ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව දිවයින පුරා ස්ථාන කිහිපයක උද්ඝෝෂණ

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව දිවයින පුරා ස්ථාන කිහිපයක උද්ඝෝෂණ

*********************************************

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව දිවයින පුරා ස්ථාන කිහිපයක උද්ඝෝෂණ

(23.06.2021 – 15:07 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ දිවයින පුරා ස්ථාන කිහිපයක අද (23) උද්ඝෝෂණ පැවැත්වුවා.

ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ උද්ඝෝෂණයක් මොරටුව නගරයේදී පැවැත්වුණා.

මෙලෙස ස්ථාන කිහිපයකම මෙම උද්ඝෝෂණ පැවැත්වුණා.

******************************************

(23.06.2021 – 14:33 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ඇති වූ ගින්නෙන් පසු පානදුර සිට මීගමුව දක්වා ධීවර කටයුතු අත්හිටුවීමෙන් බලපෑමට ලක්වූ සෑම ධීවරයෙකුටම රුපියල් ලක්ෂ 5 බැගින් වූ වන්දි ගෙවන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්ව තිබෙනවා.

ඒ, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන සරත් ඉද්දමල්ගොඩ පියතුමා සහ ධීවරයින් දෙදෙනෙකු (2) විසින්.

අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ නීතිපතිවරයා ඇතුළු 12 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ නෞකාව ගිනි ගැනීමෙන් පසු ධීවර කටයුතු තාවකාලිකව තහනම් කිරීමට රජය පියවර ගැනීමෙන් මීගමුව ප්‍රදේශයේ ධීවර පවුල් 7753 කගේ ජීවනෝපායන් මුළුමනින්ම අහිමි වී ඇති බවයි.

එමෙන්ම, මීගමුව ප්‍රදේශයේ කරවල වේලීමේ නියුතු තවත් ධීවර පවුල් 2130 කට ද රැකියා අහිමි වී ඇති බවට පෙත්සම්කරුවන් චෝදනා කරනවා.

එමෙන්ම, මොරටුව – මුරවත්ත වෙරළට සහ ලුනාව කළපුවට අද (23) මියගිය කැස්බෑවන් දෙදෙනෙකුගේ (2) සිරුරු ගොඩගසා තිබුණා ෴

******************************************

(23.06.2021 – 15:17 +0530 – hirunews.lk/sinhala)

කාර්මික දෝෂයකට ලක් වූ ලොරි රථයක් අලුත්වැඩියා කරමින් සිටි පුද්ගලයකු මතට එය කඩාවැටීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කාර්මික දෝෂයට ලක් වූ ලොරි රථය මොහු විසින් ආධාරකය යොදවා ඔසවා සකස් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.

මියගිය පුද්ගලයා මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තිදරු පියෙක් ෴

******************************************

කුලසිරි බුදවත්ත සූරීන් අභාවප්‍රාප්ත වෙයි

(23.06.2021 – 15:40 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීණ නර්තනාචාර්ය කුලසිරි බුදවත්ත කලාකරුවා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට ඔහු 71 හැවිරිදි වියේ පසුවූවා.

උඩරට සහ පහතරට නර්තන සම්ප්‍රදායන් දෙකෙහිම විශේෂඥතාවක් දැක්වූ කුලසිරි බුදවත්තයන් මෙරට නර්තන කලාවේ ප්‍රගමනයට ඉමහත් දායකත්වයක් සැපයූ ප්‍රවීණ නර්තන ශිල්පියෙක්.

සාම්ප්‍රදායික දේශීය නර්තන කලාවේ අක්මුල් සිඳ බිඳ නොගත් නව නර්තන පරපුරක් බිහිකිරීමේ මෙහෙවරට ප්‍රමුඛව දායකත්වය සැපයූ කුලසිරි බුදවත්තයන්ගේ ගුරුහරුකම් ලැබ නර්තන කලාවට පිවිසි පිරිස් බොහෝමයි.

අවුරුදු දෙකකට (2) ආසන්න කාලයක් අසනීප තත්වයෙන් සිටි මෙම කලාකරුවා සිය දිවි සැරියේ 71 වන ඉම පසුකරද්දී එයට සමුදුන්නේ ගල්කිස්ස කලාපුරයේ පිහිටි සිය නිවසතුළදීයි.

(23.06.2021 – 15:38 +0530 – sinhala.adaderana.lk)

ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

1950 මැයි මස 6 වන දින උපත ලබා ඇති ඒ මහතා මියයන විට 71 වන වියේ පසුවිය.

වසරකට අධික කාලයක් අසනීපව සිටි ඒ මහතා ගල්කිස්ස කලා පුරයේ, පිහිටි සිය නිවෙසේදී අභාවප්‍රාප්ත වූ බව ඒ මහතාගේ ඥාතීන් පැවසීය.

ශ්‍රී ලංකාවේ නර්ථන ක්ෂේත්‍රයට සුවිශේෂී මෙහෙයක් කළ ඒ මහතා මෙරට පාරම්පරික කලාව රැකගැනීමට ද ප්‍රමුඛ මෙහෙයක් ඉටු කළේය.

කුලසිරි බුදවත්ත මහතා බුදවත්ත ගුරුකුලය මුලික කරගනිමින් දේශීය උඩරට නර්තන කලාවට ජීවය ලබාදුන් පරපුරක සාමාජිකයෙක් විය.

මෙරට නර්තන කලා කෙත පෝෂණය කිරීමේ ඉතා විශිෂ්ට සේවාවක නිරත වු ඒ මහතා නර්තන ආචාර්යවරයෙකු ද වේ.

වර්තමාන නර්තන ක්ෂේත්‍රයේ සිටින බොහෝ නර්තන ශිල්පීන් කුලසිරි බුදවත්ත මහතා යටතේ ශිල්ප හදාරා තිබේ.

මේ වන විට ඒ මහතාගේ දේහය පීසීආර් පරීක්ෂණ සඳහා ගෙන ගොස් ඇති අතර, අවසන් කටයුතු පිළිබඳ ඉදිරියේ දී දැනුම් දීමට නියමිතය ෴

******************************************

(23.06.2021 – 16:15 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේදී මියගිය බවට සැක කෙරෙන ‘මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ගේ මස්සිනා හෙරොයින් සමඟින් මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය විසින් ඊයේ (22) සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10 ක්, රුපියල් ලක්ෂ 25 ක මුදලක් සහ රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා රන් භාණ්ඩද සොයාගෙන ඇති බව සඳහන්.

සැකකරු මෝටර් රථයක ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුත් සමඟ එහි ගමන් ගත් තවත් අයෙකු ද පොලිස් භාරයට ගනු ලැබුවා. ඔහු මෙරට ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක කළමනාකරුවෙකුද වනවා ෴

******************************************

(23.06.2021 – 17:15 +0530 – hirunews.lk/sinhala)

විදුලි කාන්දුවක් හේතුවෙන් මියගිය බවට පැවසුණු පොළොන්නරුව – හබරණ – කිතුල්උතුව ප්‍රදේශයේ මව සහ පුතු වෙඩි තබා ඝාතනය කර ඇති බවට හෙළ වී තිබෙනවා.

එම වෙඩි තැබීම සිදුකළ 24 හැවිරිදි තරුණයා අද (23) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

පසුගිය 20 වනදා අලුයම 45 හැවිරිදි මව සහ 13 හැවිරිදි ඇගේ දරුවා පැල් රකිමින් සිටියදී එය ගිනිගෙන තිබූ අතර, විදුලි රැහැනකින් සිදුවූ විදුලි කාන්දුවකින් එය සිදුව තිබූ බව එදින ප්‍රකාශ වුණා.

කෙසේ වෙතත්, මව සහ පුතා සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබුණේ මියයෑමට හේතුව වෙඩි තැබීමක් බවයි ෴

******************************************

(23.06.2021 – 19:30 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරවෙල සහ මුල්ලේරියාව යන ප්‍රදේශ වලින් හිස නොමැති බිළිඳු මළ සිරුරු දෙකක් (2) සොයාගෙන තිබෙනවා. බණ්ඩාරවෙල, ඇල්ල – කරදගොල්ල ප්‍රදේශයේ නිවසක් අසලින් එක් බිළිඳු මළ සිරුරක් සොයාගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. එහි අන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

එමෙන්ම මුල්ලේරියාව කැළණි නදී මාවත ප්‍රදේශයේ වගුරු බිමක තිබී තවත් බිළිඳු මළ සිරුරක් සොයාගෙන ඇති අතර එම මළ සිරුරේ ද හිස කොටස නොමැති බවයි පොලිසිය සඳහන් කළේ ෴

******************************************

(23.06.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala)

තම වගාවන්ට අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින් දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් විරෝධතාවල නිරත වුණා.

මේ අතර, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සදහන් කළේ සහනාධාර මිලට පොහොර ලබාදීම සදහා පෞද්ගලික අංශයෙන් මේ වන විටත් පොහොර මිලදී ගනිමින් සිටින බවයි.

කෙසේ වෙතත් එම ක්‍රියාවලිය අවසන් වීම සදහා තවත් කාලයක් ගත වන බැවින් ගොවීන්ට පොහොර ලබාදීම තවදුරටත් ප්‍රමාද වනු ඇති. ගොවීන් මැසිවිලි නගන්නේ වගාවන් සදහා පොහොර යෙදිය යුතු කාලය අවසන් වී ඇති නමුත් තවමත් පොහොර ලබා ගැනීමට නොහැකි වී ඇති බවටයි. අද (23) දිනයේදීත් පොහොර නොමැති බවට පවසමින් ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වුණා.

ඌවපරණගම – උඩුහාවර ප්‍රදේශයේ ගොවීන් සහ බදුල්ල – මැදවෙල – කරගහඋල්පත ගොවීන් ද විරෝධතාවයේ නිරත වූයේ පොහොර නොමැති බවට පවසමින්.

එමෙන්ම, යල කන්නයේ වගාවන් සදහා පොහොර නොමැතිවීමෙන් වගාවන් විනාශ වී ඇති බව පවසමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ද අද කැප්පෙටිපොළ නගරයේදී විරෝධතාවක නිරත වුණා.

මීට අමතරව ගාල්ල – හියාරේ ප්‍රදේශයේ ද බුලත් ගොවීන් පොහොර නොමැතිකමින් දැඩි අපහසුතාවට පත්ව සිටින අතර, බණ්ඩාරවෙල ප්‍රදේශයේ ද ගොවීන් මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ තම වගාවන්ට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින්.

******************************************

(23.06.2021 – 20:58 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘සුපුන් තරංග’ගේ ගෝලයෙක් T56 උණ්ඩ 670 ක් සමග බෙලිඅත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@@

(23.06.2021 – 14:21 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්වය හමුවේ බිඳ වැටී ඇති සංචාරක ක්‍ෂේත්‍රයේ නිරතවූවන්ට රජය ලබාදී ඇති සහන ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් ලබන 29 වනදා විශේෂ සාකච්ඡාවක් පවත්වන බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළා.

මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

සංචාරක කර්මාන්තයට අදාළ විවිධ අංශ නියෝජනය කරන සංවිධාන සහ නියෝජිතයින් ඊට සහභාගිවන බවයි සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ ෴

++++++++++++++++++++++++++

(23.06.2021 – 14:46 +0530 – hirunews.lk/sinhala)

සමෘද්ධි සහනාධාරය හා රු. 5000 දීමනාව නොලැබීමෙන් හේනානිගල දකුණ ආදීවාසී ගම්මානයේ පවුල් රැසක් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.

ඔවුන් පවසන්නේ, කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වුවද තමන් මුහුණ දෙන ගැටලු සඳහා රාජ්‍ය නිලධාරින්ගේ අවධානයක් යොමුව නොමැති බවයි.

කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ආදී වාසී පවුල් 150 ක් පමණ දෙහිඅත්තකණ්ඩිය හේනානිගල දකුණ ආදිවාසී ගම්මානයේ පදිංචි කර ඇත්තේ 1983 වසරේදී.

මේ වනවිට එම පවුල්වල දෙවන හා තුන්වන පරම්පරා ලෙස අනුපවුල් 600 ක් පමණ දක්වා වර්ධනය වී තිබෙනවා.

ඔවුන් බහුතරයකට එදාවේල සරිකර ගැනීමට දැඩි ජීවින අරගලයට මුහුණදීමට සිදුව තිබෙනවා.

පවත්නා කොවිඩ් ව්‍යාප්ති තත්ත්වය හමුවේ කුළී වැඩක් සොයාගැනීමට නොහැකි වී ඇති බවයි ආදි වාසී සාමාජිකයන් පවසන්නේ.

ආදීවාසී පවුල්වල අනුපවුල්වීම හේතුවෙන් තමන්ට සමෘද්ධිය හෝ රුපියල් 5,000 දීමනාව හිමි නොවන බවයි ඔවුන් පවසන්නේ.

කැලයෙන් සොයා ගන්නා දෙයකින් එක්වේලක් පමණක් ගැටගසා ගන්නා ඔවුන් තමන් මේ වනවිට මුහුණ දෙන තත්ත්වය මෙලෙස හෙළි කළා.

++++++++++++++++++++

(23.06.2021 – 16:47 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 1890 දෙනෙකු සුවය ලබා අද (23) රෝහල්වලින් පිටවගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 211,186 ක් ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1358 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 245,271 ක් වනවා ෴

+++++++++++++++++++++

(23.06.2021 – 16:52 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගෝපදේශ නොපිළිපදින පුද්ගලයන් වෙනුවෙන් පැනවෙන රුපියල් 5000 ක දඩය ගැසට් පත්‍රයක් මගින් රුපියල් 50,000 ක් ලෙසට වෙනස් කර හෝ කොවිඩ් මර්දනය වෙනුවෙන් ඉලක්කගතව කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

මාර්ගෝපදේශ නොපිළිපදින පුද්ගලයන් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සහ පොලිසිය ඒකාබද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවයි අමාත්‍යවරිය අවධාරණය කළේ.

රුපියල් මිලියන 250 ක වියදමින් කළුතර නාගොඩ මහ රෝහලේ ස්ථාපිත කළ හෘද කැතීටරීකරණ රසායනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළා.

අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නේ කොවිඩ් මර්දනය කර රට බේරා ගැනීමට හැකියාව ඇති බවට දැඩි විශ්වාසයක් පවතින බවයි.

පළමු (1) සහ දෙවන (2) කොවිඩ් රැළි මර්දනය කිරීමට හැකිවූයේ නම් තුන්වන (3) රැල්ල මරදනය කිරීම යනු අපහසු කාර්යයක් නොවන බව ද ඇය සඳහන් කළා.

සියලු කටයුතු සිදුකරමින් පවතින්නේ එම ඉලක්කය සහිතව බව ද අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පෙන්වා දෙනවා.

ඒ වෙනුවෙන් පනවන නීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද සෞඛ්‍ය අමාත්‍යවරිය අවධාරණය කළා.

+++++++++++++++++++++

(23.06.2021 – 18:35 +0530 – hirunews.lk/sinhala)

‘කොවිඩ්-19 ව්‍යාප්තිය මර්ධන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය’ ලබන 25 වැනිදා රට තුල සංචරණ සීමා ලිහිල් කලහොත් අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමට ලබා දී ඇති අවසරය අනුව නැවතත් සියලුම ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරික කටයුතු සඳහා නැවත විවෘත කළ හැකි බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ පොළ විවෘත කිරීමට අවස්තාව හිමි වනු ඇති.

කෙසේ වෙතත් සංචරණ සීමා පැනවීමේ කාලසීමාවන් වෙනස් වුවහොත් මෙම අවසරයද ඊට අනුකූලව වෙනස් වනු ඇති බවටයි එම නිවේදනයේ දැක්වෙන්නේ ෴

+++++++++++++++++++++++++++

(23.06.2021 – 18:41 +0530 – hirunews.lk/sinhala)

අද (23) රාත්‍රී 10 සිට බල පැවැත්වෙන පරිදි යළි මුළු දිවයිනටම සංචරණ සීමා පැනවෙනවා. ඒ අනුව එය අවසන් වන්නේ 25 වනදා සිකුරාදා අලුයම 4 ටයි. පොසොන් උත්සවය හේතුවෙන් ජනතාව ඒකරාශී වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

සංචරණ සීමා ඉවත් කෙරුණද ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ නොපිළිපදින්නේ නම් ඉදිරියේ ගැටළුකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මේ අතර, ආර්ථික මධ්‍යස්ථාන හෙට (24) වසා තැබෙන අතර කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ 25 වන දින සංචරණ සීමා ඉවත් කළ හොත් අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට දී ඇති අවසරය මත විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළදපොළ එදින සිට විවෘත කළ හැකියි බවයි.

සංචරණ සීමා පිළිබද වෙනසක් සිදුවන්නේ නම් එය පසුව දැනුම් දෙන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

කෙසේ වෙතත්, පෑලියගොඩ මත්ස්‍ය වෙළදපළේ වෙළදුන් ප්‍රකාශ කළේ නෞකාව ගිනි ගැනීම නිසා ජනතාව මත්ස්‍යයින් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බැවින් තමන් දැඩි දුෂ්කරතාවයට මුහුණ දී සිටින බවයි.

(23.06.2021 – 19:37 +0530 – hirunews.lk/sinhala)

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත මෙන්ම මොඩර්නා එන්නත ද යොදා ගැනීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

මේ අතර ෆයිසර් එන්නත් මාත්‍රා 78,000 ක් අදියර තුනක් (3) යටතේ ලබන මාසයේ මෙරටට ලැබීමට නියමිතයි.

ජූලි 5, 12 සහ 19 යන දිනවල ෆයිසර් එන්නත් මාත්‍රා 26,000 බැගින් මෙරටට ලැබෙන බවයි අද (23) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ද ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 2,64,000 ක් ලැබෙන බව ද ඔහු එහිදී සඳහන් කළා.

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව නවලක්ෂ විසි පන්දහස් දෙසිය හතලිස් දෙනෙකුට (9,25,240) ලබාදී ඇති අතර, දෙවන (2) මාත්‍රාව ලබාදීම සඳහා තවත් එන්නත් ලක්ෂ හයක (6,00,000) හිඟයක් පවතිනවා.

එම හිඟ එන්නත් සඳහා ෆයිසර් එන්නත භාවිත කිරීමට අදාළව අවසන් නිර්දේශ මෙම සතියේදී බෝවන රෝග පිළිබඳ කමිටුව විසින් ලබාදීමට නියමිත බවයි අද (23) පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ.

මේ අතර කොරෝනා මාර්ගෝපදේශ නොපිළිපදින පුද්ගලයන්ට නියම කරන රුපියල් 5000 දඩය 50,000 දක්වා ඉහළ නංවන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා.

ඇය මේ බව කියා සිටියේ කළුතර – නාගොඩ මහ රෝහලේ ස්ථාපිත කළ හෘද කැතීටරීකරණ රසායනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

බේරුවල නගර සභාවේ කම්කරුවන් හයදෙනෙකුට (6) කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඔවුන්ගේ ආශ්‍රිත සේවකයන් 17 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති බවයි බේරුවල නගරාධිපති මසාහීම් මොහොමඩ් මහතා අද (23) පැවති මාසික සභා රැස්වීමේදී කියා සිටියේ ෴

+++++++++++++++++++

(23.06.2021 – 19:21 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් තත්ත්වය මර්දනය කිරීම සඳහා පිහිටුවා ඇති කාර්ය සාධක බලකාය සම්පූර්ණයෙන් අසාර්ථක බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (23) පෙරවරුවේ ඔහු එක්සත් ජාතික පක්ෂට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ වූ අතර, වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ප්‍රථම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයේ විරෝධතාවක් ආරම්භ කළේ ඉන්ධන මිල සහ ජීවන වියදම ඉහළ යාම ඇතුලු කරුණු කිහිපයක් මුල් කර ගනිමින්.

ඔවුන් විරෝධතා පුවරු ද රැගෙන සභා ගර්භය මැදට පැමිණ, බිම වාඩිවී විරෝධතාව සිදුකරනු ලැබුවා.

විරෝධය පැවතියද සභාවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, ඊයේ (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් කෝටි විසි දහසක (20,000) පරිපූරක ඇස්තමේන්තුව පිළිබද විවාදය අනතුරුව ආරම්භ කළා.

+++++++++++++++++++++

(23.06.2021 – 20:18 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (22) දිනයේ කොවිඩ් ආසාදිත මරණ 65 ක් සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (23) තහවුරු කර තිබෙනවා.

එම මරණ 65 න් 25 ක් කාන්තාවන් වන අතර සෙසු 40 දෙනා පිරිමි පුද්ගලයින්.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2769 ක් ලෙසටයි.

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 820 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (23) දිනයේ හමුවූ ආසාදිතයන් ගණන 2178 ක්. ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 246,091 ක් හමුවී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *