හෙද වර්ජනයෙන් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලටත් බලපෑම්

හෙද වර්ජනයෙන් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලටත් බලපෑම්

*********************************************

හෙද වර්ජනයෙන් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලටත් බලපෑම්

(01.07.2021 – 20:20 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් හෙද වෘත්තීය සමිති තුනක් (3) එක්ව ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට දැඩි බලපැම් එල්ල වි තිබෙනවා.

හෙද සේවාවට සම්බන්ධ ප්‍රධාන වෘත්තිය සමිති තුනම (3) අද (01) සහ හෙට (02) ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළේ මාණ්ඩලික සේවය අහිමි කිරීම, උසස්වීම් ලබා නොදීම ඇතුළු කරුණු මෙතෙක් ඉටු නොවීමට එරෙහිවයි.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලුම රෝහල් වල ප්‍රතිකාර ගැනීමට පැමිණි ජනතාව දැඩි පීඩාවට පත් වුණා.

ඇතැම් රෝහල්වල හදිසි ප්‍රතිකාර කටයුතු ද සිදු වුයේ නැහැ.

කෙසේ වෙතත්, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේ කොවිඩ් රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන මෙන්ම විශේෂිත රෝහල්වල මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බවයි.

මේ අතර, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සූම් තාක්ෂණය ඔස්සේ වර්ජනය ක්‍රියාත්මක වන රෝහල්වල කාර්ය මණ්ඩලයෙන් තොරතුරු විමසීමෙන් අනතුරුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

එහෙත්, කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල වෘත්තිය ක්‍රියාමාර්ගය සිදු නොවන බවට සියලුම වෘත්තිය සමිති ප්‍රකාශ කළ ද හෝමාගම, නාවලපිටිය ඇතුළු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවල හෙද නිළධාරින් සේවයට පැමිණ තිබුණේ නැහැ.

මේ හේතුවෙන් එම රෝහල් වල ප්‍රතිකාර කටයුතු සහ එන්නත්කරණ කටයුතු සිදු කෙරුණේ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් පමණක් විම විශේෂත්වයක්.

මේ අතර, පැවති වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බදුල්ල මහ රෝහලට පැමිණි පිළිකා රෝගීන් දැඩි අපහසුතාවට පත්වූ අතර, ඇතැම් රෝගීන් රෝහල තුළම අපහසුතාවට පත්ව සිටි අයුරු දක්නට ලැබුණූ බවයි හිරු වාර්තාකරුවන් කියා සිටියේ.

(02.07.2021 – 08:04 +0530 – hirunews.lk/sinhala)

උසස් වීම් සහ දීමනා ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද වෘත්තීය සමිති 3 ක් ඊයේ (01) ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (02) දිනයේත් ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් රෝහල් රැසක කටයුතු ඊයේ (01) අඩාල වී තිබුණා.

කොරෝනා ප්‍රතිකාර සිදුකරන සහ අත්‍යාවශ්‍ය රෝහල් කිහිපයක හැර කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව පැවසුවත් කොරෝනා ප්‍රතිකාර රෝහල් තුළද වර්ජනය ක්‍රියාත්මක වූ බව වාර්තා වුණා.

ප්‍රවාහන හා අතුරු දීමනා රුපියල් 15,000 ක මුදල ලබාදීම, නිල ඇඳුම් දීමනා වැඩි කිරීම, හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීම, වසර පහෙන් පහට සිදුවන උසස්වීම් ලබාදීම ඇතුළු ඉල්ලීම් 09 ක් මුල් කරගෙන ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබුවා.

රජයේ හෙද නිලධාරින්ගේ සංගමය, සමස්ත ලංකා හෙද සංගමය සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙම වර්ජනයට එක්ව සිටිනවා.

කෙසේ වෙතත්, හදිසි හා අත්‍යවශ්‍ය සේවා අඛන්ඩව පවත්වාගෙන යාමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

++++++++++++++++++++++

(02.07.2021 – 06:29 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, ගම්පහ, රත්නපුර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද (02) පෙරවරු හයේ (06:00) සිට හුදෙකලා කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ නුගේගොඩ පොලිස් බල ප්‍රදේශයේ ඔබේසේකරපුර 514-සී ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කෙරෙනු ඇති.

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බල ප්‍රදේශයේ හැඳල උතුර ග්‍රාම නිලධාරී වසමේ ඕලන්ද ගම්මානය සහ රබර්වත්ත ගම්මානයද කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් හුදෙකලා කර තිබෙනවා.

එසේම, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල පොලිස් වසමේ මාටුවාගල වත්තෙහි උඩ කොටස මෙන්ම නුවරඑලිය දිස්ත්‍රික්කයේ බොගවන්තලාව පොලිස් වසමේ කොටියාගලවත්ත පහල කොටසද හුදෙකලා කෙරෙනු ඇති.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම සහ මීගහවත්ත පොලිස් බල ප්‍රදේශවල යටිහේන සහ සියඹලාපෙවත්ත ග්‍රාම නිලධාරී වසම්වල හුදෙකලා කර තිබූ මාර්ග කිහිපයක හුදෙකලාභාවයද ඉවත් කර තිබෙනවා.

එසේම, මාතලේ දිස්ත්‍රික්කයේ මහවෙල දෙමදඔය ඊ-417-ඒ ග්‍රාම නිලධාරී වසමේ හුදෙකලාභාවයද ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව අද (02) අලුයම 6 සිට ග්‍රාම නිලධාරී වසම් 5 ක් හුදෙකලා කෙරෙන අතර එම ප්‍රදේශ පහතින් :

++++++++++++++++++++++

(02.07.2021 – 07:19 +0530 – hirunews.lk/sinhala)

උසස් අධ්‍යාපනය සහ වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වීමට නියමිත සිසුන් සඳහා සයිනෝෆාම් එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

එම එන්නත්කරණය අවශ්‍ය පුද්ගලයන් ඒ සඳහා පූර්ව ලියාපදිංචි වීම අවශ්‍ය වන බවයි රජය දැනුම්දී ඇත්තේ.

එසේ ලියාපදිංචි කිරීම සිදුකර දින 02ක් ඇතුලත කෙටි පණිවුඩයක් මගින් එන්නත්කරණය ලබාගතයුතු දිනය වේලාව ස්ථානය අයදුම්කරු හට ලබාදෙනු ඇති.

ලියාපදිංචිවීමට :

[ https://pre-departure-vaccine.covid19.gov.lk/ ]

++++++++++++++++++++++

(02.07.2021 – 07:36 +0530 – hirunews.lk/sinhala)

මේ අතර, තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද (02) අලු‍යම දිවයිනට රැගෙන ආවා.

අද (02) අලු‍යම පහට (05:00) පමණ මෙම එන්නත් තොගය දිවයිනට රැගෙන ආවේ යූ.එල්. 869 දරන ගුවන් යානයෙන්.

අද (02) ලැබුණු මාත්‍රා මිලියන 10 ත් සමඟ මේ වනවිට සයිනොෆාම් එන්නතේ මාත්‍රා මිලියන 4.1 ක් දිවයිනට ගෙන්වා තිබෙනවා.

මේ අතර මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගතවූ දිනය තුළ එන්නත් මාත්‍රා 1,69,957 ක් ලබා දී ඇති බව සඳහන්.

+++++++++++++++++++

(02.07.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා අසාදිතයින් 1,883 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ හැට දහසේ (2,60,000) සීමාව ඉක්මවා යමින් මේ වනවිට 260,972 ක් ලෙස දැක්වෙනවා.

නව ආසාදිතයින් අතරින් 1,815 දෙනෙකු ‘අලුත් අවුරුදු කොරෝනා පොකුරේ’ ආසාදිතයින් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විදේශයන්හි සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් 68 දෙනෙකුද ඊයේ (01) ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා.

සුවය ලැබු ආසාදිතයින් ගණන 227,840 ක්.

එසේම, පසුගිය 30 වැනිදා සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 43 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (01) පස්වරුවේ තහවුරු කළා.

කාන්තාවන් 16 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 27 දෙනෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණා.

අවුරුදු 30 ත්, 59 ත් අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 06 ක්.

එසේම, අවුරුදු 60 ඉක්ම වූ පුද්ගල මරණ සංඛ්‍යාව 37 ක් ලෙසයි දැක්වෙන්නේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 3,120 ක්.

මේ අතර, නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊයේ (01) දිනයේදී පුද්ගලයින් 325 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@@

(01.07.2021 – 20:27 +0530 – hirunews.lk/sinhala)

ගිනිගෙන මුහුදුබත් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව තුල තිබී විදෙස් ශ්‍රමිකයන් මෙරටට ගෙන්වූ රුපියල් මිලියන 48 ක් වටිනා භාණ්ඩ තොගයක් අඩංගු බහාලුම් 4 ක් විනාශයට පත්වූ බව අද (01) අනාවරණ වුණා.

මේ බව හෙළි කළේ එම භාණ්ඩ මෙරටට ගෙන්වූ භාණ්ඩ හුවමාරු සමාගම් ද සමාජිකත්වය දරණ කොළඹ ව්‍යාපාරික සංගමය විසින්.

අද (01) පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් සඳහන් කළේ විදෙස් ශ්‍රමිකයින් 104 දෙනෙකුට අයත් භාණ්ඩ මෙලෙස විනාශයට පත්ව ඇති බවයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන රජය මැදිහත් වී එම විදෙස් ශ්‍රමිකයන්ට නැව් සමාගමෙන් වන්දි ලබාදිය යුතු බව කොළඹ ව්‍යාපාරික සංගමයේ ලේකම් චමින්ද විදානගමගේ මහතා ප්‍රකාශ කළා ෴

******************************************

(01.07.2021 – 20:28 +0530 – hirunews.lk/sinhala)

කාබනික පොහොර භාවිතයට යොමුවීමත් සමග ගොවීන් මෙතෙක් ලබා ගත් ආදායමේ අඩුවක් සිදු වුවහොත් එම ප්‍රමාණය රජය මගින් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි අවධාරණය කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (01) ජනාධිපති කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල වල දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුවේදියී.

ගොවීන්ට ද තමන්ට අවශ්‍ය පොහොර නිෂ්පාදනය කිරීමට හැකි බවත් ඒ සඳහා වැය වන මුදල ලබාදීමට රජය සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එමෙන්ම ආර්ථික මධ්‍යස්ථාන වල අලෙවි කටයුතු සඳහා ඍජුව ගොවීන්ට මැදිහත්වීමේ අවකාශය පුලුල් කිරීමට තීරණය කිරීමද අද (01) පැවති සාකච්ඡාවේදී සිදු වුණා

මෙහිදී දිස්ත්‍රික් ගොවි නියෝජිතයින් ජනධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටකත් පසුපසට නොගන්නා ලෙස යි.

නීරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් ජනාධිපතිවරයා ගත් පියවර අගය කරන බවත්, කාබනික පොහොර අර්බුදය ජය ගැනීම සඳහා සහය ලබා දෙන බවත් ගොවි නියෝජිතයන් එහිදී ප්‍රකාශ කළා.

මේ අතර පසුගිය යහපාළන ආණ්ඩුව සමයේ ඇණහිට තිබූ ගොවි රක්ෂණය අද (01) සිට යළි ක්‍රියාත්මක කරමින් ගොවි රක්ෂණ සැකැස්ම අද (01) ජනාධිපතිවරයා වෙත භාර දුන්නා.

මේ අතර වැව්, අමුණු ඇළවේළී ප්‍රතිසංස්කරණය කිරීමේ ගිවිසුම් වලට එළඹීමේදී මෙතෙක් ගොවි සංවිධාන වලට රුපියල් ලක්ෂ 20 කට සීමා වී තිබූ කොන්ත්‍රාත් මුදල රුපියල් ලක්ෂ 100 දක්වා ඉහළ නැංවීමටත් අද (01) ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි වුණා.

******************************************

(01.07.2021 – 21:46 +0530 – hirunews.lk/sinhala)

වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොමැතිවීමෙන් ප්‍රදේශ රැසක ගොවීන් තවදුරටත් පත්ව ඇත්තේ දැඩි අසිරුතාවකටයි.

මේ අතර ඉහළ ගිය ඉන්ධන මිලට විරෝධය පළ කරමින්ද අද (01) ප්‍රදේශ කිහිපයක විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වුණා.

ඉහළ ගිය ඉන්ධන මිලට සහ පොහොර හිඟයට විරෝධය පළ කරමින් දඹුල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම කිඹිස්ස හන්දියේ සිට කරත්තයකින්, පාපැදිවලින් සහ පාගමනින් ප්‍රාදේශීය සභාව වෙත පැමිණියා.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් ඔවුන් පිළිගනු ලැබුවේ කොස් කොළ සහ ක්‍රෝටන් කොළ මාලා දමමින්.

පසුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් දඹුල්ල ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වූණා.

ප්‍රාදේශීය සභාවේ මාසික මහ සභා රැස්වීමට එක්වීමේදී ද ඔවුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

******************************************

(01.07.2021 – 21:47 +0530 – hirunews.lk/sinhala)

දේශීය ආර්ථිකය නාඟාසිටුවීමේ අරමුණ රට සංවර්ධනය කරා ගෙනයාම බව අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

දිවයින පුරා ගම්මාන 500 ක් ‘සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන’ ලෙස සංවර්ධනය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමත්‍යවරයා මේ බව සඳහන් කළා.

******************************************

(01.07.2021 – 21:48 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පිවිසීම සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

******************************************

(01.07.2021 – 22:18 +0530 – hirunews.lk/sinhala)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනයේ සඳහන් වන්නේ නිරිතදිග කොටසේ ඇති වැසි තත්වය ඉදිරියටත් පවතිනු ඇති.

අදාළ නිවේදනයට අනුව අද (01) පෙරවරු 8 සිට පස්වරු 8 දක්වා කාලය තුළදී වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රදේශයෙන්. එහි අගය සටහන්ව ඇත්තේ මිලිමීටර් 156.0 ක් ලෙසයි.

ඒ අනුව විශේෂයෙන් බස්නාහිර, සබරගමුව පළාත්වල සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල දැනට පවතින වැසි තත්වය තවදුරටත් පවතිනු ඇති.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇම්බර් වර්ණයෙන් නිකුත් කළ අදාල නිවේදනය පහතින් :

******************************************

(02.07.2021 – 06:39 +0530 – hirunews.lk/sinhala)

හොරොව්පතාන ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගමන්කරමින් සිටි 19 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කළ දෙදෙනෙකු (2) පොලසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

බස් රථයේ කිසිවෙකුත් නොමැති අවස්ථාවේදී මොවුන් මෙලෙස තරුණියට අතවර කර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ජුලි මස 06 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හොරොව්පතාන පොලිසිය මෙහෙයවන බවයි පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

******************************************

(02.07.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, තරුණ රැකියා හා ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන යුලීඩ් සමග එක්ව විදුලි කාර්මිකයන් 45,000 කට වෘත්තීය සුදුසුකම් ලබාදීමේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

විදුලිබල ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට සහයෝගය දැක්වීම සහ නංවාලීම සඳහා ඒකාබද්ධව ප්‍රයත්න දැරීම මෙන්ම ශ්‍රී ලංකාවේ තරුණ විරැකියාව පිළිබඳ ගැටලුව විසඳීම සඳහා ව්‍යවසායකත්වය දිරිමත් කිරීම මෙහි අරමුණ වනවා ෴

******************************************

(02.07.2021 – 08:02 +0530 – hirunews.lk/sinhala)

ජනප්‍රවාදයේ පැවසෙන අන්දමට කුවේණියගේ නැගණියක වූ ‘අල්ලි රාණි’ ගේ මාලිගාව පිහිටි බව කියන කල්පිටිය – පල්ලිවාසතුරේ – වෙල්ලංකරය ප්‍රදේශයේ රජයට අයත් ඉඩමේ පොල් පැල 20 ක් උඳුරා දමමින් එහි වෙනත් ශාක වලට හානි කර ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 13 දෙනෙකුගෙන් යුත් තරුණයන් පිරිසක් බවට හඳුනාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ කලකට පෙර එම භූමියේ ක්‍රීඩා කල, වයස අවුරුදු 18 ත් 32 ත් අතර වයස්වල පසුවන තරුණයන් පිරිසක් විසින් මෙම සිද්ධියට සම්බන්ධ බවට අනාවරණය වී ඇති බවයි.

කෙසේ වෙතත් ඔවුන් හානි කර ඇත්තේ රජයේ ඉඩමකට බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් අවශ්‍ය වන බව පොලීසිය ප්‍රකාශ කළා.

ඒ අනුව අදාල සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි දින 2 තුළ පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමටයි නියමිතව ඇත්තේ.

අදාළ ඉඩම ක්‍රීඩා පිටියක් බවට පත් කරන ලෙස ප්‍රදේශයේ තරුණයන් පිරිසක් විසින් කලක සිට ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටි බව කල්පිටිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් ධනන්සූරිය මහතා පසුගියදා හිරු ප්‍රවෘත්තී අංශයට සඳහන් කළා.

කෙසේවෙතත් එම ඉල්ලීම තමන් ප්‍රතික්ෂේප කළ බවයි ඔහු කියා සිටියේ.

අදාළ ඉඩම පසුගිය 2017 වසරේදී කිසියම් පුද්ගලයෙකු විසින් ව්‍යාජ ඔප්පු සකසා අනවසරෙන් අත්පත් කරගෙන එහි පොල්පැල වගා කර තිබූ නමුත් පසුගිය වසරේදී එය නීත්‍යානුකූල නොවන බවට තහවුරු කරමින් අදාල ඉඩම යලි රජයට පවරා ගත් බව ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඵෙතිහාසික ගෙන්ගේ ජලාශයට යාබදව පිහටා ඇති මෙම භූමි කලාපයේ කුවේණියගේ නැගණියක වූ ‘අල්ලි රාණි’ ගේ මාලිගාව පිහිටි බවට පුරාවිද්‍යා පුවරුවක්ද එහි ස්ථාපිත කර තිබෙනවා ෴

******************************************

(02.07.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

වැඩි මිලට සහල් අලෙවි කරන වෙළදුන්ගෙන් අය කරන දඩය රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට අදාල පනත් කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ වැඩි මිලට සිදුවන සහල් අලෙවිය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

මේ අතර, යහපාලන ආණ්ඩුව සමයේ ඇණහිට තිබූ ගොවි රක්ෂණය ඊයේ (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි යළි ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (01) ජනාධිපති කාර්යාලයේ පැවති දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුවකදියී.

එහිදී නව ගොවි රක්ෂණ සැකැස්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමද සිදු කෙරුණා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගොවි විශ්‍රාම වැටුප ඉහල නැංවීමටද රජයේ අවධානය යොමුව ඇති බවයි.

වී ගබඩා 105 ක් අලුතින් ඉදිකිරීමට පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර වැව්, අමුණු ඇළවේළී ප්‍රතිසංස්කරණය කිරීමේ ගිවිසුම් වලට එළඹීමේදී මෙතෙක් ගොවි සංවිධාන වලට රුපියල් ලක්ෂ 20 කට සීමා වී තිබූ කොන්ත්‍රාත් මුදල රුපියල් කෝටියක් (1,00,00,000) දක්වා ඉහළ නැංවීමටත් ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා.

එමෙන්ම ආර්ථික මධ්‍යස්ථාන වල අලෙවි කටයුතු සඳහා ඍජුව ගොවීන්ට මැදිහත්වීමේ අවකාශය පුලුල් කිරීමට තීරණය කිරීමද ඊයේ (01) පැවති සාකච්ඡාවේදී සිදු වුණා.

එම සාකච්ඡාවේදී, දිස්ත්‍රික් ගොවි නියෝජිතයින් ජනධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටකත් පසුපසට නොගන්නා ලෙස යි.

නීරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් ජනාධිපතිවරයා ගත් පියවර අගය කරන බවත්, කාබනික පොහොර අර්බුදය ජය ගැනීම සඳහා සහය ලබා දෙන බවත් ගොවි නියෝජිතයන් එහිදී ප්‍රකාශ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *