දරුණු අපරාධකරුවෙකු වූ ‘ලලිත් වසන්ත’ සීදුවේදී STF වෙඩි පහරින් මරුට

දරුණු අපරාධකරුවෙකු වූ ‘ලලිත් වසන්ත’ සීදුවේදී STF වෙඩි පහරින් මරුට

*********************************************

දරුණු අපරාධකරුවෙකු වූ ‘ලලිත් වසන්ත’ සීදුවේදී STF වෙඩි පහරින් මරුට

(18.07.2021 – 07:20 +0530 – hirunews.lk/sinhala)

= ලලිත් වසන්ත සීදුවේදී STF වෙඩි පහරින් මරුට =

සීදූව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (17) රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන්ට ලද තොරතුරක් අනුව සැකකටයුතු පුද්ගලයන් ගමන්කරන වාහනයක් පිළිබඳව තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අදාළ සුඛෝපභෝගී රථය පසුපස ලුහුබැඳගොස් සීදුව පොලිස් වසමේ බේස්ලයින් පාර ප්‍රදේශයේදී වාහනය පරීක්ෂා කිරීමට උත්සහ කර තිබෙනවා.

එම අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකාය ගිනි අවි භාවිත කර බලය පාවිච්චි කිරීමක් සිදුකර ඇති අතර එහිදී එම රථයේ සිටි පුද්ගලයෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

තුවාලකරු මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ සීදුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ‘ලලිත් වසන්ත’ නමැති පුද්ගලයෙකු බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ඔහු 1991 වසරේ සිට මේ දක්වා සීදූව, වත්තල, මාතර, අකුරැස්ස, කටුනායක, රාගම ආදී පොලිස් වසම්වල සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

සැකකරු මනුෂ්‍ය ඝාතන 06 කට අදාළ සැකකරුවෙකු බවටද තොරතුරු ආනාවරණ වී ඇති අතර කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන්ද අවශ්‍යව සිටි සැකකරුවෙකු බවටයි වැඩිදුර තොරතුරු සඳහන් වන්නේ.

සිද්ධිය වූ ස්ථානයේ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්ද හමුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

අදාළ රථයේ ගමන්කළ තවත් පුද්ගලයන් දෙදෙනකු (2) අත්අඩංගුවට ගෙන ඇති අතර සීදූව පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

******************************************

(18.07.2021 – 07:26 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති මන්දිරයේදී අද (18) පස්වරු 6 ට මෙම හමුව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂයෙන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබියදී මෙම හමුව පැවැත්වීම විශේෂත්වයක්.

ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කළේ විශ්වාසභංගයේදී ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව අදහස් පළ කර ඇති මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම, මන්ත්‍රී කණ්ඩායම් හමුවේ ප්‍රධාන අරමුණක් බවයි.

එමෙන්ම, මෙහිදී නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් රජයේ ඉදිරි සැලසුම් පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට ද නියමිතව ඇති බව ආරංචි මාර්ග සඳහන් කළා ෴

******************************************

මැතිව්ස් සහ දිමුත් විසින් මුරලිගේ චෝදනා ප්‍රතික්ෂේප වෙයි

(18.07.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

‘හිරු TV’ ඔස්සේ විකාශය වූ ‘සලකුණ’ වැඩසටහනේදී හිටපු සුපිරි ක්‍රීඩක මුරලිදරන් විසින් එල්ලකළ චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින් දෙපලක් වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න විශේෂ ලිපියක් යොමුකරමින් ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කොන්ත්‍රාත්තු වල ප්‍රශ්නය තනිකරම මුදල් මත පදනම්වී ඇති බව ප්‍රකාශ කිරීම අසාධාරණ සහ අසත්‍යය ප්‍රකාශයක් බවයි.

[ අදාළ ලිපියේ දක්වෙන්න මෙවැන්නක් ]

******************************************

(18.07.2021 – 08:04 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රවය ජාවාරමට සම්බන්ධ ‘හරක් කටා’ගේ සහයකයෙකු වන ‘චරිත් සඳකැලුම්’ හෙවත් ‘රන් මල්ලී’ගේ මස්සිනා කෙනෙකු වන, පුද්ගලයෙකුගේ නිවසේ වලදමා තිබූ රුපියල් කෝටි 1.39 ක මුදල් සමඟ එම පුද්ගලයා කොට්ටාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘බඩෝවිට අසංක’ගේ සමීපතමයන් තිදෙනෙකු (3) හෝමාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(18.07.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala)

තමන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තමා මේ දක්වා කිසිදු සාකච්ඡාවක් සිදුකර නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ බලශක්ති අමාත්‍යාංශයේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

******************************************

(18.07.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

කැකිරාව – පරාවිල ප්‍රදේශයේදී වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) අනතුරට පත් කර ට්‍රැක්ටර් රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැකිරාව පොලීසියේ අපරාධ අංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ තමන් ඇතුලු නිලධාරීන් 03 දෙනෙකු යතුරුපැදි දෙකකින් (2) අදාළ වැටලීම සඳහා ගිය බවයි.

එම අවස්ථාවේදී වැලි පැටවූ ට්‍රැක්ටරයක් තමන් ඉදිරියට පැමිණි බවත් එය නතර කරන ලෙස දැනුම් දුන්නත් එය ඔහු විසින් නොනවත්වා ධාවනය කල බවයි එම නිලධාරියා සඳහන් කළේ.

පසුව ඔහු පසුපස හඹාගොස් යතුරු පැදිය ඉස්සර කිරීමත් සමඟම ට්‍රැක්ටර් රියදුරු විසින් තමා සමග ගිය අනෙකුත් නිලධාරීන් දෙදෙනා (2) යට කරමින් රථය ධාවනය කළ බව අදාළ උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

අනතුරින් බරපතල තුවාල ලැබූ එක් පොලිස් නිලධාරියෙකු දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, අනෙක් පොලිස් නිලධාරියා කැකිරාව මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පසුව ට්‍රැක්ටර් රථය සහ රියදුරු අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහු අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

(18.07.2021 – 08:32 +0530 – hirunews.lk/sinhala)

ඒකාබද්ධ සෞඛ්‍ය සේවකයන් යළි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, වැටුප් හා දීමනා ගැටලු මෙන්ම නවක සේවකයන් ස්ථීර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන දිනය අද (18) තීරණය කරන බවයි ෴

******************************************

(18.07.2021 – 08:39 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතිනු ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් 1,820 ක් ලෙසයි.

අමෙරිකානු ඩොලරය සහ භාණ්ඩාගාර බිල්පත් ඵලදායීතාව ඉහළ යෑම හේතුවෙන් රන් මිලෙහි සුළු පහත වැටීමක් පසුගිය සතියේ දක්නට ලැබුණා.

කෙසේ නමුත්, රන් මිල තවදුරටත් ඩොලර් 1800 ට වැඩි සීමාවේ පවතිනු ඇතැයි විශ්වාස කෙරෙනවා ෴

******************************************

(18.07.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නීතිවිරෝධීව සිදුකෙරෙන මුහුදු කූඩැල්ලන් සහ මුහුදු කටුස්සන් ඇතුළු සත්ත්ව ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණ වී තිබෙනවා.

තමිල්නාඩු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මුහුදු කූඩැල්ලන් කිලෝ 300 කට ආසන්න සංඛ්‍යාවක් සිය භාරයට ගැනීමත් සමඟ මෙම ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

බෝට්ටු 24 කින් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට සූදානම්ව තිබියදි අදාළ මුහුදු කූඩැල්ලන් තොගය සොයා ගෙන ඇත්තේ තමිල්නාඩුවේ රාමනාදපුරම් හි වෙඩලායි වෙරළ තිරයේදීයි.

අදාළ මුහුදු කූඩැල්ලන් තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් මිලියන 2 කට අධික වන බව ද එරට බලධාරින් ප්‍රකාශ කර තිබෙනවා.

වැටලීම සිදුවන අවස්ථාවේදී පිරිසක් පලා යාමට උත්සාහ දරා ඇති අතර, කෙසේ වෙතත් අදාල ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය බලධාරින් සමත් වූ බව එරට මාධ්‍ය වාර්තා කළා ෴

******************************************

(18.07.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

යතුරුපැදියක ගමන් කරමින් සිටියදී එම යතුරුපැදිය සරුංගල් නූලක පැටලී සිදුවූ අනතුරකින් මවක සහ අවුරුදු එකහමාරක (1½) දරුවෙකු ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් රත්ගම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඊයේ (17) රාත්‍රියේ ගාල්ල – කොළඹ මාර්ගයේ රත්ගම – පිටිවැල්ල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

ගුවන් හමුදා සැරයන්වරයෙකු සිය බිරිඳ සහ දරු දෙදෙනා (2) සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.

එහිදී ඔවුන් ගමන් කළ යතුරුපැදිය මෙලෙස සරුංගල් නූලක පැටලී වේගය පාලනය කර ගැනීමට නොහැකිව පෙරලී ඇති අතර, අනතුරෙන් 35 හැවිරිදි කාන්තාව සහ අවුරුදු එකහමාරක් (1½) වන දරුවා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

මොවුන් ගිංතොට – පියදිගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන් මෙම අනතුරට මුහුණදී ඇත්තේ ගිංතොට නිවසේ සිට දෙමාපියන් බැලීම සඳහා රත්ගමට යමින් සිටියදී බවයි හිරු වාර්තාකරු පැවසුවේ.

යතුරුපැදිය පැදවූ සැරයන්වරයා සහ එහි ගමන් කළ අවුරුදු පහමාරක් (5½) වන අනෙක් දරුවා දිවි ගලවා ගැනීමට ද සමත් වී තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වූ කාන්තාව සහ දරුවාගේ මෘත ශරීර කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ ෴

******************************************

(18.07.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

සීදුව අමන්දොලුව බේස්ලයින් මාර්ගයේදී පොලිස් විශේෂ කාර්ය බලකා වෙඩි පහරින් මිය ගිය ‘පාතාලයේ පින්තු’, ‘මාකදුරේ මදූෂ්’ගේ අපරාධ ජාලයේ ප්‍රධාන කොටස් කරුවෙකු බව හෙලිවී තිබෙනවා.

එමෙන්ම මොහු සීදූව ප්‍රදේශයේ අපරාධ ක්‍රියාවක් සිදු කිරීමට සැලසුම් කරමින් සිටි බවටත් අනාවරනය වී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ.

එමෙන්ම බන්ධානාගාර රැදවියන්ට නීතිවිරෝධි ලෙස පහසුකම් සැපයිමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු මීගමුව බන්ධනාගාර අධීකාරී ‘අනුරුද්ධ සම්පායෝ’ අවසන් වරට පහසුකම් සපයා ඇත්තේ එවකට අපරාධ චෝදනාවක් මත එම බන්ධනාගාරයේ සිටි ‘ලලිත් වසන්ත පින්තු’ නැමැති මෙම අපරාධකරුට බව හෙලිවී තිබෙනවා.

බේස්ලයන් මාර්ගයේ අපරාධකරුවකු ගමන් ගන්නා සුපෝභබෝගී රථයක් පිලිබද බුද්ධී අංශ වෙත තොරතුරු වාර්තා වී තිබුනා.

ඒ අනුවයි හදීසි මාර්ග බාධකයක් යොදා පරික්ෂා කිරීමට කටයුතු කළේ.

එම අවස්ථාවේ වෙසෙල් වර්ගයේ සුපෝගිභෝගී රථය නවත් වන ලෙස පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් අණකර තිබුනා.

එහිදී රථය නවත්වා ඇති අතර ඉන් බැසගත් බීමත් පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායට වෙඩි තබා තිබෙනවා.

එහිදි එල්ල කළ ප්‍රතිප්‍රහාරයෙන් ඔහු ජීවිතක්ෂයට පත්වුනා.

පසුව අනාවරණය වූයේ මෙලෙස වෙඩි කෑ පුද්ගලයා ‘ලලිත් වසන්ත පින්තු’ නැමැති නම ගිය අපරාධකරු බවයි.

මොහුට එරෙහිව සීදුව, වත්තල, අකුරැස්ස හා මාතර ප්‍රදේශවල සිදුවූ මනුෂ්‍ය ඝාතන රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

ප්‍රබල ගනයේ මංකොල්ලකෑම් 15 පමණ ‘පින්තු’ විසින් මෙහෙයවා ඇති බවටයි හෙලි වී ඇත්තේ.

1991 වසරේ සිට වසර 30 ක පමණ කාල සීමාවක් මොහු දරුණු ගනයේ අපරාධ මෙහෙයවා ඇති අතර සැකකරුගේ රථයේ සිටි තවත් අනුගාමිකයන් දෙදෙනෙකු (2) ද මෙහිදී අත්අඩංගුවට ගත්තා.

මෙම සැකකරු ‘මදූෂ්’ගේ ඩුබායි මත්ද්‍රව්‍ය ජාලය සමගද සමීප සබදතා පවත්වා තිබෙනවා.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ගේ සමීපතමයකු වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘රන් මල්ලි’ නැමැත්තාගේ බිරිදගේ සහෝදරයකුද ඊයේ (17) අත්අඩංගුවට ගත්තා.

පසුව කොට්ටාව පන්නිපිටිය හිරිපිටිය ප්‍රදේශයේ ඔහුගේ නිවස පිහිටි භූමිය පරික්ෂා කිරීමේදී එහි වලදමා තිබූ රුපියල් එක්කෝටි තිස්නව ලක්ෂයක (1,39,00,000) මුදලක්ද සොයා ගනු ලැබුවා.

‘බඩෝවිට සංජීව’ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතමයන් 3 න් දෙනෙකු ද ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම, ඉන්දිය අත්අඩංගුවේ පසුවන ‘කිඹුලා ඇලේ ගුණා’ගේ සහෝදරයකු වන ‘සුරේෂ්’ නැමැත්තාට අයත් රුපියල් කෝටි 13 කට ආසන්න හෙරොයින් තොගයක් සොයාගැනීමේ සිද්දියට සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

@@@@@@@@@@@@@@@

(18.07.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වැය වන බවට දරුවන්ගේ දෙමව්පියන් මෙන්ම ගුරුවරුන්ද ඇතැම් විට ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත්, ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සහනදායි පැකේජ රැසක් ක්‍රියාත්මක බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ෴

++++++++++++++++++++++

(18.07.2021 – 08:24 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා අසාදිතයින් 1,452 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 283,512 ක් ලෙසයි.

ඊයේ (17) වාර්තා වූ ආසාදිතයින් අතරින් 1,447 දෙනෙකු අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආසාදිතයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

විදේශයන්හි සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් 05 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා.

ඊයේ (17) දිනයේදි ආසාදිතයින් 962 දෙනෙකු සුවය ලැබූ අතර, මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 255,833 ක් ලෙසයි.

එසේම, පසුගිය 16 වැනිදා සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 31 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (17) පස්වරුවේ තහවුරු කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 3,733 ක්.

එසේම, කළුතර නගර සභාවේ සභාපති අමීර් නසීර්ට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

මේ අතර, ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු වෘත්තිය සමිති 14 ක් ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වී ක්‍රියාත්මක කරන ලබන වෘත්තිය ක්‍රියාමාර්ගය අද (18) 7 වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි ෴

++++++++++++++++++++++

(18.07.2021 – 08:52 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 368 දෙනෙකු ඊයේ (17) දිනයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව කුලියාපිටිය ප්‍රදේශයෙන් 117 දෙනෙකු, මහනුවරින් 51 ක් සහ ගම්පහින් 31 දෙනෙකු ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ වනවිට නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 50,749 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+++++++++++++++++++++

(18.07.2021 – 08:58 +0530 – hirunews.lk/sinhala)

තවත් දින 05 කින් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සියලු කටයුතු සූදානම්ව තිබියදී ටෝකියෝ නුවර ඔලිම්පික් ගම්මානයේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට (2) කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඒ, ඔලිම්පික් ගම්මානයේ ප්‍රථම ආසාදිතයා සොයා ගැනීමෙන් දිනකට පසුවයි.

කෙසේ නමුත්, එම ආසාදිතයා කවුරුන්ද යන්න ජපාන බලධාරීන් හෙලිදරව් කළේ නැහැ.

කොරෝනා වසංගතය නිසා මේ වසරට කල් දමනු ලැබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල අගෝස්තු 08 වැනිදා තෙක් පැවැත්වෙන අතර, ඉන් අනතුරුව පැරා ඔලිම්පික් උළෙල ආරම්භවීමට නියමිතයි ෴

+++++++++++++++++++++++

(18.07.2021 – 10:57 +0530 – hirunews.lk/sinhala)

ඊයේ දිනයේදී හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 1452 දෙනා අතරින් වැඩිම පිරිස වන 322 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 203 දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 175 ක්, යාපනය දිස්ත්‍රික්කයේ 171 ක් වාර්තා වී තිබෙනවා.

අනෙකුත් දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත්තේ ආසාදිතයින් සියයකට (100) අඩු ප්‍රමාණයක්.

ඊයේ (17) දිනයේදී පුද්ගලයින් 167,462 කට කොරෝනා මර්දන එන්නත් ලබාදී තිබෙනවා.

ඒ අනුව, සයිනොෆාම් හි පළමු (1) මාත්‍රාව ඊයේ (17) දිනයේදී පුද්ගලයින් 154,962 කට ලබාදී ඇති අතර දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 11,540 ක්.

ෆයිසර් එන්නතෙහි පළමු මාත්‍රාව 960 කට ලබාදී තිබෙනවා ෴

+++++++++++++++++++++

(18.07.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

ගුරු වැටුප් විෂමතාවලට විසඳුම් ලබාදෙනතුරු සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛන්ඩව ක්‍රියාත්මක කරන බව ගුරු සංගම් පවසනවා.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත් කර ගත යුතු බව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු වෘත්තීය සමිති ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) ක්‍රියාත්මක වන්නේ 7 වන දිනටයි.

මෙම වර්ජනයට ගුරු වෘත්තීය සමිති 14 ක් එක්ව සිටිනවා.

කෙසේ වෙතත්, අද (18) දිනයේත් ඇතැම් ප්‍රදේශවල ගුරුවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයට සහභාගි නොවී සිසුන්ට අධ්‍යාපනය ලබාදෙන ආකාරය ද දක්නට ලැබුණා.

මේ අතර, කරාපිටිය – සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ ප්‍රඥාධාර දහම් පාසල අද (18) ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට එහි භික්ෂුන් වහන්සේලා කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් ගුරු වර්ජනය හේතුවෙන් ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතු මෙන්ම උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමේ කටයුතු ද ඇණ හිට තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *