කොළඹ සිට කුරියර් සේවා මගින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකළ සැකකාරියක් අත්අඩංගුවට

කොළඹ සිට කුරියර් සේවා මගින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකළ සැකකාරියක් අත්අඩංගුවට

*********************************************

කොළඹ සිට කුරියර් සේවා මගින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකළ සැකකාරියක් අත්අඩංගුවට

(13.07.2021 – 07:23 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව පොලීසියට අවශ්‍යව සිටි ‘කුඩු නෝනි’ නැමැති කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත ලද තොරතුරක් අනුව කූරියර් සේවාවකින් ප්‍රවාහනය කරමින් තිබූ පාර්සලයක් පරීක්ෂා කර අනාවරණය කරගත් තොරතුරුවලට අනුවයි.

එහිදී ත්‍යාගයක් ලෙස සකසන ලද බෝනික්කෙකු සහිත අදාල පාර්සලය කොළඹ සිට අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙත යවා ඇති අතර, එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසු එය ‘කුඩු නෝනි’ නැමැති කාන්තාව විසින් එවූ බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී ඇයගේ කඩුවෙල ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ තිබී කූරියර් සේවාවකින් ප්‍රවාහනය කිරීමට නියමිතව තිබූ හෙරොයින් ග්‍රෑම් 56 ක්ද හමු වූ බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි කාන්තාවක්. ඇය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේ නියෝගයක් ලබාගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

(13.07.2021 – 07:10 +0530 – hirunews.lk/sinhala)

එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් කටාර් රාජ්‍යයෙන් පිටුවහල් කර මුලතිව් – මුල්ලියාවලෙයි නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ක නිරෝධායනයට ලක් කර සිටි 41 හැවිරිදි සැකකරුවෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2019 වර්ෂයේදී ශ්‍රී ලංකාවෙන් කටාර් රාජ්‍යය වෙත පළාගොස් සිටි සැකකරු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

******************************************

(13.07.2021 – 10:12 +0530 – hirunews.lk/sinhala)

කන්තලේ – පේරාරු ප්‍රදේශයේදී සිය කුඩා බිළිඳිය ඝාතනය කර පිලිස්සූ මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අනියම් සබඳතාවයකින් බිහිවීම හේතුවෙන් මෙලෙස මෙම බිළිඳිය ඝාතනයට කරන්නට ඇති බවයි.

ඇගේ සැමියා මැදපෙරදිග සේවය කරන අයෙකු බවට මූලික පරීක්ෂණ වලදී තොරතුරු අනාවරණ වී තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව කන්තලේ පේරාරු ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තිදරු මවක්.

******************************************

(13.07.2021 – 10:53 +0530 – hirunews.lk/sinhala)

කාබනික පොහොර නිෂ්පාදනය කර තම ගොවිතැන්වලට භාවිත කරන ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 12,500 බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 2 ක් නොඉක්මවන පරිදි දිරි දීමනාවක් ගෙවීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින්.

2021 – 2022 මහ කන්නය වෙනුවෙන් හෙක්ටයාර අට ලක්ෂයක (8,00,000) පමණ වී වගාව සඳහා වන කාබනික පොහොර අවශ්‍යතාව සලසා ගැනීමේ වැඩපිළිවෙල යටතේ මෙම පියවර ගැනෙනවා ෴

@@@@@@@@@@@@@@@@@

(13.07.2021 – 06:39 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ගත වූ පැය 24 ක කාලය තුල පුද්ගයින් 224 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව මේ දක්වා කාලය තුල එම නීතිය උල්ලන්ඝයන කිරීම හේතුවෙන් පුද්ගලයින් 49,643 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

++++++++++++++++++++++++

(13.07.2021 – 06:45 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, ගම්පහ සහ මඩකලපුව දිස්ත්‍රික්කවල හුදෙකලාභාවයට පත්කර තිබූ ප්‍රදේශ කිහිපයක හුදෙකලාභාවය අද (13) උදෑසන හයේ (06:00) සිට ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ සිංහපුර ග්‍රාම නිලධාරී වසමේ හුදෙකලාභාවය ඉවත් කළ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බල ප්‍රදේශයේ හැඳල උතුර ග්‍රාම නිලධාරී වසමේ ඕලන්ද ගම්මානය සහ රබර්වත්ත ගම්මානයද හුදෙකලාබවින් ඉවත් කර තිබෙනවා.

ඊට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ මන්ජන්තෝඩුවායි උතුර ග්‍රාම නිලධාරී වසම සහ මන්ජන්තෝඩුවායි දකුණ ග්‍රාම නිලධාරී වසමේ ජින්නා පාරද හුදෙකලාභාවය ඉවත් කළ ප්‍රදේශවලට අයත්.

+++++++++++++++++++++++

(13.07.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා අසාදිතයින් 1,568 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 2,76,106 ක් ලෙසයි.

ඊයේ (12) වාර්තා වූ ආසාදිතයින් අතරින් 1,488 දෙනෙකු අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආසාදිතයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

විදේශයන්හි සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් 80 දෙනෙකුද ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා.

ඊයේ (12) දිනයේදි ආසාදිතයින් 1,804 දෙනෙකු සුවය ලැබු අතර මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ දෙලක්ෂ හතලිස් හය දහස් දෙසිය හතලිස් එකක් (2,46,241) ලෙසයි.

එසේම, පසුගිය 11 වැනිදා සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 31 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (12) පස්වරුවේ තහවුරු කළා.

කාන්තාවන් 15 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අවුරුදු 30 ත්, 59 ත් අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 05 ක්.

එසේම, අවුරුදු 60 ඉක්ම වූ පුද්ගල මරණ සංඛ්‍යාව 26 ක් ලෙසයි දැක්වෙන්නේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 3,533 ක් දක්වා ඉහළ යනවා.

මේ අතර, කොරෝනා එන්නත්කරණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව හා ක්‍රමවත්ව සිදුකිරීමේ අරමුණින් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වී එන්නත් ලබාගැනීමේ අවස්ථාවට මේ වනවිට ජනතාවට හිමිව තිබෙනවා ෴

++++++++++++++++++++++

(13.07.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහනට අදාළව දිනක් තුළදී ලබාදුන් වැඩිම එන්නත් මාත්‍රා සංඛ්‍යාව ඊයේ (12) දිනයේදී ලබාදී තිබෙනවා.

ඒ අනුව එන්නත් මාත්‍රා 2,32,526 ක් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා. එහිදී සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 1,73,988 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 40,276 ක්.

එසේම, ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව ඊයේ (12) පුද්ගලයින් 13,357 දෙනෙකුට ලබාදී තිබෙනවා. ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 4,725 දෙනෙකුට ලබාදී ඇති අතර, කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාවද ඊයේ (12) පුද්ගලයින් 180 දෙනෙකුට ලබාදීමටයි කටයුතු කර ඇත්තේ ෴

+++++++++++++++++++++++++

(13.07.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala)

කොතලාවල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතා දැක්වීමේදී නිරෝධායන නීති කඩකළ බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කිරීම ඇතුළු ගැටලු කිහිපයකට එරෙහිව ගුරු වෘත්තිය සමිති ඊයේ (12) ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව ඔවුන් අද (13) දිනයේදීත් ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් බැහැරව සිටිනු ඇති.

ඊයේ (12) ආරම්භ කළ එම ක්‍රියා මාර්ගයට ගුරු සංගම් 14 ක් පමණ එක්ව සිටිනවා.

මේ හේතුවෙන් ඔන්ලයින් අධ්‍යාපන කටයුතු මෙන්ම, උසස් පෙළ අයදුම් කිරීමේ කටයුතු වලට ද බාධා එල්ල වුණා.

++++++++++++++++++++++++++

(13.07.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

බැංකු පද්ධතියේ බිඳ වැටීමක් සිදු විය හැකි බවට පළවන වාර්තා සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහි අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ වාණිජ බැංකු ශක්තිමත් පදනමක පිහිටා ඇති බවයි.

එම බැංකු සම්බන්ධයෙන් නිරන්තරයෙන් අධික්ෂණය කරන බව ද මහබැංකු අධිපතිවරයා සඳහන් කළා.

මහ බැංකුව පසුගියදා තීරණය කළේ දැනට පවතින ප්‍රතිපත්ති පොලි අනුපාතික ස්ථාවරව තවදුරටත් පවත්වා ගැනීමටයි.

මේ වසරේ පළමු (1) කාර්තුව තුළ අපේක්ෂිත මට්ටමට වඩා වැඩි වර්ධනයක් ශ්‍රී ලංකා ආර්ථිකය පෙන්නුම් කර ඇති බව ද එමඟින් සඳහන් කළා.

එන්නත්කරණ ක්‍රියාවලිය සහ සංචරණ සීමා ඉවත් කිරිම මගින් කොරෝනා රැල්ල නිසා ඇති වු ආර්ථිකමය බලපෑම අඩුවනු ඇති බව මහ බැංකුවේ අදහසයි. ඉදිරි කාලය තුළ විදේශිය අංශය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇති බව ද එමඟින් ප්‍රකාශ කර තිබුණා.

මේ සම්බන්ධයෙන් අප මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ගෙන්ද විමසා සිටියා.

එහිදී ඔහු කියා සිටියේ පවතින තත්ත්වයන් කළමණාකරණය කර ගනිමින් බැංකු පද්ධතියේ ශක්තිමත් භාවය සඳහා අවශ්‍ය සියලු පියවර දැනටමත් ගෙන ඇති බවයි ෴

+++++++++++++++++++++++

(13.07.2021 – 09:32 +0530 – hirunews.lk/sinhala)

කොව්ඩි මර්ධනය සඳහා එන්නත් කරන වැඩ පිළිවෙල යටතේ අද (13) දිනය තුලදී දිස්ත්‍රික්ක 20 ක මධ්‍යස්ථාන 24 ක් එන්නත්කරණය සිදුවෙනවා.

මේ සෑම එන්නත්කරණ මධ්‍යස්ථානයක් තුළම උදෑසන 08:30 සිට සවස 04:30 දක්වා අදාළ ප්‍රදේශ තුළ පදිංචි පුද්ගලයින් හට එන්නත් ලබා ගැනීමේ පහසුකම ලබා ගත හැකියි.

දිස්ත්‍රික්ක අනුව එන්නත් ලබා ගත හැකි සම්පූර්ණ ලැයිස්තුව පහළින් :

8 – 9 – 10 ?

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *