ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

*********************************************

ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

(17.07.2021 – 08:33 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා අසාදිතයින් 1,517 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ දෙලක්ෂ 82,060 ක් ලෙසයි.

ඊයේ (16) වාර්තා වූ ආසාදිතයින් අතරින් 1,446 දෙනෙකු ‘අලුත් අවුරුදු කොරෝනා පොකුරේ’ ආසාදිතයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. විදේශයන්හි සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් 37 දෙනෙකුද ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා.

ඊයේ (16) දිනයේදි ආසාදිතයින් 918 දෙනෙකු සුවය ලැබූ අතර, මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ දෙලක්ෂ පනස් හතර දහස් අටසිය හෑත්තෑ එකක් (2,54,871)ලෙසයි.

එසේම, පසුගිය 15 වැනිදා සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 41 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (16) පස්වරුවේ තහවුරු කළා.

කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 23 දෙනෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අවුරුදු 30 ත්, 59 ත් අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 12 ක්. අවුරුදු 60 ඉක්ම වූ පුද්ගල මරණ සංඛ්‍යාව 29 ක් ලෙසයි දැක්වෙන්නේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 3,702 ක් දක්වා ඉහළ යනවා.

මේ අතර , ඩෙල්ටා ප්‍රභේදය සමඟ තවත් කොවිඩ් රැල්ලක් ඇතිවුවහොත් එය ඉතා බරපතල තත්ත්වයක් උදාකරනු ඇති බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනනන්ද විජේවික්‍රම මහතා පවසනවා.

එසේම, කොවිඩ් ආසාදනය වීමෙන් පසු දරුවන්ට වැළඳෙන බරපතල රෝගී තත්ත්වයක් පිළිබඳව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල ඊයේ (16) අනාවරණයක් සිදු කළා.

එම රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව කටයුතු කරන විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා සඳහන් කළේ එම රෝගී තත්ත්වය ආසාදනය වූ දරුවන් 34 දෙනෙකු මේ වනවිට වාර්තා වී ඇති බවයි.

එමෙන්ම, මෙම රෝගී තත්ත්වය පිළිබඳව ‍මවුපියන් දැඩි අවධානයෙන් පසු විය යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පෙන්වා දුන්නා.

මේ අතර, අත්‍යවශ්‍ය සේවා සඳහා ධාවනය වන බස් රථ හැර අනෙකුත් සියලුම පළාත් අතර ධාවනය වන බස් රථ අද (17) සිට ධාවනය නොවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම දුම්රිය ධාවනය ද පළාත් අතර සිදු නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴

++++++++++++++++++++

(17.07.2021 – 06:33 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික්ක 04 කට අයත් ග්‍රාමසේවා වසම් 05 ක් හුදෙකලාබවින් නිදහස් කර තිබෙනවා. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ මිහිපිටිය ග්‍රාම නිලධාරී වසමේ මාදෙයියාව ගම්මානය, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් මාටුවාගල වත්තේ උඩ කොටස මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ පොලිස් බල ප්‍රදේශයට අයත් මරුතමුනායි 03 හුදෙකලාබවින් නිදහස් කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර පොලිස් බල ප්‍රදේශයේ සුදුහුම්පොල බටහිර සහ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම්වලට අයත් විහාර මාවත, විහාර පටුමග, කප්පර පල්ලිය පාර සහ වෙළමැද පාරගමද හුදෙකලා බවින් නිදහස් කර ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

+++++++++++++++++++++

(17.07.2021 – 06:54 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ගත වූ පැය 24 ක කාලය තුල පුද්ගයින් 207 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව මේ දක්වා කාලය තුල එම නීතිය උල්ලන්ඝයන කිරීම හේතුවෙන් පුද්ගලයින් 50,391 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයින් සොයා අද (17) සිට විශේෂ මෙහෙයුම් සිදුකරන බව පොලිසිය පවසනවා.

කොළඹ නගරයේ මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයින්ගේ තරමක වැඩිවීමක් දක්නට ලැබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++

(17.07.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව පැවති උද්ඝෝෂණයක් අතරතුර අත්අඩංගුවට ගෙන නිරෝධායනය කළ වෘත්තීය සමිති සාමාජිකයින් ඊයේ (16) මුදා හැරුණ ද තම වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක බව ගුරු සංගම් ප්‍රකාශ කළා. ඒ ගුරු සේවයට බලපාන වැටුප් විෂමතා ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

ඒ අනුව, අද (17) 6 වන දිනට ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත්ව සිටිනවා. කෙසේ වෙතත්, ඇතැම් ගුරුවරුන් අද (17) දිනයේදීත් ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු සිදුවන ආකාරය ප්‍රදේශ රැසකින් අපට වාර්තා වුණා.

මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනයට යොමුකර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ඇතුළු 16 දෙනා ඊයේ (16) පස්වරුවේ මුදා හැරුණා.

එමෙන්ම, පසුගිය 07 වනදා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට පැවති උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් පසු පල්ලෙකැලේ යුද හමුදා මධ්‍යස්ථානය වෙත යොමුකර සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු 6 දෙනා ද ඊයේ (16) මුදා හැර තිබුණා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය, ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා අද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා හමුවී තිබුණා.

එමෙන්ම, අම්බලංගොඩ – නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බඹරවාන ප්‍රදේශයේ දරුවන් පිරිසක් ඔන්ලයින් අධ්‍යාපනය ලබාදෙන ලෙස පුවරු රැගෙන ගුරුවරුන්ගෙන් ආයාචනා කළා.

මේ අතර, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව ජාතික ජනබලවේගය අද කොටුව දුම්රියපොල ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා ෴

++++++++++++++++

(17.07.2021 – 10:07 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා රට තුල සිදුකරන එන්නත්කරණ වැඩපිළිවෙල සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නය දැනුවත් කර තිබෙනවා.

ඒ බෞද්ධ උපදේශක සභාව ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදීයි.

ජනවාරි 28 වනදින ඇස්ට්‍රාසෙනෙකා පළමු එන්නත් තොගය මෙරටට ලැබීමේ සිට මේ දක්වා කාල සීමාව තුල රට තුල දිස්ත්‍රික් මට්ටමින් සිදුකරන එන්නත්කරණ වැඩපිලිවෙල සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී මහා සංඝරත්නය දැනුවත් කරනු ලැබුවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය ඇගයීමට ද ලක් කර තිබෙනවා.

එමෙන්ම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන ඒමේ නව පනත සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, එහිදී මහා සංඝරත්නය දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශ්‍ය සඳහන් කළේ.

@@@@@@@@@@@@@@@@@@

(17.07.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (16) රාත්‍රියේ කැලණිය පොලිසිය මගින් සිදුකරන ලද මෙහෙයුමකදී මෙරටට නීති විරෝධී ලෙස ගෙන්වන ලද කහ තොගයක් සොයාගෙන තිබේනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ කහ කිලෝ අටසියයක් (800) පමණ මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බවයි.

මෙම කහ තොගය ප්‍රවාහනය කළ ලොරි රථය සහ පුද්ගලයන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴

******************************************

(17.07.2021 – 08:03 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසකගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා.

සංශෝධනය කළ හැකි වගන්ති සළකා බලා ඊට අදාල නිර්දේශ ඉදිරිපත් කිරීම එමගින් සිදු කෙරෙනු ඇති.

ආරක්ෂක මණ්ඩලය විසින් මෙම කමිටුව පත් කර ඇති බව සඳහන්.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීම සඳහා රජය සූදානම් බව විදේශ අමාත්‍යාංශය පසුගියදා යුරෝපා සංගමයට ද දැනුම් දුන්නා.

දැනට පවත්නා නීති සම්පාදන, අතීත භාවිතයන් සහ ජාත්‍යන්තර විශිෂ්ඨ පරිචයන් ශ්‍රී ලංකාව මෙහිදී සමාලෝචනය කරන බවයි එහිදී ප්‍රකාශ කර තිබුණේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම හෝ සංශෝධනය කරන ලෙස ජගත් මානව හිමිකම් කොමිසම මෙන්ම යුරෝපා සංගමය ඇතුළු පාර්ශවයන් රැසක් ලක් රජයෙන් ඉල්ලීම් සිදුකර තිබුණා.

විදේශ අමාත්‍යාංශය යුරෝපා සංගමය වෙත දැනුම් දී ඇත්තේ ලක් රජය ඔවුන් සමඟ විධිමත් සහ බහුවිධ සංවාදයකට නිරන්තරයෙන් කැපවී සිටින බවයි ෴

******************************************

(17.07.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

කෝප් කමිටුව සහ අමාත්‍යංශයීය උපදේශක කාරක සභා ඇතුළු කාරක සභා 13 ක් ඉදිරි සති 03 තුළ රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ලබන සඳුදා (19) ජාතික චිත්‍රපට සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර එදිනම මහාමාර්ග අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවද රැස්වීමට නියමිතයි.

ලබන 20 වනදා ජනමාධ්‍ය අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඊට අමතරව අගෝස්තු 03 වනදා සංචාරක, අධිකරණ හා සෞඛ්‍ය යන අමාත්‍යංශවල උපදේශක කාරක සභා රැස්වන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සඳහන් කළේ.

එසේම, විදේශ අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව අගෝස්තු 04 වනදා රැස්වීමට නියමිත අතර අගෝස්තු 05 වනදා පරිසර, අධිකරණ හා ධීවර යන අමාත්‍යංශ වල උපදේශක කාරක සභා රැස්වනු ඇති.

අගෝස්තු 17 වනදා අධිකරණ අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව යළි රැස්වනවා.

වනජීවී අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවද එදිනම රැස්වීමට නියමිතයි. මීට අමතරව අගෝස්තු 18 වනදා යළිත් අධිකරණ අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව සහ අගෝස්තු 19 වනදා උසස් නිලතල පිළිබඳ කාරක සභාවද පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

(17.07.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala)

බුද්ධ ශාසනයට ඇතුලු වන සාමණේර හිමිවරුන්ගේ දෙමව්පියන්ට සහ යුද්ධයෙන් මියගිය හෝ ආබාධිත රණවිරුවන්ගේ පවුල්වලට නිවාස ලබාදීම සඳහා නව නිවාස ව්‍යාපෘති 02 ක් ආරම්භ කර තිබෙනවා.

ඒ, ග්‍රාමීය නිවාස, ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය රාජ්‍ය අමාත්‍යංශය මගින්.

එහි ලේකම් ඉංජිනේරු කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ ස්ථිර නිවසක් නොමැති පවුල් වෙත නිවාස ලබාදීම සඳහා ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතීන් ‘මිහිදු නිවහන’ සහ ‘විරු සුමිතුරු ව්‍යාපෘති’ ලෙස නම් කර ඇති බවයි.

ස්ථීර නිවසක් නොමැති අඩු ආදායම්ලාභීන් සඳහා සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකටම එක් (1) නිවසක් බැගින් වසරකට නිවාස 14,022 ක් ඉදිකිරීමේ කටයුතුද මේ වනවිට සිදු වනවා.

මේ අතර, අඩු අදායම්ලාභීන්ට නිවාස ඉදිකර ගැනීම සඳහා සියයට 6 ක පොලී අනුපාතිකයක් යටතේ රුපියල් ලක්ෂ 5 ක් දක්වා ණය ලබාදීමේ වැඩසටහනද අඛණ්ඩව ක්‍රියාත්මකයි ෴

******************************************

(17.07.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala)

නාවලපිටිය – හරංගල – ඉලුක්තැන්න ප්‍රදේශයේ 13 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට අදාලව තවත් සැකකරුවන් සිව් (4) දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නාවලපිටිය පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔවුන් සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ සැකකරුවන්ගේ අනන්‍යතාවය පිළිබද සම්පූර්ණ තොරතුරු දැරිය නොදන්නා බවද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම පොලිස් ස්ථාන පරීක්ෂණ නිලධාරීන්, අදාළ දැරිය සමග ඇයව අපයෝජනය කල බව කියන නාවලපිටිය – හරංගල – ඉලුක්තැන්න ප්‍රදේශයේ ස්ථාන පරීක්ෂාවක්ද ඊයේ (16) සිදුකළා.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් අපයෝජනයට ලක්වූ දැරියගේ පියා සහ පෙම්වතා ඇතුළු සැකකරුවන් 6 දෙනා ලබන 26 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ ෴

******************************************

(17.07.2021 – 08:44 +0530 – hirunews.lk/sinhala)

ඵෙතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය ඊයේ (16) 7 වන දිනටත් වීථි සංචාරය කළා.

මහා දේවාලයෙන් ආරම්භ කළ පෙරහර ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටවී පිටවීථිය ඔස්සේ ගමන් කර වල්ලි අම්මා දේවාලයට ගොස් එම දේවාලයේදී දේව චාරිත්‍ර ඉටුකිරීමෙන් අනතුරුවයි වීථි සංචාරය ආරම්භ කළේ ෴

******************************************

(17.07.2021 – 08:54 +0530 – hirunews.lk/sinhala)

ඔලිම්පික් වරම් හිමිකර ගත් නාවික හමුදා ක්‍රීඩිකාවක වන ටෙහානි එගොඩවෙලට නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න විසින් උසස් වීමක් ලබා දී තිබෙනවා.

ඒ අනුව කාන්තා, සංඥා නිලධාරිනියක ලෙස මෙතෙක් කටයුතු කළ ඇය සුළු නිලධාරිනියක ලෙස උසස් කර ඇති අතර, මුදල් ත්‍යාගයක්ද පිරිනමා ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. ඇය කාන්තා මීටර 10 වායු රයිෆල් ඉසව්වෙන් ඔලිම්පික් උළෙල නියෝජනය කරනවා.

******************************************

(17.07.2021 – 10:09 +0530 – hirunews.lk/sinhala)

වැලිගම – කප්පරතොට ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති අතර, එහිදී තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ (16) රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වී ඇත්තේ 50 හැවිරිදි යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන කප්පරතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

52 හැවිරිදි තවත් පුද්ගලයෙකු පහරකෑමෙන් බරපතල තුවාල ලබා මාතර මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඉන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ ෴

******************************************

(17.07.2021 – 10:36 +0530 – hirunews.lk/sinhala)

කළා වැව පුරා පැතිර ඇති ජපන් ජබර ආක්‍රමණශීලී ශාකය නිසා කලා බලලු වැවේ වන අලින් උග්‍ර ආහාර හිඟයකට මුහුණ පා ඇති බව වාර්ථා වනවා.

මේ නිසා වැවෙහි සුන්දරත්වයට මෙන්ම එහි සිටි පක්ෂි විශේෂ රැසකටද හානි සිදුවී ඇතැයි ජනතාව පවසනවා.

සාමාන්‍යයෙන් කළා බළලු වැව ආශ්‍රිතව අලි ඇතුන් 350 පමණ ගහනයක් වසරේ මෙම කාලයේදී දැක ගත හැකි වනවා.

මේ දිනවල කලා වැවේ තත්ත්වය සොයා බැලීම සඳහා අපි කළා වැව අවට ප්‍රදේශයේ සංචාරය කලා.

වෙනදා කලා බලලු වැව්තාවුල්ලේ බෙරු තණ ආහාරයට ගන්නා අලි ඇතුන් 350 ක් පමණ පිරිසක් මෙන්ම කුරුල්ලන් ද විශාල සංඛ්‍යාවක් දැකගැනීමට හැකි වී තිබුණු බව අවට ජනතාව අප සමග පවසා සිටියා.

එහෙත් මේ දිනවල වන අලින් තිස් පහත් හතළිහත් (35-40) අතර කුඩා රංචු කලා වැවේ මෙන්ම බළලු වැවෙත් තැන තැන වී ආහාර සොයමින් යන බව අපට දක ගන්නට ලැබුනා.

ඒ අනුව අප බලලු වැව ප්‍රදේශයේ වන අලින් පිලිබඳ නිතර සොයා බලන අයි .ජී. කුමාර නොහොත් ‘අලි කුමාර’ සමඟ ඔරුවක නැග මෙම වන අලින් සහ ඇතුන් මෙන්ම කලා වැවට සිදුවී ඇති විනාශය සොයා ගියා.

කිලෝමීටර් ගණනාවක් කුඩා ඔරුවක නැගී කලා බළලු වැවේ ඉස්මත්තේ සැරි සරූ අපට වෙනදා මෙන් පක්ෂින් දැක ගැනීමට නොහැකි වූවා පමණක් නොව 40 ක, 50 ක පමණ අලි ඇතුන් රංචු කිහිපයක් පමනක් දැකගැනීමට හැකි වුනා.

එමෙන්ම ඔවුන්ගේ ප්‍රියතම බෙරුතණ කලා බලලු වැව ඉස්මත්තේ දැක ගැනීමට ඇත්තේ ද ඉතා සීමිත ප්‍රමාණයක්.

ආක්‍රමණශීලී ජපන් ජබර වලින් වැව ඉස්මත්ත වැසී ගොස් ඇති අයුරු අපට පෙන්වූ ‘අලි කුමාර’ කියා සිටියේ මෙම ජපන් ජබර නිසාවෙන් බෙරුතණ වැවෙන්නේ නැති බවයි.

මේ නිසා වන අලින් විශාල ගස්වල අතු කඩා ආහාරයට ගන්නා දසුන් ද අපට දැක ගැනීමට හැකි වූ අතර කුඩා සතුන් ඉතිරි වී ඇති ඉතා සීමිත බෙරුතණ ප්‍රමාණය ආහාර බවට පත්කර ගන්නා අයුරුද මෙහිදී අපට දැක ගැනීමට ලබුනා.

අප සමඟ අදහස් දැක්වූ අයි.ජි. කුමාර කියා සිටියේ කලා බළලු වැවේ ජපන් ජබර පිළිබඳව බලධාරීන් කොතෙක් දැනුවත් කළ ද පලක් නොවූ බවයි.

මේ නිසා වන අලින් ගම්වැදීම සිදුවෙන බවත් එයින් වන අලින් ද මෙන්ම ජනතාවටද ප්‍රශ්න රැසකට මුහුණ පෑමට සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නා.

ඒ නිසා කඩිනමින් මෙම ක්‍රමණශීලී ජපන් ජබර ශාකය කලාවැවෙන් වූ ඉවත් නොකළහොත් ඉදිරියේ දී අලි මිනිස් ගැටුම තවත් තීව්‍ර විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *