මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානය පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාව, ගුවන් හමුදාපතිගෙන් වාර්තාවක් ඉල්ලයි

මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානය පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාව, ගුවන් හමුදාපතිගෙන් වාර්තාවක් ඉල්ලයි

*********************************************

මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානය පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාව, ගුවන් හමුදාපතිගෙන් වාර්තාවක් ඉල්ලයි

(17.07.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ පහසුකම් නොමැතිවීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව එය සොයා බැලීමට ගිය මානව හිමිකම් කොමිසමේ නිලධාරින්ට අවස්ථාව නොලැබීම ගැන එහි සභාපතිවරයා ගුවන් හමුදාපතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබෙනවා.

නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවාගෙන සිටියද එහි මූලික පහසුකම් නොතිබූ බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඇතුළු පිරිස මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පසුගිය 9 වනදා පැමිණිල්ලක් ගොනුකරනු ලැබුවා.

ඒ අනුව, අදාළ නිරෝධායන මධ්‍යස්ථානය මූලික විමර්ශන කටයුතු සඳහා පසුගිය 13 වනදා කොමිෂන් සභාවේ නිලධාරින් පිරිසක් අදාළ නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගිය අවස්ථාවේදී එය භාරව සිටි නිලධාරිවරයා ඔවුන්ට නිරෝධායන මධ්‍යස්ථානය තුලට යාමට අවස්ථාව ලබාදී නැහැ.

ඒ අනුව එම විමර්ශනයට තොරතුරු ලබාදීමට සහය නොදැක්වීම පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසයි මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය ජගත් බාලසූරිය මහතා යුද හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණට ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ ෴

+++++++++++++++++++

(17.07.2021 – 15:12 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 962 ක් පූර්ණ සුවය ලබා අද (17) දිනයේ පිටවගොස් තිබේනවා.

මේ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 255,833 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම ඊයේ (16) දිනයේ මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 1,517 දෙනෙකු හඳුනාගත් අතර, ඉන් වැඩිම සංඛ්‍යාවක් හඳුනාගෙන තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 252 ක් ෴

++++++++++++++++++++

(17.07.2021 – 16:06 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 රෝගය මර්දනය කිරීම සඳහා ඉන්දියාවේ නිෂ්පාදනය කරන කොවිශීල්ඩ් එන්නතට මෙතෙක් යුරෝපා සංගමයේ අනුමැතිය ලැබී නොමැති බව එම ආයතනය පවසනවා.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිෂ්පාදනය කළ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා සමාගමේම තවත් සොයා ගැනීමක් වන මෙම එන්නත නිෂ්පාදනය කරන්නේ ඉන්දියාවේ සීරම් සමාගමයි.

එම සමාගම මේවන විට ඇස්ට්‍රා සෙනෙකා එන්නත ද මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනවා.

මේ අනුව ඉන්දීය කොවිශීල්ඩ් එන්නත ලබාගත් පුද්ගලයින්ට යුරෝපා කලාපයේ සංචාරය කිරීමේදී ගැටළු මතු විය හැකි බවයි වාර්තාවන්නේ.

ඒ යුරෝපා සංගමයේ අනුමත කොවිවිඩ් එන්නත ලබා නොගත් කිසිදු පුද්ගලයෙකුහට එම සංගමයේ රටවල්වලට ඇතුළුවීම සඳහා අවසර නොදීමට එම සංගමය විසින් ගෙන ඇති තීරණය හේතුවෙන්.

මේ වන විට යුරෝපා සංගමය කෝවිඩ් මර්දනය සඳහා එන්නත් හතරකට අනුමැතිය ලබාදී තිබෙනවා.

එම එන්නත් වන්නේ ඇස්ට්‍රා සෙනෙකා, ජොන්සන්, ෆයිසර් සහ මොඩර්නායි.

කෙසේවෙතත් යුරෝපා සංගමයේ රටවල් කිහිපයක් රුසියානු ස්පුට්නික්-වී එන්නටත් අනුමැතිය ලබාදී තිබෙනවා ෴

+++++++++++++++++++++

(17.07.2021 – 17:07 +0530 – hirunews.lk/sinhala)

මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ස්ථානාධිපතිවරයෙකුට කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන්.

කෙසේවෙතත් අද (17) මරදාන දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත් නොමැතිව ගමන් ගන්නා මගින්ට අපහසුතාවක් නොවන ලෙසට ගමන් කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 980 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 283,040 ක් ලෙසටයි ෴

++++++++++++++++++++++

(17.07.2021 – 18:12 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සිදුවූ තවත් කොරෝනා මරණ 31 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (16) තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3733 ක් ලෙසටයි.

ඊයේ (16) තහවුරු කෙරුණු මරණ අතරට පිරිමි 17 ක් සහ කාන්තාවන් 14 ක් ඇතුලත්.

අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමි පුද්ගලයන් 6 ක් සහ කාන්තාවන් දෙදෙනෙකු මියගිය පිරිසට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි 11 ක් සහ කාන්තාවන් 12 ක් ඊයේ (16) තහවුරු කළ මරණ අතර වනවා ෴

@@@@@@@@@@@@@@@@@

(17.07.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

සුලු වර්ෂාවකදී පවා මල්වතු ඔය පිටාර ගැලීමෙන් අනුරාධපුර නගරය ඇතුලු ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ජනතාව පත්වන දැඩි පීඩාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අනාවරණය කළේ වරක් දෙවරක් නොවේ.

ඊට ප්‍රතිචාර ලෙස ඇරඹුණු, මල්වතු ඔය ප්‍රතිසංස්කරණය කර ගංවතුර කළමනාකරණ කිරීමේ වැඩසටහන අවසන් අදියරට පැමිණ තිබෙනවා.

මෙරට දෙවැනියට දිගින් වැඩිම ගඟ ලෙස මල්වතු ඔය සැලකෙනවා.

අනුරාධපුර නගරය අතීතයේ සිට ගොඩ නැගුණේ මල්වතු ඔය ආශ්‍රිතවයි.

නමුත් දීර්ඝ කාලයක් රොන් මඩ පිරීම සහ ආක්‍රමණශීලී ශාක වර්ධනය වීමෙන් සුලු වර්ෂා තත්ත්වයකදී පවා මල්වතු ඔය පිටාර ගලා පූජා නගරය අවට පහත්බිම් යටවීමෙන් එම ජනතාව දැඩි පීඩාවන්ට පත්වුණා.

ඒ අනුව මල්වතු ඔය ප්‍රතිසංස්කරණය කොට ගංවතුර පාලන ව්‍යාපෘතියක් ආරම්භ වන්නේ 2018 වසරේදී.

නමුත් අවස්ථා කිහිපයකදීම විවිධ හේතු මත මෙම ව්‍යාපෘතිය අතරමග ඇණ හිටියේ ජනතා අපේක්ෂා බිඳ දමමින්.

කෙසේ වෙතත් පසුගිය මාර්තු මාසයේදී යළි ආරම්භ කෙරුණු ව්‍යාපෘතිය මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබෙනවා.

එහි කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද එහි සංචාරයක නිරත වුණා.

******************************************

(17.07.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීන ගීපද රචක කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝහල්ගතව ඔහු ප්‍රතිකාර ලබමින් සිටි අතර සිය නිවසේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

හිමිනැති පෙමකට, වාසනා වේවා, විකසිත වතකමලේ, හදවිලේ, දේව මන්දිරයේ, ආදර ප්‍රියලඳුනේ, හදිස්සියේ හනි හනිකට, උන්මාදවූ ප්‍රේමාදරේ වැනි ගීත රැසක්ම රචනය කර ඇත්තේ ඔහු විසින්.

ඔහු මියයන විට 74 වැනි වියේ පසුවුණා.

******************************************

(17.07.2021 – 14:11 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමිෂන් සභාවේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු පදනම් කරගෙන කටයුතු කරන දේශපාලන පක්ෂ සහ සංවිධාන ඇතුළු විවිධ පාර්ශව පිලිබඳව අවධානය යොමු කිරීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ ඇතැම් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ස්වකීය දේශපාලන හා පටු අරමුණු උදෙසා මැතිවරණ කොමිෂන් සභාව පිළිබඳව අසත්‍ය ප්‍රකාශ සිදුකරන බවයි.

මැතිවරණ කොමිෂන් සභාවේ පරිපාලනය සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයින්ට අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමට අවස්ථාවක් නොදෙන බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන්ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ෴

******************************************

(17.07.2021 – 15:05 +0530 – hirunews.lk/sinhala)

මූල්‍ය සහය පතා මෑතකදී ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

කෙසේ නමුත්, එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට මූල්‍ය අරමුදල සූදානම් බවයි එහි ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී මසහිරෝ නොසාකි ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම, එවැනි ඉල්ලීමක් ප්‍රශංසාත්මකව භාර ගන්නා බව ද ඔහු සඳහන් කර තිබෙනවා. මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත ප්‍රධානියා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ‘ඉනර්-සිටි-ප්‍රෙස්’ නමැති විකල්ප මාධ්‍ය වෙබ් අඩවිය සිදුකළ විමසීමකට පිළිතුරු ලෙසින්.

‘ඉනර්-සිටි-ප්‍රෙස්’ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විමසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රය ශක්තිය ‘ෆිච් රේටින්’ විගණනය මගින් පහත හෙලා විදේශ ණය බර විශාල වශයෙන් ප්‍රසාරණය වෙද්දී මූල්‍ය අරමුදලේ සහය නොපතා විදේශ ආයෝජන මගින් තත්ත්වය සමනය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාවක් ඇත්ද යන්නයි.

ඊට පිළිතුරු ලෙස මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත ප්‍රධානී මසහිරෝ නොසාකි සඳහන් කර ඇත්තේ ප්‍රතිපත්තියක් වශයෙන් මූල්‍ය අරමුදල වර්ගීකරණයන් හෝ විශ්ලේෂක වාර්තා පිළිබඳව අදහස් නොදක්වන බවයි.

එහෙත් එහි කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික සංවර්ධනය, පසුබිම සහ සාර්ව ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳව මෙරට බලධාරින් සමග තවදුරටත් අදහස් හුවමාරු කර ගනිමින් සිටින අතර, ශ්‍රී ලංකාව පිළිබඳ මීළඟ ඇගයීමට අදාළව එම සංවාදය සිදුවන බවයි මසහිරෝ නොසාකි ප්‍රකාශ කළේ ෴

******************************************

(17.07.2021 – 15:24 +0530 – hirunews.lk/sinhala)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මන්නාරම, මුලතිව්, වව්නියාව, අනුරාධපුර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්වල තැනින් තැන වැසි සමග අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුල රැඳී සිටිය යුතුයි.

කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසට ද උපදෙස් දෙනවා.

රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වැළකිය යුතුයි.

බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘථ වාහන භාවිතයෙන් වළකින ලෙසට සහ තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසට දැනුම් දෙනවා.

හදිසි අවස්ථාවකදී ප්‍රාදේශීය ආපදා කළමණාකරන මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.

මේ අතර ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අද (17) පස්වරු 02:30 සිට 19 වනදා පස්වරු 02:30 තෙක් වලංගු වන ආකාරයෙන්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ අදාළ කාලය තුල ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ක් 70 ක් පමණ දක්වා ඉහළ යාහැකි බවයි.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 ක් පමණ දක්වා වැඩිවීමේ හැකියාව පවතිනවා.

පුත්තලම සිට කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ පිළිබඳ ඉතා අවදානයෙන් කටයුතු කරන ලෙටයි ධීවර සහ නාවුක ප්‍රජාවට දැනුම් දෙන්නේ ෴

******************************************

(17.07.2021 – 16:51 +0530 – hirunews.lk/sinhala)

රට විවෘත කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජය ප්‍රමුඛතාව ලබාදී ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

නිසි ආර්ථික කළමනාකරණයක් තුළින් ජනතාවට සහන ලබාදීමට කටයතු කරන බවයි පළාත් පාලන ආයතන ප්‍රධානීන් හමුවෙමින් අමාත්‍යවරයා කියාසිටියේ.

සියලු පළාත් පාලන ප්‍රධානීන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අද (17) කොළඹට කැඳවා තිබුණා.

ඒ රජයේ ඉදිරි ප්‍රතිපත්ති හා සැලසුම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහායි.

අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යවරයාට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් ඇතුළු එම පක්ෂයේ නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටියා.

මෙහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත්තේ මෙම අසීරු අවස්ථාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පළාත් පාලන ආයතනවල පූර්ණ දායකත්වය අත්‍යාවශ්‍ය බවයි.

ඔවුන්ගේ යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස ද පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.

අවස්ථා කිහිපයකදී රට වසා දැමීම හේතුවෙන් දේශීයව මෙන්ම විදේශීයව ද රජයට මුදල් ලැබුණු ක්‍රමවේද අවහිර වී ඇති අතර රජයට සහ ජනතාවට මුදල් ගලා ඒමේ ක්‍රමවේද සක්‍රිය වීමට නම් හැකි ඉක්මනින් රට විවෘත විය යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.

යුද්ධය පවතින අවස්ථාවේ රටේ පැවතියේ ඩොලර් බිලියන 1.2 ක සංචිතයක් පමණක් වන අතර වර්තමානයේ බිලියන 4 ක පමණ සංචිතයක් පවතින හෙයින් නිසි කළමනාකරණයක් තුළින් වත්මන් ආර්ථික අර්බුදය විසඳා ගැනීමේ හැකියාව පවතින බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඩොලරයේ මිල ඉහළ යාම කෙරෙහි අසත්‍ය ප්‍රචාර බලපා තිබුණ ද මෙම තත්වයට මුහුණදීමට සූදානම් බවයි ඔහු කියාසිටියේ.

මුදල් අමාත්‍ය ධුරයේ වගකීම් ඉටු කරන අතර පක්ෂයේ වගීම් ද නොපිරිහෙලා ඉටු කිරීම තම අරමුණ බව ද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

විපක්ෂ නායක ධුරයක් හෝ නොමැති අවස්ථාවක පක්ෂයක් නිර්මාණය කර ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට හැකිවූයේ එකමුතුකම හේතුවෙන් බවයි ඔහු මෙහිදී පෙන්වා දුන්නේ.

******************************************

(17.07.2021 – 16:54 +0530 – hirunews.lk/sinhala)

ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් කොල්ලුපිටියේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ සියලු කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එහි සභාපති තිලක් වීරසිංහ මහතා කියා සිටියේ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරින් පැමිණ මහල් 4 කින් සමන්විත ගොඩනැගිල්ලෙන් ඉවත් වන ලෙස දැනුම් දුන් බවයි.

ප්‍රධාන කාර්යාලයට යාබදව ඉදිකෙරෙන නව ගොඩනැගිල්ලක ඉදිකිරීම් හේතුවෙන් එය මෙලෙස ගිලා බැසීමේ අවදානමක් මතුව තිබෙනවා

******************************************

(17.07.2021 – 17:41 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඒ ඔහුට ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන්.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළවයි ඔහු රඳවාගෙන ප්‍රශ්ණ කරමින් පවතින්නේ.

අද (17) උදෑසන ඔහු නිලධාරීන්ට දන්වා තිබුනේ තමන්ට අසනීප තත්වයක් ඇති බවයි.

අනතුරුව ඔහු ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට රැගෙන ගිය අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුලත් කරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් එම ස්ථානයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිලධාරීන් යොදවා ඇති බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *