හෙද වර්ජනයෙන් රෝහල් රැසක කටයුතු අඩාලයි – රෝගීන්ට පීඩා

හෙද වර්ජනයෙන් රෝහල් රැසක කටයුතු අඩාලයි – රෝගීන්ට පීඩා

*********************************************

හෙද වර්ජනයෙන් රෝහල් රැසක කටයුතු අඩාලයි – රෝගීන්ට පීඩා

(01.07.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

උසස් වීම් සහ දීමනා ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද වෘත්තීය සමිති 3 ක් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් රැසක කටයුතු අඩාල වී තිබෙනවා.

අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ ඒ හේතුවෙන් රෝගීන් පීඩාවට පත්ව ඇති බවයි.

කොරෝනා ප්‍රතිකාර සිදුකරන සහ අත්‍යාවශ්‍ය රෝහල් කිහිපයක හැර කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක මෙම වර්ජනය අද (01) උදෑසන ආරම්භ වුණා.

ප්‍රවාහන හා අතුරු දීමනා රුපියල් 15,000 ක මුදල ලබාදීම, නිල ඇඳුම් දීමනා වැඩි කිරීම, හෙට ව්‍යවස්ථාව සංශෝධනය කිරීම, වසර පහෙන් (5) පහට (5) සිදුවන උසස්වීම් ලබාදීම ඇතුළු ඉල්ලීම් 9 ක් මුල් කරගෙන ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කරනු ලැබුවා.

රජයේ හෙද නිලධාරින්ගේ සංගමය, සමස්ත ලංකා හෙද සංගමය සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙම වර්ජනය අද (01) සහ හෙට (02) ක්‍රියාත්මක කරනවා.

කෙසේ වෙතත්, හදිසි හා අත්‍යාවශ්‍ය සේවා අඛන්ඩව පවත්වාගෙන යාමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

මේ අතර, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සිය විරෝධය පළ කර තිබෙනවා.

ඇතැම් රෝහල් වල හෙද නිලධාරින් නොමැතිවීම හේතුවෙන් වෛද්‍යවරුන් ඔවුන්ගේ සේවාවන් සිදුකරනු ලබන බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

******************************************

(01.07.2021 – 11:37 +0530 – hirunews.lk/sinhala)

යාපනය කෝපායි ප්‍රදේශයේදී නිවසකට පැන කඩු සහ පොලු වලින් සිදුකල පහරදීමකින් පුද්ගලයන් 7 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

ඊයේ (30) රාත්‍රී 08:30 ට පමණ යතුරු පැදි පහකින් (5) පැමිණි පුද්ගලයින් 14 දෙනෙකු මෙම පහරදීම සිදුකර පලා ගොස් ඇති බවටයි වාර්තා වී ඇත්තේ.

පහරදීමෙන් පසු ඔවුන් එම නිවසට ගිනි තබා තිබෙනවා. එසේම අසල මාර්ගයේ නවතා තිබූ මෝටර් රථ දෙකකට (2) ද අලාභ හානි සිදුකර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

සිද්ධියෙන් තුවාල ලැබු 7 දෙනා කෝපායි රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බරපතල තත්වයෙ පසුවූ නිසා යාපනය මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

මෙම නිවසේ ගීත පටිගත කිරීමේ ආයතනයක් පවත්වා ගෙන ගොස් ඇති අතර ව්‍යාපාරික ආරවුලක් ප්‍රහාරයට හේතුවී ඇති බවටයි සැක මතුව ඇත්තේ.

******************************************

(01.07.2021 – 11:53 +0530 – hirunews.lk/sinhala)

ආරුගම්බේ සංචාරක කලාපයක් ලෙස ගැසට් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) ආරුගම්බේ සංචාරක ක්‍ෂේත්‍රයේ නියුක්තිකයන් සමඟ පැවැති සාකච්ඡාවකදීයි.

අගෝස්තු මාසයට පෙර මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ.

ඒ අනුව සංචාරක අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව දස (10) වසරක සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කෙරෙන ආරුගම්බේ සංචාරක කලාපය ආශ්‍රිතව රුපියල් මිලියන 1000 කට වඩා වටිනාකමකින් යුක්ත ව්‍යාපෘති 178 ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කළ ප්‍රකාශය පහතින් :

“සංචාරක ව්‍යාපාරයට කොරෝනා වෛරසයෙන් ලොකු බලපෑමක් සිදු වෙලා. මේක ලෝකය පුරාම තිබෙන තත්ත්වයක්. රජයක් ලෙස අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා.

මේ වෙනකොටත් සංචාරක අමාත්‍යාංශය පළාත් සභා සමග සාකච්ඡා කර නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තය නැංවීම සඳහා රුපියල් මිලියන 300 ක ව්‍යාපෘති ආරම්භ කරන්න සූදානම්. ඒ සමගම නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ආරුගම්බේ සංවර්ධන වැඩපිළිවෙළ සකස් කලා. එහි රුපියල් මිලියන දහසකට (1000) වඩා වටිනාකමකින් යුක්ත ව්‍යාපෘති 178 ක් ක්‍රියාත්මක කෙරෙනවා. ඉදිරි මාස දෙක (2) තුළ, ඒ කියන්නේ අගෝස්තු මාසයට පෙර අරුගම්බේ සංචාරක කලාපයක් විදියට ගැසට් කරනවා. සංචාරක කලාපයක් කළාට පස්සෙ නාගරික සංවර්ධන අධිකාරියේ සහ සංචාරක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව සියලු කටයුතු සිදු වෙන්නේ.

සංචාරක ක්ෂේත්‍රයේ නියුක්ත අයගේ ගැටලු සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. මේ වෙනකොටත් සංචාරක ක්ෂේත්‍රයේ අයට සහන රැසක් ලබා දීලා තියෙනවා. ඉදිරියටත් සහන ලබා දීම ගැන සලකා බලනවා. ආරුගම්බේ විතරක් නෙවෙයි. පානම, කුමන වගේ අවට කලාපයම සම්පත් ආකරයක්. ආරුගම්බේ සංවර්ධන ව්‍යාපෘතිය වසර දහයක (10) සැලසුමකටයි ක්‍රියාත්මක වෙන්නේ.

සංචාරක ක්ෂේත්‍රයේ තිබෙන්නේ තාවකාලික පසුබැසීමක් පමණයි. එන්නත් කරන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමත් සමඟ සංචාරක ක්ෂේත්‍රයට නැවතත් හොඳ කාලයක් උදා වෙනවා. ඒ නිසා මේ අමාරු කාලයේ දී පහසුකම් වැඩි දියුණු කර හෝටල් ආදිය ක්‍රමානුකූලව පවත්වාගෙන යමින් සංචාරකයින් පිළිගන්න අපි සූදානම් වෙන්න ඕනේ. මේ ප්‍රදේශය සංචාරක කලාපයක් උනාම ශීඝ්‍රයෙන් දියුණුව කරා ගමන් කරනවා.”

මෙම අවස්ථාවට රාජය අමාත්‍ය විමලවීර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ ඇතුළු පිරිසක් ද එක් වූහ.

******************************************

(01.07.2021 – 12:48 +0530 – hirunews.lk/sinhala)

මහියංගනය – කන්දෙකැටිය – ලොග්ගල්ලාඔය අවට පරිසර හානි සිදුකළ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ලොග්ගල්ලාඔය අවට සිදුවන පරිසර හානිය පිළිබඳව පසුගිය දින කිහිපයේදී ලැබුණු තොරතුරු අනුව සිදුකළ විමර්ශනයෙන් පසු මෙම තීරණය ගත් බවයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ.

මෙම පරිසර විනාශය පිළිබඳව මහවැලි අධිකාරිය සහ අදාළ ග්‍රාම නිලධාරින් යොදවා කරුණු සොයා බැලීම පරිසර අමාත්‍යාංශය මගින් සිදුකරනු ලැබුවා.

ඉන් අනතුරුවයි එම පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමේ කටයුතු ආරම්භ කරන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී ඇත්තේ.

******************************************

(01.07.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පිවිසීම සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

@@@@@@@@@@@@@@@@@

(01.07.2021 – 11:18 +0530 – hirunews.lk/sinhala)

සේවකයන් ඉවත් කිරිම වෙනුවට ඔවුන් රැක ගනිමින් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඇති අභියෝගවලට මුහුණ දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලුම කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.

ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමය සහ ශ්‍රී ලංකා සිල්ලර වෙළඳුන්ගේ සංගමය, මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ (30) අරලියගහ මන්දිරයේදි පැවැත්වුණා.

එහිදී බැංකු ණය සහන ලබා ගැනීම, ණයවර ලිපි විවෘත කිරීම සහ ඇඟලුම් සේවකයන් එන්නත්කරණය කිරීම, කොවිඩ් මාර්ගෝපදේශණවලට අනුව නිමිඇඳුම් වෙළඳසැල් විවෘත කිරීමට අවසර ලබා ගැනීම යන කරුණු සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුවී ඇති අතර අග්‍රාමාත්‍ය එම සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

+++++++++++++++++++++++

(01.07.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම සහ තවත් කරුණු කිහිපයක් මුල් කරගනිමින් කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගැනීමේදී ඉදිරි කාල සීමාව ඉතා අවදානම් විය හැකි බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ දිනකදී ලබා දුන් වැඩිම එන්නත් ප්‍රමාණය ඊයේ (30) දිනය තුළ ලබා දී තිබෙනවා.

ඒ අනුව ගෙවුණු දිනයේදී (30) පළමු (1) සහ දෙවැනි (2) මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ප්‍රමාණය 173,520 ක්.

ඊයේ (30) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයන් 1,864 දෙනෙකු හඳුනාගනු ලැබුවා.

ඉන් 78 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර සෙසු 1,786 දෙනා ‘අලු‍ත් අවුරුදු පොකුරේ’ ආසාදිතයන්.

ඊයේ (30) හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබූ අතර, එම සංඛ්‍යාව 365 ක්.

මේ අතර, කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන දිස්ත්‍රික්ක තුනක (3) ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරුණා.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර පොලිස් බල ප්‍රදේශයේ සුදුහුම්පල බටහිර ග්‍රාම නිලධාරි වසමේ වෙළමැද පාරගම කොටස, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ ඩන්සිනන් ග්‍රාම නිලධාරී වසමේ මැද කොටස, යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් පොලිස් බල ප්‍රදේශයේ කරෙයිනගර් ග්‍රාම නිලධාරී වසමේ කල්ලිත්තේරු සහ කලවන්තාලව් කොටස් යන ප්‍රදේශ මෙලෙස හුදෙකලා කෙරුණා.

කෙසේ වෙතත්, පළාත් අතර සංචරණ සීමා නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා නගනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *