විහාරාධිපතිගේ බිල්ලට නතු වන අභයගිරිය ලෝක උරුමයෙන් ඉවතට

විහාරාධිපතිගේ බිල්ලට නතු වන අභයගිරිය ලෝක උරුමයෙන් ඉවතට

*********************************************

විහාරාධිපතිගේ බිල්ලට නතු වන අභයගිරිය ලෝක උරුමයෙන් ඉවතට

(11.07.2021 – colombotoday.com)

අභයගිරි විහාරය තනන ලද්දේ වලගම්බා රජු විසින් ක‍්‍රිස්තු පූර්ව දෙවන සියවසේය. දාගැබ භූමියේ එවකට වූයේ නිගණ්ඨාරාමයක් වන අතර වලගම්බා රජු අනුරාධපූරය හැරයන නිමේෂයේ ගිරි නිඝන්ටයා ‘මහ කළු සිංහයා පලා යතැ’ යි හඬගා කීය. වලගම්බා රජ දෙවන වර රාජ්‍යත්වයට පත්වූ අවස්ථාවෙහි ගිරි නිඝන්ඨාරාමය විද්වංශනය කළ හෙතෙම එතැන අභයගිරි දාගැබ ඉදි කළේය. එම දාගැබත් ඊට අයත් සංඝාරාමයත් නම් කරන ලද්දේ තමාගේත් ගිරි නිඝණ්ඨයාගේත් දෙනම් එක් කොටය. මෙම දාගැබෙහි ධාතුඝරයෙහි තැන්පත් කළ යමක් ගැන වංශකතාවන්හි කිසිවක් සඳහන් නොවෙයි. එහි බුදුන් වහන්සේගේ ධාතු තැන්පත් කළේ නම් ඒ බව වංශකථාවන්හි හෝ සෙල් ලිපිවල සඳහන් නොවී තිබීමට කිසිදු හේතුවක් නැත. මේ හේතුව මතම ද්‍රෝණයක් ධාතූන් තැන්පත් කරන ලද රුවන්වැලි සෑයට මෙය කිසිදු ලෙසකින් සැසඳිය හැකි නොවේ. රුවන්වැලි සෑය බෞද්ධ සැදැහැවතුන්ගේ අපරිමිත ගෞරවාදරයට පාත‍්‍රව ඇත්තේ එම හේතුව නිසාය. ඊට ලැබෙන ගෞරවය අභයගිරිය දාගැබට දිනාගැනීමට නොහැකි වන්නේ එකී හේතුව නිසාය.

තවත් අතෙකින් ගත් කල අභයගිරිය යනු ධර්මරුචි භික්ෂූන් වහන්සේලාගේ මූලස්ථානයයි. ධර්මරුචි නිකාය යනු මහායාන අදහස් දැරූ භික්ෂූන්ගේ මූලස්ථානයයි. සාමාන්‍යයෙන් එම නිකායට අයත් විහාරයන්හි දාගැබ්භි තැන්පත් කරන්නට ඇත්තේ ප‍්‍රඥා පාරමිතාව ලියැවුණු ධර්ම ග‍්‍රන්ථ වීමට ඉඩ තිබේ යැයි සිතිය හැක්කේ එම පාරමිතාව ලියැවුණු රන් පත්තිරු හතක් කැණීම්වලින් සොයා ගැනීම නිසාය. මහායානිකයන් ක‍්‍රිස්තු වර්ෂ පහ සියවසේදී චේතිය ගිරි හෙවත් මිහින්තලේ බලය අත්පත් කර ගත් පසු තැනූ බැව් නිසැක ඉදිකටුසෑයේ මහායාන ධර්ම පාඨ අඩංගු තඹ පත්තිරු රාශියක් සොයා ගැනීම් මගින්ද මහායානික දාගැබ්හි මහායාන සූත‍්‍රයන් තැන්පත් කිරීමේ පුරුද්ද කැපී පෙනෙයි.

අභයගිරිය යනු අනුරාධපුර ලෝක උරුම නගරයේ කැපී පෙනෙන ස්මාරකයකි. තවද එය පැරණි ලෝකයේ දෙවන උසැතිම ගඩොල් නිර්මාණය ද වන්නේය. ලොව උසැතිම ගඩොල් ගොඩනැගිල්ල වන්නේ ද ජේතවනය දාගැබය. එය එකල අඩි 400 ක් උසැති විය. මේ අනුව ලොව උසැතිම ගොඩනැගිලි දෙකෙහිම උරුමක්කාරයන් වන්නේ අපය; හෙට උපදින දරුවන් ය. එහෙත් අවාසනාවට මෙම ලෝක උරුම ස්මාරක ලෝක උරුම ලැයිස්තුවෙන් ගිලිහී යෑමේ අවදානමක් දැන් දැන් උදාවෙමින් තිබෙන්නේය. එම අහිමිවීමට මුහුණ දෙන්නේ අභයගිරියේ නව විහාරයෙහි වත්මන් භික්ෂුව හෝ අමාත්‍යවරයා නොවේ; රටමය; උපනූපන් පරපුරය. අගනුවරට නුදුරු කෝට්ටේ පැරණි නගරයේ කබොක් ගල් ගනිමින් ඇවිදිනවාට වඩා වගකීමක් අමාත්‍යවරයාගේ කර මත ඇත්තේය. එම වගකීම ඔහු අතින් ඉටු වන්නේද යන්න බලා සිටීම ජනතාවගේ වගකීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය වන්නේය.

අභයගිරිය විහාරයේ පෞරාණිකත්වය මේ වනවිට බරපතල අවදානමකට හා අර්බුදයකට මුහුණපා ඇත්තේය. එහි සුදු හුණු තවරන ලෙස මුලින්ම යෝජනා කරන ලද්දේ වත්මන් විහාරාධිපති ය. ඊට නිසි අවසරය පුරාවිද්‍යා උපදේශක සභාව විසින් ලබා නොදුන් අතර ඔවුන් අග‍්‍රාමාත්‍යතුමන්ට පෙන්වාදෙන ලද්දේ එය හුණු පිරියම් කළහොත් අනුරාධපුර නගරය ලෝක උරුම ලැයිස්තුවෙන් ගිලිහීයෑමේ අවදානමක් උද්ගත විය හැකි බවය. තවද එවැනි තීරණයක් ගතහොත් දාගැබ යට පටන් ඉහළ දක්වාම ගඩොල් ගලවා ඉවත් කිරීමට සිදුවන්නේ අභයගිරි දාගැබ බුබ්බුලාකාරව තනා නොමැති වීම නිසාය. සිදු කරන ලද්දේ එවකට තිබූ ගර්භයට ආධාරක ගඩොල් ස්ථර කිහිපයක් යොදා දාගැබ සවිමත් කිරීමය. එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා උපදේශක සභාවට නම්‍යශීලීව ඇහුම්කන්දීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත විය යුතුය. අභයගිරි දාගැබට වින කටින හස්තයන් දැන් නැවත ක‍්‍රියාත්මක වෙමින් තිබේ. මෙහි පළමු පියවර ලෙස අනුරාධපුරයේ පුරාවස්තු වැනසීමේ සෑම ව්‍යායාමයකදීම ඊට එරෙහිව හඬ නැගූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරිය ව්‍යාපෘති අධ්‍යක්ෂ සම්මානිත මහාචාර්ය ටී. ජී. කුලතුංගයන් මේ වන විට ඉවත් කර අවසානය. පුරාවස්තු වැනසුමට එරෙහිව නිති හඬ නැගූ ප‍්‍රධාන බලවේගයට අනුරාධපුරයේ භික්ෂු බලවේග අනලස්ව ක‍්‍රියාකර ඔවුහු ජයග‍්‍රහණය අත් කරගෙන සිටී. දැන් රිසි සේ උන්වහන්සේලාට කටයුතු කිරීමේ මග විවරව ඇත. එතුමා පුරාවිද්‍යා ක්ෂේත‍්‍රයේ ජ්‍යෙෂ්ඨතම විද්වතා වනු මතු නොව ක්ෂේත‍්‍ර කටයුතු පිළිබඳ දීර්ඝතම අත්දැකීම් ඇති විද්වතාද වන්නේය.

අභයගිරි දාගැබේ පෞරාණිකත්වය නැසෙන පරිදි එහි දොරටුවක් අරා අශෝභන මකර තොරණක් තැනීමේ කාර්ය භාරය මේ වනවිට ලහි ලහියේ සිදුකෙරෙමින් පවතී. වාර්තා වන ආකාරයට දෙපාර්තමේන්තුව විසින් අවසර දී ඇත්තේ බල්ලන් ඇතුළුවීම වැළැක්වීමට ගේට්ටුවක් තැනීම සඳහාය. තවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව පුරාවිද්‍යා ඉඩමක අනවසර ඉදිකිරීමක් සිදු කිරීමට කිසිවකුට නොපිළිවන. එය 1988 අංක 24 දරන පුරාවස්තු ආඥාපනතේ අංක 15 ඈ වගන්තිය යටතේ ඇප නොදෙන බරපතල වරදකි. නිලධාරීන්ට දෙස් දෙවොල් තැබීම නිමේශයකට නවතා වහාම මේ සම්බන්ධයෙන් ක‍්‍රියා කර ආඥාපනතේ විධිවිධාන ක‍්‍රියාවට නැගීම අමාත්‍යවරයාගේ වගකීම වන්නේය. අපි එසේ වන්නේදැයි උපේක්ෂාවෙන් බලා සිටින්නෙමු.

දාගැබේ සිවුපස අශෝභන බුද්ධ ප‍්‍රතිමා සතරක් තැබීමේ ව්‍යායාමය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත අත් හිටු වුණි. ලෝක උරුමය වළපල්ලට ගියද සම්මාදම් මඩිය තරකර ගැනීම මෙහි එකම අරමුණ බව දැන් පැහැදිලිය. මීළඟ නිසැක කාර්ය වන්නේ සම්මාදම් වැඩි කර ගැනීමේ එම ජුගුප්සාජනක පියවරට විහාරාධිපති විසින් පිඹුරුපත් සැකසීමය. එය රජ කලදී මෙන් නැවතත් නිගණ්ඨාරාමයක් බවට පත්වීම මෙහි අවසන් ප‍්‍රතිපලය විය හැකිය. මේ සම්බන්ධයෙන් ලෝක උරුම මධ්‍යස්ථානය දැනුවත් කොට සංදේශයක් ඉදිරිපත් කිරීමට මා ඇතුළු කණ්ඩායමක් මේ වනවිට කටයුතු කරමින් සිටින බවද මෙහිලා සිහිපත් කළ යුතුය.

ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

******************************************

කොකාවිල් සටනේ 31 වැනි විරු සැමරුම අදයි

(11.07.2021 – 13:16 +0530 – sinhala.adaderana.lk)

කොකාවිල් කඳවුර කොටි ත්‍රස්තවාදීන්ට අත්පත් වීමට ඉඩ නොදී ත්‍රස්තවාදීන් සමඟ දිවි පූජා කළ වීරෝධාර රණවිරුවන්ගේ කොකාවිල් සටනේ 31 වැනි විරු සැමරුම අදයි.

1982 වර්ෂයේදී කොකාවිල් කුළුණ ස්ථාපිත කළේ උතුරේ ජනතාවට සිව්දෙස තොරතුරු දැනගැනීම සඳහා ය.

[The Map]

පසුව උතුරේ ආරම්භ වූ කුරිරු යුද්ධයත් සමඟ කොකාවිල් කුළුණ 1990 වසරේ අද වැනි දිනක (ජූලි 11) කොටි ත්‍රස්තවාදීන් විසින් තම ග්‍රහණයට යටත් කරගනී.

එහිදී කපිතාන් සාලිය අලදෙණිය මහතා ප්‍රමුඛ විරෝධාර යුද හමුදා සෙබළුන් 54 ක් හා සිවිල් සේවකයන් සිව්දෙනෙකු (4) කඳවුර අතහැර පළා ඒමට උපදෙස් ලැබීඇති පසුබිමකත් බිහිසුණු සටනක යෙදෙන්නේ තම අභිත බව පෙන්නුම් කරමිනි.

දින 26ක් පුරා අඛණ්ඩ සටනක ඔවුන් යෙදුණත් ආහාර හා උණ්ඩ හිඟයක් ඇති වුවද කපිතාන් සාලිය අලදෙණිය මහතා ඇතුළු සියලු රණවිරුවන් පසු නොබැස අවසන් මොහොත දක්වා ජීවිත පරිත්‍යාග කිරීමට තීරණය කරනු ලබයි.

ඒ අනුව මීට වසර 31 කට පෙර අද වැනි දිනක කොකාවිල් කුළුණ ත්‍රස්තවාදීන් අතට පත්වන්නේ සියලු රණවිරුවන් ජීවිත පූජා කළ සටනකින් පසුවය.

අනතුරුව ත්‍රස්තයන් වසර 18 ක කාලයක් කොටිහඬ ගුවන් විදුලියේ සම්‍ප්‍රේෂණ කටයුතු සඳහා කුළුණ භාවිත කරයි.

ඉන් පසුව සිව්වැනි (4) ඊලාම් යුද්ධයේදී වීරෝධාර රණවිරුවන් 2008 වසරේ දෙසැම්බර් මස පළමුවැනිදා එය ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදාගනු ලබයි.

මින් වසර 31 ට පෙර කොකාවිල් සටනේදී මාතෘ භූමිය වෙනුවෙන් කපිතාන් සාලිය අලදෙණිය මහතා තම සහෝදර සෙබළු අත නොහැර මරණය දක්වා කොටි ත්‍රස්තවාදීන් සමග සටන් කළ වීර ක්‍රියාව නිසා මෙරට පළමු පරම වීර විභූෂණ පදක්කම පසුකලක ඩි.බී විජේතුංග ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබයි.

මේ අතර කොකාවිල් හිදී දිවිපිදු කපිතාන් සාලිය අලදෙණිය මහතා ඇතුළු රණවිරුවන් 64 දෙනා සිහි කිරීම සඳහා ඉදිකළ රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වීම අද (11) පස්වරුවේ සිදුකෙරුණි.

ඒ වන්නි ආඥාපති මේජර් ජෙනරාල් ඩී.එම්.එච්.ඩී. බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙනි.

++++++++

******************************************

පොළොන්නරුව – හබරණ මාර්ගයේ සිදුවු බිහිසුණු අනතුර

(11.07.2021 – 09:50 +0530 – sinhala.adaderana.lk)

පොළොන්නරුව – හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය ප්‍රදේශයේ දී අද (11) උදෑසන 6 ට පමණ බිහිසුණු රිය අනතුරක් සිදුව තිබේ.

පුත්තලම සිට මඩකලපුව ඔට්ටමාවඩි දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල වූ ගසක වැදීමෙන් අනතුර සිදුව ඇති අතර ඉන් මෝටර් රථයේ ගමන් ගත් සිව්දෙනෙකු (4) තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරින් තුවාල ලබා ඇත්තේ පුත්තලම, මනල්ගුණ්ඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින්ය.

අනතුරින් තුවාල ලැබු එක් (1) අයෙකුගේ තත්ත්වය බරපතළ වන අතර ඔහු මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

මේ අතර, අනතුරට ලක්වු මෝටර් රථය පිළිබඳ නිරීක්ෂණය කිරීමට (නැරඹීමට ?) යෑමේ දී මින්නේරිය සිට හබරණ ප්‍රදේශය බලා ධාවනය වු තවත් මෝටර් රථයක් එම ස්ථානයේ දීම ටිපර් රථයක ගැටී අනතුරට ලක්ව තිබේ.

ටිපර් රථයේ ගැටුණු මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල වු කාණුවකට වැටී නතර වී ඇත.

එම අනතුරින් කිසිවෙකුත් තුවාල ලබා නොමැති අතර, ටිපර් රථයේ රියදුරු අනතුරින් පසු පළාගොස් තිබේ.

මින්නේරිය පොලීසිය අනතුරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

https://www.youtube.com/watch?v=XNllZnDUFYs#t=6

******************************************

BIG FOCUS : 2021 ඡන්ද හිමි නාමලේඛනය සැකසෙන අලුත් විදිය (10.07.2021)

https://www.elections.gov.lk/
අදාළ ආකෘති පත්‍ර බාගත කිරීම්

******************************************

(12.07.2021 – 06:52 +0530 – hirunews.lk/sinhala)

හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර ඇතුළු දෙදෙනෙකු (2) පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ හලාවත – සේදවත්ත ප්‍රදේශයේදී ඊයේ (11) රාත්‍රියේ සිදුවූ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

ප්‍රදේශයේ මත්ස්‍ය ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදි නගරාධිපතිවරයාගේ ආධාරකරුවෙකු එහි ගැටී තුවාල ලබා තිබෙනවා.

පසුව නගර සභාවේ සභාපතිවරයා සහ ඔහුගේ සහෝදරයා විසින් මත්ස්‍ය ව්‍යාපාරිකයාගේ පුත්‍රයා බලහත්කාරයෙන් රඳවා ගෙන පහරදී ඇති බව සඳහන්.

සිද්ධියෙන් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු (2) මේ වනවිට හලාවත රෝහලේ ප්‍රතිකාර ලබනවා ෴

******************************************

(12.07.2021 – 07:21 +0530 – hirunews.lk/sinhala)

රාගම පොලිසිය විසින් පසුගිය 10 වනදා අත්අඩංගුවට ගනු ලැබූ කොළඹ ජාතික රෝහලේ සේවයේ නියතු වෛද්‍යවරයා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අදාල වෛද්‍යවරයා ඊයේ (11) වැලිසර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රාගම රෝහලේ වෛද්‍ය නේවාසිකාගාරයේ, වෛද්‍යවරියකගේ කාමරයකට ඇතුළු වී වෛද්‍යවරිය ඇඳුම් මාරු කරමින් සිටින අවස්ථවේ එය ඡායාරූප ගත කිරීමක් සම්බන්ධයෙන් සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනුණා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු වෛද්‍යවරයා 35 හැවිරිදි සමන්තුරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු මීට පෙර රාගම රෝහලේ සේවය කර ඇති අතර මෙම සිද්ධියෙන් අනතුරුව අදාල වෛද්‍යවරයාට එරෙහිව එවැනිම ආකාරයේ පැමිණිලි දෙකක් (2) පොලිසිය වෙත ලැබී ඇති බවයි වාර්තා වන්නේ ෴

******************************************

(12.07.2021 – 07:31 +0530 – hirunews.lk/sinhala)

ඵෙතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය ඊයේ (11) රාත්‍රී 07:30 ට යෙදුණු සුබ මොහොතින් දෙවන (2) දිනටත් වීථි සංචාරය කළා.

ඒ අනුව රුහුණු කතරගම මහා දේවාලයෙන් ආරම්භ කළ පෙරහර ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටවී පිටවීථිය ඔස්සේ ගමන් කර වල්ලි අම්මා දේවාලයට ගොස් එම දේවාලයේදී දේව චාරිත්‍ර ඉටුකිරීමෙන් අනතුරුවයි පෙරහැර ආරම්භ කළේ ෴

@@@@@@@@@@@@@@@@

(12.07.2021 – 06:16 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, මහනුවර, යාපනය සහ අම්පාර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද (12) උදෑසන හයේ (06:00) සිට හුදෙකලා කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පිලියන්දල පොලිස් වසමේ තුම්බෝවිල උතුර ග්‍රාම නිලධාරී වසමේ කරදියානවත්ත ගම්මානය හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

මහනුවර සුදුහුම්පොල නැගෙනහිර සහ බටහිර ග්‍රාම නිලධාරී වසම්වල ප්‍රදේශ කිහිපයක්ද හුදෙකලාවට ලක් කෙරුණා.

ඊට අමතරව අම්පාර – කල්මුණේ පොලිස් බල ප්‍රදේශයේ පොතුවිල් 13 ග්‍රාම නිලධාරී වසම සහ යාපනය -පේදුරුතුඩුව පොලිස් බල ප්‍රදේශයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කර තිබෙනවා.

එමෙන්ම, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රස්නායකපුර පොලිස් බල ප්‍රදේශයේ කණුකැටිය ග්‍රාම නිලධාරී වසමේ කණුකැටිය ගම්මානය සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ නාවලපිටිය පොලිස් බල ප්‍රදේශය් කැටබුලාව මධ්‍ය කොටස අද (12) උදෑසන හයේ (06:00) සිට හුදෙකලාභාවයෙන් නිදහස් කර තිබෙනවා.

++++++++++++++++++++

(12.07.2021 – 06:39 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් අමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත ෆයිසර් කොරෝනා එන්නත් තවත් මාත්‍රා 26,000 ක තොගයක් අද (12) අලුයම කටුනායක ගුවන් තොටුපලෙන් දිවයිනට රැගෙන එනු ලැබුවා.

මුලින් අමෙරිකා එක්සත් ජනපදයේ සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත රැගෙන ආ එන්නත් තොගය, කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්.668 දරන යානයෙන් අද (12) අලුයම 02:35 ට පමණ කටුනායක ගුවන් තොටුපල වෙත රැගෙනවිත් තිබෙනවා.

මෙම එන්නත් තොගය ගොඩබෑමෙන් පසු කටුනායක ගුවන් තොටුපලේ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කෙරුණු අතර, පසුව ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් එහි මධ්‍යම ගබඩාව වෙත රැගෙන ගොස් ඇති බව සඳහන්.

මෙම එන්නත් තොගයත් සමඟ ශ්‍රී ලංකාවට මෙතෙක් රැගෙන ආ ෆයිසර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 52,000 ක් දක්වා ඉහළ යන බව ඖෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දිසානායක මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++

(12.07.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

ලෝක එන්නත්කරණය සහ ආසියාවේ එන්නත්කරණය පහත වැටෙද්දී මෙරට කොරෝනා එන්නත්කරණය වේගවත් වී ඇති බවට ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙනවා.

මේ මස 10 වැනිදා වනවිට මෙරට ජනගහණයෙන් පුද්ගලයන් දසදහසකගෙන්ම 67 දෙනෙකුට කොරෝනා එන්නත ලබාදී ඇති අතර, ආසියාකරයේ එම සාමාන්‍යය 45 ක්.

එමෙන්ම, ගෝලීය වශයෙන් සැලකූ විට එය පුද්ගලයින් දසදහසකින් (10,000) 39 දෙනෙකු වන බවයි සිදුකරන ලද ජාත්‍යන්තර සමීක්ෂණයකින් අනාවරණ වී ඇත්තේ.

මේ අතර, රජයේ පාසල් සහ පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා එන්නත් ලබාදීම අද (12) සිට ආරම්භ කෙරෙනවා.

වයස් භේදය නොතකා අදාළ එන්නත්කරණය සිදු කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියා සිටියේ.

ඒ අනුව කොළඹ අධ්‍යාපන කලාපයට අයත් සියළුම රජයේ පාසල් සහ පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා එන්නතේ පළමු (1) මාත්‍රාව නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී අද (12) සිට 16 වැනිදා දක්වා ලබාදෙන බවයි කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලය සඳහන් කළේ.

තවත් කොරෝනා ආසාදිතයන් 1,507 දෙනෙකු ඊයේ (11) දිනයේ හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 274,538 දක්වා ඉහළ ගියා.

මේ අතර, කොරෝනා වසංගතයට එරෙහිව පනවා ඇති සීමාවන් මහජන සෞඛ්‍යාරක්ෂාවෙන් ඔබ්බට නොයා යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් පවසනවා.

ට්වීටර් සටහනක් තබමින් ඇය සඳහන් කළේ සාමකාමී විරෝධතා පැවැත්වීමද, එක්රැස්වීමේ අයිතියට ඇතුළත් බවයි.

ප්‍රකාශනයේ නිදහස සහ මහජන ප්‍රතිපත්ති කෙරෙහි බලපෑම් කිරීමටද එක්රැස්වීමේ අයිතිය ඉවහල්වන බව ඇය එමඟින් පෙන්වා දී තිබෙනවා ෴

++++++++++++++++++++

(12.07.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීමත් සමඟ ජනතාවට අවශ්‍ය මගී ප්‍රවාහන සේවා පහසුකම් වැඩි කිරීමට ප්‍රවාහන අංශ පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් තවදුරටත් පළාත් අතර සංචරණය සීමාවනු ඇති.

මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (12) සිට බස්නාහිර පළාත තුළ දුම්රිය ධාවනය ගමන්වාර 103 ක් දක්වා ඉහළ දමා ඇති බවයි.

එමෙන්ම, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 3,500 ත්, 4,000 ත් අතර ප්‍රමාණයක් ධාවනයට එක් කර තිබෙනවා.

අන්තර් පළාත් ලංගම බස් රථ 1,500 ක් පළාත් තුළ ධාවනයට අතිරේකව යොදවා ඇති බවයි එම මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *