නාමල්, සමන්ත, දුමින්ද නාගමුව අත්අඩංගුවට

නාමල්, සමන්ත, දුමින්ද නාගමුව අත්අඩංගුවට

*********************************************

නාමල්, සමන්ත, දුමින්ද නාගමුව අත්අඩංගුවට

(07.07.2021 – 11:59 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බදුල්ල – බොරලන්ද නගරයේ විරෝධතාවක් පැවැත්වීමේ චෝදනාව මත ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න ඇතුලු පස්දෙනෙකු (5) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔවුන් අද (07) බදුල්ල – බෝගහකුඹුර පොලීසියට භාරවීමෙන් අනතුරුවයි.

පසුගිය 01 වනදා මෙම විරෝධතාව පැවැත්වුණේ රසායනික පොහොර කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලමින්.

සිය පක්ෂයේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පළ කළා.

එහිදි ඔහු කියා සිටියේ ආයතන මෙන්ම සම්භාහන මධ්‍යස්ථානද විවෘත කිරීමට ඉඩ ලබාදී ඇති පසුබිමක ජනතාවට සිය විරෝධය පළ කිරීමට ඇති අවස්ථාව අවහිර කර ඇති බවයි.

මේ අතර, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට පැවති විරෝධතාවයක් අතරතුරු පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු 05 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නිරෝධායන නීති උල්ලංඝණය කරමින් විරෝධතා පැවැත්වීම හේතුවෙන්.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවකයින් 9 දෙනෙකු සේවයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය එම සංස්ථා පරිශ්‍රය ඉදිරිපිට මෙලෙස විරෝධතාවයක් ආරම්භ කළ අතර ඊට පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ද එක්ව සිටියා.

විරෝධතා පැවැත්වීම සිදුනොකරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයා දැනුවත් කිරීමට කටයුතු කිරීමත් සමඟ ඇතැම් පාර්ශවයන් පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණ නතර කර දැමුණා.

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (07) දහවල් බත්තරමුල්ලේ දී විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබුණද එය තාවකාලිකව අවලංගු කර දැමුණා.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ දැනුම් දීමට පරිබාහිරව ඇතැම් ස්ථානවල විරෝධතා පැවැත්වුණා.

තිස්සමහාරාම – කාවන්තිස්සපුර දී පාරම්පරික ගොවීන් පිරිසක් අද (07) පෙරවරුවේ විරෝධතාවක නිරත වුණේ වනජීවි නිලධාරීන් විසින් තම වගාවන් සිදුකිරීම සඳහා එම දෙපාර්තමේන්තුවට අයත් භූමිය නිදහස් නොකිරීම හේතුවෙන්.

******************************************

(07.07.2021 – 11:03 +0530 – hirunews.lk/sinhala)

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති ජූජිත් ජයසුන්දරට එරෙහිව ගොනු කර ඇති නඩු දෙක (2) විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් විශේෂ ත්‍රිපුද්ගල (3) මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙනවා.

මහාධිකරණ විනිසුරුවරුන් වන නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැදිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් එහි සාමාජිකයන්.

මෙය, ජාතික වැදගත්කමක් සහිත විශේෂ නඩුකරයක් සේ සලකා එය ජූරි සභාවක් නොමැති ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියම කරන ලෙස නීතිපතිවරයා කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි අගවිනිසුරුවරයා මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නම් කර ඇත්තේ.

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුලින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම ඇතුළු චෝදනා 864 ක් යටතේ මොවුන් දෙදෙනොට (2) එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබෙනවා.

******************************************

(07.07.2021 – 12:31 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමාන නමකින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කර ඇති බව පවසමින් ඊට විරෝධතාව පළ කිරීම සඳහා එම පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමක් අද (07) මැතිවරණ කොමිසමට පැමිණියා.

නව දේශපාලන පක්ෂයක් ලියාපදංචි කරන බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ මෙලෙසින්.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාකච්ඡාවක් ඊයේ (06) පස්වරුවේ පැවැත්වුණේ, පක්ෂ නායක, හිටපු ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැජට් පාරේ පිහිටි නිල නිවසේදීයි.

******************************************

(07.07.2021 – 12:36 +0530 – hirunews.lk/sinhala)

ජීවිතය ජය ගන්නට ගතේ සවියට වඩා වැදගත් වන්නේ හිතේ දිරියයි.

දෑස් නොපෙනෙන සිය පියාට කණවැල අල්ලමින් ජීවිතය ජයගන්නට වැලිගොඩ දමන එවන් දිරිය දියණියක් පිළිබඳ අපට වාර්තා වුණේ දඹුල්ල ගලේවෙල ප්‍රදේශයෙන්. ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ මාදිපොළ කැන්දගමුව ප්‍රදේශයේ පදිංචි අශෝක බණ්ඩාර මහතාගේ නිවසයි මේ.

පවුලේ ගෘහ මූලිකයා වන ඔහුගේ දෑස් පෙනීම දුර්වලවී තිබුණේ මීට දස වසරකට පමණ පෙර සිටයි. දෑස් නොපෙනුනත් බණ්ඩාර හිතින් තමන්ගේ අනාගත ජීවිතය ගැන සුබ සිහින දකිනවා. ඒ තමන්ගේ ජීවිතයේ එකම අලෝකය වී තිබෙන ජනන්දි දියණිය වෙනුවෙන්.

දැඩි ආර්ථික දුෂ්කරතා රැසක් මැද දිවි ගෙවන මේ පවුල ජීවත් කරවන්නට දෑස් නොපෙනුනත් බන්ඩාර මහතාගේ හිතේ ධෛර්යය සමත්වී තිබෙනවා. පාසල් වයසේ පසුවන දියණිය සහ බිරිඳ සමගින් වැලි ගොඩ දමා ජීවිතය ජය ගන්නට බණ්ඩාර දරණ උත්සාහයයි මේ.

ඉගෙනුමට හපන් පුංචි ජනන්දිගේ ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව තමන්ගේ අප්පච්චිගේ පෙනීම ලබා දීම. ඒ හීනය සැබෑ කර දීමට ඔබටත් හැකියාවක් තිබෙනවා නම් එය ඔවුන්ගේ ජීවිත වෙළා තිබෙන අඳුර නසන ආලෝකයක් වනු නොඅනුමානයි.

******************************************

(07.07.2021 – 14:04 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත එල්.එන්.ජී. බලාගාරයට එරෙහිව පැවති විරෝධතාවක් අතරතුර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ සහ තවත් අයෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අද (07) පෙරවරුවේ බෝපිටිය මංසන්ධියේදී විරෝධතාව පැවැත්වීමට සැළසුම් කර තිබූ අතර, පමුණුගම පොලිසිය විසින් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයක් පෙන්වා දැනුම්දී ඇත්තේ පමුණුගම පොලිස් බල ප්‍රදේශයේ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කර ඇති බවයි.

ඒ අනුව ඔවුන් ජාඇළ නගරයට පැමිණ විරෝධතාව පැවැත්වීමට උත්සහ කිරීමේදී පමුණුගම පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්වයක්ද හටගැනුනු බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බදුල්ල – බොරලන්ද නගරයේ විරෝධතාවක් පැවැත්වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න ඇතුලු පස්දෙනා (5) ඇප මත මුදාහැර තිබෙනවා.

ඔවුන් අද (07) වැලිමඩ මහේස්ත්‍රාත් ප්‍රසන්න ජයසේකර හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ නියෝග කෙරුණේ ලක්ෂයක ශරීර ඇප මත ඔවුන් මුදාහරින ලෙසටයි ෴

******************************************

බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමට අදාළව අත්අඩංගුවට ගත් නාවික හමුදා වෛද්‍යවරයාගේ වැඩ තහනම්

(07.07.2021 – 14:43 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් නාවික හමුදා විශේෂඥ වෛද්‍යවරයාගේ වැඩ තහනම් කිරීමට නාවික හමුදාපතිවරයා තීරණය කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව සිදු කෙරෙන විනය පරීක්ෂණ කටයුතුවල මූලික පියවරක් ලෙසටයි අදාළ වැඩ තහනම සිදුකර ඇත්තේ.

වැලිසර නාවික හමුදා රෝහලට අනුයුක්ත සේවය කරන මෙම හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා අනිද්දා (09) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) නියෝග කළා.

මෙම සිද්ධියට අදාළව දැනට මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙකු ඇතුළු 32 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර ළමයින් සහ කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරනු ලබන තවත් වෙබ් අඩවි 4 ක් හඳුනාගෙන තිබෙනවා.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ඊට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.

ගල්කිස්ස ප්‍රදේශයේදී 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධියත් සමඟයි මෙවැනි වෙබ් අඩවි පිළිබඳව සමාජයේ කථාබහක් ඇතිවුණේ.

ඉන් එක් වෙබ් අඩවියක නිර්මාණකරු සහ සහයක අත්අඩංගුවට ගෙන මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර අවසන්.

කෙසේ වෙතත්, තවදුරටත් මෙවැනි ආකාරයේ වෙබ් අඩවි හදුනාගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සඳහන් කළේ ෴

ගල්කිස්ස ප්‍රදේශයේදී අවුරුදු 15ක බාල වයස්කාර දැරියක් අලෙවි කිරීමේ සහ අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ලවී ඇති සියලුම පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට අධිකරණය අද නියෝග කළා.

ඒ, ඊට අදාළ නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

මේ අතර, සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දැරියගේ මව රුපියල් ලක්ෂ 10ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ ෴

++++++++++++

15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධිය – මවට ඇප

(07.07.2021 – 16:01 +0530 – sinhala.adaderana.lk)

15 හැවිරිදි බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම, විකිණීම සහ එම කටයුතුවලට ආධාර අනුබල දීමේ ක්‍රියාවලියට සම්බන්ධ සියලුම සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය අද (07) කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන්ට නියෝග කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත්ව විමර්ශන සිදුකර සවිස්තරාත්මක කරුණු ද සමග සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී මහෙස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අදාළ දැරියගේ මව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදාහරින ලෙස ද මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තැරැව්කරුවකු සහ කෑගල්ලේ චීවරධාරියෙකු ඇපමත මුදා හරින ලද අවස්ථාවේදී ඔවුන් පොලීසියට වාර්තා කළයුතු බවට ඇප කොන්දේසියක් පනවා නොමැති බව මෙහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයේ අවධානයට යොමුකර තිබේ.

එහිදී මහෙස්ත්‍රාත්වරිය විමර්ශන නිලධාරීන්ට පෙන්වා දුන්නේ එම ඉල්ලීම අදාළ සැකකරුවන් ඉදිරිපත් කළ අවස්ථාවේදී සිදු කළ යුතුව තිබු බවය.

ඇපමත මුදා හරින ලද එම සැකකරුවන් යළි කැඳවා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තම අධිකරණයට බලයක් නොමැති බවත් මෙහිදී මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් දැනට ඇපමත මුදා හැර සිටින චීවරධාරියා දස වතාවක් (10) පමණ කේවල් කර දැරියට ගෙවිය යුතු මුදල රුපියල් 18,000/- සිට 13,000/- දක්වා අඩුකර ගෙන ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව සඳහන් කළේය.

එම සැකකරුවන් දෙදෙනා (2) ඇප මත මුදා හැර තිබීම හේතුවෙන් වින්දිත දැරිය දැඩි භීතියකට පත්ව සිටින බව සඳහන් කළ විමර්ශන නිලධාරීන් ඇය රඳවා සිටින ස්ථානයට නිසි ආරක්ෂාව සපයන ලෙස රාගම පොලීසියට දැනුම් දී තිබෙන බවත් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සහ තවත් කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනෙකු (2) එම අපරාධය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක් සිදුකිරීමට අවශ්‍ය බව දැනුම් දී තිබූ හෙයින් එම සැකකරුවන් තුන්දෙනා (3) බන්ධනාගාර නිලධාරීන් විසින් ආවරණය කර අද (07) අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

මෙහි දී මහෙස්ත්‍රාත්වරිය එම සැකකරුවන්ට දැනුම් දුන්නේ තමා ඉදිරියේ සිදුකරනු ලබන ප්‍රකාශය ඉදිරි නඩු විභාගයක දී සැකකරුවන්ට එරෙහිව සාක්ෂියක් වශයෙන් භාවිත කිරීමට නීතියෙන් හැකියාව පවතින බවය.

එබැවින් මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීමට පෙර හොඳින් සිතා බලා ඒ පිළිබඳව ලබන 09 වනදා අධිකරණයට දැනුම්දෙන ලෙස අදාළ සැකකරුවන්ට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය එදින මෙම සැකකරුවන් තිදෙනා (3) හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළාය ෴

******************************************

(07.07.2021 – 15:15 +0530 – hirunews.lk/sinhala)

තද සුංළ සහ රළු මුහුදු පිළිබඳ ලබන 10 වනදා දක්වා වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ මන්නාරම සිට කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහායි.

එහි දැක්වෙන්නේ හෙට (08) පෙරවරු 09:30 සිට 10 වනදා පෙරවරු 09:30 දක්වා කාලසීමාව තුලදී අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ක් 70 ක් පමණ දක්වා ඉහළ යාහැකි බවයි.

මන්නාර සිට පුත්තලම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වීමේ හැකියාවක් පවතිනවා.

මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම ඉහත සඳහන් කළ කාලය තුලදී අනතුරුදායක වන අතර නාවුක ප්‍රජාව මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.

මේ අතර ඉදිරි දින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

විශේෂයෙන් 9 සහ 10 යන දෙදින තුළ මෙම වැසි ඉහළ යා හැකි අතර, දිවයින හරහා හා දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීමක් ද සිදුවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴

@@@@@@@@@@@@@@@@@

(07.07.2021 – 11:11 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකාව නැවත වරක් ඔවුන්ගේ සංචාරක මාර්ගෝපදේශන යාවත්කාලීන කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් ශ්‍රි ලංකාව නම් කර ඇත්තේ කෝවිඩ් අවදානම තුන්වන (3) කාණ්ඩයේ ඇති අධි අවදානම් රටක් ලෙසටයි.

එමෙන්ම මෙම යාවත්කාලීන කිරීම් අනුව ශ්‍රි ලංකාව තුළදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වීමේ ඇති අවදානම පිළිබඳව ද සඳහන් කර තිබෙනවා.

මෙහිදී අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ සම්පූර්ණ එන්නත් කරණයකට ලක්ව නැති ඇමරිකානු පුරවැසියන් ශ්‍රී ලංකාවේ සංචාරයක කිරීමේදී කොවිඩ්-19 රෝගයට ගොදුරු වීමේ අවදානම අධික බවයි. ශ්‍රි ලංකාව අධික කොවිඩ් අවදානමක් ඇති රටක් ලෙස ඇමරිකාව විසින් නම් කර තිබීම මීට හේතුවයි.

එමෙන්ම ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් මෙම නව යාවත්කාලීන කිරීමේදී දැක්වෙන්නේ කෙටි දැනුම් දීමකින් හෝ එසේ නොමැතිව ඕනෑම මොහොතක ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමරිකානු සංචාරකයින්ට ඇති බවයි.

බස් නැවතුම් පල, ගුවන්තොටුපල, සංචාරක හෝටල්, අවන්හල් ආදිය ඉලක්ක කරගෙන මෙම ත්‍රස්ත ප්‍රහාර එල්ල විය හැකි බව ඔවුන් මෙම යාවත්කාලීන කිරීම් හරහා සංචාරකයින්ට සිහි කැඳවනවා.

Sri Lanka Travel Advisory from travel.state.gov

+++++++++++++++++++++

ලැම්ඩාත් මෙරටට ඇතුලුවීමේ අවදානමක

(07.07.2021 – 12:49 +0530 – hirunews.lk/sinhala)

‘ඩෙල්ටා’ ප්‍රභේදයටත් වඩා ප්‍රබල, සීග්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන ‘ලැම්ඩා’ කොරෝනා ප්‍රභේදය මෙරටට ඇතුළුවීමේ අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත පළමු (1) මාත්‍රාව ලෙස ලබා ගත් පුද්ගලයින්ට දෙවන (2) මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම අද (07) ආරම්භ කෙරුණේ කොළඹ කේන්ද්‍ර කර ගනිමින්.

කොළඹ 1 සිට 15 දක්වා ප්‍රදේශවල ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගත් පුද්ගලයන්ට දෙවන (2) මාත්‍රාව ලෙස ෆයිසර් ලබාදීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ, වයස අවුරුදු 55 ට වැඩි පුද්ගලයින් සඳහා මෙහිදී ප්‍රමුඛතාව ලබාදෙමින්.

මෙරට තුළ එන්නත් දෙකක් (2) මිශ්‍ර කර ලබාදෙන පළමු අවස්ථාව මෙයයි. එන්නත් මිශ්‍ර කිරීම පිළිබදව ජාත්‍යන්තර පර්යේෂණ ගණනාවක් දැනටමත් සිදුකර ඇති අතර, ඔක්ස්ෆර්ඩ් සරසවිය සිදුකළ පර්යේෂණයට අනුව මෙලෙස එන්නත් මිශ්‍ර කර ලබාදීමෙන් ඉහළ ප්‍රතිශක්තීකරණයක් ගොඩනැගෙන බව අනාවරණ කර තිබෙනවා.

මේ අතර කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ නොවන එහෙත් කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සදහා සයිනොෆාම් එන්නත් ලබාදීම අද (07) සිට ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල් පරිශ්‍රයේදී සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම, සීග්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන ‘ලැම්ඩා’ කොරෝනා ප්‍රභේදය මෙරටට ඇතුළුවීමේ අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියා.

මේ අතර, සීමාසහිතව හෝ මංගල උත්සව පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස විවාහ මංගල උත්සව සේවා සපයන්නන්ගේ එකමුතුව කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් රජයෙන් ඉල්ලීමක් කළා.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ චිත්‍රපට කර්මාන්තය මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්වුණේ චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ සංගම් 7 ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්.

ඊයේ (06) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 934 දෙනා අතරින් වැඩිම පිරිසක් එනම් 201 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 160 දෙනෙකු, කළුතරින් 102 නෙකු කෑගල්ලෙන් 64 දෙනෙකු ලෙස ඊයේ (06) ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

මේ අතර, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවතින කොවිඩ් අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සහ භූතානයේ සංචාර සිදුකිරීම සම්බන්ධයෙන් තම පුරවැසියන්ට උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ භූතානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසත්, ශ්‍රී ලංකාවේ සිදුකරන සංචාර පිළිබද යළි සලකා බලන ලෙසත් ඇමරිකාව තම පුරවැසියන්ට දැනුම් දී ඇති බවයි.

මේ අතර, ඩෙල්ටා ප්‍රභේදයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟ ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගිය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අගනුවරින් තවත් ආසාදිතයින් 27 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ හේතුවෙන් සිඩ්නි අගනුවර වසා දැමීම් තවත් සතියකින් දීර්ඝ කිරීමටයි තීරණය කර ඇත්තේ.

යාපනය – අච්චුවේලි පොලිසියේ නිලධාරීන් අටදෙනෙකු (8) ඇතුලු 64 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා. ඒ පසුගියදා එම පොලිස් ස්ථානයේ සේවය කරන නිලධාරියෙකුගේ විවාහ මංගල්‍යයක් ලියාපදිංචි කිරීමේ අවස්ථාවකට සහභාගිවූ අයෙකු කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීමත් සමඟයි ෴

+++++++++++++++++++++++

(07.07.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී රුසියානු ස්පුට්නික් එන්නතේ ජාත්‍යන්තර සැපයුමට යම් බාධා ඇතිවිය හැකි බවට රුසියානු සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

මීට හේතු වී ඇත්තේ මේ වන විට රුසියාව තුළ කෝවිඩ්-19 වසංගත තත්ත්වය බරපතල වීමයි.

මේ හේතුවෙන් එරට වෛද්‍ය අධිකාරිය ස්පුට්නික් එන්නත නිෂ්පාදනය කරන අදාළ සමාගමට දැනුම් දී ඇත්තේ, පළමුව රුසියාව තුළ එන්නතට ඇති ඉල්ලුම් සපුරාලීම කෙරෙහි සිය අවධානය යොමු කරන ලෙසයි.

එමෙන්ම මෙම එන්නතේ නිෂ්පාදන ධාරිතාව වැඩි කරන ලෙසත් රුසියානු රජය අදාළ එන්නත් නිෂ්පාදන සමාගමට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් රුසියාව තුළ මේ වනවිට සීඝ්‍රයෙන් ඉහල යන කොවිඩ් අවධානමත් සමග මතුවී ඇති අධික එන්නත් ඉල්ලුමත් සමඟ, ඉදිරියේදී අනිවාර්‍යයෙන්ම එන්නතේ ජාත්‍යන්තර අපනයනය වලට බාධා පැමිණිය හැකි බවටයි එරට සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ ෴

++++++++++++++++++++++++

(07.07.2021 – 14:22 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකන් ගුවන් සේවය යළිත් රුසියාවේ මොස්කව් දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව ලබන 30 වනදා සිට කටුනායක සිට මොස්කව්හි ඩොමෙඩෙඩෝවෝ ගුවන්තොටුපල අතර සතිපතා ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

සෑම සිකුරාදා දිනකම ශ්‍රී ලංකාවේ සිට රුසියාව වෙත ගමන් ආරම්භ කරනු ලබන්නේ පිරිමැසුම් පන්තියේ ආසන 269 ක් සහ ව්‍යාපාරික පන්තියේ ආසන 28 කින් සමන්විත ‘එයාර් බස් A330’ වර්ගයේ ගුවන් යානා සමගින්.

සතියකට එක් (1) වරක් සෑම සිකුරාදා දිනකම ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක වනු ඇති.

UL533 දරණ යානය රාත්‍රී 10:20 ට කොළඹින් පිටත්වී අලුයම 04:30ට මොස්කව් ඩොමොඩෙඩෝවෝ ගුවන්තොටුපළට ගොඩබසිනු ඇති.

යළිත් UL534 යානය මොස්කව් සිට රාත්‍රී 07:15 ට පිටත්වී ඉරිදා උදෑසන 06:05 ට කටුනායකට පැමිණීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම නගර දෙක (2) අතර පියාසර කාලය පැය 8 යි විනාඩි 25 ක් පමණ වන බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භයට පෙර ශ්‍රී ලංකන් ගුවන් සේවය රටවල් 20 ක ගමනාන්ත 37 ක් වෙත පියාසර කළ අතර ක්‍රමයෙන් එම ජාලය නැවත ගොඩනගා ගනිමින් එම සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු, සමාගමේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානයේ +94 11 777 1979 යන දුරකථන අංකය ඇමතීමෙන් හෝ www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි ෴

+++++++++++++++++

(07.07.2021 – 15:00 +0530 – hirunews.lk/sinhala)

ලබන 12 වන දා සිට රජයේ පාසල්වල සියළුම ගුරුවරුන්ට කොරෝනා එන්නත ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

වයස් භේදයක් නොසලකා අදාළ එන්නත ලබාදෙන බවයි අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

පසුගියදා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදීයි ගුරුවරුන්ට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් තීරණයකට එළඹ තිබුනේ.

ඒ අනුව මෙරට 10,155 ක් වන සියලු පාසල්වල ගුරුවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට සහ අනධ්‍යයන සේවකයන්ට ද එන්නත් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

විදුහල්පතිවරු, සහාය කාර්ය මණ්ඩලයක් පත්කර ඒ ඒ මධ්‍යස්ථානවලට යවා ගුරුවරුන් හඳුනා ගැනීම සිදුකරනු ඇති.

අධ්‍යාපන අමාත්‍යවරයා කියාසිටියේ සියලු ගුරුවරුන්ට ප්‍රමුඛ කණ්ඩායමක් ලෙසට සලකා පාසල් හැකිතාක් ඉක්මනින් විවෘත කිරීමට හැකිවන පරිදි පළමු පියවර වශයෙන් එන්නත් කරණය සිදුකරන බවයි.

එමෙන්ම පාසල් විවෘත කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවරක් වශයෙන් ළමුන් 100 ට අඩු පාසල් රජයේ ආධාර ලබන පාසල් සහ පිරිමෙන් විවෘත කිරීමට අපේක්ෂිතයි.

පාසල් වසා තැබීම අඛණ්ඩවම සිදුකළ නොහැකි අතර මෙම එන්නත්කරණ වැඩපිළිවෙල ඉක්මනින් අවසන් කිරීමට හැකි බවට ද අධ්‍යාපන අමාත්‍යවරයා විශ්වාසය පළකරනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *