සන්නිවේදන පහසුකම් නොමැති ග්‍රාමීය ප්‍රදේශවලට කුඩා පරිමාණ සන්නිවේදන මධ්‍යස්ථාන

සන්නිවේදන පහසුකම් නොමැති ග්‍රාමීය ප්‍රදේශවලට කුඩා පරිමාණ සන්නිවේදන මධ්‍යස්ථාන

*********************************************

සන්නිවේදන පහසුකම් නොමැති ග්‍රාමීය ප්‍රදේශවලට කුඩා පරිමාණ සන්නිවේදන මධ්‍යස්ථාන

(22.06.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

සන්නිවේදන පහසුකම් නොමැති ග්‍රාමීය ප්‍රදේශ හඳුනාගෙන ඒවායේ කුඩා පරිමාණ සන්නිවේදන මධ්‍යස්ථාන පිහිටුවන බවල අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මෙම වැඩපිළිවෙළ හරහා පරිගණක සහ ටැබ් පහසුකම් ලබාදෙමින් ඊ-තක්සලාව ඔස්සේ අධ්‍යාපනය ලබාදීමට පියවර ගන්නා බවයි.

මේ අතර ප්‍රමාණවත් අන්තර්ජාල දුරකථන සංඥා නොමැතිකමින් පීඩා විඳන දරු දැරියන් පිරිසක් පිළිබඳව බලංගොඩ කල්තොට ප්‍රදේශයෙන් වාර්තා වුණා.

******************************************

(22.06.2021 – 15:08 +0530 – hirunews.lk/sinhala)

කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත අහෝසි කරන ලෙස ඉල්ලා නිදහස් අධ්‍යාපන උදෙසා සිසු ජන ව්‍යාපාරය ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට අද (22) දහවල් විරෝධතාවක නිරත වුණා.

පසුගිය 2018 වසරේ යහපාලන ආණ්ඩුව ද මෙම පනත් කෙටුම්පත ගෙන ඒමට උත්සාහ කළ බවත් නැවතත් එය වත්මන් රජයට ගෙන ඒමට ඉඩ නොදෙන බවයි ඊට එක්ව සිටි සිසු ජන ව්‍යාපාරයේ කැදවුම්රු පූජ්‍ය පේරකැටියේ සුදස්සී හිමියන් ප්‍රකාශ කළේ ෴

******************************************

(22.06.2021 – 15:11 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කලාඔය ඉවුරු රක්ෂිතයේ කැළෑ ප්‍රදේශයක් එළිපෙහෙළි කළ භික්ෂූන් වහන්සේලා දෙනමක් ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම – කුරුණෑගල සහ අනුරාධපුර යන දිස්ත්‍රික් 3 ට මායිම්ව පිහිටා ඇති අදාළ රක්ෂිතය එළිපෙහෙළි කරන බවට සාලියවැව පොලීසියට ලද තොරතුරකට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද එක්ව මෙම වැටලීම සිදුකළා.

කාබනික වගාවක් සහ ඖෂධ වගාවක් සිදුකිරීමට මෙම එළිපෙහෙළි කිරීම සිදුකළ බව අත්අඩංගුවට ගත් පිරිස ප්‍රකාශ කර තිබෙනවා ෴

******************************************

(22.06.2021 – 16:01 +0530 – hirunews.lk/sinhala)

පි‍යාවත් තමන්ට කියා නොදුන් පාඩමක් පසුගිය රජය තමන් සිරගත කිරීම හරහා කියා දුන් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (22) පාර්ලිමේන්තුවේදි කියා සිටියා.

එහිදී තමන් ඇතුලු වත්මන් ආණ්ඩුවේ තවත් ඇමතිවරුන් පිරිසකටත් සිරකරුවන් විඳින දුක වේදනාව දැක බලා ගැනීමට අවස්ථාව ලැබුනු බවයි අමාත්‍යවරයා පැවසුවේ.

තමන් ඇතුලු පිරිස රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි කාලය තුල නඩු නිමිත්තක් වත් නොමැතිව බන්ධනාගාර ගතව සිටින විශාල පිරිසක් හමුවූ බව ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියා.

මෙලෙස නඩු නොපැවරීම හේතුවෙන් තමන්ගේ වයසටත් වැඩි කලක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින්නන් තමන්ට හමුවූ බවයි ඔහු පවසන්නේ.

ඔවුන් අතරෙ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට සැක පිට අත් අඩංගුවට ගත් විශාල පිරිසක්ද සිටින අතර ඔවුන් අතරින් 35 දෙනෙකු වැරදිකරුවන් වී දඩුවම් විදින්නන් වූවද ඔවුන් අතරෙනුත් අති බහුතරයක් ඒ වන විටත් දඩුවම් කාලයට වැඩි කලක් රිමාන්ඩ් බන්ධනාගරයේ ගත කර අති බව අමාත්‍යවරයා මෙහිදී හෙලි කලා.

එමෙන්ම මේ වන විටත් මහාධිකරණවල නඩු කටයුතු පවතින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 38 දෙනෙකු සිටිනා අතර ඔවුන් මේ වන විටත් රිමාන්ඩ් බන්ධනාගර තුල වසර 20 වැඩි කලක් ගත කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

මෙයට අමතරව කිසිදු චෝදනාවක් නොමැතිව රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් 13 දෙනෙකුද තමන්ට හමුවී ඇති බව ඔහු මෙහිදී හෙලි කලා.

තව දුරටත් පාර්ලිමේන්තුව අමතමින් ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ මූලික නඩු කටයුතු අවසන් කර නමුත් අධි චෝදනා ගොනු නොකල තවත් 116 දෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටිනා බවයි.

මෙලෙස වසර ගනනාවක් බන්ධනාගාර ගතව සිටිනා මේ අයට වහාම සාධාරණය ඉටු කල යුතු බවටයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඔවුන්ට අධි චෝදනා ගොනු කිරීම හෝ ඔවුන් පුනරුත්තාපනය කර නැවත සමාජයට මුදා හැරීම සිදු කලයුතු බවට යෝජනා කරන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ රජය යටතේ එලෙස 12,000 ක් පුරුත්තාපනය කර නැවත සමාජයට එක්කල බවයි.

මේ අයට යම් සාධාරණයක් අනිවාර්යෙන්ම සිදු විය යුතු බවත් පෙන්වා දුන් ක්‍රීඩා අමාත්‍ය වරයා තමන් බන්ධනාගාරයේ සිටි සමයේ මුණ ගැසුනු පුද්ගලයෙකු සම්බන්දයෙන් සිදුවීමක්ද හෙලි කලා.

අදාල පුද්ගලයා මෙරට සිදුවූ ප්‍රභූ ඝාතනයකට සැකපිට අත්අඩංගුවට පත්ව වැරදිකරු බවට පත්වූ අයෙක්.

ඔහු මෙම ඝාතනයට සම්බන්ධ වෙන්නේ ගසක අත්තක් කැපීම නිසා.

අමාත්‍යවරයා අවධාරණය කලේ මේ වන විට ගසේ අත්ත කැපූ පුද්ගලයා වැරදිකරු වී බන්ධනාගාර ගතව ඇති අතර ප්‍රධාන සැකකරු සමාවක් මත නිදහස්ව ගොස් ඇති බවයි.

මෙවැනි සිදුවීම් බන්ධනාගාරය තුල ඇති බවත් එබැවින් එවැනි කරුනු දෙස සානුකම්පිතව බලා කටයුතු කල යුතු බවත් අමාත්‍යවරයා පවසනවා.

මෙහිදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම කාරනා සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර අසාධාරනයට ලක් වූවන්ට වහාම සාධාරනය ඉටු කර දීමට මැදිහත් වන ලෙසයි.

******************************************

(22.06.2021 – 16:20 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත්, රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්ගේ නිවස ඉදිරිපිට ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයා ජූලි මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, එම පොලිස් කොස්තාපල්වරයා අද (22) මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ මඩකලපුව – සින්නිවුර්නි ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට දී ඊයේ (21) මෙම වෙඩි තැබීම සිදුවූ අතර, එහිදී ජීවිතක්ෂයට පත්වූයේ වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ රියදුරෙක්.

මීට දින කිහිපයකට පමණ පෙර අදාළ පොලිස් කොස්තාපල්වරයා සහ ටිපර් රථ රියදුරු සමඟ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබුණා.

ටිපර් රථ රියදුරු ත්‍රිරෝද රථයකින් ඊයේ (21) ගමන් කරමින් සිටියදියි පොලිස් කොස්තාපල්වරයා ඔහුට වෙඩි තබා තිබුණේ ෴

******************************************

(22.06.2021 – 17:36 +0530 – hirunews.lk/sinhala)

සරුංගල් ප්‍රශ්නයක් මුල් කර ගනිමින් මිනුවන්ගොඩ – කොටගෙදර ප්‍රදේශයේදී 23 හැවිරිදි එක් දරු පියෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 5 දෙනෙකු අද (22) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර පියෙකු සහ ඔහුගේ පුත්‍රයින් දෙදෙනා (2) ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ. මොවුන්, මිනුවන්ගොඩ – ගමන්ගෙදර ප්‍රදේශයේ පදිංචි ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ඥාතීන් බව ද පොලීසිය කියා සිටියා.

පසුගිය දා මෙලෙස ඝාතනයට ලක්වුණේ ‘ලක්ෂිත ලක්මාල් ද සිල්වා’ හෙවත් ‘සුදූ’ නැමති පුද්ගලයෙක් ෴

******************************************

(22.06.2021 – 17:39 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන අද (22) දිනයේත් විවෘත කර තිබූ අතර, ඊයේ (21) දිනට සාපේක්ෂව අද (22) දිනයේත් ඇතැම් එළවළු සහ පළතුරු වර්ගවල තොග මිල ඉහළ ගොස් තිබුණා.

ඒ අනුව බෝංචි කිලෝවක තොග මිල රුපියල් 210 ත්, 300 ත් අතර පැවති අතර මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 260 ත්, 320 ත් අතර අගයකයි පැවතුණේ.

වට්ටක්කා කිලෝවක තොග මිල රුපියල් 60 ක් පමණ වූ අතර කරවිල, වම්බටු, දෙහි, මෑ කරල්, තුඹ කරවිල, අර්තාපල්වල තොග මිල පැවතුණේ රුපියල් 150 ත්, 350 ත් අතර මිලකටයි ෴

******************************************

(22.06.2021 – 18:17 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය පාර්සලයක් පසුගිය 20 වනදා රාත්‍රි සේවයේ රාජකාරි කළ නිළධාරින්ට හමු වී තිබෙනවා.

එම පාර්සලය තුළ ලී කොට කැබලි 02 ක් තිබී ඇති අතර එය වැඩිදුර පරික්ෂා කිරීමේදී, ලී කොට කැබලිවල මැද කොටස ඉවත් කර එහි ඉතා සුක්ෂම ලෙස අදාළ තහනම් ද්‍රව්‍ය අසුරා තිබෙන අයුරු නිරීක්ෂණය වූ බවයි නිලධාරීන් කියා සිටියේ.

අදාළ පාර්සල් තුළ තිබී ජංගම දුරකථනයක්, දුම්කොළ 10 ක් සහ ජංගම දුරකථන ආරෝපණයක් හමුවී තිබෙනවා.

එම තහනම් ද්‍රව්‍ය පාර්සලය, බන්ධනාගාර පාලන අධිකාරිය වෙත භාර දී ඇති අතර, මේ පිළිබදව මුලික විමර්ශන කටයුතු මේ වනවිට පවත්වනවා.

******************************************

හඳුනා නොගත් අමුතු ජීවියෙකුගේ ශරීර කොටස් අඟුලාන මුහුදු තීරයට

(22.06.2021 – 18:43 +0530 – hirunews.lk/sinhala)

අඟුලාන මුහුදු තීරයට ඩොල්පින් මත්ස්‍යයකුට සමාන හඳුනානොගත් සත්වයෙකුගේ සිරුරු කොටස් කිහිපයක් අද (22) ගොඩ ගසා තිබුනා.

අත්තිඩිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් පවසන්නේ මෙම සත්වයා ක්ෂීරපායි සත්වයෙකු විය හැකි බවටයි.

හැඩහුරුවෙන් ඩොල්ෆින් මත්ස්‍යකුට බොහෝ සේ සමානකමක් දක්වන මෙම මත්ස්‍යයාගේ සිරුර කොටස් දෙකකට කැඩී තිබෙනු දක්නට ලැබුනා.

වනජීවී නිලධාරීන් පවසන්නේ මෙම සත්වයා ඩොල්ෆින් මත්ස්‍යයකු විය නොහැකි බවටයි.

එම ස්ථානයට පැමිණි වනජීවී නිලධාරින් එම මත්ස්‍යයාගේ සිරුරු කොටස් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අත්තිඩිය වනජීවී පශු වෛද්‍ය ඒකකය වෙත භාරදීමට කටයුතු කලා.

පසුගියදා කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්වූ ‘එම්.වී එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාවෙන් මුහුදට එක්වූ අහිතකර රසායන ද්‍රව්‍ය හේතුවෙන් මිය ගිය අති විශාල මුහුදු ජීවීන් ප්‍රමානයක් ව‍රින් වර වෙරළට ගොඩ ගසමින් තිබෙනවා.

******************************************

(22.06.2021 – 19:21 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, එම පනත යටතේ අත්අඩංගුවට ගෙන දැනට බන්ධනාගාර ගත කර සිටින එල්.ටී.ටී.ඊ. රැදවියන් සම්බන්ධයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම් සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද අදහස් දක්වා සිටියා.

@@@@@@@@@@@@@@@@

(22.06.2021 – 16:25 +0530 – hirunews.lk/sinhala)

හැටන් – දිඹුලපතන පොලීසියේ තවත් පොලිස් නිලධාරීන් 4 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (22) තහවුරු වී තිබෙනවා.

ඒ අනුව ආශ්‍රිතයින් 10 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කිරීමටයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන ඇත්තේ.

මීට පෙර මෙම පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණා ෴

කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 2009 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටවගොස් තිබෙනවා. සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මේ වනවිට පුද්ගලයින් 209,296 දෙනෙකු සුවය ලබා ඇති බවයි ෴

ජූලි මස මුල් සතිය වන විට, ශ්‍රී ලංකාවට තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලැබීමට නියමිත බව, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියයි ෴

+++++++++++++++++++

(22.06.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

ගර්භනී මව්වරුන්ට කොරෝනා එන්නත් ලබාදීම අකාර්යක්ෂම බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා කියා සිටියේ අගෝස්තු 14 වන දා වන විට සුදුසුකම් ලැබූ ගර්භනී මව්වරුන්ට එන්නත් මාත්‍රා දෙකම (2) ලබාදී අවසන් කළ යුතුව ඇති බවයි.

ගර්භනී මව්වරුන්ට කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමට පසුගිය දා තීරණය කෙරුණු අතර විවිධ රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන අවදානම් කණ්ඩායම් ලෙස හදුනා ගන්නා ගර්භනී මව්වරුන්ට ප්‍රමුඛතාව ලබාදෙමින් එන්නත්කරණය සිදුකිරීමටයි අනුමැතිය හිමිවුණේ.

ඒ අනුව ගර්භනී මව්වරුන්ට එන්නත් ලබාදීම පසුගිය 09 වන දා සිට සංකේතාත්මකව ආරම්භ කෙරුණා.

දැනට එන්නත්කරණය සිදුකරන ප්‍රදේශවල අවදානම් ගර්භනී මව්වරුන් හඳුනා ගනිමින් එන්නත් ලබාදීම සිදුකෙරෙන බවයි පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *