මෙරටදීම කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කෙරේ

මෙරටදීම කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කෙරේ

*********************************************

මෙරටදීම කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කෙරේ

(27.06.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

නව තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරමින් කොම්පෝස්ට් පොහොරේ නයිට්‍රජන් ප්‍රතිශතය වැඩිකර මෙරට තුළදීම සාරවත් කාබනික පොහොර නිෂ්පාදනයට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

එහි අතිරේක ලේකම් ඩබ්ලිව්. එල්. ජී. සමරසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරට තුළ පවතින බවයි.

රසායනික පොහොර ආනයනය අත්හිටුවීමට රජය තීරණය කිරීමත් සමඟ පොහොර නොමැති බවට දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවීන් චෝදනා කරනවා.

මේ වනවිට රජය මගින් කාබනික පොහොර ආනයනය කිරීමට ගත් තීරණයද අත්හිටුවා ඇති අතර මෙරටට අවශ්‍ය කාබනික පොහොර මෙරට තුළම නිෂ්පාදනය කිරීමටයි අවධානය යොමුව ඇත්තේ.

කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩබ්ලිව්.එල්.ජී. සමරසිංහ කියා සිටියේ ලබන කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි ලබා දීමට රජය සැලසුම් කරමින් සිටින බවයි.

******************************************

(27.06.2021 – 08:05 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ සිට සිංගප්පුරුව බලා ගමන් කරමින් තිබියදී එන්ජින් කාමරයේ ගින්නක් හටගත් ‘එම්.එස්.සී. මෙසීනා’ නම් බහාලු‍ම් නෞකාව මේ වනවිට ශ්‍රී ලංකාව සම්බන්ධීකරණය කරන සෙවීම් හා ගලවා ගැනීමේ කලාපයෙන් පිටතට රැගෙන ගොස් ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

සිංගප්පූරුවට අයත් ‘ටී.සී. විගර්’ නම් ටග් යාත්‍රාවෙන් ඇදගෙන යන එම නෞකාව ඊයේ (26) පස්වරුව වනවිට පැයට නාවික සැතපුම් 4.6 ක වේගයෙන් ගමන් කරමින් තිබූ බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.

නැගෙනහිර මුහුදේ කිරින්ද මහාරාවණ ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 480 ක් දුරින් යාත්‍රා කරමින් තිබියදී මෙම නෞකාවේ එන්ජින් කාමරයේ පසුගියදා ගින්නක් හට ගත්තා.

ඊයේ (26) උදෑසන වනවිට නෞකාවේ ගින්න පාලනය කෙරුණු අතර එය සිංගප්පුරුව දෙසට රැගෙන යනු ඇති.

මේ අතර, ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීමෙන් මෙරට ධීවර ක්ෂේත්‍රයට සිදුවු හානිය වෙනුවෙන් අතුරු වන්දියක් ලෙස දළ වශයෙන් රුපියල් මිලියන 720 ක මුදලක් ගෙවීමට එකඟ වී තිබෙනවා ෴

******************************************

(27.06.2021 – 08:57 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 37,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ජුනි 30 වනදා සිදුකෙරෙනවා.

මහ බැංකුව ප්‍රකාශ කළේ එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 7,000 ක බිල්පත් සහ දින 182 කින් කල් පිරෙන මිලියන 15,000 ක මෙන්ම, දින 364 කින් කල් පිරෙන මිලියන 15,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි ෴

******************************************

(27.06.2021 – 09:08 +0530 – hirunews.lk/sinhala)

අඟුලාන, රත්නපුර සහ ගල්ගමුව ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී ගිනි අවි සහ අත්බෝම්බ ළඟ තබාගත් පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අඟුලාන ප්‍රදේශයේදී සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ දේශීය වශයෙන් නිෂ්පාදනය කළ ගිනි අවි දෙකක් (2), පතොරම් සහ ජීව අත්බෝම්බයක් (1) සමඟයි ෴

******************************************

(27.06.2021 – 10:25 +0530 – hirunews.lk/sinhala)

තණමල්විල, සර්වෝදය පාර ප්‍රදේශයේ නිවසකින් රුපියල් දහතුන් ලක්ෂයකට (13,00,000) වැඩි වටිනාකමකින් යුත් රන් ආභරණ කොල්ල කෑ සැකකරුවන් දෙදෙනෙකු (2) තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරුවන් තණමල්විල සහ කතරගම ප්‍රදේශවල පදිංචි අවුරුදු තිහ (30) සහ හතලිස්තුන (43) යන වයස් වල පසුවන්නන්.

මොවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කොල්ල කෑ රන් ආභරණවලින් කොටසක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඉතිරි ආභරණ අලෙවිකර තිබියදී සොයාගැනීමට හැකිවූ බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

(27.06.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නාගරික මන්ත්‍රි රාජිව් ගාන්ධි සභාවාර සඳහා සහභාගි වීම මාසක කාලයකට අත්හිටුවිමට යාපනය නාගරාධිපති වී.මනිවන්නන් තීරණය කර තිබෙනවා.

පසුගිය 25 වනදා නගර සභාවේ සැසි වාරය පැවැති අතර, එහිදි නාගරික මන්ත්‍රි රාජිව් ගාන්ධිගේ විනය පරික්ෂණයක් සම්බන්ධයෙන් වන රහස් ලියවිල්ලක තොරතුරු නාගරික මන්ත්‍රි වී.පාර්තිබන් විසින් සභාවේදී ප්‍රකාශ කර තිබෙනවා.

එම අවස්ථාවේදි රාජිව් ගාන්ධි මන්ත්‍රිවරයා , වී.පාර්තිබන් මන්ත්‍රිවරයාට පරුෂ වචනයෙන් බැන වැදි ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

තමන්ට පරුෂ වචනයෙන් සභාවේදි බැන වැදිම නිසා සමාව ගන්නා ලෙසට වී.පාර්තිබන් මන්ත්‍රිවරයා රාජිව් ගාන්ධි මන්ත්‍රිවරයාට ඉල්ලිමක් කරනු ලැබුවා.

ඊට එකඟ නොවු රාජිව් ගාන්ධි මන්ත්‍රිවරයා තවදුරටත් සභාවේදි පරුෂ වචනයෙන් අදාළ මන්ත්‍රිවරයාට බැන වැදි ඇති බවයි වාර්තාවන්නේ. ඉන් අනතුරුව සභාවාරය ද සතියකට කල් දැමුණා ෴

******************************************

(27.06.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

මින්නේරිය ජාතික උද්‍යානය ආශ්‍රිතව විශේෂ මෙහෙයුමක යෙදී සිටි වනජීවි නිලධාරින් පිරිසකට වනෝද්‍යානයේ සිට පිට වූ යුද හමුදාවේ යැයි කියන කණ්ඩායමක් විසින් පහරදීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.

අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ මින්නේරිය ජාතික උද්‍යානයේ භාරකරු ඇතුළු වනජිවි නිලධාරින් පිරිසක් විසින්.

හබරණ මින්නේරිය ජාතික වනෝද්‍යානයෙන් අලි පැටවෙකු පැහැර ගැනීමේ සූදානමක් සම්බන්ධයෙන් වනජිවි නිලධාරින් විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ පසුගිය බදාදා (23) සිටයි.

එම මෙහෙයුම අතරතුර පෙරේදා රාත්‍රියේ වනෝද්‍යාන මායිමේ ඊරිගම වෙල්යායේ සිට යුද හමුදා කැබ් රථ දෙකක් (2) පිටවී ඇති අතර, වනජිවි නිලධාරින් එම රථ ලුහුබඳිමින්, නවත්වන ලෙස සංඥා කර ඇතත්, ඒවා නොනවත්වාම ධාවනය කර ඇති බවයි අදාළ පැමිණිල්ලේ දැක්වෙන්නේ.

පසුව ඒ සම්බන්ධව මොරගස්වැව යුද හමුදා මාර්ග බාධකයේ නිලධාරින් ද දැනුවත් කිරීමට ද වනජිවි නිලධාරින් පියවර ගෙන තිබෙනවා.

එහෙත් ඔවුන් ද දැනුම්දී ඇත්තේ අදාළ කැබ් රථ නොනවත්වා ධාවනය කර ඇති බවටයි.

වනජිවි නිලධාරින් නොනවත්වා අදාළ කැබ් රථ ලුහුබැඳ ගිය බවත්, පසුව ඒවා අනුරාධපුර ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක් වෙත ගමන් කර ඇති බවත් වනජිවි නිලධාරින් පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ දැක්වෙනවා.

පසුව, මේ සම්බන්ධයෙන් අදාළ කඳවුරේ ප්‍රධාන දොරටුවේ රාජකාරියේ නිරත නිලධාරින් දැනුවත් කර යළි හබරන බලා පැමිණීමටයි වනජිවි නිලධාරින් කටයුතු කර ඇත්තේ.

එසේ පැමිණෙන විට හබරණ – ටැම්පිට විහාරය අසල යුද හමුදා මාර්ග බාධකයේදී වනජිවි නිලධාරින්ගේ කැබ් රථ යුද හමුදාව විසින් නතර කර ඇති අතර, එහිදී සිවිල් ඇඳුමින් සැරසී සිටි අයෙකු තමන් හමුදාවේ ප්‍රධානියෙකු බව පවසමින් තර්ජනය කළ බව ද පැමිණිල්ලේ සඳහන්.

වනජිවි නිලධාරින් සිද්ධියේ කොටසක් පටිගත කර තිබුණා.

අනතුරුව, වනජිවි නිලධාරින් මේ සම්බන්ධයෙන් හබරන පොලීසිය වෙත පැමිණිලි කර ඇති අතර පොලීසිය පැවසුවේ ඒ පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්නගෙන් ද විමසීමක් කළා.

ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පළමු පැමිණිල්ල සිදුකර ඇත්තේ අදාළ යුද හමුදා නිලධාරිවරයා විසින් බවයි.

අදාළ යුද හමුදා නිලධාරියා හබරණ සිට කඳවුර වෙත පැමිණෙමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති අතර, වනජිවි නිලධාරින් අනුරාධපුර කඳවුරට ගොස් එහි ගේට්ටුවේ රාජකාරියේ නිරත භටයින් වෙත නිසි පරිදි කරුණු පැහැදිලි කිරීමක් ද සිදුකර නොමැති බව ද ඔහු කියා සිටියා.

******************************************

(27.06.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුවී ඇති බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණීමට සමගාමීව මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකෙරෙනු ඇති බවයි.

එහිදී මුදල් හා ආර්ථික සංවර්ධනය කේන්ද්‍ර කර ගනිමින් නව අමාත්‍යාංශයක් බිහි කිරීමටත්, සංවේදී අමාත්‍යාංශවල කාර්යභාරය යළි සමාලෝචනය කිරීමටත් නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ එළඹෙන 06 වනදායින් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක දිවුරුම් දෙනු ඇතැයි මේ දිනවල වාර්තා පළ වෙමින් පවතිනවා.

ඔහුට මන්ත්‍රී ධුරය ලබාදීම සඳහා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 04 දෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට මේ වනවිටත් කැමැත්ත පළ කර ඇති බව ද ඊයේ (26) හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණීමෙන් පසු ඔහු මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුවී ඇති අතර එය අවසන් වීමට නියමිතව ඇත්තේ එළඹෙන 06 වනදායි.

පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ පක්ෂයේ නිලධාරින් සහ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා අතර ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ද එළඹෙන 06 වනදායින් පසු සිදුකෙරෙනු ඇති බවයි.

ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ද එම සාකච්ඡාවලදී අදහස් හුවමාරු වනු ඇති බව පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

@@@@@@@@@@@@@@@@@

(27.06.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල සත්වෝද්‍යානයේ වෙනත් කිසිදු සත්ත්වයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට නිරීක්ෂණය වී ඇතැයි වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ කොරෝනා වෛරසය ආසාදනය වූ තෝර් නැමැති සිංහයා සහ සීනා නමැති සිංහ ධේනුව මේ වනවිට සුව අතට පත්වී ඇති බවයි.

එමෙන්ම, සිංහයාට සිදුකළ එක්ස්-රේ පරීක්ෂාවකදී එම සත්වයාගේ පපුවෙහි සෙම සහිත තත්ත්වයක් දක්නට ලැබුණු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++++

(27.06.2021 – 08:02 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා විවෘත කළ බස්නාහිර පළාතේ ව්‍යායාම මධ්‍යස්ථාන, පිහිනුම් තටාක, සිනමා ශාලා සහ අවන්හල් ඇතුළු ස්ථාන 313 ක් වටලා තිබෙනවා.

ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතයි.

එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කළ පුද්ගලයින් 605 දෙනෙකුට අවවාද කර ඇති අතර, 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+++++++++++++++++++++

(27.06.2021 – 09:59 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (26) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 1,825 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.

එම සංඛ්‍යාව 407 ක් බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 346 දෙනෙකු ඊයේ (26) හඳුනාගෙන ඇති අතර, කොළඹ මහ නගර සභා සීමාවෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 106 ක්.

එසේම, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 183 ක්, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 113 ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 107 ක්ද හඳුනාගෙන තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 106 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 105 දෙනෙකු ද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර වනවා ෴

+++++++++++++++++++++

(27.06.2021 – 11:09 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (26) දිනය වනවිට කොරෝනා එන්නත් මාත්‍රා 3,453,960 ක් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ අනුව, සයිනොෆාම් එන්නත් 1,533,780 ක් පළමු (1) මාත්‍රාව ලෙස ලබාදී ඇති අතර, දෙවැනි (2) මාත්‍රාව ලෙස ලබාදී ඇති එම එන්නත් සංඛ්‍යාව 490,850 ක්.

925,242 දෙනෙකුට කොවිෂීල්ඩ් පළමු (1) මාත්‍රාව ලබාදී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 372,868 ක්.

ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව 114,795 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව 14,425 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට (28) දිනයේ වසා තැබෙන බව එහි වෙළඳ සංගමය ප්‍රකාශ කළා. සේවකයන්ට කොරෝනා මර්දන එන්නත් දෙවන (2) මාත්‍රාව ලබාදීම සඳහා ආර්ථික මධ්‍යස්ථානය මෙලෙස වසා තැබෙන අතර අනිද්දා (29) සිට එය යළි විවෘත කෙරෙනු ඇති ෴

(27.06.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මැයි පළමුවනදායින් (01) පසු මෙරටින් වාර්තා වූ අඩුම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (26) වාර්තා වුණා. එම සංඛ්‍යාව 1825 ක්.

මෙරටින් ඊයේ (26) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 1,825 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.

එම සංඛ්‍යාව 407 ක් බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 346 දෙනෙකු ඊයේ (26) හඳුනාගෙන ඇති අතර, කොළඹ මහ නගර සභා සීමාවෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 106 ක්.

එසේම, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 183 ක්, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 113 ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 107 ක්ද හඳුනාගෙන තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 106 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 105 දෙනෙකුද ඊයේ (26) හඳුනාගත් ආසාදිතයින් අතර වනවා.

මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව ලබා ගත් කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින්ට එම එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම හෙට (28) සිට සිදුකෙරෙනවා.

කොළඹ මහනගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදිනි වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඊට අදාළ විස්තර ජංගම දුරකථන කෙටි පණිවුඩයක් මගින් ලබාදීමට පියවර ගෙන ඇති අතර, එම පණිවුඩය ලැබී නොමැති පුද්ගලයින් එන්නත් මධ්‍යස්ථාන වලට ඇතුළු කර නොගන්නා බවයි.

ඊයේ (26) දිනය වනවිට සයිනොෆාම් එන්නත් 1,533,780 ක් පළමු (1) මාත්‍රාව ලෙස ලබාදී ඇති අතර, දෙවැනි (2) මාත්‍රාව ලෙස ලබාදී ඇති එම එන්නත් සංඛ්‍යාව 490,850 ක්.

925,242 දෙනෙකුට කොවිෂීල්ඩ් පළමු (1) මාත්‍රාව ලබාදී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 372,868 ක්. ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව 114,795 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව 14,425 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ.

මේ අතර, කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක් මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සිදුකළ කොරෝනා පරීක්ෂණ නොපිළිගන්නා තත්ත්වයක් උද්ගත වී ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඒ.පී.එස්.ඩී. අබේසිංහ මහතාගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ මේ පිළිබඳව ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය දැනුවත් කර ඇති බවයි.

මේ අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා විවෘත කළ ව්‍යායාම මධ්‍යස්ථාන, පිහිනුම් තටාක, සිනමා ශාලා සහ අවන්හල් ඇතුළු ස්ථාන 313 ක් ඊයේ (26) වටලා තිබෙනවා.

ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතයි.

එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කළ පුද්ගලයින් 605 දෙනෙකුට අවවාද කර ඇති අතර, 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අතර, හෙට (28) සිට ශ්‍රී ලංගම බස් රථ ධාවනය සෞඛ්‍ය නීතිරීති වලට යටත්ව සාමාන්‍ය පරිදි සිදුවන අතර, අන්තර්පළාත් බස් ධාවනය සීමිත පරිදි සිදුවන බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ.

අධිවේගී මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා ද සීමිත බස් ප්‍රමාණයක් යොදවන බව ඔහු කියා සිටියා ෴

+++++++++++++++++++++++

(27.06.2021 – 12:10 +0530 – hirunews.lk/sinhala)

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් සඳහා අන්තර්ජාලය ඔස්සේ දින වෙන් කිරීමේ පහසුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් සලසා තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ වෙබ් අඩවිය ඔස්සේ අදාල දින වෙන්කිරීම සිදු කිරීමේ හැකියාව පවතිනවා.

එම දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ සහ සියලු ප්‍රාදේශීය කාර්යාලවල මෙම සේවාව ක්‍රියාත්මක බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් :

[ https://eservices.immigration.gov.lk/td ]

++++++++++++++++++

(27.06.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමාවන්ට යටත්ව හෙට (28) සිට නැවත සේවාවන් ආරම්භ කරන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් වේරහැර, පොළොන්නරුව, නුවරඑළිය සහ කළුතර ශාඛා මගින් තවදුරටත් සේවා සැපයෙන්නේ නැහැ.

ඊ-චැනලින් මගින් වේලාව වෙන් කර ගත් සේවාලාභීන් සඳහා පමණක් මෙලෙස සේවා සැපයීම ආරම්භ වන අතර එම කටයුතු සිදුනොවන ශාඛා මගින් සේවා ලබා ගත හැකි දින සහ වේලාවන් ඉදිරියේදී දැනුම් දෙන බව ද ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය නිවේදනය කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *