ගර්භනී මව්වරුන් 200 කට කොරෝනා

ගර්භනී මව්වරුන් 200 කට කොරෝනා

*********************************************

ගර්භනී මව්වරුන් 200 කට කොරෝනා

(26.06.2021 – 19:11 +0530 – hirunews.lk/sinhala)

ගර්භනී මව්වරුන් 200 දෙනෙකු පමණ කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසනවා.

එසේම, දරුවන් ප්‍රසූත කළ කොරෝනා ආසාදිත මව්වරුන් 25 දෙනෙකු පමණද මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි ඇය කියා සිටියේ.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ ගර්භනී මව්වරුන් අත්‍යවශ්‍යම කාරණයකට හැර වෙනත් කරුණකට නිවසින් පිටතට යෑම සිදුනොකළ යුතු බවයි.

මේ අතර, පසුගිය 25 වැනිදා සිදුවූ කොරෝනා ආසාදිත මරණ 43 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (26) පස්වරුවේ තහවුරු කළා.

ඉන් 18 දෙනෙකු කාන්තාවන් වන අතර, අනෙක් 25 දෙනා පිරිමි පුද්ගලයන් වනවා.

එම පිරිස අතුරින් 35 ක්ම අවුරුදු 60 ඉක්මවූවන්. වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගල මරණයක් වාර්තා වන අතර, අවුරුදු 30 ත්, 59 ත් අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 07 ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මෙම මරණ 43 ත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 2,905 ක්.

අද (26) දිනයේදී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිතයින් 2,172 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,16,840 ක්.

මේ අතර පේරාදෙණිය – මුරුතලාව – ඉලු‍ක්තැන්න ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකු (3) කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්වූ සිද්ධියක් වාර්තා වනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 72 හැවිරිදි පියා, 70 හැවිරිදි මව සහ 38 හැවිරිදි පුත්‍රයායි.

පේරාදෙණිය මුරුතලාව මහජන සෞඛ්‍ය පරික්‍ෂක කපිල වික්‍රමනායක පැවසුවේ පියා පසුගිය 03 වැනිදාත්, මව පසුගිය 14 වැනිදාත් සහ පුත්‍රයා පසුගිය 23 වැනිදාත් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව මේ වනවිට කොරෝනා එන්නතක පළමු මාත්‍රාව පුද්ගලයින් 25,43,022 දෙනෙකු ලබාගෙන තිබෙනවා. මෙරට තුළ කොරෝනා එන්නත්වල දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 8,74,975ක්.

මේ අතර, කොළඹ විශ්වවිද්‍යාලය සහ ජර්මනියේ රොබට් කොක් පරීක්ෂණ ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් එක්ව සිදුකළ පරීක්ෂණයකින් මෙරට වවුලන්ගේ ශරීරය තුළ කොරෝනා වෛරසය පවතින බවට සිදුකළ සොයාගැනීම සම්බන්ධයෙන් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදහස් පළ කළා.

එහි ලේකම් වෛද්‍ය නුවන් හේවාගමගේ මහතා කියා සිටියේ සතුන්ගෙන් මිනිසුන්ට කොරෝනා වෛරසය ආසාදනය වන බවට කිසිදු වාර්තා වීමක් සිදුව නොමැති බවයි.

++++++++++++

++++++++++++++++++++++++

(26.06.2021 – 21:23 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 715 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව අද (26) දිනයේ මේ දක්වා හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 1801 ක්.

ඒ අනුව මෙරටින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 251,738 ක් හමුවී තිබෙනවා.

එමෙන්ම ඊයේ (25) දිනයේ කොවිඩ් ආසාදිත මරණ 43 ක් සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (26) තහවුරු කර තිබෙනවා.

මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 2905 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, කොවිඩ්-19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2172 දෙනෙකු අද (24) දිනයේ පිටවගොස් තිබේනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 216,840 ක් ෴

+++++++++++++++++++++

(27.06.2021 – 06:29 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික්ක 03 කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (27) අලුයම සිට හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.

කොළඹ, රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් මෙලෙස හුදෙකලා කරනු ඇති.

එම ප්‍රදේශ පිළිබඳ විස්තර පහතින් :

++++++++++++++++++++++

(27.06.2021 – 06:45 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 ක කාලසීමාව තුල නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 361 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව මේ දක්වා අදාල නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 44,216 ක්.

මේ අතර පනවා ඇති සෞඛ්‍ය නිර්ණායක අනුව සම්භාහන මධ්‍යස්ථාන, සිනමාහල්, ඔට්ටු තබන ස්ථාන, සමාජශාලා, පබ් සහ බාර්, කායවර්ධන මධ්‍යස්ථාන එළිමහන් හෝ ගෘහයක් තුළ පැවැත්වෙන සාද හා සම්භාෂන වැනි දෑ පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

++++++++++++++++++++++

(27.06.2021 – 07:47 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ආසාදිත මරණවල අඩුවීමක් ඉදිරි සති කිහිපය ඇතුළත දැකගත හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විශ්වාසය පළ කරනවා.

මේ අතර, ඊයේ (26) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 1,825 දෙනා සමඟ මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 250,000 සීමාව ඉක්මවා ගියා.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 251,751 ක් ලෙසයි.

ඉන් 244,502 ක්ම දිවුලපිටිය, පෑලියගොඩ, බන්ධනාගාර සහ අලුත් අවුරුදු පොකුරුවලින් වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගිය සතිය වන විට කොරෝනා ආසාදනය වූ ගර්භණී මව්වරුන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළා.

එසේම, තවමත් ගර්භනී මව්වරුන් 200 ක් පමණ කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මේ අතර, පසුගිය 25 වැනිදා සිදුවූ කොරෝනා ආසාදිත මරණ 43 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26) පස්වරුවේ තහවුරු කළා.

ඉන් 18 දෙනෙකු කාන්තාවන් වන අතර, අනෙක් 25 දෙනා පිරිමි පුද්ගලයන්.

එම පිරිස අතුරින් 35 ක්ම අවුරුදු 60 ඉක්මවූවන් වීම විශේෂත්වයක්.

මෙම මරණ 43 ත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 2,905 දක්වා ඉහළ ගියා.

සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 2,16,840 ලෙසයි.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ තලංගම පොලිස් වසමේ තලාහේන ග්‍රාම නිලධාරී වසමේ විජය මාවත සහ ජයගත් මාවත අද (27) උදෑසන හයේ සිට හුදෙකලා කර තිබෙනවා.

එසේම, තලාහේන උතුර ග්‍රාම නිලධාරී වසමේ ජයගත් මාවත, සත්සර මාවත, ඉසුරු මාවත, සමනල මාවත සහ තැපැල් පෙට්ටිය හංදිය හුදෙකලා කරන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් වසමේ කහන්ගම කොස්ගල වත්ත ග්‍රාම නිලධාරී වසම සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයේ බෝපැත්ත ග්‍රාම නිලධාරී වසමද හුදෙකලා කෙරෙනවා.

එසේම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නාවලපිටිය පොලිස් වසමේ කැටබුලාව මධ්‍ය කොටස ග්‍රාම නිලධාරී වසමද අද (27) උදෑසන හයේ (06:00) සිට හුදෙකලා කරන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

මේ අතර, පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ තවත් පුද්ගලයින් 361 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා ෴

@@@@@@@@@@@@@@@@@@

(26.06.2021 – 19:14 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුල කාබනික පොහොර නිෂ්පාදනය සඳහා බන්ධනාගාර රැදවියන් යොදා ගැනීමේ නියමු ව්‍යාපෘතිය මඩකලපුව බන්ධනාගාරයෙන් අද (26) ආරම්භ වුණා.

ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්තාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය මගින් මෙම වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

මේ අතර, පොහොර නොමැති බව පවසමින් අදත් (26) දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් විරෝධතාවල නිරත වුණා.

******************************************

(26.06.2021 – 19:31 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 480 ක් නැගෙනහිර මුහුදේ යාත්‍රා කරමින් තිබියදී ‘එම්.එස්.සී. මෙසීනා’ නෞකාවෙ හටගත් ගින්න මේවන විට පාලනය කර තිබෙනවා.

මේ අතර, ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා ගින්නෙන් මෙරට ධීවර ක්ෂේත්‍රයට සිදුවු හානිය වෙනුවෙන් අතුරු වන්දියක් ලෙස රුපියල් මිලියන 720 ක් ගෙවිමට නෞකාවේ රක්ෂණ සමාගම එකඟවී තිබෙනවා.

සිංගප්පුරුවේ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව මෙරට මුහුදු කලාපයේ දී ගිනි ගත්තේ පසුගිය මැයි 20 වැනිදායි.

සති 2 කට පමණ පසු එම නෞකාව සම්පූර්ණයෙන් විනාශ වී ගියේ ලොව දැවැන්තම සමුද්‍ර දුෂණයකට මඟපාදමින්.

එමඟින් මෙරට වෙරළ තීරයට ද සැළකිය යුතු බලපෑමක් එල්ලවු අත්වූ අතර, දිවයින අවට මුහුදේ ධීවර කර්මාන්තයට දැඩි බලපෑමක් ඇතිවුණා.

සමුද්‍ර ජීවින් රැසකට ජීවිත අහිමි වෙමින් පවතින්නේද ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් සිදුවූ බලපෑම හේතුවෙන් බවට පරිසරවේදින් පෙන්වා දෙනවා.

මේ අතර ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීමෙන් මෙරට ධීවර ක්ෂේත්‍රයට සිදුවු හානිය වෙනුවෙන් අතුරු වන්දියක් ලෙස දල වශයෙන් රුපියල් මිලියන 720 ක මුදලක් ගෙවීමට එකඟ වී තිබෙනවා.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සදහන් කළේ නෞකාවේ රක්ෂණ සමාගම විසින් එම අතුරු වන්දිය ගෙවීමට එකඟ වි අති බවයි.

කෙසේ වෙතත් පැලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් පවසන්නේ මේ දිනවල මත්ස්‍ය අලෙවියේ අඩුවක් පවතින බවයි.

මේ අතර කොළඹ වරායෙන් පිටත ප්‍රදේශයේ යාත්‍රා කිරීමේ ආරක්ෂාව සහතික කිරීමට සහය වන ලෙස ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ වරායට සේන්දු වූ ‘INS සර්වේක්ෂක්’ නෞකාව අද (26) සිට සතියක් එම කටයුතුවල නිරත වනවා.

ඒ අනුව ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව එක්ව මීගමුවේ සිට පානදුර දක්වා සාගර කලාපයේ මතුපිට සහ අභ්‍යන්තරය එක්ව කිරීමට නියමිතයි.

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කොටස් සහ අබලි ද්‍රව්‍ය මගින් යාත්‍රාවලට හානි නොවීමට වගබලා ගැනීම එම නිරීක්ෂණයේ අරමුණ වී තිබෙනවා.

මේ අතර මීට දින 4 කට පෙර කොළඹ වරායේ සිට සිංගප්පුරුව බලා ගමන් ආරම්භ කල ‘එම්.එස්.සී. මෙසීනා’ නම් මෙම බහලුම් නෞකාවේද ගින්නක් හටගෙන තිබුණා.

ඒ නැගෙනහිර මුහුදේ කිරින්ද මහාරාවණ ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 480 ක් දුරින් යාත්‍රා කරමින් තිබියදී.

ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කරන එම නෞකාවේ එන්ජින් කාමරයේ ගින්නක් හටගෙන ඇති බව එහි කපිතාන්වරයා ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ ඉන්දීය වෙරළාරක්ෂක බළකායට දැනුම් දී තිබෙනවා.

1995 වසරේ නිෂ්පාදිත මෙම නෞකාව දිග මීටර් 300 කින් සහ පළලන් මීටර් 37 කින් යුක්තයි.

නෞකා කාර්ය මණ්ඩලයේ 28 දෙනෙකු සිට ඇතත්, ඉන් එක් අයෙකු (1) මේ වනවිට අතුරුදන්ව ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම නෞකාව ගිනිගැනිමට ලක්වුයේ ජාත්‍යන්තර මුහුදේ වුවත්,එම මුහුදු කලාපය මෙරට ගළවා ගැනීමේ කලාපයට අයත් වනවා.

නාවික හමුදාව සඳහන් කළේ මේවන විට අදාල නෞකාවේ ගින්න පාලනය කර සිංගප්පුරුව දෙසට රැගෙන යාමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.

ඉන්දියන් සාගරයේදී මෙලෙස නෞකාවක මෙලෙස ගින්නක් වාර්තා වන්නේ සති 5 ක් තුළ දෙවැනි වරටයි.

******************************************

(26.06.2021 – 20:00 +0530 – hirunews.lk/sinhala)

ජනතාවට සහන දිය නොහැකි නම් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේබව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

******************************************

(27.06.2021 – 07:27 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයින් දෙදෙනෙකු (2) පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වදහිංසා පමුණවීමේ සිද්ධියක් බලගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයෙකුට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ සිද්ධියකට අදාලව පසුගිය 25 වනදා මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියට අදාල ප්‍රධාන සැකකරු අම්පිටිය ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන අයෙකු බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

ප්‍රධාන සැකකරු සහ පැහැර ගැනීම සඳහා ඔහුට සහාය වූ අනෙක් සැකකරුවන් ද මේ වනවිට අතුරුදන්ව සිටින බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස පැහැරගෙන ගොස් වද හිංසා පමුණුවා ඇත්තේ සිද්ධියට සම්බන්ධ ‘ප්‍රධාන සැකකරුගේ මිතුරන් දෙදෙනෙකු (2)’ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අදාල මිතුරන් දෙදෙනා (2) සිය නිවසට කැඳවාගෙන පසුව පැහැරගෙන අම්පිටිය ප්‍රදේශයට ගෙන ගොස් එහිදී එම පුද්ගලයින් දෙදෙනාට (2) කුරුසයේ තබා ඇණ ගසන ආකාරයට ලී කොටයක තබා ඇණ ගසා වදහිංසා පමුණවා ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් තුවාල ලැබූ 44 සහ 38 හැවිරිදි වියේ පසුවන පුද්ගලයින් දෙදෙනා (2) මේ වනවිට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මේ වනවිට සැඟව සිටින පැහැර ගැනීම සිදුකළ ප්‍රධාන සැකකරු සහ ඔහුට සහාය දැක්වූ අනෙක් පුද්ගලයින් සොයා බලගොල්ල පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

******************************************

(27.06.2021 – 07:38 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (26) පස්වරුවේ මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබූ බවයි.

පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් බැහැදුටුවේ උන්වහන්සේගේ සුවදුක් විමසීමටයි.

අනතුරුව, මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් ද බැහැදුටු අතර අනුනාහිමියන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් ඉදිකෙරෙන සංඝාවාසය ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා.

එමෙන්ම, මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන්ද බැහැ දුටුවා.

මෙහිදී ජනාධිපතිවරයා රටේ වර්තමාන දේශපාලන, සමාජ සහ ආර්ථික තොරතුරු රැසක් පිළිබඳවද මහානායක සහ අනුනායක ස්වාමින් වහන්සේලාට කරුණු පැහැදිලි කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *