කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට

*********************************************

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට

(17.07.2021 – 10:54 +0530 – hirunews.lk/sinhala)

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන්, සිදු කෙරෙන සංශෝධනවලින් අනතුරුව එම විශ්වවිද්‍යාලයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ බෞද්ධ උපදේශක සභාවේ සාමාජිකයන් මුණගැසීමෙන් අනතුරුවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේය රටේ අනාගතය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ වලට ඇතැම් පිරිස් විචාරයකින් තොරව එරෙහි වන බවයි.

එය අනාගත පරපුරට කරන බලවත් අසාධාරණයක් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වසර 40 කාලයක් පුරා මෙරටට අවශ්‍ය විද්වතුන් විශාල සංඛ්‍යාවක් දායාද කර ඇති බවත් උසස් පෙළ සමත් දරුවන් පවා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපන කටයුතු සිදු කිරීමට දැඩි උනන්දුවකින් පෙළඹී සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ද ඒ යටතට ගෙන එන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

උසස් අධ්‍යාපනය සඳහා තම දරුවන් විදේශ රටවලට යවනා දෙමව්පියන්ට අහිමිවන විශාල මුදලක් මේ ආකාරයේ ඉහළ ප්‍රමිතියෙන් යුත් විශ්ව විද්‍යාල රට තුළ බිහි කිරීම හරහා රටේ ඉතුරු කර ගත හැකි බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.

******************************************

(17.07.2021 – 12:05 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල ඉබ්බන් කටුව ප්‍රදේශයේදී අද (17) දින උදෑසන ටිපර් රථයක් සහ බට්ටා ලොරි රථයක් ගැටීමෙන් බට්ටා ලොරි රථයේ ගමන් කළ අයෙකු එම ස්ථානයේම මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ මොරටුවේ සිට දෙල් පටවාගෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගමන් කරමින් තිබූ බට්ටා ලොරි රථයක් සහ වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක්.

අදාළ ටිපර් රථය මාර්ගය අද්දර නවතා එහි රියදුරු නිදාගෙන තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ මොරටුව ප්‍රදේශ්යේ පදිංචි බි. ප්‍රේමරත්න නැමති 52 හැවිරිදි පස් දරු පියෙක්.

ඔවුන් මොරටුව ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දෙල් තොගයක් ප්‍රවාහනය කරමින් සිට තිබෙනවා.

කුඩා ලොරි රථයේ රියදුරු සහ රිය සහයකයා 16 දින රාත්‍රී 10 ට පමන මොරටුවෙන් පිටත් ව ඇති අතර අතරමගදී රියදුරුට සහ රිය සහායකයාට නින්ද යෑම හේතුවෙන් මාර්ගය අසල නවතා තිබූ ටිපර් රථයේ පිටුපස ගැටී තිබෙනවා.

පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම අනතුරෙන් ලොරි රථයේ සහයකයා එම ස්ථානයේම මිය ගොස් ඇති බවයි.

මියගිය රථ සහයකයාගේ සිරුර එලියට ගැනීමට ප්‍රදේශවාසීන් මෙන්ම ගලේවෙල පොලිසිය දැඩි පරිශ්‍රමයක් යෙදූ අතර ඔහු දඹුල්ල රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් සිටි බවයි පොලීසිය සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුඩා ලොරි රථ සහ ටිපර් රථ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

******************************************

(17.07.2021 – 12:26 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ හමුවක් අද (17) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

එහිදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය මෙන්ම, ඉදිරි අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරූ ජයසූරියගේ මෙහෙයවීමෙන් මෙම හමුව සංවිධාන වන බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ. බොහෝ දේශපාලන පක්ෂ සිය සහභාගිත්වය මේ වනවිටත් තහවුරු කර ඇති බව සඳහන්.

මේ අතර, සමගි ජනබලවේගය, සමගි බලවේගය නමින් නව සන්ධානයක් ගොඩනැගීමට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඊට අදාළ මූලික කෙටුම්පත් සකස් කර විපක්ෂයේ හවුල්කාර පක්ෂවල නායකයන් වෙත මේ වනවිටත් ලබාදී ඇති බව සඳහන්.

ඒ අනුව, නුදුරු දිනයකදී ගිවිසුම් ගත වීමට නියමිතව තිබෙනවා. සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් ද සඳුදා (19) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

එමෙන්ම, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අතර හමුවක් අද (17) පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා ෴

******************************************

(17.07.2021 – 12:28 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් හෙට (18) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ජනාධිපති මන්දිරයේදී හෙට (18) පස්වරු 6 ට මෙම හමුව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂයෙන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබියදී මෙම හමුව පැවැත්වීම විශේෂත්වයක්.

ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කළේ විශ්වාසභංගයේදී ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව අදහස් පළ කර ඇති මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම, මන්ත්‍රී කණ්ඩායම් හමුවේ ප්‍රධාන අරමුණක් බවයි.

එමෙන්ම, මෙහිදී නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් රජයේ ඉදිරි සැලසුම් පිලිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට ද නියමිතව ඇති බව ආරංචි මාර්ග සඳහන් කළා ෴

******************************************

(17.07.2021 – 12:31 +0530 – hirunews.lk/sinhala)

රට තුල ඛනිජ තෙල් හිඟයක් ඇති වන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ මේ වනවිට දින 27 කට ප්‍රමාණවත් පෙට්‍රල් තොග සහ දින 24 කට ප්‍රමාණවත් ඩීසල් තොග පවතින බවයි.

******************************************

(17.07.2021 – 12:42 +0530 – hirunews.lk/sinhala)

කහටගහ පතලෙන් විදේශ විනිමය වැඩි වශයෙන් උපයා ගැනීමට හැකිවන පරිදි කාර්යක්ෂම කිරීම පිළිබඳ කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කුරුණෑගල – දොඩම්ගස්ලන්ද – මදුරාගොඩ පිහිටි කහටගහ මිනිරන් පතල් සංකීර්ණයේ නිරීක්ෂණයකට ද ඊයේ (16) එක්වුණා. එහිදී අමාත්‍යවරයා සහ එම ආයතනයේ ඉහළ නිලධාරින් අතර එහි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද පැවැත්වුණා.

කහටගහ මිනිරන් පතලෙන් මාසිකව මිනිරන් මෙට්‍රික් ටොන් 65 ක් කැණීම් කටයුතු මගින් ලබා ගන්නා අතර, එය මෙට්‍රික් ටොන් 85 දක්වා වැඩි කර ගැනීම පිලිබඳව එහිදී සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම, නව්‍ය ලෝක ප්‍රවණතා ඔස්සේ මිනිරන් කර්මාන්තය වැඩි දියුණු කිරීම කෙරෙහි ද අවධානය යොමුවූ බවයි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ.

කහටගහ පතල් සංකීර්ණයේ සියලු අංශ කාර්යක්ෂම කර, අගය එකතු කළ මිනිරන් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කෙරෙහි ද අවධානය යොමු කරමින් දැනට වඩා වැඩියෙන් රටට විදේශ විනිමය උපාය දෙන තැනක් බවට එම පතල පත් කිරීම තම අරමුණ බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

“කහටගහ පතල පිළිබඳ ඉදිරි තීරණ ගැනීම සඳහා එම පතල් සංකීර්ණය නිරීක්ෂණයටත් කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනයේ ඉහළ නිලධාරීන් සහ මෙම පතල් සංකීර්ණයේ සේවකයන් සමඟ සාකච්ඡාවකටත් අප අද (16) මෙහි පැමිණියා. පතල් සංකීර්ණයේ සියලු කටයුතුවල කාර්යක්ෂමතාව වැඩි කිරීමට අප තීරණ රැසක් ගනු ලැබුවා. එමගින් මෙම පතල දැනටත් වඩා වැඩියෙන් රටට විදේශ විනිමය උපයාදෙන තැනක් බවට පත් කිරීමට අපට හැකියාව ලැබේවි” යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.

කහටගහ පතල, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින පූර්ණ රාජ්‍ය සමාගමක් වන කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනය සතු වූවක්.

අක්කර 102 ක භූමිභාගයකින් යුත් පතල් සංකීර්ණය සතු මිනිරන් සංචිතය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් මේ වන විටත් සිදුවෙමින් පවතිනවා.

මෙම අක්කර 102 ක භූමිභාගයෙහි දැනට පවතින පොල් වගාවට අමතරව ඉඟුරු, කහ වැනි යටි වගාවන්ට සහ පළතුරු වැනි වගාවන්ට යොමුවී එමගින් අමතර ආදායම් ඉපයීම පිළිබදවද මෙහි දී අවධානය යොමුවී තිබෙනවා.

කැණීම්වලින් අනතුරුව මිනිරන් තොග සෘජු අපනයනයෙන් වැළකී අගය එකතු කිරීමේ ක්‍රියාවලියකට භාජනය කර අපනයනය කිරීමේ වැදගත්කම අවධාරණය කළ අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙරට මිනිරන් කර්මාන්තය නව්‍ය ලෝක ප්‍රවණතා ඔස්සේ වැඩි දියුණු කිරීම පිළිබඳව ද මෙහිදී පෙන්වා දෙනු ලැබුවා ෴

******************************************

(17.07.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

පොහොර හිඟයට විරෝධය පළ කරමින් සහ වගාවන්ට අවශ්‍ය පොහොර කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලා ප්‍රදේශ කිහිපයක ගොවි උද්ඝෝෂණ සංවිධාන කර තිබුණා.

මේ අතර කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියද මේ වන විට විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

වගාවන් සඳහා අවශ්‍ය පොහොර ඉල්ලා පොළොන්නරුව අත්තනකඩවල යාය 26 ප්‍රදේශයේ ලොකු ලූනු වගාකරුවන් සිය ගොවි බිම්වල සිටම ඊයේ (16) උද්ඝෝෂණයක නිරත වුණා.

මේ අතර ඌව පරණගම ‘ලකී ලෑන්ඩ්’ ප්‍රදේශයේ එළවළු ගොවීන්ද තම වගාවට අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස ඉල්ලා ඊයේ (16) විරෝධතාවයක නිරත වූණා.

එය සංවිධානය කර තිබුණේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයයි.

කිලිනොච්චිය ආරක්ෂක සේනාවන් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් හරෙන්ද්‍ර රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙමගින් මසකට කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30 ක් පමණ නිපදවීමට නියමිත අතර එම කාබනික පොහොර කිලිනොච්චිය ප්‍රදේශයේ ආරක්ෂ අංශ ගොවිපොළ සඳහා සහ ප්‍රදේශයේ අවශ්‍යතාව වෙනුවෙන් ලබාදීමට නියමිතයි.

දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ වැව් වල ඇති ජලජ ශාක ඉවත්කොට ඒවා දිගම්පතහ පිවිතුරු අරණ කාබනික පොහොර අංගනයට රැගෙන යෑමේ එම මහ නගර සභාව ක්‍රියාත්මක කර තිබෙනවා.

නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසුවේ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි.

කළුතර දිස්ත්‍රික් ගොවිජන සේවා කාර්යාලයේ මෙහෙයවීමෙන් මත ඉත්තෑපාන ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ උපදෙස් මත ඌරගොඩ බටහිර 790 B ග්‍රමසේවා වසමේ වී සහ තේ වගාකරුවන් කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම පසුගියදා සිදු කෙරුණා.

මෙහිදී ප්‍රදේශයේ ගොවියෙකු වන උපුල් ගමගේ මහතා විසින් නිපදවනු ලැබූ කාබනික පොහොර නිෂ්පාදන යන්ත්‍රයක් හඳුන්වා දීම ද සිදු වුණා.

@@@@@@@@@@@@@@@@@

(17.07.2021 – 12:34 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලින් බැහැරව යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එසේම, මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයින් සොයා අද (17) සිට විශේෂ මෙහෙයුම් සිදුකරන බව පොලිසිය ප්‍රකාශ කළා.

ඊයේ (16) දිනයේ මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 1,517 දෙනෙකු හඳුනාගත් අතර, ඉන් වැඩිම සංඛ්‍යාවක් හඳුනාගෙන තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 252 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (16) ආසාදිතයින් දෙසිය තිස් දෙදෙනෙකු (232) හඳුනාගෙන තිබූ අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබූ ආසාදිතයින් සංඛ්‍යාව 153 ක් බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, මඩකලපුව – කලුදාවලෙයි ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක ළමයින් විසි දෙදෙනෙකුට (22) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වුණා. එහි සේවයේ නියුතු අයෙකුට (1) ද වෛරසය ආසාදනය වී ඇති අතර, මේ වනවිට ළමා නිවාසය වසා දැමීමටයි ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

කොරෝනා වෛරසයේ විකෘති ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් 38 දෙනෙකු මේ වනවිට මෙරටින් හඳුනාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදහස් පළ කළා.

එහි විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා කියා සිටියේ මෙරට තුළ සිදුකරන එන්නත්කරණ වැඩපිලිවෙලට සමගාමීව කොරෝනා පරීක්ෂණ සහ අහඹු පරීක්ෂණ ඉහළ නැංවිය යුතු බවයි.

මේ අතර, කොළඹ නගරයේ මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයින්ගේ තරමක වැඩිවීමක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඒ අනුව මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයින් සොයා අද (17) සිට විශේෂ මෙහෙයුම් සිදුකරන බවයි ඔහු කියා සිටියේ.

සංචරණ සීමා ලිහිල් කිරීමට අදාළව ධාරිතාවයෙන් 25% කට යටත්ව ඊයේ (16) දිනයේදී සත්වෝද්‍යාන විවෘත කිරීමට අවසර හිමි වූ අතර, ඒ අනුව අද (17) දිනයේදී පින්නවල අලි අනාථාගාරය සහ පින්නවල සත්වෝද්‍යානය සංචාරකයන්ට විවෘත කෙරුණා.

කෙසේ වෙතත්, පසුගියදා සිංහයෙකුට සහ සිංහ ධේනුවකට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ දෙහිවල සත්වෝද්‍යානය තවදුරටත් වසා තිබෙනවා. ඒ, සතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්.

+++++++++++++++++++++++

(17.07.2021 – 12:49 +0530 – hirunews.lk/sinhala)

‍ජංගම දුරකථන ඇතුළු ඩිජිටල් තිර දෙස වැඩි වේලාවක් බලා සිටීමෙන් දරුවන්ට දීර්ඝ කාලීන අක්ෂි ආබාධ ඇතිවිය හැකි බව ජාතික රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය දීපානි වේවැල්වල මහත්මිය පවසනවා.

දරුවන්ට අක්ෂි ආබාධයක් ඇතැයි සුළු හෝ සැකයක් ඇත්නම් වහාම අක්ෂි සායනයකට යොමු කරවන ලෙස ද ඇය මව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

++++++++++++++++++++

(17.07.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

මේ අතර උද්ඝෝෂණවල නිරතවූවන් නිරෝධායනයට යැවීමේ සිදුවීම සම්බන්ධයෙන් සහ ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ගුරුවරුන් ඉවත් වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ද විවිධ අදහස් පළකළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *