දැරිය පිළිස්සී මිය යාමේ සිද්ධියට නීති උපදෙස් දීමට නිලධාරීන් කණ්ඩායමක්

දැරිය පිළිස්සී මිය යාමේ සිද්ධියට නීති උපදෙස් දීමට නිලධාරීන් කණ්ඩායමක්

*********************************************

දැරිය පිළිස්සී මිය යාමේ සිද්ධියට නීති උපදෙස් දීමට නිලධාරීන් කණ්ඩායමක්

(22.07.2021 – 15:14 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී 16 හැවිරිදි දැරියක් මිය යාමේ සිද්ධියට අදාළ පරීක්ෂණවලට අවශ්‍ය නීති උපදෙස් ලබාදීම සඳහා නීතිපතිවරයා, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් කණ්ඩායමක් පත් කර තිබෙනවා.

නීතිපති සංජය රාජරත්නම් අද (22) දින බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් සිය දෙපාර්තමේන්තුවට කැදවා පැවති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

+++++++++++++

පොලීසිය, රිෂාඩ්ගේ බිරිඳගෙන් ප්‍රශ්න කරයි

(22.07.2021 – 17:53 +0530 – hirunews.lk/sinhala)

මෙහෙකාර සේවයට යොදාගත් බාල වයස්කාර දැරියක් පිළිස්සී මිය යාම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගෙන් පොලීසිය අද (22) ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

බොරැල්ල පොලිස් ස්ථානය වෙත කැදවා ඇයගෙන් මෙම ප්‍රකාශය ලබාගෙන ඇති අතර, ඇයට අමතරව තවත් දෙදෙනෙකු (2) ගෙන් ද සිද්ධිය සම්බන්ධයෙන් අද (22) ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

එසේම, දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට උපදෙස් ලබාදීම සඳහා නීතිපතිවරයා විසින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් කණ්ඩායමක් පත්කර තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුලු පොලිස් කණ්ඩායමක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත කැඳවා අද (22) පැවති සාකච්ඡාවකින් අනතුරුව නීතිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත් 16 හැවිරිදි අදාළ දැරියගේ මරණය සිදුවී සතියක කාලයක් ගතව ඇතත් ඊට වගකිවයුතු පුද්ගලයින්ට මේ දක්වා නීතිය ක්‍රියාත්මක වී නැහැ.

මේ අතර දැරියගේ මව චෝදනා කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වෙනත් දිශාවකට යොමු කිරීමේ උත්සාහයක්ද පවතින බවයි.

පවුලේ ආර්ථික අපහසුතා නිසා ඉෂාලීනි ජූඩ් නැමති මෙම දැරිය පසුගිය වසරේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට ගොස් තිබූ අතර ඇයගේ මව සඳහන් කළේ එහි සේවය කරන අතරතුරදී තමාට දුරකථන ඇමතුම් ලබාදී තවදුරටත් මන්ත්‍රීවරයාගේ නිවසේ සිටිය නොහැකි බැවින් තමාව රැගෙන යන ලෙසට දියණිය කිහිප වරක් ප්‍රකාශ කළ බවයි.

දැරිය එලෙස ප්‍රකාශ කළද මව්පියන්ට හැටන් – ඩයගම සිට කොළඹට පැමිණ එම දැරිය රැගෙන යාමට නොහැකිවී තිබුණේ පළාත් අතර සංචරණ සීමා පැවතීම හේතුවෙන්.

කෙසේ වෙතත් පසුගිය 03 වනදා අදාළ දැරිය පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගතකර ඇති බවට ඇයගේ දෙමාපියන් දැනුවත් කර තිබූ අතර, ඇය ඉකුත් 15 වැනිදා මෙලොව හැර ගියා.

දේහය පිළිබඳ සිදුකළ පරීක්ෂා කිරීම්වලින් අනාවරණ වී තිබුණේ ඇය කලක පටන් අතවරවලටද ලක්ව ඇති බවටයි.

මේ අතර, දැරියට සිදුවූ අසාධාරණයට එරෙහිව අද (22) මුලතිව් නගරයේදී පිරිසක් නිහඬ විරෝධතාවක නිරතවුණා. එසේම එම සිද්ධිය සම්බන්ධයෙන් ‘සිංහල රාවය’ සහ ‘සිංහලේ’ ඇතුළු සංවිධාන කිහිපයක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉදිරිපිට අද (22) උද්ඝෝෂණයක නිරත වුණා.

පසුව එම ස්ථානයට ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදාන පතිරණ මහතා පැමිණි අතර, ඔහු ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධ විමර්ශන වෙනතකට යොමුවන බවට අනාවරණ වුවහොත් සියලු විමර්ශන තම අධිකාරිය යටතට පවරාගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අද දේශපාලන නියෝජිතයින් අදහස් පළ කළා :

++++++++++

පොලීසිය ගනන්හදලා කිවුවා 10 වෙනි මාසේ නොවෙයි 11 වෙනි මාසේ කියලා – බාල වයස්කාර මෙහෙකාර හුටපටෙන් රිෂාඩ් බදුර්දීන් බේරේයි ද?

(22.07.2021 – colombotoday.com)

“මම 10 වෙනි මාසේ කියලා හිතාගෙන හිටියා. ඒ උනාට අද (22) පොලිසිය ගණන් හදලා තමා කිවුවේ 11 වෙනි මාසේ කියලා” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවය කළ පිච්චී මියගිය වතුකරයේ තරුණියක් වූ ජූඩ් කුමාර් ඉෂාලිනීගේ මව ඊයේ (21) සඳහන් කර සිටියාය.

ජූඩ් කුමාර් ඉෂාලිනීගේ උපන් දිනය 2004/11/12 ලෙස සඳහන්ව ඇති අතර ඇයගේ මව මුලින් සඳහන් කල පරිදි ඇයව 10 වෙනි මාසයේ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසට රැගෙන ආවනම් ඇයට වයස අවුරුදු 16 සම්පුර්ණ වී නොමැති අවස්ථාවක ගෙනවිත් ඇත. නමුත් ඇයගේ මවට පොලීසිය ගණන් හදලා පවසූ ආකාරයට 11 වෙනි මාසයේ මෙහෙකාර සේවයට රැගෙන ආවනම් 16 සම්පුර්ණ වී ඇත.

කෙසේ වෙතත්, පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී මෙම දැරිය රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසට රැගෙන විත් ඇති බවත් ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 15 යි මාස 11 ක් පමණ වන බවත් පසුගිය 17 වනදා මෙම සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් සිදුකරමින් පොලිස් මාධ්‍ය පරක්ෂක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මීට ඉහතදී මධ්‍යවර්තාවල සඳහන් වුවේ අදාළ දැරියට රුපියල් 20,000 ක මාසික වැටුපක් ලැබුණු බවයි. කෙසේ වෙතත් ඇයගේ මව තම දියණිය රුපියල් ලක්ෂ දෙකක (2) මුදලක් තමාට එවූ බව පවසයි. එසේනම් ඇය රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මාස 10 ක් සේවය කල යුතුව ඇත.

සත්‍ය කුමක්ද? රටක් බලා සිටියි.

******************************************

(22.07.2021 – 14:42 +0530 – hirunews.lk/sinhala)

ලබන 26 වනදා සිට දෙහිවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය මහජනතාව සඳහා විවෘත කිරීමට තීරණය වී තිබෙනවා.

කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මැයි මාසයේදීයි මෙම සත්වෝද්‍යාන මහජන ප්‍රදර්ශණය සඳහා වසා දැමුණේ.

ඒ අනුව ලබන 26 වනදා සිට දිනපතා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා දෙහිවල සත්වෝද්‍යානය විවෘතව තැබෙන අතර රිදියගම සෆාරි උද්‍යානය පෙරවරු 08:30 සිට පස්වරු 4 දක්වා විවෘතව තැබෙනු ඇති.

කෙසේවෙතත් පින්නවල සත්වෝද්‍යානය සහ අලි අනාථාගාරය මේවන විටත් විවෘත කර තිබෙනවා.

පසුගිය 17 වනදා සිට පින්නවල සත්වෝද්‍යානය දිනපතා පෙරවරු 08:30 සිට පස්වරු 05:30 දක්වා මහජනතාවට විවෘතව තැබෙන අතර පින්නවල අලි අනාථාගාරය පෙරවරු 08:30 සිට පස්වරු 05:30 දක්වා විවෘතව තැබෙනවා ෴

******************************************

(22.07.2021 – 16:42 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (22) පස්වරු 6 සිට අනිද්දා 24 පෙරවරු 8 දක්වා වලංගු වන ආකාරයෙන් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනුයි ඔවුන් මේබව කියාසිටියේ.

නිරිතදිග මෝසම් තත්වය සක්‍රියව පැවතීම හේතුවෙන් සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

මේ අතර ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

අද (22) පස්වරු 02:30 සිට හෙට (23) පස්වරු 02:30 දක්වා අදාළ ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ක් 70 ක් පමණ දක්වා ඉහළ යාහැකියි.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 ක් 60 ක් පමණ දක්වා ඉහළ යාහැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකියි.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.

මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසට ධීවර සහ නාවුක ප්‍රජාවට දැනුම් දෙනවා ෴

+————–

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් අගතිය පත් පාර්ශවයන්ට වන්දි ලබාදීමේදී සුළු පන්න ධීවරයන්ට අසාධාරණයක් සිදුව ඇති බව සමස්ත ලංකා ධීවර වෘත්තිය සමිති සංගමය පවසනවා ෴

******************************************

(22.07.2021 – 17:14 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අකුරැස්ස ඩිපෝව මගින් ආරම්භ කළ රියදුරු පුහුණු පාසල ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) විවෘත වුණා.

එහිදී රියදුරු පාසල සඳහා පළමු සාමාජිකයා බඳවා ගැනීමද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු බවයි ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ෴

@@@@@@@@@@@@@@@@@

විදේශ රැකියාවලට යන අයට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක්

(22.07.2021 – 14:26 +0530 – hirunews.lk/sinhala)

වීසා අනුමත වී විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිතව සිටින සියළු දෙනාට එම රටවල් පිළි ගන්නා කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ වන විටත් රටවල් 15 ක පමණ රැකියා බලපත්‍ර සහ වීසා අනුමත වූ මෙරට ශ්‍රමිකයන් 8000 කට ආසන්න පිරිසක් එම රටවල් පිළිගන්නා කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අනාවරණ වී ඇත්තේ ෴

+++++++++++++++++++

(22.07.2021 – 14:51 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 997 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 264,755 ක් ෴

මෙතෙක් කොරෝනා එන්නත ලබා නොගත් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව යම් පළාතක විදුහල්පතිවරයෙකු, ගුරුවරයෙකු හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අයෙකු කොරෝනා එන්නත ලබාගෙන නොමැති නම් කඩිනමින් තමා සේවය කරන පාසල පිහිටි කලාප කාර්යාලය දැනුවත් කරන ලෙසයි එම අමාත්‍යාංශය දැනුම් දෙන්නේ ෴

++++++++++++++++++++

(22.07.2021 – 17:11 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – බද්දේගම ප්‍රදේශයෙන් ඩෙල්ටා ප්‍රභේදය පවතින බවට සැක සහිත රෝගීන් දෙදෙනෙකු (2) හමුවී තිබෙනවා.

ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් මෙම ආසාදිතයින් දෙදෙනා (2) හමු වී ඇති අතර, ඔවුන්ගේ ආශ්‍රිතයින් 30 දෙනෙකු පමණ මේ වන විට නිවෙස් නිරෝධායනයට යොමු කර ඇති බවයි බද්දේගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළේ.

මීට සති දෙකකට (2) පමණ පෙර කොරෝනා එන්නත ලබාගෙන ඇති මෙම ආසාදිතයින් දෙදෙනා (2) බද්දේගම – උතුර සහ තිලකඋදාගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි වාර්තා වන්නේ ෴

++++++++++++++++++++

(22.07.2021 – 17:28 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනයෙන් මියගිය සහ අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් අති බහුතරයක් එක් (1) එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන නොමැති අය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

එබැවින් වයස අවුරුදු 60 ට වැඩි සහ විවිධ සංකූලතා ඇති ජනතාව එන්නත්කරණ වැඩසටහන්වලට සහභාගී වී එන්නත් ලබාගෙන තමන් ද ආරක්ෂා වී අන් අයගේ ද ජීවිත ආරක්ෂා කරන ලෙසටයි අමාත්‍යවරිය ඉල්ලා සිටින්නේ.

එන්නත්කරණ වැඩසටහනේ ප්‍රධාන අරමුණ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම බව ද ඇය සඳහන් කළා.

මේවන විට රජය විසින් ප්‍රමුඛතාව අනුව දිවයින පුරා ආවරණය වන පරිදි එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණයට එන්නත් තොග ලැබී ඇති අතර ඉදිරියටත් ලැබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය කියාසිටියේ.

පසුගිය දින කිහිපය තුළ රජය විසින් සාර්ථක ආකාරයෙන් එන්නත් ක්‍රියාවලිය සිදු කළ ද එන්නත් ලබාගැනීමට පැමිණෙන ජනතාවගේ යම් අඩුවීමක් සහ මන්දගාමී බවක් දක්නට ලැබී තිබෙනවා.

ඒ බව දත්ත සහ තොරතුරුවලින් සෞඛ්‍ය බලධාරින් පෙන්වාදී ඇති බවයි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියාසිටියේ.

කොවිඩ් ආසාදිතව මියගිය සහ දැඩි සත්කාර ඒකකවල සිටින පිරිස එක් (1) එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන නොමැති අය බවට හෙළිවී ඇත්තේ එම දත්ත සහ තොරතුරු වලිනුයි.

එන්නත්කරණ වැඩසටහන්වල ප්‍රධාන අරමුණ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම බව ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියාසිටියා ෴

++++++++++++++++++++++

විවාහ මංගල උත්සව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට – නීති කැඩුවොත් නඩු

(22.07.2021 – 18:24 +0530 – hirunews.lk/sinhala)

විවාහ මංගල උත්සව පරීක්ෂා කර සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකර නිරෝධායන නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන ස්ථානවලට නීතිමය පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ ඉදිරියේදී පවත්වන සියලු විවාහ මංගල උත්සව පරීක්ෂා කරන බවයි.

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් උත්සව පවත්වන සහ ඊට සහය දෙන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවයි ඔහු අවධාරණය කළේ.

මේ අතර, ගාල්ල – බද්දේගම ප්‍රදේශයෙන් ඩෙල්ටා ප්‍රභේදය වැළදී ඇති බවට සැක කෙරෙන රෝගීන් දෙදෙනෙකු (2) හමුවී තිබෙනවා.

ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් මෙම ආසාදිතයින් දෙදෙනා (2) හමු වී ඇති අතර, ඔවුන්ගේ ආශ්‍රිතයින් 30 දෙදෙනෙකු පමණ මේ වන විට නිවෙස් නිරෝධායනයට යොමු කර ඇති බවයි බද්දේගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළේ.

මීට සති දෙකකට (2) පමණ පෙර කොරෝනා එන්නත ලබාගෙන ඇති මෙම ආසාදිතයින් දෙදෙනා (2) බද්දේගම – උතුර සහ තිලකඋදාගම ප්‍රදේශවල පදිංචිකරුවන්.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ කොරෝනා ආසාදිතව මියගිය හා දැඩි සත්කාර ඒකකවල අසාධ්‍යව සිටින කොවිඩ් රෝගීන් බහුතරයක් එකදු එන්නතක්වත් ලබාගෙන නොමැති බවයි.

එන්නත්කරණ ක්‍රියාවලිය සිදුකළ ද එන්නත් ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ අඩුවීමක් දක්නට ලැබෙන බව ද එම අමාත්‍යාංශය සඳහන් කළා.

එමෙන්ම, වීසා අනුමත වී විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂාවෙන් සිටින සියළු දෙනාට එම රටවල් පිළි ගන්නා කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ වන විටත් රටවල් 15 කට පමණ රැකියා බලපත්‍ර සහ වීසා අනුමත වූ මෙරට ශ්‍රමිකයන් 8000 කට ආසන්න පිරිසක් එම රටවල් පිළිගන්නා කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (22) පැවති සාකච්ඡාවකදී අනාවරණ වී ඇත්තේ.

ඩුබායි, බහාරේන්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්, ඕමාන්, කටාර්, සෞදි අරාබිය, සී-ෂෙල්ස්, සිංගප්පූරුව, දකුණු කොරියාව, ඊශ්‍රායලය, සයිප්‍රසය ඇතුළු තවත් රටවල් කිහිපයකට මෙම පිරිස් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

මෙම රටවල් පිළිගන්නා කොවිඩ් මර්දන එන්නත බැවින් ලබන සතියේදී කොළඹ මධ්‍යස්ථානයකදී මෙම එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරිය එහිදී සදහන් කළා.

මේ අතර, කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මැයි මාසයේ සිට වසා දමා ඇති දෙහිවල සත්ත්ව උද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය යළි ජනතාව සඳහා ලබන 26 වන දා යළි විවෘත කරන බවයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *