කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

*********************************************

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

(09.07.2021 – 06:36 +0530 – hirunews.lk/sinhala)

කළුතර දිස්ත්‍රික්කයට අයත් කැකුලන්දල දකුණ ග්‍රාම නිලධාරී වසමේ පිඹුර කොටස අද (09) අලුයම හයේ (06:00) සිට හුදෙකලා කර තිබෙනවා.

මීට අමතරව මන්නාරම සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසමේ හතරක් (4) අද (09) උදෑසන සිට හුදෙකලා බවින් නිදහස් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

++++++++++++++++++++

(08.07.2021 – 20:49 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 381 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරටින් අද (08) දිනය තුල වාර්තා වූ මුළු ආසාදිතයින් ගණන 1223 ක් වනවා ෴

++++++++++++++++++++

දේශද්‍රෝහී ක්‍රියාවක් කරන්න උත්සහ කල අලි සබ්‍රි වහා ඉල්ලා අස්විය යුතුයි – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

(08.07.2021 – colombotoday.com)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පසුගියදා ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් අමාත්‍ය ගම්මන්පිල අමාත්‍යතුමාට කරනලද නියෝගය හෝ ඉල්ලීම සාධාරණ නම්, ඊටත් වඩා ප්‍රශ්නයක් දැන් උත්ගතව ඇති බවත්, එය නම් වගන්ති 13 නෙන් වගන්ති 7 ක්ම (60%) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කොරෝනා පනත හැදූ, වර්තමාන අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහත්මා සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ලේකම්වරයා ගන්නා තීන්දුව කුමක්දැයි, ඊයේ (ජූලි 07) දින ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් පූජ්‍ය ආචාර්‍ය්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ ප්‍රශ්න කරන ලදී.

උන් වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ, “ඉන්ධන මිල වැඩිකලා වගේ නෙමෙයි, ඊට වඩා දහස් ගුණයකින් භයානක දේශද්‍රෝහී පනතක් සම්මත කර ගැනීමට උත්සහ ගත් අලි සබ්‍රි මහත්මයාට අස්වීමට නියෝග කරන්නේ නැද්ද? සත්‍ය වශයෙන්ම සිදුවිය යුත්තේ එයයි.” යනුවෙනි.

“වත්මන් අධිකරණ අමාත්‍ය වරයා ඉදිරිපත් කල 2019 කොවිඩ් 19 විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගැන හරියට කරුණු සොයා බැලුවහොත් එය හරියට 1815 උඩරට ගිවිසුමටත් වඩා භයානක දේශද්‍රෝහී නීති මාලාවක්, ඒ පනත තුලින් පනවන්න උත්සහ ගත්තා.

වාසනාවකට මේ පනත ශ්‍රේෂ්ඨඅධිකරණයේදී අභියෝගයට ලක්වුනා රටට හිතැති නීතිඥවරුන්ගේ ඉදිරිපත් වීමෙන්. ශ්‍රේෂ්ඨඅධිකරණයේ විනිසුරුතුමන්ලා වැඩි දෙනෙකුගේ තීරණය කුමක්ද? මේ පනත ව්‍යවස්ථා විරෝධි බවයි.

මේ පනතේ වගන්ති 13 ක් තියෙනවා, ඒ වගන්ති 13 න් එකක්, දෙකක්, තුනක් නෙමෙයි වගන්ති හතක්ම (7) ව්‍යවස්ථා විරෝධියි. ඒ කියන්නේ මේ පනතෙන් 60% ක්ම රාජ්‍ය ව්‍යවස්ථාවට පටහැනියි, නීති විරෝධියි.

කවුද මේ පනත එතකොට හැදුවේ? නිතීය නොදන්නා කෙනෙක්ද ? නෑ. ජනාධිපතිවරයාටත් නීති උපදෙස් දෙන ආකාරයේ විශේෂඥ දැනුමක් තියනවා යැයි සැලකෙන අපේ අධිකරණ ඇමතිතුමා, අලි සබ්‍රි මැතිතුමා. එතුමා එතකොට නීතිපති දෙපාර්තමේන්තුවටත් බොරු – එසේත් නැත්නම් නොමග යැවීම් කරලා, අධිකරණයේ අදාල අංශ නොමග යවන්න උත්සහ කරලා, කැබිනට් මණ්ඩලයත් නොමග යවලා, පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න ගිය මේ පනත, භයානකම පනතක් කියන බව අපිත් රටට හෙළි දරවු කළා.”

පූජ්‍ය ආචාර්‍ය්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ ජනමාධ්‍යයට ප්‍රකාශ කලේ “මේ පනත සම්මත වුනානම් මේ රට ඇෆ්ගනිස්ථානයක් වැනි තත්තවයකට පත් වෙනවා.

විදේශ නීති මේ රටේ ක්‍රියාත්මක කරවන්න, zoom තාක්‍ෂණය ඔස්සේ අධිකරණ කටයුතු කරන්න මේ ආදී වශයෙන් සිදු කෙරෙන ක්‍රියාවන් හරහා අපේ රාජ්‍ය ආරක්‍ෂාව සම්පූර්ණයෙන්ම විනාශයට පත් වනවා.

ඒ අනුව, මේ පනත, කොරෝන වයිරස උවදුර ඉදිරියට දමාගෙන, කොරෝන වයිරස උවදුර යටතේ වික්ශිප්තව සිටින රටේ, කුමන්ත්‍රණ කාරීව සම්මත කර ගන්න ගත්ත උත්සාහය සම්බන්ධයෙන්, වත්මන් අධිකරණ අමාත්‍යවරයා, වගකීම් බාරගෙන, දේශද්‍රෝහී ක්‍රියාවක් සිදුකිරීමට උත්සහ කිරීමේ වරදට, අවංකවම ඒ වරද පිලිගෙන, ඔහු මේ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි.

කිසිදු මහජන පදනමක් නැති, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිත්ලා, අධිකරණ ඇමතිකම වගේ බරපතල වගකීමක් ඔහු දරන්නේ රටේ යහපත වෙනුවෙන් නෙමෙයි, වෙනත් කාගේ හෝ අපේ සතුරන්ගේ අවශ්‍යතාවන්ය කියන බව ඉතාමත් පැහැදිලියි.

ලොරියේ ඉදිරි පසින් ‘බුදු සරණයි දෙවි පිහිටයි’ කියා ගහගෙන ඇතුලේ හරක් අදින හරක් ගව ඝාතක මුදලාලි කෙනෙකුගේ වෘත්තිය තමයි, වත්මන් අධිකරණ ඇමති තුමා මේ නිලයේ ඉඳගෙන කරන්නේ.

ඒ නිසා වගකීම භාරගෙන, තමන්, දේශද්‍රෝහී ක්‍රියාවක් සිදුකිරීමට උත්සහ කරා යැයි කියන කාරණය අවංකව පිළිගෙන, ඔහු අධිකරණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි.”

අවසන් වශයෙන් පූජ්‍ය ආචාර්‍ය්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ පවසා සිටියේ “ජනාධිපති වරයා මේ ගැන නොදන්නවා විය නොහැකියි, ඇමති මණ්ඩලයේ අදාල සියලුම දෙනා මේවා නොදන්නවා විය නොහැකියි. ඒ අයත් ගන්නේ කිනම් පියවරක්ද කියන එක අපි බලාගෙන ඉන්නවා.” යනුවෙනි.

++++++++++++++++++++++

(08.07.2021 – 20:34 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කර උද්ඝෝෂණයක නිරත වූ චෝදනාවට අත්අඩංගුවට ගෙන ඇපමත මුදා හැරුණු, ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින් ඇතුළු 16 ක් විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරේ.

++++++++++++++++++++++

නිරෝධායනයට ලක් කළ යුත්තේ නිලධාරින්වයි – ජාතික සංවිධාන එකමුතුව

(09.07.2021 – 05:57 +0530 – lankaleadnews.com)

ඊයේ (08) බත්තරමුල්ල පාර්ලිමේන්තුව අසල පොල්දූව වටරවුම ආශ්‍රිතව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යය බල මණ්ඩලය, පෙරටුගාමි සමාජවාදී පෙරමුණ ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක මුලිකත්වයෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව පැවැති සාමකාමී විරෝධතාවයට පොලිසිය කඩා පැන කළ පහර දීම සහ විරෝධතාකරුවන් නිරෝධායන කඳවුරුවලට රැගෙන යාම සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය මත විමසීමක් කරණු ලැබුවා.

එහිදී ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරමින් මත දක්වමින් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බංඩාර මහතා පවසා සිටියේ :

“කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත පැවැති යහපාලන ආණ්ඩුව ගෙන ආ පනතක්. එවැනි පනතක් නිසි සමාජ කතිකාවකට ඉඩ නොතබාම යහපාලනය පරදවා පිහිටවූ ආණ්ඩුවෙන් ගෙන ඒම බරපතල වරදක්. එවැනි පනතක් ගෙන එන විට මේ රටේ නිදහස් අධ්‍යාපනයේ පැවැත්ම අපේක්ෂා කරණ පුරවැසියන් විරෝධතාවය දැක්වීම අනිවාර්යෙන්ම සිදු කළ යුතුයි. එය ඔවුන්ගේ අයිතියක්. ආණ්ඩුව නිරෝධයන නීති වලට මුවාවී රටට විනාශකාරී අණ පනත් ගෙන එනවා නම් ජනතාව ඒවා දිහා සතුටු කඳුලු පුරවාගෙන බලාගෙන ඉන්නේ නැහැ.

ඊයේ(08) පාර්ලිමේන්තුව අසල පොල්දූව වට රවුමේ සිදු වූයේ එවැන්නක්. නමුත් පොලිසියේ හැසිරීම ඉතාම අශෝභනයි. මාධ්‍යයකරුවන්ගේ කැමරාවලට පහර දෙමින් විරෝධතාකරුවන්ව කුදලාගෙන යමින් හැසිරුණු ආකාරය අනුව නිරොධායන නීති නිවැරදිව ක්‍රියාත්මක වන්නේ නම් විරෝධතාකරුවන් අත් අඩංගුවට ගැනීමට සක්‍රියව මැදිහත් වුනු සියලු පොලිස් නිලධාරින් නිරෝධායනයට යොමු කළ යුතුයි” ෴

++++++++++++++++++

(09.07.2021 – 06:20 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊයේ (08) දිනයේදී පුද්ගලයින් 266 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාධ්‍යවේදීන්ට හිරිහැර කළ පොලිස් උත්තමාවිය (කැමරාවට පහළින්)

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එම නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 48,808 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ෴

+++++++++++++++++++++

(09.07.2021 – 08:23 +0530 – hirunews.lk/sinhala)

ෆයිසර් එන්නත් මාත්‍රා 26,000 සේ ඉතිරි කොටස අද (09) සිට මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාවට ප්‍රමුඛතාව දී ලබාදෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

නව ආසාදිතයන් 1,270 දෙනෙකු ඊයේ (08) හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 269,946 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (08) වාර්තාවූ නව ආසාදිතයන්ගෙන් 1,223 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 47 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනා ගැනුනා.

ඒ අනුව තවදුරටත් රෝගීන් 27,011 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 233,584 ක්.

එමෙන්ම පෙරේදා (07) වාර්තාවූ කොරෝනා මරණ 40 ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 3,391 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, ෆයිසර් එන්නත, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලෙස ලබාදීම අත්හිටුවීමෙන් ජනතාව තුළ එන්නත්කරණ වැඩපිළිවෙල පිළිබඳ විශ්වාසය බිඳ වැටී ඇති බවට ‘රෝගී හිමිකම් සංවිධානය’ චෝදනා කරනවා.

එම සංවිධානයේ සම ලේකම් ක්‍රිස්ටීන් පෙරේරා කියා සිටියේ එන්නත් මිශ්‍ර කර ලබාගත් ජනතාව තුළ මේ වනවිට යම් සැකයක් මතුවී ඇති බවයි.

කෙසේ වෙතත් පසුගිය දිනවල ෆයිසර් එන්නත දෙවන (2) මාත්‍රාව ලෙස ලබාදීම පිළිබඳව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ වෛරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රජීව් ද සිල්වා මහතා අදහස් පළ කරමින් කියා සිටියේ එන්නත් මිශ්‍ර කර ලබාගැනීමෙන් වැඩි ප්‍රතිශක්තිකරණයක් ගොඩනැගෙන බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ද ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකදී එන්නත් මිශ්‍රකිරීම අත්හිටුවීමට ගත් තීරණය පිළිබඳව විවේචනයට ලක් කළා ෴

+++++++++++++++++++++

(09.07.2021 – 08:33 +0530 – hirunews.lk/sinhala)

උද්ඝෝෂණ සහ මහජන ඒකරාශීවීම් සිදුනොකළ යුතු බවට දන්වා තිබියදී විරෝධතාවල නිරත වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරුණු 33 දෙනාගෙන් 16 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

මොවුන් අතර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා ද වන අතර, මොවුන් විශේෂිත නිරෝධායන මධ්‍යස්ථානයක් සඳහා යොමු කළ බවයි පොලීසිය සඳහන් කළේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් ඊයේ (08) පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය පනත් කෙටුම්පතට එරෙහිවයි.

එහිදී පොලීසිය ඊට මැදිහත් වී ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර එහිදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ද ඇති වුණා.

පසුව සිද්ධියට අදාළව ජෝශෆ් ස්ටාලින් ඇතුළු 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී ඇප මත මුදා හැරුණා.

කෙසේ වෙතත්, එම අවස්ථාවේදී පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ මොවුන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට නියෝගයක් ලබාදෙන ලෙසටයි.

එහිදී අධිකරණය පොලීසියට දැනුම් දුන්නේ තමන්ට ඒ සඳහා බලයක් නොමැති බවයි.

ඇප ලැබුණු එම පිරිස අධිකරණයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී ඔවුන්ව නිරෝධායනය සඳහා යොමු කිරීමට පොලීසිය කටයුතු කළ අතර එහිදී ද උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ, ඊට මෙම පිරිස විරෝධය පළ කිරීම හේතුවෙන්.

එම අවස්ථාවේදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා ඇතුළු 16 දෙනෙකු පමණක් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි පොලීසිය කටයුතු කර තිබුණේ ෴

+++++++++++++++++++

(09.07.2021 – 09:35 +0530 – hirunews.lk/sinhala)

ෆයිසර් සමාගම කොරෝනා වෛරසයට එරෙහිව නිපදවූ එන්නතට තුන්වන (3) මාත්‍රාවක් එක් කිරීමට තීරණය කර තිබෙනවා.

එම සමාගමේ ප්‍රධාන විද්‍යාඥ මයිකල් ඩෝල්ස්ටන් ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලයේ ෆයිසර් එන්නත ලබාගත් පුද්ගලයින් බහුතරයකටද වෛරසය ආසාදිත බවට වාර්තාවී ඇති බවයි.

ඒ අනුව තුන්වන (3) මාත්‍රාවක් පිළිබඳව නිර්දේශ ලබාදෙන ලෙස ඇමරිකානු නියාමන අධිකාරීන්ගෙන් ඉල්ලා සිටීමට සැළසුම් කර ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@

(09.07.2021 – 07:14 +0530 – hirunews.lk/sinhala)

2020 වසරේදී ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන ආ කරුංකා තොගයක් ව්‍යාජ නිරෝධායන සහතිකයක සකසා ප්‍රති අපනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරයෙක් සහ කෘෂිකර්ම උපදේශකවරයෙක් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා ෴

******************************************

(09.07.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

හංවැල්ල පොලිස් වසමේ ජල්තර ටයිල් ආයතනය අසළදී වෑන් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියකට අවශ්‍යව සිටි සැකකරුවෙකු හෙරොයින් සමඟ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 29 වනදා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් තුන්දෙනෙකු (3) යතුරුපැදිය හරස් කර නවතා වෑන් රථයෙන් පැමිණි පුද්ගලයාට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදු කර තිබුණා.

මෙම සිද්ධියට සම්බන්ධ එක් අයෙකු (1) ඊයේ (08) පස්වරුවේ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරුගිරිය – හබරකඩ ශ්‍රී ලංකාර මාවතේදී වන අතර, ඔහු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් පහයි (5) මිලිග්‍රෑම් 450 ක්ද පොලිස් භාරයට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 35 ක් වයසැති හෝමාගම – පිටිපන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම අපරාධය සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු වන දැනට ඩුබායි වෙත පලාගොස් සිටින ‘සමරප්පුලිගේ චමින්ද බුද්ධික’ හෙවත් ‘චමී’ යන අය විසින් මෙහෙයවා ඇති බවට අනාවරණ වී තිබෙනවා.

චමින්ද යන අය විසින් තුවාලකරුට දුරකථන ඇමතුමක් ලබාදී මරණ තර්ජනය කර කප්පම් මුදලක් ඉල්ලා ඇති බවත්, එම කප්පම් මුදල ලබා නොදීම නිසා මෙරට සිටින ඔහුගේ ගෝලයෙකු ලවා මෙම අපරාධය සිදුකර ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණ වුණා.

අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී එම දුරකථනයේ තුවාලකරුට පුද්ගලයින් තුන්දෙනෙකු (3) විසින් පහරදෙන ආකාරය වීඩියෝ ගත කර තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

එම වීඩියෝව චමින්ද නැමති පුද්ගලයාටද යවා ඇති බව අනාවරණ වී තිබෙනවා ෴

******************************************

වසර 8 කට පසු මත්ස්‍යයින් ගැන රතු දත්ත ලේඛනය එළියට

(09.07.2021 – 09:18 +0530 – hirunews.lk/sinhala)

මෙරටට ආවේණික මිරිදිය මත්ස්‍යයින්ගෙන් සියයට 74 ක් වද වීමේ තර්ජනයට ලක්ව ඇති බව ‘ජාතික රතු දත්ත ලේඛනයෙන්’ අනාවරණ කර තිබෙනවා.

2012 වසරේ සිට 2020 වසර දක්වා සිදුකළ පර්යේෂණ තොරතුරු පදනම් කර ගනිමින් නිකුත් කළ මත්ස්‍යයින් පිළිබද නවතම ජාතික රතු දත්ත ලේඛනයේ මේ බව දක්වා ඇති බවයි ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා පද්මා අබේකෝන් මහත්මිය කියා සිටියේ.

මීට පෙර ජාතික රතු දත්ත ලේඛනය නිකුත් කරනු ලැබුවේ 2012 වසරේදී වන අතර, සියළු ජීවි කාණ්ඩවල රතු දත්ත තොරතුරු තනි ලේඛනයක් ලෙස නිකුත් කෙරුණා.

කෙසේ වෙතත්, පවතින කොරෝනා තත්ත්වය හමුවේ මත්ස්‍ය, ශාඛ, පක්ෂි ආදී ලෙස එය ලේඛන කිහිපයක් ලෙස නිකුත් කිරීමටයි මෙවර සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව මෙරට ශාඛවලට අදාළ රතු දත්ත ලේඛනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි.

ලෝක සංරක්ෂණ සංගමය ගෝලීය වශයෙන් ද රතු දත්ත ලේඛනයක් නිකුත් කරනු ලබනවා.

ඊට මෙරට මිරිදිය මත්ස්‍ය විශේෂ 54 ක් ඇතුළත් කර ඇති අතර ඉන් 18 ක්ම මෙරටට ආවේණික මත්ස්‍යයින් වනවා.

ඒ අතර සිටින තඹලයා සහ බන්දුල පෝතයා ගෝලීය රතු දත්ත ලේඛනයට ඇතුළත් කර ඇත්තේ දැඩි ලෙස වද වී යන මත්ස්‍ය විශේෂ දෙකක් (2) ලෙස නම් කරමින්.

බන්දුල පෝතයා දක්නට ලැබෙන ලොව එකම ස්ථානය කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලපිටමඩ – මිනීමරු කොළණියයි.

මේ, බන්දුල පෝතයා මත්ස්‍ය විශේෂයට පවතින තර්ජනාත්මක තත්ත්වය පිළිබදව පැහැදිලි කරන ජලජ සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ සභාපති සහ රතු දත්ත ලේඛනය සම්පාදනය කරන කමිටු සාමාජික ශාන්ත ජයවීර මහතා :

******************************************

(09.07.2021 – 09:26 +0530 – hirunews.lk/sinhala)

ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා පෞද්ගලික සමාගම කෝප් කමිටුව හමුවට කැඳවා විගණනයට ලක් කරන ලෙස කෝප් කමිටුව එම සමාගම් දෙකේ (2) වැඩි කොටස් ප්‍රමාණයක් හිමි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, පෙරේදා කෝප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ දියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට අනුව අදාළ සමාගම් රජයේ විගණනයට ලක් කළ නොහැකි බව පවසමින් ඔවුන් අධිකරණයට නඩුවක් ගොනුකර තිබුණා.

මේ හේතුවෙන් එම ආයතන පිළිබද සාකච්ඡා කිරීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසු බවයි කෝප් කමිටු සභාපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත්, කෝප් කමිටුවට පැමිණි මන්ත්‍රීවරුන්ගේ අදහස වූයේ මෙම ආයතන දෙකේ (2) කොටස්වලින් සියයට 99 ක අයිතිය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතු බැවින් එම සමාගම් රජයේ විගණනයට ලක් විය යුතු බවයි.

ඒ නිසා එම ආයතන කෝප් කමිටුව හමුවට කැදවීමට අවස්ථාව සැලසිය යුතු බව ඔවුන් අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව කෝප් කමිටුවට සහභාගි වූ සියළු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව මත ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා පෞද්ගලික සමාගම කඩිනමින් කෝප් කමිටුවට කැදවන ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට උපදෙස් ලබාදුන් බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සදහන් කළේ ෴

******************************************

(09.07.2021 – 09:42 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ තත්වය බලහත්කාරයෙන් වෙනස් කිරීම සඳහා ඒකපාර්ශවිකව ගන්නා ඕනෑම උත්සහයකට දැඩි විරෝධය පළ කරන බව ජපාන ආරක්ෂක අමාත්‍ය කිෂී නොබුඕ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ප්‍රකාශ කර තිබෙනවා.

පසුගියදා පැවති වීඩියෝ සංවාදයකට එක්වෙමින් ජපාන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළ බවයි කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය නිවේදනය කළේ.

මෙම සංවාදයේදී ද්විපාර්ශවික ආරක්ෂක සහයෝගීතාව සහ හුවමාරුව පිළිබඳ අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ සහ ඇමරිකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වූ පුහුණු අභ්‍යාසය පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරුණු බවයි ජපාන තානාපති කාර්යාලය සඳහන් කළේ.

ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ නිදහස් හා විවෘත ඉන්දු – ශාන්තිකර කලාපයක් පවත්වාගෙන යෑම සහ ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී දෙපාර්ශවයේම එකඟතාව පළවූ බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *