මම හිතපු නැති විදිහට හැමදෙයක්ම කණපිට හැරීගෙන යනවා – මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා

මම හිතපු නැති විදිහට හැමදෙයක්ම කණපිට හැරීගෙන යනවා – මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා

*********************************************

මම හිතපු නැති විදිහට හැමදෙයක්ම කණපිට හැරීගෙන යනවා – මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා

(21.07.2021 – 11:15 +0530 – hirunews.lk/sinhala)

නලින් පෙරේරා කියන්නේ කණ්ඩායම් සංගීතය තුළ පෙරළියක් කළ දක්ෂ, ජනප්‍රිය ගායකයෙක්.

විවාහ මංගල උත්සව හා ඒ සම්බන්ධව මේ වෙද්දී පැනනැගී ඇති ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඔහු මහජනතාව දැනුවත් කරන හඬපටයක් නිකුත් කර තිබෙනවා.

@@@@@@@@@@@@@@@@

(21.07.2021 – 12:41 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී දැරියක මියයෑමේ සිද්ධියට විරෝධය පළ කරමින් අදත් (21) ස්ථාන කිහිපයකදී විරෝධතා පැවැත්වුණා.

මේ අතර මියගිය දැරියගේ මවගෙන් පොලීසිය අද (21) දින යළි ප්‍රකාශයක් ලබාගත්තා.

ඒ, ඇය විසින් තම දියණියගේ මරණය සැක සහිත බවට සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඊයේ (20) මාධ්‍ය හමුවක් පවත්වා කරුණු අනාවරණ කිරීම හේතුවෙන්.

සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් (2) පත් කර ඇති අතර, ඉන් එක් (1) කණ්ඩායමක් ඊයේ (20) දැරිය ඉගෙනුම ලැබූ අවිස්සාවේල්ල පුවක්පිටිය – කිරිවන්දල ප්‍රදේශයේ පාසලට ගොස් විදුහල්පතිවරයා ඇතුලු කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඊයේ (20) දිනයේදී මෙන්ම අදත් දැරියගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ඉල්ලා හැටන් සහ මීගොඩ ප්‍රදේශවලදී විරෝධතා පැවැත්වුණා.

එමෙන්ම හෝමාගම ප්‍රාදේශිය සභාවේ නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියන් දෙදෙනෙකු (2), තවත් කාන්තාවක් (1) සමඟ අද (21) දින හෝමාගම නගරයේදී විරෝධතාවයේ නිරතවූයේද මියගිය දැරියගේ මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින්.

එමෙන්ම දැරියගේ මරණයට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා යාපනය බස් නැවතුම්පල ඉදිරිපිට දැරියගේ ඥාතියෙකු ඊයේ (20) උපවාසයක නිරතවුණා.

මීට අමතරව ‘ජාතික සංවිධාන එකමුතුව’ ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (21) පැමිණිල්ලක් ගොනු කළේ දැරියගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින්.

******************************************

(21.07.2021 – 12:43 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අද (21)ට මාස 27 ක් සැපිරීම නිමිත්තෙන් මීගමුව – කටුවාපිටිය මංසන්ධියේදී අද (21) නිහඬ විරෝධතාවක් පැවැත්වුණා.

මීගමුව පුරවැසි එකමුතුව සහ මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රය විසින් සංවිධාන කර තිබූ එම විරෝධතාවට කතෝලික පූජකවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයින් මෙන්ම ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන්ගේ පවුල්වල සාමාජිකයින්ද එක්ව සිටියා.

ඔවුන් එහිදී ඉල්ලා සිටියේ විධිමත් පරීක්ෂණයක් පවත්වා ඊට සම්බන්ධ මහ මොළකරු කවුරුන්ද යන්න සොයාගත යුතු බවයි ෴

******************************************

(21.07.2021 – 12:52 +0530 – hirunews.lk/sinhala)

සිනමාහල් ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් ගැටළු රැසක් නිර්මාණය වී ඇති බව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී හෙළිවී තිබෙනවා.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටු රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ පවත්වා ඇති අතර, එහිදී අනාවරණ වූයේ 2020 වසරේ දෙසැම්බර් 31 වන දිනට ජාතික චිත්‍රපට සංස්ථාව ලබාදී තිබූ, අයකර නොගත් චිත්‍රපට නිෂ්පාදන ණය ශේෂය රුපියල් 14,12,92,087 ක් බවයි.

2016 වසරේ මාර්තු 24 වනදා පැවති කෝප් කාරක සභාවේදී සිනමාශාලා නවීකරණය කිරීම පිළිබඳව වැඩපිළිවෙලක් සැකසීමට සහ ප්‍රගතිය වාර්තා කිරීමට කර තිබූ නිර්දේශය මෙතෙක් චිත්‍රපට සංස්ථාව විසින් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රශ්න කෙරුණා.

එසේම 2019 වසර අවසන් වනවිට සංස්ථාව, ජංගම ගිණුම් 9 ක් පවත්වාගෙන ගිය අතර, සාමාන්‍ය මාසික ශේෂය රුපියල් මිලියන 29.2 ක් බවයි කෝප් කමිටුවේදී හෙළිවුණේ.

එහිදී කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කළේ චිත්‍රපට සංස්ථාව තුළ නිවැරදි මුදල් කළමනාකරණයක් නොමැතිවීම ප්‍රබල ගැටළුවක් බවයි.

එසේම සිනමා ඉසිවර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නමින් කෞතුකාගාරයක් සහ සිනමා පාසලක් ඉදිකිරීම සඳහා පසුගිය 2019 වසරේ අප්‍රේල් මස 05 වනදා වැඩ ආරම්භ කර තිබූ අතර, නියමිත කාලය තුළ එහි ඉදිකිරීම් නිම නොකිරීම සම්බන්ධයෙන්ද කෝප් කමිටුවේදී අවධානය යොමුවුණා.

මෙහිදී සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා සඳහන් කළේ චිත්‍රපට බෙදා හැරීම පෞද්ගලික අංශයෙන් සිදුවන අතර එය රජයට පවරා ගැනීම සඳහා ඉදිරියේදී ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සූදානම් බවයි ෴

******************************************

(21.07.2021 – 12:53 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්ද ලබාදුන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය ජනතාව හමුවේ දැනුවත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කළේ.

******************************************

(21.07.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

මානව හිමිකම් කඩකිරීම් සිදුව ඇත්දැයි විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම් සභාවේ අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී තිබෙනවා.

පසුගිය ජනවාරි 21 වනදා සහ පෙබරවාරි 12 වනදා ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත් කළේ මානව හිමිකම් හා අන්තර්ජාතික මානුෂික නීතිය කඩකිරීම් සහ සමාන බරපතල වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම පිණිස පත් කළ කොමිසන් සභා හෝ කමිටු අනාවරණ කරගත් තොරතුරු විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහායි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස්ගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිසමේ සාමාජිකයින් සංඛ්‍යාව හතරක්.

ඊයේ (20) භාරදුන් අතුරු වාර්තාව මගින් කොමිසන් සභාව පෙන්වා දී ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුය යන මතවාදයට එකඟ නොවන බවයි.

මහා බ්‍රිතාන්‍ය ඇතුලු සෙසු රටවල ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා හඳුන්වාදී ඇති නීති අධ්‍යනය කර පනත සංශෝධනය කළ යුතු බව එමඟින් දක්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යන මතවාදයට එකඟ නොවන කොමිසම් සභාව, මහා බ්‍රිතාන්‍ය ඇතුළු සෙසු රටවල ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති නීති අධ්‍යයනය කර පනත සංශෝධනය කළ යුතු බව අතුරු වාර්තාව මගින් පෙන්වා දෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9, 11 සහ 13 වගන්ති කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති කොමිසම, වඩා ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයකින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනා තුනක් (3) අතුරු වාර්තාව මගින් ඉදිරිපත් කර තිබෙනවා.

9 වන වගන්තිය මගින් රැඳවුම් නියෝග ක්‍රියාත්මක කිරීමේ දී අවම මාස තුනක් (3) හෝ ඊට වැඩි කාලයක් රඳවා තබාගන්නා පුද්ගලයන්ට අධි චෝදනා ගොනුකර නඩු අසා නිම කිරීමත්, 11 වන වගන්තිය යටතේ වූ රැඳවුම්කරුවන් බන්ධනාගාරය තුළ රඳවා තබා ගැනීම වෙනුවට විශේෂ ආරක්ෂාවක් යටතේ සිය නිවසේ හෝ ගම් ප්‍රදේශය තුළ රඳවා තබා ගැනීමට ඇති හැකියාව පෙන්වා දී තිබෙනවා.

13 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට උපදෙස් දීමට අවම වශයෙන් තිදෙනෙකු (3) ගෙන් සමන්විත, සියලු ජාතීන් නියෝජනය කෙරෙන උපදේශන සභාවක් පත් කිරීමේ වැදගත්කම කොමිසම අතුරු වාර්තාව මගින් යෝජනා කරනවා.

තිරසර සාමය සහ සංහිඳියාව දිනාගනු වස් වගවීම සහ මානව සම්පත් සංවර්ධනය සපුරා ගැනීම සඳහා එක්සත් ජාතීන් සහ එහි නියෝජිත ආයතන සමග සහයෝගයෙන් වැඩ කිරීම රජයේ ප්‍රතිපත්තියයි.

ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ විසඳීමට ඇති ගැටලු සඳහා ප්‍රජාතන්ත්‍රවාදී නීති රාමුව තුළ විසඳුම් දීමටත්, අවශ්‍ය පරිදි ආයතනික සංශෝධන කරමින් යුක්තිය හා සංහිඳියාව තහවුරු කිරීමටත් රජය කැපවී සිටින බවයි.

කොමිසමේ අවසන් වාර්තාව ඉදිරි මාස 6 තුළ ලබාදීමට පූර්ව කොමිසම් සභාවන්හි සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමට අවකාශය සැලසෙනවා ෴

******************************************

(21.07.2021 – 12:58 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ආයතනවල අබලන්වී භාවිතයෙන් ඉවත් කරන ලද වාහන අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියක් ප්‍රවාහන අමාත්‍යාංශයට අනුබද්ධ ‘ලක්දිව ඉංජිනේරු ආයතනයේ’දී ඊයේ (20) ආරම්භ කෙරුණා.

ඒ, ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගේ ප්‍රධානත්වයෙන්.

මෙලෙස අලුත්වැඩියා කෙරෙන වාහන ඉදිරියේදී නැවත රාජ්‍ය සේවයේ කටයුතු සඳහා යොදාගැනීමට නියමිත බවයි ලක්දිව ඉංජිනේරු සමාගමේ සභාපති කුෂාන් වෑගොඩපොල මහතා කියා සිටියේ ෴

******************************************

පිහිටක් අවැසි පවුලක්

(21.07.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

දරුවන් යනු මව්පියන්ට මෙන්ම රටකට ඇති මහඟුම සම්පතක්.

නිවුන් දරුවන් තිදෙනෙකු (3) සමඟ දුෂකරතා මධ්‍යයේ ජීවත්වීමට සිදුව ඇති මව්පියන් පිළිබඳ පුවතක් ගම්පහ – උඩුගම්පොල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

ගම්පහ – උඩුගම්පොල – පනහවත්ත ප්‍රදේශයේ පදිංචි ඉමාෂා සාවින්ද්‍යා මහත්මිය සහ සුරංග දේශප්‍රිය මහතා ජීවත් වන්නේ ආර්ථික දුෂ්කරතා රැසක් මධ්‍යයේයි.

ඉමාෂා මහත්මිය ඇඟලුම් කම්හලක සේවය කළ අතර සුරංග මහතා වාහන සේදුම් ස්ථානයක රැකියාවේ නිරත වනවා.

පසුගිය 05 වැනිදා ඔවුන්ගේ පළමු (1) දරු උපත ලෙස නිවුන් පිරිමි දරුවන් තිදෙනෙකු (3) ලැබීමේ භාග්‍ය මොවුන්ට උදාවුණා.

ස්ථිර නිවසක් නොමැතිව අඟහිඟකම් රැසක් මධ්‍යයේ දිවිගෙවන ඉමාෂා – සුරංග යුවළ දැනට ජීවත් වන කුඩා කාමරයද ඉමාෂා මහත්මියගේ මවගේ බවයි ඔවුන් පැවසුවේ.

එහි වහලයෙන් වැසි දිනවලදී ජලය කාන්දුවීම නිසා දරුවන් තිදෙනා (3) කාමරයේ තබාගැනීම අවදානම් බව ඔවුන් පවසනවා.

දරුවන් රැකබලාගැනීම සඳහා සිය බිරිදට රැකියාවෙන් ඉවත්වීම හේතුවෙන් වාහන සේදුම් රැකියාවෙන් ලබාගන්නා සුළු මුදලින් සියළු දේ සිදුකිරීමට සිදුව ඇති බවයි සුරංග මහතා පැවසුවේ.

******************************************

(21.07.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

මේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි පිටිගල, කැල්ලපත පේරගස්වත්ත මාර්ගයයි.

2018 වර්ෂයේදී ජල ගැලීම් හේතුවෙන් විනාශ වූ මෙම මාර්ගය රුපියල් ලක්ෂ 40 කට වැඩි මුදලක් වැයකොට කාපට් අතුරා සංවර්ධනය කර ඇත්තේ 2019 වසරේයි.

නමුත් පුද්ගලික කොන්ත්‍රාත් ආයතනයක් මඟින් ප්‍රමිතියකින් තොරව සිදුකළ ඉදිකිරීම් හේතුවෙන් මාර්ගය හරහා ඇති පාලම් කොටසක් මේ වන විට ගිලා බැස තිබෙනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ පාලමේ පාදම නිසි ලෙස සකස් නොකිරීම ඊට ප්‍රධාන හේතුව බවයි.

මේ හේතුවෙන් දෛනිකව මෙම මාර්ගය භාවිත කරන ජනතාව විඳින දුෂ්කරතා සුළුපටු නැහැ.

මේ සම්බන්ධව බලධාරීන් කොතෙක් දැනුවත් කළද නිසි විසඳුමක් නොලැබුණු බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

රුපියල් ලක්ෂ ගණනින් මහජන මුදල් වැයකොට ක්‍රියාත්මක කෙරෙන මෙවැනි ව්‍යාපෘති අධීක්ෂණය කොට ජනතාවට ඒවායේ නිසි ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කිරීම බලධාරීන් සතු වගකීමක් නොවේද?

‘රතු මිනිත්තුව’ අවධානයෙන්….

******************************************

(21.07.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

පොහොර සහ කෘෂි රසායන හිඟය හේතුවෙන් තමන් දුෂ්කරතාවලට මුහුණු දී සිටින බව පවසමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු පිරිසක් හලාවත – මානුවන්ගමදී උද්ඝෝෂණයක නිරත වුණා.

මේ අතර තවත් ප්‍රදේශ කිහිපයක ගොවීන් චෝදනා කරන්නේ කෘෂි රසායන නොමැතිවීමෙන් සිය වගාවන් විවිධ රෝගවලට ගොදුරුවී විනාශයට පත්වෙමින් ඇති බවයි.

ගොටුකොල, මුකුණුවනැන්න, කංකුං වැනි කොළ භෝග වගාකරමින් දැදුරුඔය දෑල ප්‍රදේශයේ ජීවත් වන ගොවි පවුල් 8000 ක් පමණ පොහොර හිඟය හේතුවෙන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව පවසමින් උද්ඝෝෂණයක නිරත වුණා.

මේ අතර තම වගාවන් සඳහා පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින් ඇටම්පිටිය ගොවි ජනතාවද කුඩුමහුවෙල වෙල්යායේදී මෙලෙස උද්ඝෝෂණයක නිරත වුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *