සහතික මිලට වී ගන්න මෝල් හිමියන් එකඟ වේ – නාඩු 50 යි, සම්බා 52 යි

සහතික මිලට වී ගන්න මෝල් හිමියන් එකඟ වේ – නාඩු 50 යි, සම්බා 52 යි

*********************************************

සහතික මිලට වී ගන්න මෝල් හිමියන් එකඟ වේ – නාඩු 50 යි, සම්බා 52 යි

(21.07.2021 – 13:51 +0530 – hirunews.lk/sinhala)

රජයේ සහතික මිලට පමණක් යල කන්නයේ වී මිලදී ගැනීමට සහල් මෝල් හිමියන් එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ, කෘෂිකර්ම සහ වෙළඳ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද (21) පැවති සාකච්ඡාවකදීයි.

ඒ අනුව නාඩු කිලෝවක් රුපියල් 50 කටත්, සම්බා කිලෝවක් රුපියල් 52 කට සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 55 කටත් ගොවීන්ගෙන් මිලදී ගැනීමට සහල් මෝල් හිමියන් එකඟතාව පළ කළ බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

******************************************

(21.07.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය පනත් කෙටුම්පත ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාශ උපදේශක කාරක සභාවේ තවදුරටත් සළකා බැලීමෙන් අනතුරුව ලබන මස 6 වනදා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පැවති පක්ෂ නායක රැස්වීමේදියි.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබඳ පළමු (1) දින විවාදය පැවැත්වුණා.

කෙසේ වෙතත් ඉදිරියේදී වෙනත් දිනයක අදාළ විවාදය පැවැත්වෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විපක්ෂය ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම හමුවේයි.

මේ අතර ලබන අගෝස්තු මස 03 වනදා සිට හයවනදා (06) දක්වා දින 4 ක් පාර්ලිමේන්තුව රැස්වීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා ෴

******************************************

(21.07.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

බලංගොඩ – කල්තොට කැල්සයිට් නිධිය උපයෝගී කරගනිමින් ඒ ආශ්‍රිතව අගය එකතු කළ නිෂ්පාදන සඳහා කර්මාන්ත ශාලාවක් පිහිටුවීමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

එම අමාත්‍යාංශය නිවේදනය කළේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම ගිවිසුමට අද (21) අත්සන් තැබූ බවයි.

කැල්සයිට්වලින් නිපදවන ලද ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම සඳහා වාර්ෂිකව විදේශ විනිමය මිලියන ගණනක් වැයවන බැවින් අදාළ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඉදිකිරීමට තීරණය කර තිබෙනවා ෴

******************************************

(21.07.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

මහියංගනය – උල්හිටිය වන රක්ෂිතයේ යෝජිත වන අලි කොරිඩෝව තුළ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම හේතුවෙන් එම පරිසර පද්ධතිය විනාශවන බවට තොරතුරු වාර්තා වනවා.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ දේශපාලනඥයෙකුගේ මැදිහත්වීම මත සිදුකරන මෙම ඉඩම් අත්පත් කරගැනීම හරහා ඉදිරියේදී අලි – මිනිස් ගැටුම් වර්ධනය වීමේ අවදානමක්ද මතුව ඇති බවයි.

මහියංගනය – උල්හිටිය වන රක්ෂිතයේ යෝජිත වන අලි කොරිඩෝව තුළ ඉඩම් කොටස් 100 කට අධික ප්‍රමාණයක් බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් පිරිස් පදිංචිවෙමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

ප්‍රදේශවාසීන් පෙන්වාදෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලනඥයෙකුගේ මැදිහත්වීම මත මෙම ඉඩම් අත්පත් කර ගනිමින් සිටින බවයි.

මේ හරහා රක්ෂිත කොටසේ කැලෑ එළි පෙහෙලි කිරීම් ද සිදුවන අතර මේ වන විටත් ඇතැම් පුද්ගලයින් පැල්පත් නිවාස ඉදිකරමින් පවතින්නේ මේ ආකාරයෙන්.

මේ හේතුවෙන් අලි වැට ඉදිකිරීමේ කටයුතුවලටද බාධා එල්ල වී ඇති අතර ඉඩම් පත්පත්කර ගැනීම හේතුවෙන් ඇහිරී ඇත්තේ වස්ගමුව සිට මාදුරුඔය වන රක්ෂිත ප්‍රදේශයෙට වන අලි ගමන් කරන මාර්ගයයි.

මෙම තත්ත්වය මත ඉදිරියේදී මෙම ප්‍රදේශයේ අලි – මිනිස් ගැටුම් ඉහල යාමේ අවදානමක්ද පවතින බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

මේ අතර තලංගම රක්ෂිතය හරහා ඔරුගොඩවත්ත සිට අතුරුගිරිය දක්වා ඉදිකිරීමට යෝජිත අධිවේගී මාර්ගයක් හේතුවෙන් එම පරිසර පද්ධතිය විනාශ වන බව පවසමින් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ලිපියක් භාරදුන්නා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම මාර්ගය ඉදිකිරීමට අදාලව පරිසර තත්ත්ව වාර්තාවක් හෝ ලබා ගැනීමට කටයුතු කර නොමැති බවයි.

ශ්‍රී ලංකාව රැම්සා තෙත්බිම් ජාත්‍යන්තර සම්මුතියට පවා අත්සන් තබා ඇති පසුබිමක මෙම තලංගම තෙත්බිම් කලාපය විනාශ කරමින් ඉදිකරන අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නවතා දැමීමට මැදිහත්වන ලෙසයි පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින්නේ.

******************************************

(21.07.2021 – 16:35 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ සිව් වන (4) අදියර ආරම්භ නොකිරීමට රජය තීරණය කර තිබීම අගය කළ යුතු නමුත් බලාගාරයෙන් සිදුවී ඇති පාරිසරික හා සමාජීය විනාශය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව හලාවත රදගුරු අති උතුම් වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් ප්‍රකාශ කළා.

හලාවත – මාදම්පේ ප්‍රදේශයේ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියාසිටියා ෴

******************************************

(21.07.2021 – 16:37 +0530 – hirunews.lk/sinhala)

යුද හමුදාවේ විමර්ශන කණ්ඩායමක සාමාජිකයෙකු ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් බියට පත් කර කප්පම් ගැනීමේ ජාවාරමක නිරත වූ යුද හමුදා සෙබලෙකු මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අද (21) අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ – හීනටියන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක්.

සීදුව – කොටුගොඩ ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකුගෙන් හමුදා නිළ ඇඳුමකින් පැමිණි පුද්ගලයෙකු රුපියල් 80,000 ක කප්පම් මුදලක් ලබා ගත් බවට ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(21.07.2021 – 17:00 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය බදු ආදායමෙන් සියයට 86 ක්ම රාජ්‍ය සේවක හා විශ්‍රාම වැටුප් ගෙවීමට වැය කරන බවත්, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට නම් ජනතාව මත පනවන බදු ඉහළ දැමිය යුතු බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

එසේ නොමැතිනම් රාජ්‍ය දේපළ විකිණීම හෝ ණය ගැනීම කළ යුතු බවටයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය වර්ෂයේ රජයට ලැබුණු බදු ආදායම වූ රුපියල් බිලියන 1,216 න් බිලියන 1,052 ක් විශ්‍රාමික සහ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා වැය කර ඇති අතර, වැටුප් ගෙවීමෙන් පසු රජයේ බදු ආදායමෙන් ඉතිරි වන්නේ රුපියල් බිලියන 164 ක් බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ ෴

******************************************

(21.07.2021 – 17:02 +0530 – hirunews.lk/sinhala)

තඹුත්තේගම – ගුරුගම ප්‍රදේශයේදී සරුංගල් යවමින් සිටි නව (9) හැවිරිදි දරුවෙකු අනාරක්ෂිත වගා ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ දරුවා ඊයේ (20) වෙල් යායක සරුංගල් යවමින් සිටි අවස්ථාවේදී එහි තිබූ අඩි විස්සක් (20) පමණ (ගැඹුරු ?) වූ අනාරක්ෂිත ළිඳකට වැටී ඇති බවයි.

දරුවා යළි නිවසට නොපැමිණීම නිසා දෙමව්පියන් කළ සොයා බැලීමකදීයි දරුවාගේ සිරුර ළිඳ තුළ තිබී සොයා ගැනුණේ.

******************************************

(21.07.2021 – 17:42 +0530 – hirunews.lk/sinhala)

බොරතෙල් මෙට්‍රික් ටොන් 120,000 ක් ලබා ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (20) විවෘත කළ ටෙන්ඩරයට කිසිදු බොර තෙල් සපයන සමාගමක් ලංසු තබා නොමැති බව වාර්තා වනවා.

ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරන්නේ සාමාන්‍යයෙන් මෙවැනි ටෙන්ඩරයක් කැඳවු වූ අවස්ථාවකදී එයට ලංසු තැබීම සඳහා ලබාදෙන කාලය තුළ අවම වශයෙන් සැපයුම්කරුවන් තිදෙනෙකු (3) වත් එයට ලංසු තබන බවයි.

කෙසේවෙතත් මෙම ටෙන්ඩරයට සැපයුම්කරුවන් ධනාතාත්මක ප්‍රතිචාර නොදැක්වීමට හේතුව වී ඇත්තේ මේ දිනවල ශ්‍රී ලංකාවේ පවතින ඩොලර් හිඟය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙරට තුළ ඩොලර් හිඟයක් ඇති බව මේ වනවිට ජාත්‍යන්තර සැපයුම්කරුවන් ද අවබෝධ කරගෙන ඇති අතර මතුව ඇති තත්ත්වයත් සමග මෙම ටෙන්ඩරයේ දින වෙනස් කර නැවත ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වාණිජ අලෙවි අංශය සූදානම් වන බව අදාළ ප්‍රකාශකයා කියා සිටියා.

කෙසේවෙතත් මෙම ටෙන්ඩරය ප්‍රමාද වුව ද ඒ පිළිබඳ කලබල වීමට කිසිදු කරුණක් නොමැති බවයි ඔහු පවසන්නේ.

ඊට හේතු වී ඇත්තේ මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ ඉදිරි සති තුනකට (3) පමණ ප්‍රමාණවත් නිමි ඛනිජ තෙල් තොග ගබඩා කර තිබීමයි ෴

******************************************

(21.07.2021 – 18:08 +0530 – hirunews.lk/sinhala)

ළමා අපයෝජන පාලනය වෙනුවෙන් විධිමත් ජාතික දත්ත පදනමක් සකසන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත් විදානපතිරණ මහතා පවසනවා.

මෙම ජාතික දත්ත පදනම ලබන අගෝස්තු මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට සූදානම් කර ඇති බවයි ඔහු කියාසිටියේ.

ළමා අපයෝජන වැළැක්වීම සහ එවැනි අපචාරවලට ගොදුරු වූ ළමයින් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිකය් සකස් කිරීමට ළමාරක්ෂක අධිකාරිය ප්‍රමුඛත්වය ලබාදී තිබෙනවා.

ළමා අපයෝජන වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග, එවැනි අපචාරවලට ගොදුරුවූවන් ආරක්ෂා කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අධිකාරිය රජයට උපදෙස් දෙනු ලබනවා.

අපචාරවලින් ආරක්ෂා වීම වෙනුවෙන් ළමා අයිතිවාසිකම් සහ ළමා අපයෝජන වැළැක්වීමේ ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම දිස්ත්‍රික්ක 25 ට අයත් ළමාරක්ෂක අධිකාරී කාර්යාලවලට පැවරී ඇති වගකීමක්.

සභාපතිවරයා සඳහන් කළේ ළමා අපයෝජන වැළැක්වීමට සහ අපචාරවලට ගොදුරු වූවන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ අයිතීන් රැක ගැනීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම අවශ්‍ය අවස්ථාවලදී එම කාර්යය සඳහා අදාළ අමාත්‍යංශවල පළාත් සභාවල පළාත් පාලන ආයතනවල දිසා හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ රජයේ හා පෞද්ගලික අංශයේ සංවිධානවල උපදෙස් විමසන බවයි.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ආසියානු සහ යුරෝපා රටවල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන සිදුවීම අඩු මට්ටමක පවතින බවයි.

නවීන තාක්ෂණයත් සමග අපචාර හඹා යෑමේ අවස්ථා බහුල වීම හේතුවෙන් සිදුවීම් වාර්තාවීම වැඩි වී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

ළමා අපයෝජන පිටුදැකීම සඳහා කෙටිකාලීන හා දීර්ඝ කාලීන පියවර රැසක් ගෙන ඇති අතර නීති දැඩි කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

ළමා අපයෝජන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිදු පාර්ශවයකට හෝ කිසිදු බලපෑමකට යටත් නොවන බවයි අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

එමෙන්ම දරුවන් විශාල වශයෙන් අන්තර්ජාල පරිශීලනය සඳහා යොමුවී ඇති යුගයක ඒ පිළිබඳ දැඩි අවධානයකින් පසුවීම හා ළමා අපයෝජන වළක්වා ගැනීම සම්බන්ධයෙන් ජනතාවට ද විශාල වගකීමක් ඇති බව ඔහු කියාසිටියා ෴

@@@@@@@@@@@@@@@

(21.07.2021 – 14:27 +0530 – hirunews.lk/sinhala)

අද (21) දිනයේදීත් කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 930 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 263,758 ක් ෴

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගත් තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් (2) හෙට (22) අලුයම දිවයිනට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1180 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 289,153 ක් ෴

++++++++++++++++++++

(21.07.2021 – 18:21 +0530 – hirunews.lk/sinhala)

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් මෙම සතියේ ලැබෙන බව කොළඹ මහ නගර සභාව නිවේදනය කරනවා.

කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යා වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය පැවසුවේ අදාළ එන්නත් තොගය ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ගේ දෙවැනි (2) මාත්‍රාව ලෙස භාවිතා කරන බවයි.

කොළඹ නගර සභා බල ප්‍රදේශය තුල ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු (1) මාත්‍රාව ලෙස ලබාගත් සෑම කෙනෙකුටම දෙවන (2) මාත්‍රාව ලබා දෙන දිනය සහ ස්ථානය කෙටි පණිවුඩ මගින් දැනුම් දෙන බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි පළමු (1) මාත්‍රාව වෙනත් ප්‍රදේශවල දී ලබාගත් පුද්ගලයින්ට තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (MOH) හරහා අදාළ උපදෙස් ලබා ගත යුතු බව ඇය ප්‍රකාශ කළා.

ඇස්ට්‍රාසෙනෙකා පළමු (1) එන්නත් තොගය මෙරටට ලැබුණේ ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙසටයි.

කෙසේ වෙතත් පසුව ඉන්දියාව තුළ සීඝ්‍රයෙන් හිස එසවූ කොවිඩ්-19 වසංගත රෝග තත්ත්වය හේතුවෙන් එරට ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිෂ්පාදනය කරන සීරම් ආයතනයට ලැබුණු ජාතන්තර ඇණවුම් ප්‍රමාණය සපුරා ගැනීමට නොහැකි වූයේ ඉන්දීය ඉල්ලුම ඉහළ යාම හේතුවෙන්.

මේ තත්ත්වයත් සමග මෙරට ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් පුද්ගලයන් ලක්ෂ 6 කට අධික ප්‍රමාණයක් පත් වූයේ දැඩි අපහසුතාවයකටයි.

කෙසේවෙතත් මීට සති දෙකකට (2) පමණ පෙර ජපානය නිවේදනය කළේ ඔවුන් සතුව ඇති ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1.5 කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබාදෙන බවයි.

මෙම සතියේ අග භාගයේ මෙරටට ලැබෙන්නේ එලෙස ජපානයෙන් මෙරටට ලැබෙන ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) කොටසයි ෴

++++++++++++++++++++++

(21.07.2021 – 18:41 +0530 – hirunews.lk/sinhala)

මෙරට සිදුවූ තවත් කොරෝනා මරණ 47 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (20) තහවුරු කර තිබෙනවා.

ඊයේ (20) තහවුරු කෙරුණු මරණ අතරට පිරිමි 26 ක් සහ කාන්තාවන් 21 ක් ඇතුලත්.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3917 ක් ලෙසටයි.

අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමි පුද්ගලයන් 10 ක් සහ කාන්තාවන් 4 දෙනෙකු මියගිය පිරිසට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි 16 ක් සහ කාන්තාවන් 17 ක් ඊයේ (20) තහවුරු කළ මරණ අතර වනවා ෴

+++++++++++++++++++++

(21.07.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala)

සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බවට තහවුරු වූ රෝගීන් 36 දෙනෙකු මේ දක්වා මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එම ප්‍රභේදය ආසාදිත බවට සැක සහිත තවත් දස දෙනෙකු (10) වාර්තා වී ඇති බවයි.

මේ අතර, බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය මාසය තුළ පමණක් එවැනි මරණ 4 ක් වාර්තා වී ඇති බවයි එම රෝහලේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.

මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගත් තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් (2) හෙට (22) අලුයම දිවයිනට ලැබීමට නියමිතව තිබෙනවා.

ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කළේ අදාළ එන්නත් දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට ලබාදීමට කටයුතු කරන බවයි.

අද (21) දිනයේදීත් මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින් 1180 ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර, අද (21) දිනයේදීත් කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 930 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 263,758 ක් දක්වා ඉහළ ගියා.

(21.07.2021 – 20:31 +0530 – hirunews.lk/sinhala)

වැඩිහිටියන් සහ ළමයින් අතර සීග්‍රයෙන් පැතිර යන චර්ම රෝගයක් පිළිබඳව සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබෙනවා.

චර්ම රෝග විශේෂඥයන් පෙන්වා දෙන්නේ ‘ටීනියා’ නැමති මෙම දිලීරය ආසාදිත චර්ම රෝගීන් උතුරුමැද ඇතුලු ප්‍රදේශ කිහිපයකින් හමුවී ඇති බවයි.

පාරිසරික හේතු, ඖෂධවල අසාත්මිකතාවන් සහ සමාජ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල ලෙස මෙම දිලීරය ඇතිවිය හැකියි.

මෙය ආසාදනය වුවහොත් සුවය ලැබීම සඳහා මාස 6 ක කාලයක් ප්‍රතිකාර ලබාගත යුතු බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *