ඇල්ලේ හිමි අධිකරණය හමුවට යන්න සූදානමින්

ඇල්ලේ හිමි අධිකරණය හමුවට යන්න සූදානමින්

*********************************************

ඇල්ලේ හිමි අධිකරණය හමුවට යන්න සූදානමින්

(27.06.2021 – 13:46 +0530 – hirunews.lk/sinhala)

රටේ දේපල විකිණීමට එරෙහිව ඉදිරියේදී අධිකරණය හමුවට යන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

******************************************

(27.06.2021 – 13:41 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින පොහොර හිඟය මුල් කර ගනිමින් ප්‍රදේශ රැසක උද්ඝෝෂණ ක්‍රියාත්මක වුණා. ගොවීන් ඉල්ලා සිටින්නේ තම වගාවන් සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට බලධාරින් වහා පියවර ගත යුතු බවයි.

******************************************

(27.06.2021 – 13:50 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමෙරිකානු තානාපතිවරිය විසින් සිදු කළ විවේචනය සම්බන්ධයෙන් දේශපාලනඥයින් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින්ද විවිධ අදහස් පළකළා.

******************************************

(27.06.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සිට එළවළු ප්‍රවාහනය කරන මුවාවෙන් හෙරොයින් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) ඊට යොදා ගත් කැබ් රථයක් ද සමග අත්අඩංගුවට ගැනීමට මැදිරිගිරිය පොලීසිය සමත් වී තිබෙනවා.

මැදිරිගිරිය ප්‍රදේශයේදී ඔවුන් අද (27) අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔවුන් ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 3 කට වැඩි ප්‍රමාණයක් ද සොයා ගැණුනා.

පොලීසිය පැවසුවේ පළාත් අතර සංචරණය කිරීම සඳහා ඔවුන් අත්‍යාවශ්‍ය සේවා බලපත්‍රයක් උපයෝගි කරගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් 24 සහ 37 හැවිරිදි වියේ පසුවන අතර, ඔවුන්ට මීට පෙර ද මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වී ඇතැයි සඳහන් ෴

******************************************

දුම්රියෙන් පැන්න මගියා ජීවිතක්ෂයට – CCTV දර්ශන

(27.06.2021 – 12:47 +0530 – sinhala.adaderana.lk)

අද (27) උදෑසන ධාවනය වූ දුම්රියක් වාද්දුව දුම්රිය ස්ථානයේ නතර කිරීමට පෙර ඉන් බැසයෑමට උත්සාහ කළ (?) පුද්ගලයෙකු අනතුරකට මුහුණ දී තිබුණි.

එම අවස්ථාවේ ඔහු දුම්රිය මාර්ගයට ඇදවැටී ජීවිතක්ෂයට පත්විය.

එම අනතුරට ලක්වූයේ අලුත්ගම සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක ගමන් ගත් මගියෙකි.

අනතුර සිදුවෙන ආකාරය ඒ අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

බැසීමට සූදානමින් ‘දොර ලඟ සිටගෙන’ හෝ ‘පඩිපෙළේ ඉඳගෙන’ සිටියදී අත/පය ලිස්සා වැටුනා විය හැක – අමරසර

******************************************

සිසුවියක් පැහැරගත් උපකාරක පන්ති ගුරුවරයා

(27.06.2021 – 12:07 +0530 – sinhala.adaderana.lk)

ක්ෂේත්‍රයට අලුතින් පිවිසෙන ඡායාරුප ශිල්පියෙකුට අවශ්‍ය ඡායාරූප ලබාගැනීමට බව පවසා 16 හැවිරිදි පාසල් සිසුවියක් ගෙන්වාගෙන පසුව ඇයව පැහැරගෙන ගිය සිද්ධියක් ගාල්ලෙන් වාර්තා වේ.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගෙන ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජුලි මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පැහැර ගැනීමේ සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත රූපලාවන්‍ය ශිල්පිනියක් සහ තවත් පුද්ගලයෙකුව මෙම මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

උපකාරක පන්ති ගුරුවරයා ත්‍රීරෝද රථයකින් එම දැරියව රැගෙන යමින් සිටියදී යක්කලමුල්ල අකුලහේන ප්‍රදේශයේ දී යතුරුපැදිකරුවෙකු විසින් මග හරස්කොට දැරියව බේරාගෙන තිබුණි.

ඉතුක් 25 වනදා එම පැහැර ගැනීම සිදුව තිබේ ෴

******************************************

නිවසට පැමිණි කිඹුලා අල්ලාගත් මෙහෙයුම

(27.06.2021 – 10:24 +0530 – sinhala.adaderana.lk)

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් හබරණගම 15 කණුව ප්‍රදේශයේ නිවසකට පැමිණ සිටි ගැට කිඹුලෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලා ගැනීමට වනජීවි නිලධාරීන් සමත් විය.

දිගින් අඩි 08 කට වඩා විශාල ගැට කිඹුලා නිවස වෙත පැමිණ තිබූ අයුරු නිවැසියන් විසින් දැක ඇත්තේ අද (27) අලුයම 5 ට පමණය.

මැකිච්චියාව වැවේ ජලය සිදීයෑම හේතුවෙන් ජලය හා ආහාර සොයා කිඹුලා පැමිණෙන්නට ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

******************************************

විදේශීය වෙබ් අඩවි පොහොසත් කර අපේ රට බංකොලොත් කරන online මාෆියාව…

(27.06.2021 – 12:40 +0530 – lankacnews.com)

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි :

= මාධ්‍ය නිවේදනය =

විදේශීය වෙබ් අඩවි පොහොසත් කර අපේ රට බංකොලොත් කරන online මාෆියාව.

ඩොරලය ස්ථාවරව තබා ගැනීම සදහා සමහර ආනයනික භාණ්ඩ ආනයනය තහනම් කලද අන්තර්ජාලය හරහා එම භාණ්ඩ හා වෙනත් භාණ්ඩ රට තුළට ගෙන්වීම නිසා විශාල විදේශ විනියමයක් අහිමිවුවද එම ආනයන නවතා දැමීම සදහා රජය කටයුතු නොකිරීමෙන් දුෂ්කරතාවයන්ට මුහණුදීමට සිදුවී ඇත්තේ මෙරට පාරිභෝගිකයින්ටය. එම හේතුව නිසා ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වන අතර භාණ්ඩ මිල ඉහළයාමද සිදුවේ.

2020/05/22 දින මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද ගැසට් අංක 2176/19 මගින් මෙරටට අත්‍යවශ්‍ය නොවන බවට හදුනාගන්නා ලද භාණ්ඩ ලැයිස්තුවක් මෙරටට තාවකාලිකව ආනයනය කිරීම තහනම් කරන ලදී. එහෙත් එම ගැසට්පත්‍රය මගින් තහනම් කර තිබෙන භාණ්ඩ අන්තර්ජාලයෙන් වෙබ් අඩවි හරහා මෙරටට ආනයනය කිරීමට හැක. ඒ සදහා කිසිදු තහනමක් හෝ රජයට කිසිදු බදු මුදලක් ගෙවීමට අවශ්‍ය නැත. එම හේතුව නිසා මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද ගැසට් අංක 2176/19 මගින් සාක්ෂාත් කරගැනීමට උත්සහකල අරමුණ ඉටුනොවනවා පමණක් එමගින් පාරිභෝගිකයාගේ ජීවිත අනතුරේ හෙළිමක්ද සිදුවනු ලබයි.

මෙම තහනමට පෙර මෙරට ව්‍යාපාරිකයින්ට අදාල භාණ්ඩ මෙරටට ආනයනය කිරීමට අවසර ඇත්තේ ශ්‍රී ලංකා රේගුව වෙත අදාල බදු මුදල් ගෙවීමෙන් පසුවය. මෙරටට ආනයනය කිරීමට අවසර නොමැති භාණ්ඩ මෙසේ අන්තර් ජාලය හරහා ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමෙන් රජයට විශාල බදු ආදායමක් අහිමි වන අතර එම බදු අහිමිවීමේ පාපයට කරගැසීමට සිදුවන්නේ මෙරට පාරිභෝගිකකයින්ටම වීම කණගාටුදායකය. නිසි ක්‍රමවේදයක් අනුගමනය කරමින් මෙරටට එම භාණ්ඩ ආනයනය කිරීම මගින් මෙරටට විශාල බදු ආදායමක් ලැබෙනවා පමණක් නොව ඒම භාණ්ඩ සදහා අගයක් එකතු කර (Value Added) සාධාරණ මිලට දේශිය වෙළදපොළ තුළින් භාණ්ඩ ලබා ගැනීමට පාරිභෝගිකයාට හැකියාවක්ද ලැබේ.

තවද සමහර භාණ්ඩ මෙරටට ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අවසරය ලබා ගැනීම අනිවාර්යය කර ඇත. විශේෂයෙන්ම ළදරු කිරි බෝතල් සදහා එසේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වුවද ඔන් ලයින් ක්‍රමයට වෙබ් අඩවි හරහා ළදරු කිරි බෝතල ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අවසරය ලබා ගැනීම සිදුනොකිරීමෙන් ළදරුවන්ගේ ජීවිත අනතුරේ දැමීමක් සිදුකරනු ලබයි. තවද අන්තර් ජාලය මගින් සමහර ආහාර වර්ග ආනයනය කිරීමට ඉඩදීමෙන් සිදුවන්නේ ප්‍රමිතියක් නොමැති ආහාර ද්‍රව්‍ය මෙරට තුළට ආනයනය කිරීම වන අතර එම ආහාර පරිභෝජනය කිරීමෙන් පාරිභෝගිකයාගේ ජීවිත අනතුරේ හෙළිමක් සිදුවනු ලබයි. අනෙක් අතට ආගම හා සම්බන්ධ වූ භාණ්ඩ මෙසේ ආනයනය කිරීමට ඉඩ ලබා දීමෙන් ආගම් අතර ගැටීමක් ඇතිවීමටද ඉඩ ඇත.

විදේශිය රටවල වෙබ් අඩවි පොහොසත් කරමින් අප රට බංකොලොත් කරන මෙම ක්‍රමවේදය වහාම නවතා දමන ලෙස හෝ තාවකාලිකව ආනයනය කිරීම තහනම් කොට ඇති භාණ්ඩ මෙරටට ආනයනය කිරීමේදී අදාල බදු මුදල් ගෙවීමට නිසි ක්‍රමවේදයක් සකසන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

******************************************

ජාතික ආරක්ෂාව කොයිබට ද ? ෆෙඩරල් වෙනුවෙන් පෙනී සිටි සිංගප්පුරුවේ පුරවැසි රොහාන් ගුණරත්නට ආරක්ෂක අමාත්‍යංශයේ ලොකු පුටුවක්

(27.06.2021 – colombotoday.com)

දශක තුනක පමණ කාලයක් ඇදී ගිය ඊළාම් බෙදුම්වාදී කුරිරු යුද සමයේ, එනම් 2005 දී බලයට පත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ දේශපාලන නායකත්වයෙන් සහ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාගේ මග පෙන්වීමෙන් ඊළාම් බෙදුම්වාදයට ඒරෙහි සටන ඇරඹු විට, අවසාන මොහොත දක්වා ම එනම් 2019 දක්වා එය කිසිදු ලෙස යුද ජයග්‍රහණයකින් නිම කළ නොහැකි බවට අනාවැකි පළ කළ දේශපාලන න්‍යායචාර්යන්, සාම දුතයන්, යුද විශ්ලේෂකයන් ආදී රාජ්‍ය නොවන සංවිධානවලින් යැපුන රැලක් විය. ඒ් විශ්ලේෂකයන් අතර එක් අයෙකු වූයේ ආචාර්ය රොහාන් ගුණරත්නය.

සිව්වන නැතිනම් අවසාන ඊළම් යුද්ධය ආරම්භයේ සිට කුඩා ළමයෙකු පවා අපේ ජයග්‍රහණය සහතික කරන විට ද ඔහු සිටියේ සන්ධීය (ෆෙඩරල්) මතවාදීන්ගේ කඳවුරේය. එනම් මේ යුද්ධය කිසිදු දවසක සන්නද්ධ යුද්ධයකින් අපට ජයග්‍රහණය නොකළ හැකි බවත් අවම වශයෙන් සන්ධිය (ෆෙඩරල්) බලය අරමුණ කොට සාකච්ඡා මගින් විසදා ගත යුතු බවත්ය. එසේ කියු මේ යුද විශ්ලේෂකයා යුද්ධයේ අවසාන මොහොතේ වහා ‘දිනන පැත්තට හෝයියා’ කියමින් යුද ජයග්‍රහණය තම ඊනියා විශ්ලේෂණ මතය කර ගත්තේය.

එහෙත් අද එම පුද්ගලයා ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ ‘ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ (INSSSL)’ උපදේශකයෙකු මෙන්ම නොනිල අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන බව විශ්වාසදායක ආරංචි මාර්ග මගින් දැන ගැනීමට ඇත. ඒ ආයතන සංග්‍රහයට පටහැනිව කොළඹ සිට විදේශයකට යන මග සොයන රාජ්‍ය නොවන සංවිධානයක පුද්ගලයෙකු එහි වැඩ බලන අතරතුර දී ය.

රොහාන් ගුණරත්න තම ජිවිතයෙන් වැඩි කාලයක් සිංගප්පුරුවේ වාසය කළ සිංගප්පුරු ජාතිකයෙකි. සිංගප්පූරුවට ආසියානු කලාපයේ වැඩිම බලපෑමක්, තරගකාරිත්වයක් ඇති කළ හැකි රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධ තොරතුරු ඉතා වැදගත් වනවා නොවනුමානය. රොහාන් ගුණරත්න උපතින් සිංහලයෙකු වුවද සිංහල බෞද්ධ අනන්‍යතාව නොපිළිගන්නා බහුජාතික, බහුආගමික, බහුසංස්කෘතික, බහුත්වසමාජ බහුබුත වෙනුවෙන් පෙනි සිටින අයෙකි. එවැනි අයෙකුට තම උපන් රට පිළිබඳ බැඳීමක් නොතිබීම නිසැකය. රටට යම් බැඳීමක් තිබුණානම් කිසිදු දිනක ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අතහැර විදේශ පුරවැසි‌යෙකු නොවනු ඇත.

රොහාන් ගුණරත්න සිංගප්පූරු ජාතිකයෙකු වීමත් සමග ඔහු නිත්‍යානුකූලව එම (තම) රට සිංගප්පූරුව වෙනුවෙන් පමණක් පෙනි සිටීමට සිදුවීම අනිවාර්යය. ඒ මන්ද යත් සිංගප්පූරුවේ භූදේශපාලනික පිහිටීම නිසා, ජාතික අර්බුදකාරී අවස්ථාවක දී ද්විත්ව පුරවැසියන් තම පක්ෂපාතීත්වය සිංගප්පුරුවට ඒරෙහිව අනෙක් රටට පක්ෂ වීමට ඉඩ දිය නොහැකි බැවින් ද්විත්වපුරවැසිභාවය තම රටට නුසුදුසු බව සිංගප්පූරු රජයේ ස්ථාවරයයි. ලී ක්වානු යූ වැනි පරිණත නායකයෙකු තම රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් එම දුරදර්ශී තීරණය අපට ද ආදර්ශයකි. ඒහෙත් අවසනාවකට අපට එවැනි මඟපෙන්විමක් නැත.

මෙම රජයට පෙර පැවති රනිල්-මෛත්‍රි රජයේ කුප්‍රකට මහ බැංකු මංකොල්ලයේ ප්‍රධාන විත්තිකරුවෙකු වුයේ එවකට මහ බැංකුවේ අධිපති වූ ශ්‍රී ලංකා සම්භවයක් ඇති සිංගප්පුරු ජාතික අර්ජුන් මහෙන්ද්‍රන් නොහොත් හර්ජාන් ඇලෙක්සැන්ඩර්ය. අද වෙන තෙක් මෙම සිංගප්පුරු ජාතිකයාව අධිකරණ කටයුතු සඳහා මෙරටට ගෙනාවා ගැනීමට පසුගිය රජය මෙන්ම මෙම රජය ද අපොහොසත්ව ඇත. වඩාත් පැහැදිලිව කිවහොත් සිංගප්පුරු රජය ලක් රජයේ ඉල්ලීම නොතකා තම පුරවැසියා ආරක්ෂා කරමින් සිටී. ඉදිරියට ද තම පුරවැසියන් ආරක්ෂා කරනු ඇත.

මහා බැංකුවෙන් කොල්ල කැවේ මහා භාණ්ඩාගාරයේ ඇති මුදල්ය. එහෙත් ජාතික ආරක්ෂාව සම්බන්ධ තොරතුරු විදේශිකයෙකු/විදේශයක් අතට පත් වූවොත් එහි ඵලවිපාක කෙතරම් බරපතල විය හැකිද? නැවත ව්‍යසනයක් වන තුරු බලා සිටිමු ද?

පානි වෑවල

******************************************

රුපියල් කෝටි 60,000 ටෙන්ඩරය ඉල්ලා ඇමරිකන් තානාපතිගෙන් ගම්මන්පිලට බලපෑම්

(27.06.2021 – colombotoday.com)

ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත මහා පරිමාණ තෙල් පිරිපහදුවේ ටෙන්ඩරය ඇමරිකානු ඉදිකිරීම් ආයතන වෙත ලබාදෙන ලෙස බලපෑම් කිරීම සඳහා ඇමරිකන් තානාපතිවරිය පසුගියදා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා හමුවී ඇත.

දැනට ශ‍්‍රී ලංකාවේ සාර්ථක ලෙස ක‍්‍රියාත්මක වන්නේ 1969 දී ක‍්‍රියාත්මක කරන ලද තෙල් පිරිපහදුව පමණි. නව පිරිපහදුවක් ඉදිකිරීම සඳහා ලක් රජය 1983 දී සිට අසාර්ථක උත්සාහයක යෙදිණි. දැනට පවතින තෙල් පිරිපහදුව දිනකට අමු තෙල් බැරල් 38,000 ක් පිරිපහදු කරන අතර එම ප‍්‍රමාණය දිනකට තෙල් බැරල් 45,000 දක්වා ඉහළ නැංවීමට කටයුතු යොදාගෙන යනු ලැබේ. ඊට අමතරව දිනකට තෙල් අමු තෙල් බැරල් 100,000 ක් පිරිපහදු කළ හැකි නව යන්ත‍්‍රාගාරයක් ඉදිකිරීමට රජය කටයුතු යොදා ඇත.

මෙහි සම්පූර්ණ පිරිවැය ඇමරිකන් ඩොලර් බිලියන තුනක් (3) හෙවත් රුපියල් කෝටි 60,000 කි. ඒ අනුව එය මෙරට ඉතිහාසයේ වැඩිම මුදලක් ආයෝජනය කෙරෙන ඉදිකිරීම වනු ඇත. මීට කලින් හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 1.350 ක් වැය වූ අතර නොරොච්චෝලේ බලාගාරය සඳහා ඩොලර් බිලියන නවසීයක් (900) වැය විය. ඉදිකිරීමට යෝජිත නව පිරිපහදුව BOT පදනම යටතේ (වෙනත් පාර්ශ්වයක් විසින් ඉදිකොට පවත්වාගෙන ගොස් රජයට පැවරීම) ක‍්‍රියාත්මක කෙරෙනු ඇත. නව පිරිපහදුව ක‍්‍රියාත්මක වීමෙන් පසු ශ‍්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් මිලියන 300 ක් ඉතිරි වනු ඇත.

Divaina

******************************************

(27.06.2021 – 16:17 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල අධිකරණ පරිශ්‍රයේ සිරමැදිරියෙන් සැකකරුවන් සිව් (4) දෙනෙකු පලාගොස් තිබෙනවා.

ඉන් එක් අයෙකු පසුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

@@@@@@@@@@@@@@@@@

(27.06.2021 – 14:52 +0530 – hirunews.lk/sinhala)

උණවටුනේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී පසුගිය 05 වනදා සහ 07 වනදා ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 632 දෙනෙකුට ලබාදී ඇති බවත්, ඉන් 425 දෙනෙකුම බස්නාහිර පළාතෙන් පැමිණි අය බවත් අනාවරණ වී තිබෙනවා.

ගාල්ල මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් ගාල්ල පොලීසිය වෙත ලබාදෙන ලද නාම ලේඛනයේ මේ බව සඳහන් වන බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

සෙසු පිරිස අතර ගාල්ලේ 90 දෙනෙකු, ඇල්පිටියේ 27 දෙනෙකු සහ මාතර ප්‍රදේශයේ 09 දෙනෙකු ද වන බව සඳහන් ෴

රැකියා සඳහා විදේශ ගතවන සියලුම අය වෙනුවෙන් කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ඉදිරි සතියේ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මීට අදාළ වැඩිදුර විස්තර 1989 දුරකථන අංකයෙන් ලබා ගත හැකි බවයි ෴

කොරෝනා වෛරසය ආසාදනයවී රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසු පූර්ණ සුවය ලැබු සංඛ්‍යාව 218,998 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ තවත් පුද්ගලයින් 2158 දෙනෙකු අද (27) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව යාමත් සමඟයි ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1245 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරටින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 251,023 ක් හමුවී තිබෙනවා ෴

++++++++++++++++++++++

(27.06.2021 – 18:27 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (26) දිනයේ කොවිඩ් ආසාදිත මරණ 39 ක් සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (27) තහවුරු කර තිබෙනවා. මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 2944 ක් දක්වා ඉහළ ගියා.

අද (27) තහවුරු කළ මරණ අතරින් 12 ක්, කාන්තා මරණ වන අතර, 27 ක් පිරිමි පුද්ගලයින් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *