නාගරික ලේකම්වරියගේ රාජකාරියට බාධා කළ මන්ත්‍රීවරයා

නාගරික ලේකම්වරියගේ රාජකාරියට බාධා කළ මන්ත්‍රීවරයා

*********************************************

නාගරික ලේකම්වරියගේ රාජකාරියට බාධා කළ මන්ත්‍රීවරයා

(15.07.2021 – 17:17 +0530 – hirunews.lk/sinhala)

වත්තල මාබෝල නගර සභාවේ නාගරික ලේකම්වරියගේ රාජකාරියට බාධා කළ නාගරික මන්ත්‍රී ලෙනාඩ් රෝහණ අද රුපියල් ලක්ෂ දෙකක (2) ඇප මත මුදා හැරුණා.

පසුගිය 07 වනදා නාගරික මන්ත්‍රී ලෙනාඩ් රෝහණ වත්තල මාබෝල නගර සභාවට පැමිණ ඇත්තේ සිය පෞද්ගලික කටයුත්තක් ඉටුකර ගැනීමටයි.

එම අවස්ථාවේදී වත්තල මාබෝල නාගරික ලේකම්වරිය සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු සාකච්ඡාවක නිරතව සිට තිබෙනවා.

ඇය නාගරික මන්ත්‍රීවරයාට පවසා ඇත්තේ සාකච්ඡාව නිම වීමෙන් පසු අදාළ කාරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි.

මෙහිදී කෝපයට පත් නාගරික මන්ත්‍රීවරයා නාගරික ලේකම්වරියගේ ලැප්ටොප් පරිගණකය ඔසවා පොළොවේ ගසා ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය පිළිබඳ වත්තල පොලිසියට සිදු කළ පැමිණිල්ලකින් පසු අදාළ නාගරික මන්ත්‍රීවරයා ඊයේ (14) දින අත්අඩංගුවට ගෙන අද (15) වත්තල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා.

ඒ රජයේ සේවකයෙකුගේ රාජකාරියට බාධා කිරීම රාජ්‍ය දේපළවලට හානි කිරීම යන චෝදනා යටතේයි.

මෙහිදී නාගරික මන්ත්‍රීවරයාට දැඩි අවවාද කළ වත්තල මහේස්ත්‍රාත්වරයා ඔහු රුපියල් ලක්ෂ දෙකක (2) මුදල් ඇප මත මුදා හැරීමට නියෝග කළා.

මෙම සිදුවීම වත්තල මාබෝල නගර සභාවේ ප්‍රධාන දොරටුව අසල තිබූ CCTV කැමරාවේ සටහන් වී තිබුණා.

******************************************

(15.07.2021 – 18:06 +0530 – hirunews.lk/sinhala)

බිරිඳ විසින් සැමියාගේ පරිගණකයේ ඇති දත්ත, ලේඛන, කෙටි පණිවුඩ හෝ පරිඝණකයේ ගබඩා කර ඇති වෙනත් තොරතුරු රැස්කිරීම වළක්වාලමින් ගල්කිස්ස දිසා අධිකරණය නියෝගයක් නිකුත් කළා.

ඒ තම බිරිඳ තමන් නිවසේ නොසිටි අවස්ථාවන්හිදී තම පුද්ගලික පරිඝණකයට නීතිවිරෝධී ලෙස ප්‍රවේශ වී ඇති බවට චෝදනා කරමින් සැමියකු විසින් ගල්කිස්ස දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබු පැමිණිල්ලක් විභාගයට ගනිමින්.

මෙහිදී සැමියා චෝදනා කර ඇත්තේ සිය බිරිඳ තම පරිඝණකයේ තිබූ විවිධ තොරතුරු බාගත කර තමන්ගේ දුරකථන සංවාද ද රහසේ පටිගත කර ඇති බවයි.

මේ සඳහා ඔහුගේ කාමරයේ ශ්‍රව්‍ය නිරීක්ෂණ උපකරණයක් ද සවි කර ඇති බව මෙහිදී හෙළි වුනා.

කාමරය වසා තිබියදී එයට ඇතුළු වීමෙන් සහ ක්‍රියා විරහිත කර තිබූ පරිඝණකයට බලහත්කාරයෙන් ඇතුළු වීමෙන් තමාගේ පෞද්ගලිකත්වය පිළිබඳ සාධාරණ අයිතීන් උල්ලංඝනය වී ඇති බවත්, විශ්වාසය කඩවීමක් සිදුව ඇති බවටත් පැමිණිලිකරු චෝදනා කළා.

මෙහිදී පැමිණිලිකරු කියා සිටියේ මේ වන විට තමන්ගෙන් වෙන්ව ජීවත් වන බිරිඳ තම පෞද්ගලිකත්වයට හානියක් වන අයුරින් කටයුතු කර ඇති බවයි.

නීතිවිරෝධී සහ කිසිදු අවසරයකින් තොරව තොරතුරු එක්රැස් කිරීම සඳහා බිරිඳ සිය පරිඝණකයට ප්‍රවේශවීම පරිගණක අපරාධ පනතේ අංක 3 සහ 4 වගන්ති යටතේ බරපතල වරදක් වන බවයි පැමිණිලිකරු ප්‍රකාශ කරන්නේ.

අදාළ පැමිණිල්ල ගොනු කළ සැමියා කොළඹ ප්‍රදේශයේ රජයේ රෝහලක වෛද්‍යවරයකු ලෙස සේවය කරන අතර ඔහුගේ බිරිඳ උතුරු පළාත් රජයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කරනවා.

මෙම දිසා අධිකරණයේ මේ දෙදෙනා ගොනු කල දික්කසාද නඩුවක් ද විභාගයට ගැනෙනවා.

ගල්කිස්ස දිසා අධිකරණය ලබා දුන් මෙම නියෝගය ජූලි 20 දක්වා ක්‍රියාත්මකයි ෴

******************************************

(15.07.2021 – 19:00 +0530 – hirunews.lk/sinhala)

සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමේදී කුමන විරෝධතා දියත් වුව ද රජය කටයුතු කරන්නේ පරිසරය ආරක්ෂා කරමින් බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අවධාරණය කළා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ මාර්ග තදබදයට විසඳුමක් ලෙස කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුලු‍ණු මතින් දිවෙන අධිවේගී මාර්ගය හේතුවෙන් දැඩි පාරිසරික හා සාමාජයීය බලපෑම් සිදුවන බවට එල්ල වන චෝදනා වලට ප්‍රතිචාර දක්වමින්.

තලංගම වැව හා ඒ අවට පිහිටි රැම්සා තෙත් බිම සැලකෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුල ඇති ඉතා වටිනා පාරිසරික උරුමයක් ලෙසයි.

කොළඹ ගංවතුර පාලනයේ සුවිශේෂි සන්ධිස්ථානයක් ලෙසද මෙම ප්‍රදේශය සැලකෙනවා.

මේ හා සමගාමීව අරංගල ධර්මාශෝක මාවතේ පවුල් 59 ක පිරිස තවත් ගැටලුවකට මුහුණදී සිටිනවා.

ඒ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා ඔවුන්ගේ ඉඩම් හා දේපල අත්පත් කර ගන්නා බවට දැනුම්දීම හේතුවෙන්.

කෙසේ වෙතත්, රාජගිරිය – නාවල ඇල මතින් ඉදිකරන නව පාලමේ ඉදිකිරීම් වල ප්‍රගතිය සොයා බැලීම වෙනුවෙන් අද සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ පරිසරය ආරක්ෂා කරමින් එම පළාත් දියුණු කිරීම සඳහා රුපියල් බිලියන 3 ක් වෙන් කර ඇති බවයි ෴

******************************************

(15.07.2021 – 19:09 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව උද්ඝෝෂණවල නිරත වන්නන් සිදුකළ යුත්තේ වර්තමානයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ඉදිරිපත් කිරීම මිස, දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් පෙනී සිටීම නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පුරවර සරසවි වැඩසටහන සංකල්පයක් ලෙස හඳුන්වා දෙමින් ඊට අදාළ නිල වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට අද (15) ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින්.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව, පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන ඉදිරි සති කිහිපය තුල ආරම්භ කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා. එහි පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිතයි.

නව තාක්ෂණය සමග රැකියා වෙළඳපොල ඉලක්ක කර ගනිමින් කුසලතා පූර්ණ උපාධිධාරින් පිරිසක් බිහි කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන කඩිනමින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.

සියයට සියයක් රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව සඳහන් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ව්‍යාපාරික අරමුණින් පමණක් පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමා ද විරුද්ධ බව වැඩිදුරටත් කියා සිටියා.

පෞද්ගලික විශ්වවිද්‍යාල උපයන ආදායම් අධ්‍යාපනයේ ප්‍රවර්ධනය උදෙසාම වෙන් කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

******************************************

(15.07.2021 – 19:15 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල තෙත්බිම් ආරක්ෂිත කලාපයේ ඉදිකිරීමට යෝජිත එල්.එන්.ජී. බලාගාරය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති පරිසර ඇගයීම් වාර්තාව නීති විරෝධී බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පවසනවා.

කෙසේ වෙතත්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ එම ව්‍යාපෘතිය මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුල ඉදි නොවන බවයි.

මෙරට පරිසර පද්ධතියේ ඉහළ ජෛව විවිධත්වයකින් යුතු තෙත්බිම් පරිසර පද්ධතියක් ලෙසයි මුතුරාජවෙල තෙත් භූමිය සැලකෙන්නේ.

පෞද්ගලික සමාගමක් විසින් එම ප්‍රදේශයේ අක්කර 110 ක භූමි ප්‍රදේශයක් ගොඩ කරමින් එල්.එන්.ජී. හෙවත් ‘ද්‍රවීකෘත ස්වභාවික වායු ඉන්ධන බලාගාරයක්’ ඉදිකිරිමට යෝජිතයි.

එම බලාගාරය ඉදිකිරීමට, අදාළ භූමියේ ගොඩකිරීම් සඳහා මුහුදු වැලි ඝණ මීටර් මිලියන 1.5 ක් පමණ ලබා ගැනීමට සැලසුම් කර ඇති බවට වාර්තා වන්නේ මීගමුව කලපුවට බටහිරින් පිහිටි තඹගල ප්‍රදේශයේ වැලි නිධියෙන්.

මෙම ඉදිකිරීම් හේතුවෙන් මුතුරාජවෙල පරිසර පද්ධතිය විනාශ වන බවට පවසමින් මුතුරාජවෙල සුරැකීමේ අගරදගුරු කමිටුව පසුගියදා නිහඬ විරෝධතාවයක් ද පැවැත්වුවා ෴

******************************************

(15.07.2021 – 20:15 +0530 – hirunews.lk/sinhala)

විදේශ සංචිත අර්බුදය හේතුවෙන් ඉදිරියේදී ආනයනය කරන ඉන්ධන සඳහා මුදල් ගෙවීමේ අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ මූල්‍ය ලේකම් සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

පක්ෂ මූලස්ථානයේ අද (15) කැඳවා තිබු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේබව සඳහන් කළා.

මේ අතර, කෙරවලපිටිය බලාගාරය අමෙරිකානු සමාගමකට පැවරීමට අදාළව අත්සන් කර ඇති ගිවිසුමේ පිටපතක් ලබාදෙන ලෙස ඉල්ලා දූෂණ විරෝධී හඬ සංවිධාන මුදල් අමාත්‍යාංශයට තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කළා.

මේ අතර, මෙම ආයෝජනය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කර කළේ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනියගේ ධූර කාලය පුරාවටම විනිවිදභාවයෙන් යුතුව ටෙන්ඩර් ප්‍රදානය කිරීම සහ ලාබදායි ප්‍රතිලාභ සම්බන්ධයෙන් ලක් රජය දිරිගැනූ බවයි.

ශ්‍රී ලංකාව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමට අපේක්ෂා කරන අතර අමෙරිකානු සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ අවස්ථාව ගැන තානාපතිනිය විසින් නිරන්තරයෙන් සාකච්ඡා කරන බවද තානාපති කාර්යාලය සඳහන් කළා.

******************************************

(15.07.2021 – 23:05 +0530 – hirunews.lk/sinhala)

පිළියන්දල කරදියාන ප්‍රදේශයේ දූපතක කොටුවී සිටින මෙරටට ආවේණික කළු වඳුරන් රංචුවක් පිළිබඳ අප පසුගියදා හිරු ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා කළා.

එම පුවතින් පසු අදාළ ගැටලුව පිළිබඳ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවධානය යොමු කර තිබෙනවා.

වේරැස් ගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකෙරුණු ඉදිකිරීම් හේතුවෙන් මෙරටට ආවේණික සහ වඳවී යාමේ තර්ජනයකට ලක්ව සිටින කළු වඳුරන් රංචුවක් එහි දූපතක කොටුවී සිටින බව අප වාර්තා කළේ පසුගිය 13 වැනිදායි.

එම පුවත වාර්තා කර පැය 24 ක් ගතවන්නටත් පෙර වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී තිබෙනවා.

ඒ අනුව වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අද (15) එම ප්‍රදේශයට පැමිණියේ පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහායි.

මෙහි ප්‍රධාන ගැටලුව බවට පත්ව තිබුණේ දූපතකට කොටුවීම හේතුවෙන් මෙම වඳුරු රංචුවට අවශ්‍ය තරම් ආහාර ලබාගැනීමට නොහැකි වීමයි.

ඒ අනුව අද සිදුකෙරුණු නිරික්ෂණයේදී වනජීවී නිලධාරීන්ට උපදෙස් ලැබී ඇත්තේ කඩිනම් තාවකාලික විසඳුමක් ලෙස අදාළ දූපත් යා කිරීම සඳහා කිසියම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.

@@@@@@@@@@@@@@

(15.07.2021 – 18:29 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 967 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 280,026 ක් ලෙසටයි ෴

++++++++++++++++++++

(15.07.2021 – 18:42 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සිදුවූ තවත් කොරෝනා මරණ 50 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (14) තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3661 ක් ලෙසටයි.

ඊයේ (14) තහවුරු කෙරුණු මරණ අතරට පිරිමි 29 ක් සහ කාන්තාවන් 21 ක් ඇතුලත්.

අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමි පුද්ගලයන් 8 ක් සහ කාන්තාවන් 4 දෙනෙකු මියගිය පිරිසට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි 21 ක් සහ කාන්තාවන් 17 ක් ඊයේ (14) තහවුරු කළ මරණ අතර වනවා ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 480 ක් හමුවී තිබෙනවා. ඒ අනුව අද (15) දිනයේ වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 1447 ක් ෴

++++++++++++++++++++

(15.07.2021 – 19:23 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන තවදුරටත් වේගවත් කිරීම සඳහා සහය වීමේ අරමුණින් තවත් සයිනොෆාම් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 1.6 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට චීනය තීරණය කර තිබෙනවා.

එම එන්නත් තොගය ඉදිරි සති කිහිපය තුල ශ්‍රී ලංකාවට ලබාදෙන බවයි කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 1,450,000 ක් ලබාදීමට ජපාන රජය තීරණය කර ඇති බව ටෝකියෝ නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළා.

අදාල නිවේදනයේ සඳහන් වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම හරහා මෙම එන්නත් තොගය ඉදිරි සතියේදී මෙරටට ලබා දීමට නියමිත බවයි.

මෙරට දෛනික කොවිඩ් මර්දන එන්නත්කරණ වාර්තාව ගත වූ දිනයේදී යළි අලු‍ත් වූ අතර, ගෙවුණු දිනයේදී සමස්ත එන්නත් මාත්‍රා 384,763 ක් ලබා දී තිබුණා.

මේ අතර, බස්නාහිර පළාතේ පදිංචි වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව විහාර මහා දේවි උද්‍යානයේ එන්නත්කරණ මධ්‍යස්ථානයේදී ලබාදීම යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් මගින් අද (15) ආරම්භ කළා.

එය නිරීක්ෂණය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය අලංකා සිං ද එම ස්ථානයට පැමිණියා.

මේ අතර සයිනොෆාම් එන්නත ලබා ගත් ශ්‍රමිකයින් මැද පෙරදිග රටවල් සඳහා යොමු කිරිමේදි මතුවන කොරොනා එන්නත් වර්ගයේ ගැටලුව නිරාකරණය කිරිමෙන් පසු ඔවුන් විදේශ රැකියා සඳහා යොමු කිරිමට රජය තිරණය කර තිබෙනවා.

ඇතැම් මැද පෙරදිග රටවල් අදාළ රටවලට පැමිණෙන පුද්ගලයන් වෙනත් එන්නත් වර්ග ලබා ගෙන තිබිය යුතු බවට සඳහන් කර තිබිම හේතුවෙනුයි මෙම ගැටලුව මතු වුණේ.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ ඒ අනුව අදාළ මැද පෙරදිග රටවල් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කර සයිනොෆාම් එන්නත ලබා ගත් විදේශ ශ්‍රමිකයින් යළි කඩිනමින් රැකියා සඳහා යොමු කිරිමට ඉදිරියේදි පියවර ගන්නා බවයි.

එසේම, නව ඩෙල්ටා ප්‍රභේදය පැතිරිමේ අවධානම් තත්ත්වය පාලනය කිරිම ජනතාව සතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය කියා සිටියේ.

මේ අතර ඔට්ටමාවඩි ප්‍රදේශයේ මේවනවට කොව්ඩ් මරණ 1001 භුමාදානය කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සහිර් මවුලානා සිය ටුව්ටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.

සංචරණ සීමා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව ලිහිල් කිරීමත් සමඟ අත්‍යවශය සේවා සඳහා පළාත් අතර ගමන් කරන පිරිස වෙනුවෙන් අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා අදත් (15) ක්‍රියාත්මක වුණා.

කෙසේ වෙතත්, බස්නාහිර හා දකුණු පළාත් වෙන්වන බෙන්තර පාලම අසල පිහිටුවා ඇති මාර්ග බාධකයේදී පොලිසිය බස් රථ පරික්ෂා කළ අතර, ඇතැම් බස් රථ නැවත හරවා යැවිම පිළිබඳව බස් රථ රියදුරන් සහ මගීන් අදහස් දක්වා සිටියා.

++++++++++++++++++++

(15.07.2021 – 19:25 +0530 – hirunews.lk/sinhala)

ගුරු හා විදුහල්පති සංගම් 42 ක් ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වනවිට දිවයින පුරා පාසල් සිසු දරුවන් අපහසුතාවයට පත්ව සිටිනවා.

ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (15) ක්‍රියාත්මක වුණේ සිව්වන (4) දිනටයි.

පසුගියදා බත්තරමුල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරුණු සිය වෘත්තීය සමිති සගයන් නිරෝධායනයට රැගෙන යාමට විරෝධය පළ කරමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පසුගිය 12 වනදා මෙම ඔන්ලයින් වර්ජනය ආරම්භ කළා.

අදාල වෘත්තීය සමිති සාමාජිකයන් නිරෝධායනයෙන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුලු වෘත්තීය සමිති අදත් මීගමුව, කිරිබත්ගොඩ සහ මහනුවර ඇතුලු ප්‍රදේශ කිහිපයක විරෝධතාවයේ නිරත වුණා.

මේ අතර ඔන්ලයින් වර්ජනය හේතුවෙන් අධ්‍යාපන කටයුතු ඇණහිටීම හේතුවෙන් අපහසුතාවයට පත් දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් අද (15) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

+++++++++++++++++++++++++

(15.07.2021 – 20:09 +0530 – hirunews.lk/sinhala)

උද්ඝෝෂණවල නිරතවූවන් නිරෝධායනයට යැවීමේ සිදුවීම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන නියෝජිතයින් මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළකළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *