ඔන්ලයින් ගුරු වර්ජනය තවමත් – දුමින්ද නාගමුවගේ බිරිඳ උසාවි යයි

ඔන්ලයින් ගුරු වර්ජනය තවමත් – දුමින්ද නාගමුවගේ බිරිඳ උසාවි යයි

*********************************************

ඔන්ලයින් ගුරු වර්ජනය තවමත් – දුමින්ද නාගමුවගේ බිරිඳ උසාවි යයි

(12.07.2021 – 19:34 +0530 – hirunews.lk/sinhala)

පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔහුගේ බිරිඳ අභියාචනාධිකරණය හමුවේ හබයාස්කෝපුස් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ පොලිස්පතිවරයා, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා, පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානය භාරව කටයුතු කරන ස්ථානාධිපතිවරයා සහ නීතිපතිවරයායි.

කොවිඩ් ආසාදිතයෙකුගේ ළඟම ආශ්‍රිතයා නිවස තුල නිරෝධායනයට ලක් කරන ලෙස සෞඛ්‍ය බලධාරින් නිර්දේශ නිකුත් කර තිබියදී උද්ඝෝෂණයට සහභාගි වීම හේතුකරගෙන තම සැමියා බලහත්කාරි ලෙස නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට පොලීසිය ගත් පියවර නීතියට පටහැනි බවයි, ඇය එම පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව තම සැමියා වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටත් පෙත්සම්කාර පාර්ශවය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එසේම, අත්අඩංගුවට ගෙන පසුව නිරෝධායනයට යොමු කෙරුණු ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් වහාම මුදා හරින ලෙස මෙන්ම, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා කොළඹ ලිප්ටන් වටරවුමේදී අද (12) විරෝධතාවක් පැවැත්වුණා.

එය සංවිධානය කර තිබුණේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයට අනුබද්ධ සංවිධාන කිහිපයක් විසින්.

මේ අතර, අද (12) ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක සාර්ථක බව ගුරු සංගම් පවසනවා.

කොළඹ අද (12) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේ පාර්ශව කිහිපයක් සිය වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කර ඇති බවයි.

ගුරුවරුන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළේ කොතලාවල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතා දැක්වීමේදී නිරෝධායන නීති කඩකළ බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කිරීමට එරෙහිවයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ගුරු සංගම් 14 ක් එක්ව සිටින අතර, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් උසස් පෙළ විභාගයට අයදුම් කිරීමේ කටයුතු වලට ද බාධා එල්ල වුණා.

+++++++++++++++++++

(12.07.2021 – 17:19 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයට ශ්‍රී ලංකාව දක්වන ප්‍රතිචාරයට සහයක් වශයෙන් මෙරට රෝහල් වල දැඩි සත්කාර ඒකකවලට අවශ්‍ය උපකරණ රැසක් යුනිසෙෆ් සංවිධානය විසින් අද (12) පරිත්‍යාග කරනු ලැබුවා.

වෙන්ටිලේටර්, නෙබියුලයිසර්, මල්පැරා මොනිටර් සහ පල්ස් ඔක්සි මීටර් ඇතුළු එම උපකරණ තොගය මෙරට යුනිසෙෆ් නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් සහ ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී තිබෙනවා.

කොරෝනා වසංගතය හමුවේ විශේෂයෙන් ළමයින්, කාන්තාවන් ඇතුළු අවදානම් කාණ්ඩවලට අත්‍යාවශ්‍ය සෞඛ්‍යාරක්ෂක උපකරණ සැපයීමට යුනිසෙෆ් සංවිධානය අඛන්ඩව කටයුතු කර ඇති බවයි එහි ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් එහිදී ප්‍රකාශ කළේ.

ඩොලර් මිලියනයකට අධික වටිනාකමෙන් යුත් මෙම උපකරණ ශ්‍රී ලංකාවට ලබාදීමට අනුග්‍රහය දක්වා ඇත්තේ කැනඩා රජයයි.

++++++++++++++++++++++

(12.07.2021 – 19:13 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා අසාදිත මරණ 31 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

එම මරණ ඊයේ (11) සිදුවූ කොරෝනා ආසාදිත මරණ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.

මියගිය පුද්ගලයන්ගේ වැඩිදුර තොරතුරු පහතින් :

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ගෙන් 60% කට වැඩි සංඛ්‍යාවකට මේ වනවිට කොරෝනා මර්දන එන්නත් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මේ අතර, අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් අනිද්දා සිට පළාත් අතර සීමිත බස් රථ සහ දුම්රිය සංඛ්‍යාවක් යෙදවීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියා.

පළාත් අතර සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් මේ දක්වා පළාත තුළ පමණක් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වුණා.

කෙසේ වෙතත්, මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා පැමිණෙන්නන් සඳහා මෙලෙස අනිද්දා (14) සිට සීමිත අන්තර් පළාත් බස් රථ සහ දුම්රිය සේවා යෙදවීමට බලාපොරොත්තු වන බවයි.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වනවිට එන්නත් මාත්‍රා මිලියන 05 කට අධික සංඛ්‍යාවක් ලබාදී ඇති බව කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළා.

එහිදී අදහස් දැක්වූ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා කියා සිටියේ ලැම්ඩා විකෘති ප්‍රභේදය පිළිබඳව අනිසි බියක් ඇතිකරගත යුතු නොවන බවයි.

අද (12) දිනයේදී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් කොරෝනා ආසාදිතයින් 1,804 දෙනෙකු රෝහල්වලින් පිටව ගිය අතර, ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2,46,241 ක්.

මේ අතර, වැලිකඩ පොලිස් බල ප්‍රදේශයේ ඔබේසේකරපුර ග්‍රාම නිලධාරි වසම අද (12) පස්වරු 02:30 සිට හුදකලා බවින් නිදහස් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

අද (12) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 568 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද (12) දිනය තුල මෙතෙක් හමු වූ මුළු ආසාදිතයින් ගණන 1,488 ක් වනවා ෴

++++++++++

@@@@@@@@@@@@@@@@

(12.07.2021 – 17:41 +0530 – hirunews.lk/sinhala)

පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර ඇතුළු සැකකරුවන් 5 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.

රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 5 ක් මත හලාවත මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුවන් මුදා හැර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

හලාවත – සේදවත්ත ප්‍රදේශයේදී ඊයේ (11) රාත්‍රී 8 ට පමණ හලාවත නගර සභාවේ සභාපතිවරයා ඇතුළු ආධාරකරුවන් පිරිසක් සහ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ආධාරකරුවන් පිරිසක් අතර මෙම ගැටුම ඇතිව තිබුණා.

ඊට හේතුවී තිබුණේ ප්‍රදේශයේ මත්ස්‍ය ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී නගරාධිපතිවරයාගේ ආධාරකරුවෙකු එහි ගැටී තුවාල ලැබූ සිද්ධියක්.

පසුව ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් ගැටුමක් ඇති වූ අතර, එහිදී තුවාල වූ පුද්ගලයන් 5 දෙනෙකු ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා.

ඉන් අනතුරුවයි, සිද්ධිය සම්බන්ධයෙන් හලාවත නගර සභාවේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකරගේ පුත් තුෂාන් අබේසේකර ඇතුළු ඔහුගේ ආධාරකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ.

පසුව මෙම සැකකරුවන් පිරිස හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර, අධිකරණයේදී සිද්ධිය සමතයකට පත් කර ගැනීමට දෙපාර්ශවයම එකඟතාව පළ කර තිබෙනවා.

විත්ති පාර්ශවයට ඇප ලබාදීමට විරෝධයක් නොදක්වන බවයි පැමිණිලි පාර්ශවය අධිකරණයට එහිදී දැනුම් දී ඇත්තේ.

******************************************

(12.07.2021 – 19:13 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය – කුට්ටිගල – කච්චිගල ප්‍රදේශයේදී ගබ්සාවක් සිදුකර ගත් කාන්තාවක් අධික රුධිර වහනයකින් සැක සහිත ලෙස මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ ඇඹිලිපිටිය රෝහල මගින් පොලීසියට කල දැනුම් දීමකට අනුවයි.

පසුගිය 10 වනදා අදාළ කාන්තාව මිය ගොස් ඇති අතර රෝහල දැනුම් දී ඇත්තේ එය සැක සහිත බැවින් මරණ පරීක්ෂණයට මෘත දේහය ඡේදනය කිරීම සඳහා අධිකරණ නියෝගයක් අවශ්‍ය බවටයි.

ඒ අනුව සිදු කල මූලික විමර්ශන වලදී අදාල කාන්තාවගේ නිවසේ පිටුපස වළ දමා තිබූ නොමේරු ළදරු කළලයක් සොයා ගෙන තිබෙනවා.

ඒ අනුව, අදාල කළලය සහ කාන්තාවගේ මෘත දේහය අද (12) මරණ පරීක්ෂණය සඳහා යොමු කළ බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ ඇඹිලිපිටිය – කුට්ටිගල – කච්චිගල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි දෙදරු මවක් වන අතර ඇගේ කුඩාම දරුවාගේ වයස මාස 7 ක්.

අදාළ කාන්තාවගේ සැමියා කොරෝනා මර්ධන එන්නත ලබා ගැනීම සඳහා නිවසින් බැහැරට ගොස් සිටි අවස්ථාවේදී සිද්ධිය සිදුව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

මෙම කාන්තාව ගබ්සාව සිදු කර ගැනීම සඳහා ලබා ගත් ඖෂධයක් හේතුවෙන් සිද්ධිය සිදුව ඇති බවටයි සැක පල කෙරෙන්නේ ෴

******************************************

(12.07.2021 – 19:17 +0530 – hirunews.lk/sinhala)

විවිධ පාර්ශවයන් තමා සම්බන්ධයෙන් කුමක් ප්‍රකාශ සිදු කලද තම වැඩ කටයුතු වෙනස් කිරීමට සූදානමක් නොමැති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

පිවිතුරු හෙළ උරුම පක්ෂ කාර්යාලයේදී අද (12) මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ට එරෙහිව එන්තරවාසියක් යොමු කරමින් ඉල්ලා සිටි රුපියල් මිලියන 500 ක වන්දිය සඳහා ලබා දී තිබූ කාලය ද හෙටින් (13) අවසන් වන බවයි.

++++++++++

******************************************

(12.07.2021 – 19:23 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර නීතිඥ සමාගමක සහය ලබා ගැනීමට තීරණය කර ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ එයින් සිදුවූ හානිය හා ඊට අදාළ වන්දි ලබා ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදාලව පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව අධිකරණ අමාත්‍යාංශයේදී අද (12) රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

කොළඹ වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේදී ගිනිගෙන මුහුදුබත් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් ඇති වූ බලපෑම මත බටහිර වෙරළ තීරයේ ධීවර ජනතාවට මෙන්ම, සමුද්‍ර ජීවින්ට හා වෙරළ තීරයට ද දැඩි බලපෑම් එල්ල වුණා.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව අද (12) රැස්වූ අතර, ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම, සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද එක්ව සිටියා.

මේ අතර, වානිජ නෞකාවකට තෙල් සපයමින් සිටියදී හම්බන්තොට වරායේ ඇති වූ තෙල් කාන්දුවක් කඩිනමින් පාලනය කිරීමට සියලු පියවර ගෙන ඇති බව එහි ප්‍රධාන විධායක රවී ජයවික්‍රම මහතා ප්‍රකාශ කළා.

තෙල් බත්තලක් මගින් නෞකාවට ඉන්ධන සැපයීමේදී ඊයේ (11) පස්වරු 6 ට පමණ ඇති වූ මෙම සිද්ධිය පිලිබඳව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත ද දැනුම් දී තිබෙනවා.

තෙල් කාන්දුව වැළැක්වීම සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර, හදිසි ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාවට නැංවීමෙන් එය පැතිරීම වළක්වා සමුද්‍ර දූෂණය අවම කිරීමට පියවර ගැණුනා.

වරාය අවට මුහුදේ තිබෙන තෙල් පැල්ලම ඉවත් කිරීමේ මෙහෙයුම ඉදිරි දින කිහිපය තුල අවසන් කිරීමට හැකිවනු ඇතැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි රවී ජයවික්‍රම මහතා කියා සිටියා.

******************************************

(12.07.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකා එක්සත් ජනපද රජයේ සංවර්ධන මූල්‍ය ආයතනය වන ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව මගින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක මූල්‍යාධාරයක් ලබා දී තිබෙනවා.

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට රුකුල්දීම, පෞද්ගලික අංශයේ ආයෝජන ශක්තිමත් කිරීම සහ කාන්තා ව්‍යවසායකයන්ට සහය දීම එහි අරමුණයි.

ඩී.එෆ්.සී.සී. බැංකුව හරහා ලබා දෙන ඩොලර් මිලියන 150 ක එම මූල්‍යාධාරය, ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව මෙතෙක් ශ්‍රී ලංකාවට ලබා දුන් විශාලතම මුදලයි ෴

******************************************

(12.07.2021 – 20:57 +0530 – hirunews.lk/sinhala)

පොල් ගෙඩි අසූවක් (80) සොරාගැනීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවකුට රුපියල් 1500 ක දඩයක් නියම කර තිබෙනවා.

සැකකරු මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කේසර සි .ඒ. සමරදිවාකර මහතා හමුවට අද (12) ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය ලබාදුන්නා.

සැකකරු විසින් කොටදෙණියාව ඇත්ගාල පාරේ පිහිටි ලුණු මිදෙල්ල වතුයායෙන් පොල් ගෙඩි අසූවක් (80) සොරාගැනීමේ චෝදනාවටයි අත්අඩංගුවට ගනු ලැබුවේ.

කොටදෙනියාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන පසුගිය 01 වෙනිදා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබුණා.

ඇප මත මුදා හැර තිබූ විත්තිකරුට විරුද්ධව කොටදෙනියාව පොලීසිය මගින් අධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව විත්තිකරු චෝදනාවන්ට වරද පිළිගැනීමෙන් අනතුරුව මෙසේ දඩ නියම කෙරුණා ෴

******************************************

(12.07.2021 – 21:21 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර හිමියන් අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

එහිදී මාධ්‍යවෙත අදහස් දැක්වූ පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර හිමියන් :

******************************************

(12.07.2021 – 21:42 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – මහනුවර මාර්ගයේ කටුගස්තොට ආසන්නයේ 5-මහල් ගොඩනැගිල්ලක් ගිලාබැසීම නිසා, එම මාර්ගයේ බර වාහන ධාවනය නතර කර ඇති අතර, සෙසු වාහන ධාවනය සිමා කර තිබේ ෴

******************************************

එම්.සී.සී., ඇක්සා සහ සෝෆා පෙත්සම් ගැන අධිකරණය ගත් තීරණය

(12.07.2021 – 16:58 +0530 – sinhala.adaderana.lk)

‘එම්.සී.සී, ඇක්සා සහ සෝෆා’ ගිවිසුම් අත්සන් කිරීම වැළැක්වීමේ නියෝගයක් රජය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් බහා තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයකර තිබේ.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (12) බුවනෙක අලුවිහාරේ, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවා තිබුණි.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ එම්.සී.සී ගිවිසුම හා ඇක්සා ගිවිසුම සම්බන්ධයෙන් පැවති ගැටලුකාරි තත්ත්වය මේ වනවිට නිරාකරණය වී ඇති බවය.

එහෙත් ‘සෝෆා’ ගිවිසුම අත්සන් නොකරන බවට මේ දක්වා රජයෙන් සහතිකයක් ලැබී නොමැති බව ඔහු පැවසීය.

කෙසේවෙතත්, මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ ‘සෝෆා’ ගිවිසුම පිළිබඳව 2019 න් පසුව ශ්‍රී ලංකාව සහ ඇමරිකානු පාර්ශ්වයන් අතර කිසිදු කරුණු හුවමාරුවීමක් සිදුව නොමැති බවය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *