පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ රාජකාරි ලබන 05 වනදා සිට ඇරඹෙයි

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ රාජකාරි ලබන 05 වනදා සිට ඇරඹෙයි

*********************************************

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ රාජකාරි ලබන 05 වනදා සිට ඇරඹෙයි

(02.07.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

ලබන 05 වනදා සිට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සීමිත මහජන සේවාවන් සඳහා විවෘත කෙරෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දුරකථන ඇමතුම් ලබා දී දිනයක් සහ අංකයත් වෙන් කර ගන්නා පුද්ගලයන්ට පමණක් සේවාවන් ලබා ගත හැකි බවයි.

ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල හැඳුනුම්පත් අංශයට යොමු වී තම දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාලවල දුරකථන අංක මගින් දිනයක් වෙන් කරවා ගැනීම අනිවාර්ය වන බවද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එසේම මේ වන විට ඉල්ලුම්පත් යොමු කර ඇති පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලියාපදිංචි තැපෑල හරහා යොමු කිරීමට නියමිතයි.

පහත දැක්වෙන දුරකථන අංක අමතා දිනයක් සහ අංකයක් වෙන්කර ගත යුතු වනවා :

බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය : 011 522 6126 / 011 522 6100
දකුණු පළාත් කාර්යාලය : 091 222 8348
වයඹ පළාත් කාර්යාලය : 037 555 4337
උතුරු පළාත් කාර්යාලය : 024 222 72201
නැගෙනහිර පළාත් කාර්යාලය : 065 222 9449

[ https://www.drp.gov.lk/ ]

+++++++++++++++++++

(02.07.2021 – 15:19 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි සියලු‍ දෙනාට මේ මස අවසන් වීමට පෙර කොවිඩ් මර්දන එන්නත් ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී තිබෙනවා. ඒ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුව හමුවේදී එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වී තිබෙනවා.

ඊට අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හා කොවිඩ් මර්දන ක්‍රියාවලියට සම්බන්ධ වී සිටින බලධාරීන් එක්ව සිටියා. බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි සියලු‍ දෙනාට මේ මස 31 ට පෙර එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 30 ට වැඩි 60% කට, ගම්පහ දිස්ත්‍රික්කයේ 47% කට සහ කළුතර දිස්ත්‍රික්කයේ 34% කට කොවිඩ් මර්දන පළමු (1) එන්නත් මාත්‍රාව ලබා දී ඇති බවයි.

විධිමත් සැලැස්මක් යටතේ, සැප්තැම්බර් මාසයට පෙර දිවයිනේ සියලු‍ ප්‍රදේශවල ඉහළ පිරිසකට එන්නත ලබාදීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් දෙවන (2) මාත්‍රාව සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය කඩිනමින් ලැබෙනු ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී විශ්වාසය පළ කළ බවයි.

ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාගෙන ඇති සියලු‍ දෙනාට එහි දෙවන (2) මාත්‍රාව විධිමත් ආකාරයෙන් ලබාදීමට සැලසුම් කරන්නැයි ද ජනාධිපතිවරයා සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් අයෙකුට සති 45 ක් යනතෙක් එහි දෙවන (2) මාත්‍රාව ලබාගැනීමේ හැකියාව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇතැයි, කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙහිදී පෙන්වා දී තිබුණා.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා දෙලක්ෂ හැට හතර දහසක් (2,64,000) ජූලි මාසය අවසන් වීමට ප්‍රථම ලැබීමට නියමිත බව සෞඛ්‍ය අංශ තහවුරු කරනවා.

(02.07.2021 – 15:51 +0530 – hirunews.lk/sinhala)

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මේ වනවිට වසා දමා ඇති පාසල් විවෘත කිරීමේ දැඩි අවශ්‍යතාව හමුවේ සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව ආරම්භක පියවරක් ලෙස ළමුන් 100 ට අඩු පාසල් ජුලි මාසය තුළ විවෘත කිරීමට ප්‍රායෝගික වැඩ පිළිවෙලක් දියත් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

කොළඹ අද (02) පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ළමුන් 50 ට අඩු පාසල් 1439 ක් සහ ළමුන් 51-100 දක්වා පාසල් 1523 ක් වශයෙන් පාසල් 2962 ක් මූලික වශයෙන් ජූලි මාසය තුළ විවෘත කිරීමටත් අනෙකුත් පාසල් නිසි සැලසුමකට අනුව විවෘත කිරීමටත් අපේක්ෂා කරන බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ පාසල් ගුරුවරුන් සඳහා කොරෝනා එන්නත් ලබාදීම ලබන සතියේ සිට ආරම්භ කිරීමටද නියමිත බවයි ෴

තවත් කොවිඩ් ආසාදිතයින් 1,701 ක් සුවය ලබා අද (02) දිනයේ රෝහල් වලින් පිටවගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 229,541 දක්වා ඉහළ ගියා ෴

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 1102 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 262,074 ක් ෴

ඊයේ (01) දිනය තුල කොවිඩ් ආසාදිත මරණ 37 ක් මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද (02) දිනයේ තහවුරු කළා. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3,157 ක් දක්වා ඉහළ ගියා. මෙලෙස වාර්තා වී ඇති මරණ අතර කාන්තා මරණ 12 ක් සහ පිරිමි පුද්ගලයින්ගේ මරණ 25 ක් ඇතුළත් වනවා ෴

අද (02) දිනයේ දී තවත් කොවිඩ් ආසාදිතයින් 635 දෙනෙක් මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (02) දිනයේ මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,737ක් බවයි සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ ෴

@@@@@@@@@@@@@@@@

(02.07.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

ගත වූ මාස 3 ක කාලය තුල නැගෙනහිර, ගිණිකොණ, වයඹ සහ උතුර නාවික විදානයන් කළ සෝදිසි මෙහෙයුම් වලින් නීතිවිරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයන් 440 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී නාවික හමුදාව භාරයට ගෙන ඇති යාත්‍රා සංඛ්‍යාව 153 ක්.

නාවික හමුදාව ප්‍රකාශ කළේ ඔවුන් සියලුදෙනා සහ ධීවර යාත්‍රා මෙන්ම, අනෙකුත් ආම්පන්න ද ධීවර පරීක්ෂක කාර්යාලය වෙත සහ පොලීසි වෙත භාරදීමට කටයුතු කර ඇති බවයි ෴

******************************************

(02.07.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුහුදු සීමාවේදී නෞකා ගිනි ගැනීමේ තත්ත්වයන් ඇතිවුවහොත් ඊට මුහුණදීම සඳහා අති නවීන උපකරණ කොළඹ වරායේ සවිකිරීමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (01) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ෴

******************************************

(02.07.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පිවිසීම සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

******************************************

(02.07.2021 – 13:53 +0530 – hirunews.lk/sinhala)

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කල බව කියන චෝදනාවට එම සංස්ථාවේ හිටපු සභාපති ඇතුලු අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටපු සාමාජිකයන් 6 දෙනෙකු නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝග කළා.

ඒ ඊට අදාළ නඩුව චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (02) කැඳවූ අවස්ථාවේදීයී.

ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේ මෙමගින් තම සංස්ථාවට මූල්‍යමය අලාභයක් සිදුවී නොමැති බැවින් මෙම නඩුව පවත්වාගෙන යාම අභියෝගයක් බවයි.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර තහනම ඉවත් කර ඔවුන් නිදහස් කිරීමටයි ෴

******************************************

(02.07.2021 – 14:31 +0530 – hirunews.lk/sinhala)

ෆේස්බුක් සමාජ මාධ්‍ය තුල අපහාස කළා යැයි උරණ වී මහනුවර – බලගොල්ල ප්‍රදේශයේදී සිය මිතුරන් දෙදෙනෙකු (2) පැහැරගෙන ගොස් ඔවුන්ට පහරදී ඇණ ගැසීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන 32 හැවිරිදි කට්ටඩියා ඇතුළු සිව්දෙනෙකු (4) ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ තෙල්දෙණිය මහේස්ත්‍රාත් එල්.ජී.වී. ප්‍රනාන්දු අද (02) ලබාදුන් නියෝගයකට අනුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර මෙම කට්ටඩියා පොලීසියට භාරවීමෙන් පසු ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබුණා.

(02.07.2021 – 19:36 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල – පන්නම්පිටිය – මැණික්දෙන ප්‍රදේශයේ වයස අවුරුදු 16 ක දැරියකට තියුණු ආයුධයකින් පහරදී බරපතල තුවාල සිදුකළ 26 හැවිරිදි ඇයගේ පෙම්වතා සොයා පොලිස් කණ්ඩායම් දෙකක් (2) මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

පෙරේදා (30) අදාළ දැරිය පදිංචි නිවසට පැමිණි පෙම්වතා විසින් මෙම පහරදීම සිදුකර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. බරපතල තුවාල ලැබූ ඇය මේ වනවිට දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මව සහ පියා අහිමි මෙම දැරිය ජීවත්ව තිබුණේ සිය මිත්තණිය සමඟයි.

මාතලේ – මහවෙල ප්‍රදේශයේ පදිංචි සැකකරු බදුල්ල ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුතුවල රාජකාරී සිදුකර තිබුණා.

පෙරේදා (30) එක්වරම ඔහු සිය නිවසට පැමිණ මිණිපිරිය සමඟ බහින්බස් වී තියුණු ආයුධයකින් පහරදී නිවසින් පිටතට දිව ගිය බවයි මිත්තණිය සඳහන් කළේ ෴

******************************************

(02.07.2021 – 14:54 +0530 – hirunews.lk/sinhala)

එංගලන්ත තරග සංචාරය අතරතුර නීති විරෝධී අයුරින් ජෛව ආරක්ෂිත බුබුලෙන් පිටතට පැමිණි කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පවත්වන විනය පරීක්ෂණ මෙහෙයවීම සදහා පංච (5) පුද්ගල විනය කමිටුවක් නම් කර තිබෙනවා.

මෙම විනය කමිටුවේ සභාපති ලෙස අජිත් වීරසිංහ මහතා කටයුතු කරන අතර සෙසු සාමාජිකයින් වන්නේ එම්. රුවයිස් ලතීෆ්, නිරෝෂන් පෙරේරා, නලින්ද ඉලංගකෝන් සහ අනුර චන්ද්‍රසිරි යන මහත්වරුන්.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් මෙලෙස අදහස් පළ කළා.

******************************************

(02.07.2021 – 16:31 +0530 – hirunews.lk/sinhala)

සාගරයට සිදුවූ බලපෑම ගණනය කිරීම සඳහා පැමිණි ඉන්දීය ජල විද්‍යා සමීක්ෂණ නෞකාව මගින් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව මුහුදුබත් වූ ප්‍රදේශය වටා සැතපුම් 807 ක් පරීක්ෂා කර තිබෙනවා.

එහිදී දියයට ඇති සුන්බුන් 54 ක් මෙන්ම නෞකාවේ කොටසක්ද හඳුනාගෙන ඇති බවයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.

මේ අතර, මෙරට මුහුදු සීමාවේදී නෞකා ගිනි ගැනීමේ තත්ත්වයන් ඇතිවුවහොත් ඊට මුහුණදීම සඳහා අති නවීන උපකරණ කොළඹ වරායේ සවිකිරීමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ෴

******************************************

(02.07.2021 – 17:12 +0530 – hirunews.lk/sinhala)

ලබන 10 වනදා සිට 24 වනදා දක්වා කතරගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සුරාබදු බලපත්‍රලත් සියලුම මත්පැන් අලෙවි කිරිමේ ස්ථාන වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඇසල පෙරහැර පැවැත්වීම හේතුවෙන් මෙලෙස එම කාලසිමාව තුළ එම ප්‍රදේශයේ සියලුම මත්පැන් අලෙවි කිරිමේ ස්ථාන වසා තැබිය යුතු බවයි සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

මේ මස 10 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිත ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසල පෙරහර මංගල්‍යය බැතිමතුන්ගෙන් තොරව චාරිත්‍රවලට පමණක් සීමා කර සිදුකිරීමට කතරගම ඇසළ උත්සව කමිටුව ඊයේ (01) තීරණය කළා.

මේ අතර, පර්පෙචුවල් ට්‍රේෂරීස් සමූහයට අයත් මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනය සඳහා දැඩි කොන්දේසිවලට යටත්ව යළි අවසර ලබාදුන් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා ෴

******************************************

(02.07.2021 – 17:36 +0530 – hirunews.lk/sinhala)

2021 වසරේ දෙවන (2) කාර්තුව සඳහා කොළඹ මහ නගර සභාවේ වරිපමන් බදු ගෙවීමට ලබාදුන් කාලය ජූලි 31 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව මෙම වසරේ දෙවන (2) කාර්තුව සඳහා ජුලි මස 31 දක්වා වරෙන්තු ගාස්තු අය කිරීමකින් තොරව වරිපනම් බදු ගෙවිය හැකි අතර, ජුලි 31 දිනෙන් පසු දෙවන කාර්තුව සඳහා කරන ගෙවීම් වෙනුවෙන් නේවාසික දේපල සහ මුඩුබිම් සඳහා කාර්තුවේ වරිපනම් බදු වටිනාකමින් සියයට 15 ක් ද සෙසු දේපල සඳහා සියයට 20 ක් ද වශයෙන් වරෙන්තු ගාස්තු අය කරන බවයි, කොළඹ මහ නගර සභාව දැනුම් දෙන්නේ ෴

බැංකු පොලී අනුපාත වෙනස් කිරීමේ අවශ්‍යතාවක් තවමත් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා ෴

******************************************

(02.07.2021 – 19:40 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක් වැරදීමකින් ගිණුම්ගත කළ රුපියල් ලක්ෂ 13 ක මුදල් ප්‍රමාණයක් නැවත බැංකුව වෙත ලබාදුන් තරුණියක් පිළිබඳ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

දඹුල්ල ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන ඇයට රුපියල් ලක්ෂ 07 ක මුදලක් අවශ්‍යව තිබී ඇති අතර, එය තම හිතවතෙකුගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ පුද්ගලයා බැංකුවට ගොස් ඇයට මුදල් රැගෙන දී පිටව ගොස් තිබුණා.

එම ස්ථානයේ මුදල් ගණන් කිරීමට නොහැකි නිසා මුදල් අසුරණය රැගෙන නිවසට පැමිණ එය ගණන් කිරීමේදී එහි රුපියල් ලක්ෂ 20 ක මුදලක් තිබී ඇති අතර, ඒ පිළිබඳව බැංකුව දැනුවත් කර ඔවුන් එම මුදල් යළි බැංකුවට ලබාදී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ ෴

******************************************

(02.07.2021 – 19:43 +0530 – hirunews.lk/sinhala)

සඳුදා (05) රැස්වන අමාත්‍ය මණ්ඩලයට ඉල්ලීම් ඉදිරිපත් කර විසඳුම් ලබා නොදෙන්නේ නම් අඛන්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එලඹෙන බව හෙද වෘත්තීය සමිති පවසනවා.

අනිද්දා (04) දිනයේ සියළු හෙද වෘත්තීය සමිති ඒකාබද්ධ සාකච්ඡාවක් පැවැත්වීමටද තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

උසස්වීම් සහ දීමනා ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමින් හෙද වෘත්තීය සමිති 03 ක් ඒකාබද්ධව ඊයේ (01) දීපව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කළා.

එය දෙවැනි (2) දිනටත් අද (02) ක්‍රියාත්මක වූ අතර හෙට (03) උදෑසන 07:00 ට අවසන් කිරිමටයි නියමිතව ඇත්තේ.

මෙම වැඩවර්ජනය හේතුවෙන් ඊයේ (01) මෙන්ම අදත් (02) රෝහල් රැසක ප්‍රතිකාර කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල වුණා.

දුර බැහැර සිට සායන සහ වෙනත් ප්‍රතිකාර කටයුතු සඳහා පැමිණි රෝගින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පත්වූයේ දැඩි අසීරුතාවයකටයි.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙන්ම සමස්ත ලංකා හෙද සංගමය එක්වයි මෙලෙස වර්ජනයේ නිරත වන්නේ.

******************************************

(02.07.2021 – 19:46 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ගෙනයන කාබනික කෘෂිකර්මය වෙත යොමුවීමේ වැඩපිලිවෙලට ඉන්දීය සහය ලබාදීමට සූදානම් බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ප්‍රකාශ කළා.

ඒ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු දෙරටේ නියෝජිතයින් අතර ඔන්ලයින් ක්‍රමයට ඊයේ (01) පැවති සාකච්ඡාවකදීයී.

කාබනික කෘෂිකර්මාන්තයට අදාළ පුහුණුව ලබා දීම, තාක්ෂණික ඥාණය බෙදා ගැනීම සහ පර්යේෂණ සඳහා දායකත්වය ලබා දීමේදී දෙරට අතර සහයෝගීතාවය වැදගත් බව ඉන්දීය මහ කොමසාරිස්වරයා එහිදී අවධාරණය කළා.

ඒ අනුව ඉන්දියාවේ සහයෝගය සහිතව විශිෂ්ඨත්වයේ කාබනික මධ්‍යස්ථානයක් මෙරට තුල පිහිටුවීමට අදාල යෝජනාවක්ද ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කළා.

එහිදී ඔහු දෙරටේ ජෛව පොහොර සමාගම් වෙත වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාව තුල ජෛව පොහොර නිපදවීමේ ඒකාබද්ධ ව්‍යාපෘතීන් ගොඩනැගීම සඳහා පවතින අවස්ථාවන් පිළිබඳව සොයා බලන ලෙසයි.

මේ අතර, පොළොන්නරුව – ලංකාපුර ප්‍රාදේශිය සභාව මගින් ද කාබනික පොහොර නිෂ්පාදන කම්හලක් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම වැලිගම නගර සභාව මගින් 2006 වසරේ සිට ආරම්භ කල කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘතිය තුළින් මේ වනවිට දෛනිකව පොහොර කිලෝග්‍රෑම් 2,500 ක් පමණ නිෂ්පාදනය කරන බව එම නගර සභාවේ ලේකම් ලලිත් ප්‍රියදර්ශන මහතා කියා සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *