙහෙර විහාරස්ථානවලට ද නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් බැතිමතුන් පැමිණෙමින් සිටින බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.

******************************************

(23.07.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

වන අලි ප්‍රහාරවලින් බේරීම සඳහා සිය දරුවන් තුන්දෙනා (3) සමඟ නිවස ආසන්නයේ ගසක් මත පැළක් අටවාගෙන රාත්‍රි කාලය ගතකරන මවක් පිළිබඳ පුවතක් අනුරාධපුර – තලාව – කුමාරඑළිය ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.

මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා සිය පවුල අතහැරගොස් ඇති අතර, තවත් එක් දරුවෙකු කුරුණෑගල ප්‍රදේශයේ පිරිවෙණක අධ්‍යාපනය ලබන බව සඳහන්.

මෙම කාන්තාවගේ නිවසට අවස්ථා දෙකකදී (2) වන අලි ප්‍රහාර එල්ලවී ඇති අතර, ඇය කියා සිටියේ වසරකට ආසන්න කාලයක් රාත්‍රි කාලය මෙම පැල මත ගත කරන බවයි.

මේ අතර පසුගිය 19 වනදා සිය නිවස ඉදිරිපිටදී වන අලි ප්‍රහාරයකට ලක්වූ පාදයක් අහිමි ආබාධිත රණවිරුවෙකු ඊයේ (22) මියගොස් තිබෙනවා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙක්.

ගම්වාසීන් පවසන්නේ දීර්ඝ කාලයක සිට ඔවුන් මෙලෙස වන අලි තර්ජනයට මුහුණදී ඇති බවයි.

******************************************

රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු තුන්දෙනා (3) අධිකරණයට

(23.07.2021 – 13:31 +0530 – hirunews.lk/sinhala)

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී 16 හැවිරිදි බාලවයස්කාර දැරියක පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, ඇගේ පියා සහ තැරැව්කරුගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය සූදානම් වනවා.

ඔවුන් අද (23) අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, එහිදී අදාළ ඉල්ලීම සිදුකිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

හිෂාලිනී ජූඩ් නැමති මෙම දැරිය බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය 15 වනදායි.

ඇය කලක සිට ලිංගික අපයෝජනයට ද ලක්ව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ බොරැල්ල පොලිසිය සහ කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ වන 46 හැවිරිදි ෂියාබ්දීන් අයේෂා, ඇයගේ පියා වන 70 හැවිරිදි මොහොමඩ් ෂියාබ්දීන් සහ දැරිය අදාළ නිවසට රැගෙන ආ තැරැව්කරු වන 66 හැවිරිදි ශංකර් හෙවත් පොන්නායියා පන්ඩාරම් අද (23) අලුයම අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, එම දැරිය කොළඹට රැගෙන විත් කෲරත්වයට භාජනය කරමින් මෙහෙකාර සේවයේ යෙදවීම, තැනැත්තන් වෙළදාම යන චෝදනා මතයි.

ඊයේ (22) පස්වරුවේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවස පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කළ අතර, පසුව අමාත්‍යවරයාගේ බිරිඳ, බිරිඳගේ පියා, දැරිය නිවසට රැගෙන ආ තැරැව්කරු බොරැල්ල පොලීසියට කැඳවනු ලැබුවා.

එහිදී පැය 10 කට ආසන්න කාලයක් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ.

සිද්ධියට අදාළව 20 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර, එලෙස ප්‍රකාශ සටහන් කරගත් අය අතර, හිටපු අමාත්‍යවරයාගේ නිවසේ සේවය කළ කාන්තාවන් දෙදෙනෙකු (2) ද වනවා.

ඉන් එක් අයෙක් ඩයගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක් වන අතර, ඇයව දූෂණයට ලක් කිරීමේ චෝදනාව මත හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ සොහොයුරා වන 44 හැවිරිදි මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි ෂියාබ්දීන් ඉස්මදීන් පොලිසිය අත්අඩංගුවට ගත්තා.

එම තරුණිය ද හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසට රැගෙන විත් ඇත්තේ බාල වයස්කාර දැරිය රැගෙන ආ පොන්නයියා පණ්ඩාරම් හෙවත් ශංකර් නැමැත්තා විසින් බවටයි හෙළිවුණේ.

එම තරුණිය ස්ත්‍රී දූෂණයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට වෙනම පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

++++++++++++

(23.07.2021 – 14:59 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් මිය ගිය ඉෂාලිනී දැරියට පින් අනුමෝදන් කිරීමේ වැඩසටහනක් අද (23) ඩයගම වතුයායේදී පැවැත්වුණා.

මෙය ඇගේ මව, සුළු පියා, සහෝදර සහෝදරියන් ඇතුළු ඥාතීන් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඇයගේ ඡායාරූපයකට පුෂ්පෝපහාර දක්වා, ඉටි පන්දම් දල්වමින් පින් අනුමෝදන් කිරීම සිදුකර තිබෙනවා ෴

******************************************

(23.07.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala)

පොහොර අර්බුදය, ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් සමගි ජනබලවේගය හෝමාගමදී උද්ඝෝෂණයක නිරත වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඊට එක්ව සිටියා.

******************************************

(23.07.2021 – 13:55 +0530 – hirunews.lk/sinhala)

ලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1150 කට විකිණීමට අදාල ගැසට් නිවේදනය ලබන සතිය තුලදී නිකුත් කිරිමට බලාපොරොත්තු වන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළකළා.

එහිදී අමාත්‍යවරයාට වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට විවෘත ආරාධනාවක්ද සිදුකළා.

******************************************

(23.07.2021 – 14:00 +0530 – hirunews.lk/sinhala)

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ජාතික ජන බලවේගය විසින් මහනුවර නගරයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා.

මෙම උද්ඝෝෂණයට එම පක්ෂයේ නියෝජිතයින් ඇතුළු පිරිස් එක්ව සිටියා.

******************************************

(23.07.2021 – 14:06 +0530 – hirunews.lk/sinhala)

ඔරුගොඩවත්ත – මජිඩ් පටුමඟ ප්‍රදේශයේ නීති විරෝධීව පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් වැටලීමට පොලිසිය පියවර ගත්තා.

ඒ පොලිස් ස්ථාන 3 ක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්.

කලක පටන් ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් වන ආකාරයෙන් මෙම ගව ඝාතකාගාරය පවත්වාගෙන යන බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

මෝදර, දෙමටගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් ස්ථාන එක්ව ඊයේ (22) දිනයේ අදාළ ගව ඝාතකාගාරය වටලනු ලැබුවේ ඒ අනුවයි.

බලපත්‍ර අයථා ලෙස භාවිත කරමින් මහා පරිමාණව මෙම ගව ඝාතකාගාරය පවත්වාගෙන ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

වැටලීම සිදුකළ දිනයේත් ගවයන් 160 දෙනෙකු පමණ අදාල ස්ථානයට රැගෙනවිත් තිබූ අතර පොලිසිය එම ස්ථානයට යන විට සිට ඇත්තේ ගවයන් 20 දෙනෙකු පමණ බව අප වාර්තාකරු සඳහන් කළා.

පෙර දිනවල මෙම ස්ථානයට ගෙනවිත් ඝාතනය කරන ලද බොහෝ සතුන්ගේ හිස් කබල් සහ ශරීර කොටස් පොහොර උරවල දමා පිටතට නොපෙනෙන ලෙස පිදුරුවලින් වසා සඟවා තිබියදී සොයා ගැනුණා.

******************************************

(23.07.2021 – 14:23 +0530 – hirunews.lk/sinhala)

මෙම මාසයේ ගතවූ දින කිහිපය තුළ ඩෙංගු රෝගීන් 397 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ අනුව වසරේ මේ දක්වා මෙරටින් වාර්තාවන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 10,155 ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු රෝගය යලි ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා ෴

@@@@@@@@@@@@@@@

(23.07.2021 – 11:41 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ඊයේ (22) දිනයේදී පුද්ගලයින් 233,720 කට එන්නත් ලබාදී තිබෙනවා.

මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 116,399 කට ලබාදී ඇති අතර, ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 16,628 ක්.

එසේම සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව 87,438 කට ලබාදී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව 13,255 කට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 953 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 265,708 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *