ලක්ෂයේ සහල් දඩය හදිසි පනතක් ලෙස කඩිනමින් පාර්ලිමේන්තුවට

ලක්ෂයේ සහල් දඩය හදිසි පනතක් ලෙස කඩිනමින් පාර්ලිමේන්තුවට

*********************************************

ලක්ෂයේ සහල් දඩය හදිසි පනතක් ලෙස කඩිනමින් පාර්ලිමේන්තුවට

(30.06.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන්ට පණවන දඩ මුදල රුපියල් ලක්ෂයක් (1,00,000) දක්වා ඉහළ නැංවීමට අදාළ පනත් කෙටුම්පත හදිසි පනතක් ලෙස කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඒ සඳහා පසුගිය සතියේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව ඇති අතර, මෙවර අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එය දෙවන වරට ද අනුමත කර තිබෙනවා.

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත මේ සතියේ නීතිපතිවරයා වෙත යොමුකරන බවයි වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළේ.

අනතුරුව එය හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

******************************************

(30.06.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala)

පානදුර සිට මීගමුව දක්වා වන මුහුදේ තවදුරටත් ධීවර කටයුතු සිදුනොකරන ලෙසට ධීවර දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට දැනුම් දෙනවා.

ඒ පසුගියදා මෙරට මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශයට පත්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් සිදුවූ හානිය සොයා බැලීම සඳහා ඉන්දීය නෞකාවක් මගින් සාගර පතුලේ කිමිඳුම් කටයුතු සිදුකිරීම හේතුවෙන්.

මෙම ඉන්දීය නෞකාව පසුගිය 25 වනදා කොළඹ වරායට පැමිණියේ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මෙරට මුහුදු සීමාට සිදුවූ හානිය විශ්ලේෂණය කර වාර්තාවක් ලබාදීම සඳහායි.

ඒ අනුව, ඔවුන් පසුගිය 26 වනදා පස්වරුවේ නාවික හමුදාව සමග එක්ව ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මෙරට මුහුදු කලාපයට සිදුවූ හානිය විශ්ලේෂණය කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවා.

එමගින් මීගමුවේ සිට පානදුර දක්වා සාගර පතුලේ කිමිදුම් කටයුතු ආරම්භ කරනු ලැබුවේ පසුගිය 28 වනදා සිටයි.

එය ලබන 02 වනදා දක්වා සිදුකෙරෙන අතර, මේ හේතුවෙන් එම මුහුදු සීමාවේ ධීවර කටයුතු වල යෙදීමෙන් වළකින ලෙසයි ධීවර දෙපාර්තමේන්තුව, ධීවර ජනතාවට දැනුම් දෙන්නේ.

මීගමුවේ සිට පානදුර දක්වා වන මුහුදු සීමාව ධීවර කටයුතු සඳහා මේ වනවිටත් තහනම් කර තිබෙනවා.

මෙම ඉන්දීය නෞකාව මේ දක්වා සිදුකළ විශ්ලේෂණවලට අනුව සාගර පතුලේ අපද්‍රව්‍ය වර්ග 54 ක් සොයා ගෙන ඇති බව සඳහන්.

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූයේ පසුගිය මැයි මස 19 වනදායි.

මෙම නෞකාව ගිනි ගැනීමෙන් මෙරට මුහුදු කලාපයට හානි සිදුවූ අතර, මේ හේතුවෙන් මියගිය කැස්බෑවන් සහ මත්ස්‍යයින් විශාල ප්‍රමාණයක් පසුගිය දින කිහිපය තුලදීම වෙරළ තීරයට ගොඩගසා තිබුණා.

ඊයේ (29) දිනයේදීත් මඩකලපුව – ඔන්දාච්චිමඩම් වෙරළතීරයට මියගිය කැස්බෑවෙකු (1) ගොඩගසා තිබූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

******************************************

(30.06.2021 – 12:58 +0530 – hirunews.lk/sinhala)

මීගමුව – බෝලවලාන රෝමානු කතෝලික සුසාන භූමියේ මිහිදන් කර තිබූ පසුගිය වසරේ (2020) ඔක්තෝම්බර් 03 වනදා මියගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර අද (30) ගොඩගනු ලැබුවා.

ඒ මරණය සැක සහිත බවට පවුලේ ඥාතීන් කළ පැමිණිල්ලකට අනුව ලද අධිකරණ නියෝගය මතයි.

මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ගොඩගත් දේහය ඥාතීන් විසින් හඳුනා ගැනීමෙන් අනතුරුව, වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත එවනු ලැබුවා.

මෙම ව්‍යාපාරිකයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සිදුකර තිබූ අතර, මරණය සැක සහිත බවට පවුලේ ඥාතීන් මීගමුව පොලීසියට පසුව පැමිණිලි කර තිබුණා.

ඒ අනුව, සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට ඔහුගේ බිරිඳ සහ ව්‍යාපාරික ස්ථානයේ සේවකයෙකු පසුගිය 24 වනදා අත්අඩංගුවට ගත්තා.

ඔවුන් අද (30) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ප්‍රශ්න කිරීම් වලදී අදාළ සේවකයා පවසා තිබුණේ කොට්ටයක් යොදා ගෙන හුස්ම සිරකර ව්‍යාපාරිකයා ඝාතනය කළ බවයි.

එම අවස්ථාවේ බිරිඳ ඔහුගේ දෙපා සිරකරගෙන සිටි බව ද ඔහු පොලීසියට ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව පොලීසිය මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ අතර, එහිදී නියෝග කෙරුණේ දේහය යළි ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමටයි ෴

******************************************

(30.06.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද (30) පෙරවරු 8 සිට ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව වෘත්තීය සමිති ප්‍රකාශ කළා.

ඒ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

රුපියල් මිලියන 4,400 ක් වැය කරමින්, විදෙස් සමාගමක් සමඟ දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සදහා ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වාදීම මගින් සිදුවන බව කියන මූල්‍ය වංචාවට එරෙහිවයි ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබුවේ.

******************************************

(30.06.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

පොහොර හිඟයට විසඳුම් ඉල්ලා අදත් (30) ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.

ඒ අනුව, කැකිරාව, ඉපලෝගම හා පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගොවීන් මෙන්ම, කැප්පෙටිපොල ආදී ප්‍රදේශවල ගොවීන් මෙලෙස විරෝධතාවල නිරත වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එසේම, ගලේවෙල – බම්බාව ගොවි ගම්මානයේ වම්බටු වගාකරුවන් තම අස්වනු නෙලීම ආරම්භ කර ඇති අතර, පලිබෝධනාශක නොමැතිකමින් වගාවට පණුවන්ගෙන් හානි සිදුවී තිබීම නිසා නෙලා ගත් අස්වැන්න කෘෂිකර්ම බලධාරින් ඉදිරියේම ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් ද වාර්තා වුණා.

******************************************

(30.06.2021 – 13:47 +0530 – hirunews.lk/sinhala)

ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කර ගනිමින් හලාවත මාරවිල මාවල ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුලුවී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාන්තාවන් පිරිසක්ද ඇතුලුව 15 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මෙම නිවසට බලහත්කාරයෙන් ඇතුලුවී පහර දීම සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ. සිද්ධියෙන් නිවසේ සිටි කාන්තාවන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

=====

මේ අතර දෙඅත් ගැට ගසා මිරිස්ස – පොල්අතු මෝදර ගඟට දමා තිබූ පිරිමි මල සිරුරක් ඊයේ (29) සොයා ගැණුනා.

අඩ නිරුවතින් තිබූ මෙම මළ සිරුර මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

=====

මේ අතර, ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නෙලුව පොලීසියට පැමිණි 15 හැවිරිදි දැරියක අතවරයට ලක්කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද (30) පස්වරුවේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

=====

ගල්කිස්ස ප්‍රදේශයෙන් වාර්තා වූ පහලොස් (15) හැවිරිදි දැරියක මුදලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම දැරියගේ මව, චීවරධාරියෙකු ඇතුළු තවත් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙණවා.

මෙම දැරිය අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පලකර විවිධ පුද්ගලයන් හට අලෙවි කර ඇති බවට මුලින්ම තොරතුරු වාර්තා වුනේ ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාටයි.

පසුව විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කල අතර ඒ අනුව දැරිය මුදලට අලෙවි කිරීමට මුල්වූ 54 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවා.

වැඩිදුර පරීක්ෂණ වලදී හෙලිවූයේ වෙබ් අඩවි සහ වෙනත් සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළ කර සැකකරු මෙම දැරිය පසුගිය මාස 3 ක පමණ කාල සීමාව තුල පුද්ගලයන් තිස් දෙනෙකුට (30) පමණ මුදලට අලෙවි කර ඇති බවටයි.

රුපියල් දස දහසේ (10,000) සිට තිස් දහස (30,000) දක්වා අදාල දැන්වීම් වල මිල ගණන් සඳහන් කර තිබෙනවා.

දැරිය වෙනත් පුද්ගලයන්ට ලබාදීම සඳහා ප්‍රවාහනය කළ මොටර් රථ රියදුරෙක් සහ ත්‍රීරෝද රථ රියදුරෙක්ද අත්අඩංගුවට ගත් පිරිස අතර වනවා.

******************************************

(30.06.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

මෙතෙක් පුරප්පාඩුව පැවැති පළාක් පලාන ආයතන 6 කට සභාපතිවරුන් දෙනෙකු (2) සහ සභිකයන් සිව් දෙනෙකු (4) තෝරා පත් කර තිබෙනවා.

ඒ අදාළ තේරිම් භාර නිළධාරිවරුන් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදන 6 කට අනුවයි.

මේ අනුව, මෙතෙක් පුරප්පාඩු වී පැවැති පදියතලාව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස දිනේෂ් පරාක්‍රම තෝරා පත් කර ඇති අතර, අම්පාර නගර සභාවේ සභාපතිවරයා ලෙස කැළුම් කුමාර ප්‍රනාන්දු තෝරා පත් කර තිබෙනවා.

මීට අමතරව, කොළොන්න ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වූ සභික ධුර සඳහා සිංගප්පුලිගේ රත්නායක සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩුව පැවති සභික ධුරය සඳහා රසිකා අරුණකාන්ති තෝරා පත් කර ඇති බව ද ඒ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනවල දැක්වෙනවා ෴

******************************************

(30.06.2021 – 14:11 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පිවිසීම සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා :

******************************************

(30.06.2021 – 14:20 +0530 – hirunews.lk/sinhala)

මාර්ග සංවර්ධනය ‘නාමික ව්‍යාපෘතියට’ පමණක් සීමාවීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවකට පත්වූ ගම්වාසීන් පිරිසක් පිළිබඳව හාලිඇළ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඒ අනුව හාලිඇළ – ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත – අමුද්දවැලි හරහා අන්තුඩුවාවෙල දක්වා ගමන් කරන මාර්ගයයි.

දැනට වසර 5 ක පමණ සිට මෙම මාර්ගය අබලන්වී ඇති අතර එම මාර්ගය භාවිතා කරන 700 ක් පමණ වන ගම්වාසීන් මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.

ගම්වාසීන් පවසන්නේ ‘අයිරෝඩ් ව්‍යාපෘතිය’ යටතේ මීට වසර 3 කට පෙර මාර්ග සංවර්ධන අධිකාරියෙන් මෙම මාර්ගය සංවර්ධනය සඳහා මුදල් වෙන්කර ඉදිකිරීම් සමාගමකට ලබා දී ඇති බවයි.

මෙම ව්‍යාපෘතිය අන්තුඩුවාවෙල, පේරගස්මිටිය, කහටගොල්ල යන ස්ථානවලින් ආරම්භ කර හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටින් බදුල්ල ප්‍රධාන මාර්ගයට සම්බන්ධ කරන ලෙස ඉදිකිරීමට යෝජිතව තිබුණා.

කෙසේ වෙතත්, වැඩි ජනගහනයක් ජීවත් වන හාලිඇළ – ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත – අමුද්දවැලි ඉහළ කොටසින් මෙම මාර්ගයේ ඉදිකිරීම් නතර කර තිබීම හේතුවෙන් තමන් පත්ව ඇති දුෂ්කරතාවය ගම්වැසියන් මෙලෙස පැහැදිලි කර තිබුනා.

සංවර්ධන කටයුතු හදිසියේ නතරවීම හේතුවෙන් දැඩි අසරණභාවයට පත්වූ මේ ජනතා ගැටලුවට අදාළ බලධාරීන්ගේ අවධානය යොමු වනතෙක් හිරු කැමරා නෙත අවධියෙන්.

******************************************

(30.06.2021 – 14:27 +0530 – hirunews.lk/sinhala)

ගවයින්ගේ අපද්‍රව්‍ය බැහැර කරන වළකට වැටීමෙන් කුඩා දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මස්කෙළිය – බ්‍රම්ස්වික් වතුයායේ පදිංචි අවුරුදු දෙකහමාරක් (2½) වයසැති මෙම කුඩා දරුවා ඊයේ (29) පස්වරුවේ සිය නිවසේ පිටුපස සෙල්ලම් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

දරුවාගේ මව සිද්ධිය වන අවස්ථාවේ රැකියාවට ගොස් ඇති අතර, දරුවාගේ පියා ද එම අවස්ථාවේ නිවසේ රැදී සිට නැහැ.

******************************************

(30.06.2021 – 14:31 +0530 – hirunews.lk/sinhala)

රජය මගින් ස්ථාපිත කර ඇති ‘සෙලෙන්දිවා ඉන්වෙස්මන්ට් සමාගම’ සහ ‘සෙලෙන්දිවා ලෙෂර් ඉන්වෙන්ට්මන්ට් සමාගම’ වෙත රජය සතු දේපල පැවරීම සහ බදුදීම වළක්වන තහනම් නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ වෘත්තීය ඉංජිනේරුවරයෙකු විසින්.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, මුදල් අමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු 19 දෙනෙකු නම් කර ඇති බව සඳහන්.

පෙත්සම්කරු ප්‍රකාශ කර ඇත්තේ වගඋත්තරකාර සමාගම් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට යටත් නොවන බැවින් අදාළ සමාගම් වෙත රජය සතු දේපල පැවරීම සහ බදු දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි ෴

******************************************

(30.06.2021 – 14:35 +0530 – hirunews.lk/sinhala)

ආනයන අපනයන බහාලුම් නැවත ලබා ගැනීමේදී ඇති වන අපහසුතා මඟ හැරීම සඳහා නව තාක්ෂණය යොදා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සමග වරාය සහ රේගු ක්ෂේත්‍රවලට අයත් සියලුම රාජ්‍ය නිලධාරින් එක්ව සාකච්ඡාවක් ඊයේ (29) පැවැත්වුණේ වරාය අමාත්‍යාංශයේදීයි.

එහිදී වරාය සහ රේගු කටයුතු ඩිජිටල්කරණය කිරීමට අවධානය යොමුවී තිබෙනවා.

එමගින් අපනයන ආනයන බහාලුම් කඩිනමින් ලබාදීම සහ රේගු පහසුකම් ලබාගැනීමේදී ඇති වන ගැටලු අවම කිරීමට හැකිවන බවටයි සාකච්ඡා වී ඇත්තේ ෴

@@@@@@@@@@@@@@@

(30.06.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

‘ඉන්දීය ඩෙල්ටා’ ප්‍රභේදය ආසාදනය වූවන් යැයි සැකසහිත පුද්ගලයින් තවදුරටත් වාර්තා විය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මේ අතර, රජයේ රෝහල් මගින් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට එන්නත් ලබාදීමේ වැඩසටහන අද (30) ආරම්භ වුණා.

ගෙවුණු දිනය (29) තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 1,717 ක් හඳුනාගනු ලැබුවා.

ඉන් 08 දෙනෙකු විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයන් වන අතර සෙසු 1,709 දෙනා අලු‍ත් අවුරුදු පොකුරේ ආසාදිතයන්.

ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 348 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 280 ක් වාර්තා වුණා.

කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 198 ක්.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 113 ක්.

මේ අතර, වාද්දූව – ලෙද්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ භික්ෂූන්වහන්සේ 26 දෙනෙකු සහ ගිහි පුද්ගලයින් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ආසාදිතයින් ඊයේ (29) රාත්‍රියේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැණුනා.

හික්කඩුව මලවැන්න ප්‍රදේශයේ එකම පවුලේ 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

මෙරට තුළ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම පාලනය කර ගැනීම සඳහා ජනතාවගේ සහය අවශ්‍ය බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේදී (29) පළමු (1) සහ දෙවැනි (2) මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ප්‍රමාණය 16,998 ක්.

මේ අතර, රජයේ රෝහල්වලින් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල අද (30) ආරම්භ වුණා.

ඒ අනුව එම වැඩසටහනේ පළමු (1) අදියර බස්නාහිර පළාතේ රෝහල් 45 කදී අද (30) සහ හෙට (01) දිනවල ක්‍රියාත්මක කෙරෙනවා.

ඊට කොළඹ දිස්ත්‍රික්කයේ රෝහල් 18 ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් 17 ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ රෝහල් 10 ක් අයත්.

මේ අතර, කොළඹ මහ නගරසභා සීමාවේ වෙසෙන කොවිෂිල්ඩ් එන්තතේ පළමු (1) මාත්‍රාව ලබා ගත් වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින් සඳහා එම එන්නතේ දෙවැනි (2) මාත්‍රා ලබාදීම අදත් ක්‍රියාත්මකයි.

ගෙවුණු දින දෙකේදී එම වැඩසටහන යටතේ ලබාදුන් එන්නත් මාත්‍රා ප්‍රමාණය 2,885 ක්.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පෞද්ගලික ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන්ට පසුගිය 27 වැනිදා කොරෝනා එන්නත් ලබාදීමෙන් අනතුරුව ඊට පසුදින ඔවුන් සේවයට පැමිණීමෙන් අනතුරුව ඇතිවූ ක්ලාන්ත තත්ත්වයක් මත සේවකයින් 90 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කෙරුණු ඔවුන් පැයක පමණ කාලයක් ඇතුළත යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් යළිත් රෝහලෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, එම එන්නත් ලබාදීම සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *