මෙරටින් නව ඩෙල්ටා ආසාදිතයන් 19 ක් හමුවෙයි

මෙරටින් නව ඩෙල්ටා ආසාදිතයන් 19 ක් හමුවෙයි

*********************************************

මෙරටින් නව ඩෙල්ටා ආසාදිතයන් 19 ක් හමුවෙයි

(15.07.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 19 දෙනෙකු මෙරට ප්‍රදේශ 4 කින් හමුවී තිබෙනවා.

ඒ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් මගින් සිදුකළ නවතම ප්‍රභේද පරීක්ෂාවට අනුවයි.

කොළඹ නගර සීමාව, පිලියන්දල – මිරිස්වත්ත, කිලිනොච්චිය සහ යාපනය ප්‍රදේශවලින් මෙම රෝගීන් හමුවී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කළා.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලබා ගත් විකෘති ප්‍රභේදයන් යැයි සැක සහිත කොරෝනා ආසාදිතයන් 96 දෙනෙකුගේ ජෛව සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය වෙත ලැබී තිබුණා.

එම සාම්පල අධ්‍යයනය කිරීමෙන් පසු එහි ප්‍රභේද පරීක්ෂණ වාර්තාව සෞඛ්‍ය අංශ වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. එම නවතම වාර්තාවට අනුවයි මෙලෙස තවත් ඩෙල්ඩා ආසාදිතයන් 19 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ.

මෙරට ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදනය වූවන් 5 දෙනෙකු මුලින්ම හඳුනා ගනු ලැබුවේ කොළඹ – දෙමටගොඩ ප්‍රදේශයෙන්.

ඉන් අනතුරුව, කොළඹ, ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලින් ද තවත් කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් 14 දෙනෙකු හඳුනා ගනු ලැබුවා.

මීට පෙර හඳුනා ගැණුනු ඩෙල්ටා ආසාදිතයන් 19 දෙනා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වූයේ ද ජයවර්ධනපුර සරසවිය කළ ප්‍රභේද පරීක්ෂණය මගින්. කෙසේ වෙතත්, එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිල වශයෙන් එලිදැක්වූයේ නැහැ.

අලුතින් සොයා ගෙන ඇති ආසාදිතයින් 19 දෙනා සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යාංශය තවමත් නිල මතයක් ප්‍රකාශයට පත් කර නැහැ.

කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර යාම මුලින් පෙන්නුම් කළේ අසල්වැසි ඉන්දියාවෙන්. එම හේතුව නිසාම මෙය ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ලෙසින් ද හඳුන්වනු ලැබුවා.

සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය හේතුවෙන් ලෝකය මේ වනවිට තුන්වන (3) කොරෝනා රැල්ලේ මුල් අදියරට එළඹ ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනම් ගෙබ්‍රියේසස් අනතුරු ඇගවීමක් කළා.

ජිනිවා නුවරදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඩෙල්ටා විකෘති ප්‍රභේදයේ ව්‍යාප්තිය මෙන්ම, සමාජය තුල සංචලතාව ඉහළ යාම සහ තහවුරු කළ මහජන සෞඛ්‍යය සුරැකීමේ ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම හේතුවෙන් කොරෝනා ආසාදිත සංඛ්‍යාව මෙන්ම, මරණ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින බවයි.

එන්නත්කරණය ඉහළ යාම තුලින් යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ සුබවාදී වාතාවරණයක් පසුගිය කාලය තුල දක්නට ලැබුණා.

කෙසේ නමුත්, කොරෝනා වෛරසය තවදුරටත් ප්‍රචාරණය වන ප්‍රභේදවලට පරිණාමය විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කළේ. මේ වනවිට ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ලොව රටවල් 111 ක පැතිර ඇති අතර, එය ලොව ප්‍රමුඛ කොරෝනා ප්‍රභේදය බවට පත්වනු ඇති.

ශ්‍රී ලංකාව තුල මුලින්ම මෙරටටම ආවේණික කොරෝනා ප්‍රභේදයන් ව්‍යාප්ත වූ අතර, මේ වනවිට මෙරට සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා ප්‍රභේදය වන්නේ ඇල්ෆා හෙවත් බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයෙන් සොයා ගැණුනු කොරෝනා ප්‍රභේදයයි.

එමෙන්ම, දකුණු අප්‍රිකානු ප්‍රභේදය සහ නයිජිරියාවේ පැතිර යන පැතිර යන කොරෝනා ප්‍රභේදයක් ද මෙටින් හමුවී තිබෙනවා.

+++++++++++++++++++++++

(15.07.2021 – 13:53 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන තවදුරටත් වේගවත් කිරීම සඳහා සහය වීමේ අරමුණින් තවත් සයිනොෆාම් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 1.6 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට චීනය තීරණය කර තිබෙනවා.

එම එන්නත් තොගය ඉදිරි සති කිහිපය තුල ශ්‍රී ලංකාවට ලබාදෙන බවයි කොළඹ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

චීනය අර්බුදවලට මුහුණදුන් අවස්ථාවල ශ්‍රී ලංකාවෙන් ලැබුණු සහයෝගය සැමවිට සිහිපත් කරන බව ද චීන තානාපති කාර්යාලය නිකුත් කල එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් ෴

++++++++++++++++++++++

(15.07.2021 – 15:34 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 939 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 253,953 ක් ලෙසටයි.

එමෙන්ම මෙරටින් නව ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ තවත් 19 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

නවතම ප්‍රභේද පරීක්ෂාවන්ට අනුව කොළඹ, පිලියන්දල, කිලිනොච්චිය හා යාපනය යන ප්‍රදේශ වලින් මෙම රෝගීන් හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, මේ වනවිටත් විකෘති ප්‍රභේදයන් යැයි සැක සහිත සාම්පල කිහිපයක් ප්‍රභේද පරීක්ෂණයට ලක් කරමින් පවතිනවා ෴

@@@@@@@@@@@@@@@

මුත්තයියා මුරලිදරන්ට ධම්මික ප්‍රසාද්ගෙන් ලියුමක්

(15.07.2021 – 15:18 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සඳුදා (12) ‘හිරු ටී වී සලකුණ’ වැඩසටහන සමග එක්වෙමින් හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සිදු කළ ප්‍රකාශයන් කිහිපයක් සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් සිදු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ධම්මික ප්‍රසාද් සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

එම සටහන හරහා ධම්මික ප්‍රසාද් අවධාරණය කරන්නේ ‘සලකුණ’ වැඩසටහනේදී මුත්තයියා මුරලිදරන් සිදු කළ ඇතැම් ප්‍රකාශයන් එසේ නොකළ යුතුව තිබූ බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සහ කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර අවස්ථා ගණනාවකදී ගැටලු සහගත තත්වයන් උද්ගත වී ඇති බව පෙන්වා දෙන ධම්මික ප්‍රසාද් සඳහන් කරන්නේ කිසිදු අවස්ථාවක එම ගැටුම් කරළියට ගෙන ඒමට ක්‍රීඩකයින් කටයුතු නොකළ බවයි.

එවන් තත්වයක් තුල මුරලිදරන් රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ක්‍රීඩා කළ සහ තවමත් ක්‍රීඩාවේ යෙදෙන ඇතැම් ක්‍රීඩකයින් පිළිබඳ නම්ගම් වශයෙන් හෙළි කිරීම සම්බන්ධයෙන් ඔහු සිය කනස්සල්ල පළකර තිබෙනවා.

ධම්මික ප්‍රසාද්ගේ ෆේස් බුක් ගිණුමේ තබා තිබූ සම්පූර්ණ සටහන පහතින් :

“ඔබ වචනයේ පරිසමාප්තයෙන්ම වීරයෙකි. අග්‍රගන්ය ක්‍රීඩකයෙකි. තනිව ජයග්‍රහණ රැසක් ලංකාවට ගෙන එනු ලැබූ අද්විතීය කිසිවකුට සම කල නොහැකි එදා මෙදා තුර බිහිවූ වැඩිම කඩුලු ලාභී විශිෂ්ටතම පන්දු යවන්නා බව අවිවාදාත්මකව පිළිගත යුතු සත්‍යකි. එම ගෞරවය සැමදා අප කෙරෙහි සහ සමස්ත ක්‍රිකට් ලෝකයාගේම පවතින බව නොරහසකි.

නමුත් දින කිහිපයකට පෙර යම්කිසි නාලිකාවකට පැමිණ කරන ලද වැඩසටහනේ ඔබ කියූ මිනිසුන් නොදන්න පැති කිහිපයක් ගැන සැලකිල්ල යොමු කිරීමට සහ දයාබර ක්‍රීඩාලෝලීන් දැනුවත් කල යුතුව ඇත. එලෙසෙම ඔබ හා මා සසදන විට අහස හා පොලොව තරම් ලොකු පරාසයක් ඇත. ඔබ එතරම් මේ රට වෙනුවෙන් යුතුකම් කර ඇති රටට ණය නැති පුතෙකි.

නමුත් එම වැඩසටහනේ ඔබ කෙතරම් දුරට තම සහෝදර ක්‍රීඩකයන්ට ගෞරවය කලාද, තම සහෝදර ක්‍රීඩකයන් වෙනුවෙන් කොතරම් දුරකට සිට ගත්තාද යන්න මට පෞද්ගලිකවම ඇතිවූ ගැටළුවකි. අපට එදා සිට මේ ක්‍රිකට් පරිපාලනය තුල සහ කණ්ඩයමේ ප්‍රශ්න තිබිණි. නමුත් ගෙදර ප්‍රශ්න පිටට නොදෙන්නාක් මෙන් ඒවා අප ඇතුලෙම තිය ගෙන විසදගෙන කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරන ලදී. ඔබ මේ හරහා සමාජය තුල වැරදි කතිකාවතක් නිර්මාණය වන ලදී. අපට ක්‍රීඩකයන්ගේ පුද්ගලීක කාරණා අවශ්‍ය නැත. නැතහොත් අනික් අයගේ රෙදි සේදිය යුතු නැත.

එලෙසෙම විනය යනු ඕනෑම කෙනෙකුගේ පළමු තැන විය යුතුය. මම එයට ඔබ හා එකඟ වෙමි. විනයානුකුලභාවය පොඩි කාලේ සිටම ඔබ ඔබගේ දෙමාපියන්ගෙන්, පාසලෙන්, මේ ක්‍රීඩාවෙන් ප්‍රගුණ කල යුතු දෙයකි. එමනිසා විනය ක්‍රීඩාවේ මෙන්ම සමාන්‍ය ජිවිතයේද අත්‍යඅවශ්‍යම සාදකයකි.

එලෙසෙම රට වෙනුවෙන් අප ක්‍රීඩා කලේ එයට සරිලන වැටුපක් අපට ලැබෙන නිසාය. අප කැමතිම දෙය අපගේ රැකියාව කර ගැනීමට තරම් අප වාසනාවන්ත විය. එලෙසම අප සැම විටම ක්‍රීඩා කලේ රට වෙනුවෙනි, ඒ සදහා ක්‍රීඩකයන් ගෙන එනු ලබන මුදලින් ක්‍රිකට් ආයතනය විසින් අප හට වැටුපක් ලබා දෙන ලදී. එමනිසා කිසිම කෙනෙකු මුදල් නොමැතිව ක්‍රීඩා කර නැත. එසේනම් එය බොරුවකි. අපගේ අනාගතය සාර්ථක කර ගැනීම සදහා අපට මුදල් අවශ්‍යවේ. එමනිසා රට වෙනුවෙන් පමණක් ක්‍රීඩා කිරීම පට්ට පල් බොරුවකි. ඔබ එසේ නොවීනම් එය පිළිගත හැකය.

ක්‍රීඩකයන්ගේ අයිතීන් වෙනුවන් ඔවුන් කථා කිරීමට ඔවුනට අයිතියක් ඇත. එමනිසා ඔවුන්ගේ රැකියාව සහ ඔවුන්ගේ දක්ෂතා අනුව ඔවුන්ට ඒ ගැන විමසීමට සදාචාරාත්මක අයිතියක් ඇත. ඔබ සමහර ක්‍රීඩකයන්ගේ නම් සදහන් කරමින් ඔවුන්ගේ ප්‍රතිරූපයට හානි වන අයුරින් කටයුතු කිරීම කොතරම් සදාචාරාත්මකද?

අප මේ වන විට දුර්වල ක්‍රීඩා විලාශයක් පිලිබිබු කරන අතර මේ සදහා ඔබ ඇතුළු අනිකුත් සාමාජිකයන්ගේ භූමිකාව සහ මේ සදහා ගනු ලැබූ ක්‍රියා මාර්ග ගැන ඔබ කථා කල අයුරින් මට හැඟී ගියේ ඔබ පරිපාලනය සුද්ද කලාදෝ යන්නය? මා එසේ කියනුයේ ඔබ කියූ පරිදි ක්‍රීඩකයන් පමණක් 2015 සිට ක්‍රීඩා කර ඇති බවය. මෙයට පරිපාලනයේ කිසිම වැරද්දක් නොමැති බව ඔබගේ කතාවෙන් ගම්‍ය විය.

එසේ නම් මෙයට කෙලින්ම වැරදිකාරයන් වනුයේ ක්‍රීඩකයන්ය. මෙවැනි අවස්ථාවක අප කල යුත්තේ ක්‍රීඩකයන් විවේචනය කිරීම නොව ඔවුන්ව දිරි ගැන්වීමය. ඔබ වරක් මෙවැනිම මාධ්‍ය සාකච්චාවකදී ක්‍රිකට් හදන්න බැරියයි පවසන ලද බව මා හට දැක ගැනීමට හැකිවිය. දැන් ඔබ ක්‍රීඩා කමිටුවේය. ඔබට යමක් අන් අය හා එකතුවී කල හැකිය. ඒ දෙස ඉතා උනන්දුවෙන් බලා සිටිමි.

එලෙසෙම ඔබ අවසන් භාගයේ තවත් ක්‍රීඩකයෙකුගේ ශාරීරික යෝග්‍යතාවය හුවා දක්වමින් කථා කිරීමද අනුමත කල නොහැක. මන්දයත් ඔබ එසේ කියනවිට ඔබට අමතකවී ගිය දෙයක් මතක් කර දීමට කැමතිය. එම ක්‍රීඩකයා තම දණහිසේ අබාධයන්ට ගොදුරුවී ශල්‍යකර්ම කිහිපයක් කර රතු පන්දුවෙන් පන්දු නොයවා සිටියදී ඔබගේ බලවත් ඉල්ලීම මත ඔබගේ අවසන් ටෙස්ට් තරගයට සහාභාගීවී කඩුලු 5 දවා එම තරගය ජයග්‍රණයට දායකවූ සහ එවැනි කැපකිරීමක් කල ක්‍රීඩකයෙක් unfit ක්‍රීඩකයෙක් ලෙස සදහන් කිරීමද ඔබ ගැන මා තබා තිබු ඒ දැඩි ගෞරවය ගැන මා දැන් මගෙන් ප්‍රශ්න ඇසීමට යොමුකරන ලදී.

ඔබවද මා මාගේ කර මතින් රැගෙන ගියේ යන ප්‍රශ්නයද මා තුල මතු විය. එලෙසෙම රංගන හේරත්ගේ සහාය ලබා ගැනීමට යාමේදී ඇතිවූ මත ගැටුම්ද ඔබට මතක ඇති බව විශ්වාස කරමි. එලෙසෙම ඔබ එදා කථා කල කෙනාමදැයිද යන්න තවත් මා තුල සැකයක් ඇතිවේ. එමනිසා ඔබ අමාරුවෙන් උපයා ගත් ඔබගේ නාමය කිසිම කෙනෙකු ඉදිරියේ පහලට නොදමා, ඔබගේ ඒ එඩිතර සිංහ ලීලාව කිසි විටක යටපත් නොකර, කිසිම කෙනෙකුගේ අතකොලුවක් නොවී ඔබලාම මෙතනට රැගෙන ආ ඔබලාම ඔසවා තැබූ මේ ක්‍රීඩාව අනාගතයේ අපගේ දරුවන් වෙනුවෙන් රැක දේවී යන පැතුම සමග ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනී සිටිය යුතු බව මතක් කර දෙමින් එදා එම වැඩසටහන තුල මා දුටු අපගේ ආදරණිය ප්‍රේක්ෂකයා නොදුටු පැති කිහිපයක් පෙන්වා දීමට මම මෙයාකාරයෙන් මෙම සටහන ඉදිපත් කරන ලදී.

අපට මිනිසුන් ආදරය කරනුයේ කිසිම නිර්නායකයක් නොමැතිවය. එලෙසෙම අප ඔවුන් වෙනුවෙන් මේ ක්‍රීඩාව රැක ගැනීම, බේරා ගැනීම පරම යුතුකමක් සේ කල යුතුම දෙයකි. එමනිසා කිසිම පාර්ශවයන්ගේ පුද්ගලික න්‍යායන් මත නොසිට එකතුවී එක කණ්ඩායමක් ලෙස මේ ක්‍රීඩාව ගොඩ ගත හැකි බව මාගේ පුද්ගලික මතය වේ. එලෙසෙම දීර්ග කාලීන සැලැස්මක් අපට තිබිය යුතුය. නමුත් එය වෙත අප යාමේදී අපගේ වර්තමාන තත්වයද සැලකිල්ලට ගත යුතුය.

(සැයු – බුද්ධිමත්ව මෙය කියවා බලා තේරුම් ගත හොත් මා පැවසු හා පවසන දෙය කුමක්ද කියා වැටහෙනු ඇත. එලෙසම ඔහු වචනයේ පරිසමාප්තයෙන්ම විශිෂ්ඨයෙකි. කිසිම විටක ඔහු හා මා සම කල නොහැක. එලෙසම මිනිසුන් නොදකින පැත්ත ඔවුනට පෙන්වා දිය යුතුය)”

12.07.2021 ‘හිරු ටී වී සලකුණ’ වැඩසටහන :

[ https://www.youtube.com/watch?v=_0N8H8FiuP8 ]

******************************************

ගල්කිස්සේ දැරිය දෙදෙනකු හඳුනා ගනී

(15.07.2021 – 15:49 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලය හරහා අලෙවි කළ වයස අවුරුදු 15 ක දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියට අදාල නඩුවේ සැකකරුවන් දෙදෙනෙකු (2) ඇප මත මුදා හැරීමට අධිකරණය අද (15) නියෝග කළා.

ඒ ඊට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම හමුවේ අද (15) කැඳවූ අවස්ථාවේදීයී.

එම අවස්ථාවේදී හඳුනා ගැනීමේ පෙරට්ටුවක් ද පැවති අතර, එහිදී පෞද්ගලික සමාගමකට අයත් නෞකාවක කපිතාන්වරයෙකු සහ ඔහුගේ සහයක නිලධාරීයා සැකකරුවන් ලෙස දැරිය විසින් හඳුනා ගැණුනා.

ඔවුන් රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප 2 ක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 2 ක් මත මුදාහැරීමටයි අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.

එම දැන්වීම පළ කළ වෙබ් අඩවියේ හිමිකරුගේ බැංකු ගිණුමේ රුපියල් කෝටි 5 ක මුදලක් තැන්පත් කර තිබූ බවට හෙළි වී ඇති අතර, ඔහුගේ සහ මෙම සිද්ධියට සම්බන්ධ තවත් 11 දෙනෙකුගේ කෝටි 10 ක බැංකු ගිණුම් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර, 13 හැවිරිදි පාසල් දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම දැරියගේ පියා සහ පෙම්වතා ඇතුළු පස් දෙනෙකු (5) නාවලපිටියේදී අත්අඩංගුවට ගත් අතර, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

++++++++

දැරියන් විකුණු වෙබ්අඩවියේ මාසික ආදායම ලක්ෂ 45

(15.07.2021 – gossiplankanews.com)

15 දැරිය අලෙවි කරන දැන්වීම් පළ කළ ලංකා-ඇඩ්ස් ඩොට් කොම් වෙබ් අඩවියේ හිමිකරුගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 5 කට අධික මුදලක් තැත්පත්ව තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇත. පොලිස් නිති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය සිද්ධියේ සැකකරුවන් 11 දෙනාට එරෙහිව කළ විමර්ශන වලදී මෙය හෙළිව ඇත.

අනෙක් අයගේ ගිනුම්වලද විශාල මුදල් ප්‍රමාණ තිබී ඇති අතර රුපියල් කෝටි 10 කට ආසන්න මුදල් ප්‍රමාණයක් සහිත බැංකු ගිණුම් සියල්ල මේවනවිට අත්හිටුවා ඇත.

පානදුර ප්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ දුමින්ද සම්පත් පෙරේරා නමැති ලංකා-ඇඩ්ස් ඩොට් කොම් වෙබ් අඩවියේ හිමිකරු සහ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි මාකේවෙලගෙදර ධනුක කෞෂල්‍යය නමැති වෙබ් අඩවියේ මූල්‍ය කළමනාකරු මේවනවිට රක්ෂිත බන්ධනාගාරයේ පසුවෙති. දුමින්ද සම්පත් පෙරේරා නමට රුපියල් කෝටි 5 කට අධික මුදලට අමතරව ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක (2) තිබූ ඇමරිකානු ඩොලර් 12,199 ක මුදලක් ද තබී ඇතැයිද ඒවා මේවනවිට තහනම් කර ඇතැයිද පොලිස් ආරංචි වාර්තා කර තිබේ. මූල්‍ය කළමනාකාරුගේ ගිණුම්වල ලක්ෂ 70 ක් තිබී ඇත.

ලිංගික කර්තව්‍යයන් සඳහා දැරිය අලෙවි කළ දුමින්ද සම්පත් නමැති සැකකරු පරිගණක මෘදුකාංග ආයතනයක ඉංජිනේරුවකු වශයෙන් කටයුතු කරමින් රුපියල් ලක්ෂ 3 ක මාසික ආදායමක් උපයන අයකු බවත්, මෙම දැරිය අලෙවියෙන් පසු අදාළ වෙබ් අඩවියේ මාසික ආදායම රුපියල් ලක්ෂ 45 ක් බවට පත්වී ඇති බවත් විමර්ශනවලදී හෙළිව ඇත. විවිධ ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධ දැන්වීම් 20,000 ක් පමණ දිනකට මෙම වෙබ් අඩවියේ ප්‍රචාරය වන බවත්, 2021 වර්ෂයේ සිට මේ දක්වා පමණක් එම වෙබ් අඩවියේ දැන්වීම්වලින් රුපියල් කෝටි 3 කට ආසන්න මුදලක් උපයා ඇති බවට අනාවරණය වී ඇති බවත් වාර්තා කර තිබේ.

මීට මාස කිහිපයකට පෙර මෙම වෙබ් අඩවිය වසා දමා ඕස්ටේ‍ලියාවේ පදිංචිය සඳහා පිටත්ව යෑමට මෙම වෙබ් අඩවි හිමිකරු සැලසුම් සකස් කරමින් සිට ඇති බවටද පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

දැරිය අලෙවි කළ ප්‍රධාන සැකකරු වන මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේ පදිංචි ‘රජීව් ජයනාත්’ නමැත්තාගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි දෙකකට (2) අධික මුදලක් තිබී ඇත.

රජීව් ජයනාත්ගේ අනියම් බිරිඳ මැටිල්ඩා ගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටියකට (1) අධික මුදලක් ද තිබී ඇත.
මේ සියල්ලන් තවම රක්ෂිත බන්ධනාගාරයේ පසුවේ ෴

++++++++++

ගල්කිස්සේ දැරියගේ ලැයිස්තු කතාවට උලපනේ හිමිට ඉරාජ්ගෙන් අභියෝගයක් !

(15.07.2021 – am.lk)

අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා අලෙවි කළ 15 වියැති දැරියට මිලට ගත් පිරිස යැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ නම් ලැයිස්තුව පිළිබඳව අද (15) දිනයේ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසින් තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ ගොස් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ලක් යොමු කරනු ලැබුවා.

පැමිණිල්ල කිරීමෙන් පසුව පූජ්‍ය සුමංගල හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ කාන්තාවකද, නොවන පිරිමියෙකු ද නොවන ගායකයෙකු විසින් ප්‍රචාරය කරන ලද අසත්‍ය පුවතක් බවයි.

මෙම සිදුවීම සම්බන්ධ සංගීත නිර්මාණ ශිල්පියෙකු සහ ගායකයෙකු වන ඉරාජ් වීරරත්න විසින් සිය අදහස් පළ කර තිබුණා.

එහිදී ඉරාජ් පවසා සිටියේ තමන් ඒ සිදුවීම සම්බන්ධයෙන් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සමඟ කතා කළ බවයි. එහිදී ඉරාජ් ස්වාමින් වහන්සේට පවසා ඇත්තේ “විපක්ෂයට ආණ්ඩු බලය තියෙද්දී එගොල්ලෝ අපිට කරපු සමහර දේවල් නිසා අපි විවිධ ගීත හැදුවා.. ඒගොල්ලො කරපු වැඩ ගැන විවේචනය කළා.. ඒ කරපු හැම දෙයකම මගේ නම සහ මුහුණ දාලා කරේ.. හැංගි හොරා නැහැ.. ඒක නිසා ඔය වෙබ් සයිට් ගැන මාව අල්ලගන්න එපා.. ඒවා මම නෙමෙයි කළේ.. පුළුවන් නම් ඔප්පු කරන්න..” යනුවෙනි.

තමන්ගේ එවැනි ‘දෙකයි පනහේ වැඩ’ නොකරන බවට ඉරාජ් විසින් සඳහන් කළ අතර මෙය කළේ කවුරුන්ද යැයි සොයා බලන ලෙසද පවසා සිටියා.

අද (15) දිනයේ උදෑසන සිටම තමන්ට ස්වාමින්වහන්සේලා කතා කරන බවත් මෙයට සම්බන්ධ දැයි අසන බවත් ඉරාජ් පවසා සිටි අතර ඔහු පවසා සිටියේ තමන් එවැනි කිසිම දෙයක සම්බන්ධ නැති බවයි.

එහිදී ඉරාජ් විසින් අභියෝගයක් කරමින් පවසා සිටියේ ‘නම් ටික දැම්මෙ මම කියලා ඔප්පු කළොත් මම ඒ පන්සලට පූජා කරනවා – වගකීමෙන් කියන්නේ ලක්ෂ 5000 ක් පූජා කරනවා අද..”

සැබැඳි පුවත – දැරියව මිලට ගත් අයගේ ලැයිස්තුවේ හැදුවේ ගවුම් ඇඳන් නටන කෙනෙක් ! :

ඉරාජ් පළ කළ සම්පුර්ණ අදහස පහතින් :

******************************************

(15.07.2021 – 17:05 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත යෝජනා ලබාදීමට දුන් කාලය අදින් (15) අවසන් වුණා.

ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 11 ක් සිය යෝජනා ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජනබලවේගය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ රැසක නියෝජිතයින් ඊයේ (14) රැස්වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට එක්ව සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *