දෙහිවල ශීනාගේ පරීක්ෂණයක් ගැන රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනාවක්

දෙහිවල ශීනාගේ පරීක්ෂණයක් ගැන රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනාවක්

*********************************************

දෙහිවල ශීනාගේ පරීක්ෂණයක් ගැන රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනාවක්

(29.06.2021 – 08:53 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කොරෝනා ආසාදනය වූ බව කියන ශීනා නැමැති සිංහ දේනුවගේ සෙම් පටල සාම්පල මෙතෙක්, සතුන්ගේ කොරෝනා පරීක්ෂණ සිදු කිරීම සදහා නිර්දේශ කර ඇති පර්යේෂණාගාරයක් වෙත යොමු කර නොමැති බවට රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ ශීනා සිංහ දේනුවට කොරොනා ආසාදනය වූ බවට නිවේදනය කර ඇත්තේ මිනිසුන්ගේ කොරෝනා පරීක්ෂණ සිදු කරන රාගම රෝහලේ පර්යේෂණාගාරය මගින් බවයි.

මෙරට සතුන්ගේ කොරෝනා පර්යේෂණ පැවැත්වීමට නිර්දේශ කර ඇති එකම පර්යේෂණාගොරය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය සතුව පවතින බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළා.

එම සංගමය ප්‍රකාශ කළේ මිනිසුන්ගේ පරීක්ෂණ සිදු කරන පර්යේෂණාගාරයක් මගින් සත්වයෙකුට කොරෝනා ආසාදනය වූ බව ප්‍රකාශ කිරීම ප්‍රමාණවත් නොවන බවයි.

කෙසේ වෙතත්, වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පසුගියදා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ දෙහිවල සත්වෝද්‍යානයේ වෙනත් කිසිදු සත්ත්වයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට නිරීක්ෂණය වී ඇති බවයි.

කොරෝනා ආසාදනය වූ තෝර් නැමැති සිංහයා සහ ශීනා නමැති සිංහ ධේනුව මේ වනවිට සුව අතට පත්වී ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++

(29.06.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දින 14 ක කාලය තුළදී සෞදි අරාබිය ඇතුළු රටවල් 06 ක සංචාරය කර ඇති මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර ලබා නොදීමට තීරණය කර තිබෙනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේ සෞදි අරාබියට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට්, ඕමාන් සහ බහරේන් යන රටවල පසුගිය දින 14 ක කාලය තුළ සංචාරය කළ පුද්ගලයින්ට ජූලි 01 වැනිදා සිට 14 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම තහනම ක්‍රියාත්මක බවයි ෴

+++++++++++++++++++++++++

(29.06.2021 – 08:27 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති ඩොමිනිස් ෆර්ග්ලර්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇමෙරිකානු ඩොලර් මිලියන 04 ක වෛද්‍ය ආධාර තොගයක් පිරිනමා තිබෙනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ ඊයේ (28) අරලියගහ මන්දිරයේදී මෙම වෛද්‍ය ආධාර තොගය පිරිනමා ඇති බවයි.

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවලට ස්විස්ටර්ලන්ත රජය ලබාදෙන සහන සම්බන්ධයෙන් එරට විදේශ අමාත්‍ය ඉග්නේෂ්යෝ කැසිස් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ කොවිඩ් අභියෝගය ජය ගැනීමට අන්තර් ජාතික සහයෝගය අත්‍යවශ්‍ය බවයි.

එමෙන්ම, අදාළ පරිත්‍යාගය පිළිබඳව ස්විස්ටර්ලන්ත ජනතාවට සිය ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, දෙරට අතර සහයෝගිතාව ශක්තිමත්ව අඛන්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳවද එහිදී සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකා – ස්විස්ටර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත සක්‍රීය කිරීමේ අවශ්‍යතාවය සහ අතීතයේදී දෙරටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පැවති සාර්ථක වැඩසටහන් පිළිබඳවද මෙහිදී අවධානය යොමුවූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ඉදිරියේදී සංචාරක ව්‍යාපාරය යළි පණගැන්වෙනු ඇති බවට පවතින ලෝක අපේක්ෂාව අනුව ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකම් හා සේවාවන් වැඩිදියුණු කිරීමට ස්විස්ටර්ලන්ත රජය සහය දක්වන බවද තානාපතිවරයා සිය විශ්වාසය පළ කර තිබෙනවා.

++++++++++++++++++++++

(29.06.2021 – 09:04 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන්නේ දැයි සොයා බැලීම සඳහා ව්‍යායාම මධ්‍යස්ථාන, ගෘහස්ථ ක්‍රීඩාංගන, අවන්හල්, රාත්‍රි සමාජ ශාලා ඇතුළු ස්ථාන 1,306 ක් පොලිසිය ඊයේ (28) දිනයේදීත් පරීක්ෂාවට ලක් කළා.

ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතයි.

එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් විවෘත කර තිබූ ස්ථාන 200 ක පුද්ගලයින් 337 දෙනෙකුට තරයේ අවවාද කර ඇති බව සඳහන් ෴

+++++++++++++++++++++

(29.06.2021 – 10:23 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (28) වාර්තා වූ මෙරට කොරෝනා ආසාදිතයන්ගෙන් වැඩිම සංඛ්‍යාව වූ 337 ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

ඊයේ (28) දිනයේදී මෙරටින් ආසාදිතයින් 1890 ක් වාර්තා වූ අතර ඉන් 40 ක් විදෙස් ගතව සිට පැමිණි අයයි.

ඊට අමතරව ඊයේ (28) දිනයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 268 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 194 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 198 දෙනෙකු ද වාර්තා වී තිබෙනවා ෴

++++++++++++++++++

(29.06.2021 – 10:40 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා තත්ත්වය නිසා බලපෑමට ලක් වූ සංචාරක ක්ෂේත්‍රයේ ආයතනවලට දැනට ලබාදී ඇති සහන ලබන දෙසැම්බර් මාසය අවසන් වනතුරු ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

කම්කරු අමාත්‍යවරයා විසින් අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර පසුගිය දින 14 ක කාලය තුළදී සෞදි අරාබිය ඇතුළු රටවල් 06 ක සංචාරය කර ඇති මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර ලබා නොදීමට තීරණය කර තිබෙනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේ සෞදි අරාබියට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට්, ඕමාන් සහ බහරේන් යන රටවල පසුගිය දින 14 ක කාලය තුළ සංචාරය කළ පුද්ගලයින්ට ජූලි 01 වැනිදා සිට 14 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම තහනම ක්‍රියාත්මක බවයි ෴

+++++++++++++++++++++

(29.06.2021 – 11:10 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (28) දිනයේදී පුද්ගලයින් 69,919 දෙනෙකුට එන්නත් ලබාදී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 30,966 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

එහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 37,812 දෙනෙකුට ලබාදී තිබෙනවා.

එසේම, කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ඊයේ (28) පුද්ගලයින් 1141 දෙනෙකුට ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 159,6487 ක් වන අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 551,007 ක්.

එසේම, කොවිෂීල්ඩ් පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 925,242 ක් ලබාගෙන ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 374,040 කට ලබාදී තිබෙනවා.

ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 114,795 ක්.

එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 14,425 ක් වනවා ෴

@@@@@@@@@@@@@@@@

(29.06.2021 – 08:35 +0530 – hirunews.lk/sinhala)

පවතින පොහොර ගැටලුව සම්බන්ධයෙන් ඊයේ (28) රැස් වු අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා වී තිබෙනවා.

රජය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කළේ ඉදිරියේදි ඊට ලබා දිය යුතු විසදුම් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනු ඇති බවයි.

රට තුළ පවතින කොරෝනා වංසගතය සම්බන්ධයෙන් සහ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන්ද අමාත්‍ය මණ්ඩලය සාකච්ඡාවට ලක් කර තිබුණා ෴

******************************************

(29.06.2021 – 08:57 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 22 ක් වටිනා මත්ද්‍රව්‍ය තැවරූ සින්තටික් මුද්දර 1,100 ක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හොරණ – පෝරුවදණ්ඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකර තිබුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරක් මතයි.

එහිදී 37 හැවිරිදි සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා හොරණ පොලීසිය වෙත භාර දී තිබෙනවා.

මේ අතර, 2019 වසරේ හෙරොයින් කිලෝ 84 ක් ධීවර බෝට්ටුවක තිබී සොයා ගැනීමට අදාළ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් සිව් දෙනෙකුට (4) ගාල්ල මහාධිකරණය ඊයේ (28) ඇප ලබා දුන්නා.

ඒ සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප අයදුම්පත් සලකා බැලීමෙන් අනතුරුවයි ෴

******************************************

තානාපති නාඩගම – 2 (තොග පිටින් නිදහස් කරගැනීමට සිරකරුවන් ඔබටත් සිටීද? එසේ නම් විමසන්න ඔබාමා සහ බිල් ක්ලින්ටන්)

(29.06.2021 – divaina.com කතුවැකිය)

බන්ධනාගාරයේ සිටි දුමින්ද සිල්වා ජනාධිපති සමාව මගින් නිදහස් කිරීම ජාතික ප‍්‍රශ්නයක්ව තිබෙන ආකාරයත් ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරිය එම ප‍්‍රශ්නයට මැදිහත් වී රාජ්‍ය තාන්ත‍්‍රික ජරාව තොගයක් ඇඟේ ගාගෙන සිටින ආකාරයත් අපි ඊයේ (28) මේ කතුවැකියේ පළමුවන කොටසින් හෙළිදරව් කළෙමු. ශ‍්‍රී ලංකාව කොවිඩ් නිසා මාර මුඛයට පිවිස ඇත. කොවිඞ් වෛරස් වර්ග පහක් ද කළු පුස් රෝගයද ඩෙල්ටා සහ ඩෙල්ටා ප්ලස් නමැති කොවිඩ් විකෘතීන් දෙකද අපට පස්ස දික් කරගෙන සිනාවෙන මේ මොහොතේදී, ඇමරිකානු තානාපතිනිය කීවේ ජනාධිපති සමාව යටතේ දුමින්ද නිදහස් කිරීම වැරදි බවත් එම සමාව යටතේම කොටි ත‍්‍රස්තවාදී සැකකරුවන් තොගයක් නිදහස් කිරීම හොඳ බවත් ය.

ශ‍්‍රී ලංකාවේ ඇමරිකන් තානාපතිවරිය රාජ්‍ය තාන්ත‍්‍රික වරප‍්‍රසාදවලට මුවාවී ත‍්‍රස්තවාදයට හුලං ගහන බව පෙනේ. මේ වර්ගයේ තානාපතිවරියන් හෝ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් විශ‍්‍රාම ගිය සැණින් ත‍්‍රස්තවාදයට සහ බෙදුම්වාදයට උදව් කරන එන්.ජී.ඕ. මැස්සවල් අටවා ගනිති. මෙයට ඇති ආසන්නතම උදාහරණය යස්මින් සූකා ය. ශ‍්‍රී ලංකාවේ සිදුවූයේ යැයි කියන යුද අපරාධ වලට වගකිව යුත්තන් පිළිබඳව සෙවීම සඳහා පත් කෙරුණු එක්සත් ජාතීන්ගේ විද්වත් මණ්ඩලයේ ප‍්‍රමුඛ සාමාජිකාවක සහ ‘ශ‍්‍රී ලංකාවේ පරම සැතිරියක’ වූ යස්මින් සූකා විශ‍්‍රාම ගිය ගමන්ම එන්.ජී.ඕ. එකක් අටවා ගත්තාය. මෙසේ අටවන එන් ජී ඕ වලට අරමුදල් සැපයීමට කැමති ඩයස්පෝරා කට්ටිය විනාඩියට හැට දෙනා බැගින් නොව තත්පරයට හැට දෙනා බැගින් බිහි වෙති. කෙසේ හෝ වේවා මේ දිනවල වැලේ වැල් නැතිව සිටින අපගේ දුප්පත් පාඨකයිනි, අද අප ඔබට කියන්නට යන්නේ ඇමරිකානු ජනාධිපතිවරුන් විසින් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් ගැනය.

සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරුන්ට කුසලාන ප‍්‍රදානය කෙරේ නම් එය ඇමරිකාවේ හිටපු ජනපති බරක් ඔබාමා ට හිමිවිය යුතුමය. එහෙත් අප මොනිකා ලූවින්ස්කි ගේ ශෘංගාරාත්මක පේ‍්‍රමවන්තයා වූ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සිරිමතාණන් ද අමතක නොකරමු. ශ‍්‍රී ලංකාවේ ඇමරිකන් තානාපතිවරිය නොදන්නවාට එතුමා ද සිරකරුවන් විශාල ප‍්‍රමාණයකට සමාව දී ඇත.

බරක් ඔබාමා දෙවරක් ජනාධිපති විය. පළමුවන ජනාධිපති ධුර කාලයේදී ඔහු කිසිදු සිරකරුවෙක් නිදහස් කළේ නැත. එහෙත් 2017 දී සිය දෙවන ධුර කාලය අවසන් වීමට යෑමේදී ඔබාමා අඩුම ගණනේ සිරකරුවන් තුන් දහසකට ජනාධිපති සමාව ප‍්‍රදානය කළේය. මරණ දඬුවම නියම වූ පන්සිය හතරකගේ එම දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවම්වලට පරිවර්තනය කළේය. ඔබාමා විසින් සිරෙන් එළියට යැවූ වැඩිදෙනා කුඩුකාරයෝය. මේ අතර කුඩු ගසන්නන් මෙන්ම කුඩු බෙදන්නන් ද වූහ. 2017 ජනවාරි 19 දිනය තුළ පමණක් ඔබාමා විසින් සිරකරුවන් තුන්සිය තිහකට ජනාධිපති සමාව දුන්නේය. මෙය ලෝක වාර්තාවකි. පහුවදා ඔහු ධුරයෙන් විශ‍්‍රාම ගෙන ගෙදර ගියේය. හිටපු ජනාධිපති ඔබාමා කොතරම් වැඩ්ඩෙක්ද යත් ඔහුට කලින් සිටි ඇමරිකන් ජනාධිපතිවරුන් 13 න් දෙනෙක් විසින් සිරකරුවන්ට දෙන ලද ජනාධිපති සමා සියල්ලෙහිම මුළු එකතුවට වැඩි ජනාධිපති සමා ප‍්‍රමාණයක් සිය දෙවැනි ධුර කාලයේ අන්තිම දවස්වල ඔහු දුන්නේය. ඔබාමා විසින් එළියට දමන ලද සිරකරුවන් ගැන අදටත් කවුරුත් කතා නොකරති. ශ‍්‍රී ලංකාවේ ඇමරිකන් තානාපතිවරිය ඉතිහාසය නොදන්නා අහිංසක ලලනාවකි.

පුවටෝරිකෝ යනුවෙන් හැඳින්වෙන ලතින් ඇමරිකානු රටක් තිබේ. මේ රටේ Suerzas Arnabas De Liveracion Nacional (SALN) නමැති ඉතා දරුණු ත‍්‍රස්තවාදී සංවිධානයක් ඇත. ඔවුහු ඇමරිකාව සමග බද්ධ වෛරයෙන් පසුවෙති. 1999 අගෝස්තු 11 දා මේ ත‍්‍රස්තවාදීහු නිව්යෝර්ක් නගරය තුළ බෝම්බ 120 ක් පිපිරවූහ. මෙයින් බෝම්බකරුවන් 16 දෙනෙක් අත්අඩංගුවට ගෙන නඩු අසා සිරගෙට නියම කරන ලදී. ඔවුන්ගෙන් කෙනෙක් අවුරුදු 35 කට ද තවත් අය අවුරුදු 55, අවුරුදු 60, අවුරුදු 70, අවුරුදු 90 යනාදී වශයෙන් සිර දඬුවම් ද තවත් අයෙක් අවුරුදු 105 ක සිර දඬුවමක් ද ලද්දේය. බිල් ක්ලින්ටන් මේ 16 දෙනාගෙන් 14 දෙනකුටම ජනාධිපති සමාව ලබා දුන්නේය. සිය ධුර කාලය තුළ ඔහු සිරකරුවන් 140 කට ජනාධිපති සමාව ලබාදී තිබේ. ඇතැම් සිද්ධීන් වලදී ඔහුගේ ජනාධිපති සමාව දීම් මහත් සේ විවාදයට තුඩු දී ඇත. එහෙත් අදටත් කිසිවෙක් ඒ ගැන කතා නොකරති.

ජනාධිපති සමාව යනු විධායක බලයකි. ඡන්ද දායකයෝ විධායක ජනාධිපතිවරණයකදී ඡන්දය පාවිච්චි කරන විට ජනාධිපතිවරයා සතු ජනාධිපති සමාව දීමේ විධායක බලය ද ඉබේටම අනුමත කරති. ඒ නිසා ඒ ගැන අර්ථකථන ඉදිරිපත් කිරීමට ඒ රටේ ජනතාවට මිස වෙනත් රටවල තානාපතිවරුන්ට අයිතියක් නැත.

බිල් ක්ලින්ටන් හෝ ඔබාමා සිරකරුවන් නිදහස් කරන විට ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ඒ ගැන නිවේදන පළ කර නැත. එසේ නිවේදන පළ කරන්නට ගියොත් ඒ සඳහා වෙනම අංශයක් තානාපති කාර්යාල තුළ පිහිටුවීමට සිදුවේ. ඒ නිසා ශ‍්‍රී ලංකාවේ සිටින ඇමරිකන් තානාපතිතුමියනි, ඔබේ ප‍්‍රකාශය මේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක් සේ සලකා වහාම ඉල්ලා අස්කර ගත යුතුය ෴

******************************************

(29.06.2021 – 10:26 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ ප්‍රදේශයේදී ගිලන් රථයකට පහරදී අලාභ හානි සිදුකිරීම සහ එහි රියදුරුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ සිද්ධිය වන අවස්ථාවේ අදාළ පුද්ගලයා බීමතින් සිට ඇති බවට අනාවරණ වී ඇති බවයි.

******************************************

(29.06.2021 – 10:56 +0530 – hirunews.lk/sinhala)

විදේශ සංචිත හා විදේශ විනිමය වෙළඳපොලේ සිදුවිය හැකි බලපෑම සැලකිල්ලට ගෙන විදේශ විනිමය බාහිර ප්‍රේෂණ මත පනවා ඇති සීමා ලබන මස 02 වනදා සිට තවත් මාස 6 කට දීර්ඝ කර තිබෙනවා.

ඒ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව ඊයේ (28) රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරමින්. ඇතැම් ගණුදෙනුවලට සම්බන්ධිත බාහිර ප්‍රේෂණ අත්හිටුවීම සඳහා විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ අදාළ නියෝග පනවා ඇති අතර, එහි වලංගු කාලය ජුලි පළමුවනදායින් (01) අවසන් වීමට නියමිතව තිබුණා.

විදේශ විනිමය වෙළඳපොලේ ඇතිවිය හැකි අවදානම අවම කිරීමට සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගැනීම පිණිස එම නියෝග තවදුරටත් ක්‍රියාත්මක විය යුතු බවටයි ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශ කර ඇත්තේ ෴

******************************************

(29.06.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

ජෛව බුබුලෙන් පිටතට යාමේ සිද්ධිය හේතුවෙන් යළි දිවයිනට ගෙන්වීමට තීරණය කළ එංගලන්ත සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක තවත් පැය දෙකක් වැනි කාලයක් තුල ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඔවුන් අදාළ සිද්ධියට වරද පිලිගත් අතර ඒ අනුව කණ්ඩායමෙන් වෙන් කර තැබීමට ද ක්‍රිකට් බලධාරින් කටයුතු කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඔවුන් තිදෙනාට පරීක්ෂණ නිමවනතුරු තරඟ තහනමක් ද පැනවූ බවයි.

දිවයිනට පැමිණිමෙන් පසු නිරෝධායනයට ලක් කරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා සඳහන් කළා.

කොවිඩ් ව්‍යාප්තියත් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිර්නායකයන්ට අනුකූලව ක්‍රිකට් තරග පැවැත්වෙන්නේ ජෛව බුබුළකට අනුගත වෙමින්.

කිසියම් රටකට විදෙස් රටක සිට පැමිණි කණ්ඩායමක් සංචාරය අවසන් වනතුරු සිය ජෛව බුබුළ තුල රැදී සිටිය යුතු වනවා.

එහෙත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පටයක දැක්වුණේ කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල එංගලන්තයේ ඩර්හැම් නුවර නවාතැන්ගෙන සිටින හෝටලයෙන් රාත්‍රී කාලයේ පිටතට පැමිණ සිටින ආකාරයයි.

ඔවුන් දැඩි කලබලකාරි ස්වරූපයකින් කටයුතු කරන ආකාරය වීඩියෝ පටයේ දිස්වන අතර උපනායක කුසල් මෙන්ඩිස්ගේ එක් අතක දුම්වැටියක් තිබෙන අයුරුද වීඩියෝවේ දිස් වනවා.

එසේම, මීට පෙර ඇතැම් චෝදනාවන්ට ලක් වූ ධනුෂ්ක ගුණතිලක ද තරමක් දුරින් එම වීඩියෝවේ සිටින ආකාරය දිස්වුණා.

එංගලන්තය සමග අද (29) පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීමේ ද මේ වනවිට ගැටලුකාරි තත්ත්වයක් මතුව තිබෙන්නේ මෙම ක්‍රීඩකයන් තිදෙනා දිවයිනට කැඳවීම හේතුවෙන් ෴

******************************************

(29.06.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයෙකු ලෙස පත්වන්නේ ද යන්න පිළිබඳව තවම තීරණයක් ගෙන නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

අද (29) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.

එහිදී ඔහු කියා සිටියේ එම කාරණය පක්ෂයේ අභ්‍යන්තර කාරණයක් බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *