අර්ජුන මහේන්ද්‍රන් නොමැතිව බැඳුම්කර නඩුව විභාග කිරීමට සැරසෙයි

අර්ජුන මහේන්ද්‍රන් නොමැතිව බැඳුම්කර නඩුව විභාග කිරීමට සැරසෙයි

*********************************************

අර්ජුන මහේන්ද්‍රන් නොමැතිව බැඳුම්කර නඩුව විභාග කිරීමට සැරසෙයි

(19.07.2021 – 12:58 +0530 – hirunews.lk/sinhala)

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් ඔහු නොමැතිව නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා අද (19) පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නා.

චම්පා ජානකී රාජරත්න, නාමල් බලල්ලේ යන විනිසුරුවරුන් හමුවේ මෙම නඩුව අද (19) කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මෙම දැනුම් දීම සිදුකළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

එහිදී විනිසුරු චම්පා ජානකී රාජරත්න, අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගෙන් විමසා සිටියේ විත්තිකරු නොමැතිව නඩු විභාගය ආරම්භ කිරීමට හැකියාවක් ඇද්ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන කියා සිටියේ අර්ජුන මහේන්ද්‍රන් උදර්පණ නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් දෙරටේ නීතිපතිවරු අතර සාකච්ඡා පැවැත්වෙන බවයි.

කෙසේ වෙතත් එය අසාර්ථක වුවහොත් ඉදිරියේදී විත්තිකරු නොමැතිව නඩු විභාගය ආරම්භ කිරීම සඳහා අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.

2015 වසරේ පෙබරවාරි 27 වනදා සිදුකළ භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී රුපියල් මිලියන 688 ක මුදලක් වංචා කර ඇති බවට අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබෙනවා ෴

******************************************

(19.07.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

ලංකා විදුලිබල මණ්ඩලයට සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ජනාධිපතිවරයා විසින් නව සභාපතිවරුන් පත් කර තිබෙනවා.

ඒ අනුව විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස හිටපු ලේකම්වරයෙකු වන එම්.සී.සී. ප්‍රනාන්දු මහතා පත් කර ඇති අතර, එහි හිටපු සභාපති විජිත හේරත් මහතා පත් කර ඇත්තේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙසයි.

විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත් කළ එම්.සී.සී. ප්‍රනාන්දු මහතා 2005 වසරේ සිට 2015 දක්වා විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කළා.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත මහතා, ඕස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ ෴

******************************************

(19.07.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

‘තෙල් මිල ඉහළ දැමූ ගම්මන්පිල නෙරපමු – සහන කපන රට වනසන ආණ්ඩුව එලවමු’ යන මැයෙන් සමගි ජනබලවේගය අද (19) පාර්ලිමේන්තු වටරවුම් පරිශ්‍රයේදී උද්ඝෝෂණයක නිරතවුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුලු මන්ත්‍රීවරුන් රැසක් ඊට එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් එහිදී ඉල්ලා සිටියේ තෙල් මිල පහත දමා ජනතාවට සහන සළසන ලෙසටයි.

= ගම්මන්පිලගේ විශ්වාසභංගය ගැන සභා ගර්භයේ සංවාදාත්මක තත්ත්වයක් =

කෙසේ වෙතත් අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව නිසි පරිදි විපක්ෂය විසින් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය ප්‍රශ්න කිරීමත් සමග සභා ගර්භයේ සංවාදාත්මක තත්ත්වයක් ඇති වුණා.

සමගි ජන බලවේගය විසින් ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව එම පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් යෝජනා පිළිබද දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද අදාළ මන්ත්‍රීවරයා යෝජනාව ඉදිරිපත් නොකර අදහස් දක්වා සිටි බවයි ආණ්ඩු පක්ෂය එහිදී චෝදනා කළේ.

එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ විශ්වාසභංග යෝජනාවට සංශෝධනයක් ඉදිරිපත් කිරීමත් සමඟයි ඒ පිළිබද සංවාදාත්මක තත්ත්වයක් පාර්ලිමේන්තුවේදී ඇති වූයේ.

******************************************

(19.07.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා ‘ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුව’ අද (19) පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

ඊට ඔන්ලයින් වර්ජනයේ නිරත ගුරු සංගම් 17 ක් එක්ව සිටියා.

අනතුරුව විරෝධතාකරුවන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඇතුලුවීමට උත්සාහ දැරූ නමුත් එය ව්‍යවර්ථ වුණේ ආරක්ෂක අංශ විසින් ප්‍රධාන ගේට්ටුවට ඉබි යතුරු දමා වසා තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත් පසුව අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් විරෝධතාවයේ නිරත වෘත්තිය සමිති නියෝජිතයින් 12 දෙනෙකු සාකච්ඡාවක් සඳහා කැඳවනු ලැබුවා.

මේ අතර වර්ජනයේ නිරත ගුරු විදුහල්පතිවරුන් සමග හෙට (20) විශේෂ සාකච්ඡාවක් පවත්වන බවද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

******************************************

(19.07.2021 – 13:51 +0530 – hirunews.lk/sinhala)

මහව – උලලපොල ප්‍රදේශයේදී පෙරේදා වන අලි ප්‍රහාරයකින් මියගිය 49 හැවිරිදි කාන්තාවට පහරදුන් ඇතා මියගොස් තිබෙනවා.

ගලයාය පන්සල ආසන්නයේ වැටී තිබියදියි එම සත්වයාගේ මළ සිරුර ඊයේ (18) සොයාගෙන ඇත්තේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, වනජීවී නිලධාරින් විසින් අද (19) පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර සිය ගොවිතැන් කරන ස්ථානයේ සිට නිවසට ගමන් කරමින් සිටියදී විල්පත්තුව ප්‍රදේශයේ 60 හැවිරිදි පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

බරපතල තුවාල ලැබූ ඔහු මේ වනවිට නොච්චියාගම රෝහලට ඇතුළත් ඇති බවයි වාර්තාවන්නේ.

එසේම වන අලි ප්‍රහාරයකින් අනුරාධපුර තන්තිරිමලේ ප්‍රදේශයේ නිවාස දෙකක් (2) විනාශ වී ඇති අතර, ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ වන අලි ගැටළුවට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙසටයි.

මේ අතර මිහින්තලය – පෝතාන ප්‍රදේශයේ වන අලි ගැටළුවට විරෝධය පළ කරමින් ඊයේ (18) විරෝධතාවක් ද සංවිධාන කර තිබුණා.

අනුරාධපුර ප්‍රධාන මාර්ගය මිහින්තලය – මහකනදරා වැව අසළින් අවහිර කරමිනුයි මෙම විරෝධතාව පැවැත්වුණේ ෴

******************************************

(19.07.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala)

තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවුරුදු 3 ක් පමණක් නොව ඉන් පසුවත් තවත් අවුරුදු පහක් (5) පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මාධ්‍ය ආයතනවල හිමිකරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බවයි ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක සඳහන් කළේ ෴

******************************************

(19.07.2021 – 15:08 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් රැගෙන ආ බවට සැක කෙරෙන රුපියල් කෝටි 03 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 139 ක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.

පේදුරුතුඩුව – මුහුදු තීරයේ නාවික හමුදාව ඊයේ (18) සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර මුහුදේ පාවෙමින් තිබියදීයි මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත්තේ ෴

******************************************

(19.07.2021 – 15:10 +0530 – hirunews.lk/sinhala)

සංචාරක කර්මාන්තයේ සංවර්ධනය උදෙසා ජල සංචාරක නිවාස හා ජල බංගලා ඉදිකිරීම සඳහා සංචාරක අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව කල්පිටියේ පිහිටි දූපත් ආශ්‍රිතව ඒවා ඉදිකිරීමටයි තීරණය කර ඇත්තේ.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඊට අදාළ අනුමැතිය ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක්ද ඉදිරිපත් කර තිබෙනවා.

මේ වන විට මාලදිවයින, ඉන්දුනීසියාව, වියට්නාමය, මෙක්සිකෝව සහ තවත් රටවල් කිහිපයක මෙම ජල සංචාරක නිවාස ක්‍රමවේදය ක්‍රියාත්මකයි ෴

******************************************

(19.07.2021 – 15:18 +0530 – hirunews.lk/sinhala)

පොහොර සහ කෘෂි රසායන හිඟය හේතුවෙන් තමන් දුෂ්කරතාවලට මුහුණු දී සිටින බව පවසමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු පිරිසක් කුරුණෑගල – මීගලෑව ප්‍රදේශයේ දී උද්ඝෝෂණයක නිරත වුණා.

මේ අතර කෘෂි රසායන නොමැතිවීමෙන් සිය වගාවන් විවිධ රෝගවලට ගොදුරුවී විනාශයට පත්ව ඇති බවට තඹුත්තේගම ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරනවා.

රසායනික පොහොර හා කෘමිනාශක නොමැති වීමෙන් මල් ගෝවා සහ බඩ ඉරිඟු වගාකළ තඹුත්තේගම ‍ දෙමට වැව, කුඩාගම ප්‍රදේශයේ ගොවින් දැඩි අසරණ තත්වයට පත්ව තිබෙනවා.

ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසයි.

******************************************

(19.07.2021 – 16:06 +0530 – hirunews.lk/sinhala)

මුල්ලේරියාව – හල්බරාව ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයක 9 වන මහලෙන් ඇද වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

26 හැවිරිදි මෙම තරුණයා 9 වන මහලේ නිවසක පදිංචිව සිට ඇති අතර, ඔහු මීට මාස 3 කට පමණ ඉහතදී විදෙස්ගතව සිට මෙරටට පැමිණ ඇති බවටයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත්, මෙය සිය දිවි හානි කර ගැනීමක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල පාමුල කාන්තා මළ සිරුරක්.

රත්මලාන – කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ ගොඩනැගිල්ලක් පාමුල තිබී එහි වෛද්‍ය පීඨයේ සහකාර කළමනාකාරවරියකගේ සිරුරක් සොයාගෙන ඇති බව පොලීසිය පවසනවා.

පානදුර ප්‍රදේශයේ පදිංචි ඇය පහළ මාලයේ සේවය කරමින් සිට ඇති අතර පසුව අද (19) පෙරවරුවේ ඇය 6 වන මහලට ගොස් ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

එම අවස්ථාවේදී ඇය එම මහලේ සිට ඇද වැටුණා ද නැතහොත් ඉන් පැන සිය දිවි හානි කර ගත්තේ ද යන්න පිළිබද පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴

******************************************

(19.07.2021 – 17:10 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරිය අලෙවි කිරීම සහ අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වෙබ් අඩවියක හිමිකරු සහ එහි මුදල් කළමණාකරුවෙකුට ඇප ලබාදීම කොළඹ මහේස්ත්‍රත් අධිකරණය අද (19) ප්‍රතික්ෂේප කළා.

ඊට අදාල නඩුව අද (19) අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම හමුවේ කැදවූ අවස්ථාවේදී දැරිය අලෙවි කිරීම සඳහා ප්‍රවාහන පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රීරෝද රථ රියදුරෙකු ද ඇය විසින් හඳුනා ගනු ලැබුවා.

ඒ අනුව එම සැකකරු මේ මස 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ ෴

@@@@@@@@@@@@@@@

(19.07.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (18) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 1420 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 256 ක්.

තවත් දිස්ත්‍රික්ක කිහිපයකින් ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී තිබෙනවා. ඒ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 169 දෙනෙකු, කළුතරින් 151 දෙනෙකු සහ අම්පාරෙන් 130 දෙනෙකු ලෙසයි.

දිවයිනේ දිස්ත්‍රික්ක 16 ක මධ්‍යස්ථාන 182 කදී අද (19) දිනයේ කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව වැඩිම එන්නත්කරණ මධ්‍යස්ථාන සංඛ්‍යාවක් පවතින්නේ මහනුවර දිස්ත්‍රික්කයේ වන අතර, එම සංඛ්‍යාව 37 ක්.

මේ දක්වා පුද්ගලයන් 5,675,329 දෙනෙකුට මෙරට තුළ ලබාදීමට අනුමැතිය ලද කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් 5 න් එක් (1) වර්ගයක හෝ පළමු (1) මාත්‍රාව ලබාදී තිබෙනවා.

දැනට මෙරට තුළ භාවිතයට ගනු ලබන්නේ කොවිෂීල්ඩ්, සයිනොෆාම්, ස්පුට්නික්, ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් 5 යි.

ඒවායේ දෙවන (2) මාත්‍රාව ද ලබා ගනිමින් එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයින් සංඛ්‍යාව 1,686,564 ක්.

මේ අතර, අද (19) අලුයම ෆයිසර් එන්නත් මාත්‍රා 70,200 ක් මෙරටට රැගෙන එනු ලැබුවා.

ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මිලදී ගැනීමක් ලෙස මෙම එන්නත් තොගය මෙරටට ලැබුණු බවයි.

++++++++++++++++++++++++

(19.07.2021 – 13:49 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම අන්තර් හුවමාරුවේ සේවකයන් 9 දෙනෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමඟ ඊයේ (18) මුදල් ලබා ගැනීමේ කවුන්ටර් තාවකාලිකව වසා දැමුණා.

තවදුරටත් එය වසා තැබුණ ද අධිවේගී මාර්ගයේ බද්දේගම හරහා ගමන් කරන්නන්ට බාධාවකින් තොරව ගමනාගමනයට පහසුකම් සලසා ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කළේ.

මේ අතර, බස්නාහිර පළාතේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල කණිෂ්ඨ කාර්ය මණ්ඩල, කාර්මික සේවා, වාට්ටු ලිපිකරු, මුළුතැන්ගෙයි සේවකයන් ඇතුළු ශ්‍රේණි 46 කට අයත් සේවකයින් අද (19) සිට දින දෙකක (2) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා ෴

+++++++++++++++++++++++++

(19.07.2021 – 15:29 +0530 – hirunews.lk/sinhala)

මාර්ගගත අධ්‍යාපනයේදී මුහුණදෙන ප්‍රධාන ගැටලුවක් වන දුරකතන සංඥා පහසුකම්වලට විසඳුම් ලබාදීම ආරම්භ කර ඇතත් තවමත් බලධාරීන්ගේ නෙත නොගැටුණු ප්‍රදේශයක් පිළිබඳවයි මේ අනාවරණය.

හසලක – මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩත්තව – පමුණුපුර – උඩගල දෙබොක්ක – මැදකැලේ සහ ගලමුදුන යන ගම්මානවල දරුවන් මේ දිනවල අකුරු කරන ආකාරයයි මේ.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මෙරට අධ්‍යාපනය මාර්ගගත ක්‍රමවේදයකට යොමුවී ඇති පසුබිමක මේ දරුවන්ටද එම ක්‍රමවේදය ඔස්සේ අකුරු කිරීමට සිදුව තිබෙනවා.

නමුත් ප්‍රමාණවත් දුරකතන සංඥා පහසුකම් නොමැතිකමින් ඔවුන් විඳින දුක්ගැහැට සුළුපටු නැහැ.

අට්ටාල සහ ගස්, ගල් මත නඟිමින් මේ දරුවන් මාර්ගගත අධ්‍යාපනයේ යෙදෙන ආකාරයයි මේ.

+++++++++++++++++++++++++

(19.07.2021 – 15:47 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 5,172 දෙනෙකු සුවය ලබා අද (19) දිනයේදී රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 261,848 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

තවත් පුද්ගලයින් 19,305 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා ෴

++++++++++++++++++++++++++

(19.07.2021 – 16:34 +0530 – hirunews.lk/sinhala)

විවාහ මංගල උත්සව සහ අවමංගල්‍ය කටයුතු සඳහා පළාත් මායිම් උල්ලංඝනය කරමින් ගමන් කිරීමේ හැකියාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ළඟම ඥාතියෙකුගේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා පමණක් තහවුරු කළ හැකි ලේඛන ඉදිරිපත් කරමින් පළාත් අතර සංචරණය කිරීමට අවස්ථාව පවතින බවයි.

එමෙන්ම පළාත් දෙකක් (2) අතර සිදුවන මංගල උත්සවයකදී එම පාර්ශවයන් දෙකෙන් එක් පාර්ශවයකට අනෙක් පළාත වෙත ගමන් කිරීමේ හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

එහිදී මනාලයාගේ හෝ මනාලියගේ මව්පියන්ට ද ගමන් කිරීමේ හැකියාවක් හිමිවන අතර වෙනත් කිසිදු අයෙකුට පළාත් හරහා ගමන් කිරීමේ අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

මේ අතර විවාහ මංගල උත්සවයක් වෙනුවෙන් සහභාගී කරගත හැකි උපරිම සංඛ්‍යාව 150 කට හෝ අදාල ස්ථානයේ ධාරිතාවෙන් හතරෙන් එකක් (¼) පමණක් බව පොලිසිය යළිත් මතක්කර දෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *