HND විභාගය යළි පවත්වන්නැයි නැගෙනහිර ආණ්ඩුකාරවරියගෙන් නියෝගයක්

HND විභාගය යළි පවත්වන්නැයි නැගෙනහිර ආණ්ඩුකාරවරියගෙන් නියෝගයක්

*********************************************

HND විභාගය යළි පවත්වන්නැයි නැගෙනහිර ආණ්ඩුකාරවරියගෙන් නියෝගයක්

(20.07.2021 – 17:10 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර පළාතේ ඉංග්‍රීසි ගුරුවරුන් බදවා ගැනීම සදහා HND ඉංග්‍රීසි මාධ්‍ය සිසුන් සදහා පැවති විභාගය වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත වරක් පවත්වන්නැයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නැගෙනහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අද (20) නියෝග කර තිබෙනවා.

විභාගයේ ප්‍රශ්ණ පත්‍රය කළින් පිටවී ඇති බවට ඊට පෙනී සිටි සිසුන් සිදු කළ පැමිණිල්ලකට අදාළ පරීක්ෂණ වාර්තාව සලකා බැලීමෙන් පසුවයි ආණ්ඩුකාරවරිය මෙම නියෝගය කර ඇත්තේ.

අදාළ සිසුන්ගෙන් ප්‍රශ්ණපත්‍රය පිටවි ඇති බවට ලැබුණු පැමිණිලි සලකා බැලීමෙන් පසු ඒ පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ආණ්ඩුකාරවරිය රහස් පොලිසියට දැනුම්දෙනු ලැබුවා.

එම නව විභාගය පවත්වා 2021 ඔක්තෝබර් 15 වන දිනට පෙර තෝරාගත් අපේක්ෂකයන් හට පත්වීම් ලබාදී අවසන් කරන ලෙසටයි ආණ්ඩුකාරවරිය පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ප්‍රකාශ කර ඇත්තේ.

ප්‍රශ්ණපත්‍ර සකස් කිරීමේදි එක් එක් විෂය සම්බන්ධයෙන් ප්‍රශ්ණපත්‍ර කිහිපයක් සකස් කර එම ප්‍රශ්ණපත්‍ර අතරින් අවශ්‍ය ප්‍රශ්ණ ප්‍රමාණය තෝරාගෙන පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නම් කරන ලද විද්වත් කමිටුවක් මගින් අවසන් ප්‍රශ්ණ පත්‍රය සකස් කළ යුතු වනු ඇති.

ඊට අමතරව ප්‍රශ්ණපත්‍ර පිළියෙල කිරීම සහ පිළිතුරු පත්‍ර ඇගයීමේදි පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිළධාරින් හෝ එහි කාර්යය මණ්ඩලයේ කිසිවෙකු ඒ සදහා සහභාගි කරවා නොගත යුතු බවද ආණ්ඩුකාරවරිය නියෝග කර තිබෙනවා.

මේ අතර 2021.09.10 වන දිනට ලිඛිත විභාගයේ ප්‍රතිඵල ලබා දිය යුතු අතර ප්‍රායෝගික පරීක්ෂණය ඔක්තොම්බර් මස මුල් සතිය වන විට නිම කර සමස්ථ ප්‍රතිඵලය නිකුත් කළ යුතු බවද ආණ්ඩුකාරවරිය පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත වැඩිදුරටත් දැනුම් දි තිබෙනවා ෴

******************************************

(20.07.2021 – 16:37 +0530 – hirunews.lk/sinhala)

බෙල්ලන්විල අත්තිඩිය අභය භූමියේ අනවසරයෙන් නීති විරෝධී ලෙස වන විනාශයක් සිදුකරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක (2) ශරීර ඇප මත මුදාහරිනු ලැබුවා.

මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ ගල්කිස්ස සිල්වෙස්ටර් පාර, පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්.

ඒ සඳහා යොදාගත් කුඩා ස්වයංක්‍රීය කියතක්, මන්නා පිහි දෙකක් (2), කැති එකක් (1) සමග ගල්කිස්ස පොලිස් පරිසර අංශයේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.

සැකකරු මීට පෙරද අවස්ථා කිහිපයක අභය භූමියට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් දඬුවම් ලැබූ පුද්ගලයකු බවද අනාවරණය කරගෙන තිබෙනවා.

ගල්කිස්ස පොලිස් පරිසර ඒකකයට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් මෙම සැකකරුට එරෙහිව අනවසර ගොඩකිරීම්, වන විනාශය හා අභය භූමිය ගිනි තැබීම යන චෝදනා යටතේ නඩු පවරා ඇති බවටයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ ෴

******************************************

(20.07.2021 – 17:03 +0530 – hirunews.lk/sinhala)

කුලියාපිටිය මූලික රෝහලේ හෘද, ස්නායු, පෙනහළු සහ වයෝවෘද්ධ ප්‍රතිකාර සේවා වෙනුවෙන් නව ඒකක ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (20) බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, එම රෝහලේ සංවර්ධන කටයුතු පිළිබඳව පාර්ලිමේන්තුවේ අද (20) පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

එමෙන්ම කුරුණෑගල පළාත් රෝහල ජාතික මට්ටමේ රෝහලක් ලෙස වැඩිදියුණු කිරීමේදී අවශ්‍ය කරන වෛද්‍ය, ළමා රෝග, ශල්‍ය ඒකක සඳහා මහල් 14 කින් යුත් ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීම සඳහාද අවශ්‍ය කරන තාක්ෂණික අනුමැතිය යොමු කිරීමටද මෙහිදී තීරණය වී තිබෙනවා ෴

******************************************

(20.07.2021 – 17:42 +0530 – hirunews.lk/sinhala)

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ගෙන ආ විශ්වාසභංගයේ ඡන්ද විමසීම මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ආරම්භ කෙරුණා.

එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 61 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 152 ක්.

කෙසේ වෙතත් ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අතරවාරයේ විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් ඡන්ද විමසන අවස්ථාවේ පාර්ලිමේන්තු සභාගර්භයේ නොසිටි අමාත්‍ය චමල් රාජපක්ෂ, විජේදාස රාජපක්ෂ ආදීන් සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු දක්නට ලැබුනා.

එහිදී ආණ්ඩුපක්ෂයෙන් ප්‍රතිචාර ලෙස දැක්වුණේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මේ වනවිට නිරෝධායනයේ පසුවන බවයි.

එයා කොරන්ටීන් යනුවෙන් සභාගර්භයේ හඬ නැගුනා, ඒ සමඟම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඡන්දය භාවිතය සඳහා පැමිණි නොසිටි විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, චමින්ද විජේසිරි සහ හේෂා විතානගේ යන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්ද ප්‍රශ්න කෙරුණා ෴

******************************************

(20.07.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ මහනායක පදවියට අතිපූජ්‍ය කම්මට්ටානාචාර්ය දොඩම්පහල චන්ද්‍රසිරි මහ නාහිමියන් පත් කර තිබෙනවා.

එම නිකායේ මහලේඛකාධිකාරී මහාචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර හිමියන් සඳහන් කළේ අමරපුර නිකායේ පාලක සංඝ සභාව අද රැස්වී එම තීරණයට එළඹි බවයි ෴

******************************************

(20.07.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala)

හිඟ බදු නොගෙවීම හේතුවෙන් ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදසැල් 45 න්, 43 ක්ම සීල් තබා වසා දැමීමට ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්වරයා කටයුතු කර ඇති බවට වෙළදුන් චෝදනා කරනවා.

ඊයේ (19) රාත්‍රියේ පොලිසිය සමඟ පැමිණි ප්‍රාදේශීය ලේකම්වරයා තම වටිනා භාණ්ඩද තිබියදී මෙලෙස වෙළඳසැල්වලට සීල් තබා ඇති බවයි ඔවුන් ප්‍රකාශ කළේ ෴

******************************************

(20.07.2021 – 19:36 +0530 – hirunews.lk/sinhala)

පිහිඹියා ගසකින් වියලී වැටෙන කොළ අතු මුල්කරගනිමින් ඇතිවූ ආරවුලක් දුරදිගයාමෙන් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ පුවතක් බේරුවල – බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් වාර්තාවුණා.

අද (20) අලුයම මෙලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි දෙදරු පියෙකු වන අතර, යාබද ගෙවත්තේ පිහිටි අදාළ පිහිඹියා ගසින් මාස කිහිපයක සිට මෙම පුද්ගලයාගේ ගෙවත්තට මෙලෙස කොළ අතු වැටී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර මාස කිහිපයක සිට ආරවුල් හටගෙන ඇති අතර, ඊයේ (19) අදාළ ගස පිහිටි නිවෙස් හිමියා සහ මියගිය පුද්ගලයා අතර බහින්බස්වීමක් සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී සැකකරු විසින් මොහුව තල්ලු කර ඇති අතර, එම අවස්ථාවේ තාප්පයක ගැටීමෙන් මෙම දෙදරු පියා ජීවිතක්ෂයට පත්වුණා.

බෝට්ටු මුරකරුවෙකු වන සැකකරු, මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි බේරුවල පොලීසිය සඳහන් කළේ ෴

******************************************

බලපත්‍ර නොමැති අලි සම්බන්ධයෙන් නඩු 49 ක් විභාග වෙමින් ඇතිබව අනාවරණය වෙයි

(20.07.2021 – 12:27 +0530 – sinhala.adaderana.lk)

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩු ඉවත්කර ගැනීමට අදාළව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත්කර ඇති කැබිනට් සංදේශයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශකරන මෙන් ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකාබැලීම ට දින නියමකර තිබේ.

‘පරිසර යුක්ති කේන්ද්‍රය’ විසින් මෙම පෙත්සම ඉදිරිපත්කර ඇති අතර එම පෙත්සම සලකාබැලීම සඳහා ඔක්තෝම්බර් මස 6 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගකළ බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.

මෙම පෙත්සම අද (20) ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන් ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී රජයෙන් නීතිඥ වරයා අධිකරණය හමුවේ සඳහන් කළේ මෙම කරුණට අදාළව තවත් කැබිනට් සංදේශයක් මාර්තු මස 15 වනදා ඉදිරිපත් වී තිබෙන බවය.

පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය කියා පැවසුවේ බලපත්‍ර නොමැතිව අලි ඇතුන් 38 දෙනෙකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට දිවයින පුරා අධිකරණවල නඩු 49 ක් විභාග වෙමින් පවතින බවය.

එම නඩු සියල්ල ඉවත්කර අදාළ අලි ඇතුන් ඒවායේ අයිතිකරුවන් වෙත යළි ලබාදීමේ අරමුණින් අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉකුත් මාර්තු මස 12 වනදා ඉදිරිපත්කර ඇතැයි කී පෙත්සම්කාර පාර්ශ්වය එම කැබිනට් සංදේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසයි.

ඒ අනුව අදාළ කැබිනට් සංදේශය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙසද පෙත්සම්කර සංවිධානය අධිකරණයෙන් ඉල්ලා තිබේ ෴

******************************************

එක්ස්ප්‍රස් පර්ල් ගින්නෙන් පසු මුහුදු සත්ත්වයින් මියයෑම ගැන පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර සහය ගැනීමට පියවර

(20.07.2021 – 07:01 +0530 – sinhala.adaderana.lk)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් පසුව වාර්තා වූ කැස්බෑවන්, තල්මසුන්, ඩොල්ෆින් වැනි සත්ත්වයින් මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

එම නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදු වු බලපෑම හා හානිය සම්බන්ධයෙන් සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි වන්දි ලබාගැනීම පිළිබඳව සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ පැවති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා මෙහිදී අදාළ නිලධාරීන්ගෙන් විමසා ඇති අතර එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ඒ සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට කටයුතු කරන බවය.

එම නෞකාවේ ගින්න හේතුවෙන් රැකියා අහිමිව පීඩාවට පත්වූ බස්නාහිර පළාතේ ධීවරයන්ට වන්දි මුදල් ලබාදීම මේ වන විට සිදුවන අතර වෙනත් දිස්ත්‍රික්කවල පීඩාවට පත් ධීවර ජනතාවගෙන් ලැබෙන තොරතුරුවල නිවැරදිතාව පිළිබදව සළකා බලා ඔවුන්ට ද වන්දි ලබාදීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

මේ වන විට ලැබී ඇති වන්දි මුදල් හානියට පත් ධීවර ජනතාවගේ බැංකු ගිණුම් වෙත බැර කිරීම සිදුවන බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේය.

ගින්න හේතුවෙන් අපවිත්‍ර වු මුහුදු වෙරළ පවිත්‍ර කිරීමේ කටයුතු, වන්දි මුදල් ලබා ගැනීමේ නීතිමය තත්ත්වය, ධීවර ජනතාවට වන්දි මුදල් ලබාදීමේ කටයුතු, මුහුදු ජීවීන් මියයාම, ජාත්‍යන්තර නීතිඥ සහාය ලබාගැනීම ආදිය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුව තිබේ.

ජාත්‍යන්තර නීතිඥ සහාය ලබා ගැනීම සඳහා වන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර ඔවුන් ‍තෝරාගැනීම විශේෂ කමිටුවක් මඟින් සිදුකර බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්නා බව ද අධිකරණ අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

******************************************

(20.07.2021 – 21:08 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය කන්දපොළ තේ වත්තක තිබී බිලිඳු මළ සිරුරක් හමුවී තිබෙනවා. අදාළ බිලිඳු මළ සිරුර දිනක් (1) වයසැති පිරිමි දරුවෙකුගේ බවටයි හඳුනාගෙන ඇත්තේ. වතු කම්කරුවන් විසින් කළ දැනුම්දීමකට අනුව කන්දපොළ පොලිසිය අදාළ බිලිඳු මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නුවරඑළිය දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයට අනුව බිලිඳු මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

බිලිඳාගේ මළ සිරුර එම ස්ථානයට පැමිණි ආකාරය පිළිබඳව කන්දපොළ පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@@@

(20.07.2021 – 17:36 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 1,062 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 287,481 ක් දක්වා ඉහළ යනු ඇති ෴

+++++++++++++++++++++++

(20.07.2021 – 18:14 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 43 ක් වාර්තාවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ මරණ ඊයේ (19) සිදුව ඇති බවටයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 3870 දක්වා ඉහළගොස් තිබෙනවා.

++++++++++++++++++++

(20.07.2021 – 19:52 +0530 – hirunews.lk/sinhala)

අද (20) දිනයේ මේ දක්වා කාලය තුල අලුතින් කොරෝනා ආසාදිතයින් 1062 කු වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 284,401 ක් දක්වා ඉහල ගියා.

අද (20) දිනයේ තවත් කොරෝනා මරණ 43 ක් ඊයේ (19) දිනයට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව මෙරට මුළු මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3,870 ක් ලෙසයි.

මේ අතර අද (20) දිනයේදීත් ආසාදිතයන් 980 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 2,62,828 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර පිළියන්දල – ජඹුරලිය – ලූල්ලවල මාර්ගයේ පෞද්ගලික ඇඟළුම් කර්මාන්තශාලාවක සිදුකළ කොරෝනා පරීක්ෂණ 186 කින් ආසාදිතයන් 120 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් අහඹු ලෙස තෝරාගත් සාම්පල 20 ක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමු කිරීමෙන් පසු 6 දෙනෙකුට ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බවටයි සැක පළ කරන්නේ.

අදාළ කර්මාන්තශාලාවේ සේවකයින් දහසකට (1000) ආසන්න ප්‍රමාණයක් සිටින අතර, ඉන් සියයට 85 ක් පමණ එම ප්‍රදේශයේ කුලී පදනම මත නවාතැන් ගෙන සිටින අය බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ ෴

තවත් කොරෝනා ආසාදිතයන් 449 ක් වාර්තාවීමත් සමඟ අද (20) දිනයේ මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1511 ක් දක්වා ඉහළගොස් තිබෙනවා ෴

++++++++++++++++++++

(20.07.2021 – 19:57 +0530 – hirunews.lk/sinhala)

මේ දක්වා මෙරටට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා 1,01,72,800 ක් ලැබී ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඔහු කියා සිටියේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා 68,08,700 ක් මිලදී ගෙන ඇති බවයි.

ප්‍රදානයන් ලෙස මේ දක්වා මෙරටට ලැබී ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය 33,64,100 ක්. මෙරටට ලැබී ඇති වැඩිම එන්නත් වර්ගය සයිනොෆාම් වන අතර, එම ප්‍රමාණය 1,71,00,000 බව සඳහන්.

මොඩර්නා එන්නත් (15,00,100), කොවිෂීල්ඩ් එන්නත් 12,64,000 ක්, ස්පුට්නික් එන්නතත් එක්ලක්ෂ අසූ දහසක් (1,80,000) සහ ෆයිසර් එන්නත් මාත්‍රා 1,28,700 ක් මෙරටට ලැබී තිබෙනවා.

මේ දක්වා මෙරට පුද්ගලයන් 57,68,494 දෙනෙකුට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදී ඇති අතර, දෙවන (2) මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 13,13,071 ක්.

ඉන් වැඩිම එන්නත් සංඛ්‍යාවක් ලබාදී ඇත්තේ සයිනොෆාම් එන්නත වන අතර, එහි පළමු (1) මාත්‍රාව 46,35,090 කට ලබාදී තිබෙනවා.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයන්ගේ ශරීරය තුළ කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිදේහ නිපදවීම ඉතා ඉහළ මට්ටමක පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකින් තහවුරු වුණා.

ඩෙල්ටා ප්‍රභේදයටද සයිනොෆාම් එන්නත වඩා ආරක්ෂාකාරී බව මෙම පර්යේෂණයෙන් තහවුරු වී ඇති අතර, සයිනොෆාම් එන්නත සම්බන්ධයෙන් සිදුකළ ලොව පළමු රසායනාගාර පර්යේෂණය මෙය වීම විශේෂත්වයක්.

සයිනොෆාම් එන්නත එලෙස කොරෝනා වෛරසයට එරෙහිව සාර්ථකව ප්‍රතිචාර දැක්වූවත් ලොව රටවල් රැසක් තවමත් එම එන්නතට පූර්ණ පිළිගැනීමක් ලබාදී නැහැ.

ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙන්නේ ආර්ථික සහ දේශපාලනික සාධක ඊට හේතුවී ඇති බවයි ෴

+++++++++++++++++++++

කතරගම ඇසළ පෙරහැර ට සහභාගී වු නැටුම් කණ්ඩායම් සාමාජිකයින් 15 කට කොවිඩ්

(19.07.2021 – 18:33 +0530 – sinhala.adaderana.lk)

කතරගම මහා දේවලායේ ඇසල පෙරහැර ට සහභාගි වු නැටුම් කණ්ඩායම්වල 15 දෙනෙක් ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

ඊයේ (18) දිනයේ දී නැටුම් කණ්ඩායම්වල සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණවලින් අනතුරුව එම ආසාදිතයින් හඳුනාගෙන ඇත.

ඔවුන් හඳුනා ගැනීමෙන් අනතුරුව කස, ගිනිබෝල සමඟ නැටුම් කණ්ඩායම් 4 ක් පෙරහැරෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

ඊයේ (18) රුහුණු කතරගම ඇසල පෙරහැර මංගලයේ 9 වන පෙරහැර වීථී සංචාරය කෙරිණි.

ඒ අනුව සම්ප්‍රදායික චාරිත්‍රවලට මුල්තැන දෙමින් පෙරහැර මංගල්‍ය ක්‍රියාත්මක වුවද සීමිත නැටුම් කණ්ඩායම් කිහිපයක් එක්කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුණි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *