උස්බෙකිස්ථාන ජාතික කාන්තාවක් අලෙවි කළ පුද්ගලයෙකු වැල්ලවත්තේදී අල්ලයි

උස්බෙකිස්ථාන ජාතික කාන්තාවක් අලෙවි කළ පුද්ගලයෙකු වැල්ලවත්තේදී අල්ලයි

*********************************************

උස්බෙකිස්ථාන ජාතික කාන්තාවක් අලෙවි කළ පුද්ගලයෙකු වැල්ලවත්තේදී අල්ලයි

(20.07.2021 – 06:53 +0530 – hirunews.lk/sinhala)

උස්බෙකිස්ථාන ජාතික කාන්තාවක් මෙරටට ගෙන්වා ඇය ලිංගික කටයුතු සඳහා අලෙවි කළ පුද්ගලයෙකු ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 31 හැවිරිදි වියේ පසුවන අයෙක්.

සංක්‍රමණිකයින් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව වැල්ලවත්ත ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

මෙරට රැකියාවක් ලබාදන බව පවසමින් මීට මාස කිහිපයකට පෙර 36 හැවිරිදි මෙම කාන්තාව මෙරටට ගෙන්වා මෙලෙස ලිංගික කටයුතු සඳහා අලෙවිකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයාගේ, උස්බෙකිස්ථාන ජාතික බිරිඳ මෙවැනිම වරදක් සම්බන්ධයෙන් මේ වනවිට මෙරට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ෴

******************************************

(20.07.2021 – 06:32 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සිදුකළ මෙහෙයුමකින්, යම් යම් වැරදි සම්බන්ධයෙන් 3,139 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අතර ගිනි අවි සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් 11 දෙනකු වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

එමෙන්ම මත්ද්‍රවය සම්බන්ධයෙන් 1350 ක් ද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියේ.

මෙම මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරීන් 15,292 දෙනෙකු එක්ව තිබෙනවා ෴

******************************************

(20.07.2021 – 06:56 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (19) දිනයේ ශ්‍රී ලංකා පොලිසිය විසින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශේෂ වැටලීම් කිහිපයක් සිදුකර තිබෙනවා.

මෙම වැටලීම් වලදී කොටුගොඩ ජා ඇල ප්‍රදේශයේදී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ එකයි (1) ග්‍රෑම් 225 ක් සමඟ පුද්ගලයෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කාරියක් වන ‘වනාතේ අරුණි’ නැමති 26 හැවිරිදි කාන්තාවක් වන අතර අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා 29 හැවිරිදි ඇයගේ පෙම්වතා වන බවටයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බොරැල්ල සහ කටුවන ප්‍රදේශවල පදිංචි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

එමෙන්ම වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ දැනට විදෙස් ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘පට්ටිය වත්තෙ නෙවිල්’ බවයි ෴

******************************************

(20.07.2021 – 07:51 +0530 – hirunews.lk/sinhala)

බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර ඉදිකරනු ලැබූ ‘ජාතික සඳුන් උයන’ අද (20) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 9 ක භූමි ප්‍රමාණයක මෙම සඳුන් උයනෙහි ඉදිකිරීම් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් පසුගිය වසරේ ආරම්භ කළ අතර, එහි රත් හඳුන් ශාඛ 300 ක් සහ සුදු හඳුන් ශාඛ 900 ක් රෝපණය කර තිබීම විශේෂත්වයක්.

උයනේ රෝපිත ශාඛ වඩා ආරක්ෂා වීම සඳහා පොළොව මට්ටමේ සිට අඩි 2 ක් පමණ උස පස් පීඨිකාවක මැද සිටුවා තිබෙනවා.

ව්‍යායාම් කිරීම, යෝග වැඩසටහන් පැවැත්වීම, විවිධ භාවනා වැඩසටහන් සිදුකිරීමට සුදුසු පරිසරයක් ද මෙහි නිර්මාණය කර ඇති අතර, රජ දවසින් පසු රාජ්‍ය අනුග්‍රහය යටතේ ඉදිවන පළමු ජාතික සඳුන් උයන මෙය බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කළේ.

+++++++++

Photos from lankadeepa.lk

******************************************

(20.07.2021 – 07:57 +0530 – hirunews.lk/sinhala)

ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත්ව සිටින ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (20) පැවැත්වීමට නියමිතයි.

එසේ නොමැති වුවහොත් ඉදිරි විභාග කටයුතුවලින් ද ඉවත් වන බවයි වෘත්තීය සමිති අනතුරු අගවන්නේ.

වැටුප් විෂමතා ඇතුලු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ගුරු හා විදුහල්පති සංගම් කිහිපයක් ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය අද (20) 9 වන දිනටත් ක්‍රියාත්මකයි.

සිය ගැටළුවලට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ඊයේ (19) ගුරු වෘත්තීය සමිති කිහිපයක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක ද නිරත වුණා.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කොළඹ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී ගුරුවරුන් ගෙන් ඉල්ලා සිටියේ වර්ජනයෙන් ඉවත්ව දරුවන්ගේ අධ්‍යයන කටයුතු දිගටම සිදුකරන ලෙසටයි.

කෙසේ වෙතත්, කැබිනට් පත්‍රිකාවක් හරහා තම ගැටළුවලට විසඳුම් ලබාදුනහොත් පමණක් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරන බවයි ගුරු – විදුහල්පති වෘත්තීය සමිති වෙනුවෙන් විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව මහතා කියා සිටියේ ෴

++++++++++++

******************************************

(20.07.2021 – 08:03 +0530 – hirunews.lk/sinhala)

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අදාල විවාදයේ දෙවන (2) දිනය අදයි.

ඊට අදාල ජන්ද විමසීම පස්වරු 05:30 ට පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට පෙරේදා රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කළා.

විශ්වාසභංග යෝජනාව ගෙන ආ සමගි ජනබලවේගය සමගින් දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ද ඊට පක්ෂව ඡන්දය ලබාදීමට මේ වන විටත් තීරණය කර අවසන්.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකු සහ දැනට රැදවුම් නියෝග මත සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදීයුදීන් නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 03 දෙනෙකු විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අද (20) රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

පාර්ලිමේන්තුව අද (20) පෙරවරු 10 ට රැස්වීමට නියමිතයි ෴

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ඊයේ (19) ඉදිරිපත් කළ සංශෝධනය පිළිගත නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඒ, අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරමින් සිය නිවේදන යටතේ දැනුම් දීමක් කරමින්.

අදාළ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවේ සමස්ත අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ගෙන ආ යෝජනාවක් ලෙස සැලකිය යුතු බවටයි පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ සංශෝධනයේ දැක්වෙන්නේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළට එරෙහි විශ්වාසභංග යෝජනාවේ දෙවන (2) දින විවාදය අද (20) පැවැත්වෙන අතර ඊට අදාළ ඡන්ද විමසීම පස්වරුවේ සිදු කෙරෙනු ඇති ෴

******************************************

(20.07.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කර නැවත දුම්බර බන්ධනාගාරයට රැගෙන යමින් සිටියදී පළා ගිය රැදවියන් සිව් දෙනා (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (19) මොවුන් රම්බොඩගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට යළිත් දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටියදී වෑඋඩ ප්‍රදේශයේදී පළා ගොස් තිබුණා. ඒ, බන්ධනාගාර බස් රථයේ ආරක්ෂිත අගුල ගලවා බන්ධනාගාර නිලධාරීන්ට පහර දීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත්, එම අවස්ථාවේදීම බන්ධනාගාර නිලධාරීන් පළා ගිය රැදවියන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවතගම පොලීසියේ සහය ඇතිවයි.

පළා ගිය සිව් දෙනා (4) රජවැල්ල, දිගන, කලගෙඩිහේන සහ මාවනැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන්ට එරෙහිව සොරකම් සම්බන්ධයෙන් චෝදනා එල්ල පවතිනවා.

මේ අතර, ත්‍රිකුණාමල බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන ජේලර්වරයෙකු මත්කුඩු ග්‍රෑම් 14 ක් සමඟ ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබුණා. ඔහු සිය යතුරුපැදියේ සඟවා මත්කුඩු රැගෙන යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴

******************************************

(20.07.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

අලුතින් හදුන්වා දුන් ‘ලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය’ රුපියල් 1150 ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එමෙන්ම, එහි බර කිලෝග්‍රෑම් 9.5 ක් ලෙස සටහන් කළ යුතු බවට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කරනු ලැබුවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ඊයේ (19) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ අතර මෙම ලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල සම්බන්ධ යෝජනාව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම ලීටර් 18 ගෑස් සිලින්ඩරය කලින් වෙළදපොළේ අලෙවි වූයේ රුපියල් 1395 ක මිලකටයි.

වෙළදපොළට අලුතින් හදුන්වා දුන් ලීටර් 18 නව ගෑස් සිලින්ඩරය සම්බන්ධයෙන් පසුගිය දා දැඩි කතාබහක් ඇති වුණා.

ඊට හේතු වූයේ එහි නියමිත බර ප්‍රමාණය නොමැතිවීමයි. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය දිගින් දිගටම කරුණු අනාවරණ කළ අතර පසුව පාරිභෝගික කටයුතු අධිකාරිය අදාළ ගෑස් සමාගමට දැනුම් දුන්නේ ලීටර් 18 නව ගෑස් සිලින්ඩරය වෙළදපොළෙන් ඉවත් කර ගන්නා ලෙසටයි.

ලීටර් 18 නව ගෑස් සිලින්ඩරය හදුන්වා දීමට පෙර පැවති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල දැක්වෙන්නේ රුපියල් 1493 ක් ලෙසටයි ෴

******************************************

(20.07.2021 – 09:45 +0530 – hirunews.lk/sinhala)

පන්නල පොලිස් වසමේ මැල්ලවලාන ප්‍රදේශයේදී ඊයේ (19) රාත්‍රියේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. පවුල් ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ. ඝාතනයට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 65 ක් වන මැල්ලවලාන, බෝපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සහෝදරයාගේ පුතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් පන්නල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴

@@@@@@@@@@@@@@@@

(20.07.2021 – 06:14 +0530 – hirunews.lk/sinhala)

අද (20) උදෑසන හයේ (06:00) සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක දෙකක (2) ග්‍රාම නිලධාරී වසම් දෙකකට (2) පනවා තිබූ හුදෙකලා බව ඉවත් කර තිබෙනවා.

ඒ මහනුවර සහ කළුතර යන දිස්ත්‍රික්ක දෙකේ (2) යටිවාවල ග්‍රාම නිලධාරී වසමේ සාගරාදෙනිය වත්ත සහ කුඩා වස්කඩුව බටහිර 710 යන ප්‍රදේශයි.

+++++++++++++++++++++++++

(20.07.2021 – 07:28 +0530 – hirunews.lk/sinhala)

විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන කාන්තාවන් සඳහා වේයන්ගොඩ, නයිවල ප්‍රදේශයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල කාන්තාව විසින් එම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින අනෙකුත් කාන්තාවන්ගේ තොරතුරු රැස්කරමින් සැක සහිත ලෙස හැසිරී ඇති අතර ඒ සම්බන්ධයෙන් එහි පාලකයින් විසින් පොලිසියට මේ බව දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සමඟ අදාල කාන්තාව සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය විසින් විමර්ශනයක් සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇය ව්‍යාජ නමක් සහ ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කරමින් 2019 වසරේදී සෞදි අරාබිය බලා පිටව ගොස් ඇති බවටයි.

මෙම කාන්තාව මුලතිව් ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ඇය විසින් මෙලෙස නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අනෙකුත් කාන්තාවන්ගේ තොරතුරු රැස් කළේ කුමන කාරණයක් සම්බන්ධයෙන් ද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ පත්වනු ලබනවා.

නියමිත නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු අත්අඩංගුවට ගැනුණු මෙම කාන්තාව අද (20) අත්තනගල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

++++++++++++++++++++++

(20.07.2021 – 08:14 +0530 – hirunews.lk/sinhala)

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ලබා ගත් අයගෙන් 95% කගේ සිරුර තුළ ප්‍රතිදේහ ගොඩ නැගෙන බව මෙරට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

එම පරීක්ෂණ වලදී හඳුනාගෙන ඇත්තේ මෙම එන්නත මඟින් මේ වනවිට ලොව පුරා පැතිර යන කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයට ද ඉතා හොඳ රැකවරණයක් ලැබෙන බවයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙය අනාවරණය කර ගෙන තිබෙනවා ෴

++++++++++++++++++++

(20.07.2021 – 08:14 +0530 – hirunews.lk/sinhala)

නව ආසාදිතයින් 1487 දෙනෙකු ඊයේ (19) හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ අසු දහසේ (2,80,000) සීමාව ඉක්මවා ගියා.

එය දැක්වුණේ දෙලක්ෂ අසුහතරහස් හාරසිය දහනවයක් (2,84,419) ලෙසයි.

ඊයේ (19) වාර්තා වූ නව ආසාදිතයින්ගෙන් 1464 දෙනෙකු ‘අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ’ ආශ්‍රිතයින් වන අතර විදේශයන් හි සිට පැමිණි 23 දෙනෙකු ද නව ආසාදිතයින් ලෙස හදුනා ගැනුණා.

ඒ අනුව තවදුරටත් 20,792 නෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව දෙලක්ෂ හැට එක් දහස් අටසිය හතලිස් අටක් (2,61,848).

පෙරේදා (18) සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද නව මරණ 48 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 3827 ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ යටිවාවල ග්‍රාම නිලධාරී වසමේ සාගරාදෙනිය වත්ත සහ කළුතර දිස්ත්‍රික්කයේ කළුතර – උතුර පොලිස් බල ප්‍රදේශයේ කුඩා වස්කඩුව – බටහිර ග්‍රාම නිලධාරී වසමට පනවා තිබූ හුදෙකලා භාවය අද (20) උදෑසන 6 සිට ඉවත් කර තිබෙනවා.

සංචරණ සීමා ලිහිල් වීමත් සමඟ සුන්දරත්වය අත්විදීම සඳහා වෙරළ තීරයන්ට වැඩි වශයෙන් ජනතාව පැමිණීම ආරම්භ වී තිබෙනවා.

කොරෝනා වසංගතය නිසා දීර්ඝ කාලයක් පාලුවට ගොස් තිබූ මීගමුව – ඒත්තුකාල සංචාරක කලාපයට ද ජනතාව මේ වන විට පැමිණෙමින් සිටින අතර ඇතැමුන් කොවිඩ් මාර්ගෝපදේශ පිළිබද සැලකීමක් නොමැතිව කටයුතු කරන බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මේ අතර, ලොව පුරා කොරෝනා ආසාදිතයින් දහනව කෝටි දහසය ලක්ෂ අසු පන්දහස් අටසිය තුනක් (19,16,85,803) ලෙස වාර්තා වනවා.

මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ හතලිස් එක් ලක්ෂ දොළොස් දහස් පන්සීය විසිදෙකක් (41,12,522) ලෙසයි.

එමෙන්ම යුරෝපයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 50 හේ සීමාවට පැමිණ ඇති බව විදෙස් වාර්තා සදහන් කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *