බදියුදීන්ගේ නිවසේ මියගිය දැරිය ගැන පරීක්‍ෂණ යට ගහන්න ප්‍රබල බලපෑම් …

බදියුදීන්ගේ නිවසේ මියගිය දැරිය ගැන පරීක්‍ෂණ යට ගහන්න ප්‍රබල බලපෑම් …

*********************************************

බදියුදීන්ගේ නිවසේ මියගිය දැරිය ගැන පරීක්‍ෂණ යට ගහන්න ප්‍රබල බලපෑම් …

(22.07.2021 – 10:00 +0530 – lankacnews.com)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන්ගේ නිවසේ දී සේවය කර මෙහෙකාර සේවයේ සිටියදී මියගිය බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ යට ගැසීම සඳහා ප්‍රබල බලපෑම් එල්ල වෙමින් ඇතැයි ඇති බවට තොරතුරු ඇතැයි එක්සත් මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂිකා ප්‍රනීතා වර්ණකුලසූරිය මහත්මිය සඳහන් කරයි.

මෙම දැරිය බදුර්දීන්ගේ නිවසේ දී ඝාතනය කළැයි සැක ඇති බවත් දූෂණයට ලක්ව ඇත්තේ එහිදීම විය හැකි බවත් ඇය පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වෙන බවක් නොපනෙන බවත් දැරිය මිය යන තෙක්ම ප‍්‍රකාශයක් ලබාගෙන නැති බවත් ඇය කියා සිටී.

ඇය මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාව පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

++++++++++++

මියගිය මෙහෙකාර දැරිය බදියුදීන්ගේ නිවසේ රදවා ඇත්තේ බල්බයක්, පංකාවක් නැති වර්ග අඩි 100 ක සිරකුටියක.. පිටතින් අගුළු දාලා…

(22.07.2021 – 10:02 +0530 – lankacnews.com)

සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි ඉෂාලිනි දැරිය බරපතළ කෲරත්වයකට – නොසලකා හැරීමකට ලක්කර මියයාමට සලස්වා ඇති බව දැනට සිදු කෙරෙන විමර්ශනවලින් අනාවරණය වී ඇති හෙයින් මෙම අපරාධයට වගකිවයුත්තන් වහාම නීතිය හමුවට පමුණුවන ලෙස ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතාගෙන් ඉල්ලා සිටියි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ ඉල්ලා සිටියේය.

දිනපතා උදෑසන 05:30 සිට රාත්‍රී 10:30 තෙක් මෙහෙකාර සේවයේ යෙදවීමෙන් පසුව, ඉෂාලිනි දැරිය රිෂාඩ් බදියුදීන්ගේ නිවසට යාබද විදුලි බල්බයක් හෝ විදුලි පංකාවක් හෝ නොමැති, නිසි පරිදි වාතාශ්‍රය ද නොලැබෙන වර්ග අඩි 100 ක පමණ සිරකුටියක් වැනි කාමරයක පිටතින් අගුළු දමා නිවැසියන් විසින් රඳවා තබා තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි සමරවීර මහතා පෙන්වා දුන්නේය.

එසේම ඉෂාලිනි එම නිවසේ සේවයේ යොදවාගෙන තිබූ මාස 08 ක කාලය තුළ මාසයකට 02 බැගින් 16 වතාවක් පමණක් ඇයට තම මවට දුරකථන ඇමතුම් ලබා ගැනීමට ඉඩ දී තිබූ බවත් ඉෂාලිනීගේ මවගෙන් ලැබුණු දුරකථන ඇමතුම් ඇයට ලබාදී නොමැති බවත් වාර්තා වී ඇතැයි ද ජානිපෙ ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

එපමණක් නොව අධිකරණ වෛද්‍ය වාර්තා මඟින් මෙම 16 හැවිරිදි දැරිය මැදිවියේ කාන්තාවන්ගේ කායික ලක්ෂණවලින් සමන්විත බවත් නිතිපතා ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවත් හෙළිදරව් කර තිබෙන බව කී සමරවීර මහතා මේ සියලු කරුණු මඟින් ‘ඉෂාලිනී දැරිය බරපතළ කෲරත්වයකට සහ නොසලකා හැරීමකට ලක්කර ඇති බව මැනවින් තහවුරු වී ඇතැයි’ සඳහන් කළේය.

මෙහිදී දණ්ඩ නීති සංග්‍රහය අනුව බදියුදීන් නිවැසියන් අපරාධමය වරදක් සිදු කොට ඇතැයි දැනටමත් තහවුරු වී තිබෙන බවත් තිදරු පියකු වන බදියුදීන් මහතා ඇතුළු නිවැසියන් සිත්පිත් නොමැතිව, අබමල් රොනකවත් මනුස්සකම නොහඳුනන පිරිසක් ලෙස කටයුතු කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දරුවන් කෲරත්වයට – නොසලකා හැරීමට ලක්කර සියදිවි හානි කරගන්නා තත්වයකට පොළඹවාලන, එසේ සිදු කළ අපරාධය වසන් කර දැමීමට ඔවුන්ගේ දිවි තොර කරන ‘අපරාධකරුවන්’ට බරපතළ ලෙස වැට බැඳෙන, ඉදිරියේදී දරුවන් මෙවන් ඉරණමකින් බේරාගැනීමට තබන බලගතු පියවරක් ලෙස සලකා මෙහිදී කඩිනමින් යුක්තිය ඉටුවිය යුතු බවත් සමරවීර මහතා අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සමන්සිරි හේරත්, දීපාල් ගුණසේකර යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

+++++++++++++

මියගිය දැරිය

+++++++++++++

කොරෝනාවෙන් රස්සාව නැති වූ නිසා දුව මන්ත‍්‍රීගේ ගෙදර වැඩට ගියා.. මගේ දුවට මේ ඉරණම අත්වූයේ දුප්පත්කම නිසයි… මියගිය දැරියගේ මව

(22.07.2021 – divaina.com)

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාරියව සිටියදී සැක සහිත ලෙස මරණයට පත්වූ 16 හැවිරිදි දැරියගේ ඛේදජනක මරණය සම්බන්ධව විධිමත් හා කඩිනම් පරීක්‍ෂණයක් පවත්වා වගකිව යුතු පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව මහනුවර ‘මානව හිමිකම් කේන්ද්‍රයේ’ අධ්‍යක්‍ෂ නන්දන මනතුංග පියතුමා පැවසීය.

ශ‍්‍රී ලංකාවේ වතුකරයේ අසරණ කම්කරු පවුල්වල දරු දැරියන් මෙවන් සාහසික අවස්ථාවලට බොහෝ අවස්ථාවලදී මුහුණ පාන බවද නන්දන මනතුංග පියතුමා පැවසීය.

සැක කටයුතු ලෙස මන්ත‍්‍රීවරයාගේ නිවස තුළදී ඇති වූ බව කියන ගින්නකින් ජීවිතක්‍ෂයට පත්වු බව කියන ‘ජූඩ් කුමාර් ඉෂාලිනී’ දැරියගේ මව සහ පියා විසින් කරන ලද ශෝචනීය පුවතට සවන් දීමෙන් පසු නන්දන මනතුංග පියතුමා මෙම අදහස් පළ කළේය.

තවදුරටත් අදහස් දැක් වූ නන්දන මනතුංග පියතුමා මෙසේද පැවසීය : “වතුකරයේ බාල වයස්කාර දරු දැරියන් සහ තරුණියන් මෙවන් ශෝචනීය ඉරණමට පත්වීම සම්බන්ධයෙන් වතුකරයේ කම්කරු ජනතාව නියෝජනය කරන දේශපාලනඥයන්ද වගකිව යුතුයි. ජීවිතක්‍ෂයට පත් වූ දැරියගේ දෙමාපියන් තම දියණියගේ මරණය සම්බන්ධයෙන් සැක පහළ කරනවා. එම නිසා අදාළ අංශ විධිමත් ලෙස පරීක්‍ෂණයක් පවත්වා වගකිව යුතු පාර්ශවයන්ට විරුද්ධව දැඩිව පියවර ගත යුතුයි. මේ වන විට අපට විශ්වාසයක් පවතින්නේ මේ රටේ අධිකරණය කෙරෙහි පමණකි.

නිෂාලිනි දැරියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් සත්‍යය හා ඒ පිළිබඳව යුක්තිය හා සාධාරණත්වය ඉටුවන තුරු ‘මානව හිමිකම් කේන්ද්‍රය’ ඉතා අවධානයෙන් බලා සිටිනවා.”

මිය ගිය දැරියගේ මව ඩයගම රාජමානික්කම් රංජනී මහත්මිය : “මගේ දුවට මේ ඉරණම ඇත්වුනේ අපේ දුප්පත්කම නිසයි. දුප්පත්කම නිසා මන්ත‍්‍රීවරයාගේ නිවසේ සේවය කරන්නට යෑමට මගේ දුවට සිදුවුණා. දිවිනසා ගැනීමට මගේ දුවට කිසිම හේතුවක් තිබුණේ නැහැ.

කොවිඞ් නිසා අපි ඉතා අසරණ තත්ත්වයකට පත්වුණා. ඒ නිසා මගේ දුවට බදුර්දින් මන්ත‍්‍රීගේ නිවසට වැඩකාරකමට යන්ට සිදුවුණා. මගේ දුවට අත් වූ ඉරණම වෙන කිසිම දුවෙකුට සිදු නොවේවා කියා මම ප‍්‍රාර්ථනා කරනවා.”

මිය ගිය දැරියගේ පියා ඩයගම ජෙයරාජ් ජූඩ් කුමාර් මහතා කොවිඩ් නිසා මට රක්‍ෂාව කරගෙන ඉන්නට බැරිවුණා. මම මීගමුවේ වැඩකරමින් සිටියේ. රැකියාව කරන්ට බැරිවුණු නිසා ගෙදරට පැමිණියා. පවුලට ආදායමක් ගෙනෙන්නට මගේ දුව රිෂාඩ් බදුර්දින් මන්ත‍්‍රීගේ නිවසට ගියා. ඒ තැරැව්කාරයකුගේ මාර්ගයෙන්. අසරණ අපේ දුව ගිනි තබා ගත්තා කියන එක හිතන්ට බැහැ. මගේ දුවට සිදු වූ දේ තවත් අයෙකුට සිදුවන්ට එපා කියා ප‍්‍රාර්ථනා කරනවා. තම දියණියගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණයක් පවත්වන ලෙස හෙතෙම ඉල්ලීමක්ද කළේය.

වතුකරයේ ජනතාවගේ ආර්ථිකය දියුණු කර ගැනීම සඳහා කර්මාන්ත ශාලා නිර්මාණය කර තරුණ තරුණියන්ට රැකී රක්‍ෂා සැපයීමට දේශපාලකයන්ගේ අවධානය යොමු විය යුතු බවද හෙතෙම පැවසීය.

ඩයගම මීසම භාර ඩිලාන් පෙරේරා පියතුමාද නීතිඥ සුරේන් පෙරේරා, සහ නීතිඥ සුරංගිකා රණවීර යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

සිරිල් විමලසුරේන්ද්‍ර

+++++++++++++

රිෂාඩ් ගේ ජීවිතය බේරා දෙමු! (බොරැල්ලේ පොලිසියට සම්මාන දෙමු)

(22.07.2021 – divaina.com කතුවැකිය)

දහසය (16) හැවිරිදි දෙමළ මෙහෙකාර දැරියක වූ ජේ. ඉශාලිනි ට සිදු වූ විපත මේ මිහිමත සිටින කිසිදු දැරියකට සිදු නොවේවා! අවුරුදු දහසයක (16) නව යොවුන් දැරියක් මෙවැනි ඉරණමකට ලක්විය යුතුද?

වසර 2004 නොවැම්බර් 12 දා හැටන් පළාතේ ඩයගම දී උපන් ජේ. ඉශාලිනි ජූලි මස 03 දා රිෂාඩ් බදියුදීන්ගේ ගෙදර මෙහෙකාරකම් කරන අතර බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහලට ඇතුළත් කරන ලද්දීය. ඇගේ සිරුර 60% ක් පිළිස්සී තිබූ අතර රෝහලට ගෙන යන අවස්ථාවේදී ඇයට කතා කර ගැනීමටවත් නොහැකි විය. ඒ නිසා අප දන්නා පරිදි ඇගෙන් කටඋත්තරයක් ගැනීමට රෝහල් පොලිසියට බැරි විය.

රිෂාඩ් බදියුදීන් ගේ ගෙදර වළං සේදූ, රෙදි සේදූ, පිඟන් සේදූ, ගෙබිම අතු පතු ගෑ, ඒ අතර විටින් විට දූෂණය කෙරුණු ඉශාලිනි හැටන්වලින් කොළඹට ගෙනෙනු ලබන්නේ ගෙවල්වලට මෙහෙකාරියන් සපයන බ්‍රෝකර් හරහාය. පොන්නයියා නැමති එම බ්‍රෝකර් ඉශාලිනි විකුණා ඇත්තේ රුපියල් දෙලක්‍ෂයකට යැයි කියනු ලැබේ.

ඉශාලිනිගේ මරණ පරීක්ෂණයේදී හෙළිදරව් වූ පරිදි ඇය දීර්ඝකාලීනව දූෂණය කරන ලද්දියකි. ඇය රිෂාඩ්ගේ ගෙදරට ගෙනෙනු ලබන්නේ මාස අටකට (8) පෙර ය. ඇය රාත‍්‍රී කාලයේදී නිදාගත්තේ වෙනම කාමරයකය. මේ ගෙදර රිෂාඩ් ද ඔහුගේ කුඩා පුත‍්‍රයා ද ඔහුගේ බිරිඳ ද අවුරුදු තිහක් (30) පමණ වයස් වූ මස්සිනා ද ඩ‍්‍රයිවර් ද ජීවත් වූ බව කියනු ලැබේ. දැරිය පිළිස්සුම් තුවාල ලැබීමෙන් පසු ඇගේ කාමරයේ තිබී භූමිතෙල් බෝතලයක් සහ ලයිටරයක් හමු විය.

ඉහත සඳහන් ජේදය එකිනෙකට සම්බන්ධ සිද්ධි දාමයක් අපිළිවෙළට ගොනු කෙරුණු අවස්ථාවකි. මෙතැන් සිට අපි මේ කතාවට පිළිවෙළට බසිමු.

ජේ. ඉශාලිනි පිළිස්සුනේ කොහොමද? (1) ඇයගේ සිරුරට ගිනි ඇවිළිණ. (2) කිසිවකු විසින් ඇගේ සිරුරට ගිනි තබන ලදී. (3) ඇයම සිරුරට ගිනි තබා ගත්තාය. නව යොවුන් මෙහෙකාර දැරියගේ මරණය පිළිබඳ සාකච්ඡා කරන විට මෙකී කරුණු තුන මූලික කරගෙන කතා කළ යුතු වෙයි. ඉශාලිනි පිළිස්සීම පිළිබඳව ඇසින් දුටු සාක්ෂි තවමත් හමුවී නැත. ඇය මිය ගියේ කිසිවකු විසින් සිරුරට ගිනි තබනු ලැබීමෙන් පසුව නම්, එසේ ගිනි තැබූ බවට සැක කරන එකා අල්ලාගෙන පොලිසියේ බාල්කයේ එල්ලා පහරදෙන විට කුමක් හෝ සාක්ෂියක් සොයා ගැනීමට පුළුවන. එහෙත් මේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන බොරැල්ල පොලිසියේ කොන්ද පණ නැති නියාලූ ප‍්‍රතිපත්තිය නිසා කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට හැකිවී නැත.

රිෂාඩ්ගේ ගෙදර තිබෙන්නේ කොළඹ හතේ බෞද්ධාලෝක මාවතේ ය. මීට දශක දෙකකට පමණ පෙර කොටින් විසින් මන්නාරමට පහරදෙන ලද අවස්ථාවේදී පොලිතීන් බෑගයක ඇඳුම් අසුරාගෙන රිෂාඞ් බදියුදීන් කොළඹට පැමිණි ආකාරය මෙහිදී අමතක කර දමමු. යුද අනාථයකු ලෙස කොළඹට එන්නකු කොළඹ හතේ බෞද්ධාලෝක මාවතෙන් ගෙයක් මිලට ගැනීම ගැන අපට කිසිදු ඉරිසියාවක් නැති අතර එය හොඳ වැඩක් ලෙස රෙකමදාරු කළ හැකිය.

කොළඹ හතේ ගෙවල්වල, නාවලපිටියේ ඩයගම වතුකරයේ ගෙවල්වල මෙන් භූමිතෙල් ලාම්පු පත්තු කරනු නොලැබේ. එසේ නම් ඉශාලිනිගේ කාමරයට භූමිතෙල් බෝතලයක් ගියේ කෙසේද? කාමරයට නිතර දෙවේලේ ගැරඬින් එන බැවින් උන් එළවීමට භූමිතෙල් අවශ්‍යවීද? ඉශාලිනි කඬේට ගොස් භූමිතෙල් ගෙනාවා නම් රිෂාඩ් ගේ ගෙදර සී සී ටී වී කැමරාවල ඒ බවක් සටහන් වී තිබේදැයි බොරැල්ල පොලිසිය සෙව්වේද? කාමරයේ තිබූ ලයිටරය ගෙනෙන ලද්දේ ඉශාලිනි ද නොඑසේ නම් මේ ගෙදර සිටින හෝ මේ ගෙදරට ආව ගිය දුම්බොන්නකු විසින් ද? වතුකරයේ දුර ගමකින් පැමිණි අසරණ මෙහෙකාර දැරියක් කඩයට ගිය විට තෝරා ගන්නේ ලයිටරයක් ද නැත්නම් ගිනි පෙට්ටියක්ද? ඉහත සඳහන් ප‍්‍රශ්න අතර අපි මේ මොහොතේ අතරමංව සිටිමු. ඇසින් දුටු සාක්ෂි නැති නිසා ඉශාලිනි ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්නට සිදු වන්නේ භූමිතෙල් බෝතලය සහ ලයිටරය නමැති පරිවේශනීය සාක්ෂි මතය.

දැරියගේ මරණය සම්බන්ධයෙන් බොරැල්ලේ පොලිසිය ඉතාම මානුෂික ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනේ. හැබැයි ඒ ප‍්‍රතිපත්තිය අනුගමනය වන්නේ මියගිය දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් නොව ජීවත්ව සිටින මිනීමරුවන් වෙනුවෙනි. බොරැල්ල පොලිසිය ඉතිහාසයේ පටන් ම කොන්ද පණ නැති පොලිසියකි. මෙයට අවුරුදු 10 කට පෙර කරටිය බිමට පාත්වෙන තරමට අරක්කු ගැසූ වතුකරයේ දෙමළ දේශපාලනඥයෙක් බොරැල්ල පොලිසියට ගොස් ඕ අයි සී ගේ පුටුවේ වාඩි විය. රස්සාවට බිය නැති හරිහමන් ඕ අයි සී කෙනකු එදා ඒ පොලිසියේ සිටියේ නම් පෙරකී දේශපාලනඥයා ගේ දසවන මරණ සමරුව මේ අවුරුද්දට යෙදෙනවා ඇත.

ලංකාවේ පොලිසි වැඩි හරියක් කැපවෙන්නේ හොරපොල් කඩන අය ඇල්ලීම සඳහා පමණි. හොරපොල් කඩන්නෙක් දරුණු මිනී මරන්නෙක් බවට පත්කිරීමට පොලිසියකට පුළුවන. එනම් හොර පොල් කඩන්නා අල්ලා ඔහුට පහර දී ඔහුගේ සාක්කුවට කුඩු පැකට් එකක් දමා ඔහු රිමාන්ඞ් කරනු ලැබේ. හිරෙන් එළියට යෑමට අවශ්‍ය ඇපය ගෙවා ගැනීමට නොහැකිව හොරපොල් කඩන්නා අවුරුදු ගාණක් රිමාන්ඞ් එකේ ලගී. එතැනදී ඔහුගේ ‘කලණ මිතුරන්’ වන්නේ මිනීමරුවන් සහ කුඩු වෙළෙඳුන් වැනි සමාජ විරෝධී අපරාධකාරයන් ය. අන්තිමේදී ඇප ලබා එළියට එන හොර පොල් කඩන්නා යන්නේ ඇතුලේ සිටින තම මිතුරන් ගිය මාර්ගයේම ය.

ජේ. ඉශාලිනි මියගොස් පැය හතළිස් අටක් ඇතුළත රිෂාඩ් බදියුදීන්ට පපුවේ අමාරුවක් හැදිණ. ඔහු ඒ වනවිට සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කූඩුවේ ය. පාස්කු බෝම්බය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා මීට දෙමසකට පෙර ඔහු අත්අඩංගුවට ගන්නා ලදී. පාස්කු බෝම්බය යනු පොඩි බෝම්බයක් නොව ලොකුම ලොකු බෝම්බ මාලාවකි. මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේදීවත් පපුවේ අමාරුවක් නොහැදුණු රිෂාඩ් බදියුදීන්, ජේ. ඉශාලිනි ගේ මරණයෙන් පැය හතළිස් අටක් ඇතුළත පපුවේ අමාරුකාරයකු වීම ගැන අප තුළ සාධාරණ සැක සහිත ශෝකයක් තිබේ.

අපේ වැඩිම ශෝකය අසරණ මෙහෙකාර දැරියට අත්වූ ඉරණම ගැනය. ලංකාව ඉතා වේගයෙන් කාම අපරාධකරුවන්ගේ සහ ළමයින් අපහරණය කරන්නන්ගේ රාජ්‍යයක් බවට පත්වෙමින් තිබේ. ඉදිරියේදී, මේ පිළිබඳව දැනට ඉන්දියාව සතුව තිබෙන රෙකෝඩ් එක කැඞීමට ලංකාවට පුළුවන. දැනට පවතින සැක කටයුතු තත්ත්වයන් මත ඉශාලිනිගේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණය බොරැල්ල පොලිසියෙන් ඉවත්කොට වෙනත් පොලිසියකට පවරන ලෙස අපි යෝජනා කරමු. රිෂාඞ් බදියුදීන්ගේ පපුවේ අමාරුව සුවකර ඔහු ජීවග‍්‍රහයෙන් තබා ගැනීම ඉදිරි පරීක්ෂණවලදී ප‍්‍රයෝජනවත් වීමට පුළුවන ෴

++++++++++++

රිෂාඩ්ගේ බිරිඳ අයේශා දැරිවියට සලකා තිබෙන්නේ තිරිසන් විදිහට

(22.07.2021 – am.lk)

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ වන අයේශා බදුර්දීන් මියගිය ඉශාලිනී ජූඩ් කුමාර් බාල වයස්කාර දැරිවියට අමානුෂික ලෙස සලකා ඇති බව වාර්තා වෙමින් තිබෙනවා.

මිය ගිය දැරිවිය මීට මාස 8 කට පමණ පෙර රිෂාඩ් බදුදීන්ගේ නිවසේ මෙහෙකාරකමට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

දැරිවියගේ මවට බොරු කීම

එම කාලය තුළ මිය ගිය දැරිවියගේ මව සිය දියණිය දැක බලා ගැනීම සඳහා 4 වතාවක් හැටන් සිට බදුදීන් මහතාගේ බෞද්ධාලෝක මාවතේ නිවස වෙත පැමිණ තිබෙනවා.

ඒ කිසිදු වතාවක මියගිය දැරිවියට සිය මව හමුවීමට බදුදීන් මහතාගේ බිරිඳ ඉඩ දී නොමැති අතර දැරිවිය පුත්තලමේ නිවසක සිටින බව 4 වතාවෙම දන්වා තිබෙනවා.

දැරිවියට මව සමග දුරකථනයෙන් කතා කිරීමට අවස්ථාව ලබාදී තිබෙන්නේද රිෂාඩ් බදුදීන් මහතාගේ බිරිඳ ඉදිරිපිටදී ලවුඩ්ස්පීකර් දමා බවද වාර්තා වනවා.

දුරකථන කතාබහටත් සවන් දීම

එහිදී දැරිවියට සිය මව සමග කිසිදු පෞද්ගලික දෙයක් කතා කිරීමට රිෂාඩ් බදුදීන්ගේ බිරිඳ ඉඩ ලබා දී නැහැ.

තමාට නිවැසියන්ගෙන් හිරිහැර වන බව පමණක් දැරිවිය විසින් දුරකථනයෙන් මවට දැනුම්දී තිබෙනවා.

දැරියට පහර දීම

එසේ දැරිවියට පහර දෙන්නේ මෙහෙකාර වැඩ කටයුතු හරියට කරන්නේ නැති නිසා බව එහිදී තමන් අමතා බදුර්දීන්ගේ බිරිඳ පැවසූ බව දැරිවියගේ මව මේ වන විටත් හෙළිදරව් කර තිබෙනවා.

එපමනක් නොව දැරිවියට නිවසේ පිටුපසට වන්නට ඇති එළියෙන් ඇතුල් විය හැකි ඩබල් ඇඳක් පමණක් ඇති අනාරක්ෂිත කාමරයක්ද ලබාදී තිබෙනවා.

දැරිවිය රාත්‍රී 10:30 ට එම කාමරයට දමා අගුලුදා වසා දමන අතර යළිත් පැය 6 කට පසු පාන්දර 05:30 ට මෙහෙකාර වැඩ කටයුතු සඳහා රිෂාඩ් බදුර්දීන්ගේ බිරිඳ යොදවා තිබෙනවා.

දැරිවිය අතවරයට ලක්ව තිබෙන්නේ මෙම අනාරක්ෂිත කාමරේදී බවයි විශ්වාස කෙරෙන්නේ.

ගෙදර පාලනය බිරිඳ අතේ

රිෂාඩ් බදුර්දීන් මහතා දැරිවිය මෙහෙකාර සේවයට පැමිණ මාස පහකට (5) පමණ පසු සිට එනම් පසුගිය අප්‍රේල් මස සිට සිටින්නේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ වන බැවින් නිවසේ සියලු කටයුතු සිදුව තිබෙන්නේ ඔහුගේ බිරිඳගේ අණසක යටතේ.

දැරිවිය තමන්ට මෙම නිවසේ තවදුරටත් සිටීමට නොහැකි බව ඇගේ මවට දැනුම් දී තිබෙන අතර එහිදී මව සඳහන් කර තිබෙන්නේ තමන් එම නිවසේ මෙහෙකාර සේවයට පැමිණ දියණියව යළි නිවස බලා යැවීමට සූදානම් බවයි.

ඒ සඳහා පසුගිය ජූලි 6 වනදා රිෂාඩ් බදුදීන් මහතාගේ නිවස වෙත පැමිණීමට දැරියගේ මව සූදානමින් සිට තිබෙනවා.

මව ඒමට පෙර ගිනි ගැනීම

එහෙත් මව පැමිණීමට දින 3 කට පෙර එනම් ජූලි 3 වනදා දැරිවිය පිලිස්සීමට ලක් වී තිබෙන්නේ.

දැරිවියගේ සිරුරෙන් 72% කට වඩා ප්‍රමාණයක් පිලිස්සී ඇති බවයි වාර්තා වන්නේ ෴

+++++++++++

(22.07.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවයේ යෙදී සිටියදී 16 හැවිරිදි බාල වයස්කාර දැරියක පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (21) දිනයේදී පුද්ගලයින් හයදෙනෙකු (6) ගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මියගිය දැරියගේ මව, සුළු පියා, සහෝදරයා, සහෝදරිය සහ දැරිය මෙම නිවසට රැගෙන ආ තැරැව්කරු විසින් මීට පෙර කැඳවාගෙන එනු ලැබූ තරුණියන් දෙදෙනෙකු (2) ගෙන් මෙලෙස ප්‍රකාශ ලබාගත් බවයි.

මේ අතර, මෙම දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තම අමාත්‍යාංශය මගින් ද විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කොළඹ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Government and SBJ silent on the poor murdered servant girl Isalini. They are more concerned for the Rechards vote on their side, they are keeping they protecting and the murderers and giving them oxygen. Police showing impotence or diverting investigations to mislead the public. All of them are co-conspirators to deny justice to the dead child. Now judge the rotten corrupt politicians for what they are. Despicable scum!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *