මොඩර්නා එන්නත පිළිබඳව අසත්‍ය ප්‍රචාර පතුරවන්නන් එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර

මොඩර්නා එන්නත පිළිබඳව අසත්‍ය ප්‍රචාර පතුරවන්නන් එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර

*********************************************

මොඩර්නා එන්නත පිළිබඳව අසත්‍ය ප්‍රචාර පතුරවන්නන් එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර

(22.07.2021 – 07:28 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල මෙරට එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන මොහොතේ සමාජ මාධ්‍ය මගින් අසත්‍ය ප්‍රචාර පැතිර යන බවට වාර්තා වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මේ දින වල මහනුවරට ලබා දෙන මොඩර්නා එන්නත පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ප්‍රචාරණය වන බවට මහනුවර මහා රෝහලේ නීති වෛද්‍යවරයා විසින් ඊයේ (21) මහනුවර පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවයි.

මේ දිනවල මහනුවර ප්‍රදේශයේ මොඩර්නා එන්නත්කරණය සිදුවන මොහොතක මහජන විශ්වාසය එන්නත්කරණය සම්බන්ධයෙන් බිඳවැටෙන හෙයින් මෙලෙස අසත්‍ය ප්‍රචාර පතුරවන්නන් එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා ෴

++++++++++++++++++++++++

(22.07.2021 – 06:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ විස්සක් මෙරටට රැගෙනවිත් තිබෙනවා.

අද අලුයම ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානා දෙකකින් මේවා කටුනායක ගුවන් තොටුපලට රැගෙන ආ බවයි ගුවන් තොටුපල කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ.

ඒ අනුව මේ දක්වා මෙරටට ලැබී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා සංඛ්‍යාව ලක්ෂ 91 ක්.

මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් මෙම සතිය තුළදී මෙරටට ලැබීමට නියමිත බව කොළඹ මහනගර සභාව පවසනවා. එහි වසංගත රෝග වෛද්‍යවේදිනි දිනූකා ගුරුගේ ප්‍රකාශ කළේ අදාළ එන්නත් තොගය ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ලබාදීමට නියමිත බවයි.

ඒ අනුව කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබාදෙන දිනය හා ස්ථානය කෙටි පණිවුඩයක් මගින් ඉදිරියේදී දැනුම් දෙනු ඇති.

මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතාවට දැනුම් දුන්නේ තමන්ට ලැබෙන පළමු අවස්ථාවේදීම එන්නතේ වර්ගය පිළිබදව අවධානයක් යොමු නොකොට එය ලබා ගන්නා ලෙසයි.

අද (22) උදෑසන 06 සිට තවත් ප්‍රදේශයක් හුදෙකලා බවින් නිදහස් කර තිබෙනවා.

එම ප්‍රදේශය පහතින් :

නිරෝධායන නීති කඩකළ 189 දෙනෙකු පොලිසිය ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති කඩකළ 51,581 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

දීර්ඝ සති අන්තයක් හෙට (23) සිට එළඹෙන බැවින් ජනතාව නිරෝධායන නීතින්ට අනුගතව කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දෙනවා.

දීර්ඝ සති අන්තයේ තුළ සංචරණ සීමා උල්ලංඝනය කරන පිරිස් සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අමතර පොලිස් නිලධාරීන් ද යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පළාත් සංචරණ ආසන්නව මාර්ග බාධක යෙදවීමටත් පොලිසිය කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴

+++++++++++++++++++++++

(22.07.2021 – 06:19 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයන් 1,604 දෙනෙකු ඊයේ (21) හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්ෂ අසු නවදහස් පන්සීය හැත්තා හතක් (2,89,577) දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 1,566 දෙනෙකු ‘අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ’ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 38 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 21,949 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 2,63,758 ක්.

තවත් කොරෝනා මරණ 47 ක් මෙරටින් වාර්තා වීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව හාරදහසේ සීමාවට ආසන්න වී තිබෙනවා.

පෙරේදා මෙම මරණ 47 වාර්තා වී ඇති අතර එය ඊයේ (21) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමඟ මෙරට මුළු මරණ සංඛ්‍යාව දැක්වුණේ 3917 ක් ලෙසයි.

මේ අතර හෙටින් (23) ඇරඹෙන දීර්ඝ සති අන්ත නිවාඩුවේදී නිරෝධායන නීති දැඩි කිරීමට පොලිසිය පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

පළාත් සීමාවන්ට අමතරව පොලිස් නිලධාරීන් යොදවා පරීක්ෂා කිරීම් ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම ගතවූ පැය විසි හතර (24) තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 189 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

++++++++++++++++++

පේරාදෙණියේ සිව් (4) දරු මවකට මොඩර්නා එන්නත් දෙකම එකට දීලා

(22.07.2021 – 08:24 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය ඔගස්ටාවත්තේ සිව්දරු (4) මවකට උඩපේරාදෙණිය යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ දී කොරෝනා නසන මොඩර්නා එන්නත එකම දින දෙවතාවක් (2) ලබාදීම හේතුවෙන් රෝගී වී තිබෙනවා.

මේ හේතුවෙන් ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රථිකාර ඵ්කකයට ඇතුළත් කළ බව පේරාදෙණිය රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මෙම ඵන්නත් ලබාදීමේ ක්‍රියාවලියේ දී ඵකම හෙදියක විසින් කිසිදු වගවිභාගයකින් තොරව තම බිරිඳට මෙසේ එකවර ඵන්නත් දෙකක් (2) ලබාදීමෙන් අනතුරුව රෝගීවීමෙන් පසු ඵහි හදිසි වෛද්‍ය ප්‍රථිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබාදී ඉන් පසුව තම බිරිඳ නිවසට කැඳවාගෙන යන ලෙසට තමාට උපදෙස් දුන් බවයි රෝගී කාන්තාවගේ ස්වාමියා සඳහන් කළේ.

ඵදින රාත්‍රියේ එම කාන්තාවගේ රෝගී තත්ත්වය නැවත උත්සන්න වීමෙන් අනතුරුව ප්‍රථිකාර සඳහා වහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට රෝහලෙන් ලැබුණු උපදෙස් මත තමා පේරාදෙණිය පොලීසියටද පැමිණිල්ලක් කළ බවයි ඔහු කියා සිටියේ ෴

++++++++++++++++++

(22.07.2021 – 10:07 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා කල් තබා හඳුනාගැනීම සඳහා භාවිතයට ගන්නා කඩිනම් රෝග විනිශ්චය පරික්ෂණ කට්ටල ලක්ෂ 5 ක් ඇමරිකාව විසින් පරිත්‍යාග කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදුන් මෙම කට්ටලවල වටිනාකම රුපියල් මිලියන 300 ක්.

කොවිඩ් වෛරසයට එරෙහි සටනේදී ශ්‍රී ලංකාවට සහයදීමේ පොරොන්දුවෙහි කොටසක් ලෙස මෙම පරීක්ෂණ කට්ටල පරිත්‍යාග කර ඇති බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළා.

ජූලි 16 වනදාද ඇමරිකාව මිලියන 1.5 ක මොඩර්නා එන්නත් තොගයක් මෙරටට පරිත්‍යාග ලෙස ලබාදුන්නා ෴

@@@@@@@@@@@@@@@@

මුස්ලිම් නීති සහමුලින්ම අහෝසි කරන්න. 69 ලක්ෂය ගොනාට අන්දන්න හදන්න එපා – අලි සබ්‍රිගේ කැබිනට් පත්‍රිකාව ගැන සුදත්ත හිමියෝ කියති

(22.07.2021 – colombotoday.com)

අලි සබ්‍රි අධිකරණ අමත්‍යවරයා මුස්ලිම් විවාහ නිතිය පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් යොමු කර තිබෙන බවත් එයට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බවත් මාගල්කන්දේ සුදත්ත හිමි ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

කිසිම පුරවැසියෙකු කවරම හේතුවක් මත, වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුතු බවට ආණ්ඩුක්‍රම විවස්ථාවේ 12 වැනි ව්‍යවස්ථාව මගින් පනවා ඇති විධිවිධානවල තිබෙන නමුත් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත මගින් කාන්තාවන් වෙනස්කමකට භාජනය කර ඇති බැවින් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ විවාහ සහ දිකසාද පාලනය කරනු ලබන පොදු නීතිය යටතේම මුස්ලිම් ප්‍රජාවට අයත් තැනැත්තන්ගේ ද විවාහ සහ දිකසාද පාලනය කිරීම සඳහා අවස්ථාව ලබා දීම ඉතා හොඳ තීරණයක් බවත් සුදත්ත හිමියෝ එහිදී පැවසීය.

කෙසේ වෙතත් මෙම ක්‍රමවේදයට අනුව ලංකාවේ පොදු විවාහ නීතියට අනුකුලව විවාහ වීමට අකමැති අයට මුස්ලිම් විවාහ දික්කසාද පනතට අනුකුලව විවාහ වීමට අවස්ථාව දී ඇති බැවින් කාති උසාවි, මුස්ලිම් නීතිය, ෂරියා නීතිය එසේම ක්‍රියාත්මක වන බව ද සුදත්ත හිමියෝ පැවසීය.

මේ කරන්න යන දෙයින් වාසිය සැලසෙන්නේ ද අන්තවාදීන්ට බැවින් 69 ලක්ෂයේ ජනවරම ගොනාට අන්දන්නෙ නැතිව මුස්ලිම් නීති සහමුලින්ම අහෝසි කිරීමට පියවර ගත යුතු බවත් සියලුම ශ්‍රී ලාංකිකයන්ට පොදු නීතියක් ක්‍රියාත්මක කර ‘එක රටක් එක නීතියක්’ ක්‍රියාත්මක කරන ලෙස ඒ හිමියෝ වැඩිදුරටත් සඳහන් කරන ලදි.

******************************************

සභාපති හඩ්සන් සජීවීව ගුවන් විදුලි රෙද්ද කඩයි.. ‘පඩි බැසිල්ගෙන් ඉල්ල ගනිල්ලා’ කියයි..

(21.07.2021 – 22:22 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විකාශය කරන ලද වැඩසටහනකට එක්වෙමින් එහි සභාපති හඩ්සන් සමරසිංහ මහතා සංස්ථාව තුල සිදුව ඇති බරපතළ අක්‍රමිකතාවයන් ගණනාවක් හෙළිදරව් කර ඇත.

සංස්ථාවේ නුසුදුස්සන් ගණනාවකටම උසස්වීම් දේශපාලන හා පුද්ගලික හිතවත්කම් මත උසස්වීම් ලබා ඇති බවද දී ඇති බවද ගොළුවන්ට පවා නිවේදක තනතුරු ලබාදී ඇති බව ද කියා සිටියි.

නමුත් විරුද්ධ දේශපාලන මත දරන දක්ෂ සේවකයින් කිසිවකුට උසස්වීම් ලබා දී නැති බවද ඔවුන්ගේ සේවය ස්ථිර කිරීම පවා කර ඇති බවට ද ඔහු චෝදනා කළේය.

මෙම තත්ත්වය මත ගුවන්විදුලි සංස්ථාව පාඩු පිට පාඩු ලබමින් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව ද පත්වීම් ලබා ගත් අය අදාළ වැටුප් වර්ධක බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ගන්නා ලෙසද ඔහු එහිදී කියා සිටී.

******************************************

(22.07.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජය විසින් රුපියල් ට්‍රිලියන 6 ක විදේශීය ණය ගෙන ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

එසේ නොමැති බවට විපක්ෂයේ කවුරුන් විසින් හෝ ඔප්පු කරන්නේ නම් තමන් ඒ සඳහා පණ්ඩිත විවාදයකට ඇරයුම් කරන බවයි කොළඹ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

මේ අතර, ඉහළ ප්‍රමිතියෙන් යුත් දේශීය කුළු බඩු වර්ග අඩංගු රුපියල් 1350 ක වෙළදපොළ වටිනාකමක් සහිත කුළු බඩු ඇසුරුමක් රුපියල් 800 ක සහන මිලට අලෙවි කරන බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා එම මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළා.

ඉදිරි සති වලදී සතොස වෙළදසැල් ජාලයෙන් මෙම දේශීය කුළු බඩු ඇසුරුම සහන මිලට ලබා ගත හැකි යි ෴

******************************************

(22.07.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

ඵෙතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර හෙටට (23) යෙදෙන ඇසළ පුර පසලොස්වක පොහෝ දා වීථි සංචාරය කිරීමට නියමිතයි. අද (22) එහි 13 වන පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා ෴

******************************************

(22.07.2021 – 08:41 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය අලෙවි කරන කාන්තාවකගෙන් සහ පිරිමියෙකුගෙන් එය තවදුරටත් පවත්වාගෙන යාමට ඉඩදීම සඳහා කප්පම් ඉල්ලූ හමුදා සෙබළුවන් තුන්දෙනෙකු (3) හලාවත සහ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ හලාවත – මයික්කුලම ප්‍රදේශයේ පදිංචි ගංජා සහ මත්කුඩු ජාවාරම්කාරියකගෙන් යුදහමුදා සෙබළුන් දෙදෙනෙකු (2) කප්පම් ඉල්ලා ඇති බවට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මොවුන් ඊයේ (21) රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බවයි.

මොවුන් දෙදෙනා (2) පැමිණිලිකාරියගෙන් රුපියල් 15,000 ක මුදලක් ලබාගැනීමට උත්සාහ කර තිබෙනවා.

එමෙන්ම තවත් යුද හමුදා සෙබලෙකු ද සීදූව ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයෙකුගෙන් රුපියල් 80,000 ක මුදලක් කප්පම් ලෙස ලබාගැනීමට උත්සහ කළ අවස්ථාවේදි අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම යුද හමුදා සෙබළුවන් තුන්දෙනා (3) සේවයෙන් නෙරපීමට කටයුතු කරන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර ඇත්තේ ෴

******************************************

(22.07.2021 – 08:59 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට, උතුරුමැද සහ වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට, මන්නාරම, වවුනියාව, කිලිනොච්චිය සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මෙන්ම පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකි බව එහි සඳහන්.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීමේදී ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා ෴

******************************************

(22.07.2021 – 10:56 +0530 – hirunews.lk/sinhala)

දෙමාපියන් නොමැති දරුවන්ට උපකාර කරන මානව හිමිකම් ක්‍රියාකාරී සංවිධානයක පිරිසක් ලෙසට පවසා වවුනියාව නගරයේ ස්ථාන කිහිපයකින් මුදල් එකතු කිරීමේ ජාවාරමක් සිදුකළ කාන්තාවන් හය දෙනෙකු (6) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසූවේ ප්‍රදේශවාසීන් සිදුකළ දැනුම්දීමක් මත වවුනියාව ගුඩ්ෂෙඩ් වීදිය ප්‍රදේශයේ නිවාසවලින් මුදල් රැස් කළ කාන්තාවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් කාන්තාවන් වයස අවුරුදු 20 ත් 35 ත් අතර පිරිසක් වන අතර, අදාළ කාන්තාවක් දෙමාපියන් නොමැති දරුවන්ට උපකාර කිරීමට බව ප්‍රකාශ කරමින් මුදල් එකතු කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අදාළ කාන්තාවන් පවසා ඇත්තේ තමන්ට දිනකට රුපියල් 500 ක මුදලක් ලබාදෙන අතර, තමන් මුදල් එකතුකොට අදාළ සංවිධානයේ නායිකාවකට ලබාදෙන බවයි.

අත්අඩංගුවට ගත් කාන්තාවන් 6 දෙනා පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

මෙම සිදුවීමට සම්බන්ධ එම සංවිධානයේ ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීම සඳහා වව්නියාව පොලිසිය වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *