නැවත දැනුම්දෙන තුරු පොදු රැස්වීම් සහ උද්ඝෝෂණ තහනම්

නැවත දැනුම්දෙන තුරු පොදු රැස්වීම් සහ උද්ඝෝෂණ තහනම්

*********************************************

නැවත දැනුම්දෙන තුරු පොදු රැස්වීම් සහ උද්ඝෝෂණ තහනම්

(06.07.2021 – 17:42 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිදුකළ දැනුම්දීමක් අනුව ජනතාව විශාල වශයෙන් ඒකරාශීවන පොදු රැස්වීම් හා උද්ඝෝෂණ පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු සිදු නොකළ යුතු බව පොලිස් මූලස්ථානය අද (06) දැනුම් දුන්නා.

පොලිස්පතිවරයා වෙත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ලිඛිතව දැනුම් දී ඇත්තේ පොදු රැස්වීම් හා උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම් තුළින් කොරෝනා රෝගය පැතිර යාමේ විශාල අවදානමක් පවතින බවයි.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබාදී ඇති නිරෝධායන නියෝග සම්බන්ධයෙන් ක්‍රියාකරන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

+++++++++++++++++++++++++

(06.07.2021 – 16:38 +0530 – hirunews.lk/sinhala)

රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයකුගෙන් දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විශ්වාස කරන බව රාගම වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල්චන්ද්‍ර මහතා පවසනවා.

දෙහිවල සත්ව උද්‍යානයේ කොරෝනා ආසාදිතව සිටියදී හඳුනාගත් සිංහයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලැබුවේ මෙම මහාචාර්යවරයායි.

දෙහිවල සත්වෝද්‍යානයේ ‘තෝර්’ නැමැති සිංහයාට කොරෝනා වෛරසය ආසාදිත බවට පළමුවරට හඳුනාගත් අතර ඉන්පසුව සිංහ ධේනුවටද වෛරසය ආසාදිත බවට හඳුනා ගනු ලැබුවා.

රාගම වෛද්‍ය පීඨයේ පරීක්ෂණ කණ්ඩායම විසින් සිංහයාගේ නාස් කුහරයන්ගෙන් ලබාගත් සෙම පටල මගින් වෛරසය ආසාදිත බව හඳුනා ගෙන තිබුණා.

ඒ අනුව එම සිංහයාට වැළඳී ඇති වෛරස් ප්‍රභේදය කුමක්ද යන්න පරික්ෂා කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ සිදුකළා.

ඒ අනුව පළමුව හඳුනාගත් තෝර් නැමැති සිංහයාට ඇල්ෆා ප්‍රභේදය වැළඳී ඇති බවයි මේ වන විට තහවුරු වී ඇත්තේ.

ඒ හේතුව මත මේවන විට සිංහ ධේනුවගේ ද ජාන විශ්ලේෂණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ‍ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට බාරදී ඇති බව මහාචාර්ය සුනිල්චන්ද්‍ර මහතා කියාසිටියා.

බොහෝ දුරට සිංහ ධේනුවට ද ඇල්ෆා ප්‍රභේදය ම වැළඳී ඇති බවට සැක කරන බවයි මහාචාර්යවරයා ප්‍රකාශ කළේ.

එමෙන්ම මෙම ඇල්ෆා ප්‍රභේදය එංගලන්තයේ සීග්‍රයෙන් පැතිර යන ප්‍රභේදයක් වන අතර එය සතුන් අතර පැතිරයාමේ දැඩි අවදානමක් ඇති බව ඔහු පෙන්වා දෙනවා.

වානර වර්ගයේ සතුන්ට කොරෝනා වෛරසය වැළඳීමේ වැඩි අවදානමක් ඇති බවත් බළල් කුලයේ සතුන්ට කොරෝනා වෛරසය වැළඳීමේ මධ්‍යම ප්‍රමාණයේ අවදානමක් ඇති බවද ඔහු කියා සිටියා.

සිංහයන්ට කොරෝනා වයිරසය ආසාදනය වීම සම්බන්ධයෙන් දෙහිවල සත්වඋද්‍යානයේ සේවකයන් සියයකට (100) අධික පිරිසකගේ PCR පරීක්ෂණ සිදුකරනු ලැබූ අතර එයින් එක් (1) පුද්ගලයකු පමණක් කොරෝනා වෛරසය ආසාදිත ව හඳුනාගත් අතර එම පුද්ගලයා සිංහයන් සමග සමීප සම්බන්ධතා නොපවත්වා ඇති බව මහාචාර්ය සුනිල්චන්ද්‍ර මහතා කියාසිටියා.

රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයකුගෙන් සිංහයන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තමන් සැක සිතන බවයි ඔහු සඳහන් කළේ.

සතුන්ගෙන් කොරෝනා වෛරසය මිනිසුන්ට බෝ නොවන අතර මිනිසුන්ගෙන් සතුන්ට කොරෝනා වෛරසය ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇතැයි ද මහාචාර්යවරයා කියාසිටියා.

රාගම වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල්චන්ද්‍ර මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තමන් අසනීප තත්ත්වයෙන් පසුවේ නම් සුරතල් සතුන් සම්බන්ධයෙන් වැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසටයි ෴

++++++++++++++++++++++

(06.07.2021 – 17:23 +0530 – hirunews.lk/sinhala)

යුද හමුදාවේ පර්යේෂණ, විශ්ලේෂණ හා සංවර්ධන ඒකකය නිෂ්පාදනය කළ දෑත් විෂබීජහරණය කිරීමේ යන්ත්‍රයක් අද (06) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හඳුන්වා දුන්නා.

විෂබීජහරණ දියර ලීටර් 4 ක ප්‍රමාණයක් ගබඩා කිරීමෙන් පුද්ගලයින් 600 කගේ දෑත් විෂබීජහරණයට මෙන්ම විදුලි ආරෝපණයෙන් පසු පැය 48 ක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමේ හැකියාවත් මෙම යන්ත්‍රය සතු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

++++++++++++++++++++++

(06.07.2021 – 18:17 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (05) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 45 ක් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3313 ක් ලෙසටයි ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 650 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 267,149 ක් ලෙසටයි ෴

++++++++++++++++++++++

නව කොරෝනා ප්‍රභේදයක් ‘ලැම්ඩා’ රටවල් 30 කින් හමුවේ

(06.07.2021 – 20:38 +0530 – hirunews.lk/sinhala)

දැනට ලෝකයේ සීග්‍රයෙන් ව්‍යාප්ත වන ‘ඩෙල්ටා’ ප්‍රභේදයට වඩා ප්‍රබල ව්‍යාප්තියක් පෙන්නුම් කරන නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් පේරු රාජ්‍යයෙන් හඳුනාගෙන තිබෙනවා.

පේරු රාජ්‍යයෙන් හඳුනා ගත් ප්‍රබල ව්‍යාප්තියක් සහිත නව කොරෝනා ප්‍රභේදය ‘ලැම්ඩා’ ලෙස හඳුන්වන අතර එය එංගලන්තය ඇතුලු රටවල් 30 කින් හඳුනාගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර අද (06) දිනයේ මේ දක්වා කාලය තුළ නව ආසාදිතයන් 650 දෙනෙකු අලුතින් වාර්තාවීමත් සමඟ මෙරට මුළු ආසාදිත සංඛ්‍යාව 267,149 ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම නව මරණ 45 ක් සමඟ මෙරට මුළු මරණ සංඛ්‍යාව දැක්වුණේ 3,313 ක් ලෙසයි.

මේ අතර, ත්‍රිවිධ හමුදාවේ මැදිහත්වීමෙන් කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සහ සෙසු පළාත්වල වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් ඉලක්ක කර කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම අදත් (06) සිදු කෙරුණා.

කොරෝනා එන්නත් ලබාගැනීමට ජාඇල ප්‍රාදේශීය රෝහල වෙත පැමිණි ජනතාව චෝදනා කළේ තමන්ට අංකයක් හිමිවුවද එන්නත් නොමැති බවට දැනුම් දුන් බවයි.

එමෙන්ම වතුපිටිවල මූලික රෝහලට එන්නත් ලබාගැනීම සඳහා පැමිණි පිරිස්ද දුෂ්කරතාවට පත්ව තිබුණේ එය නිසි ක්‍රමවේදයක් අනුව ක්‍රියාත්මක නොවීම හේතුවෙන්.

මේ අතර, ශ්‍රී ලංකාව මිලදී ගත් ෆයිසර් එන්නත් තොගයෙන් දැනට ලැබී ඇති එන්නත් මාත්‍රා 26,000 කොළඹ එක සිට 15 දක්වා ප්‍රදේශවල ජනතාවට ලබාදීම හෙට සිට ආරම්භ කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

අදාළ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 55 ට වැඩි ජනතාවට ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදෙන අතර, එන්නත්කරණ දිනය, වේලාව සහ ස්ථානය දුරකථනය ඔස්සේ කෙටි පණිවුඩ මගින් දැනුම් දෙනු ඇති.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත පළමු (1) මාත්‍රාව ලෙස ලබාගත් පුද්ගලයන්ට දෙවන (2) මාත්‍රාව ලෙස ඇමරිකානු ෆයිසර් එන්නත ලබාදීමෙන් ඉහළ ප්‍රතිශක්තිකරණයක් ගොඩනැගෙන බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය මගින් සිදුකළ අධ්‍යයනයක ඊයේ (05) නිකුත් කළ නවතම වාර්තාවෙන් මේ බව හෙළි කර ඇති බවයි වෛරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රජීව් ද සිල්වා මහතා අද (06) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

@@@@@@@@@@@@@@@@

(06.07.2021 – 17:14 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරියක් දරුණු පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

දැරියගේ තත්ත්වය බරපතල අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

ආගරපතන ඩයගම ප්‍රදේශයේ පදිංචිකාරිණියක වන 16 හැවිරිදි දැරිය දරිද්‍රතාවය හේතුවෙන් 7 වන ශ්‍රේණියේදී පාසලෙන් ඉවත් වී ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

සහෝදර සහෝදරියන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වැන්නා වන මෙම දැරියට එක් වැඩිමහල් සහෝදරයෙකු සහ සහෝදරියන් සිව්දෙනෙකු (4) සිටින බව සඳහන්.

දැරියගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ ඇය මීට මාස 7 කට පමණ පෙර තැරැව්කරුවකු හරහා සේවිකාවක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසට ගිය බවයි.

ඇය රැකියාවට යාමෙන් පසු එක් වරක්වත් ඇය බැලීමට ඉඩ නොදුන් බව ද ඥාතීන් ප්‍රකාශකර තිබෙනවා.

කෙසේ වෙතත්, දැරිය සෑම මසකම තම නිවසට මුදල් යවා ඇති අතර වරින් වර පවුලේ සාමාජිකයන්ට දුරකථනයෙන් කතා කර තිබෙනවා.

පසුගියදා පවුලේ අය සමඟ දුරකථනයෙන් කතා කළ විට නිවසේ සේවය කරන රියදුරෙකු විසින් පහර දුන් බව දැරිය ප්‍රකාශ කර ඇතැයි සඳහන්.

දැරියගේ ඥාතීන් පවසන පරිදි ඇය රෝහලට ඇතුළත් කර ඇත්තේ මදුරු දඟරයක් දැල්වීමට ගිය අවස්ථාවේදී ගිනි ඇවිලුණු බවට පවසමින්.

කෙසේ වෙතත්, ඔවුන් සඳහන් කර ඇත්තේ තමන් දැරිය නවාතැන් ගෙන සිටි නිවසට ගොස් සොයා බැලු විට එහි ගින්නක් හටගත් බවට සැක කළ හැකි ස්ථානයක් හමු නොවූ බවයි.

නිවසට ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇතිවූ සැකය මත පොලිසියට දැනුම් දුන් බවයි අප සමග අදහස් දැක්වූ දැරියගේ වැඩිමහල් සොහොයුරා පවසා සිටියේ.

මේ අතර, දැරියට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසන්නේ ශරීරයට ගිනි ඇවිලීම හේතුවෙන් දැරියගේ ශරීරයෙන් සියයට 70 කට වඩා පිළිස්සී ඇති බවයි.

පෙරේදා නිවසේ ඇතිවූ ගින්නක් හේතුවෙන් ඇය මෙලෙස රෝහල් ගතකර ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුලු තවත් කිහිපදෙනෙකු නිවසේ සිට තිබෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී හෙළිවූයේ මෙම දැරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසට මෙහෙකාර සේවය සඳහා කැඳවාගෙන යන අවස්ථාවේදී ඇයට වයස අවුරුදු 16 සම්පූර්ණ නොවී තිබු බවයි.

අප මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා ගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියාසිටියේ මෙම සිදුවීම හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙරට සාමාන්‍ය නීතිය සහ දරුවෙකුගේ අධ්‍යාපනය හිමිකර ගැනීමට ඇති අයිතීන් උල්ලංඝණය කර ඇති බවයි

******************************************

(06.07.2021 – 18:04 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු මාවනැල්ල – බෙලිගම්මන ප්‍රදේශයේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අද (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘මොහොමඩ් සලීම් මොහොමඩ් සෆ්රාස්’ නැමති මොහු 32 හැවිරිදි වියේ පසුවන්නෙකු බවයි පොලීසිය කියා සිටියේ.

දැනට පාස්කු ප්‍රහාරයට අදාළව සිදු කෙරෙන විමර්ශනවලට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ෴

******************************************

(06.07.2021 – 17:25 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ආයතනයන් හි සේවය කරන අනියම්, දෛනික හා කොන්ත්‍රාත් සේවකයින් කඩිනමින් ස්ථීර කිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා.

දැනට පළාත් පාලන ආයතනවල එවැනි සේවකයින් 8000 ක් පමණ සේවය කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ස්ථීර කිරීමට අදාළ යෝජනාව මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඊයේ (05) ගාල්ල මහ නගර සභාවේ සේවය කරන අනියම්, දෛනික හා කොන්ත්‍රාත් සේවකයින් පිරිසක් විරෝධතාවක නිරත වුණේ තමන්ව කඩිනමින් සේවයේ ස්ථීර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් ෴

******************************************

(06.07.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala)

ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නම් කිරීමට අදාළ ලේඛන අද (06) පස්වරුවේ මැතිවරණ කොමිසම වෙත භාර දෙනු ලැබුවා.

ඒ, එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් විසින්.

ඒ අනුව මේ පිළිබද සාකච්ඡා කිරීම සඳහා හෙට (07) පෙරවරු 9 ට මැතිවරණ කොමිසම රැස්වීමට නියමිතව තිබෙනවා.

එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේ ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂගේ නම ගැසට් කෙරෙනු ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙත භාරදෙනු ලැබුවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහායි.

බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ඉවත්විය යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ සාකච්ඡා පැවැත්වුණා.

ෆලිල් මර්ජානා, මහාචාර්ය චරිත හේරත්, ජයන්ත කැටගොඩ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ නම් ඒ සඳහා යෝජනා වී තිබූ බවයි වාර්තා වූයේ.

ඉල්ලා අස්වීමෙන් පසු හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා කියා සිටියේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අනිද්දා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට පෙර මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ඇති බවයි.

******************************************

(06.07.2021 – 19:49 +0530 – hirunews.lk/sinhala)

පොහොර සහ කෘෂි රසායන හිඟය හේතුවෙන් තවමත් දුෂ්කරතාවට මුහුණදී සිටින ප්‍රදේශ රැසක ගොවීන්ට ඒ සඳහා නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් අදත් (06) උද්ඝෝෂණ ක්‍රියාත්මක වුණා.

පාතදුම්බර – මඩවල නගරයේදී පොහොර හිඟයට විසඳුම් ඉල්ලා සමගි ජනබලවේගයේ නියෝජිතයින් පිරිසක් ඇතුලු ගොවීන් අද (06) දහවල් විරෝධතාවක නිරතවූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, කුරුවිට නගරයේද පොහොර හිඟයට විසඳුම් ඉල්ලා අද (06) විරෝධතාවක් පැවැත්වුණා.

මතුගම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමට පැමිණි විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සභාව ඉදිරිපිට ප්‍රධාන මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයක නිරත වූ අතර, ඔවුන් යළි පැමිණි අවස්ථාවේ සභාවේ කටයුතු අවසන් කර තිබීමත් සමඟ උණුසුම් තත්වයක්ද මතුවුණා.

එමෙන්ම, වැලිමඩ – ඌව පරණගම – කඳුරුගොල්ල ප්‍රදේශයේ ගොවීන් සහ වැලිමඩ – උඩුලුකුඹුර ප්‍රදේශයේ ගොවීන් අද (06) විරෝධතාවක නිරත වූයේ පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින්.

මේ අතර, ඉඩම් අමාත්‍යාංශය යටතේ රුපියල් මිලියන 70 ක වියදමින් මහ පරිමාණයේ කාබනික පොහොර ව්‍යාපෘති 35 ක් ආරම්භ කිරීමේ වැඩසටහන යටතේ අනුරාධපුර – තිරප්පනේ – මධ්‍යම නුවර ගම් පළාතේ කාබනික පොහොර ව්‍යාපෘති දෙකක් (2) විවෘත කෙරුණා. ඒ සඳහා ඉඩම් වෙන් කිරීමේ උත්සවය සිදුකෙරුණේ විෂ්‍ය භාර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

******************************************

(06.07.2021 – 22:11 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටි රැඳවියන් 16 දෙනෙකු නිදහස් කිරීම සහ පොදු සමාව දීම පිළිබඳ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට විවිධ පාර්ශ්ව ප්‍රතිචාර දැක්වූවා.

@@@@@@@@@@@@@@

අධ්‍යාත්මික ශක්තියෙන් ප්‍රතිදේහ නිමවෙන හැටි! – දීගොඩ කුමාර ( Vishwa Dhyana) (06.07.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *