පළාත් අතර සංචරණ සීමා තවදුරටත් – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි

පළාත් අතර සංචරණ සීමා තවදුරටත් – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි

*********************************************

පළාත් අතර සංචරණ සීමා තවදුරටත් – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි

(04.07.2021 – 15:38 +0530 – hirunews.lk/sinhala)

හෙට (05) සිට ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා අණ පනත් යාවත්කාලීන කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර තිබෙනවා.

මෙම නව විධි විධාන අනුව පළාත් අතර සංචරණ සීමා තවත් සති දෙකක (2) කාලයක් සඳහා බලපැවැත්වෙනු ඇති.

ඉන් අනතුරුව සමාලෝචනයකින් පසුව පළාත් අතර සංචරණ සීමා ලිහිල් කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් පවතින සංචරණ සීමා යම් යම් ලිහිල් කිරීම් යටතේ ජුලි මස 19 වනදා දක්වා බලපැවැත්වෙන අතර බස්නාහිර පළාත තුල දැඩිව පවත්නා කොවිඩ්-19 වසංගත තත්වය පාලනය කිරීම සඳහා විශේෂ තත්වයන් යටතේ සීමාවන් කිහිපයක් ඉදිරියටත් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

නව සංශෝධන යටතේ පොදු ප්‍රවාහන සේවා සඳහා බස්නාහිර පළාත තුල ආසන ධාරිතාවෙන් සියයට 30 ක උපරිමයකට යටත්ව සේවාවන් පවත්වාගෙන යාහැකි අතර අනෙක් පළාත් සඳහා ආසන ධාරිතාව සියයට 50 දක්වා වැඩිකර තිබෙනවා.

එමෙන්ම ආයතනික රැස්වීම් සඳහා තිබූ සීමාවන් ලිහිල් කරමින් අත්‍යවශ්‍ය රැස්වීම් සඳහා 10 දෙනෙකුට සීමා කරමින් පැවැත්විය හැකියි.

වැඩමුළු, සම්මන්ත්‍රණ, සන්නාම දියත් කිරීම සඳහා එක්විය හැකි උපරිම පුද්ගල සංඛ්‍යාව 25 ක්.

නව සීමා ලිහිල් කිරීම් යටතේ සාප්පු සංකීර්ණ විවෘතව තැබීමට අවසර ඇති අතර එතුල නිකරුණේ ගැවසීම තහනම් කර තිබෙනවා.

එමෙන්ම සිල්ලර අලෙවිසැල් සෞඛ්‍ය රෙගුලාසි යටතේ විවෘත කිරීමට නව සීමා ලිහිල් කිරීම් අනුව හැකියාව ලැබෙනු ඇති.

කෙසේවෙතත් මංගල උත්සව, අවමංගල්‍ය අවස්ථා, පූජනීය ස්ථාන සඳහා පනවා ඇති සීමාවන් තවදුරටත් එලෙසම පවතිනවා.

හෝටල්, විවේකාගාර, ස්ථානය තුල අනුභව කළ හැකි සහ ආහාර පිටතට රැගෙන යාහැකි අවන්හල් සෞඛ්‍ය රෙගුලාසීන්ට යටත්ව විවෘත කිරීමට හෙට (05) සිට අවසර ලැබෙන අතර සම්භාෂණ පැවැත්වීම්, රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ ඔට්ටු මධ්‍යස්ථාන, සම්භාහන මධ්‍යස්ථාන, පබ් සහ බාර් තවදුරටත් වසා තැබෙනු ඇති.

මේ අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව උත්සව ශාලාවල විවාහ මංගල උත්සව පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විවාහ මංගල උත්සව සේවා සංගමය ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙරටින් මේ වනවිට වාර්තා වී ඇති ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයේ ප්‍රතිඵල තවත් මාසයකින් පමණ දැකගත හැකි වනු ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය කියා සිටියා.

නව මාර්ගෝපදේශ යටතේ වූවද පළාත් අතර සංචරණය සීමා තවදුරටත් පනවා තිබීම හේතුවෙන් පසුගිය සිකුරාදා දිනයේ ධාවනය වූ පරිදි දුම්රිය ධාවනයේ යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා කියා සිටියේ බදාදා දිනයේදී පළාත් අතර දුම්රිය සේවා ධාවනය කරවීමට අවසර ලබාදෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බවයි.

අන්තර් පළාත් බස් රථ ධාවනය හෙට (05) දිනයේද සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා කියා සිටියා.

බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ තවදුරටත් ආසන සංඛ්‍යාවට පළාත් තුළ බස් රථ ධාවනය සිදුකරන බවයි.

මේ අතර, ෆයිසර් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා 26,000ක් හෙට (05) දිනයේ දිවයිනට ළගා වන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ දකුණු ආසියානු කලාපයෙන් ෆයිසර් එන්නත හිමිවන පළමු රට වන්නේ ශ්‍රී ලංකාව බවයි.

එලෙස දිවයිනට ලැබෙන ෆයිසර් එන්නත් ලබාදෙන කණ්ඩායම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ කමිටුවක් විසින් සලකා බලමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නව සෞඛ්‍ය රෙගුලාසි සවිස්තර වාර්තාව පහතින් :

+++++++++++++++++++++

(04.07.2021 – 18:07 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල සත්වෝද්‍යානයේ තෝර් නමැති සිංහයාට ආසාදනය වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයේ පැතිර යන ඇල්ෆා කොරෝනා වෛරස් ප්‍රභේදය බවට මේ වනවිට තහවුරු වී තිබෙනවා.

ඒ රාගම වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අධ්‍යයන අංශය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එක්ව කළ පරීක්ෂණවලින් පසුවයි.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී රාගම වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.පී. සුනිල් චන්ද්‍රසෝම මහතා සඳහන් කළේ මූලික කොරෝනා පරීක්ෂණය මගින් වෛරසය ආසාදනය වූ බවට අනාවරණය වීමෙන් පසුව සිංහයාට වැළඳී ඇත්තේ කුමන ප්‍රභේදයදැයි සෙවීමට මෙම පරීක්ෂණය සිදුකළ බවයි.

එසේම, සිංහ ධේනුවගේ ජෛව සාම්පල ද වැළඳී ඇති කොරෝනා ප්‍රභේදය සෙවීම සඳහා පරීක්ෂණයට භාජනය කර ඇති බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.පී. සුනිල් චන්ද්‍රසෝම මහතා වැඩිදුරටත් සඳහන් කළා.

+++++++++++++++++++++++

(04.07.2021 – 18:12 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1022 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 266,101 ක් ලෙසටයි.

මේ අතර වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1923 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 233,317 ක් දක්වා ඉහළ ගියා ෴

+++++++++++++++++++++

(04.07.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (03) දිනයේ මෙරටින් තවත් කොරෝනා වෙරස ආසාදිත මරණ 45 ක් වාර්තාවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (04) තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3236 ක් ලෙසටයි.

මියගිය පිරිස අතර කාන්තාවන් 25 ක් සහ පිරිමි පුද්ගලයන් 20 දෙනෙකු වනවා.

අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමි පුද්ගලයන් 7 දෙනෙකු සහ කාන්තාවන් 03 දෙනෙකු මරණයට පත්වූවන් අතර වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි පුද්ගලයන් 13 ක් සහ කාන්තාවන් 22 ක් ද මෙම මරණ 45 ට අයත්.

මේ අතර ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1022 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 266,101 ක් ලෙසටයි.

මේ අතර වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1323 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 233,317 ක් දක්වා ඉහළ ගියා ෴

අද (04) දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 495 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1517 ක් ෴

+++++++++++++++++

බන්දුල ගෙන් ‘බදු විමුක්ති පැකේජයක්’

(04.07.2021 – 18:58 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී රටේ ආර්ථික අර්බුදයට පිලියමක් ලෙස ආයෝජන ප්‍රවර්ධන බදු විමුක්ති සහන පැකේජයක් හඳුන්වා දෙන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජා-ඇල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

මේ අතර, සුඛෝපභෝගි විදුලි උපකරණ ආනයනය අත්හිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

ඒ කොරෝනා අවදානමත් සමඟ රට තුල උද්ගතව ඇති ආර්ථික පීඩනය සැලකිල්ලට ගනිමින්.

මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් පවතින අතර ඉදිරියේදී ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙනු ඇති බවයි රජයේ ඉහළ පෙලේ ආරංචි මාර්ග සඳහන් කළේ.

අදාළ සීමා පැනවෙන දිනය සහ ඒවා බලපැවැත්වෙන කාලය තවමත් තීරණය කර නැහැ.

මේ අතර, දැනට මෝටර් වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ වන බව සඳහන්.

පවතින විදේශ විනිමය සංචිත හිගය තවදුරටත් වර්ධනය වීම වළක්වා ගැනීම සඳහා මෙම තීරණ ගැනෙන බව මහබැංකුව ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේ සුඛෝපභෝගි භාණ්ඩ ආනයනය අත්හිටුවීම සම්බන්ධයෙන් පළ වන වාර්තා අසත්‍ය බවයි.

මෙතෙක් එවැනි තීරණයකට එළඹ නොමැති බව ද ඔහු කියා සිටියා.

ජංගම දුරකථන, රූපවාහිනී, ශීතකරණ ඇතුලු විද්‍යුත් උපකරණ ආනයනය අත්හිටුවීමට තීරණය කර ඇති බවට සමාජ මාධ්‍ය තුල පළවන වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පවසනවා ෴

+++++++++++++++++++++

(04.07.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

යුද හමුදා රෝහල ඇතුලු මධ්‍යස්ථානවලදී බස්නාහිර පළාතේ අවුරුදු 30 ට වැඩි පුද්ගලයන්ට එන්නත් ලබාදීම හෙට (05) ආරම්භ කෙරෙනවා.

එමෙන්ම අනෙක් සියලු පළාත්වල අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට ද එන්නත් ලබාදීම හෙට ආරම්භ කිරීමට නියමිතයි.

බස්නාහිර පළාතේ අවුරුදු 30 ට වැඩි පුද්ගලයන්ට එන්නත් ලබාදීම නාරාහේන්පිට යුද හමුදා රෝහල, දියත උයන, පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාමය සහ වේරහැර හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේදී ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

උදෑසන 08:30 සිට පස්වරු 04:30 දක්වා එන්නත් ලබාදීම සිදු කෙරෙනු ඇති.

එන්නත් ලබාගැනීම සඳහා ජාතික හැඳුනුම්පත රැගෙන පැමිණිය යුතු වනවා.

+++++++++++++++++++++++

(04.07.2021 – 20:23 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සියලුම රජයේ සහ පෞද්ගලික පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ර හෙට (05) සිට ලබන 30 වනදා දක්වා භාරගනු ලබන්නේ මාර්ගගත (online) ක්‍රමයට පමණක් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා ෴

@@@@@@@@@@@@@@@

(04.07.2021 – 18:47 +0530 – hirunews.lk/sinhala)

යාපනය – කෝපායි ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී කඩු පොලු වලින් පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.

ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ප්‍රහාරය සඳහා යොදා ගත් ආයුධ කිහිපයක් ද සොයා ගත් බවයි.

යතුරුපැදි 5 කින් පැමිණි පුද්ගලයින් 14 දෙනෙකු පැමිණ මෙලෙස පහරදී තිබුණේ යාපනය – කෝපායි – කෝණ්ඩාවිල් සෙල්වපුරම් ප්‍රදේශයේ පිහිටි නිවසකටයි.

මෙම නිවසේ ‘ටික් ටොක් ස්ටුඩියෝ’ නමින් ගීත පටිගත කිරීමේ ස්ථානයක් ද පැවති අතර, ප්‍රහාරයට පැමිණි පුද්ගලයන් එම ස්ථානයට ද දැඩි අලාභ හානි සිදුකර තිබුණා.

+++++

මේ අතර, පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහරදුන්නේ යැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුද හමුදා කපිතාන්වරයෙකු ඇතුළු යුද හමුදා සාමාජිකයන් සිව්දෙනා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔවුන් අද (04) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එක් අයෙකු කෝප්‍රල්වරයෙකු වන අතර අනෙක් දෙදෙනා ලාන්ස් කෝප්‍රල්වරුන් දෙදෙනෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

පසුගිය 29 වනදා රාත්‍රියේ නොරොච්චෝලේ – පණිඅඩිය ගම්මානයේ පදිංචිකරුවෙකු වන රාජාශ්‍රීකාන්ත් නමැත්තෙක් නිවසේ සිටියදී කිසියම් පිරිසක් විසින් පැමිණ පැහැර ගෙන ගොස් පහරදී අතහැර දමාගොස් තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව මගින් ද මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බව යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා ෴

******************************************

අලුත්ම දේශදෝහී පණත පරාජය කරමු – පූජ්‍ය ආචාර්‍ය්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ (26.06.2021)

******************************************

පොහොර සහනාධාරය ගොවියාට සෘජුව මුදල් ලෙස ලබා දිම අපි අගය කරනවා – වෛද්‍ය වසන්ත බණ්ඩාර (04.07.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *