නාලක ගොඩහේවා ඉල්ලා අස්විය යුතුයි … අලි සබ්‍රිගෙ පනත හකුළා ගත යුතුයි … – පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි

නාලක ගොඩහේවා ඉල්ලා අස්විය යුතුයි … අලි සබ්‍රිගෙ පනත හකුළා ගත යුතුයි … – පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි

*********************************************

නාලක ගොඩහේවා ඉල්ලා අස්විය යුතුයි … අලි සබ්‍රිගෙ පනත හකුළා ගත යුතුයි … – පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි

(01.07.2021 – 14:37 +0530 – ada.lk)

රටේ නඩු විමසීම ‘සූම් තාක්‍ෂණය’ ඔස්සේ සිදුකිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ගෙන එන විශේෂ විධිවිධාන පනත දේශද්‍රෝහී ක‍්‍රියාවක් බව රට දැනගත යුතුව ඇතැයි රාමඤ්ඥ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ අද (01 දා) පැවැසුහ.

ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පැවසුවේ අධිකරණ ඇමතිවරයාගේ මේ දේශද්‍රෝහී ක‍්‍රියාව සම්බන්‍ධයෙන් අදාළ බලධාරීන් වහා ක‍්‍රියාත්මක වියයුතු බවයි.

සූම් තාක්‍ෂණය යනු මේ රටේද භාවිතයට ගන්නා දුරස්ථව අධ්‍යාපන කටයුතු සහ සම්මන්ත‍්‍රණ ආදිය පැවැත්වීමට යොදාගන්නා තාක්‍ෂණික විදියක් බවයි. සූම් යනු ඇමරිකාවේ ක‍්‍රියාත්මක වන පෞද්ගලික සමාගමක් බවයි. එමගින් සිදුකරන සෑම දෙයක්ම ඒ ආයතනයේ වාර්තාවන සහ ගබඩාවන බවද උන්වහන්සේ කීහ.

රාජ්‍ය සහ රටවැසියාගේ පුදගලික රහස් එකතුවී ඇති සංචිතය අධිකරණය බව ද සෝභිත හිමියෝ කීහ. යුද අපරාධ, මානව හිමිකම් සහ පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු සියල්ල අධිකරණයේ විවෘත වන බව ද උන් වහන්සේ කීහ. විදේශීය නීතීඥවරයෙකුට විශේෂ අවසරයකින් තොරව අධිකරණයට ඇතුලුවීම තහනම් බවද උන්වහන්සේ කීහ. සූම් තාක්‍ෂණය ඔස්සේ අධිකරණ කටයුතු සිදුවන විට ඒ තොරතුරු ලෝකයට ම යන වේදිකාවක් බවට පත්වන බවද සෝභිත හිමියෝ කීහ.

ඒ නිසා මේ ක‍්‍රියාව අපේ රටේ රාජ්‍ය රහස් සොරාගැනීමට උත්සාහගන්නා ත‍්‍රස්තවාදී සහ රටට විනකරන විවිධ පාර්ශවයන්ට විශාල හැකියාවක් ලැබෙන බවද උන්වහන්සේ කීහ. එය ජාත්‍යන්තර ඔත්තු සේවාවල උවමනාවන් ඉටුකිරිමක් බව ඉතාම පැහැදිලියැයි ද කීහ.

ජනාධිපතිවරයා, අගමැතිවරයා මේ ගැන නොදන්නේදැයි ප‍්‍රශ්න කළ සෝභිත හිමියන් රටට ආදරය කරන කිසිවෙක් මේ විශේෂ විධිවිධාන පනත ගෙන ඒමට ඉඩ නොතැබිය යුතුයැයි ද අවධාරණය කළහ.

පසුගිය දිනවල සිදුවූ කැස්බෑ, තල්මස්, ඩොල්පින් ඇතුලු මුහුදු ජීවීන්ගේ මරණවලට හේතුව ගිනිගත් එක්සප‍්‍රස් පර්ල් නෞකාවෙන් නිකුත්වු රසායන ද්‍රව්‍ය නිසා බව විද්වතුන් 39 දෙනෙකුගෙන් යුතු විශේෂඥ කණ්ඩායමක් වාර්තාව ඉදිරිපත්කර ඇති බව ද සෝභිත හිමියෝ කීහ.

වෙරළට ගොඩගැසූ මුහුදු ජීවින්ගේ මළසිරුරුවලට වඩා වැඩි ප‍්‍රමාණයක් මුහුදේ ඇති බවට විශ්වස කළ හැකියැයි කී සෝභිත හිමියන් ඒ ගැන සොයා බලන්න කිමිදුම්කරුවන් යෙදවීමට නොහැති ලෙස මුහුද දූෂණය වී ඇති බවද සඳහන් කළහ.

‘කැලේ ආරක්‍ෂා කරන්න සිටින අය කැලෑ විනාශ කරනවිට, ඉඩම් රකින්න ඉන්න අය ඉඩම් විනාශ කරනවිට, මහා භාණ්ඩාගාරය රකින්න ඉන්න එය එය කොල්ලකන විට කාට පවසම් ද ඒ අමාරුව?’ යැයි කී සෝභිත හිමි රටට මහ විනාශයක් කළ ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවෙන් සිද්දවුණ මහ විපත සම්බන්‍ධයෙන් වගකිවයුතු සියලු දෙනාට දඩුවම් දියයුතු බවද කීහ.

ඒ අතර විද්වත් වර්තා සහ තොරතුරු නොමග යවමින් එක්ස්පස් පර්ල් නෞකාවේ පැත්ත අරගෙන ඊට පක්‍ෂව කතාකරන නාලක ගොඩහේවා වැනි අයට දඩුවම් දියයුතු බව ද සෝභිත හිමියෝ කීහ. වගකිම් පැහැර හැර ඇති රාජ්‍ය අමති නාලක ගොඩහේවා සත්‍ය වශයෙන් ම සිය තනතුරු වලින් ඉල්ලා අස්විය යුතුයැයිද සෝභිත හිමියෝ මෙහිදී දැඩි ලෙස අවධාරණය කළහ.

(අජිත්ලාල් ශාන්තඋදය සහ කොලොන්නේ ජේ නානායක්කාර)

+++++++++++

******************************************

15 හැවිරිදි දැරියක ලිංගික කටයුතුවලට අලෙවි කිරීම : අදහාගත නොහැකි කරුණු රැසක් අධිකරණයේදී හෙළි වෙයි

(01.07.2021 – 17:36 +0530 – mawbima.lk)

ඉන්ටර්නෙට් හරහා 15 හැවිරිදි දැරියක අපයෝජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිහින්තලය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනා (3) ලබන ජූලි 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලේචනී අබේවික්‍රම මහත්මිය අද (ජූලි 01) නියෝග කළාය.

එදිනට පැවැත්වෙන පෙරෙට්ටුව සඳහා සැකකරුවන් මුහුණු ආවරණය සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරිවරයා වෙත ද නියෝග කළාය.

මිහින්තලය ප්‍රාදේශීය සභාවේ උපසභාපති වන එදිරිසිංහ මුදියන්සේලාගේ ලලිත් එදිරිසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකු (3) මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරණු ලැබීය.

අනුරාධපුර ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලෙස කටයුතු කළ මෙම සැකකරු තැරැව්කරුවන් මාර්ගයෙන් දැරිය ගෙන ගොස් බම්බලපිටියේ හෝටලයක නවාතැන් ගෙන අපයෝජනය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ළමා හා කාන්තා පොලිස් කාර්යාංශය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

කෙසේ නමුත්, සැකකාර ප්‍රාදේශීය සභාවේ උප සභාපති වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ තම සේවාදායකයා ලිංගික බෙලහීනතාවයකින් පෙළෙන බැවින් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවය.

මෙම දැරිය අපයෝජනය කළ පුද්ගලයන් 21 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

මේ අතර එම දැරියගේ මව, මවගෙ අනියම් පුරුෂයා, දැරිය රඳවා තබා ගෙන සිටි ගල්කිස්ස ප්‍රදේශයේ නිවාස සංකීර්ණයේ කළමනාකරු සහ මෙම දැරිය එක් එක් අයට විකිණීම සඳහා ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථ රියැදුරු ද මීට පෙර රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

මෙම දැරිය අපහරණය කළ පුද්ගලයන් අතර චීවරධාරියෙකු ද සිටින බව පැවසූ ළමා හා කාන්තා පොලිස් කාර්යාංශය එම හිමි නම ලක්ෂ ගණනින් මුදල් දී මෙම දැරිය දස (10) වතාවක් පමණ ගෙන ගොස් අපයෝජනය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වන බව අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

මෙම දැරිය අපහරණය කළ පුද්ගලයන් අතර දේශපාලකයන් දෙදෙනෙකු (2) ද සිටින බවට කරුණු අනාවරණය වන බවත් ඔවුන් නමින් නොදන්නා බවත් දුරකතන අංක මගින් දන්නා බැවින් එම දුරකතන අංක පොලිසිය විසින් ලබා ගෙන ඉදිරි විමර්ශන සිදු කරන බවත් ළමා හා කාන්තා පොලිස් කාර්යාංශය විසින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබිණි.

අදාළ දැරිය වයස අවුරුදු නවයේදී (9) පමණ පියා අතින් අපහරණය වී ඇති බව අධිකරණය හමුවේ හෙළි වී තිබිණි.

පසුව දැනට රිමාන්ඩ් භාරයේ පසුවන මෙම දැරියගේ මව ඇයගේ පුරුෂයා අතහැර දරුවන් සමග අනියම් සැමියා වෙත ගොස් සිට ඇති බවත් එහිදී මෙම දැරියගේ මව ද ඇයගේ අනියම් පුරුෂයා විසින් රත්නපුර මැණික් ව්‍යාපාරිකයෙකුට වරින් වර රුපියල් ලක්ෂ දහ අටක (18,00,000) මුදලකට විකුණා ඇති බවත් ඒ අතර දැරිය ද මොහු අපහරණය කර පසුව අන් අයට ද විකුණා ඇති බවත් අධිකරණය හමුවේ හෙළි වී තිබිණි ෴

++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *