එන්නත් කමිටුවෙන් තවත් විශේෂඥයෙකු ඉල්ලා අස්වෙයි

එන්නත් කමිටුවෙන් තවත් විශේෂඥයෙකු ඉල්ලා අස්වෙයි

*********************************************

එන්නත් කමිටුවෙන් තවත් විශේෂඥයෙකු ඉල්ලා අස්වෙයි

(29.06.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් පිළිබඳ ස්වාධීන විශේෂඥ උපදේශක කමිටුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඉල්ලා අස් වී තිබෙනවා.

එම කමිටුව සඳහා චීනයේ නිෂ්පාදනය කෙරෙන සිනොවැක් කොරෝනා එන්නත සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම මේ වනවිට පැවරී ඇති කාර්යයක්.

එවැනි පසුබිමක එම කමිටුවේ සාමාජිකයෙකු වූ මහාචාර්ය ඒ. පත්මේෂ්වරන් මහතා ද මීට දෙසතියකට පමණ පෙර ඉල්ලා අස් වී ඇති බවයි වාර්තා වුණේ.

චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත සම්බන්ධයෙන්ද පත්කළ එන්නත් කමිටුවට මීට පෙර පැවති එන්නත් කමිටුවේ සාමාජිකයින් 08 දෙනාගෙන් 07 දෙනෙකු පත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පසුගියදා කටයුතු කර තිබුණා.

ඊට අමතරව එන්නත් කමිටුවට අලුතින් සාමාජිකයින් තුන් දෙනෙකු (3) ද නම් කිරීමටයි ඔහු පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, නව කමිටුවට ද නම් කර සිටි පැරණි එන්නත් කමිටුවේ සිටි මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සහ මහාචාර්ය ඒ. පත්මේෂ්වරන් මහතා ඉල්ලා අස් වී ඇති බවයි මේ වනවිට වාර්තා වන්නේ.

මේ අතර, මෙරටින් ඊයේ (28) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 1,890 දෙනා අතරින් 1,850 දෙනෙකු ‘අලුත් අවුරුදු කොරෝනා පොකුරේ’ ආසාදිතයින්.

එම ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාව වූ 337 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබුණා.

කළුතර දිස්ත්‍රික්කයෙන් අසාදිතයින් 268 ක් වාර්තා වූ අතර ඉන් අඩකටත් වැඩි සංඛ්‍යාවක් මතුගම ප්‍රදේශයෙන් වාර්තා වීම විශේෂත්වයක්.

ඒ අනුව එම ප්‍රදේශයෙන් ආසාදිතයින් 143 හඳුනාගෙන තිබුණා.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 198 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් ඊයේ (28) 194 දෙනෙකු පමණක් වාර්තා වීමද විශේෂත්වයක්.

මේ අතර, කහතුඩුව ප්‍රදේශයෙන් හමුවූ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බවට සැකසහිත කොරෝනා රෝගියා මීට පෙර හඳුනාගත් අදාළ වෛරස් ප්‍රභේදය ආසාදනය වී තිබූ රෝගීන් සමඟ එක් සේවා ස්ථානයක කටයුතු කළ පුද්ගයෙකු බවට හදුනා ගෙන තිබෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව තහවුරු කළා.

මේ අතර, විදේශයන්හි සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් 40 දෙනෙකුද ඊයේ (28) ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා.

එසේම, පසුගිය දින 14 ක කාලය තුළදී සෞදි අරාබිය ඇතුළු රටවල් 06 ක සංචාරය කර ඇති මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර ලබා නොදීමට තීරණය කර තිබෙනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේ සෞදි අරාබියට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට්, ඕමාන් සහ බහරේන් යන රටවල පසුගිය දින 14 ක කාලය තුළ සංචාරය කළ පුද්ගලයින්ට ජූලි 01 වැනිදා සිට 14 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම තහනම ක්‍රියාත්මක බවයි.

කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (28) දිනයේදී පුද්ගලයින් 69,919 දෙනෙකුට එන්නත් ලබාදී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 30,966 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

එහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 37,812 දෙනෙකුට ලබාදී තිබෙනවා.

එසේම, කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ඊයේ පුද්ගලයින් 1141 දෙනෙකුට ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 159,6487 ක් වන අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 551,007 ක්.

එසේම, කොවිෂීල්ඩ් පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 925,242 ක් ලබාගෙන ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 374,040 කට ලබාදී තිබෙනවා.

ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 114,795 ක්.

එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 14,425 ක් වනවා.

මේ අතර, කොළඹ මහනගරසභා සීමාවේ වෙසෙන කොවිෂිල්ඩ් එන්තතේ පළමු (1) මාත්‍රාව ලබා ගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා එම එන්නතේ දෙවැනි (2) මාත්‍රා ලබාදීම අදත් සිදුවනවා.

බස්නාහිර පළාතේම වයස අවුරුදු 60 ට වැඩි පිරිස් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදීම අද (29) සිට ආරම්භ වුණා.

මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන (2) මාත්‍රාව ලෙස මෝඩර්නා සහ ෆයිසර් කොරෝනා එන්නත් ලබාදීමට අදාළ උපදෙස් මාලාවක් ඉදිරියේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මේ අතර, කොරෝනා තත්ත්වය නිසා බලපෑමට ලක් වූ සංචාරක ක්ෂේත්‍රයේ ආයතනවලට දැනට ලබාදී ඇති සහන ලබන දෙසැම්බර් මාසය අවසන් වනතුරු ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එසේම, කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය පොලිස් වසමේ සිංහපුර ග්‍රාම නිලධාරී වසමේ සංහිඳ සෙවන නිවාස සංකීර්ණය හැර සෙසු කොටස් අද (29) උදෑසන හයේ (06:00) සිට හුදෙකලා කෙරුණා.

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බල ප්‍රදේශයේ ගල්බොරැල්ල – සීයවත්ත ග්‍රාම නිලධාරී වසමද හුදෙකලා කිරීමට පියවර ගත් බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

මේ අතර, නුවරඑලිය, ගම්පහ, ගාල්ල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක හුදෙකලාභාවය ඉවත් කිරීමටද පියවර ගැනුණා.

++++++++++++++++++++++

(29.06.2021 – 13:52 +0530 – hirunews.lk/sinhala)

ජෛව ආරක්ෂණ බුබුලෙන් පිටතට යාමේ සිද්ධිය හේතුවෙන් තරග තහනම් කෙරුණු, එංගලන්ත සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක අද (29) පස්වරුවේ දිවයිනට පැමිණියා.

කටුනායක ගුවන්තොටුපල හිරු ප්‍රවෘත්ති වාර්තාකරු සඳහන් කළේ එංගලන්තයේ ලන්ඩන් නුවර සිට පැමිණි යූ.එල්. 504 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයෙන් පස්වරු 01:15 ට පමණ මෙවුන් තිදෙනා (3) දිවයිනට පැමිණි බවයි.

ගුවන්තොටුපල වෙත පැමිණීමෙන් අනතුරුව ඔවුන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට යුද හමුදාව වෙත භාර දුන් බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

++++++++++++++++++++++

Online ඉගෙනගන්න – වැලි ගොඩදමන දිරිය දියණිය

(29.06.2021 – 14:36 +0530 – hirunews.lk/sinhala)

සිය මව සමඟ වැලි ගොඩදමමින් ජීවිතය ගැට ගසා ගැනීමට වෙර දරණ කුඩා දියණියක පිළිබඳව අපට වාර්තා වුණේ පොළොන්නරුව – හිඟුරක්දමන ප්‍රදේශයෙන්.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ – හිඟුරක්දමන ප්‍රදේශයේ පදිංචි ‘දැහැමි නෙත්සරා’ දියණියගේ පියා කුළි රැකියාවක නිරතව සිට මීට මාස කිහිපයකට පෙර සිදුවූ අනතුරකින් අතේ ඇඟිල්ලක් අහිමිවී තිබෙනවා.

48 හැවිරිදි දියවැඩියා රෝගියෙකු ද වන ඇයගේ පියාගේ අසනීප තත්ත්වය සමඟ කිසිවෙකුගෙන් උපකාරයක් නොලැබීමෙන් ඇයට සිය මව සමඟ මින්නේරිය ඔයේ වැලි ගොඩ දැමීමට සිදුව තිබෙනවා.

හිඟුරක්දමන මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන දැහැමි නෙත්සරා දියණිය මෙවර 5 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත අතර, ඇය පවසන්නේ තම අධ්‍යාපන කටයුතු සිදුකර ගෙන යාමට දුරකථනයක් නොමැති බවයි.

++++++++++++++++

(29.06.2021 – 17:11 +0530 – hirunews.lk/sinhala)

අද (29) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 2,222 ක් සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 223,471 ක් දක්වා ඉහළයනු ඇති ෴

අද (29) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1320 ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

@@@@@@@@@@@@@@@@@@

(29.06.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ සැකසහිත බහාලුමක තිබී පහන් තෙල් වශයෙන් සඳහන් කළ කෑන් 100 ක් තුල ඉතා සූක්ෂමව අසුරා තිබූ ගිතෙල් තොගයක් සොයා ගෙන තිබෙනවා.

රේගුව සඳහන් කළේ ගිතෙල් කිලෝ 1500 ක් මෙහිදී සොයා ගෙන ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 28 කට අධික බවට තක්සේරු කර ඇති බවයි.

කොළඹ 13 ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් ඉන්දියාවේ සිට බහාලුම ගෙන්වා තිබෙනවා.

රේගුවට සඳහන් කර තිබී ඇත්තේ එහි ඕට්ස්, පූජා කුඩු මෙන්ම, පහන් තෙල් කෑන් 1600 ක් අඩංගු බවටයි.

මෙම බහාලුම පිටවූයේ නම් රජයට රුපියල් ලක්ෂ 13 කට වැඩි බදු ආදායමක් අහිමිවනවා ෴

******************************************

(29.06.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් ලඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු ගාල්ල වැලිවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නාවික හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත ගාල්ල පොලීසියේ දූෂණ මර්ධන නිලධාරීන් විසින් සිදු කල වැටලීමකදීයී.

එහිදී සැකකරු සතුව තිබී විදේශීය දුම්වැටි 1940 ක් හමුවූ බව පොලීසිය සඳහන් කළා. 60 හැවිරිදි සැකකරු අද (29) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

(29.06.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

රට තුල පවතින පොහොර හිඟය මුල් කර ගනිමින් අදත් (29) දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වුණා.

වැලිමඩ – ඌව පරණගම ගොවිජන එකමුතුව අද (29) පෙරවරුවේ විරෝධතාවයක නිරත වූයේ සපුගොල්ල වෙල්යායේ සිටයි.

එමෙන්ම, පවතින පොහොර හිඟයට විරෝධය දක්වමින් පඩුවස්නුවර ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට ද ප්‍රදේශයේ ගොවීන් උද්ඝෝෂණයක නිරත වුණා.

මේ අතර, උද්ගතව ඇති පොහොර හිඟයට විසඳුම් ඉල්ලා සමගි ජනබලවේගය නොච්චියාගම ප්‍රදේශයේ සංවිධානය කළ උද්ඝෝෂණයක් සඳහා ගොවි සමිති 12 ක නියෝජිතයින් එක්ව සිටියා.

ඊයේ (28) ‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශනය වූ ‘සලකුණ’ වැඩසටහනට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොහොර හිඟයට විසඳුම් ඉල්ලා ගොවීන් සිදුකරන විරෝධතා සම්බන්ධයෙන් අදහස් දැක්වුවා.

මේ අතර, කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදනය හා භාවිතයේ වැදගත්කම පිළිබඳව ජාතික මට්ටමින් ගොවීන් සහ ජනතාව මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

පොහොර ගැටලුව සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවිජනතාවට මෙම කන්නයේදී පොහොර නොමැතිවීමක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටීමට තමන් පසුබවට නොවන බවයි.

******************************************

(29.06.2021 – 14:28 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීම සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

******************************************

(29.06.2021 – 14:41 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීම පිළිබඳව සමගි ජන බලවේගය සහ අමෙරිකානු තානාපතිවරිය සිදුකළ විවේචනය සම්බන්ධයෙන් දේශපාලනඥයින් සහ මහා සංඝරත්නය අදත් (29) විවිධ අදහස් පළකළා.

******************************************

(29.06.2021 – 14:49 +0530 – hirunews.lk/sinhala)

විදුලිය ලබාගැනීම සඳහා ඉල්ලුම් කර තිබුණත් වසරක් යනතුරුත් විදුලිය නොමැතිවීමෙන් දැඩි අපහසුතාවට පත්වූ දරුවන් පස්දෙනෙකු (5) ගෙන් යුත් පවුලක් පිළිබඳව අප පසුගිය 24 වැනිදා හිරු ප්‍රවෘත්ති ඔස්සේ විකාශය කළා.

එම පුවත සැලවීමත් සමඟ දිනක් යන්නට මත්තෙන් එම නිවසට ආලෝකය ලබාදීමට අදාළ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

හම්බන්තොට – සූරියවැව – විහාරගල ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන දරුවන් 5 දෙනෙකුගෙන් යුත් මෙම පවුල ජීවත් වන්නේ බොහෝ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේයි.

එම දරුවන් අතර මෙවර සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරුවන් දෙදෙනෙකු (2) ද වනවා.

කෙසේ වෙතත්, මෙම දරුවන්ගේ ඉගෙනුම් කටයුතුවලට ප්‍රධාන බාධාව වී තිබුණේ විදුලි බලය නොමැතිවීමයි.

කුප්පි ලාම්පු එළියෙන් අධ්‍යාපනය ලැබූ මෙම දරුවන්ට මහත් ගැටලුවක් වූයේ මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ අධ්‍යාපනය ලැබීමයි.

කෙසේ වෙතත්, මෙම ගැටලුව පිළිබඳ හිරු ප්‍රවෘත්ති ඔස්සේ පසුගියදා 24 වැනිදා අනාවරණය කිරීමත් සමඟ අදාළ බලධාරීන්ගේ අවධානය කඩිනමින් ඊට යොමුව තිබෙනවා.

තම ගැටලුවට කඩිනමින් විසඳුම් ලැබීම පිළිබඳව නිවැසියන් සිය ස්තූතිය සඳහන් කළේ මෙලෙසයි :

******************************************

(29.06.2021 – 15:32 +0530 – hirunews.lk/sinhala)

අන්තරායක සත්ත්ව ආඥා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.

වර්තමානයට ගැලපෙන ආකාරයට එය සංශෝධනය කළ යුතු බවයි අධිකරණ අමාත්‍යාංශයේ විශේෂ ඒකකයේ අපරාධ නීති ප්‍රතිසංස්කරණය සඳහා වන අනෙක් අනුකමිටුව විසින් නිර්දේශ කර තිබුණේ.

ඒ අනුව, අධිකරණ අමාත්‍ය අලි සබ්රි ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තීබෙනවා ෴

******************************************

(29.06.2021 – 16:29 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවියක් පැහැර ගෙන යාමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි දෙදෙනකු (2) තවදුරටත් ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළා.

ඒ ඔවුන් අද (29) යළිත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස අද (29) යලිත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ දැනට රිමාන්ඩ් බන්ධනාගාගත කර සිටින උපකාරක පන්ති ගුරුවරයාට සහය දැක්වූ බව කියන රියදුරෙකු සහ රූපලාවන්‍ය ශිල්පිනියයි.

24 හැවිරිදි සැකකාර උපකාරක පංති ගුරුවරයා සිසුවිය සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඇති බවයි හෙළිවී ඇත්තේ.

පසුව සිසුවියගේ මව්පියන් එයට විරෝධය පළකිරීමත් සමඟ සැකකාර උපකාරක පංති ගුරුවරයා සිසුවිය පැහැරගෙන යාමට සැලසුමක් සකස් කර තිබෙනවා.

පසුව රූගත කිරිමක් සඳහා යක්කලමුල්ල ප්‍රදේශයේ රුපලාවන්‍යාගාරයක් අසලට පැමිණෙන ලෙස ඇයටත් තවත් ගැහැණු ළමයි දෙදෙනකුටත් (2) පවසා ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ඇයත් මිතුරියන් දෙදෙනාත් (2) රූපලාවන්‍යාගාරය අසලට පැමිණිවිට රූපලාවන්‍ය ශිල්පිණිය දැරියන් තිදෙනා (3) මෝටර් රථයකින් කොට්ටව රක්ෂිත වනාන්තරයට යවා ඇයද යතුරු පැදියකින් මෝටර් රථය පිටුපසින් ගොස් තිබෙනවා.

එසේ ගොස් පසුව රූගත කිරිම් එම ස්ථානයේ නොව වෙනත් ස්ථානයක බව පවසා වඳුරඹ පාරේ ආරණ්‍යයක් අසලට ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

එම සැකකාර උපකාරක පංති ගුරුවරයා ත්‍රි රෝද රථයකින් පැමිණ බලහත්කාරයෙන් සිසුවිය ත්‍රිරෝද රථයට නංවාගෙන ගොස් තිබෙනවා.

එසේ රැගෙන යනවිට සිසුවිය කෑ ගසා ඇති අතර අකුලහේන ප්‍රදේශයේදි මෙය දුටු යතුරු පැදියක ගමන්කරමින් සිටි සිසුවියගේ ඥාතියෙකු කිසියම් කරදරයක් සිදුව ඇති බව සිතා ත්‍රි රෝද රථය පසුපස හඹාගොස් නතරකල අවස්ථාවේ සැකකරු පළායාමට උත්සහ කර තිබෙනවා.

අනතුරුව යතුරු පැදිකරුද ඔහු පසුපස එළවාගොස් අල්ලාගෙන පහරදී ඇති අතර එම ස්ථානයට එක්වු පිරිසද සැකකරුට පහරදි ඇති බවයි වාර්තා වන්නේ.

පසුව එම ස්ථානයට පොලිසිය පැමිණ සිසුවිය පොලිස් භාරයට ගෙන තුවාල ලබාසිටි සැකකරු කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෝටර් රථ රියදුරු සහ රුපලාවන්‍ය ශිල්පිණිය වෙනුවෙන් පෙනිසිටි නිතීඥවරුන් ඇප ඉල්ලිමක් සිදු කල අතර එම ඇප ඉල්ලිම ප්‍රතික්ෂේප කරමින් අතීරේක මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් රිමාන්ඩ් කිරීමට නියෝග කලාය ෴

******************************************

(29.06.2021 – 16:54 +0530 – hirunews.lk/sinhala)

2021 අප්‍රේල් මස 21 වැනි දින පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සිදු වූ සිද්ධීන් පිළිබඳව සොයා බලා ගත යුතු පියවරයන් නිර්දේශ කිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව ලබන සතියේ කථානායකවරයා වෙත පිළිගැන්වීමට නියමිතයි.

නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව ඊයේ (28) රැස්වූ අතර එහිදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, කෙහෙලිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ඉම්තියාස් බාකීර් මාකර්, ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, එම්. ඒ. සුමන්තිරන්.

අප්‍රේල් 21 වැනිදා ඇති වූ ආකාරයේ අර්බුදකාරී වාතාවරණයක් නැවත පාර්ලිමේන්තුව තුළ ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න නිර්දේශ කිරීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පසුගිය අප්‍රේල් 23 වැනිදා මෙම කමිටුව පත් කරනු ලැබුවා.

ඒ අනුව මෙවැනි සිදුවීම් තුළින් සමස්ත පාර්ලිමේන්තුවටම සිදු විය හැකි අහිතකර තත්ත්වය දීර්ඝ වශයෙන් සළකා බැලූ කමිටුව, ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වාලීමට පාර්ලිමේන්තුවක් ලෙස ගත හැකි කෙටි කාලීන සහ දිගු කාලීන පියවර ද සාකච්ජා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් වන පූර්ණ වාර්තාව ඉදිරි සතියේදී කථානායකවරයාට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *