බස් හා දුම්රිය ගමන්වාර හෙට (28) සිට ඉහළට

බස් හා දුම්රිය ගමන්වාර හෙට (28) සිට ඉහළට

*********************************************

බස් හා දුම්රිය ගමන්වාර හෙට (28) සිට ඉහළට

(27.06.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala)

පළාත් තුල ධාවනය කරන බස් රථ සහ දුම්රිය ගමන්වාර සංඛ්‍යාව හෙට (28) සිට ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය සිකුරාදා දිනට සාපේක්ෂව හෙට (28) දිනයේදී වැඩි දුම්රිය ප්‍රමාණයක් ධාවනයට එක් කිරීමට කටයුතු යොදා ඇති බවයි.

ඒ අනුව දුම්රිය ගමන්වාර 70 ක් හෙට (28) දිනයේදී ධාවනයට එක් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එසේම, හෙට (28) දිනයේදී කලාප සහ දිස්ත්‍රික්ක තුල අත්‍යාවශ්‍ය සේවාවල යෙදෙන මගී ජනතාව සඳහා අවශ්‍යතාවය පරිදි බස් රථ යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ද ප්‍රකාශ කළා.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ද සඳහන් කළේ මගී අවශ්‍යතාවය පරිදි පළාත් තුල සීමිත බස් සංඛ්‍යාවක් හෙට (28) සිට ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් එහි වෙබ් අඩවියට පිවිස දිනයක් වෙන් කර ගැනීමෙන් අනතුරුව ඒ සඳහා පැමිණිය යුතු බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

[ https://cdn.hirunews.lk/Data/news_uploads/202106/275450_5.jpg ]
[ http://www.immigration.gov.lk/ ]
[ https://eservices.immigration.gov.lk/td/ ]

ඒ අනුව ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන අයදුම්කරුවන් බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ මාතර, වව්නියාව, මහනුවර සහ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණිය යුත්තේ එලෙස දින වෙන් කර ගැනීමෙන් පසුවයි.

සීමිත සේවාලාභීන් පිරිසක් සඳහා පමණක් මෙලෙස විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සිදුකරන අතර, ප්‍රධාන කාර්යාලය පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා පමණක් විවෘතව තැබෙනවා.

එසේම, සංචරණ සීමාවන්ට යටත්ව හෙට සිට නැවත සේවාවන් ආරම්භ කරන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, වේරහැර, පොළොන්නරුව, නුවරඑළිය සහ කළුතර ශාඛා මගින් තවදුරටත් සේවා සැපයෙන්නේ නැහැ.

ඊ-චැනලින් මගින් වේලාව වෙන් කර ගත් සේවාලාභීන් සඳහා පමණක් මෙලෙස සේවා සැපයීම ආරම්භ වන අතර එම කටයුතු සිදුනොවන ශාඛා මගින් සේවා ලබා ගත හැකි දින සහ වේලාවන් ඉදිරියේදී දැනුම් දෙන බව ද ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය නිවේදනය කළා ෴

+++++++++++++++++++++

(27.06.2021 – 19:21 +0530 – hirunews.lk/sinhala)

උණවටුනේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී පසුගිය 05 වනදා සහ 07 වනදා ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව බස්නාහිර පළාතෙන් පැමිණි පුද්ගලයින් 425 දෙනෙකුට ලබාදී ඇති බව අනාවරණ වී තිබෙනවා.

ඒ, ගාල්ල මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් ගාල්ල පොලීසිය වෙත ලබාදෙන ලද නාම ලේඛනයට අනුවයි.

බස්නාහිර පළාතේ සිට පැමිණි පිරිසක් උණවටුනේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පැමිණ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාගත් බවට හිරු ප්‍රවෘත්ති මගින් පළමු වරට අනාවරණ කළා.

ඒ අනුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල පසුගියදා දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට නියෝග කළේ එලෙස දෙවන මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ගේ නාම ලේඛනය පොලිසියට ලබාදෙන ලෙසයි.

ඒ අනුව පසුගිය 05 වැනිදා සහ 07 වැනිදා ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 632 දෙනෙකුට උණවටුනේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී ලබාදී තිබෙනවා.

ඉන් 425 දෙනෙකුම බස්නාහිර පළාතෙන් පැමිණි අය බවයි අනාවරණ වී ඇත්තේ. සෙසු පිරිස අතර ගාල්ලේ 90 දෙනෙකු, ඇල්පිටියේ 27 දෙනෙකු සහ මාතර ප්‍රදේශයේ 09 දෙනෙකුද වන බව සඳහන්.

මේ අතර, වයස අවුරුදු 60 ට වැඩි නිදන්ගත රෝග සහිත පුද්ගලයින් සඳහා එන්නත් ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියට ලිපියක් යොමුකරමින් පවසනවා.

ඉදිරි සති දෙකක (2) කාලය ඇතුළත මෙරට තුළ මෙතෙක් භාවිත නොකළ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ එන්නත් වර්ග තුනක් (3) දිවයිනට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ජුලි මාසයේ දෙවන (2) සතිය වනවිට මෙරට තුළ සිටින වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට කොරෝනා එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාදීම අපේක්ෂාව බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එසේම, අද (27) දිනයේදී කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ආසාදිතයින් 2,158 ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියා. ඒ සමඟ සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 2,18,998 ක්.

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 522 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (27) දිනයේ මේ දක්වා හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 1767 ක් ෴

++++++++++++++++++++++

රෝහල් හරහා ක්‍රියාත්මක කිරීමට ගිය එන්නත්කරණයට බාධා

(27.06.2021 – 18:02 +0530 – sinhala.adaderana.lk)

රෝහල් තුළ ස්ථාපිත එන්නත්කරණ මධ්‍යස්ථාන හරහා එන්නත ලබදීම හෙට (28) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණ ද අදාළ ඇනවුම් නිසි පරිදි නොලැබීම නිසා එම එන්නත්කරණය ආරම්භ කිරීමට හැකියාවක් නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා එම එන්නත්කරණ කටයුතු සිදු කිරීමට නියමිතව තිබුණි.

අද (27) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ඒ බව පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවැරදි දත්ත නොලැබීමෙන් මෙවැනි තත්ත්වයක් මතු වූ බවය.

කෙසේවෙතත් එන්නත් ලැබුණු සැණින් එම කටයුතු රෝහල් හරහා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව දැනට එන්නත් ලබාදීම සිදුවන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා ය.

මේ අතර රෝහල් තුළ PCR පරීක්ෂණ කිරීමට සිදුව ඇත්තේ වෛද්‍යවරුන්ට බවත් ඔවුන්ගේ රාජකාරියෙන් පරිබාහිරව තවත් කාර්යයක් ලෙස එය කිරීමට සිදුව ඇති බවත් වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.

දීමනා ප්‍රශ්නය හේතුවෙන් හෙදියන් එම පරීක්ෂණ කිරීමෙන් ඉවත් වී සිටී.

ඒ හේතුවෙන් PCR පරීක්ෂණවල අඩුවක් පවතින බවද ඔහු පවසයි ෴

@@@@@@@@@@@@@@@@

(27.06.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala)

නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටෙකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අස්ගිරි මහනාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී ගොවීන් අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

රසායනික පොහොර භාවිතය නිසා දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකින් පීඩා විඳින අතර එමගින් පරිසරයට සිදුවන හානිය අති විශාලයි.

එමෙන්ම රසායනික පොහොර ආනයනය සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 400 කට අධික මුදලක් රජය වැය කරන අතර විදේශීය ආයතන වෙත ඇඳී යන එම මුදල රටේ ගොවි ජනතාව වෙත ලබාදීමට කාබනික පොහොර භාවිතය මගින් හැකිවන බවයි ජනාධිපතිවරයා මහා සංඝරත්නයට පෙන්වා දුන්නේ.

අද (27) පෙරවරුවේ අස්ගිරි මහනාහිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදුටු අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

2015 ට පෙර රජයේ නිලධාරීන් තීරණ ගැනීමේදී පසුබට නොවීම නිසා කෙටි කාලයක් තුළ රට තුළ දැවැන්ත සංවර්ධනයක් සිදුකිරීමට හැකි වූ බව ඔහු සඳහන් කළා.

එහෙත් එම නිලධාරීන් අසත්‍ය චෝදනා මත සිරගතවීම ඇතුළු විවිධ පීඩනයන්ට පසුගිය රජය සමයේ දී මුහුණ පෑමට සිදු වූ බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

රජයේ වර්තමාන සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී නිලධාරීන් අනාගතයේ දී දඬුවම් විඳීමට සිදු වෙතැයි යන බියෙන් තීරණ ගැනීමට සහ ක්‍රියාත්මකවීමට මැලි වී ඇතැයි ද සඳහන් කළා.

එබැවින් රට තුළ බොහෝ වැඩ කටයුතු අඩපණ වීම කණගාටුදායක තත්ත්වයක් බවයි ඔහු සඳහන් කළේ.

කොවිඩ් වසංගත මර්දනයට සාර්ථකව මුහුණ දෙමින් රටේ උන්නතිය වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළට අස්ගිරි පාර්ශ්වයේ මහනානාහිමියන් ප්‍රසාදය පලකළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියසිටියා.

කොවිඩ් මර්දනය සඳහා සිදුකෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනාහිමියන් දැනුවත් කර තිබෙනවා.

******************************************

(27.06.2021 – 19:19 +0530 – hirunews.lk/sinhala)

පොහොර හිඟයට විසඳුම් ඉල්ලමින් අදත් ප්‍රදේශ රැසක විරෝධතා ක්‍රියාත්මක වුණා. එහිදී ගොවීන් ඉල්ලා සිටියේ තම වගාවන් සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට බලධාරින් කටයුතු කළ යුතු බවයි.

අද (27) පෙරවරුවේ කැකිරාව ප්‍රදේශයේ ගොවීන් පාගමනින් කැකිරාව නගරයට පැමිණ විරෝධතාවක නිරත වුණා.

මේ අතර, ගලෙන්බිඳුනුවැව – තිත්ඇල්ලෑව – ඉහළ කොකාවැව ප්‍රදේශයේ ගොවීන් තමන් වගා කළ ලූණු, බටු සහ බඩඉරිඟු බෝගවලට අවශ්‍ය යූරියා පොහොර නොමැති කමින් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

ඔවුන් සඳහන් කළේ කාබනික පොහොර සඳහා යොමුවීම සුදුසු වුවත්, එය එකවර සිදුකිරීමට තමන්ට අපහසු බවයි.

******************************************

(27.06.2021 – 20:03 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීම සහ සමගි ජන බලවේගය ඊට දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් මව්බිම ඉරිදා ජාතික පුවත්පත අද (27) විශේෂ වාර්තාවක් පළ කර තිබෙනවා.

ඉන් එක් වාර්තාවක් සම්පාදනය කර තිබුණේ නීතිය නැවූ හැටි හඬපටවලින් එළියට එද්දීත් නිරපරාදේ සිරගතව සිටි දුමින්දට යුක්තිය ඉටුවුණු හැටි මැයෙන්.

එහිදී අනාවරණ කර ඇත්තේ දුමින්ද සිල්වා මහතාට එරෙහි නඩු තීන්දුව ලබා දීම සඳහා එවකට යහපාලන ආණ්ඩුවේ සිටි රංජන් රාමනායක ඇතුලු පාර්ශ්ව සිදුකළ බලපෑම් සහ උසස්වීම් බලාපොරොත්තුවෙන් විනිසුරු පද්මිණි රණවක නඩු තීන්දු ලබා දුන් ආකාරය පිළිබඳවයි.

ඊට අදාල හඩ පට රැසක් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ පුලුල් ලෙස සංසරණය වුණා.

= රංජන් රාමනායක සහ ශානි අබේසේකර =

  • දැන් ඔයාගේ ටාගට් එකත් දුමින්ද යවන එක. මගෙත් ටාගට් එක දුමින්ද යවන එක. භාරතගේ වයිෆ්ගේ ටාගට් එකත් දුමින්ද යවන එක. හිරුණිකාගේ ටාගට් එකත් දුමින්ද යවන එක.
  • ඔව් ඔව්
  • ගුඩ් ඊවිනින්. කොහොමද? හෙට අපට බෑඩ් නිවුස් එකක් එයිද? ගුඩ් නිවුස් එකක් එයිද?
  • අනිවාර්යෙන්ම ගුඩ් නිවුස් එකක් එනවා. සර් උසාවි එනවා නේද?
  • අනේ ඒක ඔයා වෙනස් කරන්න එපා. අපේ හිත් කඩන්න නම් එපා.
  • නෑ නෑ ඒක වෙනස් වෙන්නේ නෑ. ඩෙෆිනිට්ලි. හැබැයි මැද එක්කෙනා නිදහස් වෙන්න ලියන්නේ.
  • අම්මටසිරි මැද එක්කෙනා කියන්නේ?
  • චෙයාර්මන්. ඒකට ප්‍රශ්නයක් නැහැ. අපට දෙකක් ඉන්නවා.
  • පද්මිණි හරි නේද?
  • ඔව් හරි හරි.

= රංජන් රාමනායක සහ පද්මිණි රණවක =

  • මට ඕන අභියාචනාධිකරණයට යන්න. දැන් වේකන්සියක් තියෙනවා. මම හැබැයි ලිස්ට් එකේ ඉන්නේ නවයට.
  • ඉතිං කොහොමද යන්න ඕන ප්‍රොසීඩියර් එක?
  • මමත් දුමින්දව නිදහස් කලා නම් … ඇත්තට, ටවුන් හෝල් බෝම්බ් බ්ලාස්ට් එකයි දුමින්දගේ කේස් එකයි දෙකම මම කළේ. මම නොවැම්බර් 30 ගෙදර යනවා. අඩු ගානේ රිටයර් වෙන එක බලලා මට දෙන්න කියන්න.
  • ඉඩක් තියෙනවද වේකන්සියට?
  • ඔව් අනේ පුලුවන්නම් අභියාචනාධිකරණයට දාලා දෙන්න.

= පද්මිණි රණවක සහ මෛත්‍රීපාල සිරිසේන =

  • ගරු ජනාධිපතිතුමනි.
  • ආ.
  • සමාවෙන්න කතා කරන් න වුණාට.
  • නෑ නෑ ප්‍රශ්නයක් නෑ.
  • ඔබතුමාට පුලුවන් නම් මට අභියාචනාධිකරණයේ ස්ථානයක් ලබා දෙන්න. මොකද මම ජජ්මන්ට් දීලා තියෙනවා ලක්ෂ ගාණක්. ඒ වගේම මම හරි අවංකව වැඩ කරලා තියෙන්නේ රට ජාතිය වෙනුවෙන්. මම ඇත්තට දුමින්දගේ තීන්දුවත් දුන්නා. චන්ද්‍රිකා මැතිනියගේ බෝම්බ කේස් එක අනෙක් ජජ්ස්ලා අහන්න බයේ හිටියේ.
  • හොඳයි හොඳයි බොහොම ස්තූතියි.

මෙම සියලු හඬ පට උපුටා දක්වමින් මව්බිම ඉරිදා ජාතික පුවත්පත වාර්තා කර තිබුණේ මෙරට අධිකරණ ඉතිහාසයේ විනිසුරු අසුන වටා මෙවැනි පෙළගැසීමක් මින් පෙර නොවූ විරූ බවයි.

(උපුටා ගැනීම)

එකක් දෙකක් නොව හඩපට රාශියක් එකක් පිටුපස එකක් එළියට ආවේය.

නීතියට හා යුක්තියට එකවර පා පහර දුන් මෙවැනි සිදුවීමක් මින් ඉහත සිදුව නැත.

දුමින්ද සිල්වාට පූර්ණ නිදහස ලබාදීම මෙරට නීති පද්ධතියේ අභිමතය හා ගෞරවය ආරක්ෂා කිරීමක් හැටියට අර්ථ දැක්වීම නිවැරදිය.

දුමින්ද නිදහස් කිරීම ඔහුට යුක්තිය ඉටු කිරීමක් මෙන්ම ගරු අධිකරණයේ විශ්වාසය හා ගෞරවය ආරක්ෂා කිරීමකි.

ශ්‍රී ලංකාව යුක්තියෙන් තොර දේශයක් ලෙස ඉතිහාසයේ සටහන්විය යුතු නැත.

කෙසේ හෝ අවසානයේ සිදු වූ වරද නිවැරදි වී දුමින්ද සිල්වා නිදහස් විය.

(උපුටා ගැනීම අවසන්)

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීන්දුව සම්බන්ධයෙන් සමගි ජනබලවේගය නිකුත් කළ ප්‍රවෘත්ත නිවේදනය සම්බන්ධයෙන්ද මව්බිම ඉරිදා ජාතික පුවත්පත ‘සජබ යන්නේ කොහේද මල්ලේ පොල් න්‍යාය මෙන්න’ යනුවෙන් තවත් වාර්තාවක් සම්පාදනය කර තිබුණා.

(උපුටා ගැනීම)

සමගි ජන බලවේගය රන්ජන් රාමනායකට සමාව දෙන ලෙස ඉල්ලමින් ජනපතිට ලියුම් පිට ලියුම් යැවූ බව රහසක් නොවේ. රංජන් රාමනායකට ජනපති සමාව ලබා ගන්නට සජබ නායකයා දස වතාවකට වඩා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කතා කර තිබේ.

අධිකරණ තීන්දුවට අනුව මරණ දණ්ඩනය නියම වූ ජූඩ් ශ්‍රමන්ත ජයමහට ජනාධිපති මෛත්‍රී සමාව දෙන විට සජිත් ප්‍රේමදාසත් රංජිත් මද්දුම බණ්ඩාරත් එදා පැවති ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුය.

ඔවුහු එදා මීක් නැතුව ඊට අනුකූලතාව පළ කළහ.

(උපුටා ගැනීම අවසන්)

++++++++++++++++++

(27.06.2021 – 20:16 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමෙරිකානු තානාපතිවරිය විසින් සිදු කළ විවේචනය සම්බන්ධයෙන් දේශපාලනඥයින් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින්ද විවිධ අදහස් පළකළා.

******************************************

(27.06.2021 – 20:28 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (27) පස්වරුවේ කොළඹදී සාකච්ඡාවක නිරත වුණා. එහිදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යළි පාර්ලිමේන්තුවට පිවිසීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. මෙම සාකච්ඡාව පැවැත්වුණේ දෙහිවල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ නිවසේදී. මෙම අවස්ථාවට පොදුජන පෙරමුණ නියෝජනය කරන පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා.

******************************************

(27.06.2021 – 20:38 +0530 – hirunews.lk/sinhala)

ජනතා ගැටලු විසඳීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ අද (27) පැවති වැඩසටහනකට එක්වෙමින්.

******************************************

උද්ඝෝෂකයින්ට ප්‍රහාරයක්

(27.06.2021 – 21:08 +0530 – sinhala.adaderana.lk)

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ඇතුළු පිරිසක් සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් අතර අද (27) වීරගොල්ල ප්‍රදේශයේදී නොසන්සුන් තත්ත්වයක් හටගත් අතර පසුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබුණි.

ඒ ප්‍රමිතියෙන් තොර මාර්ගයක් ඉදිකිරීමට විරුද්ධව පැවැත්වූ උද්ඝෝෂණයක් මුල්කර ගනිමිනි.

බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පින්නගොල්ල සිට වීරගොල්ල ගම්මානය හරහා ඉදිවෙන එම මාර්ගය කිසිදු ප්‍රමිතියකින් තොරව ඉදිකිරීම සිදුකර ඇතැයි පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු ප්‍රදේශවාසින් පිරිසක් එම විරෝධතාව පවත්වා තිබුණි.

විරෝධතාවය අතරතුර රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණීමෙන් පසු එම උණුසුම් තත්ත්වය ඇතිවිය.

පසුව පොලීසිය මැදිහත්වීමෙන් තත්ත්වය පාලනය කර තිබුණි.

******************************************

රටට හිනා වෙන අයට කියන්නේ මෝඩයො කියලා – ධම්මික පෙරේරා (23.06.2021)

++++++++++++

ඉංග්‍රීසි දන්නෙ නැත්නම් අද වෙනකොට ඔෆිස් එකකවත් වැඩ කරන්න බෑ – ධම්මික පෙරේරා (26.06.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *