එන්නත් මිශ්‍ර කිරීම අනතුරුදායක විය හැකියි – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයක්

එන්නත් මිශ්‍ර කිරීම අනතුරුදායක විය හැකියි – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයක්

*********************************************

එන්නත් මිශ්‍ර කිරීම අනතුරුදායක විය හැකියි – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයක්

(13.07.2021 – 10:57 +0530 – hirunews.lk/sinhala)

වෙනස් නිෂ්පාදකයින්ගේ කොරෝනා එන්නත් මිශ්‍ර කිරීම අනතුරුදායක ප්‍රවණතාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි ප්‍රධාන විද්‍යාඥවරිය වන සෞම්‍යා ස්වාමිනාදන් ජිනීවා නුවර සිට ඊයේ (12) පැවැත් වූ ඔන්ලයින් මාධ්‍ය හමුවේදී සඳහන් කළේ එලෙස එන්නත් මිශ්‍ර කිරීමේ සෞඛ්‍යමය බලපෑම පිළිබඳව ප්‍රමාණවත් දත්ත නොමැති බවයි.

මේ නිසා දත්ත හෝ සාක්ෂිවලින් තොර කලාපයක එන්නත් මිශ්‍ර කිරීම අනතුරුදායක විය හැකි බව ඇය සඳහන් කළා.

තායිලන්තය සිනොවැක් සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිශ්‍ර කිරීමට සැරසෙන පුවතක් පිළිබඳව ඊයේ (12) වාර්තා වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂයෙන් අදහස් දක්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් බව විශ්වාස කෙරෙනවා ෴

++++++++++++++++++++++

(13.07.2021 – 11:08 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයෙන් ලබා ගත් අහඹු සාම්පල 25 කින් ජාන විකෘති සහිත කොරෝනා ප්‍රභේද පවතින බවට සැක කරන සාම්පල 14 ක් හඳුනාගෙන තිබෙනවා.

ඊයේ (12) කොරෝනා ආසාදිතයින් 1568 ක් මෙරටින් හඳුනා ගැණුනු අතර ඉන් 80 දෙනෙකු විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයින් වනවා. ඊයේ (12) වාර්තා වූ ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 225 ක්.

කළුතර දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් පිරිස වන 44 දෙනෙකු ඊයේ (12) හඳුනාගෙන තිබුණේ දොඩංගොඩ ප්‍රදේශයෙන්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (12) දිනයේදී ආසාදිතයින් 154 ක් වාර්තා වූ අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 153 ක්.

මීට අමතරව, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 150 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 135 ක් ද ඊයේ (12) හඳුනාගත් ආසාදිතයින් අතරට අයත්.

මේ අතර, ජාන විකෘතියැයි බවට සැක සහිත කොරෝනා සාම්පල 14 ක් හඳුනා ගෙන තිබෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එම සාම්පල යලි ජාන අනුක්‍රමික පරීක්ෂණයට යොමුකර ලබන සතියේ අවසන් වාර්තාව ලැබීමට නියමිතයි.

විවාහ මංගල උත්සව වෙනුවෙන් පළාත් අතර සංචරණය සිදුකිරීමේදී ලබාදී ඇති විශේෂ අවස්ථාවක් පිලිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස පැහැදිලි කළා.

මේ අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අවධාරණය කළේ සංචරණ සීමා ලිහිල් කිරීම හමුවේ මහජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් වගකීමෙන් තවදුරටත් කටයුතු කළ යුතු බවයි.

(13.07.2021 – 12:37 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දන එන්නත් දිවයින පුරා ජනතාවට ලබාදීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත්, ඇතැම් ප්‍රදේශවල වැඩිහිටියන් එන්නත් ලබා ගැනීමට මැලිකමක් දක්වන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා.

කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම සඳහා මෙන්ම, වෛරසයේ දැඩි අවදානමෙන් මිදීමට තිබෙන හොඳම මග එන්නත්කරණයයි.

මේ වනවිටත් දිවයින පුරා එන්නත් මාත්‍රා ලක්ෂ 50 කට වැඩි සංඛ්‍යාවක් ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත්, ඇතැම් ප්‍රදේශවල වයස අවුරුදු 60 ට වැඩි ජනතාව එන්නත් ලබා ගැනීම සඳහා වැඩි උනන්දුවක් නොදක්වන බව වසංගත රෝග විද්‍යා අංශය අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළා.

එහෙත්, කොරෝනා එන්නත ලබා ගත් මෙරට වයස්ගතම පුද්ගලයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එන්නත් ලබා ගැනීමෙන් පසු තමන් කිසිදු අපහසුතාවකට මුහුණ නොදුන් බවයි.

කෑගල්ල – මලවිට පදිංචි වයස අවුරුදු 104 ක් වන ඒ.ඒ.පොඩි අප්පුහාමි මහතා එන්නත ලබා ගෙන තිබුණේ මලවිට බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ එන්නත්කරණ මධ්‍යස්ථානයේදීයි.

එතරම් වයස්ගත තත්ත්වයක සිටියදීත් කිසිදු පැකිලීමකින් තොරව කොරෝනා මර්දන එන්නත ලබාගෙන නිරෝගිකම වෙනුවෙන් කැපවූ ඔහු එන්නත් ලබා ගැනීමට මැලිකමක් දක්වන පිරිසටත් ලබාදෙන්නේ ප්‍රබල පණිවුඩයක්.

මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහනට අදාළව දිනක් තුළදී ලබාදුන් වැඩිම එන්නත් මාත්‍රා සංඛ්‍යාව ඊයේ (12) දිනයේදී ලබාදී තිබෙනවා.

ඒ අනුව එන්නත් මාත්‍රා 2,32,526 ක් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

එහිදී සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 1,73,988 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 40,276 ක්.

එසේම, ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව ඊයේ (12) පුද්ගලයින් 13,357 දෙනෙකුට ලබාදී තිබෙනවා. ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 4,725 දෙනෙකුට ලබාදී ඇති අතර, කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාවද ඊයේ (12) පුද්ගලයින් 180 දෙනෙකුට ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර, වෙනස් නිෂ්පාදකයින්ගේ කොරෝනා එන්නත් මිශ්‍ර කිරීම අනතුරුදායක ප්‍රවණතාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි ප්‍රධාන විද්‍යාඥවරිය වන සෞම්‍යා ස්වාමිනාදන් ජිනීවා නුවර සිට ඊයේ (12) පැවැත් වූ ඔන්ලයින් මාධ්‍ය හමුවේදී සඳහන් කළේ එලෙස එන්නත් මිශ්‍ර කිරීමේ සෞඛ්‍යමය බලපෑම පිළිබඳව ප්‍රමාණවත් දත්ත නොමැති බවයි.

මේ නිසා දත්ත හෝ සාක්ෂිවලින් තොර කලාපයක එන්නත් මිශ්‍ර කිරීම අනතුරුදායක විය හැකි බව ඇය සඳහන් කළා.

කෙසේ නමුත්, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් තනි මාත්‍රාවේ කොරෝනා එන්නත ලබාගත් අය ෆයිසර් හෝ මොඩර්නා වැනි එම්.ආර්.එන්.ඒ. එන්නත් ප්‍රවර්ධකයක් ලබා ගැනීම ඇතැම් පර්යේෂකයින් අනුමත කර තිබෙනවා.

කෙසේ නමුත්, ඒ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව ඔවුන්ගේද අදහසයි.

එමෙන්ම, ෆයිසර් එන්නත් මාත්‍රා දෙකම (2) ලැබූවන් තුන්වන (3) ප්‍රවර්ධක එන්නතක් ලබාගැනීම අවශ්‍යද යන්න මෙතෙක් තහවුරු නොකළ කරුණක් ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය හැඳින්වූයේ.

ඒ වෙනුවට අතිරික්ත ෆයිසර් එන්නත්, එන්නත් නොලැබූ දුප්පත් රටවල් වෙත ලබාදිය හැකි බවද ඇය කියා සිටියා.

තායිලන්තය සිනොවැක් සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිශ්‍ර කිරීමට සැරසෙන පුවතක් පිළිබඳව ඊයේ (12) වාර්තා වුණා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂයෙන් අදහස් දක්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් බව විශ්වාස කෙරෙනවා ෴

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් රැගත් ශ්‍රී ලංකා ගුවන් යානයක් අද (13) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා ෴

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1328 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 247,569 ක් ලෙසටයි ෴

++++++++++++++++++++++++

(13.07.2021 – 11:55 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා තත්ත්වය සමග ඔන්ලයින් හෙවත් මාර්ගගත අධ්‍යාපනයට සිසුන් වැඩි වශයෙන් යොමු වීම හේතුවෙන් ඔවුන් අක්ෂි දෝෂ සහ මානසික ව්‍යාකූලතාවයන්ට ලක්වීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මාතර මහ රෝහලේ ජ්‍යෙෂ්ඨ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රියංග ඉද්දවල මහතා සඳහන් කළේ පාසල් අවධියේ කුඩා දරුවන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වැඩි වශයෙන් අක්ෂි සායන වෙත පැමිණීමක් නිරීක්ෂණය වී ඇති බවයි.

මේ අතර, ඔන්ලයින් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා සංඥා පහසුකම් නොමැති වීමෙන් ග්‍රාමීය ප්‍රදේශවල දරුවන් අපහසුතාවයට පත් වෙමින් සිටින බවට වන පුවත් තවදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වනවා ෴

++++++++++++++++++++

(13.07.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

මෙවර උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාලවකවානු සම්බන්ධයෙන් වන තීරණය ඉදිරි සතියේදී දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළා.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බවයි කොළඹ අද (13) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ.

රටේ මේවන විට පවතින තත්වය මත ඔක්තෝම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය නියමිත පරිදි පවත්වන්නේ ද නැති ද යන්න සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති.

සියලුදෙනාට සාධාරණයක් වන අයුරින් මෙම තීරණය ගන්නා බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

සතියක් තුල සාකච්ඡා අවසන් කර එහි තීරණය ප්‍රකාශයට පත්කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර ගුරුවරුන් එන්නත්කරණය අවසන් කිරීමෙන් පසු සෞඛ්‍ය නිර්දේශවලට අනුව පියවරෙන් පියවර ප්‍රමුඛතා අනුව පාසල් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළා.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ තවත් මාසයක් ඇතුලත ගුරුවරුන්ගේ එන්නත්කරණය අවසන් කිරීමට කටයුතු කරන බවයි.

++++++++++++++++++++

(13.07.2021 – 14:18 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අවදානම් තත්ත්වයට පත්ව ඇති සංචාරක ව්‍යාපාරය යළි යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩපිලිවෙලක් දියත් කිරීමට ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය එකඟත්වය පළ කර තිබෙනවා.

සූම් තාක්ෂණය ඔස්සේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ සෞදි සංචාරක අමාත්‍ය අහමඩ් අල් කාතීබ් අතර ඊයේ (12) පැවති සාකච්ඡාවකදී මෙම එකඟත්වය ඇති කර ගත් බවයි සංචාරක අමාත්‍යාංශය නිවේදනය කළේ.

සංචාරක ව්‍යාපාරය ගොඩනැංවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල යටතේ ඉදිරි මාසයක කාලය තුල සංචාරක ව්‍යාපාරයේ නියුතු වූවන් සම්පූර්ණයෙන්ම එන්නත් කිරීමට හැකිවනු ඇති බවට මෙහිදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා විශ්වාසය පළ කර තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@@@@

(13.07.2021 – 12:04 +0530 – hirunews.lk/sinhala)

ඵෙතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය ඊයේ (12) 03 වන දිනටත් වීථි සංචාරය කළා.

මහා දේවාලයෙන් ආරම්භ කළ පෙරහර ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටවී පිටවීථිය ඔස්සේ ගමන් කර වල්ලි අම්මා දේවාලයට ගොස් එම දේවාලයේදී දේව චාරිත්‍ර ඉටුකිරීමෙන් අනතුරුවයි වීථි සංචාරය ආරම්භ කළේ.

අද (13) සිව්වන (4) දිනටත් කතරගම පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා ෴

******************************************

(13.07.2021 – 12:39 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන ස්වාධීන ක්‍රියාවලියක් යටතේ සිදුවිය යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් යළි ප්‍රකාශ කළා. ඒ කොළඹ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

******************************************

(13.07.2021 – 12:44 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අයි.සී.සී. තරග තීරකයෙකු වශයෙන් කටයුතු කළ රොෂාන් මහානාම සුදුසු බව ප්‍රවීන දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.

‘හිරු ටී.වී. සලකුණ’ වැඩසටහනට ඊයේ (12) එක්වෙමින් ඔහු කියා සිටියේ විනය අතින් සැලකූ විට වත්මන් තත්ත්වය වෙනස් කළ හැකි පුද්ගලයා ලෙස තමා ඔහු දකින බවයි.

රොෂාන් මහානාමට, රවී ශාස්ත්‍රී ඉන්දීය ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඉටු කරන කාර්ය භාරයට සමාන භූමිකාවක් ඉටු කළ හැකි බව මුරලිදරන් කියා සිටියා.

මුරලිගේ ක්‍රිකට් දිවිය අලළා සැකසෙන ඔහුගේ චරිතාපදාන චිත්‍රපටය ‘මුරලි 800’ නිපදවීම අත්හැර දමා නොමැති බවයි සලකුණ වැඩසටහනට සහභාගි වෙමින් මුත්තයියා මුරලිදරන් වැඩිදුරටත් සඳහන් කළේ.

තමිල්නාඩු සිනමාවේ ජනප්‍රිය නළු විජේ සේතුපති මුරලිගේ චරිතය රඟපෑමට විරෝධයක් මතුවීම හේතුවෙන් එහි වැඩ කටයුතු නතර වුණා.

සේතුපති චිත්‍රපටයෙන් ඉවත් වුව ද, වසංගත තත්ත්වය සමනය වීමෙන් පසු එහි රූගත කිරීම් අරඹන බවයි මුදලිදරන් කියා සිටියේ.

එහිදී ජාත්‍යන්තර විවෘත වීමට ශ්‍රී ලාංකික සිනමා නිලියකට ද අවස්ථාවක් හිමිවනු ඇති.

******************************************

(13.07.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපනය වෙනුවෙන් වෙන්වූ රූපවාහිනී නාලිකා විස්සක් (20) ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මේ යටතේ පළමුවන (1) ශ්‍රේණියේ සිට දහතුන්වන (13) ශ්‍රේණිය දක්වා නාලිකා දහතුනක් (13) ද, පිරිවෙන් අධ්‍යාපනය සඳහා වෙන්වූ නාලිකා දෙකක් (2) ද ආරම්භ කෙරෙනු ඇති.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහනුවර කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සමෘද්ධි ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයකට පසුගියදා සහභාගී වෙමින්.

මෙහිදී සමෘද්ධි සෞභාග්‍යයා වැඩසටහනට සමගාමීව උසස්පෙළ දරුවන් සඳහා එක් (1) දරුවකුට මසකට රුපියල් 1500 බැගින් වසර දෙකක (2) කාලයක් සඳහා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මූල්‍යාධාර ලබාදීමක් ද සිදුවුනා.

මේ යටතේ එම දරුවන් සඳහා මාස 10 ක මූල්‍යධාර වශයෙන් රුපියල් 15,000 බැගින් එකවර ලබාදීම සිදුකෙරුණා.

රටක දරුවන්ගේ අධ්‍යාපනය බිඳවැටීමට නොදී රැක ගැනීම රජයක වගකීම බව සඳහන් කල අමාත්‍යවරයා කියා සිටියේ අධ්‍යාපනය යනු රටෙහි කොදුනාරටිය බවත් කුමන අභියෝග හමුවේ වුවද එහි වගකීම රජයේ භාර ගන්නා බවයි ෴

******************************************

(13.07.2021 – 13:42 +0530 – hirunews.lk/sinhala)

වගාවන්ට අවශ්‍ය පොහොර සහ රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ගොවීන් දුෂ්කරතා රැසකට මුහුණදී සිටිනවා.

ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම වගාවන් සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබා දෙන ලෙසයි.

මේ පොළොන්නරුව ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බකමූණ ප්‍රදේශයේ මෙවර යල කන්නය සඳහා රසායනික පොහොර නොමැතිව වගා කළ බී ලුනු වගාවක්.

ජයසිරිපුර , ගඟේයාය , නිකපිටිය , සිරිකඳුයාය ඇතුළු ගම්මාන කිහිපයක ගොවීන් අක්කර දහසක (1000) පමණ වගා කර ඇති බී ලූණු පොහොර ඌනතාව නිසා කොළ කහ පැහැගැන්වීම හා අල කුණුවීම යන රෝගවලින් විනාශ වී ඇති බව ගොවීන් පවසනවා.

මොරගහකන්ද ජලාශය යටතේ කාබනික පොහොර යොදා වගා කරන තෝරපිටිය හා මාඔය යන ප්‍රදේශවල වගාබිම් නිරීක්ෂණයට මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා ඊයේ (12) සවස එක්වුණා.

එහිදී ගොවීන් පැවසුවේ කාබනික පොහාර යෙදීමෙන් වගාව නිසිපරිදි වර්ධනය නොවීම නිසා තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවයි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සහ ගොවීන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇතිවුණා.

සෙවනගල ප්‍රදේශයේ ගොවි සංවිධාන 14 ක් සඳහා ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානය හරහා පොහොර ලබා දෙන බවට දැන්වීමත් සමඟ ඊයේ (12) එම මධ්‍යස්ථානයට ප්‍රමාණය ඉක්මවා ගොවීන් පැමිණීම හේතුවෙන් නිලධාරීන් පොහොර බෙදා හැරීමෙන් වැළකී සිටියා. එහිදී ගොවීන්ගෙන් එල්ලවූයේ දැඩි විරෝධයක්.

එහිදී එම ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාෂාන් නවනන්ද මහතාටද ගොවීන්ගෙන් විරෝධය එල්ලවුණා.

කෙසේවෙතත් අද (13) දින පොහොර ලබා දෙන බවට ගොවිජන සේවා නිලධාරීන් ප්‍රකාශ කිරීමත් සමඟ ගොවීන් විසිරගියා.

******************************************

(13.07.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ රජයට සහාය දක්වන සුළු පක්ෂ අතර මතුව ඇති මතගැටුම සම්බන්ධයෙන් දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

******************************************

(13.07.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දැවි තෙල් ජලයට මිශ්‍ර වීමෙන් අපහසුතාවට පත්වූ තමන්ට සැලකිය යුතු වන්දි මුදලක් නොලැබුණු බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ භූගතටැංකියක පැවති දැවි තෙල් ජලයට මිශ්‍ර වීමේ සිද්ධිය වාර්තා වූයේ පසුගිය ජූනි මස පැවති ජල ගැලීම් සමගයි.

මේ හේතුවෙන් ප්‍රදේශවාසී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියා.

අදාළ දැවිතෙල් මිශ්‍රිත ජලට කැලණි ගඟට මුසුවීම වැළැක්විම සඳහා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවද එහිදී විශේෂ මෙහෙයුම් දියත් කර තිබුණා.

මෙම සිද්ධිය අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණ කිරීමෙන් පසු තමන්ට වන්දි මුදල් පිරිනැමීමට බලධාරීන් කටයුතු කළ යුතු බව ප්‍රදේශවාසීන් පැවසුවා. එහෙත් ඔවුන්ගේ චෝදනාව වන්නේ ලැබණු වන්දි මුදල් ප්‍රමාණවත් නොවන බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *