අයුක්තිය රජ කරවූ පාලනයකින් දුන් නඩු තීන්දුවට අද යුක්තිය ඉටුවෙද්දී හිත රිදුනු දේශපාලන හෙන්චයියෝ

අයුක්තිය රජ කරවූ පාලනයකින් දුන් නඩු තීන්දුවට අද යුක්තිය ඉටුවෙද්දී හිත රිදුනු දේශපාලන හෙන්චයියෝ

*********************************************

අයුක්තිය රජ කරවූ පාලනයකින් දුන් නඩු තීන්දුවට අද යුක්තිය ඉටුවෙද්දී හිත රිදුනු දේශපාලන හෙන්චයියෝ

(25.06.2021 – 09:47 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කළ වරදට සිර ගතව සිටි කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඊයේ (24) නිදහස් කෙරුනා.

ඒ ජනාධිපති පොදු සමාවක් යටතේයි.

කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභීන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට දුමින්ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා සුවිශේෂි කාර්‍යභාරයක් ඉටුකලා.

2011 වසරේ පැවති පළාත් පාලන මැතිවරණ දිනයේදී කොලොන්නාව වල්පොල හන්දියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද සිල්වා සහ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර අතර වෙඩි හුවමාරුවක් සිදුවනවා.

එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සහ ඔහුගේ රැකවලුන් තිදෙනෙක් මිය ගියා.

2011 ඔක්තෝබර් 08 වැනිදාසවස 03:30 ට පමණ සිදුවූ මෙම වෙඩි හුවමාරුවේ දී හිසට වැදුණු වෙඩි පහරකින් බරපතළ තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ප්‍රතිකාර සඳහා ජයවර්ධනපුර රෝහලට රැගෙන එනවා.

එහිදී සිදුකරන ලද මූලික ප්‍රතිකාර වලින් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ රෝහලකට ඇතුළත් කලා.

දීර්ඝ කලක් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලේ ප්‍රතිකාර ලැබූ දුමින්ද සිල්වා සුවය ලබා නැවත මෙරටට පැමිණ සුපුරුදු මහජන සේවයේ නිරත වන්නට වුනා.

2011 ඔක්තෝබර් 08 වැනිදා සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනෙක් වගඋත්තරකරුවන් කරමින් නීතිපතිවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනෙකුට අපරාධ චෝදනා ද ඇතුළු චෝදනා 17 ක් යටතේ කොළඹ මහාධිකරණයේ නඩුවක් ගොනු කරනවා.

2015 මැයි 22 වැනිදා මෙම නඩු විභාගය ආරම්භ වෙනවා.

වසරකට මදක් වැඩි කාලයක් විභාග කෙරුණු මෙම දීර්ඝ නඩු විභාගයේදී සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් හතළිස් දෙදෙනකු (42) අධිකරණයට කැඳවා හරස් ප්‍රශ්න කිරීම් සිදුකෙරුණා.

ඊට අමතරව මෙම නඩු විහහගය සදහා ඉදිරිපත් කෙරුණු අධිකරණ වෛද්‍ය වාර්තා ද ඇතුළු විවිධ වාර්තා සංඛ්‍යාව 126 ක්.

ඒ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ රජයේ රස පරීක්ෂක ගේ වාර්තාවන් ද ඇතුළත්.

පුරා වසරකුත් මාස දෙකකට ආසන්න කාලයක් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනුණු මෙම නඩුවේ සාක්ෂි විභාගය අවසන් කෙරුණේ 2016 වසරේ ජූලි මස 14 වැනිදායි.

2016 ජූලි 14 වන දින අවසන් කෙරුණු නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ 2016 වසරේ සැප්තැම්බර් මස 08 වැනිදායි.

මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න සභාපතිත්වය දැරූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බෙදීගිය තීන්දුවක් ලෙස එය ප්‍රකාශයට පත් කෙරුණා.

සභාපති විනිසුරුවරයා චූදිතයින් සියලු දෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ අතර පද්මිණි එන්. රණවක සහ එම්.සී.බී.එස්. මොරායස් යන සෙසු විනිසුරුවරුන් සිය තීන්දු ප්‍රකාශයට පත් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සහ තවත් සිවු දෙනෙකු (4) වැරදිකරුවන් කර ඔවුන්ට මරණ දඩුවම පමුණුවමින්.

කොළඹ මහාධිකරණයෙන් ලබා දුන් මෙම තීන්දුවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා උපරිමාධිකරණයේ අභියාචනයක් ගොනු කරනවා.

මෙම අභියාචනය විභාගයට ගැනෙන්නේ එවකට අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.

එහිදී සිදුකෙරුණු නඩු විභාගයෙන් අනතුරුව පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කරන්නේ ද මහාධිකරණ තීන්දුව නිවැරදි බවටයි.

මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පිරිස බන්ධනාගාර ගත කෙරෙනවා.

කෙසේ වෙතත් මෙම වෙඩි හුවමාරූවේදී පළමු වෙඩි පහර වැදි බිම වැටුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ඝාතකයා වන්නේ කෙසේද යන්න සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වුණා.

මේ අතරේ සමාජයට කාන්දු වූ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක රහසේ පටිගතකල දුරකථන ඇමතුම් රැසක් සමගින් දුමින්ද සිල්වා නඩු තීන්දුව පිළිබඳව කතා බහ නැවතත් කරලියට එනවා.

මෙම දුරකථන සංවාද අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක, දුමින්ද සිල්වා සම්බන්ධ නඩුවේ විමර්ශන කටයුතු සිදු කළ පොලිස් අධිකාරී ශානි අබේවික්‍රමට දුරකථන ඇමතුම් ලබාදෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා පිළිබඳ නඩු තීන්දුවට බලපෑම් සිදු කරන ආකාරය සමාජයට හෙළිදරව් වුණා.

එතැනින් නොනවතින රන්ජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, දුමින්ද සිල්වා නඩුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුළු සාමාජිකාවක වන විනිසුරු පද්මිණි එන්. රණවකට දුරකථනයෙන් අමතා විවිධ බලපෑම් සිදු කරන ආකාරය පිළිබඳවත් හෙළිදරවු කෙරුණා.

මේ අනුව සමාජයේත් දේශපාලන පොර පිටියේත් දැඩි කතාබහක් නිර්මාණය වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අසාධාරණ ලෙස බලපෑමට ලක් කර සිරගත කර ඇති බවටයි.

මේ ආන්දෝලනාත්මක හඬ පට සමාජ මාධ්‍ය ඔස්සේ සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ විකාශය වීමත් සමග දුමින්ද සිල්වා නිදහස් කළ යුතු බවට ප්‍රබල හඬක් සමාජයේ සිවිල් ක්‍රියාකාරීන් තුළින් සහ දේශපාලන ක්‍රියාකාරීන් තුළින් පවා මතු වුණා.

මෙලෙස අසාධාරණ ලෙස සිරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කළ යුතු බවට පාර්ලිමේන්තුව තුළ පවා හඬ නැගුණා.

දුමින්ද සිල්වාට සිදු වූ අසාධාරණය පිළිබඳ හඬ නැගූ සෑම කෙනෙකුගේම මූලික තර්කය වූයේ මෙය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධියේ විමර්ශන කටයුතු කල රහස් පොලීසියේ පොලිස් අධිකාරී ශානි අබේවික්‍රමගේ කූඨ වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් බවයි.

එය ඔහු විසින් දුමින්ද සිල්වා කොටු කිරීමට හිතා මතා සැලසුම් සහගතව කරන ලද්දක් බවට සනාථ කිරීම සඳහා ප්‍රමාණවත් අලුත් තොරතුරු සහ සාක්ෂි රන්ජන් රාමනායකගේ කාන්දු වූ රහසිගත දුරකතන සංවාද පට හරහා එළිදැක්වුණා.

මෙලෙස ඉස්මතු වූ කරුණු හරහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට බරපතල අසාධාරණයක් සිදු වී ඇති බවට සමාජ ක්‍රියාකාරීන් නැගූ ප්‍රබල හඬ හමුවේ මෙම නඩු තීන්දුව පිළිබඳ තවදුරටත් සොයා බැලීම සඳහා මෙය දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබලන විශේෂ ජනාධිපති කොමිසමට යොමු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කලා.

අදාළ නඩු තීන්දුව සහ සාක්ෂි සම්පින්ඩනය විමර්ශනය කළ මෙම ජනාධිපති කොමිසම හමුවේ ද පොලිස් අධිකාරී ශානි අබේවික්‍රම, දුමින්ද සිල්වා වැරදිකරු කිරිම සඳහා සිතාමතා කටයුතු කර ඇති බවට කරුනු හෙලිදරව් වුණා.

එමෙන්ම මෙම නඩු තීන්දුවට බලපෑම් කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විනිසුරුවරුන්ට දුරකථනය හරහා බලපෑම් කර ඇති බව මෙම ජනාධිපති කොමිසමේ දී හෙළිවු තවත් කරුණක්.

මෙහිදී සිදු කෙරුනු දීර්ඝ කරුණු විමසීමකින් අනතුරුව ජනපති කොමිසමේ තීරණය වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට යම් අසාධාරණයක් සිදු වී ඇති බවටයි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කරනු ලබනවා.

නොකල වරදකට වසර 5 කට වැඩි කලක් වැලිකඩ බන්ධනාගාරයේ සිරගතව සිටි දුමින්ද සිල්වා නිදහස් වන්නේ ඒ අනුවයි ෴

******************************************

(25.06.2021 – 10:06 +0530 – hirunews.lk/sinhala)

ගොවිබිම්වල පස පරීක්ෂා කිරීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සහය ලබාදීමට තීරණය කර තිබෙනවා.

දැනට කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් පාංශු පරීක්ෂාවන් සිදුකරනු ලබනවා. කෙසේ වෙතත් එම පාංශු පරීක්ෂණ සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම් සැළසීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ නිලධාරීන් එකඟතාව පළ කළ බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ.

පරිසර අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒ සඳහා නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති අතර, පරිසර හිතකාමී වල්නාශක හා පලිබෝධ නාශක නිෂ්පාදනය සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව ස්වභාවික වල්නාශක හා පලිබෝධ නාශක නිෂ්පාදනයට දැනටමත් පර්යේෂණ ආරම්භ කර ඇති බවයි භූ විද්‍යා නිලධාරීන් පරිසර අමාත්‍යවරයාට දැනුම්දී ඇත්තේ ෴

******************************************

(25.06.2021 – 10:13 +0530 – hirunews.lk/sinhala)

මින් ඉදිරියට ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට අනවසරයෙන් කිසියම් වාහනයක් ඇතුළු කළහොත් එම පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට ඊයේ (24) අනවසරයෙන් යතුරුපැදියක් සහ මෝටර් රථයක් ඇතුලු කිරීම හේතුවෙන් එම වාහන දෙක (2) ගැටී ගිනිගැනීමෙන් යතුරුපැදියේ ගමන් කළ තරුණයන් දෙදෙනෙකු (2) මියයෑමේ සිද්ධියක් වාර්තාවීමත් සමගයි.

මධ්‍යම අධිවේගි මාර්ගයේ 59 වන කණුව අසළදී මෙම අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ පස්දෙනෙකු (5) ගමන් කර ඇති බවයි.

ඉන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇති අතර, පලාගොස් සිටින අනෙක් තුන්දෙනා (3) සොයා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා ෴

******************************************

(25.06.2021 – 11:50 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – කරාපිටිය නගරයේ බැංකුවක් අසළදී වෛද්‍ය සිසුවියක් සමඟ මෝටර් රථයක් පැහැරගෙන ගිය පුද්ගලයා සොයා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ මෝටර් රථය ඊයේ (24) අලුයම බූස්ස දැව සංස්ථාව ඉදිරිපිට දමා ගොස් තිබියදී පොලීසිය සොයා ගත් අතර, වෛද්‍ය සිසුවිය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

25 වන වියේ පසුවන රුසියාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන ඇය සිය නැගණිය සමඟ කරාපිටිය නගරයට පැමිණ තිබුණා.

ඇගේ නැගණිය මෝටර් රථය පණගන්වාම බැංකුවට ගොස් තිබුණේ චෙක්පත් කිහිපයක් ගිණුම්ගත කිරීම සඳහායි.

එම අවස්ථාවේ නවතා තිබූ මෝටර් රථය ඉවත් කරගන්නා ලෙස පවසමින් පුද්ගලයෙකු ඊට නැග තිබෙනවා.

එහි සිටි තරුණිය, එම පුද්ගලයාව දැක නොමැති අතර, එම අවස්ථාවේ ඇය ජංගම දුරකථනය භාවිත කරමින් සිටි බව සඳහන්.

එක්වරම සැකකරු විසින් මෝටර් රථය ධාවනය කර ඇති අතර, තරුණිය කෑ ගසා තිබෙනවා.

පසුව මුදල් සහ අත් පළදවා ලබාගෙන ඇති සැකකරු තරුණිය මහමඟ දමා මෝටර් රථයෙන් පළා ගොස් ඇති බවයි පොලීසිය කියා සිටියේ.

කෙසේ වෙතත්, ඊයේ (24) අලුයම අදාළ මෝටර් රථය පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, සැකකරු විසින් රුපියල් 52,000 ක මුදලක් කොල්ල කා ඇති බව පොලීසිය සදහන් කළා ෴

******************************************

(25.06.2021 – 11:59 +0530 – hirunews.lk/sinhala)

හක්මන-වලස්මුල්ල ප්‍රධාන මාර්ගයේ දෙනගම ප්‍රදේශයේදි අද (25) අළුයම වලස්මුල්ල මූලික රෝහලට අයත් ගිලන් රථයක් තාප්පයක ගැටිමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් හතර දෙනෙකු (4) තුවාල ලබා වලස්මුල්ල මූලික රොහලට ඇතුලත් කර තිබෙනවා.

එහිදී බරපතල තත්වයේ පසුවු එක් අයෙකු මාතර මහ රෝහල වෙත මාරුකර යැවීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රොහල වෙත ඇතුලත්කර තිබෙනවා.

මේ අතර අනතුරෙන් තුවාල ලබූ සෞඛ්‍ය සේවකයින් රෝහල් ගතකරන අවස්ථාවේදි සිදුකළ ක්ෂනික ප්‍රතිදේහ පරීක්ෂාවේදී එක් සේවකයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදිත බවට හදුනාගෙන ඇති බවද අනාවරණ වී තිබෙනවා.

කරාපිටිය ශික්ෂණ රොහල වෙත රෝගින් රැගෙන ගොස් ආපසු වලස්මුල්ල මූලික රෝහල වෙත පැමිණෙමින් සිටියදී අද (25) අළුයම 01:30 ට පමණ අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

රියදුරුට නින්දයාම නිසා ගිලන් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවටයි සැකපළකරන්නේ.

හක්මන පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

******************************************

(25.06.2021 – 12:35 +0530 – hirunews.lk/sinhala)

කිරින්ද – මහාරාවණා ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 480 ක් නැගෙනහිර දෙසට වන්නට බහලුම් ප්‍රවාහනය කරන නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා.

එම නෞකාවේ එන්ජින් කාමරය තුළ මෙම ගින්න හටගෙන ඇති බවට අදාළ නෞකාවෙන් දැනුම්දීමක්ද සිදුකර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ ෴

Container ship MSC MESSINA reportedly suffered fire in engine room in Indian ocean halfway between Sri Lanka and Malacca Strait, at around 1930 UTC Jun 24. The ship was disabled, and as of 0415 UTC Jun 25 remained disabled, adrift. She’s en route from Colombo Sri Lanka to Singapore. (fleetmon.com)

@@@@@@@@@@@@@@@@@

(25.06.2021 – 10:40 +0530 – hirunews.lk/sinhala)

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව 483,910 දෙනෙකුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

එහි පළමු (1) මාත්‍රාව 1474,958 දෙනෙකුට ලබාදී අවසන්.

එමෙන්ම මෙරට සිටින චීන ජාතිකයන්ට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 2,865 කට සහ දෙවන මාත්‍රාව පුද්ගලයින් 2,435 කට ලබාදී තිබෙනවා.

එමෙන්ම ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව 113,454 කට සහ දෙවන මාත්‍රාව පුද්ගලයින් 14,363 කට ලබාදී අවසන් බවයි වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++++++

(25.06.2021 – 10:58 +0530 – hirunews.lk/sinhala)

විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ කටයුතු සීමා කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් සහ මාතර, වවුනියාව, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවලින් සීමිත සේවා ලාභීන් පිරිසක් සඳහා බලපත්‍ර ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව තමන් පදිංචි ස්ථානයට ආසන්නම කාර්යාලයෙන් එම සේවා ලබාගත හැකි අතර, ඊට පෙර ඇමතුමක් ලබාදී දිනයක් වෙන් කරගත යුතුවනවා.

එසේ නොමැති පුද්ගලයින් සඳහා අදාළ කාර්යාලවලට ඇතුලුවීමට අවසර නොමැති බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උදෑසන නවයත් (09:00) පස්වරු එකත් (01:00) අතර එම කාර්යාල විවෘතව පවතින අතර, දිනයක් සහ වේලාවක් වෙන් කරවාගැනීමට අවශ්‍ය දුරකථන අංක පහතින් :

Media Notice 25-06-2021 (Sinhala/Tamil/English pdf file)

+++++++++++++++++++++

(25.06.2021 – 11:37 +0530 – hirunews.lk/sinhala)

ජාතික පාසල්වල ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ දක්වා ඇත්තේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තම නිත්‍ය සේවා ස්ථානයේ සිට වෙනත් පාසලක් වෙත තාවකාලික අනුයුක්ත වී, එම කාලසීමාව අවසන් කළ සියලුම ජාතික පාසල්වල ගුරුවරුන් නැවත පාසල් ආරම්භ කළ පසු නිත්‍ය සේවා ස්ථානයේම සේවයට වාර්තා කළ යුතු බවයි.

කෙසේ වෙතත්, තවදුරටත් අනුයුක්ත සේවා කාලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය නම් පාසල් ආරම්භ කළ පසු නිත්‍ය සේවා ස්ථානයේ විදුහල්පතිවරයාගේ නිර්දේශය සහිතව නැවත ඉල්ලීම් ඉදිරිපත් කළ යුතු බව අදාළ නිවේදනයේ දක්වා තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *