ගුරු විදුහල්පති විරෝධතාවයෙන් කොළඹ ගාලු පාර අවහිර වෙයි

ගුරු විදුහල්පති විරෝධතාවයෙන් කොළඹ ගාලු පාර අවහිර වෙයි

*********************************************

ගුරු විදුහල්පති විරෝධතාවයෙන් කොළඹ ගාලු පාර අවහිර වෙයි

(22.07.2021 – 11:56 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විශමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු – විදුහල්පති වෘත්තිය සමිති 30ක් අද කොළඹදී උද්ඝෝෂණයක් ආරම්භ කළා.

කොටුව දුම්රයපොළ ඉදිරිපිට සිට පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි විරෝධතාකරුවන් මේ වන විටත් එම ස්ථානයේ උද්ඝෝෂණයේ නිරත වනවා.

මෙම උද්ඝෝෂණය සංවිධාන කර ඇත්තේ ගුරු – විදුහල්පති වැටුප් විශමතාව ඉවත් කිරීම, ආණ්ඩුවේ මර්දනය නතර කිරීම සහ කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත් කර ගැනීම යන ඉල්ලීම් මුල් කර ගනිමින්.

ඒ සඳහා ලංකා ගුරු සේවා සංගමය, ලංකා ගුරු සංගමය, විදුහල්පති සේවා සංගමය ඇතුළු ගුරු – විදුහල්පති වෘත්තීය සමිති 30ක් එක්ව සිටිනවා.

විරෝධතාකරුවන් අද පෙරවරුවේ කොටුව දුම්රියපොල ඉදිරිපිටට රැස්වී මෙලෙස උද්ඝෝෂණයේ නිරත වුණා.

අනතුරුව එම පිරිස කොටුව දුම්රියපොල ඉදිරිපිට ඕල්කට් මාවත ඔස්සේ ඉදිරියට පැමිණීමත් සමඟ කොළඹ කොටුව ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්ද
හටගත්තා.

විරෝධතාකරුවන් පෙළපාලියකින් ලෝටස් වටරවුම ඔස්සේ ගමන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසටයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු ඔවුන් සමඟ සාකච්ඡාවක නිරත වූ අතර ගුරු සංගම් නියෝජිතයින් ඔහුට ලිපියක්ද බාර දුන්නා.

අනතුරුව ගුරු සංගම් නියෝජිතයන් තිදෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් සාකච්ඡාවකට අවසර හිමිවුණා.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මේ වන විටත් උද්ඝෝෂණය ක්‍රියාත්මක වන අතර අදාළ ගුරු සංගම් නියෝජිතයින් ජනාධිපති ලේකම්වරයා සමඟ සාකච්ඡාවක නිරත වන බවටයි වාර්තා වන්නේ.

******************************************

(22.07.2021 – 12:23 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ විමර්ශන බලගතු හස්තයක් හේතුවෙන් නැවතී ඇද්දැයි සැක මතුවන බව සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළකළේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ෴

******************************************

(22.07.2021 – 12:27 +0530 – hirunews.lk/sinhala)

ඩොලර් හිඟය ඇතුළු ගැටලු කිහිපයක් හේතුවෙන් කිරිපිටි ආනයනයද සීමා කිරීමට සිදුව ඇති බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා.

ඒ අනුව කිරිපිටි ආනයනය සියයට 70 කින් පහළ දැමීමටයි කිරිපිටි සමාගම් පියවර ගෙන තිබෙන්නේ.

මෙරට දෛනික කිරිපිටි පරිභෝජනය ටොන් 200 ක් පමණ වන අතර එය මසකට ටොන් 6,500 ත් 8,000 ත් අතර ප්‍රමාණයක පවතිනවා.

ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මිල ඉහළ යාම, නැව් ගාස්තු ඉහළ යාම මෙන්ම ඩොලරයේ අගය ඉහළ යාම ඇතුළු ගැටලු කිහිපයක් හේතුවෙන් කිරිපිටි ආනයනකරුවන් මීට පෙර අවස්ථා කිහිපයකදී රජයෙන් ඉල්ලා තිබුණ් කිරිපිටි මිල ඉහළ දමන ලෙසටයි.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය මත කිරිපිටි ආනයනය සීමා කිරීමට සිදුව ඇති බව, කිරිපිටි ආනයනකරුවන්ගේ එකමුතුවේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා පැවසුවා.

******************************************

(22.07.2021 – 12:34 +0530 – hirunews.lk/sinhala)

අතීතයේ භික්ෂූන් වහන්සේ වැඩසිටි බවට සැළකෙන ගල්ලෙන් සහිත ආරාම සංකීර්ණයක් වැල්ලවාය ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා.

මේ පිළිබඳ මූලික ගවේෂණ කරන පර්යේෂකයන් අනුමාන කරන්නේ මෙම ආරාම සංකීර්ණයට වසර 2000 කට වඩා පැරණි ඉතිහාසයක් ඇති බවයි.

මේ වැල්ලවාය – ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙහෙරයාය සහ ආඳවෙලයාය ග්‍රාම නිලධාරී වසම් දෙක (2) අතර පිහිටා ඇති කිරිමැටිආර කන්දයි.

මෙම කන්දෙහි අතීතයේ භික්ෂූන් වහන්සේලා වැඩසිටිබවට සැළකෙන කටාරම් සහිත ගල්ලෙන්වලින් සමන්විත ආරාම සංකීර්ණයක් හමු වී තිබෙනවා.

මේ සම්බන්ධව මූලික ගවේශනයට ඉදිරිපත් වූ පර්යේෂකයන් අනුමාන කරන්නේ මෙය වසර 2000 කට වඩා පැරණි ඉතිහාසයක් ඇති ස්ථානයක් බවයි.

මෙහි ආරාම සංකීර්ණය තුළ ආරාම කුටි 7 ක් හමුවන අතර එහි විශාලතම ආරාම කුටිය දිගින් අඩි 60 ක් සහ පළලින් අඩි 15 – 20ත් අතර වපසරියක විහිදී තිබෙනවා.

මෙම ගල්ලෙන ආරාමික භික්ෂුන්වහන්සේලා පරිහරණය කරන්නට ඇතැයි සැලකෙන සෙල්ලිපියක්ද දක්නට ලැබෙන අතර ගවේෂකයන් පෙන්වා දේනනේ ක්‍රිස්තු පූර්ව පළමු සියවස හෝ ඒ ආසන්න කාලයේදී භාවිත වූ අක්ෂර රටාවන් එහි දක්නට ලැබෙන බවයි.

කෙසේ වෙතත් මෙම ස්ථානයේ ඇති ගඩොල් සහිත ප්‍රදේශයක් සහ ආරාම කුටි ඇතුළත කොටස් මේ වනවිටත් නිධන් හොරුන් විසින් විනාශකර තිබෙනවා.

අතීතයේ මෙරට සමාජ, ආර්ථික සහ ආගමික තොරතුරු රැසක් පිළිබඳ තොරතුරු කියාපාන මෙවැනි ස්ථාන ගවේෂණයක් මතු පරපුරට ආරක්ෂා කරගැනීම බලධාරීන්ගේ වගකීමක්.

******************************************

(22.07.2021 – 12:43 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ සිව්වන (4) අදියර ආරම්භ නොකිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අගය කළ යුතු නමුත් බලාගාරය හේතුවෙන් උද්ගත වී ඇති පාරිසරික හා සමාජ විනාශය සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළ යුතුව ඇතැයි හලාවත රදගුරු දේවාශ්‍රිත වැලන්ස් මෙන්දිස් හිමිපාණන් පවසනවා.

තාප විදුලි බලාගාරය හේතුවෙන් මතුවන ගැටලු පිළිබඳව හලාවත මාදම්පේ ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ අදහස් පළ වුණා.

******************************************

මව්කිරි සමඟ වසදීමට තැත්කළ කතක් 4 වනදා දක්වා රිමාන්ඩ්

(22.07.2021 – 12:53 +0530 – hirunews.lk/sinhala)

දින 16 ක් වයසැති සිය බිළිඳියට වස දමා මව්කිරි පෙවීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මව ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඇය හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හම්බන්තොට – සිප්පිකුලම් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මෙම මව පසුගියදා හම්බන්තොට මහ රෝහලේදී දරුවා ප්‍රසූත කර තිබුණා.

එහිදි අඩු බර දරු උපතක් වීම හේතුවෙන් දරුවාගේ බර යථා තත්වයට පත් කරගැනීම සඳහා බිළිඳා නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කර තිබූ බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

සැකකාර මව දිනපතා බිළිඳියට මව්කිරි දොවා පෙවීම සිදුකරන අතර, එම අවස්ථාවේදියි මව්කිරිවලට වස මිශ්‍රකොට පෙවීමට උත්සාහ කර තිබුණේ.

එම අවස්ථාවේදී ඒ පිළිබඳව විමසිලිමත්ව සිටි රෝහල් කාර්ය මණ්ඩලය වහා ඇයගේ මෙම ක්‍රියාව ව්‍යවර්ථ කර තිබෙනවා ෴

******************************************

(22.07.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

පොහොර සහ කෘෂි රසායනික හිඟය සම්බන්ධයෙන් මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වුවද ඊට විකල්ප විසදුම් සොයා ගත් ලොකුලූණු සහ ඩ්‍රැගන් ෆෘට් වගාවක් සම්බන්ධයෙන් අනුරාධපුර – මහවැලි ඩී කලාපයෙන් වාර්තා වුණා.

ඩී කලාපයේ මඩාටුගම, කුඩා ඇලගමුව, මුරුන්ගා හිටි කන්ද, 642 තුලාන ආදි ප්‍රදේශවල ගොවීන් කාබනික පොහොර භාවිතා කරමින් සිදුකළ මෙම වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලබා ගන්නා බවයි වාර්තා වන්නේ.

මේ දිනවල ඉහළ මිලක් ලැබෙන ඩ්‍රැගන් ෆෘට් අක්කරයකින් තමන් රුපියල් ලක්ෂ 25 ත්, 30 ත් අතර ආදායමක් උපයන බවයි ගොවීන් ප්‍රකාශ කළේ.

තමන්ට අවශ්‍ය පොහොර තම ගෙවත්තේම නිෂ්පාදනය කර ගන්නා මෙම ගොවීන් පොහොර නොමැති බවට මැසිවිලි නගන ගොවීන්ට ලබාදෙන්නේ මහත් ආදර්ශයක් ෴

******************************************

(22.07.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොළේ නිසි මිලක් නොමැති වීම හේතුවෙන් ලබා ගත් අස්වැන්න අලෙවි කිරීමට නොහැකිව බඩ ඉරිඟු ගොවීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව රජරට ධාන්‍ය රැස් කරන්නන්ගේ සංගමය පවසනවා.

ගලෙන්බිඳුනුවැව – යකල්ල ප්‍රදේශයේ අද (22) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ ලේකම් ඩබ්ලිව්.එච්. වීරසිංහ මහතා මේ බව කියා සිටියා ෴

******************************************

(22.07.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි පනහකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමග අත්අඩංගුවට ගත් දකුණු කළුතර පොලිස් ස්ථානයේ උප පොලිස් පරික්ෂකවරයා ඇතුළු තුන්දෙනා (3) ලබන මස 05 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවේ මෙම නඩුව අද (22) කැඳවූ අවස්ථාවේදියි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව සැකකරුවන්ගේ ඇඟිලි සළකුණු වාර්තා ලබාගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා නියම කළා ෴

******************************************

විසඳුම් නැහැ – ඔන්ලයින් වර්ජනය අඛන්ඩව

(22.07.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් බැහැරවීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා මේ බව කියා සිටියේ විරෝධතා පා ගමනකින් ජනාධිපති කාර්යාලයට ගොස් ජනාධිපති ලේකම්වරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

@@@@@@@@@@@@@@@@

(22.07.2021 – 11:06 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයින් 175,696 දෙනෙකුට ඊයේ (21) කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

ඒ අනුව මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 111,465 කට ලබාදී ඇති අතර, සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 42,814 ක්. එහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 5,165 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ඊයේ (21) ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව ද පුද්ගලයින් 16,252 කුට ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++++++++

(22.07.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ප්‍රදේශයේදී කාන්තාවකට මොඩර්නා එන්නත එකවර දෙපාරක් (2) එන්නත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශණයක් ආරම්භ කර ඇති අතර එහි වාර්තාව තමන්ට කඩිනමින් ලැබෙනු ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් ජයසූරිය මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ බොහෝ දුරට මෙම වාර්තාව අද (22) ලැබෙනු ඇති බවයි.

මහනුවර – උඩපේරාදෙණිය – ඔගස්ටාවත්ත ප්‍රදේශයේ එන්නත්කරණය සිදුකරන ස්ථානකදීයි අදාළ කාන්තාවට මොඩර්නා එන්නත එකවර අවස්ථා දෙකකදී (2) ලබාදී ඇත්තේ.

ඉන් අනතුරුව සංකූලතා පෙන්නුම් කිරීම හේතුවෙන් ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා ප්‍රකාශ කළේ එන්නත්කරණයේදී ජනතාව ද සැලකිලිමත් ලෙස කටයුතු කළ යුතු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයට ද යම්කිසි වගකීමක් පවතින බව ද ඔහු ප්‍රකාශ කර සිටියා. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණයක් සිදුකරන ලෙසට අදාළ අංශ දැනුවත් කර ඇති බවත් එම වාර්තාව කඩිනමින් තමාට ලැබෙනු ඇති බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර, මොඩර්නා එන්නත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍යය ප්‍රචාර සිදුවන බවට මහනුවර මහ රෝහලේ නීති වෛද්‍ය නිලධාරිවරයා සිදුකළ පැමිණිල්ලකට අනුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ හේතුවෙන් ජනතාව එන්නත්කරණයට මැලිවන බව පවසමිනුයි වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා විසින් මහනුවර පොලීසියට ඊයේ (21) මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ.

අදාළ එන්නත ශරීරයට අහිතකර බවත් ඊට නැනෝ තාක්ෂණය මුසුකර ඇති බවටත් පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන මෙම අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මේ අතර වයස අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයින්ටද එන්නත්කරණ කටයුතු අද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණා.

එසේම චීනයේ සිට අද (22) අලුයම දිවයිනට රැගෙන ආ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ විස්ස (20) කොළඹ මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන ගියා.

මේ අතර, කොරෝනා ආසාදිතයන් වාර්තාවීම ඊයේ (21) දිනයේ ඉහළ ගොස් තිබූ අතර, එලෙස හඳුනාගැනුනු ආසාදිතයන් සංඛ්‍යාවෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා. එම සංඛ්‍යාව 486 ක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *