ක්ෂේත්‍ර නවයකට (9) පනවා තිබූ සීමා ලිහිල් වෙයි

ක්ෂේත්‍ර නවයකට (9) පනවා තිබූ සීමා ලිහිල් වෙයි

*********************************************

ක්ෂේත්‍ර නවයකට (9) පනවා තිබූ සීමා ලිහිල් වෙයි

(16.07.2021 – 09:29 +0530 – hirunews.lk/sinhala)

අද (16) සිට ක්‍රියාත්මක වන නව සංචරණ සීමා ලිහිල් කිරීම් යටතේ තෝරාගත් ක්ෂේත්‍ර නවයකට (9) පනවා තිබූ සීමා තවදුරටත් ලිහිල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මේ අනුව ආගමික ස්ථාන විවෘතව තැබීමට අවසර ඇති අතර ආගමික උත්සව සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන් වෙන වෙනම නිකුත් කිරීමට නියමිතයි.

එමෙන්ම සත්වෝද්‍යාන, වනජීවී උද්‍යාන ආදිය විවෘත කිරීමට නව ලිහිල් කිරීම් යටතේ ඉඩ ලැබෙනවා.

සත්වෝද්‍යානවල ධාරිතාවෙන් 25% ක් නරඹන්නන් ඇතුළු කිරීමට නව ලිහිල් කිරීම් යටතේ ඉඩ ඇති අතර වනජීවී උද්‍යාන විවෘත කළ යුතුව ඇත්තේ දැඩි සෞඛ්‍යය විධිවිධාන යටතේයි.

එමෙන්ම භෞතිකව සම්බන්ධ නොවන ක්‍රීඩා පුහුණුවීම් කටයුතු සහ ක්‍රීඩා තරඟ සඳහා ද නව ලිහිල් කිරීම් යටතේ අවසර ලැබෙනවා.

ළමා උද්‍යාන, නවාතැන් ස්ථාන, කඳවුරු බිම් සහ ඔට්ටු ඇල්ලීමේ ස්ථානද නව ලිහිල් කිරීම් යටතේ විවෘත කෙරෙනු ඇති.

අද (16) සිට ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝප මාර්ගෝපදේශ යටතේ ශාලාවන් තුළ පැවැත්වෙන සංගීත සංදර්ශන සඳහා ද අවසර ලබාදී ඇති අතර ඒ සඳහා සහභාගි කරගත හැක්කේ යොදාගනු ලබන ශාලාවෙන් 50% ක් වූ ප්‍රේක්ෂකයින් පිරිසක් පමණයි.

කෙසේ වෙතත් නව සීමා ලිහිල් කිරීම් යටතේ එළිමහන් සංගීත සංදර්ශන සඳහා තවදුරටත් වාරණයක් පැන වී තිබෙනවා ෴

+++++++++++++++++++++

චීනය විසින් තහනම් කරන ලද කොළඹ පෞද්ගලික රෝහලේ PCR පරීක්ෂණ ‘සල්ලි හොයන මෙහෙයුමක්’

(15.07.2021 – theleader.lk)

චීනය විසින් තහනම් කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකින් කෙරෙන කෝවිඩ්-19 හඳුනාගැනීමේ රසායනාගාර පරීක්ෂණ දෝෂ සහගත වීම රට තුලට මාරාන්තික වසංගත ප්‍රභේද ගලා ඒමටත් හේතු වන්නට ඇති බවට සැක පහල වී තිබේ.

ගුවන් තොටුපලින් ඇතුල් වන්නන්ගේද PCR පරීක්ෂණ සිදුකරන කොළඹ පෞද්ගලික රෝහලකින් නිකුත් කරනු ලබන වාර්තාවල නිවැරදිතාවය දැඩි ලෙස ප්‍රශ්න කරන චීනය ජුලි 13 වැනි දින සිට එම රෝහලෙන් නිකුත් කරනු ලබන වාර්තා ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබුනි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් චීනයෙන් එළි කරන තුරු ඒ වැරැද්ද ගැන නොදැන සිටීම ගැන විමතිය පල කරන ශ්‍රී ලංකාවේ කෝවිඩ් මර්දනයේ පෙරමුණ ගෙන සිටින රජයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල නියෝජිතයෝ බලධාරීන්ට එරෙහිව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස බල කර සිටිති.

“එම රෝහලෙන් ලබාගත් PCR සහ and IgM anti-body පරීක්ෂණ වලින් ලබාගත් නෙගටිව් වාර්තා සහිතව මෑතදී ශ්‍රී ලංකාවෙන් පැමිණි මගීන් කිහිප දෙනකුම චීනයට ඇතුල්වීමෙන් පසු කෝවිඩ්-19 රෝගීන් බවට රෝග නිශ්චය කර තිබේ” යි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

“චීනයට ඇතුල්වන සියලුම මගීන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව සලසනු පිණිස ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය PCR සහ IgM anti-body පරීක්ෂණ සඳහා නම් කරනු ලැබූ රෝහල පිළිගැනීම අත්හිටවන අතර, එම රෝහලෙන් නිකුත් කරන PCR සහ IgM anti-body පරීක්ෂණ වාර්තා 2021 ජූලි 13 දින සිට බාරගනු නොලැබේ.”

වෙනත් පෞද්ගලික රසායනාගාර හයක (6) PCR වාර්තා ඉදිරියටත් පිළිගන්නා බවද චීන තානාපති කාර්යාලය පවසා තිබේ.

රජයේ රසායනාගාර නොතකා හරිමින් පෞද්ගලික රෝහල් වලට PCR පරීක්ෂණ ලබා දීමේ ‘සල්ලි හොයන මෙහෙයුමක්’ නිසා රටින් පිටව යන අයගෙන් පමණක් නොව රට තුලට පැමිණෙන අයගෙන්ද වසංගතය පැතිර යාමේ අවදානම ඉහල ගොස් ඇති බවට ශ්‍රී ලංකාවේ රසායනාගාර විද්‍යාඥයන්ගේ ප්‍රධානතම සංවිධානය අනතුරු අඟවයි.

“විදේශිකයන් කිසිවෙකුගේ හෝ විදේශ රටවල ඉදලා එන කිසිවෙකුගේ පරීක්ෂණයක් කරන්න ලංකාවේ රජයේ රසායනාගාරවලට නිදර්ශක එව්වේ නෑ. එතකොට මේ පරීක්ෂණවලින් වැඩි හරියක්ම කරේ ඔය කියන රසායනාගාරය. අඩුගානේ පී.සී.ආර්. පරීක්ෂණය හරියට කරන්නේ නැතුව අපි කොහොමද ප්‍රභේද හදුනා ගන්නේ,” යි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ් ප්‍රකාශ කරයි.

රවී කුමුදේශ්

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ් අවධාරණය කරන්නේ චීනය විසින් අදාල රෝහලට පැනවූ තහංචිය ලංකාවේ සමස්ත වෛද්‍ය රසායනාගාර සේවාවටම බලපාන ‘කළු පැල්ලමක්’ බවයි.

“චීනය වගේ රටවල් දන්නෑ ලංකාවේ නවලෝක කියන්නේ මොකක්ද? වෛද්‍ය සමීක්ෂණ ආයතනය MRI කියන්නේ මොකක්ද? ජාතික රෝහල කියන්නේ මොකක්ද? කියලා. ඒ ගොල්ලෝ දැන් තහවුරු කරගෙන තියෙන්නේ දැන් ලංකාවේ රසායනාගාර සේවාවේ මෙහෙම වැරදි වෙනවා කියන එක. එතකොට මේක ලංකාවේ වෛද්‍ය රසායනාගාර සේවාවේ සමස්තයට කරපු කලු පැල්ලමක්.”

රජය වගකිව යුතුයි

මෙම තත්වයට අදාළ රෝහලේ රසායනාගාරය පමණක් වග කිව යුතු නැති බව පෙන්වා දෙන රවී කුමුදේශ් වෘත්තීයවේදියා අවධාරණය කරන්නේ රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාත් මෙම තත්වයට වග කිව යුතු බවයි.

අදාළ රෝහලේ පරීක්ෂණ දෝෂය චීනය විසින් සොයා ගන්නා තෙක් අනාවරණය කර ගැනීමට නොහැකිවීම පිළිබදව, පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමනය කරන අධ්‍යක්ෂවරයා ලැජ්ජාවට පත් විය යුතු බව ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

PCR පරීක්ෂණයේ නිරවද්‍යතාව සහතික කිරීමේ අත්සන තැබීමද ඒ සඳහා විශේෂඥ දැනුමක් ඇති අයකු ජීවමාන ආකාරයෙන් සිදු නොකරන බව හෙළි කරන එම සංගමයේ සභාපති වරයා නිවැරදි කරන ලෙස ඉල්ලා සිටි එම වරද ‘කොමිස් මුදල් ලබන නිසා යට ගැසූ’ බලධාරීන් මේ අපකීර්තියට වගකිවයුතු බවට චෝදනා කරයි.

“මේ හැම එකක්ම කොමිස් මුදල් හරහා යට ගැහුවා. ඒ නිසා මේ කලු පැල්ලම ඇති කිරීම පිළිබදව මං හිතන්නේ විනය පරීක්ෂණයක් කෙරෙන්න ඕනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රසායනාගාර සේවාවටත්, අධ්‍යක්ෂක පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමනය කිරීමේ සභාවටත්.”

අනාගතයේදී PCR පරීක්ෂණ වාර්තා නිරවද්‍ය වීමට නම් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයකුගේ (MLT) අතින්ම සජීවී ලෙස අත්සන් තැබීම අනිවාර්ය කළ යුතු බවට ඔහු නිර්දේශ කරයි.

ගුවන් තොටුපලේ PCR රසායනාගාරය !

ගුවන් මගීන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ කටුනායක ගුවන් තොටුපලේ රසායනාගාරය තුළ පරීක්ෂා නොකර කොමිස් මුදල් ලබා ගැනීමේ පරමාර්ථයෙන් පෞද්ගලික රෝහලක් වෙත ලබා දී ඇති බවට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති, රවී කුමුදේශ් පසුගිය සමයේ දිගින් දිගටම චෝදනා කර තිබුනි ෴

++++++++++++++++++

(16.07.2021 – 12:38 +0530 – hirunews.lk/sinhala)

ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු සංගම් 14 කට අයත් ගුරුවරුන් ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (16) පස්වන (5) දිනටත් ක්‍රියාත්මකයි.

ගුරු වෘත්තීය සමිති නායකයින් බලහත්කාරයෙන් නිරෝධායනය කිරීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කෙරුණා.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහි විරෝධතාවයේදී නිරෝධායන නීති කඩකල බවට චෝදනා කරමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ඇතුළු පිරිසක් පසුගිය 8 වනදා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් පසු, පොලීසිය විසින් නිරෝධායනයට යොමු කෙරුණා.

එලෙස නිරෝධානයට යොමුකළ වෘත්තීය සමිති සාමාජිකයින් පිරිස තවමත් එම මධ්‍යස්ථානවල රඳවා සිටින අතර ඔවුන්ගේ සුවදුක් විමසීම සඳහා ලංකා ගුරු සංගමයේ සාමාජිකයන් පිරිසක් අද මුලතිව් ගුවන් හමුදා කඳවුර වෙත පැමිණියා.

මේ අතර, මෙම ගැටලුව සහ ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සංවිධාන කෙරුණු උද්ඝෝෂනයක් අද (16) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුණා. එමෙන්ම, පොළොන්නරුව, නුවරඑළිය, කුරුණෑගල, ගාල්ල යන දිස්ත්‍රික්කවල ද විරෝධතා අද (16) පැවැත්වුණා.

++++++++++++++++++++++

(16.07.2021 – 12:41 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 විකෘති ප්‍රභේදයන් යැයි සැක සහිත තවත් සාම්පල 16 ක් ප්‍රභේද පරීක්ෂාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරය වෙත ලබාදී තිබෙනවා. ඒවායේ ප්‍රතිඵල බොහෝ දුරට හෙට (17) දිනයේදී ලබාදීමට හැකියාව ලැබෙනු ඇති බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

මීට දින දෙකකට (2) පෙරද මෙලෙස සැක සහිත සාම්පල 96 ක් සම්බන්ධයෙන් ප්‍රභේද පරීක්ෂාවන් සිදුකරනු ලැබුවා. එහි ප්‍රතිඵලවලට අනුව ඊයේ (15) දිනය වනවිට කොළඹ නගර සීමාව, පිලියන්දල – මිරිස්වත්ත, කිලිනොච්චිය සහ යාපනය ප්‍රදේශවලින් නව ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් 19 දෙනෙකු හඳුනා ගැනුණා.

මීට පෙරද ඩෙල්ටා ආසාදිතයින් 19 දෙනෙකු හඳුනාගත් අතර, ඒ අනුව මෙරටින් මේ දක්වා හමුවී ඇති සමස්ත ඩෙල්ටා ආසාදිතයින් සංඛ්‍යාව 38 ක්.

මේ අතර, ඇමෙරිකානු මොඩර්නා එන්නත් මාත්‍රා පහලොස් ලක්ෂයක් (15,00,000) අද (16) උදෑසන ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවා.

මුලින් මෙම එන්නත් තොගය ඇමෙරිකාවේ සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත රැගෙනවිත් තිබූ අතර, එහි සිට අද (16) උදෑසන එන්නත් තොගය රැගෙන එනු ලැබුවේ කටාර් ගුවන් සේවයට අයත් කියු ආර් 664 දරණ යානයෙන්.

මෙම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරනු ලැබූවක්.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ අමෙරිකාවේ තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන්ද පිරිසක් ගුවන් තොටුපල වෙත පැමිණ සිටියා.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියා.

එසේම, මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (15) දිනයේදී පුද්ගලයින් 3,15,121 දෙනෙකුට කොරෝනා එන්නත් ලබාදී තිබෙනවා.

ඒ අනුව ඊයේ (15) දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 2,80,011 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. එහි දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 27,117 ක්.

එසේම, ඊයේ (15) දිනයේදී ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 7,993 දෙනෙකුට ලබාදී තිබෙනවා.

මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නතක පළමු (1) මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ පනහ (50) ඉක්මවා ඇති අතර, එම සංඛ්‍යාව 51,75,605 ක්.

දෙවන (2) මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 16,28,876 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඊයේ (15) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 1,484 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 318 ක්.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 195 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 114 දෙනෙකු ඊයේ (15) හඳුනාගෙන තිබුණා.

මේ අතර, ආසාදිතයින් තුන් දෙනෙකු (3) වාර්තා වීමත් සමඟ දුම්රිය දෙපාර්තමේන්තුවේ කොළඹ පිහිටි ධාවනාගාර දෙකක් (2) වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

දෙමටගොඩ ධාවනාගාරය සහ විදුලි ධාවනාගාරය මෙලෙස වසා දමා තිබෙනවා.

මේ අතර, පවතින තත්ත්වය යටතේ උද්ඝෝෂණ සිදුකිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

@@@@@@@@@@@@@@@

දුරකථනයක් නොමැතිව Whatsapp පණිවිඩ යැවීමට හැකි ක්‍රමයක්

(16.07.2021 – nethnews.lk)

ලොව පුරා අතිශය ජනප්‍රිය පණිවිඩ හුවමාරු මාධ්‍යයක් වන වට්ස්ඇප් මෘදුකාංගය, පණිවිඩ හුවමාරු ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකිරීමට සූදානම් වනවා.

ඒ, දුරකථනයක් නොමැතිව පවා වට්ස්ඇප් පණිවිඩ යැවීමට සහ බැලීමට පහසුකම් සලසමින්.

මෙවැනි අත්හදා බැලීමක් සිදුවන්නේ ලොව පළමුවරටයි.

මේවනවිට වට්ස්ඇප් ජංගම දුරකථන මෘදුකාංගය එක් වරකදී භාවිත කල හැක්කේ එක් උපාංගයකට පමණයි.

ඒ සඳහා ජංගම දුරකථනය ක්‍රියාත්මක වීම අනිවාර්යයි. වට්ස්ඇප් ජංගම දුරකථන මෘදුකාංගය මේවනවිට ද ඩෙස්ක්ටොප්, ලැප්ටොප් හා ටැබ් යන පරිගණක හරහා පණිවිඩ හුවමාරුවට සම්බන්ධ විය හැකියි. එහෙත් ඒ සඳහා ජංගම දුරකථනයක් උපයෝගී කර ගැනීම අනිවාර්යය වනවා.

එහෙත්, වට්ස්ඇප් හිමිකාරීත්වය මේවනවිට පරීක්ෂණ සිදුකරමින් සිටින්නේ ජංගම දුරකථනයේ බැටරිය අක්‍රීය වූ අවස්ථාවක වුවද අදාළ පරිගණක හරහා පණිවිඩ හුවමාරුවට පහසුකම් සැපයීමටයි.

ඩෙස්ක්ටොප්, ලැප්ටොප් හා ටැබ් යන පරිගණක ඇතුළු මාධ්‍ය 04 කට අධික සංඛ්‍යාවකට නව පහසුකම ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ මේවනවිට ද මෙම ක්‍රමවේදය කුඩා කණ්ඩායමක් උපයෝගී කර ගනිමින් සාර්ථකව අත්හදා බලමින් සිටින බවයි.

මෙවැනි ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නැයි ලොවපුරා වට්ස්ඇප් පරිශීලකයින් බිලියන 2 ක් පමණ මීට සැලකිය යුතු කාලයක සිට විවිධ ඉල්ලීම් සිදුකරමින් තිබුණා.

කෙසේවෙතත්, ඇතැම් පරිගණක විශේෂඥයින් පවසන්නේ ජංගම දුරකථනයෙන් පමණක් ප්‍රවේශවීමට අවසර දී ඇති වට්ස්ඇප් වැනි මෘදුකාංගයකට මෙලෙස වෙනත් මාධ්‍ය හරහා ප්‍රවේශ විමට අවස්ථා සැලසීමෙන් එහි දත්ත වෙනත් පුද්ගලයෙකු අතට පත්වීමේ අවධානමක් ඇති බවයි.

වට්ස්ඇප් යනු 2015 වසරේදී ලොව වඩාත් ජනප්‍රියතම පණිවිඩ හුවමාරු ජංගම දුරකථන යෙදවුම බවට පත්වුණා.

2021 දී ලොව පුරා සිදුකරන දත්තවලට අනුව වට්ස්ඇප් පරිශිලකයින් සංඛ්‍යාව බිලියන 2 කට අධිකයි ෴

******************************************

(16.07.2021 – 11:02 +0530 – hirunews.lk/sinhala)

අගෝස්තු පළවනදායින් (01) පසු පොලිතින්, ලන්ච්ෂීට් නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම සහ අලෙවිකරණ පුද්ගලයින්ට එරෙහිව අය කරන දඩ මුදල රුපියල් ලක්ෂයක් (1,00,000) දක්වා ඉහළ දමා තිබෙනවා.

මීට පෙර එම දඩ මුදල රුපියල් 10,000 ක් වූ අතර, අගෝස්තු පළවනදායින් (01) පසු පොලිතීන් සහ ලන්ච්ෂීට් නිෂ්පාදනය, බෙදා හැරීම සහ අලෙවිය තහනම් කිරීමත් සමඟ එම දඩ මුදල ඉහළ දැමූ බවයි පරිසර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

කෙසේ නමුත්, පරිසර හිතකාමී ජෛව හායනික ලන්ච්ෂීට් තවදුරටත් භාවිත කිරීමට හැකි වනු ඇති ෴

******************************************

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ දැරිය මියයයි

(16.07.2021 – 07:24 +0530 – sinhala.adaderana.lk)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බොරැල්ල බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ සේවිකාවක් ලෙස රැඳිසිටි 16 හැවිරිදි දැරියක් පසුගිය ජූලි 3 වනදා පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

එම දැරිය ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (15) දින මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය පරීක්ෂණ සිදුකරයි.

******************************************

චන්දිමාල්ගේ මේ ප්‍රහාරය චමුදිතටද?

(16.07.2021 – ada.lk)

ප්‍රකට රූපලාවණ්‍ය ශිලිපි චන්දිමාල් ජයසිංහ ඊයේ (15) සිය ෆේස් බුක් ගිණුම හරහා වීඩියෝවක් නිකුත් කරමින් යම්කිසි මාධ්‍යවේදියෙකුට දැඩි ප්‍රහාරයක් එල්ල කරනු දැකගත හැකිවුණා.

බොහෝ දෙනෙකු පවසන්නේ මෙම ප්‍රහාරය හිරු නාළිකාවේ චමුදිත සමරවික්‍රම වෙනුවෙන් ඔහු එල්ල කළ බවයි.

චන්දිමාල්ගේ ප්‍රකාශය පහතින් :

“මේ දවස්වල මම දැක්කා නිරෝධායන ක්‍රියාවලියට යම් උද්ඝෝෂකයන් පිරිසක් ඉතාමත්ම පහත් ලෙසින් අරගෙන යනවා. ඔවුන්ටත් සිදුකළේ අපිට සිදුකළ දේම තමයි. අපි හැමෝම මනුෂ්‍යයින්.

15 හැවැරිදි දැරියක් දූෂණය කරලා තියෙනවා. සැකකාරයන් 100 කට වැඩිය. ඔවුන් කිසිවෙකුගේ නමක්වත් මාධ්‍ය ඔස්සේ – මාධ්‍ය සංදර්ශන ඔස්සේ අපිට දකින්න ලැබෙන්නේ නෑ. මම අහනවා අර මාධ්‍ය වේදියාගෙන් අර පොත ගැන අහන්නේ නැත්ද කියලා.

ඔහු ගැන කථා කරන්න ඕන නෑ. පසුගිය දිනක ලෝකයේම දන්න ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගෙනල්ලා ඔහු මතක හිටින පාඩමක් ඉගෙන ගත්තා.

ඔහුගේ මේ වෛරීය මාධ්‍ය භාවිතය මට තේරෙන්නේ නෑ. මම ඒ මාධ්‍ය ආයතනයෙන් ඉල්ලනවා මේ පුද්ගලයාව මානසික වෛද්‍යවරයෙක් ළඟට යොමු කරන්න කියලා.

පුළුවන්නම් පෝය දවසේ වැඩසටහනකට ඔහු දැම්මොත් බණක් භාවනාවක් ඉගෙන ගෙන ඔහුගේ හිතේ තියෙන වෛරය, මිනිස්සු එක්ක තියෙන තරහ නැතිවෙයි කියලා.”

******************************************

කුරුණෑගල රාජ සභා මණ්ඩපය වනසා වසරක් ගත වෙයි : නගරාධිපති එක්ක පාටි දැමූ අය සාධාරණයක් කරයි ද?

(15.07.2021 – mawbima.lk)

පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබූ කුරුණෑගල බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩා බිඳ දමා අද (ජූලි 15) දිනට වසරක් ගත වී තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, ඒ හේතුවෙන් අද (15) දින එම ස්ථානයේ විරෝධතාවක් පැවැත්වුණු බවය.

පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය උදස්ගිරියේ සමිත හිමියන් සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් එම ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එහි විරෝධතාවක නිරත වූහ.

එහිදී නාමල් කරුණාරත්න මහතා මෙසේ සඳහන් කළේ ය :

“අදට මෙම ස්ථානය කඩා බිඳ දමා වසරක් පිරෙනවා. මෙම ස්ථානය කඩා බිඳ දමා මාස නමයක් ගත වුණාට පසු කුරුණෑගල පොලිසිය නගරාධිපතිවරයාගේ උපන් දිනය සමරා පාටි දමා කේක් කැපුවා. ඉතින් කොහොම ද සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ?”

13 වන සියවසට අයත් කුරුණෑගල යුගයේ ඉදි කළ බව කියන කුරුණෑගල පිහිටි ඓතිහාසික ගොඩනැගිල්ලක් ඩෝසර් යන්ත්‍ර යොදා කඩා ඉවත් කර තිබුණේ ඉකුත්හ් වසරේ ජූලි 14 වන දා ය.

කුරුණෑගල රාජධානි සමයේ රාජ සභාව පැවති බව කියන මෙම ගොඩනැගිල්ලේ පසුකාලීනව හෝටලයක් පවත්වාගෙන ගොස් තිබිණි.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා පවසා තිබුණේ, මහා මාර්ග පුළුල් කිරීමේ කටයුත්තක් සඳහා මෙම ගොඩනැගිල්ල පිහිටි භූමිය පවරා දී තිබූ බවය.

මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් විද්වත් පරීක්ෂණ කමිටුවක් පත් කළ අතර එහි අන්තර්කාලීන වාර්තාව එම වසරේ ජූලි 22 වන දා අග්‍රාමාත්‍යවරයා වෙත භාර දී තිබිණි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *