මින්නේරියේ යුද හමුදා – වනජිවි සිද්ධිය ගැන පරිසරවේදීන් කතා කරයි

මින්නේරියේ යුද හමුදා – වනජිවි සිද්ධිය ගැන පරිසරවේදීන් කතා කරයි

*********************************************

මින්නේරියේ යුද හමුදා – වනජිවි සිද්ධිය ගැන පරිසරවේදීන් කතා කරයි

(28.06.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට සිය රාජකාරි කටයුතු වලදී ඕනෑම පුද්ගලයෙකු, වාහනයක් හෝ පරිශ්‍රයක් පරීක්ෂා කිරීමට බලය හිමිවන බව පරිසරවේදී, නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ මින්නේරිය ජාතික උද්‍යානය ආශ්‍රිත විශේෂ මෙහෙයුමක යෙදී සිටි වනජීවී නිලධාරීන් පිරිසකට යුද හමුදාවේ යැයි කියන කණ්ඩායමක් විසින් තර්ජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කරමින්.

සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය ජාතික උද්‍යානයේ වනජිවි නිලධාරින් පසුගිය සෙනසුරාදා (26) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, අද (28) පස්වරුවේ ද යළිත් කරුණු වාර්තා කිරීමට නියමිතයි.

මෙම සිද්ධිය පිලිබඳව දෙපාර්ශයෙන්ම පොලීසියට පැමිණිලි ලැබී තිබුණා.

ඒ සම්බන්ධයෙන් හබරණ පොලීසිය ද ලබන බ්‍රහස්පතින්දා අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවයි එහි උසස් නිලධාරියෙකු පැවසුවේ.

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ භාරකරු ඇතුළු වනජීවි නිලධාරීන් පිරිසක් විසින් මෙම සිද්ධිය පිළිබද පොලීසියට පැමිණිලි කර තිබුණා.

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ අලි පැටවකු පැහැර ගැනීමේ සූදානමක් පිළිබඳව වනජීවි නිලධාරීන් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබියදී වනෝද්‍යාන මායිමේ ඊරිගම වෙල්යායේ සිට යුද හමුදා කැබ් රථ 02 ක් පිටවී ඇති අතර, එය ලුහුබැඳ යාමේ සිද්ධියත් සමඟයි මෙම ගැටලුව මතුවුණේ.

කෙසේ වෙතත් වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බලධාරි කිරීමට කිසිදු පාර්ශවයකට හැකියාවක් නොමැති බව පරිසරවේදී, නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා සඳහන් කළා ෴

******************************************

(28.06.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරි දිනකදී කැබිනට් අමාත්‍යධූරයක දිවුරුම් දීමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවට ඔහුගේ පුද්ගලික ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කිසිඳු අමාත්‍යධූරයක් හෝ තනතුරක් ලබා දෙන ලෙස හිටපු ජනදිපතිවරයා රජයෙන් ඉල්ලීමක් කර නොමැති අතර එවැනි කිසිම තනතුරක් තමන් ලබා ගැනීමට බලාපොරොත්තු නොවන බවටයි එම මාධ්‍ය නිවේදනයේ සඳහන්ව තිබුනේ ෴

******************************************

(28.06.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

ෆේස්බුක් සමාජ මාධ්‍ය තුල අපහාසයක් කල බව බව පවසමින් මහනුවර – බලගොල්ල – අම්පිටිය ප්‍රදේශයේදී දෙදෙනෙකු (2) පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වදහිංසා කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් එක් අයෙකු පැහැර ගැනීමට යොදා ගත් වෑන් රථයේ හිමිකරු බවයි.

සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, අදාල පුද්ගලයන් දෙදෙනාට (2) අමානුෂික ලෙස වදහිංසා කළ කට්ටඩියා සහ සෙසු සැකකරුවන් 10 දෙනා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා මේ වනවිට පොලිස් කණ්ඩායම් 5 ක් යොදවා තිබෙනවා.

අදාල කට්ටඩියා විසින් තමාට මුහුණ පොතේ අපහාස කළා යැයි කියන සිය මිතුරන් දෙදෙනාව පසුගිය 25 වනදා තම නිවසට ගෙන්වාගෙන තිබෙනවා.

පසුව 10 දෙනෙකුගෙන් යුත් තවත් පිරිසක් සමග එක්ව ඔවුන්ව පැහැරගෙන වෙනත් කෑලෑ ප්‍රදේශයකට ගෙන ගොස් කුරුසයක ආකාරයට සැකසු ලී ආකෘතියක තබා ඇණ ගසා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස වද හිංසාවට ලක්ව ඇත්තේ පොල්ගොල්ල සහ කඩුවෙල යන ප්‍රදේශ වල පදිංචි 44 සහ 38 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙක්.

ඔවුන් මේ වනවිට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබනවා.

******************************************

(28.06.2021 – 13:50 +0530 – hirunews.lk/sinhala)

ඉවතලන එළවලු යොදා ගනිමින් කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය කිරීමට බන්ඩාරවෙල මහ නගර සභාව පියවර ගෙන තිබෙනවා.

එහි නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා සඳහන් කළේ කාබනික පොහොර මුල් කරගත් කෘෂිකර්මාන්තයක් සදහා යොමුවීමේදී එය වැදගත් පියවරක් බවයි.

මේ අතර රසායනික පොහොර ආනයනය අත්හිටුවීමට රජය ගත් පියවරත් සමග පොහොර නොමැතිව තමන් අපහසුතාව පත්ව ඇති බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල ගොවීන් තවදුරටත් විරෝධතාවල නිරත වනවා.

******************************************

(28.06.2021 – 14:41 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් කල්ලපාඩු ප්‍රදේශයේ සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ පුද්ගලයෙක් රෝහල්ගත කර තිබෙනවා.

මුලතිව් කල්ලපාඩු දකුණ ප්‍රදේශයේ නිවසකට යතුරු පැදිවලින් පැමිණි තියුණු ආයුධ රැගත් පිරිසක් කඩා වැදී තිබෙන්නේ ඊයේ (27) රාත්‍රියේයි.

ඔවුන් නිවස ඉදිරිපිට සවිකර තිබූ ආරක්ෂක කැමරාවට ද පහරදී විනාශ කර තිබෙනවා.

පසුව තියුණු ආයුධයකින් නිවසේ සිටි පුද්ගලයෙකුට පහර දී ඇත.

තුවාල ලැබූ එම පුද්ගලයා මුලතිව් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

සන්නද්ධ පිරිස නිවසට හා ඒ ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයකට හා වෑන් රථයකට පහර දී අලාභ හානි සිදුකරන අයුරු ආරක්ෂක කැමරාවල සටහන්ව තිබුණා.

පෞද්ගලික ආරවුලක් මුල්කරගනිමින් මෙලෙස පහරදී ඇත්තේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට බව පොලිසිය පවසනවා.

පහරදුන් පිරිස සොයා මුලතිව් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

******************************************

(28.06.2021 – 14:58 +0530 – hirunews.lk/sinhala)

කළු ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන බඹරබොටුව ගඟ හරහා මෙම පාලම ඉදි කර තිබෙනවා.

රත්නපුර පැල්මඩුල්ල මැතිවරණ කොට්ඨාශයේ බෝපැත්තේ හා ගලබඩ ගම්මාන යා කරන ප්‍රධාන මාර්ගය මෙම පාලම හරහා වැටී ඇත.

ගංවතුර තත්ත්වයත් සමග කැඩී ගිය මෙම පාලමේ අනතුරුදායක බව පිළිබඳ හිරු ප්‍රවෘත්ති පසුගියදා බළධාරීන්ගේ අවධානයට යොමු කළා.

ඉන් අනතුරුව මෙම පාලම ගමනාගමනය සඳහා තාවකාලිකව පිළිසකර කර දීමටත් ඊට සමගාමීව නව පාලමක් ඉදිකර දීමටත් බලධාරීන් පසුගියදා පැමිණ පොරොන්දු වී මැනීම් කටයුතුද සිදු කර තිබෙනවා.

තේ කර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කර ගත් මේ ප්‍රදේශ වාසීන්ගේ ජීවිත අවධානම නැති කිරීම සඳහා නව පාලම ඉදිවන තුරු සියලු දෙනාම බලාපොරොත්තුවෙන් දෑස් දල්වාගෙන සිටී.

******************************************

(28.06.2021 – 15:07 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමෙරිකානු තානාපතිවරිය විසින් සිදු කළ විවේචනය සම්බන්ධයෙන් මහා සංඝරත්නය අදත් (28) අදහස් පළකළා.

******************************************

(28.06.2021 – 15:11 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පිවිසීම සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව දේශපාලන වේදිකාවේ අදහස් පළවුණා.

******************************************

(28.06.2021 – 15:19 +0530 – hirunews.lk/sinhala)

කුරුවිට ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී එස්. රත්නසිරි එම ධුරයෙන් ඉවත්කර ඒ සඳහා වෙනත් අයකු පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම නියෝගය නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් වෙතයි.

රත්නසිරි මන්ත්‍රීවරයා විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ දිසා විනිසුරු අරුණ අලු‍ත්ගේ මෙම වාරණ නියෝග නිකුත් කරනු ලැබුවේ.

එම නියෝගය ලබන 12 වනදා දක්වා බල පැවත්වෙනු ඇති.

ඊට අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසට අධිකරණය එහි වග උත්තර කරුවන් වන එම පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සහ අමාත්‍ය වාසුදේව නානායක්කාරට නොතිසි නිකුත් කර තිබෙනවා ෴

******************************************

(28.06.2021 – 17:53 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමෙරිකානු නාවික හමුදාව මෙන්ම ජපන් ස්වං ආරක්ෂක සාගරික බලකාය මේ වනවිට නැගෙනහිර මුහුදේ සාර්ථක යුද අභ්‍යාසයක් සිදුකරමින් සිටින බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදු තීරයේදී එය සිදුකෙරෙනවා. නාවික අභ්‍යාසයට ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් සයුරල සහ ගජබාහු යන නෞකා මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 සහ 412 යන යානා දෙකක් ද එක්ව සිටින බව සඳහන්.

මෙම නාවික අභ්‍යාසය ජුනි 30 වනදා දක්වා ක්‍රියාත්මකයි ෴

@@@@@@@@@@@@@@

(28.06.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

විදේශගතව සිට දිවයිනට පැමිණෙන පුද්ගලයින් අතරින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ඉහළ යාම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

ඊයේ (27) මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 1,867 දෙනා අතර එවැනි ආසාදිතයින් 100 දෙනෙකු වනවා.

ඊයේ (27) මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් 1,767 දෙනෙකු ‘අලු‍ත් අවුරුදු පොකුරේ’ ආසාදිතයන්.

විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් 100 දෙනෙකුද ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා.

ගෙවුණු දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 575 ක් වාර්තා වුණා.

එම දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයන් 171 ක් ලෙස වාර්තා වූයේ නිට්ටඹුව ප්‍රදේශයෙන්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ගෙවුණු දිනය තුළ ආසාදිතයන් 339 ක් වාර්තා වුණා.

මීට අමතරව නුවරඑළිය, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලින්ද ගෙවුණු දිනය තුළ ආසාදිතයින් 100 ඉක්මවමින් වාර්තා වුණා.

මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේදී පළමු (1) සහ දෙවැනි (2) මාත්‍රා වශයෙන් ලබා දුන්එන්නත් මාත්‍රා ප්‍රමාණය 40,703 ක්.

කොළඹ මහනගර සභා සීමාවේ වෙසෙන කොවිෂිල්ඩ් එන්තතේ පළමු (1) මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින් සඳහා එම එන්නතේ දෙවැනි (2) මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙල අද (28) සිට ආරම්භ වුණා.

කොළඹ – සුගතදාස ක්‍රීඩාංගනයේ පිහිටුවා තිබූ එන්නත් මධ්‍යස්ථානයේදී සිදුවූ එන්නත් වැඩසටහනට පැමිණි පිරිසක් චෝදනා කළේ තමන්ට ස්ථාවර දුරකථනයට ලැබුණු දැනුම්දීමකට අනුව පැමිණියද ගැටලු‍ සහගත තත්ත්වයකට මුහුණ දීමට සිදු වූ බවයි.

මේ අතර කොවිඩ් මරණ බැහැරලීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කර ඇති ලිපියකට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විරෝධය දක්වනවා.

එසේම, බස්නාහිර පළාතේ සෞඛ්‍ය රියදුරන් අද (28) සිට ලබන ජූලි 02 වනදා දක්වා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

බස්නාහිර පළාත් ප්‍රවාහන හා ගිලන් රථ සංගමයේ සභාපති ප්‍රදීප් නිශාන්ත සිල්වා මහතා අද (28) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ වැටුප් සහ නිවාඩු ඇතුලු ගැටලු රැසක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවයි.

මේ අතර, අද (28) විශාල රථවාහන ප්‍රමාණයක් කොළඹ නගරය වෙත පැමිණෙන ආකාරයද දක්නට ලැබුණා.

ලංකා ගමනා ගමණ මණ්ඩලය සඳහන් කළේ බස්රථ 4,000 ක් අද (28) සිට පාළාත් තුළ ධාවනයට එක් කළ බවයි.

එමෙන්ම ඇතැම් පෞද්ගලික බස්රථද ධාවනයට එක් කර තිබූ අයුරු දක්නට ලැබුණා. කෙසේ වෙතත්, බස්රථ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මගීන් අපහසුතාවට පත්ව සිටි බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

දුම්රිය ගමන්වාර 35 ක් බස්නාහිර පළාත තුළ උදෑසන කාලයේ ධාවනයට එක් කර තිබූ අතර ඒවා පස්වරුවේද ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර, නිරෝධායන නීති උල්ලංඝනය කළ 428 දෙනෙකු ගතවූ දිනයේදී අත්අඩංගුවට ඇති අතර, මහියංගනය – ගැමුණුපුර ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබුණා.

කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද (28) පෙරවරු හයේ සිට හුදෙකලා කර තිබෙනවා.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල පොලිස් බල ප්‍රදේශයේ නොරගල්ල ග්‍රාම නිලධාරී වසමේ නොරගල්ල ඉහළ කොටස, යක්දෙහිවත්ත ග්‍රාම නිලධාරී වසමේ පින්කන්දවත්ත එක සහ දෙක කොටස් මෙන්ම පාතකඩ ග්‍රාම නිලධාරී වසමේ පින්කන්දවත්ත තුන කොටස හුදෙකලා කෙරුණා.

මීට අමතරව මොණරාගල පොලිස් බල ප්‍රදේශයේ හිඳිකිවුල ග්‍රාම නිලධාරී වසමේ නක්කලවත්ත සහ මිල්ලකැලේවත්ත යන ගම්මාන අද (28) පෙරවරු හයේ සිට හුදෙකලා කර තිබෙනවා.

++++++++++++++++++++++

(28.06.2021 – 14:48 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී සුවය ලබන දරුවන්ට දින 14 ක් ගත වූ පසු ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා යි ෴

+++++++++++++++++++++++

(28.06.2021 – 15:49 +0530 – hirunews.lk/sinhala)

‘1390’ ඍජු දුරකථන ඇමතුම් අංකය සම්බන්ධ කර, නිවාස ආශ්‍රිත කොවිඩ් රෝගීන් රැක බලාගැනීමේ නව වැඩපිළිවෙල අද (28) සිට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව, ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ රෝගීන් වර්ගීකරණයකට ලක් කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව, රෝග ලක්ෂණ නොමැති හෝ රෝග ලක්ෂ අවම රෝගීන් ඔවුන්ගේ අවදානම් තත්ත්වයන්, නිවෙස්වල රැදී සිටීමේ හැකියාව, අවට ප්‍රදේශයේ තත්ත්වය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් මුල් කර ගනිමින් රෝහල් වෙත යොමුකරන තෙක් නිවසේ රඳවා ගැනීම සිදුකෙරෙනවා.

එමෙන්ම, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් දිනපතා දුරකථන මගින් ඔවුන් පරීක්ෂාවට ලක් කෙරෙනු ඇති ෴

අද (28) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 2,251 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,21,249 ක් දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ෴

දින 14 ක් තුල ඇන්ගෝලා, බොට්ස්වානා, ලෙසෝතෝ, මොසැම්බික්, නැමීබියා, ස්වාසිලන්තය, සැම්බියාව, සිම්බාබ්වේ යන රටවල සංචාරය කර ඇති මගීන්ට ජුලි 01 සිට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර නොමැති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා ෴

අද (28) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1210 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා ෴

ජුනි මස 27 වනදා තවත් කොරෝනා ආසාදිත මරණ 41 ක් වාර්තාවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 2985 ක් දක්වා ඉහලගොස් තිබෙනවා ෴

+++++++++++++++++++

(28.06.2021 – 19:16 +0530 – hirunews.lk/sinhala)

ඇස්ට්‍රාසෙනිකා පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවැනි (2) මාත්‍රාව ලෙස ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශක සභාව අනුමැතිය ලබාදුන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *