තරුණියක සමඟ ඇගේ මෝටර් රථය පැහැරගෙන ගිය සැකකරු සොයා විමර්ශන

තරුණියක සමඟ ඇගේ මෝටර් රථය පැහැරගෙන ගිය සැකකරු සොයා විමර්ශන

*********************************************

තරුණියක සමඟ ඇගේ මෝටර් රථය පැහැරගෙන ගිය සැකකරු සොයා විමර්ශන

(24.06.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – කරාපිටියේ බැංකුවක් අසළ දී තරුණියක සමඟ මෝටර් රථයක් පැහැරගෙන ගිය පුද්ගලයෙකු සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලීසිය සදහන් කළේ අදාළ තරුණියගේ නැගණිය සමඟ කරාපිටියේ පිහිටි බැංකුව වෙත පැමිණි අවස්ථාවේ මෙම පැහැර ගැනීම සිදුව ඇති බවයි.

තරුණිය සහ ඇගේ මෝටර් රථය පැහැරගෙන ගිය සැකකරු රත්ගම – ඕවකන්ද ප්‍රදේශයේදී මෝටර් රථය නතර කර ඇය රථයෙන් බස්සවා ඇයගේ රන් ආභරණ සහ රුපියල් 52,000 ක මුදලක් ද කොල්ල කා පළා ගොස් තිබෙනවා.

26 හැවිරිදි තරුණිය අනතුරුව නිවසට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී බූස්ස ප්‍රදේශයේදී පැහැරගෙන ගිය මෝටර් රථය සොයාගෙන තිබෙනවා. සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

(24.06.2021 – 19:27 +0530 – sinhala.adaderana.lk)

කරාපිටිය නගර මධ්‍යයේ නවතා තිබු මෝටර් රථයක් සමග එහි සිටි තරුණියක් නාදුනන පුද්ගලයෙකු විසින් පැහැර ගෙන ගොස් තිබේ.

අප වාර්තාකරු පැවසුවේ පැහැර ගත් මෝටර් රථය සහ අදාළ තරුණිය සොයා ගත්ත ද සිද්ධියට සම්බන්ධ කොල්ලකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවය.

කරාපිටිය රෝහල ආසන්නයේ බැංකුවක් අසල මෝටර් රථයක් නවතා තිබියදී නාදුනන පුද්ගලයෙකු විසින් එහි සිටි තරුණිය සමග මෝටර රථය පැහැරගෙන ගොස් තිබුණි.

මෝටර රථයේ තරුණියන් දෙදෙනෙකු (2) සිට ඇති අතර එක් තරුණියක් මෝටර රථ බැස අසල තිබු බැංකුවකට ගොස් සිටි අතරවාරයේ මෙලෙස පුද්ගලයෙකු පැමිණ පැහැර ගැනීම සිදුකර තිබේ.

ගාල්ල හියාරේ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණියක එලෙස පැහැරගෙන ගොස් තිබුණි.

පසුව කොල්ලකරු පැහැරගත් තරුණිය රත්ගම ප්‍රදේශයේදී මෝටර් රථයෙන් බස්සවා මෝටර් රථය රැගෙන ගොස් තිබුණි.

අදාළ තරුණිය කළ පැමිණිල්ලක් මත සිදු කළ විමර්ෂණයේදී පැහැරගත් මෝටර් රථය අද (24) අළුයම බුස්ස ප්‍රදේශයේදී අත්හැර දමා තිබියදී පොලීසිය විසින් සොයා ගනු ලැබ ඇත.

+++++++++++++

******************************************

(24.06.2021 – 10:51 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්වය හමුවේ නිවසේ සිට ආගමික වතාවත්වල යෙදෙන ලෙස ලබාදුන් උපදේශය අනුව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල – කාල්ටන් නිවසේදී පෙහෙවස් සමාදන්වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ තංගල්ල වනවාසී කුඩා විහාරයේ පූජ්‍ය පොල්වත්තේ ප්‍රේමානන්ද හිමියන් විසින් පෙහෙවස් සමාදන් කිරීම සිදුකළ බවයි ෴

******************************************

(24.06.2021 – 10:56 +0530 – hirunews.lk/sinhala)

ඩුබායිහීදි මියගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙසෙල්වත්ත දිනුකගේ ගෝලයෙකුගේ සහයකයෙකු රුපියල් ලක්ෂ 50 ක් සහ ගංජා සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශයේ බුද්ධි ඒකකයට ලද තොරතුරක් අනුව ඊයේ (23) රාත්‍රියේ ‘කවිෂ්ක මදුශාන් අබේවික්‍රම’ හෙවත් ‘වනාතේ චතූ’ නමැත්තා කොටිකාවත්ත ප්‍රදේශයේ කුලී නිවසක රැදී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු ඩුබායිහීදි මියගිය ‘කෙසෙල්වත්ත දිනුක’ගේ ප්‍රධාන ගෝලයකු වන දැනට ඩුබායිහි සැගවී සිටින බව කියන ‘ජූඩ් බෙට්ස්’ නැමැත්තාගේ ගෝලයෙකු බවද අනාවරණය වී තිබෙනවා.

මොහු සතුව තිබී මුදලින් රුපියල් 55,00,5520 ක මුදලක් සහ කේරළ ගංජා කිලෝ 4 යි ග්‍රෑම් 600 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴

******************************************

(24.06.2021 – 11:02 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල වැඩිකිරීමට එරෙහිව අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබා නොදෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

ඒ, පරිසර අමාත්‍යාංශයේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදින් සිදුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සමඟි ජන බලවේගය කතානායකවරයා වෙත භාරදෙනු ලැබුවේ පසුගිය 22 වනදායි. ඒ මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගේ අත්සන් ඇතිවයි.

මේ අතර, දෙමළ ජාතික සන්ධානය, උදය ගම්මන්පිළ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට සහය දක්වන්නේ ද නැද්ද යන්න පිළිබදව තවමත් තීරණයක් ගෙන නොමැති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සදහන් කළේ.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද තවමත් ඒ පිළිබදව තීරණයක් ගෙන නැහැ ෴

******************************************

(24.06.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුල මොරටුව විශ්වවිද්‍යාලය ආසන්නයේ පිහිටා ඇති රූපලාවන්‍යාගාරයක් බිඳ එහි තිබූ රුපියල් ලක්ෂ 5 කට අධික භාණ්ඩ සොරාගත් බවට සැකපිට පුද්ගලයකු මොරටුමුල්ල පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම පුද්ගලයා මීට මාස 3 කට පමණ ඉහතදී බන්ධනාගාරගතව සිට පලාවිත් සැඟව සිටි ‘කටුබැද්දේ ගස්බණ්ඩා’ නැමැති 27 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහුගෙන් මෙම භාණ්ඩ මිලදී ගෙන සන්තකයේ තබාගත් මොරටුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් සිව් දෙනෙකු (4) ද අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය සදහන් කළා ෴

******************************************

(24.06.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට එළවළු පොහාර ලබා ගැනීමට පැමිණි ගොවීන් හා නිලධාරින් අතර අද (24) උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

ගොවීන් චෝදනා කළේ ගොවිජන සේවා නිලධාරින් පිටස්තර පුද්ගලයින්ට පොහොර විකුණන බවයි.

ඇඹිලිපිටිය ගොවි ජන සේවා මධ්‍යස්ථානයට අද (24) ගොවීන් විශාල පිරිසක් පොහොර ලබාගැනීම සදහා පැමිණ සිටියා.

කෙසේ වෙතත් ගොවිජන සේවා නිලධාරින් පොහොර බෙදාදීම සම්බන්ධයෙන් මෙලෙස දැනුම්දීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

මේ අතර, වත්මන් පොහොර අර්බුදය ආණ්ඩුවේ නොහැකියාව පෙන්නුම් කරන්නක් බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසනවා.

******************************************

(24.06.2021 – 13:49 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික වටිනාකමක් සහිත බදුල්ල – මලුවේගොඩ විහාරස්ථානය මේ වනවිට ශීඝ්‍රයෙන් විනාශ මුඛයට පත්වෙමින් තිබෙනවා.

වියළුව තැන්නපංගුව ඓතිහාසික මලුවේගොඩ රජ මහා විහාරස්ථානයේ ආරම්භය වළගම්බා රජදවස සිදු වු බවටයි සාක්ෂි සැපයෙන්නේ.

එම කාලයේදී සුවිශේෂී ආකාරයෙන් මෙම විහාරස්ථානය ගොඩනැගීම හේතුවෙන් මෙම විහාරස්ථානයේ නම ද ඒ හරහා පටබැදී තිබෙනවා.

ඌව වෙල්ලස්ස කැරැල්ලේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කළ කිවුලේගෙදර මොහොට්ටාල වීරවරයා මෙම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

එවන් වටිනා ඉතිහාසයකට උරුමකම් කියන වියළුව ඓතිහාසික මලුවේගොඩ රජ මහා විහාරයට අද අත්ව ඇතිඉරණමයි මේ.

වටිනා සිතුවම් හා මුර්ති සහිත මෙම විහාරස්ථානයේ වහලය දැඩි ලෙස අබලන්ව ඉන් වැසි දිය ගලා ඒමත් සමග මෙම විනාශයන් සිදුව ඇති බවයි විහාරභාරකාරී හිමියන් පවසන්නේ.

මේ, මාතර වැලිගම උඩුකාව ප්‍රදේශයේ ස්ථාපිත ඓතිහාසික සමරවීර මුදළින්දාරාම විහාරස්ථානයයි.

වසර 136 ක පමණ ඉතිහාසයකට උරුමකම් කියන මෙම විහාරස්ථානයේ ධර්මශාලාව කලක පටන් පවතින්නේ අබලන් තත්ත්වයේයි.

මෙම පසුබිම තුළ පොහෝ දිනවල සීල සමාදාන හා ඉරුදින දහම් පාසල පැවැත්වීමද දැඩි ගැටලුවක් වී තිබෙනවා.

ගම්වාසීන් විසින් කලකට ඉහත ධර්ම ශාලාවක් ඉදිකිරීම සදහා වැඩ ආරම්භ කළ ද මුල්‍ය ප්‍රතිපාදන නොමැතිකමින් එම කටයුතු ද ඇණහිට තිබෙනවා.

******************************************

(24.06.2021 – 13:52 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපනය යනු දරුවෙකුට දිය හැකි විශාලතම දායාදයයි.

එහෙත් ඊට නිසි පහසුකම් නොමැති පවුලක් පිළිබඳව අපට වාර්තා වුණේ හම්බන්තොට, සූරියවැව ප්‍රදේශයෙන්.

හම්බන්තොට, සූරියවැව, විහාරගල ප්‍රදේශයේ පාසල් වයසේ දරුවන් පස් දෙනෙකු (5) ගෙන් යුත් මේ පවුල ජීවත් වන්නේ බොහෝ ආර්ථික දුෂ්කරතා මාධ්‍යයේයි.

පවුලේ දරුවන් දෙදෙනෙකු (2) මෙවර සාමාන්‍ය පෙළ විභාගයටත්, ශිෂ්‍යත්ව විභාගයටත් සූදානම් වනවා.

කෙසේ වෙතත්, මෙම දරුවන්ට ඉගෙනීම් කටයුතු කිරීම සඳහා ඇති ප්‍රධාන බාධාවක් වන්නේ නිවසට විදුලිය බලය නොලැබීමයි.

ප්‍රදේශයේ සෙසු නිවාසවලට විදුලිය බලය ලැබී තිබුණද, මෙම නිවසට පැමිණෙන මාර්ගයේ ඇති ගස් කිහිපයක් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් හේතුවෙන් මේ දක්වා මෙම නිවසට විදුලිය බලය ලබා දී නැහැ.

ඒ, විදුලි බලය ලබාගැනීම සඳහා විදුලි බල මණ්ඩලයට මුදල්ද ගෙවා ඇති පසුබිමකයි.

මෙම පවුලේ පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් තරුණ සංගමයක සහයෝගය ඇතිව නිවස තුල විදුලි රැහැන් සහ උපකරණ සවිකර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ දැඩි දුෂ්කරතාවට පත්ව සිටින්නේ හෙට ලොව දකින්නට පෙර මග බලා සිටින මෙම දරුවන්.

පාසල්ද නොපැවැත්වෙන මේ දිනවල මෙම දරුවන්ට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපනය ලැබීමට හෝ පහසුකම් නැහැ.

සෑම නිවසකටම විදුලිය ලබාදීම රජයේ ප්‍රතිපත්තිය වී ඇති පසුබිමක, මෙම නිවසට විදුලිය ලබාදිම සඳහා කිසියම් හෝ බාධාවක් ඇත්නම් ඊට පිළියම් යොදා මේ දරුවන්ගේ හෙට දවස ආලෝකමත් කිරීම බලධාරීන් සතු වගකීමක් නොවන්නේද ?

******************************************

(24.06.2021 – 14:06 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 53 ක වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් කළුතර දකුණ පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු තුන්දෙනා (3) ලබන මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට අද (24) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ බද්දේගම පිවිසුම අසළදී පසුගිය 18 වනදා අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා සහ අනෙක් දෙදෙනා (2) සන්තකයේ තිබී සොයාගත් මත්කුඩු තොගයේ බර කිලෝග්‍රෑම් 52 යි ග්‍රෑම් 728 ක්.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති අතර,

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා මීට පෙර ද නිළ ඇඳුමෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.

ඒ හේතුවෙන් සැකකරුවන් බන්ධනාගාර ගත කිරීමෙන් පසු අනෙක් සැකකරුවන්ගෙන් වෙන්ව තබන ලෙසට බන්ධනාගාර අධිකාරීවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටියා.

එසේම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් පිටුපස විදේශ සම්බන්ධතා ඇති බවට තොරතුරු ලැබී ඇති නිසා තවත් දුරකථන අංක 10 ක ඇමතුම් විශ්ලේෂණ වාර්තා ලබාදෙන ලෙස දුරකථන සමාගම්වලට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරීවරයාට සහ එම දුරකථන සමාගම්වලට අදාළ නියෝගය නිකුත් කළා.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා නිළ ඇඳුමෙන් මෝටර් රථයෙන් කොළඹ දෙසට යාම සඳහා හික්කඩුවේ සිට බද්දේගම පිවිසුම වෙත ගමන් කරමින් සිටියදී අදාළ මත්කුඩු තොගය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ සංවිධානාත්මක අපරාධ නිවාරණ නිලධාරීන් විසින්.

මෙම මත්කුඩු දැනට විදේශගතව සිටින ‘සලිඳු මල්ෂික ගුණසේකර’ හෙවත් ‘පානදුර සලිඳු’ නැමති සංවිධානාත්මක අපරාධකරුට අයත් බවට හෙළි වී තිබෙනවා.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා මීට පෙර ද මෙම අපරාධකරුට අයත් මත්කුඩු අදාළ මෝටර් රථයෙන්ම ප්‍රවාහනය කර ඇති බවට සහ ඔහු සමඟ වට්ස් ඇප් ඔස්සේ සබඳතා පවත්ව ඇති බවට අනාවරණ වී තිබෙනවා.

******************************************

(24.06.2021 – 15:31 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා තිබියදී සුඛෝපභෝගී ජීප් රථයකින් හෙරොයින් රැගෙන ගිය අඹු සැමි යුවළක් අලුත්ගම නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 600 ක් සහ රුපියල් 135,000 ක මුදලක් ද සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුවන් කරන්නාගොඩ – නෑබොඩ – වරකාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන් කුඩා පැකට් 400 ක අසුරා මේවා තුවාලයක් ඇති බවට ඇගවෙන පරිදි උදරයට තබා වෙළුම්පටි හා ප්ලාස්ටර් යොදා රැගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.

******************************************

(24.06.2021 – 16:05 +0530 – hirunews.lk/sinhala)

මීගමුවේ කෝටිපති ව්‍යාපාරිකයෙකු ඝාතනය කළ බවට සැකපිට ඔහුගේ බිරිඳ සහ නිවසේ මෙහෙකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ව්‍යාපාරිකයා සිය නිවසේදී මිය ගොස් තිබුණේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 03 වන දිනයි.

එම මරණය සැක සහිත බවට ඥාතීන් විසින් කළ පැමිණිල්ලකට අනුව සිදුකෙරුණු දීර්ඝ විමර්ශනයකින් අනතුරුවයි මිය ගිය ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ සේවකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴

******************************************

(24.06.2021 – 16:39 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (25) දිනයේදී ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා හෙට (25) රාත්‍රී 08:30 ට මෙම ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවයි ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ.

මේ අතර, පොසොන් පොහොය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ යහපත් රටක් ගොඩනැගීමට අදාළ වූ තථාගත දහමත්, දස රාජ ධර්මයත් පදනම් කර ගනිමින් රාජ්‍ය සංකල්පය, තම පාලනය ද පූර්වාදර්ශය කර ගන්නා බවයි.

එමෙන්ම, පොසොන් පෝ දිනට සමගාමීව අනුරාධපුර – මිහින්තලා පුද බිමේ ආලෝක පූජාව ද අද (24) පස්වරුවේ පැවැත්වුණා.

මේ අතර, කොරෝනා වසංගත තත්වය හමුවේ නිවසේ සිට ආගමික වතාවත්වල යෙදෙන ලෙස ලබාදුන් උපදේශය අනුව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල – කාල්ටන් නිවසේදී පෙහෙවස් සමාදන්වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ තංගල්ල වනවාසී කුඩා විහාරයේ පූජ්‍ය පොල්වත්තේ ප්‍රේමානන්ද හිමියන් විසින් පෙහෙවස් සමාදන් කිරීම සිදුකළ බවයි.

එමෙන්ම සෑම පුන් පොහෝ දිනකම පවත්වන අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාව අද (24) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ෴

******************************************

(24.06.2021 – 17:58 +0530 – hirunews.lk/sinhala)

හික්කඩුව මුහුදු තීරයට ඊයේ (23) ගොඩ ගසා තිබූ කුඩා මසුන් මිය ගොස් ඇත්තේ නෞකාවේ රසායනික ද්‍රව්‍ය විෂවීමෙන් දැයි තහවුරු කර වාර්තාවක් ලබා ගන්නා ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (24) නියෝග කර තිබෙනවා.

ඒ අනුව ජල සාම්පල් සහ මත්ස්‍ය සාම්පල් නාරා ආයතනයට හා දෙහිවල සත්ත්ව උද්‍යානයට යැවීමට කටයුතු කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

හික්කඩුව වනජීවි උද්‍යාන භාරකරු උත්පල අදාරංග ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමකින් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා.

හික්කඩුව අවට මුහුදු වෙරළට මිය ගිය කුඩා මසුන්ට අමතරව මියගිය ජෙලිෆිෂ් වර්ගයේ මත්ස්‍යයෙකු ඊයේ (23) ගොඩ ගසා තිබුණා.

මේ අතර, ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ඇති වූ ගින්නෙන් මෙරට පරිසරයට සිදුවූ හානි සොයා බැලීම සඳහා දිවයිනට පැමිණ සිටින ජගත් සංවිධානයේ පරිසර වැඩසටහනේ විද්‍යාඥයින්ගේ වාර්තාව ලබන සඳුදා නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔවුන් පසුගිය දා නෞකාව සහ බලපෑමට ලක්වූ මුහුදු ප්‍රදේශය, නිරීක්ෂණයට ලක් කළ අතර, පසුව අදාළ ක්ෂේත්‍රවල බලධාරීන් සමඟ සාකච්ඡාවකට ද එක්වුණා.

******************************************

(24.06.2021 – 18:01 +0530 – hirunews.lk/sinhala)

දේශීය අංගම්පොර සටන් කලාවට පනවා තිබෙන තහනම ඉවත් කිරීමට අදාළ ගැසට් පත්‍රය කඩිනමින් නිකුත් කර එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

එම සටන් කලාව යටත් විජිත යුගයේ, 1818 ඔක්තෝම්බර් මාසයේදී තහනම් කර ඇති අතර, එය වසර 202 කට අධික කාලයක් පාරම්පරිකව පවත්වාගෙන එනවා.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ මෙවැනි දේශීය සටන් ක්‍රම හා ජන ක්‍රීඩා ජාතික මට්ටමින් පුහුණු කිරීම සඳහා මධ්‍යස්ථානයක්ද ඉදිකිරීමට බලාපොරොත්තු වන බවයි ෴

******************************************

(24.06.2021 – 19:19 +0530 – hirunews.lk/sinhala)

නිසි පරිදි පොහොර නොලැබීම හේතුවෙන් සිය වගාවන් විනාශයට පත්වෙමින් පවතින බව ගොවීන් චෝදනා කරනවා.

පොහොර නොලැබීම නිසා අපහසුතාවයට පත්වූ කුඩා තේ වතු කර්මාන්තයේ නිරත ගොවීන් පිරිසක් ගාල්ල – යක්කලමුල්ල තේ වතුයායක අද (24) දහවල් උද්ඝෝෂණයක නිරත වූයේ විරෝධතා පුවරු ද ප්‍රදර්ශනය කරමින්.

ඇඹිලිපිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට එළවළු සඳහා යොදන පොහොර ලබා ගැනීමට පැමිණි ගොවීන් හා නිලධාරීන් අතර අද (24) පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ඒ, ගොවිජන නිළධාරීන් පොහොර ලබාදීම වෙනත් දිනයක සිදුකරන බවට දැනුම්දීමත් සමඟයි.

මේ අතර, විල්ගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ මාරක ප්‍රදේශයේ වෙළදසැලක ගබඩා කර තිබූ පොහොර තොගයක් පාරිභෝගික සේවා නිලධාරීන් පැමිණ විමර්ශනය කිරීමෙන් පසු රජයේ පාලන මිලට ගොවීන්ට ලබාදෙන ලෙස ව්‍යාපාරිකයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව පොහොර මිටියක් රු. 5000 කට අලෙවි කළ ව්‍යාපාරිකයා රුපියල් 1500 කට පොහොර මිටියක් ගොවීන්ට ලබාදීමට කටයුතු කළා.

@@@@@@@@@@@@@@@

(24.06.2021 – 12:55 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලය ඔස්සේ ඉගෙනුම් කටයුතු සිදු කිරීමේ දී සිසුන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය දිගින් දිගටම වාර්තා කළා. කෙසේ වෙතත්, තවමත් එම ගැටළුවලට සාර්ථක විසදුමක් ලැබී නැහැ.

බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට මැදිව පිහිටා ඇති වරාදොල ගම්මානයේ දරුවන්ට ද ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉගෙනුම් කටයුතු කිරීමට සිදුව ඇත්තේ අඩි 120 ක් පමණ උස ගසක් මුදුනේ රවුටරයක් සවි කිරීමෙන්.

බිබිල – මැදගම – පුබ්බාරගම ගම්මානයේ දරුවන් ද දුරකථන සංඥා නොමැතිවීමෙන් පීඩාවට පත්ව සිටිනවා. සංඥා පහසුකම් ඇති ස්ථානයක තාවකාලිකව අටවා ගත් පැළක සිටයි ඔවුන් පාසල් අධ්‍යාපන කටයුතුවල නිරත වන්නේ.

මේ අතර, අන්තර්ජාලය ඔස්සේ අඩු පහසුකම් යටතේ පාසල් ළමයින් ඉගෙනුම් කටයුතු සිදුකළ තාවකාලික ඉදිකිරීමකට මාතර – දෙයියන්දර – මුල්ලහේන ප්‍රදේශයේ දී ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මීට පෙර ද අවස්ථා දෙකකදී (2) කිසියම් පිරිසක් පිරිසක් විසින් අදාළ ඉදිකිරීම ගිනි තබා විනාශ කර ඇති බවයි වාර්තා වුණේ.

++++++++++++++++++++++++

(24.06.2021 – 12:58 +0530 – hirunews.lk/sinhala)

මෙවර පොසොන් පොහෝ දිනය ද බෞද්ධ සැදැහැවතුන්ට සැමරීමට සිදුව ඇත්තේ කොරෝනා වසංගතය මැද නිවෙස්වල සිටයි.

ඒ අනුව ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් නිවසට වී පෙහෙවස් සමාදම් වෙමින් ප්‍රතිපත්ති පූජාවල යෙදෙන අයුරු හිරු ප්‍රවෘත්ති අංශය කළ සොයා බැලීමකදී දක්නට ලැබුණා.

එමෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පන්සල් වලට ජනතාව පැමිණීම සීමා කර ඇති අතර මේ නිසා පන්සල් ගෙන තිබුණේ පාළු ස්වභාවයක්.

වෙනදාට පොසොන් පෙහොය දිනයදා පෙහෙවස් සමාදන් වන උවැසි උවැසියන්ගෙන් අතුරු සිදුරු නොමැති පිරී පවතින අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳුන් වැසවසන මහමෙව්නා උයන අද (24) සැදැහැවතුන්ගෙන් තොර ප්‍රදේශයක් බවට පත්ව තිබුණා.

එමෙන්ම රුවන්වැලි මහා සෑය ඇතුළු අටමස්ථාන විහාරස්ථාන වලද දක්නට ලැබුණේ එවන් තත්ත්වයක්.

කෙසේ වෙතත්, වෙහෙර විහාරස්ථානවල වැඩවසන ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ආගමික වාරිත්‍ර සහ වතාවත් සිදුවුණු බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.

මේ අතර කොරෝනා වසංගත තත්වය හමුවේ නිවසේ සිට ආගමික වතාවත්වල යෙදෙන ලෙස ලබාදුන් උපදේශය අනුව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තංගල්ල – කාල්ටන් නිවසේදී පෙහෙවස් සමාදන්වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ තංගල්ල වනවාසී කුඩා විහාරයේ පූජ්‍ය පොල්වත්තේ ප්‍රේමානන්ද හිමියන් විසින් පෙහෙවස් සමාදන් කිරීම සිදුකළ බවයි.

++++++++++++++++++++++

(24.06.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (23) දිනයේ මෙරටින් වාර්තාවූ ආසාදිතයන් 2,196 දෙනාගෙන් වැඩිම පිරිසක් එනම් 436 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. ඉන් 64 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ නිට්ටඹුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන්.

කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවලින් ඊයේ (23) ආසාදිතයන් 300 ඉක්මවා වාර්තාවී ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයන් 318 ක් වාර්තාවී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති වෙළඳ කලාප 14 ම ආවරණය වන පරිදි එන්නත්කරණය මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අද (24) සීතාවක සහ කොග්ගල ආයෝජන කලාපවල කර්මාන්තශාලා සේවකයින්ට එන්නත් ලබාදීම සිදු කෙරෙන බවයි ආයෝජන කලාපවල විධායක අධ්‍යක්ෂ එම්.කේ.ඩී. ලෝරන්ස් මහතා සඳහන් කළේ. ඒ අනුව වෙළඳ කලාපවල සේවකයන්ට ලබාදීම සඳහා එන්නත් 1,30,000 ක් වෙන් කර තිබෙනවා.

මේ අතර ඊයේ (23) රාත්‍රි 10 සිට යළි දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවනු ලැබුවා. එම සංචරණ සීමා හෙට (25) අලුයම හතර (04:00) දක්වා බලපැවැත්වෙනු ඇති.

මේ අතර ඉන්දියාවෙන් ප්‍රථම වරට හඳුනාගත් නව ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය තවත් රටවල් 9 ක සීග්‍රයෙන් ව්‍යාප්ත වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

ඇමරිකාව, පෘතුගාලය, ස්විට්සර්ලන්තය, ජපානය, පෝලන්තය, නේපාලය, රුසියාව සහ චීනය යන රටවලින් එලෙස නව ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය වාර්තාවී ඇති බවයි එම සංවිධානය සඳහන් කළේ.

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,639 දෙනෙකු අද (24) දිනයේ පිටවගොස් තිබේනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 212,825 ක් ෴

++++++++++++++++++++++

(24.06.2021 – 17:26 +0530 – hirunews.lk/sinhala)

වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයට අයත් බොරගස් හුලංකපොල්ල ප්‍රදේශයෙන් ඊයේ (23) දින කොවිඩ් ආසාදිතයින් 40 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ පසුගිය දින කිහිපයේ වාර්තා වූ රෝගීන්ගේ ආශ්‍රිතයින් 30 දෙනෙකු සහ අහඹු ලෙස සිදුකර තිබූ PCR පරීක්ෂණවලින් ආසාදිතයින් 10 දෙනෙකු ලෙසයි.

එම රෝගීන් සියලු දෙනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

රෝගීන් විශාල පිරිසක් එකවර වාර්තාවීම හේතුවෙන් බොරගස් හා රේන්දපොළ ප්‍රදේශවල සියලු වෙළෙඳසැල් වසා දැමීමට ද ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කටයුතු කර තිබේනවා.

එම ප්‍රදේශවල ජනතාවගේ සංචරණ කටයුතු ද සීමා කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර හුදකලා කර ඇති ගිනිගත්හේන කඩවල වතු යායෙන් නව අසාදිතයන් 24 දෙනෙකු ඊයේ (23) හඳුනාගෙන තිබේනවා ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1228 ක් වාර්තාවී තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා ආසාදිතයන් 247,337 ක් වාර්තාවී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *